ඕඊසීඩී ය ගෝලීය වර්ධන පුරෝකථනය පහත හෙලයි

Growth continues to slow in major economies

නික් බීම්ස් විසිනි, 2019 නොවැම්බර් 23

ආර්ථික සහයෝගිතාව හා සංවර්ධනය සඳහා වූ සංවිධානය (ඕඊසීඩී) මේ වසර සහ ලබන වසර සඳහා ගෝලීය වර්ධනය පිලිබඳ පුරෝකථනය කපා හැර ඇති අතර, සිය ආර්ථිකයන් ප්‍රවර්ධනය කිරීමට ආන්ඩු හදිසි පියවර නොගතහොත් අඩු වර්ධන ප්‍රවනතාව මුල්බැසගත හැකි බවට අනතුරු අඟවයි.

ලෝකයේ ප්‍රධාන ආර්ථිකයන්හි සාමාජිකයින් 36 දෙනෙකුගෙන් සමන්විත සංවිධානය 21දා නිකුත් කල ගෝලීය ආර්ථිකයේ තත්වය පිලිබඳ සිය නවතම යාවත්කාලීන ප්‍රකාශයෙන් මේ අනතුරු ඇඟවීම නිකුත් කලේය. ආර්ථික අවිනිශ්චිතතාව සහ වෙලඳ ආතතීන් හේතුවෙන් සමාගම්, ගොඩනැගිලි හා යන්ත්‍රෝපකරන මෙන්ම නව තාක්‍ෂනය සඳහා වන ආයෝජන ඇනහිටුවා ඇති බවත්, ගෝලීය මූල්‍ය අර්බුදයෙන් (2008) පසු වර්ධනය අවම මට්ටමක පවතින බවත් එහි සඳහන් ය.

ටෝකියෝ නගරයේ කොටස් ආයතනයක විද්‍යුත් දැන්විම් පුවරුවක් අසලින් ගමන් කරන මිනිසෙක් [Credit: AP Photo/Koji Sasahara]

වාර්තාව පිලිබඳව අදහස් දක්වමින් ඕඊසීඩී ප්‍රධාන ආර්ථික විද්‍යාඥ ලෝරන්ස් බූන් පැවසුවේ “ඇත්ත වශයෙන්ම දේවල් චලනය වන්නේ නෑ. අප දකින්නේ ආයෝජන ඇනහිටීම, වර්ධනය ඉතා පහත් මට්ටමක පැවතීමට මග පාදන බවයි.” “මන්දගාමීත්වය” දිගටම පැවතුනහොත් එය “මුල්බැගත”හැකි බවට ඇය අනතුරු ඇඟවූවාය.

මූල්‍ය වෙලඳපොලවල ඉහල යාම හමුවේ ආයෝජකයින් විශ්වාස කරන්නේ පසුබෑමේ නරකම තත්වය අවසන් වී ඇති බව යයි බූන් පැවසීය. එහෙත් පාවෙන වෙලඳපලවල් “රැල්ල ආපසු හරවන බවක් අදහස් නොකරයි.”

මේ වසරේ සහ ඊලඟ වසරේදී ගෝලීය වර්ධනය සියයට 2.9 ක් වනු ඇතැයි ද 2021 දී සියයට 3.1 ක් දක්වා සුලු වර්ධනයක් ද සංවිධානය පුරෝකථනය කරයි. මෙය වසරකට පෙර සියයට 3.5 ක් බවට කල පුරෝකථනයෙන් සැලකිය යුතු පහත බැසීමක් පෙන්නුම් කරයි.

එක්සත් ජනපදය හා චීනය අතර වෙලඳ යුද්ධය හා “නීති රීති පදනම් කරගත් ගෝලීය වෙලඳ පද්ධතිය ඛාදනය වීම” හේතුවෙන් ආයෝජන දුර්වල වී ඇති බව ඕඊසීඩී පැවසීය.

ලෝක වෙලඳ සංවිධානය (ලෝවෙසං) වෙනම වාර්තාවකින් පෙන්වා දුන්නේ, මෙම පිරිහීම එක්සත් ජනපදය හා චීනය ඉක්මවා යන බවයි. ලෝක ආර්ථිකයෙන් සියයට 80 ට වඩා වැඩි පංඟු‍වකට වග කියන ජී 20 සාමාජිකයින්, ඔක්තෝබර් දක්වා මාස හයක කාලය තුල ආනයන සඳහා දිගින් දිගටම සීමාවන් පනවා ඇති අතර ඩොලර් බිලියන 460 කට වැඩි වටිනාකමින් යුත් භාන්ඩවලට එය බලපා ඇත. මෙය මාස හයක කාලයක වාර්තාගත ඉහලම අගයයි.

ලෝක වෙලඳ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් රොබර්ටෝ අසිවෙඩෝ පැවසුවේ “අවිනිශ්චිතතාව, අඩු ආයෝජන සහ වෙලඳාම දුර්වල වීම පවා වලක්වා ගැනීමට නම් ජී 20 ආර්ථිකයන්ගෙන් ශක්තිමත් නායකත්වයක් අපට ලැබිය යුතුයි” යනුවෙනි.

අන්තර්ජාතික සහයෝගීතාව, වෙලඳ ප්‍රතිපත්තියේ විනිවිද භාවය හා වර්ධනය පුනර්ජීවනය කිරීම සඳහා “වෙලඳාම සීමා කිරීමේ පියවර දැඩි කිරීම” අවසන් කිරීමට, ප්‍රමුඛතාවයක් ලබා දෙන ලෙස ඕඊසීඩී ඉල්ලා සිටියේය. නව තාක්‍ෂනය සඳහා වියදම් වැඩි කිරීම සහ හරිත බලශක්තිය වෙත මාරුවීම ප්‍රවර්ධනය කිරීම සඳහා රටවල් ජාතික ආයෝජන අරමුදල් වර්ධනය කල යුතු බව බූන් පැවසීය.

“දේශගුනික විපර්යාස පිලිබඳ ගැටලු විසඳීම සඳහා ප්‍රතිපත්තිමය මඟ පෙන්වීමක් නොමැතිකම ආයෝජන පහත වැටීමට බලපා ඇති අතර, අවශ්‍ය පොදු ආයෝජන නොමැතිව, ව්‍යාපාරයන්හි ආයෝජන තීරන කල් දමනු ඇත. එය වර්ධනය හා සේවා නියුක්තිය කෙරෙහි අහිතකර ප්‍රතිවිපාක ගෙන එනු ඇත.”‍

බූන් වෝල් ස්ට්‍රීට් ජර්නලයට පැවසුවේ, එක්සත් ජනපදය හා චීනය අතර අන්තර් වෙලඳ ගිවිසුමක් පිලිගත හැකි වුවත්, එය “අයිස් කුට්ටියේ මුදුන” පමනක් වන අතර ගැඹුරු ගැටලු‍ විසඳන්නේ නැත. ඉන් අදහස් කෙරෙන්නේ, බීජිනය විසින් බුද්ධිමය දේපල සඳහා වැඩි ආරක්ෂාවක් ද රජය සතු ව්‍යවසායන් සඳහා සහනාධාර කපා හැරීමද ඇතුලු‍ එක්සත් ජනපදයේ බලකිරීම්, යන ගැටුමේ හදවතෙහිම ඇති ගැටලු ගැන ය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හිටපු අධ්‍යක්ෂිකා ක්‍රිස්ටීන් ලැගාඞ්, යුරෝපීය මහ බැංකුවේ (ඊසීබී) සභාපතිනිය ලෙස සිය පලමු ප්‍රධාන කතාව තුල ගෝලීය වර්ධනය පිලිබඳ ප්‍රශ්නයට ද ආමන්ත්‍රනය කලාය. 22දා ෆ්‍රැන්ක්ෆර්ට්හි පැවති බැංකු සම්මන්ත්‍රනයකට එක්වෙමින් ඇය යුරෝ කලාපයෙන් ඉල්ලා සිටියේ, යුරෝ කලාපයේ දිශානතිය අපනයන වලින් දේශීය ඉල්ලු‍ම දෙසට මාරු කිරීම සඳහා රාජ්‍ය ආයෝජන ඉහල නංවන ලෙසයි.

සිය පූර්වගාමියා වූ මාරියෝ ඩ්‍රැගිගේ මූල්‍ය වෙලඳපොලවල් සඳහා වූ කැපවීම අඛන්ඩව පවත්වාගෙන යමින් ලගාඞ් කියා සිටියේ, ඊසීබීය “ආර්ථිකයට අඛන්ඩව සහය දක්වමින් අනාගත අවදානම් වලට ප්‍රතිචාර දක්වනු ඇති” බවයි. එහෙත් මූල්‍ය ප්‍රතිපත්තිය, “‍පවතින ක්‍රීඩාවේ විය හැකි එකම නියමය නොවිය යුතු ය.”‍

යුරෝ කලාපයේ රාජ්‍ය ආයෝජන, “අර්බුදයට පෙර පැවති මට්ටමට වඩා යම් තරමකින් පහල මට්ටමක” පවතින බව ඇය සඳහන් කලාය. “පලදායී ආයෝජන” යනුවෙන් ඇය හැඳින්වූ, යටිතල පහසුකම්වලට අමතරව පර්යේෂන, සංවර්ධන හා අධ්‍යාපනය සඳහා වන වියදම් ද ඇතුලු ක්ෂේත්‍රයන්හි, රාජ්‍ය ආයෝජන පංඟු‍ව යුරෝ කලාපයේ සෑම රටකම පාහේ, මූල්‍ය අර්බුදයෙන් පසුව, පහත වැටී ඇත.

ජාත්‍යන්තර වෙලඳාමේ මාරුවීම් මගින් ඇති වූ “අභියෝගය” පෙන්වා දෙමින් ලාගාර්ඞ්, යුරෝ ආර්ථිකයේ අනාගතය පිලිබඳව සිය අදහස් දැක්වීම ආරම්භ කලාය . “පවත්නා වෙලඳ ආතතීන් සහ භූදේශපාලනික අවිනිශ්චිතතාවන්, ලෝක වෙලඳ වර්ධනය මන්දගාමී වීමට දායක වන අතර, එය පසුගිය වසරේ සිට අඩකට වඩා අඩුවී තිබේ. “මෙය වාර්තාගත මූල්‍ය අර්බුදයෙන් පසු ගෝලීය වර්ධනය අවම මට්ටමට පහත හෙලා ඇත.”

මෙය යුරෝ කලාපයට බලපා ඇති අතර මේ වසරේ වර්ධනය සියයට 1.1 ක් වනු ඇතැයි අපේක්ෂා කරන අතර එය වසරකට පෙර අපේක්ෂා කල මට්ටමට වඩා සියයට 0.7 ක පහල අගයකි.

වෙලඳ ගැටුම් වලට අමතරව, වැඩෙන ව්‍යුහාත්මක වෙනස්කම් ද පවතින අතර නැගී එන වෙලඳපල ආර්ථිකයන් ආයෝජන හා නිෂ්පාදනයෙන් ඉවත් විය. මෙයින් ඇඟවෙන්නේ “අප දැකීමට පුරුදු වී ඇති වෙලඳ වර්ධනයේ ඉහල අනුපාත, තවදුරටත් නිරපේක්ෂ හා නිශ්චිත බවක් නොපෙන්වන” බවයි.

තවත් වැදගත් ව්‍යුහාත්මක වෙනසක් වූයේ, දියුනු ආර්ථිකයන්හි “1980 ගනන්වල අග භාගයේ සිට දල වශයෙන් අඩකින් අඩුවී ඇති වර්ධන අනුපාතවල දිගුකාලීන පහත වැටීමක් මධ්‍යයේ” ශ්‍රම පලදායිතා වර්ධනය, 1990 දශකයේ මුල් භාගයේ සිට, “තුනෙන් දෙකකට ආසන්න ප්‍රමානයකින් පහත වැටීමය.”

එක්සත් ජනපද ෆෙඩරල් මහ බැංකුවේ හිටපු සභාපති ජැනට් යෙලන්, 21දා නිව්යෝක් නුවර පැවති ලෝක ව්‍යාපාරික සමුලුවේදී අදහස් දක්වමින්, එක්සත් ජනපද ආර්ථිකය “විශිෂ්ට” හැඩයෙන් විස්තර කල නමුත් ප්‍රතිවිරුද්ධ දිශාවන්ට යොමු වූ වර්ධනයන් ගනනාවක් සටහන් කලාය.

එක්සත් ජනපද-චීන තීරුබදු යුද්ධය ව්‍යාපාර සහ පාරිභෝගික යන දෙකටම අහිතකර ලෙස බලපා ඇති බව ඇය පැවසුවාය. එලඹෙන වසරේදී අවපාතයක් ඇති නොවනු ඇතැයි ඇය සිතන අතර, “අවපාතයක අවාසි සාමාන්‍ය මට්ටමට වඩා ඉහල තැනක පවතින අතර, මට ඒ පිලිබඳව අපහසුතාවක් දැනී ඇත.”

මෙය සිදුව ඇත්තේ, මේ වසරේ මහ බැංකුව තුන් වතාවක් පොලී අනුපාත පහත දැමීම නිසා “මහ බැංකුවට ඒ සඳහා තවදුරටත් ප්‍රතිචාර දැක්වීමට, මා සිතන තරම් ඉඩක් නොමැති කොන්දේසි යටතේ ය. ඒ නිසා කරදර වීමට හොඳ හේතුවක් තිබේ.”

යෙලන් සිය අදහස් දැක්වීමේදී, අවපාතයක් තිබියදී හෝ නොතිබියදී, සමාජ අසමානතාවයේ වර්ධනය මුල්කරගෙන ඇතිවිය හැකි සමාජ හා දේශපාලන ප්‍රතිවිපාක ගැන පාලක කවයන්ගේ වැඩෙන බිය පෙන්වා දුන්නා ය. ඇය සඳහන් කලේ “බෙහෙවින් කනස්සල්ල දනවන දිගු කාලීන ප්‍රවනතාවක් ලෙස, එක්සත් ජනපද ශ්‍රම බලකායෙන් සැලකිය යුතු ප්‍රමානයක් ඉදිරියෙන් නොසිටින බවක් ඔබට දැනෙනු ඇත. එය ඇත්ත, ඔවුන් ඉදිරියට යන්නේ නැහැ.”

මෙය බරපතල ආර්ථික හා සමාජීය ගැටලුවක් වන අතර, “ආර්ථිකය තමන් වෙනුවෙන් වැඩ කරන්නේ නැත යන හැඟීම, අතිශයින්ම කඩාකප්පල්කාරී වන සමාජ අතෘප්තිය, පිලිබඳ හැඟීමක් මිනිසුන්තුල ඇති කරයි.”

Share this article: