“නින්දෙන් ඇවිදිනවාක්” මෙන් ලෝක ආර්ථිකය තවත් මූල්‍ය අර්බුදයකට පියනඟමින් සිටින බවට හිටපු එංගලන්ත බැංකු අධිපති අනතුරු අඟවයි

World economy “sleepwalking” to another financial crisis, warns former Bank of England chief

නික් බීම්ස් විසිනි, 2019 ඔක්තෝබර් 21

2008 මූල්‍ය අර්බුදය අතරතුර එංගලන්ත බැංකුවේ අධිපති ලෙස කටයුතු කල මර්වින් කිං විසින් ගෝලීය මූල්‍ය ක්‍රමය විනාශකාරී මූල්‍ය අර්බුදයකට ගමන් කරමින් සිටින බවට දැඩි අනතුරු ඇඟවීමක් කලේය. පසුගිය සතියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අර්ධ වාර්ෂික රැස්වීමේදී පවත්වන ලද දේශනයකදී ඔහු කියා සිටියේ, දශකයකට පෙර බිඳවැටීමට හේතු වූ කරුනු පිලිබඳව එහිදී අදහස් පල නොවූ බවයි.

“ප්‍රජාතන්ත්‍රවාදී වෙලඳපොල පද්ධතියක නීත්‍යානුකූල භාවයට තවත් ආර්ථික හා මූල්‍ය අර්බුදයක් විනාශකාරී වනු ඇත,” කිං පැවසීය. “මූල්‍ය ප්‍රතිපත්තියේ නව සම්ප්‍රදායට ඇලී සිටීමෙන් හා බැංකු ක්‍රමය සුරක්ෂිත කර ඇති බව මවා පාමින් අපි, එම අර්බුදය කරා සිහිනෙන් මෙන් ගමන් කරමින් සිටිමු.”

ලෝකය අඩු වර්ධනයේ උගුලක සිරවී සිටින බැවින්, තවත් අර්බුදයක් හමුවේ ඊට එරෙහිව සටන් කිරීමට ෆෙඩරල් මහ බැංකුවට නොහැකි වුවහොත්, එක්සත් ජනපදයට “දැවැන්ත මූල්‍ය ” අරගලයක් කිරීමට සිදුවනු ඇතැයි කිං අනතුරු ඇඟවීය. 2008-9 අර්බුදයෙන් ගොඩ ඒම, මහා අවපාතයෙන් ගොඩ ඒමට වඩා දුර්වල බව ඔහු ප්‍රකාශ කලේය.

ජාමූඅ පැවැත්වූ රැස්වීමේදී කියා සිටියේ ලෝකය, වර්ධනයේ පොදු මන්දගාමීත්වයකට මුහුනපා සිටින බවයි. ඒවා සංකේන්ද්‍රනය වී ඇත්තේ ප්‍රධාන ආර්ථිකයන් තුලය. සාකච්ඡා අවසන් වීමට පෙර සිටම එම අනතුරු ඇඟවීම අවධාරනය කර තිබුනි.

මේ වසරේ තුන්වන කාර්තුවේදී චීන ආර්ථිකය සියයට 6 කින් වර්ධනය වී ඇති බව සිකුරාදා නිවේදනය කරන ලදී. එය එරට ආර්ථික වර්ධනය 30 වසරක් තුල වාර්තා කල පහත්ම අගයයි. එක්සත් ජනපදය සමඟ වෙලඳ යුද්ධය, නිෂ්පාදනය මන්දගාමී වීම සහ ආයෝජන අවස්ථා හැකිලීම ඊට ප්‍රධාන වශයෙන් බලපෑවේය.

විශ්ලේෂකයින්ගේ අපේක්ෂාවන්ට වඩා අඩු, නවතම සංඛ්‍යා නිකුත් කරමින් ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශය පැවසුවේ, සාමාන්‍යයෙන් ජාතික ආර්ථිකය, පලමු කාර්තු තුන තුල “පොදුවේ ස්ථාවරත්වය පවත්වා ගෙන යන” බවයි. “කෙසේ වෙතත්, දී ඇති දේශීය මෙන්ම විදේශීය වශයෙන් සංකීර්නවූ හා බරපතල ආර්ථික තත්වයන්, එනම්, මන්දගාමී ගෝලීය ආර්ථික වර්ධනය, වැඩිවන බාහිර අස්ථාවරත්වය සහ අවිනිශ්චිතතා හමුවේ, ආර්ථිකය පහත වැටෙන පීඩනයකට ලක්ව ඇති බව අපගේ සැලකිල්ලට ලක්විය යුතුය.”

එක්සත් ජනපද වෙලඳ යුද්ධයේ බලපෑම පිලිබිඹු කරමින් වර්ෂය තුල, චීන අපනයන සියයට 3.2 කින් පහත වැටී ඇත. එහෙත් වෙලඳ ආතතීන් කිසිසේත්ම එකම ගැටලුව නොවේ. ආර්ථිකයේ ප්‍රධාන ගාමකය වන ඉදිකිරීම් කටයුතුවල වර්ධනය තුන්වන කාර්තුවේදී වාර්ෂික සාමාන්‍යයකින් ගත් කල සියයට 4.7කින් අඩුවී ඇත. දෙවන කාර්තුවේ ආයෝජන වැටීම සියයට 5.5ක අනුපාතයකින් සිදුව ඇත.

චීන වර්ධනය සියයට 6ක් හෝ ඊටත් වඩා පහල මට්ටමකට ගමන් කරමින් ඇති බව පෙනේ. එය අඛන්ඩව පහත වැටීමේ ප්‍රවනතාවක් වන අතර එම මට්ටම දැන්, “සමාජ ස්ථාවරත්වය” පවත්වා ගැනීමට අවශ්‍ය මට්ටම ලෙස ආන්ඩුව විසින් කලින් නියම කර තිබූ සියයට 8 අනුපාතයට වඩා බෙහෙවින් අඩු ය.

නවතම දත්ත පිලිබඳ ෆිනෑන්ෂල් ටයිම්ස් වාර්තාවේ සඳහන් කර ඇති පරිදි: “වර්ධනය මන්දගාමී වීමේ සලකුනු පෙන්නුම් කරද්දී, පසුගිය වසර පහක විවාදය, සිසිල් වන ආර්ථිකයක් හා සම්බන්ධ පීඩනයන් දරා ගැනීමට චීනයට සහ එහි දේශපාලන ක්‍රමයට හැකි ද යන්න පිලිබඳව සිදුව ඇත. ඉහල විරැකියාව, පීඩාවට පත් බැංකු පද්ධතිය සහ ආර්ථිකය විවෘත කිරීමෙන් පසු දශක ගනනාවක් තිස්සේ, රටේ වර්ධනයෙන් ප්‍රතිලාභ ලත්, අඩු සංවර්ධනයක් සහිත කලාපවල වෙසෙන බොහෝ දෙනාගේ අපේක්ෂාවන් වියැකී යාම ද මෙසේ සාකච්ඡාවට බඳුන්ව තිබුනි.”

ගෝලීය මන්දගාමිත්වය පිලිබඳ තවත් ප්‍රකාශනයක් තුල ජර්මානු ආන්ඩුව, ලබන වසරේදී ලෝකයේ සිව්වන විශාලතම ආර්ථිකය ලෙස එරට වර්ධනය සඳහා වන පුරෝකථනය සියයට 1.5 සිට සියයට 1 දක්වා සංශෝධනය කර ඇති අතර, 2019 සඳහා සියයට 0.5ක වර්ධනයක් පමනක් අපේක්ෂා කරයි. දෙවන කාර්තුවේදී ජර්මානු ආර්ථිකය 0.1කින් හැකිලී ගියේය; තෙවන කාර්තුව තුල ද එවැනිම හැකිලීමක් අපේක්ෂා කෙරේ. එය, පිට පිට කාර්තු දෙකක් තුල සිදුවන හැකිලීමක් “තාක්ෂනික අවපාතයක්” ලෙස නිර්වචනය කර ඇති තත්වයකට එරට පත් කරයි.

රැස්වීම අවසානයේදී ජාමූඅ හා ජාත්‍යන්තර මූල්‍ය හා මූල්‍ය කමිටුව (අයිඑම්එෆ්සී) නරක අතට හැරෙන ගෝලීය දැක්ම අවධාරනය කරමින් ප්‍රකාශයක් නිකුත් කල හ. මේ වසරේ ලෝක ආර්ථිකය සියයට 3කින් පමන වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කල නමුත් අප්‍රේල් මාසයේ සිට වේගය අඛන්ඩව දුර්වල වෙමින් ඇත. ලබන වසරේ වර්ධනය ඉහල යනු ඇතැයි පුරෝකථනය කර ඇති අතර, එම දැක්ම “බෙහෙවින් අවිනිශ්චිත හා පහත වැටීමේ අවදානම් වලට යටත් විය.”

“ප්‍රතිපත්ති අවකාශයේ සීමිත පසුබිම, ඉහල සහ තව තවත් ඉහල යන නය මට්ටම් සහ ඉහල මූල්‍ය අවදානම්, වෙලඳ ආතතීන්, ප්‍රතිපත්ති අවිනිශ්චිතතා සහ භූදේශපාලනික අවදානම් මෙයට ඇතුලත් ය. අනෙකුත් දිගුකාලීන අභියෝග ද පවතී යයි” අයිඑම්එෆ්සී ප්‍රකාශය පවසයි.

වර්ධනය නැංවීම සහ “ඔරොත්තු දීමේ හැකියාව වැඩි දියුනු කිරීම” සඳහා “සියලු සුදුසු මෙවලම්” භාවිතා කිරීමේ අවශ්‍යතාවය පිලිබඳ හිස් ප්‍රකාශන මාලාවක් පමනක් විස්තර කල හැකි ප්‍රකාශ, මින් පසුව නිකුත් විය. වෙලඳ ආතතීන් විසඳීමට සහ ජාත්‍යන්තර සහයෝගීතාව ශක්තිමත් කිරීමට කරන කැඳවීම් ද ඒ අතර වේ. ඒවා නමට පමනක් සීමාවීමට නියමිතය.

කිංගේ ප්‍රකාශයන් පිලිබිඹු කරන පරිදි, සැබෑ තත්වය වඩාත් නිවැරදිව විස්තර කරනු ලැබුවේ විධිමත් සාකච්ඡා හා ප්‍රකාශවලින් බැහැර අදහස් හා සාකච්ඡා මගිනි.

ෆිනෑන්ෂල් ටයිම්ස්එම තත්වය වාර්තා කලේ, මුදල් ඇමතිවරුන් සහ මහ බැංකුකරුවන් “ගෝලීය අවපාතයක් පැමිනෙනු ඇතැයි යන බිය මතු නොකල නමුත් පුද්ගලික, ජාත්‍යන්තර සහ ජාතික නිලධාරීන් එතරම් නිශ්චිත නැත” යනුවෙනි.

ලෝක බැංකුවේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ පිනෙලෝපි ගෝල්ඩ්බර්ග්, ආර්ථික පසුබෑමක් හමුවේ, ප්‍රතිපත්ති සම්පාදකයින් සතුව එයට එරෙහිව යාමට තරම් මාධ්‍යයන් නොපවතින්නේය යන බිය පල කලා ය.

“ප්‍රතිපත්තිය මගින් අස්ථාවරත්වය ඉවත් කරන්නේ යයි සලකනු ලබන නමුත්, ඒ වෙනුවට එය පැරනි නිශ්චිතතා යටපත් කරයි” යනුවෙන් ඇය පැවසුවාය. “හෙට කුමක් සිදුවේදැයි කිසිවෙකු දන්නේ නැත.”

නරක අතට හැරෙන ආර්ථික හා මූල්‍ය තත්ත්වය සහ එය සමඟ ගනුදෙනු කරන්නේ කෙසේද යන්න පිලිබඳව ලෝකයේ ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ වැඩෙන ව්‍යාකූලත්වය, ජාමූඅ රැස්වීමේදී එක්සත් ජනපද ව්‍යාපාරික නාලිකාවක් වන සීඑන්බීසී විසින් අනුග්‍රහය දක්වන ලද පැයක කාලයක් පැවති සාකච්ඡාවකදී අනාවරනය විය.

ලෝක ආර්ථිකය නංවාලීම සඳහා පියවර ගන්නා ලෙස ප්‍රතිපත්ති සම්පාදකයින්ගෙන් ඉල්ලා සිටිමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කලමනාකාර අධ්‍යක්ෂ ක්‍රියස්ටලිනා ජෝර්ජීවා සාකච්ඡාවට එක්වූවාය. අරමුදලේ නිර්දේශ පිලිපැදීමට අදහස් කරන ප්‍රේක්ෂකයන්ගේ අත් ඔසවන ලෙස ඇය ඉල්ලා සිටියාය.

වෝල් ස්ට්‍රීට් ජර්නලය පෙන්වා දුන් පරිදි, “බොහෝ අත් එසවුනේ නැත.”

සාකච්ඡාව අතරතුර ජෝර්ජීවා, ලෝක ආර්ථිකයට “නරක ආරංචියක්” ලෙස ඇය හඳුන්වන දේ ඉදිරිපත් කලාය. දියුනු ආර්ථිකයන්හි, පලදායිතා වර්ධනය සමතලා වී ඇති අතර “ඉදිරියට යාමේ කිසිම සලකුනක් නොපෙන්වයි” සහ වර්ධනයක් ඇති කිරීමට නොසමත් ය.

මුලු අගයෙන් හතරෙන් එකක් පමන වන ඩොලර් ට්‍රිලියන 15ක් පමන වටිනා බැඳුම්කර සෘනාත්මක ප්‍රතිලාභ සහිතව වෙලඳාම් කරමින් සිටින මූල්‍ය වෙලඳපොලවල තත්වය ගැන සඳහන් කරමින් ඇය, අඩු වර්ධනයේ ප්‍රතිවිපාක පෙන්වා දුන්නාය. “අමුතු දේවල්” සිදුවෙමින් පවතින්නේ, අව්‍යාජ ප්‍රතිලාභ අත්කර ගැනීම සඳහා සාමාන්‍යයේ මාවත දියුනු ආර්ථිකයන් තුල විවෘත නොවීම හේතුවෙනි.

තාක්ෂනික වෙනසක් සිදු වෙමින් පවතින්නේ වී “නමුත් එය වර්ධනයක් ඇති නොකරයි.”

ලෝකයේ විශාලතම හෙජ් අරමුදල්වලින් එකක් වන බ්‍රිජ්වෝටර් හි ප්‍රධානී රේ ඩාලියෝ පැවසුවේ, 1930 ගනන්වල පැවති තත්වයට සමාන “විශාල අගාධයකට” ආර්ථික පරිසරය ඇතුලු වී ඇති බවයි.

ලෝකයේ මහ බැංකු විසින් මුදල් ප්‍රතිපත්තිය තවදුරටත් ලිහිල් කිරීමෙන් ඇතිවිය හැක්කේ සුලු වෙනසක් පමනි. මක්නිසා ද යත්, එය දැනටමත් එහි සීමාවන් කරා ලඟාවී ඇති බැවින් යයි ඔහු පෙන්වා දුන්නේය. ආන්ඩුවල නය සඳහා මුදල් සම්පාදනය කිරීමට මහ බැංකු විසින් ක්‍රියාත්මක කල, පොලී අනුපාත කප්පාදු කිරීම හා ප්‍රමානාත්මක ලිහිල් කිරීමකින් පසුව මුදල් ප්‍රතිපත්තියේ තුන්වන අදියරක් පවතිනු ඇතැයි තමා විශ්වාස කරන බව ඩාලියෝ මීට පෙර පෙන්වා දී තිබේ. එනම් ආන්ඩු වලට වඩ වඩාත් නය ගත හැකි වන පරිදි මහ බැංකු විසින් සෘජුවම මුදල් සම්පාදනය කරනු ලබන අතර, ආන්ඩු වලට සෘජුවම පාරිභෝගිකයින් වෙත මුදල් සම්පාදනය කිරීමේ හැකියාව ද ඇති කරයි.

ජපානය ද සමඟ එක්ව යුරෝපය, වර්තමාන ප්‍රතිපත්තිවල සීමාවේ සිටින අතර එක්සත් ජනපදයට ඉදිරියට යාමට වැඩි ඉඩක් නැත යයි ඩාලියෝ පවසයි.

ලෝකය දැන් 1930 ගනන්වලින් පසු විශාලතම ධන පරතරය අත්විඳිමින් සිටියි. “එක්සත් ජනපදයේ, ජනගහනයේ ඉහලම සියයට 1න් ඉහලම දහයෙන් එකකගේ ශුද්ධ වටිනාකම, පහලම සියයට 90 අගයට සමාන වේ.”

ගෝලීය ආර්ථිකයේ නරක අතට හැරෙන තත්වය සමඟ ගනුදෙනු කිරීම සඳහා වන ඕනෑම සම්බන්ධීකරන ප්‍රතිපත්තියක් ගැටලු සහගත වීම, දේශපාලන ආතතීන් ඇති කරයි. ඩාලියෝගේ බෙහෙත් වට්ටෝරුව වුනේ, ජාතික අවශ්‍යතා පසෙකට දමන මධ්‍යස්ථ දේශපාලන නායකයින් වගකීම භාර ගැනීමයි. එහෙත් එය වඩාත් දුෂ්කර දෙයකි. මක්නිසා ද යත්, 1930 ගනන් සිහිපත් කරමින් ඔහු දකුනේ සහ වමේ “ජනතාවාදයේ” නැගීම ලෙස හඳුන්වන දේ නිසාය.

ජාමූඅහි හිටපු නියෝජ්‍ය කලමනාකාර අධ්‍යක්ෂක සහ දැන් සිංහුවා විශ්ව විද්‍යාලයේ ජාතික මූල්‍ය පර්යේෂන ආයතනයේ සභාපති ෂු මින් පැවසුවේ, සැබෑ අභියෝගය, වර්ධනය ශුන්‍යයට වඩා ඉහල හෝ පහල මට්ටමක පවතිනවා ද වැනි, සම්භාව්‍ය ලෙස අර්ථ දක්වා ඇති අවපාතයක් පමනක් නොවන බවයි . මක්නිසා ද යත්, පොලී අනුපාත ඉතා අඩු නිසා, වර්ධනය ඉතා පහල මට්ටමකට වැටී ඇති නිසා, “මුලු භූ දර්ශනයම බිඳ වැටිය හැකිය. මම හිතන්නේ ඒක තමයි නියම අවදානම.”

Share this article: