වෘත්තීය සමිති අනධ්‍යන සේවක වර්ජනය පාවාදෙයි

දේහින් වසන්ත විසිනි, 2019 ඔක්තෝබර් 13

දින 31ක් පුරා පැවති විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයන්ගේ ධෛර්ය සම්පන්න අරගලය, විශ්ව විද්‍යාල වෘත්තීය සමිති එකමුතුව (විවිවෘසඑ) විසින්, කිසිදු ඉල්ලීමක් දිනා නොගෙන ආන්ඩුවේ “පොරොන්දු”‍ වලට යටත් කරමින් පාවා දෙනු ලැබ ඇත. ඔක්තෝබර් 11 දා වර්ජනය අවසන් කල විවිවෘසඑ 14 දා සිට සේවයට වාර්තා කරන ලෙස සාමාජිකයන්ට දැනුම් දී තිබේ.

වර්ජනය අවසන් කිරීම සඳහා උසස් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් එම්.වී.එම්.පී කේ. මායාදුන්නේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මොහාන් ද සිල්වා හා වෘත්තීය සමිති අතර 11 දා ගිවිසුමක් අත්සන් කෙරුනි. ගිවිසුම මෙතක් ප්‍රසිද්ධ කර නැත. මාධ්‍ය මගින් ප්‍රකාශයට පත්කර ඇති පරිදි, ගිවිසුම් ප්‍රකාරව අනධ්‍යයන සේවක වැටුප් “විෂමතාවය”‍ විසඳීමට අවශ්‍ය තොරතුරු උසස් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් විසින් ජාතික වැටුප් හා සංඛ්‍යාත කොමිසමට ලබා දිය යුතුය. කොමිසම අදාල යෝජනා, ඒ පිලිබඳව වෘත්තීය සමිතිවල එකඟතාවය ලබාගැනීමෙන් අනතුරුව, කැබිනට් මන්ඩලය වෙත ඉදිරිපත් කල යුතුය. වර්ජනයේ යෙදුන සේවකයන් කිසිදු දඬුවමකට යටත් නොකල යුතු බවට කොන්දේසියක් ද ගිවිසුමට ඇතුලත් කර ඇත.

වර්ජනය නතර කිරීම පිලිබඳව සාමාජිකයන්ගේ අදහස් විමසීමක් නොකල අතර සඳුදා “‍කරුනු”‍ පැහැදිලි කිරීමක් කරන බව විවිවෘසඑ විසින් නිවේදනය කර තිබේ. වර්ජනය අවසන් කිරීමට පෙරාතුව සාමාජිකයන් ගේ අදහස් විමසනු ලැබුවේ නම් නිසැකව ම ඔවුන්ගේ බාරපතල විරෝධයකට මුහුන දීමට සමිති නිලධරයට සිදුවනු ඇත.

වැටුප් කොමිසම යෝජනා “‍සතුටුදායක”‍ නොවුනොත් යලි වර්ජනය ආරම්භ කරන බව විවිවෘසඑ පවසා තිබේ. “නොවැම්බර් 2 වෙනිදා වනවිට ඔවුන්ගේ යෝජනා ඉදිරිපත් කරන බව පවසා තිබෙනවා. එම යෝජනා අසතුටුදායක බව අපට පෙනුනොත් දැනුම්දීමකින් තොරව වර්ජනය නැවත ආරම්භ කරන”‍ බව විවිවෘසඑ මාධ්‍ය ප්‍රකාශක සමන් කාරියවසම් පවසා ඇත. කාරියවසම් ගේ ප්‍රකාශය අරගලය පාවාදීම සම්බන්ධයෙන් අනධ්‍යන සේවකයන් අතරින් මතු විය හැකි බරපතල විරුද්ධත්වයක් කල්තියාම සමනය කිරීම සඳහා සමිති නිලධරය දරන ප්‍රයත්නයේ කොටසකි.

වැටුප් අරගලයට සම්බන්ධ වූ 17,000 ක් විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයෝ ඉමහත් සටන්කාමිත්වයක් ප්‍රදර්ශනය කරමින් සිය අයිතීන් දිනා ගැනීමේ අරගලය පෙරට ගෙන යාමේ බරපතල උත්සුකතාවයක් පෙන්නුම් කලහ. වෘත්තීය සමිතිවල සීමා කිරීම් තිබිය දී ඔව්හු පිකටින් හා පාගමන් වල නිරත වූ අතර සැප්තැම්බර් 18 වෙනිදා කොලඹ පැවති පාගමනට 5000 ට අධික ගනනක් සහභාගී වුහ. සමිතිවලට වර්ජනය කැඳවීමට බල කෙරුනේ ආන්ඩුව විශ්ව විද්‍යාල අනධ්‍යන සේවක වැටුප් ගැටලු වලට විසඳුම් සම්පාදනය කිරීම මගහැරීම සහ විසඳුම් සම්පාදනය කරන බවට දුන් පොරොන්දු යලි යලිත් කඩ කිරීම නිසාවෙන් සේවකයන් අතර පැසවන කෝපය හා නොසන්සුන්කම නිසාවෙනි. එහෙත් වර්ජකයන්ගේ සටන්කාමිත්වය වැඩෙත්ම එය දියාරු කර දැමීමට තීන්දු කල සමිති නිලධරය සැප්තැම්බර් 26 දා කොලඹ දී පැවැත්වීමට නියමිතව තිබු උද්ඝෝෂනය “අයහපත් කාලගුනය”‍ නිසා නතර කලහ.

වැටුප් විෂමතා ගැටලු‍ව සම්බන්ධයෙන් අමාත්‍ය මන්ඩල තීරනය ලැබී ඇති නිසා වර්ජනය අතහැර සේවයට වාර්තා කරන ලෙස ආමත්‍යංශ ලේකම් මායාදුන්නේ ඔක්තෝබර් 2 දා විවිවෘසඑ යොමුකල ලිපියකට ප්‍රතිචාර දක්වමින් ඔක්තෝබර් 04 දා සියලු‍ම විශ්වවිද්‍යාල වල අනධ්‍යන කම්කරුවන්ගේ සහභාගීත්වයෙන් කොලඹ දී පැවැත්වීමට සූදානම් කර තිබුනු පා ගමන හා උද්ඝෝෂනය ඇතුලු සියලු‍ උද්ඝෝෂන ඔක්තෝබර් 7 දා දක්වා නතර කිරීමට වෘත්තීය සමිති පියවර ගත්හ.

අනතුරුව හැකි ඉක්මනින් ආන්ඩුව සමග සම්මුතියකින් වර්ජනය නතර කිරීමට තීන්දු කල වෘත්තීය සමිති ඉල්ලීම් ඉටු කරන බවට “ලිඛිත”‍ පොරොන්දුවක් තමන්ට ලබා දෙන ලෙස ආන්ඩුවට කන්නලව් කලහ.

අනධ්‍යන හා දුම්රිය කම්කරුවන්ගේ සහ ගුරුවරුන්ගේ අරගල ධනපති පාලක පන්තීන්ගේ ප්‍රහාරවලට එරෙහිව වර්ධනය වන ගෝලීය පන්ති අරගලයේ සහ සමාජ අරගලවල කොටසකි. ඇමරිකාවේ ජෙනරල් මෝටර්ස් සහ ඉන්දියාවේ මදර්සන් මෝටර් රථ කම්කරුවෝ රැකියා හා වැටුප් සම්බන්ධ ඉල්ලීම් මත ආරගලයට මේ මොහොතේ පිවිස සිටිති. ඊට පෙරාතුව ඇමරිකාවේ ගුරුවරුන්ගේ, මෙක්සිකෝවේ කාර්මික කම්කරුවන්ගේ, ඉන්දියාවේ රාජ්‍ය බැංකු සේවකයන්ගේ සහ නවසීලන්තයේ හෙද සේවකයන්ගේ අරගල මෙම වසරේ පැනනැගුන අතර ප්‍රන්සයේ කහ බැනියම් විරෝධතා ව්‍යාපාරය සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් මර්දනය කිරීමට එරෙහිව හොංග්කොංග් මහජනතාවගේ අරගල අඛන්ඩව ඇදී යන අතර ඊජිප්තුවේ මිලිටරි පාලනයට එරෙහි අරගල ද පැන නැගී ඇත.

අනධ්‍යන සේවක වර්ජනය ජීවන තත්වයන්ට හා සේවාකොන්දේසි වලට එල්ල කරන ප්‍රහාරවලට එරෙහිව සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුවට අභියෝග කරමින් වැඩෙන පන්ති අරගල රැල්ල සමග ඒකාබද්ධ වීමට පැවති ශක්‍යතාවය කෙරෙහි ආන්ඩුව මෙන් ම වෘත්තීය සමිති සිටියේ භීතියට පත්වය. විවිවෘසඑ සහ ආන්ඩුව අතර වර්ජනය නතර කිරීමේ ඊනියා ගිවිසුම අත්සන් කෙරුනේ එම කොන්දේසි තුලය. එහෙත් එය අනධ්‍යන සේවක වැටුප් ප්‍රශ්නයට විසඳුමක් නොව, ඔවුන්ගේ අරගලයට ඇබ ගැසීමේ ආන්ඩුවේ, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සහ වෘත්තීය සමිති වල ඒකාබද්ධ කුමන්ත්‍රනයකි. ඊට පෙරාතුව දුම්රිය සහ ගුරු වර්ජන නතර කෙරුනේ ද ප්‍රශ්න විසඳන බවට ආන්ඩුව දුන් “‍පොරොන්දු”‍ පිලිගෙනය.

පසුගිය වසරේ දින 44 ක අනධ්‍යන සේවක වර්ජනය ද, ගුරු, දුම්රිය, තැපැල් ඇතුලු කම්කරුවන්ගේ සහ ගුරුවරුන්ගේ අරගල ද වෘත්තීය සමිති විසින් පාවා දෙනු ලැබුවේ, මෙවන් හිස් පොරොන්දු වලට යටත් කිරීමෙනි.

ආන්ඩුවේ පොරොන්දු කෙරෙහි අනධ්‍යන සේවකයන් හෝ සෙසු කම්කරුවන් කිසිදු මිත්‍යාවක් තබා නොගත යුතුය. සේවකයන්ගේ වැටුප් විශමතා විසඳීමට රුපියල් කෝටි 1150 ක් අවශ්‍ය බවත් මෙම අවස්ථාවේ එය දැරිය නොහැකි බැවින් කවර හෝ වැටුප් වැඩිකිරීමක් කල නොහැකි බව මුදල් ඇමති මංගල සමරවීර මෑත දී ප්‍රසිද්ධියේ ප්‍රකාශ කලේ ය. රාජ්‍ය අමාත්‍යංශ සහ දෙපාර්තමේන්තුවල වියදම් සියයට 10 කින් කපා හරින ලෙස භාන්ඩාගාර ලේකම් ආර්.එච්.එස්. සමරතුංග පසුගිය සතියේ නියෝග කලේ ය. ඊට පෙරාතුව සියයට 15 කින් රාජ්‍ය වියදම් කප්පාදු කලේ ය. ඒ අනුව සමස්ත කප්පාදුව සියයට 25 කි.

ඒ අතර මේ වසරේ දී සියයට 5.6 ක් වෙතැයි ගනන් බලා ඇති රාජ්‍ය අයවැය පරතරය ලබන වසර තුල සියයට 3.5 දක්වා අඩු කරන ලෙසත් රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යූහකරනය හා පුද්ගලීකරනය කඩිනම් කරන ලෙසත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෑත දී යලි අවධාරනය කලේය.

එවන් කොන්දේසි යටතේ සිරිසේන-වික්‍රමසිංහ ඇතුලු ධනපති පාලක පන්තිය යොමු වී සිටින්නේ රට තුල ”‍ශක්තිමත්”‍ පාලනයක් ස්ථාපිත කිරීම කෙරෙහිය. ජනාධිපති මැතිවරන උද්ඝෝෂනය තුල එක්සත් ජාතික පක්ෂයේ (එජාප) හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ (ශ්‍රීලංපොපෙ) සහ එයට සහය දෙන ජනාධිපති සිරිසේනගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (ශ්‍රීලනිප) මෙන් ම ධනපති දේශපාලන සංස්තාපිතයට බද්ධව සිටින ජනතා විමුක්ති පෙරමුනේ ප්‍රධාන තේමාව එයයි. එනම් පන්ති අරගල සහ වැඩකරන ජනයාගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් මැඩලිය හැකි පොලිස් ආඥාදායක පාලනයකට මාරුවීමය.

අනධ්‍යන වෘත්තීය සමිති ඇතුලු සියලු‍ම වෘත්තීය සමිති ඒ හෝ මේ කන්ඩායමට සහයෝගය දෙමින් ධනපති පාලක පන්තියේ මෙම ප්‍රතිගාමී සැලසුම් සමග පෙල ගැසී සිටිති. විශ්ව විද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පවත්වාගෙන යන නිල ෆේස්බුක් පිටුවේ පසුගිය සතියේ මෙවන් සටහනක් පලකර තිබුනි “අපිට පාරෙ සටන් කරමින් කල්මරන්න බෑ. පැහැදිලි විසඳුමක් කඩිනමින් ඕනෑ. මොකද රට භාර දෙන කෙනා තෝරන්න අපි මේකෙන් නිදහස් විය යුතුයි.” එනම් වර්ජන හා උද්ඝෝෂන නතර කොට පාලක පන්තියේ මෙම ප්‍රතිගාමී සැලසුම් වලට තල්ලු‍ව දීමට සුදානම් බවය.

අනධ්‍යන කම්කරුවන් ඇතුලු සමස්ත කම්කරු පන්තිය වෘත්තීය සමිති වල ද්‍රෝහී ක්‍රියා කලාපය අවබෝධ කර ගත යුතුය. ඔවුන්ට තම අරගලය දැනුවත්ව හා බැරෑරුම් ව සංවිධානය කල හැක්කේ වෘත්තීය සමිති වලින් ස්වාධීනව ගොඩනගන ක්‍රියාකාරී කමිටු හරහා ධනපති පාලක පන්තියේ ප්‍රහාරවලට එරෙහිව පොදු අරගලයක් තුලින් පමනි. එය ධනපති පන්ති පාලනයට එරෙහි දේශපාලන අරගලයකි. එනම් ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස සමාජවාදී පිලිවෙතක් ක්‍රියාවට දමන කම්කරුවන්ගේ සහ ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා සටන් වැදීමයි.

ජනාධිපති මැතිවරනය තුල දී මෙම ඉදිරිදර්ශනය මත සටන් වදින්නේ සමාජවාදී සමානත පක්ෂය (සසප) පමනි. සසප අපේක්ෂක පානි විජේසිරිවර්ධනට චන්දය දෙන ලෙසත් සසප වැඩ පිලිවෙල අධ්‍යයනය කරමින් එය කම්කරු පන්තියේ විප්ලවවාදී පක්ෂය ලෙස ගොඩනැගීමට උරදෙන ලෙසත් කම්කරුවන්ගෙන් හා තරුනයන්ගෙන් අපි ඉල්ලා සිටිමු.

Share this article: