ඩිමොක්‍රටිකයින් දෝෂාභියෝග ව්‍යාපාරය පුලු‍ල් කරද්දී ට්‍රම්ප් “සිවිල් යුද්ධ” තර්ජනය එල්ල කරයි

Trump threatens “civil war” as Democrats escalate impeachment campaign

ඇන්ඩ්‍රේ ඬේමන් විසිනි, 2019 ඔක්තෝබර් 1

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය දේශපාලන විරුද්ධවාදීන්ට එරෙහිව ප්‍රචන්ඩ තර්ජනයක් එල්ල කරමින් 30දා සවස, තමා ධුරයෙන් ඉවත් කිරීමට ඩිමොක්‍රටිකයින් දරන උත්සාහය නිසා රටේ “සිවිල් යුද්ධ” තත්වයක් ඇති විය හැකි බව කියා සිටියේය. ඩිමොක්‍රටිකයින් සිය දෝෂාභියෝගය තීව්‍ර කරමින්, ට්‍රම්ප්ගේ පුද්ගලික නීතිඥ රුඩොල්ෆ් ගුලියානිට සිතාසි නිකුත් කල අතර කොන්ග්‍රස් බුද්ධි කමිටුවේ ප්‍රශ්න කිරීම සඳහා පරිපාලනයේ නිලධාරීන් ගනනාවක් පෙල ගැස්වීය.

ට්විටර් පනිවුඩයක් නිකුත් කරමින් ට්‍රම්ප්, රූපවාහිනී මාධ්‍යකරු ජෙෆ්ෆ්‍රෙස්ගේ ප්‍රකාශය උපුටා දක්වමින් “ඩිමොක්‍රටිකයින් ජනාධිපති ධුරයෙන් ඉවත් කිරීමට සමත් වුවහොත් (ඔවුන් කිසි විටෙකත් එසේ නොකරනු ඇත), එය අපේ රට තුල කිසි විටෙකත් සුව නොවනු ඇති සිවිල් යුද්ධයක් වැනි බිඳීමක් ඇති කරයි.”

30දා උදෑසන ට්‍රම්ප්, කොන්ග්‍රස් බුද්ධි කමිටුවේ සභාපති ඩිමොක්‍රටික් නියෝජිත ඇඩම් ෂිෆ් අත්අඩංගුවට ගැනීමටත් ඔහුට රාජද්‍රෝහී චෝදනාවක් එල්ල කිරීමටත් තර්ජනය කලේය.

“නියෝජිත ඇඩම් ෂිෆ් නීති විරෝධී ලෙස ව්‍යාජ හා භයානක ප්‍රකාශයක් කර ඇති අතර, යුක්‍රේන ජනාධිපතිවරයාට මා කල ඇමතුමේ වැදගත්ම කොටස මගේ යැයි මවාපාමින්, එය කොන්ග්‍රසයට හා ඇමරිකානු ජනතාවට ශබ්ද නඟා කියවීය” යයි ට්‍රම්ප් ට්විටර් සටහනක් ලිවීය. “ඇමතුමේදී මා පැවසූ දෙයට එය කිසිදු සම්බන්ධයක් නොතිබුනි. එය රාජද්‍රෝහී චෝදනාවක් සඳහා? ”

සිවිල් යුද්ධයකට තර්ජනය කිරීමෙන් ට්‍රම්ප් පැහැදිලි පනිවිඩයක් යවයි. ඩිමොක්‍රටික් බහුතරයකින් යුත් නියෝජිත මන්ත්‍රී මන්ඬලය විසින් දෝෂාභියෝගයට ලක් කර, රිපබ්ලිකන්වරු පාලනය කරන සෙනෙට් සභාව විසින් වරදකරු කරනු ලැබුවහොත් ඔහු ස්වේච්ඡාවෙන් සිය ධුරය අත් නොහරිනු ඇත. නිව්යෝර්ක්හි කෝටිපති දේපල වෙලඳාම් සමපේක්ෂකයා සහ විනෝදකාමී රූපවාහිනී පෞරුෂය, අර්බුදයකට මුහුන දෙන විට හැමවිටම කලාක් මෙන්, බංකොලොත් භාවය හෝ දේශපාලන විනාශය යන ඕනෑම දෙයක් කරනු ඇත.

ඇලෙක්සැන්ඩ්‍රියා ඔකාසියෝ-කෝර්ටෙස්, ඉල්හාන් ඕමාර්, රෂීඩා ට්ලයිබ් සහ අයන්නා ප්‍රෙස්ලි යන සුලුජාතික පසුබිමක් ඇති කොන්ග්‍රස් සභිකයන් සිව්දෙනෙකු සහ යුදෙව් මන්ඬල කමිටු සභාපතිවරුන් දෙදෙනෙකු වන ෂිෆ් සහ ජෙරොල්ඞ් නඞ්ලර් “ම්ලේච්ඡයන්” ලෙස සෙනසුරාදා දිනය තුල හෙලා දැකීමෙන් පසු ඉරිදා සහ සඳුදා ට්‍රම්ප්ගේ ගිනි අවුලු‍වන ප්‍රකාශයන් නිකුත් විය. සිකුරාදා ට්‍රම්ප් ජාතික රයිෆල් සංගමයේ ප්‍රධාන විධායක වේන් ලැපියර් හමුවිය.නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතට අනුව, ට්‍රම්ප් එන්ආර්ඒ හි අන්ත දක්ෂිනාංශික ප්‍රධානියාගෙන් විමසා සිටියේ “දෝෂාභියෝගයට මුහුන දෙන බැවින් ජනාධිපතිවරයාට සහාය ලබා දිය හැකිද” යන්නයි.

පසුගිය සතියේ ට්‍රම්ප් එක්සත් ජාතීන්ගේ මහා මන්ඩලයට ෆැසිස්ට් දේශනයක් පැවැත්වූ අතර, “ගෝලීයවාදීන්ට” ජාතික අනන්‍යතාවයට “ආදේශ වීමට” අවශ්‍ය බවත්, මිලියන 100 කට අධික ජනතාවක් ඝාතනය කිරීම වෙනුවෙන් “සමාජවාදය හා කොමියුනිස්ට්වාදය” අවමානයට ලක් කල යුතු බවටත් අනතුරු ඇඟවීය.

ඒ අතර ඩිමොක්‍රටිකයෝ, ධවල මන්දිරය දන ගැස්වීමේ උත්සාහයන් තීව්‍ර කලහ.

ට්‍රම්ප්ගේ පුද්ගලික නීතිඥ රුඩොල්ෆ් ගුලියානි සහ යුක්‍රේනයට සම්බන්ධ සන්නිවේදනයන් සහ වෙනත් වාර්තා සම්පාදනය කල බව කියන ඔහුගේ සහචරයින් තිදෙනෙකු වෙත කොන්ග්‍රස් ඩිමොක්‍රටිකයින් සඳුදා වරෙන්තු නිකුත් කලේය. එක්සත් ජනපදයේ ප්‍රධාන පුවත්පත්, පරිපාලනය තුල නම් නොකල ප්‍රභවයන්ගෙන් නව අනාවරනයන් ප්‍රකාශයට පත් කලේය. වෝල් ස්ට්‍රීට් ජර්නලය වාර්තා කලේ, “ජනාධිපති ට්‍රම්ප් සහ යුක්‍රේනයේ ජනාධිපතිවරයා අතර ජූලි 25 දුරකථන ඇමතුමට සවන් දුන් පරිපාලනයේ ඉහල නිලධාරීන් අතර රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ද සිටින” බවයි.

නම් නොකල නිලධාරීන්ගේ ප්‍රකාශ මත පදනම්ව නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කලේ, “මුලර් පරීක්ෂනය අපකීර්තියට පත්වනු ඇතැයි ට්‍රම්ප් මහතා අපේක්ෂා කරන, අධිකරන දෙපාර්තමේන්තු පරීක්ෂනයක් සඳහා තොරතුරු රැස්කිරීමට, නීතිපති විලියම් පී. බාර්ට උදව් කිරීම සඳහා මෑතකදී දුරකථන ඇමතුමක් ලබා දෙමින් ජනාධිපති ට්‍රම්ප් ඕස්ට්‍රේලියානු අගමැතිවරයාට බලපෑම් කලේය.”

ට්‍රම්ප්ට දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමට, එසේ කරතියි මඳ බලාපොරොත්තුවක් පමනක් ඇති, පාර්ලිමේන්තුව ඡන්දය ප්‍රකාශ කලහොත්, ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ අවශ්‍ය පරිදි නඩු විභාගයක් පවත්වන බව සෙනෙට් බහුතර නායක මිච් මැක්කොනෙල් සඳුදා තහවුරු කලේය.

සීඑන්බීසී වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, “ඔබ එයට කොපමන කාලයක් යෙදී ඇත්ද යන්න වෙනස් කාරනයක්. නමුත් දෝෂාභියෝගය පිලිබඳ සෙනෙට් නීතියක් මත පදනම්ව එය භාර ගැනීම හැර මට වෙනත් විකල්පයක් නැත. ”

ට්‍රම්ප්ගේ “සිවිල් යුද්ධය” සහ ප්‍රචන්ඩත්වය සඳහා වැඩි වැඩියෙන් විවෘත ලෙස ආයාචනා කිරීම, එක්සත් ජනපදයේ ප්‍රජාතන්ත්‍ර පාලන ක්‍රමයන්හි බිඳවැටීමට සාක්ෂි දරයි. ඉහල යන සමාජ අසමානතාව, දශක ගනනාවක යුද්ධය සහ “ජාතික ආරක්ෂාව” මත රාජ්‍යයේ දැවැන්ත වර්ධනය යන කරුනු වල බලපෑම් යටතේ, ව්‍යවස්ථාමය පර්යාය හරහා එක්සත් ජනපදයේ සමාජ ගැටුම් සමහන් කිරීම සඳහා නිර්මානය කරන ලද දේශපාලන පිලිවෙල, වාටිය තෙක්ම ඉරී ගොස් තිබේ.

ට්‍රම්ප් සහ ඔහුගේ පාලක පන්ති විවේචකයින් අතර ගැටුමේ ප්‍රගතිශීලී හෝ ප්‍රජාතන්ත්‍රවාදී පැත්තක් නොමැත. රජය තුල ඇති බෙදීම්, සියල්ලටම වඩා විදේශ ප්‍රතිපත්තිය මුල්කරගත් ඒවාය. විශේෂයෙන් රුසියාවට ප්‍රමානවත් ආක්‍රමනික ප්‍රවේශයක් ගැනීමට ට්‍රම්ප් අපොහොසත් වී ඇති බවත් ඔහුගේ ජාතිකවාදී භූදේශපාලනය සහ පෞද්ගලික දේශපාලන අවශ්‍යතා එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ දිගුකාලීන අවශ්‍යතාවන්ට හරස් වන බවත් විශේෂයෙන් රිපබ්ලිකානුවන් මෙන්ම ඩිමොක්‍රටිකයින් ද ඇතුලු රාජ්‍යයේ ප්‍රමුඛ කොටස් සැලකිල්ලට ගනී.

ඩිමොක්‍රටිකයන්ගේ උද්ඝෝෂනය මෙහෙයවනු ලබන්නේ බුද්ධි අංශවල ප්‍රබල කොටස් විසිනි. ධවල මන්දිරයේ සීඅයිඒ ඒජන්තවරයෙකුගේ කාන්දුවක් මගින් එය උසිගැන්විනි. දෝෂාභියෝගය සඳහා ඩිමොක්‍රටික් පක්ෂ නායකත්වය ඉදිරිපත්ව ඇත්තේ, මිලිටරි හා බුද්ධි අංශ සමඟ සම්බන්ධකම් ඇති ඩිමොක්‍රටික් නියෝජිතයින් එවැනි ක්‍රියාවක් සඳහා සහයෝගය ප්‍රකාශ කිරීමෙන් පසුව පමනි.

ගුලියානි සමඟ ගැටුමකට එලඹි ට්‍රම්ප්ගේ ජාතික ආරක්ෂක උපදේශක නෙරපා හැරීමෙන් පසුව දෝෂාභියෝග මෙහෙයුම දියත් කර තිබේ. යුක්‍රේන ජනාධිපතිවරයා කැඳවීමට ට්‍රම්ප් ගත් තීරනයට ද බෝල්ටන් විරුද්ධ වූ බව සඳුදා හිල් වාර්තා කලේය.

ට්‍රම්ප් තම ෆැසිස්ට් ආධාරකරුවන් රජය තුල සිටින ඔහුගේ විරුද්ධවාදීන්ට එරෙහිව බලමුලු‍ ගැන්විය හැකි “සිවිල් යුද්ධයකට” තර්ජනය කරන අතර, පාලක පන්තියේ සියලු‍ කොටස් සියල්ලටම වඩා බිය වන්නේ, ට්‍රම්ප් නිර්මානය කරන ලද ධනේශ්වර ක්‍රමයටම එරෙහිව වැඩ කරන ජනතාව අව්‍යාජ ලෙස බලමුලු‍ ගැන්වෙනු ඇතැයි යන්න කෙරෙහිය.

“විදේශ මැදිහත්වීම්” ඉල්ලා සිටීමට ට්‍රම්ප් දැරූ උත්සාහය හැර අන් කිසිවක් සම්බන්ධයෙන් ඩිමොක්‍රටිකයින් තම දෝෂාභියෝග පරීක්ෂනයෙන් අභියෝග නොකරන්නේ මේ හේතුව නිසා ය. ඩිමොක්‍රටිකයන්ගේ දෝෂාභියෝග පරීක්ෂනයේ විෂය පථය ගෙනහැර දක්වමින් නිව්යෝක් ටයිම්ස් පුවත්පත ප්‍රකාශ කලේ, “පරිසරය, සංක්‍රමන, බදු, වෙලඳාම සහ වෙනත් කාරනා” පිලිබඳ ඔහු තෝරාගත් ප්‍රතිපත්ති අනුගමනය කිරීමට ට්‍රම්ප්ට ”‍නිරපේක්ෂ අයිතියක්”‍ ඇති බවයි.

Share this article: