වෘත්තීය සමිති ඕල්ටන් වතු කම්කරු වර්ජනය නතර කරයි

එම්.දේවරාජා විසිනි, 2019 ඔක්තෝබර් 12

විද්‍යුත් හැඳුනුම්පත් සහ දලු කිරීම පිනිස විද්‍යුත් තරාදි හඳුන්වාදීමට විරුද්ධව, හොරන වතු සමාගමට අයත්, හැටන් අප්කොට් හි පිහිටි ඕල්ටන් වත්තේ කම්කරුවන් ගෙනගිය අඛන්ඩ වැඩ වර්ජනය වෘත්තීය සමිති මැදිහත්වී 7 වෙනිදා නතර කර ඇත.

එදින වෘත්තීය සමිති, වතු පාලකයන් හා හැටන් සහකාර කම්කරු කොමසාරිස් අතර පැවති සාකච්චාවක දී නව ක්‍රමය තාවකාලිකව නතර කිරීමට හා ඔක්තෝබර් 13 වෙනිදා වත්තට පැමින ඒ පිලිබඳව කම්කරුවන්ට “කරුනු පැහැදිලි”‍ කිරීමෙන් පසු එය ක්‍රියාවට දැමීමට වෘත්තීය සමිති එකඟ වී තිබේ. වර්ජනය පැවති දිනවලට වැටුප් ගෙවීමට වතු පාලකයන් එකඟ වී ඇත. කෙසේ නමුත් දෛනික ඉලක්කය සැපිරීමට අසමත් වන කම්කරුවන්ගේ වැටුප කප්පාදු නොකරන බවට ලිඛිත පොරොන්දුවක් අවශ්‍ය බව හා එය දිගටම ක්‍රියාවට දැමුවොත් යලි වර්ජනයට එලඹෙන බව කම්කරුවෝ පවසති.

ඔක්තෝබර් 3 දා ඕල්ටන් කම්කරුවන් වර්ජනය ආරම්භ කලේ වෘත්තීය සමිති වලට පිටිනි. එයට වත්තේ කොටස් හතරක 1000 ක පමන කම්කරුවෝ සහභාගී වූ හ. වර්ජනය පැන නැගුනේ ඔවුන් සාමාජිකත්වය දරන ලංකා කම්කරු කොන්ග්‍රසය (සීඩබ්ලිව්සී), ජාතික කම්කරු සංගමය (එන්යූඩබ්ලිව්) සහ කඳු රට ජනතා පෙරමුන (යූපීඑෆ්) සමිති වලට පිටිනි. එහෙත් ඔවුන්ගේ මගහැරීම නොතකා, ධෛර්යමත් සහ සටන්කාමී ආකාරයෙන් වර්ජනය ඉදිරියට ගියේ ය. වැඩ වේගවත් කිරීමේ නව ක්‍රම හඳුන්වාදීම සහ අඩු වැටුප් හා දුෂ්කර සේවා කොන්දේසි කෙරෙහි වතු කම්කරුවන් අතර පැසවන කෝපය නිසා වර්ජනය සෙසු වතු වලට පැතිර යතැයි බිය වූ සමිති එය නතර කිරීමට මැදිහත් වී ඇත.

නව තාක්ෂනය යොදා ගැනීමේ වැදගත්කම ගැන යෝජිත ඊනියා කරුනු පැහැදිලි කිරීම, කම්කරුවන් ඊට යටත් කිරීම පිනිස වතු පාලකයන්, කම්කරු නිලධාරීන් සහ වෘත්තීය සමිති එක්ව සැලසුම් කර ඇති කුමන්ත්‍රනයකි. ක්‍රියාවට දැමීමට සැලසුම් කර ඇති විද්‍යුත් තාක්ෂන ක්‍රමය නිෂ්පාදනය වැඩි කිරීමට සහ වැටුප් කප්පාදුව සඳහා උපයෝගී කර ගැනීමේ සැලැස්මක කොටසක් බව කම්කරුවෝ කීහ.

“‍නව තාක්ෂනය යොදා ගන්නේ වෙනස්වන ලෝකය තුල අපේ ජීවන හා වැඩ කොන්දේසි වැඩි දියුනු කිරීමට කියා පාලකයන් කියනවා. නමුත් එය සම්පුර්න බොරුවක්. ඇත්තටම ඔවුන්ගේ අරමුන අපේ වැඩ දින ගනන අඩු කරලා වැටුප් කැපීම සහ ඔවුන්ගේ ලාභය වැඩි කර ගැනීම. දැනට අපි දිනකට තේ දලු කිලෝ 18 ක් කඩන්න ඕන. තද වැසි හා නියඟය පවතින දිනවල එම ඉලක්කය සම්පූර්න කරන එක හරිම දුෂ්කරයි”.

කිලෝ 18 ක දෛනික ඉලක්කය සම්පූර්න කිරීමට අසමත් වන කම්කරුවන්ගේ වැටුප් වතු පාලකයන් විසින් කපනු ලබයි. දවසේ පැය අටම වැඩකලත් අවම වශයෙන් දලු කිලෝ 12 ක් නෙලීමට අසමත් වන කම්කරුවන්ගේ දෛනික වැටුප අඩකින් කප්පාදු කෙරෙයි. ඒ අනුව වැටුප පමනක් නොව, අර්ථසාධක, සේවක භාරකාර අරමුදල් සහ සෙසු සමාජ ප්‍රතිලාභ ද කප්පාදු වේ.

ඉහත දී නියමිත වෙලාවට කලින් තම ඉලක්කය සපුරන කම්කරුවන්, ඉලක්කය සපුරා ගැනීමට අසමත් වන සිය සගයන ට උදව් කල බවත් නව ක්‍රමය යටතේ එසේ කල නොහැකි බවත් කම්කරුවෝ කියති. දිනකට තුන්වරක් දලු කිරනු ලබන අතර නව ක්‍රමය යටතේ නෙලනල ද දලු ප්‍රමානයන් දලු කිරා අවසන් වූ වහාම ප්‍රධාන කාර්යාලයට යවන හෙයින් තනි තනි කම්කරුවගේ නිෂ්පාදන ධාරිතාවය එම මොහොතේම සටහන් කෙරෙන බව ද එම නිසා අන්‍යොන්‍ය සහයෝගයෙන් වැඩ ඉලක්කයන් සම්පූර්න කිරීමට තිබු අවස්ථාව අහිමි වන බව ද ඔවුහු කීහ.

ඉලක්ක සැපිරීමට අසමත් කම්කරුවන්ගේ වැටුප් කප්පාදු කිරීම අප්කොට් ප්‍රදේශයේ ග්ලෙනියුජ්, ගවරවිල සහ තවත් වතු වල ද ක්‍රියාවට දමනු ලබයි

වතු සමාගම් ක්‍රියාත්මක වන්නේ වෘත්තීය සමිති වල සහයෝගය ඇතිව ආදායම් බෙදීමේ ක්‍රමයක් හඳුන්වා දීම හා වැඩ ඉලක්කයන් ඉහල දැමීම මගින් ලාභ තර කර ගැනීමේ එල්ලය ඇතිවය. ”‍අපගේ රුපියල් 1000 දෛනික වැටුප් ඉල්ලීම වතු සමාගම් ප්‍රතික්ෂේප කලා. වෘත්තීය සමිති අපේ අරගලය පාවා දුන්නා. දැන් ඔවුන් උත්සාහ කරනවා නව තාක්ෂනය හඳුන්වා දෙන්න. ඒකෙන් කරන්න හදන්නේ අපේ වැඩ කොන්දේසි තවත් දැඩි කිරීමක්. වැටුප් කැපීමක්. දැනට ලැබෙන පඩිය කෑමට අවශ්‍ය බඩු ටික මිල දී ගන්නත් මදි”‍ යයි ඕල්ටන් කම්කරුවෝ කීහ.

නිසි නඩත්තුවක් නැති නිසා වත්ත නිසරු වී ඇති බවත් ඒ නිසා ඉල්ලන ඉලක්කයන් දීමට නොහැකි බවත් කම්කරු කාන්තාවක් පැවසීය. ”‍අපේ වත්ත කැලයක් වගේ. පාලකයන් වත්ත පිරිසිදු කරවන්නේ හෝ පොහොර යොදන්නේ නැහැ. රෝගවලට බෙහෙත් යොදන්නේ නැහැ. කිලෝ 18 ක් දෙන්න කියන්නේ එහෙම තත්වයක් තුල.”‍ බව ඇය සඳහන් කලාය.

අවුරුද්දේ සමහර මාසවල දී වැඩ ඉලක්කයන් සම්පූර්න කිරීම අතිශයින් ම දුෂ්කර බව දෙදරු මවක් වන ග්ලෙනියුජ් වත්තේ සබෙස්වරී පැවසුවේය. “‍ජුලි, අගෝස්තු, සැප්තැම්බර් මාසවල දී ඔය ඉල්ලන ටාර්ගට් එක දෙන්න බැහැ”‍

වතු කම්කරුවන්ගේ අයිතීන්ට කෙටීම සඳහා වතු සමාගම් සහ ධනපති ආන්ඩුව සමග සහයෝගයෙන් වැඩ කරන වෘත්තීය සමිති ඊට හිලව් වසයෙන් ධනපති ආන්ඩුවෙන් ආර්ථික හා දේශපාලන වරප්‍රසාද සඳහා කේවල් කිරීමක සහ පොර වැදීමක යෙදී සිටිති.

එන්යූඩබ්ලිව් නායක දිගම්බරම්, යූපීඑෆ් නායක වී. රාධක්‍රිෂ්නන් සහ ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු කොන්ග්‍රසයේ (ඩීඩබ්ලිව්සී) නායක මනෝගනේෂන් රනිල් වික්‍රමසිංහගේ එක්සත් ජාතික පෙරමුනු ආන්ඩුවේ ඇමතිකම් දරමින් එය සමග පෙල ගැසී සිටින අතර පසු ගිය මහින්ද රාජපක්ෂ ආන්ඩුවේ ඇමතියෙක් වූ සීඩබ්ලිව්සී නායක ආරුමුගම් තොන්ඩමන් ජනාධිපති මැතිවරනය තුල සීඩබ්ලිව්සී ය වෙන්දේසියේ දමා වැඩිම ලන්සුව ලැබෙන තුරු බලා සිටියි.

වතු කම්කරුවන් ඇතුලු කම්කරු පන්තියට තම අයිතීන් දිනා ගත හැක්කේ වෘත්තීය සමිතිවලින් ස්වාධීනව වතු, සෙසු ආයතන හා ආශ්‍රිත කම්කරු-පන්තික නිවහන් ප්‍රදේශවල ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගනිමින් සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුවේ සහ වතු සමාගම් ඇතුලු ධනපති හාම්පුතුන්ගේ ප්‍රහාරවලට එරෙහිව කම්කරු පන්තියේ ඒකාබද්ධ අරගලයක් සංවිධානය කිරීමට හා ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට දමන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවකට ඔවුන් සටන් වැදීමෙන් පමනි.

මෙම ඉදිර්දර්ශනය හා ක්‍රියාමාර්ගය සඳහා සටන් වදින්නේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) පමනි. මෙම සටනේ කොටසක් ලෙස සසප මෙවර ජනාධිපතිවරනයට සටන් වදියි. සසප වැඩපිලිවෙල අධ්‍යයනය කරන ලෙස ද එහි මැතිවරන උද්ඝෝෂනයට සහභාගී වන ලෙස ද කම්කරුවන්ගෙන් සහ තරුනයන්ගෙන් අපි ඉල්ලා සිටිමු.

Share this article: