පේරාදෙනි අනධ්‍යයන සේවක සමිති නිලධාරීන් සසප සාමාජිකයන්ට එල්ල කල මැර තර්ජන හෙලා දකිනු!

තිසර සේනානායක සහ සේන මහගමගේ විසිනි , 2019 ඔක්තෝබර් 20

ඔක්තෝබර් 24 වැනි දින මහනුවර නගරයේදී පැවැත්වීමට නියමිත සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) ජනාධිපතිවරන රැස්වීම ඉලක්ක කරගනිමින් බදාදා උදේ හතට පමන සසප සාමාජිකයන් කන්ඩායමක් පේරාදෙනිය ගලහ මංසන්ධියේදී ප්‍රචාරක පත්‍රිකා බෙදා හරිමින් විශ්වවිද්‍යාලයේ කම්කරුවන්, ශිෂ්‍යයන් හා අවශේෂ ජනයා දැනුවත් කිරීමේ උද්ඝෝෂනයක නිරත විය. එම උද්ඝෝෂනයේ දී විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන්ගේ අඛන්ඩ වැඩ වර්ජනය පාවාදීම පිලිබඳ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පල වූ “‍වෘත්තීය සමිති අනධ්‍යන සේවක වර්ජනය පාවා දෙයි”‍ හිසින් යුතු ලිපිය ද බෙදා හරින ලදී.

සාර්ථක උද්ඝෝෂනයකින් පසු සසප සාමාජිකයන් විසිරයාමේ දී ගලහ හන්දියේ සිටි අප සාමාජිකයන් දෙදෙනකුට පේරාදෙනිය විශ්වවිද්‍යාල වෘත්තිය සමිති එකමුතුවේ නායකයින් කිහිප දෙනෙකු පැමින අප කල උද්ඝෝෂනයට විරුද්ධ ව තර්ජනය කලහ. පේරාදෙනිය විශ්ව විද්‍යාල සේවක සංගමයේ සභාපති ලාල් ලගමුව නැමැත්තා එහිදී මැරයෙකු මෙන් “ඔය පත්‍රිකා බෙදන්නේ කාගේ අවසරයක් අරගෙන ද? ඕවා මේ විශ්වවිද්‍යාල භූමියේ බෙදන්න බෑ” යයි තර්ජනය කලේය. “පසුව ඔහු අප සාමාජිකයෙකුට පහරදීමට තැත් කරමින් එක් සසප සාමාජිකයකුගේ ජංගම දුරකතනයට ද හානි සිදු කර ඇත.

විසිර ගිය සසප සාමාජිකයන් මෙම ප්‍රහාරය සැලවීමත් සමග එම ස්ථානයට පැමිනි අවස්ථාවේදී පේරාදෙනි විශ්වවිද්‍යාල අනධ්‍යන සේවක වෘත්තිය සමිති එකමුතුවේ නායකයින් සහ ඔවුන්ගේ හෙංචයියන් 25ක් පමන එම ස්ථානයට පැමින අප සාමාජිකයන් වටකොටගත් හ. සමිති එකමුතුවේ සභාපති පී.කේ. රුවන් කුමාර නැමැත්තා හැසුරුනේ වෘත්තීය සමිතිවල සැබෑ නිරුවත හෙලි වන අයුරිනි. ඔහු නැවත “‍පත්‍රිකා බෙදීම සඳහා විශ්වවිද්‍යාල භූමියේ පස් පෑගීම තහනම් බවත්”‍ ඔවුන්ගේ අවසරයකින් තොරව ම “වෙබ් අඩවියට ලිවීම තහනම්”‍ බවත් ය. එම තර්ජන කිරීම් වලට එක්වූ තවත් නිලධාරියෙක් වූයේ සමිති එකමුතුවේ භාන්ඩාගාරික ප්‍රියන්ත වීරසුරිය නැමැත්තා ය.

විශ්ව විද්‍යාලය තුල දේශපාලනය කිරීමට සසපට ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් ඇති බවත් තර්ජන වලින් සසප පසු බැස්වීමට නොහැකි බවත් අප සහෝදරවරු ප්‍රකාශ කලහ. එවිට “කරලා බලමු”‍ ලෙස රුවන් කුමාර බිරුසන් දුනි. තවත් නායකයෙක් මැර උසිගැන්වීම සූදානම් කරන බවට තර්ජනාත්මක ඇඟවුමක් කරමින් සඳහන් කලේ “අපේ සාමාජිකයන් කලබල වී තමුසෙලාට ප්‍රහාර එල්ල කරන්න ඉඩ තියෙනවා. එහෙම කලොත් අපිට කරන්න දෙයක් නෑ”‍යනුවෙනි.

නමුත් ඇත්ත තත්වය නම් බහුතර සාමාජිකයින් දීර්ඝකාලීන වෘත්තීය සමිති පාවාදීම් ගැන කලකිරී සසප සමග උනන්දුවෙන් සාකච්චා කරමින් සිටින බව ය. දන්ඩෙන් පහර ලත් සර්පයන් සේ සමිති නායකයින් කිපී සිටින්නේ ඔවුන්ගේ පාවාදීම් හෙලි කරමින් සසප සහ ලොසවෙඅ ක්‍රියා කිරීම පිලිබඳවයි.

මොරටුව විශ්වවිද්‍යාල සමිති නිලධරය සසප ප්‍රමුඛ සාමාජිකයෙකු වන දේහින් වසන්තගේ කට වැසීම සඳහා මෙලෙසම මැර තර්ජන එල්ල කලේ වරක් දෙවරක් නොවේ. සසප හා ලොසවෙඅ මැර බලයෙන් හෝ නතර කිරීමට ඔවුන් වලිකන්නේ පාවාදීම නිදැල්ලේ කිරීම සඳහා බවට විශ්ව විද්‍යාල සේවකයින්ට අපි අනතුරු අඟවමු.

ඔක්තෝබර් 11 දා සමිති නායකයින් කලේ දින 31ක් පැවති අනධ්‍යන සේවකයන්ගේ අධිෂ්ඨානවත් තවත් අරගලයක් පාවා දීමයි. පසුගිය වසර කිහිපයේ අනධ්‍යන සේවක වෘත්තීය සමිතිවල පාවාදීම් සාමාන්‍ය රටාවකින් සිදුවිය. ජීවන කොන්දේසිවලට ආන්ඩුවෙන් එල්ලවන පහර මධ්‍යයේ කම්කරුවන්ගේ විරෝධය නගින විට සමිති එය වාෂ්පකර නොමග යැවීමට කල හැකි සියල්ල කර බැරිම තැන වර්ජන කැඳවයි.

එක් කැපීපෙනෙන අරගලයක් වූයේ ගිය වසරේ පෙබරවාරි මාසයේ කම්කරුවන් ගෙන ගිය දීර්ඝ අරගලයයි. ඊට දින 45ක් ගතවන තැන ආන්ඩුවත් සමිතිත් අර්බුදයට යද්දී අධ්‍යාපන ඇමති හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ව්‍යාජ පොරොන්දු දීමෙන් පසු වර්ජනය නතර කෙරුනි. අවසානයේ වැටුප් ඉල්ලීමෙන් ලැබුනේ සොච්චමකි. ඉතා වැදගත් විශ්‍රාම වැටුපක්, වෛද්‍ය ප්‍රතිලාභ සහ රක්ෂන ක්‍රමයක් සඳහා ඉල්ලීම් පසෙකට ලන ලදී. මෙම වර්ජනයට පෙර සහ පසු තවත් වර්ජන හා විරෝධතා සමිති විසින් එලෙසම අවසන් කෙරුනි.

සමිති නිලධාරීන් මේ පාවාදීම් අඩියක් පාසා අප එලිදරවු කරමින් නව නායකත්වයක් ලෙස කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටු සඳහා සටන් කරන ලෙස සසප හා ලොසවෙඅ කරන අරගලය ගැන කිපීම පුදුමයක් නොවේ. සමිති හා නිලධරය හැම විටම, විශ්වවිද්‍යාල පාලකයින්ගේ, ධනපති පන්තියේ හා එහි ආන්ඩුවේ ද රාජ්‍යයේ ද හෙංචයියන් ලෙස කම්කරු පොලිසියක් ලෙස ක්‍රියා කරති.

ඔවුන්ගේ කීපීමට තවත් හේතුවක් නම් අපගේ දේශපාලන විශ්ලේෂනය අනධ්‍යන කම්කරුවන් හදාරමින් සිටින අතර සමහරුන් සසප සාමාජිකත්වය ද ලබාගෙන සිටීමයි. සැලකියුතු සාමාජිකයින් පිරිසක් ලොසවෙඅ ලිපි කියවති.

සසප “‍එන්ජීඕ”‍ එකක් හා ආන්ඩුවට “‍කඬේ යන බවට”‍ පේරාදෙනි පහර දීමට සම්බන්ධවූ නිලධාරියෙක් අභූත චෝදනාවක් කලේය.

ඇත්ත නම් ආන්ඩුවේ දරදිය අදිමින් වර්ජන නතර කොට කම්කරුවන්ගේ ඉල්ලීම් පාවාදුන්නේ සමිති නිලධරය බවයි. ශ්‍රේනිවාදී ඉල්ලීම් ඉදිරිපත් කරමින් එක් කම්කරු කොටසක් තවත් කොටසකට එරෙහිව පිහිටුවන්නේ සමිති විසිනි. එය කම්කරුවන්ගෙන් වසන් කල හැකිද?

සසප ඉතිහාසය මෙම නිලධරයට වහකදුරු වන් ය. 1938 හතර වන ජාත්‍යන්තරය ලියොන් ට්‍රොට්ස්කි පිහිටුවා අවුරුදු අසූවක් හා ලංකාව තුල සසප වසර පනස් එකක දේශපාලනය තුල ඉටුකල හා ඉටුකරන විප්ලවවාදී කාර්යභාරය ගැන සමිති පමනක් නොව, ධනපති ආන්ඩු අවස්ථාවාදීන් හා ව්‍යාජ වම්මුන් ජාත්‍යන්තරව එකසේ කිපී සිටිති.

“‍මෙවැනි පත්‍රිකා බෙදීමෙන් කම්කරු පන්තිය භේද වන බව කී තවත් සමිති නායකයෙක්” ‍බොරු සමාජවාදය කැතයි”‍ කිවේය. කම්කරුවන් භේද කරන්නේ අපි ද? නැතිනම් වෘත්තීය සමිති ද? ශ්‍රේනි වලට අනුව වෘත්තිය සමිති, පක්ෂ වලට අනුව වෘත්තිය සමිති සාදා ඇත්තේ සමිති නිලධරයන් ය. උදාහරනයක් ලෙස අධ්‍යාපනය ක්ෂේත්‍රය තුල වෘත්තීය සමිති සීයක් පමන ඇති අතර ඒවා අතර අනවරත කාකොටා ගැනීම් ද මොවුන් විසින් නිර්මානය කර ඇත.

අනධ්‍යන වර්ජනය මධ්‍යයේ පැමිනුනු ගුරුවරුන්ගේ හා දුම්රිය කම්කරුවන්ගේ අරගල සමග එක්වීමට විශ්වවිද්‍යාල සේවක සමිති කිසිදු කැඳවීමක් කලේ නැත. අනෙකුත් සමිතිද එලෙස ය. ජාත්‍යන්තර කම්කරුවන් ට ආමන්ත්‍රනය කිරීම මෙම ජාතිකවාදී සමිති සලකන්නේ අතිශයින් ම අභව්‍ය, විහිලු‍වක් ලෙස ය. කම්කරුවන්ගේ එකමුතුවක් ගැන ධනපති පන්තිය සේම වෘත්තීය සමිති ද එකලෙස සතුරු ය.

එංගලන්ත කම්කරු පන්තියේ ආරම්භක උද්ගමනයක් මධ්‍යයේ දේශපාලන ව්‍යාපාරයක් ලෙස නැගුනු චාර්ටිස්ට් ව්‍යාපාරයේ පරාජයේ පිටුපසින් පැමිනි ධනපතියන්ගේද උදවු ලැබූ සමිති කලෙක කේවල් කිරීමේ සංවිධාන ලෙස පැවතී ධනපති අර්බුදය මධ්‍යයේ ධනපති කොම්පැනි, ආන්ඩුවල හා රාජ්‍යයේ උපකරන බවට මුලු‍මනින් ම පරිවර්තනය වී ඇත.

අප යෝජනා කරන ක්‍රියාකාරී කමිටු ශ්‍රේනි සීමා ඉක්මවා ගිය, ආයතන තුල සියලු‍ කම්කරුවන් ඒකරාශිකරන, සියට සීයක් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තීන්දු තීරන ගන්නා වූ ද රට තුල සමස්ත කම්කරු පන්තිය එකමුතු කරන ජාත්‍යන්තර කම්කරු පන්තිය සමග අත්වැල් බැඳගත් ව්‍යාපාරයක් තුලින් ධනවාදය පෙරලා දැමීම ඉලක්ක කර ගත් වැඩපිලිවලකි.

මෙම වැඩපිලිවලට ද සමාජවාදය සඳහා සටන් කිරීමට ද වෘත්තීය සමිති මාරක ලෙස හතුරු ය. වෘත්තීය සමිති පෙනී සිටින්නේ ශ්‍රම ශක්තිය විකුනන්නෙකූ ලෙස සීමිත භූමිකාවෙන් නමුත් සසප බැඳී සිටින්නේ ධනවාදී නිෂ්පාදන සබඳතාවල විප්ලවීය ප්‍රතිවාදියා ලෙස ඓතිහාසික ධාරිතාවෙන් කම්කරු පන්තිය නියෝජනය කරන ජාත්‍යන්තර සමාජවාදී ව්‍යාපාරය මතයි.

සමාජවාදී ඉතිහාසඥයෙකුවූ තියඩෝර් රොත්ස්ටීන් චාර්ටිස්ට් ව්‍යාපාරයේ පරාජයෙන් පසුව ඉතිහාසය තුල අපට පහරදීමට පැමිනි නිලධාරීන් ටද ආදාල වනසේ මෙසේ ප්‍රකාශ කර ඇත:

“යන්තම් වසර කීපයකට පෙර ධනේශ්වර සමාජයේ පදනම්වලින් ම සොලවා තිබූ සහ සිය දහස් ගනන් සංඛ්‍යාත කම්හල් කරුවන් විසින් අනුගමනය කරනු ලැබූ, විශාල දක්‍ෂතාවකින්, ඉමහත් ශික්‍ෂනයකින්, උසස් සහ ගැඹුරු පාන්ඩිත්‍යයකින් හෙබියා වූ මිනිසුන් දැන් අප‍්‍රසිද්ධියේ ගමන් කරන බහුතරය විසින් වරදවා වටහා ගැනුනු හා සුලු‍තරයක් විසින් පමනක් වටහා ගැනුනු හුදකලා රූපයන් වූ අතර, ඔවුන්ගේ බුද්ධිමත්භාවයේ, දක්‍ෂතාවේ සහ චරිතයේ අංශුවකටවත් හිමිකම් නො කියන ‘සාක්කුවට වැටෙන මුදල ගැන පමනක් උනන්දු’ හා ඒ සඳහා පන්ති ස්වාධීනත්වය විකිනීමට පවා හාම්පුතුන් සමග එකඟතාවයකට පැමිනීමේ වැදගත්කම ගැන නො ගැඹුරු සුභාරංචිය විසින් ඒ හා සමාන කම්කරුවන් සියදහස් සංඛ්‍යාවක් ආකර්ශනය කරගත්තා වූ අලු‍ත් මිනිසුන් විසින් එම තැන ගන්නා ලදි.”‍ [බලන්න: මාක්ස්වාදය හා වෘත්තීය සමිති ඬේවිඞ් නොර්ත්, 2012 අගෝස්තු 31]

ඉල්ලීම් දිනා ගැනීමට සමස්ත විශ්වවිද්‍යාල කම්කරුවන් ධෛර්යය සම්පන්න ලෙස සටන් කරමින් සිටින බව අපි ලීවෙමු. සටන නවත්වන්නට කැමතිදැයි ප්‍රජාතන්ත්‍රවාදී ලෙස සාකච්චාකොට ඡන්දය විමසුවේ නම් සාමාජිකයන් ඉල්ලීම් ලැබෙන තුරු සටන් කිරීමට ඡන්දය දීමට ඉඩ තිබුනි. නමුත් සමිති නිලධරය කම්කරුවන් හෙම්බත් කර, සටන් ක්‍රියාමාර්ග අඩපන කර, ආන්ඩුව සමඟ හොරෙන් තීන්දු ගෙන බොරු කියමින් බලෙන් කම්කරුවන්ගේ උරමත තීන්දුව පටවන ලදී.

අනධ්‍යයන සේවකයින් ඇතුලු‍ කම්කරුවන්ගෙන් අප ඉල්ලා සිටින්නේ මෙවන් දුර්දාන්ත ක්‍රියා කලාපයක් ඉටුකරන සමිතිවලට පිටින්, සමිති නිලධරය වැද්ද නොගත්, කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටු තැනීමට, ජාත්‍යන්තර සමාජවාදය සඳහා සටන් කිරීමට හා ඊට අවශ්‍ය විප්ලවවාදී නායකත්වය ගොඩ නැගීමට සසප සමග එක්වන ලෙසයි.

මෙවර ජනාධිපතිවරනයට සිය අපේක්ෂකයා ලෙස පානි විජේසිරිවර්ධන ඉදිරිපත්කර සසප විප්ලවවාදී නායකත්වය ගොඩනැගීමේ මෙම අරගලය ඉදිරියට ගෙන යමින් සිටියි. එම අරගලයට එක් වන්න.

Share this article: