පන්ති යුද සිරකරුවන් වන ජූලියන් අසාන්ජ් හා චෙල්සී මැනිං නිදහස් කරගැනීමට මහජන ව්‍යාපාරයක් ගොඩනගනු

Build a mass movement to free class-war prisoners Julian Assange and Chelsea Manning

ශ්‍රී ලංකාවේ සසප ජනාධිපති අපේක්ෂක පානි විජේසිරිවර්ධන විසිනි, 2019 නොවැම්බර් 9

ශ්‍රී ලංකාවේ එලඹෙන ජනාධිපතිවරනයේ සමාජවාදී සමානතා පක්ෂයේ අපේක්ෂකයා වන පානි විජේසිරිවර්ධන පහත ප්‍රකාශය නිකුත් කලේ ය. අසාන්ජ් හා මැනිං වහාම නිදහස් කරන ඉල්ලන එකම අපේක්ෂකයා විජේසිරිවර්ධන යි.

අසාන්ජ් ආරක්ෂා කිරීම සඳහා අප්‍රේල් මාසයේ ශ්‍රී ලංකාවේ පැවති සසප රැලියක්

සිරගත කර සිටින විකිලීක්ස් ආරම්භක හා ප්‍රකාශක ජූලියන් අසාන්ජ් හා තොරතුරු හෙලිදරවු කරන්නියක වන චෙල්සී මැනිංගේ නිදහස සුරක්ෂිත කරගැනීම පිනිස මහජන ව්‍යාපාරයක් ගොඩනැගීමේ අරගලයට ඒකාබද්ධ වන ලෙස දකුනු ආසියාවේ හා ලෝකයේ අනෙකුත් තැන්වල කම්කරුවන්ගෙන් මම ඉල්ලා සිටිමි.

ඉරාකයේ සිවිල් වැසියන් හා ජනමාධ්‍යවේදීන් ඉව බව නැති ව මරා දැමීම ඇතුලු‍ එක්සත් ජනපදයේ යුද අපරාධ ද අනෙකුත් අධිරාජ්‍යවාදී බලයන්ගේ නීති-විරෝධී ක්‍රියාකාරකම් ද හෙලිදරවු කිරීමට නිර්හීතවූ නිසා අසාන්ජ්ට චෝදනා එල්ල කරනු ලැබේ. විකිලීක්ස් වෙත ලේඛන දසදහස් ගනනක් සම්පාදනය කල එක්සත් ජනපද හමුදාවේ හිටපු සෙබලියක වන චෙල්සී මැනිං රහසිගත ප්‍රධාන ජූරි සභාවක් ඉදිරියේ අසාන්ජ්ට එරෙහි ව සාක්ෂි දීම ප්‍රතික්ෂේප කල නිසා එක්සත් ජනපදයේ බන්ධනාගාරයක කල් ගෙවයි.

මෙම නිර්භීත පුද්ගලයෝ කිසිදු අපරාධයක් සිදුකර නැත. ඔවුන් ව සිරගත කොට රුදුරු වධයන්ට භාජනය කරනු ලබන්නේ එක්සත් ජනපදයට හා එහි අධිරාජ්‍යවාදී සගයන්ට සියලු‍ අව්‍යාජ ජනමාධ්‍යවේදීන් හා සත්‍යය සඳහා සටන් කරන්නන් බිය වද්දා නිහඬ කිරීම අවශ්‍ය නිස යි.

පසුගිය හැටන්හි පැවති මැතිවරන රැස්වීමක් අමතන පානි විජේසිරිවර්ධන

අසාන්ජ් හා මැනිං සිරගත කිරීම, කතාකිරීමේ නිදහස හා සෑම රටක ම වැඩකරන ජනයාගේ ප්‍රජාතන්ත්‍ර අයිතීන් මත එල්ල වන ඍජු ප්‍රහාරයකි. අධිරාජ්‍යවාදී බලයන් තර්ජනයට ලක්වූ විට, ක්ෂනික ව “නීතියේ පාලනය” හා “ස්වාභාවික යුක්තිය” ඔවුන් ප්‍රයෝජනයට ගන්නා අතර, එමගින් ධනපති පාලනයේ ආඥාදායක යථාර්ථය දිදුලන ලෙස දෘෂ්‍යමාන වේ.

හුදකලාවේ සිරගතකොට තැබීමට ආසන්න ඳඩුවමකට යටත් කොට එක්සත් රාජධානියේ බෙල්මාෂ් බන්ධනාගාරයේ රඳවා සිටින අසාන්ජ්ට සලකන ආකාරය ශාරීරික හා මානසික වධබන්ධනයට ලක්කිරීමට සමාන ය. අධි ආරක්ෂිත බන්ධනාගාරයේ විකිලීක්ස් ආරම්භකයා දිගටම සිරකොට තැබුවහොත්, ඔහු මිය යා හැකි යයි වධබන්ධන පිලිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ කොමසාරිස් නිල්ස් මෙල්සර් හා අසාන්ජ්ගේ පියා වන ජෝන් ෂිප්ටන් අනතුරු අඟවා ඇත. ලබන පෙබරවාරියේ පැවැත්වෙන උදර්පන නඩු විභාගය කරා වන ධාවනයේ දී බි්‍රතාන්‍ය අධිකරන බලධාරීහු අසාන්ජ් කැලෑ උසාවි පන්නයේ ක්‍රියාදාමයකට භාජනය කර ඇත. ඔත්තු බැලීමේ චෝදනා 17ක් ද ඇතුලු‍ ව එක්සත් ජනපද අධිකරන දෙපාර්තමේන්තුව අසාන්ජ්ට එරෙහි ව චෝදනා 18ක් ගොතා ඇති අතර, ඇමරිකානු උසාවි ඔහු ඒ සඳහා වරදකරු කලහොත් වසර 175ක සිර දඬුවමකට හෝ ඊටත් නරක දඬුවමකට මුහුන පායි.

අසාන්ජ් හා මැනිංට චෝදනා කිරීමත් ඒ හා සම්බන්ධ කතාකිරීමේ නිදහස මත ප්‍රහාර ධාවනය කරනු ලබන්නේ එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ යුද්ධය සඳහා සූදානම් වීම් විසිනි. සෑම තැනක ම කප්පාදුවට විරුද්ධ ව වැඩෙන කම්කරු පන්තියේ හා පීඩිත ජනයාගේ ව්‍යාපාරය මැඩීමට ධනපති ආන්ඩු උත්සාහ දරන්නේ මාධ්‍ය වාරනය, බිය වැද්දීම හා ඍජු මර්දනය යොදාගනිමිනි.

ඉන්දියාවේ තෙලෙන්ගානා ප්‍රාන්තයේ ප්‍රවාහන කම්කරුවන් හා මදර්සන් කම්කරුවන්ගේ වැඩවර්ජන සමගින් චිලී රටේ, ලෙබනනයේ හා ඉන් ඔබ්බේ මහජන විරෝධතා පුපුරා යාම මෙන් ම ශ්‍රී ලංකාවේ දුම්රිය කම්කරුවන්, ගුරුවරුන්, විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයන් පසුගිය වසර පුරා නිරත වී ඇති කාර්මික ක්‍රියා පෙන්නුම් කරන්නේ කම්කරුවන්ගේ සමාජ කොන්දේසි ආරක්ෂා කරගැනීමටත්, බලයේ සිටින්නන්ට අභියෝග කිරීමටත් කම්කරුවන්ට ඇති අධිෂ්ටානය යි.

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරනයෙන් කවර ධනපති අපේක්ෂකයා ජයග්‍රහනය කල ද ශ්‍රී ලංකාවේ කම්කරුවන්ගේ කාර්මික හා දේශපාලන ක්‍රියාවන් වඩා වැඩි ශක්තියකින් හා අධිෂ්ටානයකින් යුතු ව වර්ධනය වනු ඇත.

සෑමතැනක ම කම්කරුවන්, ශිෂ්‍යයන් හා තරුනයන්ගෙන් අසාන්ජ් හා මැනිං ආරක්ෂා කිරීමට ඉදිරිපත් වන ලෙස මම ඉල්ලමි. මෙම නිර්භීත පුද්ගලයන් සිරගත කිරීම සෑම කම්කරුවකුගේ ම ප්‍රජාතන්ත්‍ර අයිතීන් මත එල්ල වන ප්‍රහාරයකි. කම්හල් හා වැඩපොලවල ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩනගමින් ද අසාන්ජ් හා මැනිං ව වහාම හා කොන්දේසි විරහිත ව නිදහස් කරන ලෙස ජාත්‍යන්තර මහජන ව්‍යාපාරයක් සඳහා අරගලයකින් ද මෙම ප්‍රහාරයට පිලිතුරු දී එය පරාජය කල යුතු ය.

Share this article: