ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය ජනාධිපතිවරනයට තරඟ වදියි

සමාජවාදී සමානතා පක්ෂයේ (ශ්‍රී ලංකාව) ප්‍රකාශය, 2019 ඔක්තෝබර් 03

පානි විජේසිරිවර්ධන

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) ශ්‍රී ලංකා ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂය (සසප), නොවැම්බර් 16දා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරනය සඳහා තරඟ වදී. පක්ෂයේ දීර්ඝ-කාලීන ජ්‍යෙෂ්ට සාමාජිකයෙක් හා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) කොලඹ කර්තෘ මන්ඩලයේ සාමාජිකයෙක් වන පානි විජේසිරිවර්ධන අපගේ අපේක්ෂකයා ය.

ධනපති පාලනයට එරෙහි ව කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන බලමුලුගැන්වීමක් වෙනුවෙන් පෙනී සිටින්නේ සසප පමනි. සසපයේ මෙම අරගලය, ජාත්‍යන්තර සමාජවාදයේ ඉදිරිදර්ශනය මත පදනම් ව දකුනු ආසියාවේ සමාජවාදී සමූහාන්ඩු සංගමයක් සඳහා ගෙන යන සටනේ කොටසකි.

ලෝක ධනවාදයේ පද්ධතිගත බිඳවැටීමේ ද තුන්වන ලෝක යුද්ධයේ අන්තරාය මතුකර ඇති මහ බලවතුන් අතර භූ-දේශපාලනික ප්‍රතිමල්ලතා--එක්සත් ජනපදය එහි කේන්ද්‍රයේ පිහිටා ඇත--ද ජාත්‍යන්තර පන්ති අරගලවල පුනර්ජීවනය ද විසින් නිෂ්පන්නිත ගැඹුරු දේශපාලන අර්බුදයක ශ්‍රී ලංකාවේ පාලක පන්තිය ගිලී සිටී.

චීනයට එරෙහි එක්සත් ජනපදයේ මිලිටරිවාදී ධාවනයට ශ්‍රී ලංකාව හසු වී ඇත. ජනාධිපති සිරිසේනගේ හා අගමැති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව, පසුගිය සිව් වසර තුල ශ්‍රී ලංකාවේ හමුදා එක්සත් ජනපද මිලිටරිය සමග සමීප ව ඒකාග්‍ර කොට තිබේ. එක්සත් ජනපද හමුදාවන්ට රට තුලට නිදහසේ ප්‍රවේශ වීමට සහ ලංකාව මිලිටරි කඳවුරක් ලෙස භාවිතා කිරීමට ඉඩ ලබා දෙන හමුදා තත්ත්ව ගිවිසුම (සෝෆා) අත්සන් කර ගැනීමට එක්සත් ජනපදය කොලඹ ආන්ඩුව මත පීඩනය යොදමින් සිටී. කලාපය තුල චීනයේ හා පකිස්තානයේ ප්‍රතිමල්ලවයා වන අසල්වැසි ඉන්දියාව, එක්සත් ජනපදයේ මූලෝපායික සහකරුවෙකු බවට පත්ව එය සමග කඳවුරු ගිවිසුම් අත්සන් කර ඇත.

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරනය කැඳවා ඇත්තේ, විශ්ව විද්‍යාල අනධ්‍යයන කම්කරුවන්, දුම්රිය කම්කරුවන්, රජයේ පාසල් ගුරුවරුන් හා පරිපාලන නිලධාරීන්ගේ අරගල මාලාවක් පුපුරා යාම මධ්‍යයේ ය. මෙම අරගල, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමුඅ) විසින් අනවා ඇති ආන්ඩුවේ කප්පාදු පිලිවෙත්වලට හා සමස්තයක් ලෙස ධනේශ්වර පද්ධතියට එරෙහි ව වැඩෙන සමාජ විරෝධයේ කොටසකි.

ලෝක සමාජවාදී විප්ලවයේ ක්‍රියාමාර්ගය මත ධනවාදයේ ප්‍රහාරයන්ට හා ලෝක යුද්ධයක තර්ජනයට එරෙහි ව, ජාත්‍යන්තර කම්කරු පන්තියේ ඒකාබද්ධ ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා, ශ්‍රී ලංකාවේ සසප, හජාජාකහි එහි සහෝදර පක්ෂ සමග සටන් වදී.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන 2015 ජනවාරියේ බලයට ආවේ, ඉන්දියාවේ ද පිටුබලය සහිත ව වොෂින්ටනය ක්‍රියාවට දැමූ තන්ත්‍ර-මාරු මෙහෙයුමකිනි. එක්සත් ජාතික පක්ෂ (එජාප) නායක රනිල් වික්‍රමසිංහගේ හා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගගේ සහයෝගය එයට ලැබුනි.

එක්සත් ජනපදය හා අනෙකුත් බලවත්තු, රාජපක්ෂගේ ප්‍රජාතන්ත්‍ර-විරෝධී පාලනයට හා බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහි වාර්ගික යුද්ධයට පිටුබලය දුන් නමුත්, බෙයිජිනය සමග ඔහුගේ සමීප ආර්ථික සබඳතාවන්ට විරුද්ධ වූ හ. වොෂින්ටනයට අවශ්‍ය වූයේ, චීනයට එරෙහි එහි “ආසියාවට හැරීමේ පිලිවෙතෙහි” කොටසක් ලෙස, ලංකාව තම මූලෝපායික කක්ෂය තුල පෙලගස්වා ගැනීම යි. දෙමල ජාතික සන්ධානය (දෙජාස), මුස්ලිම් පක්ෂ හා ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) ඇතුලු සියලු ධනපති පක්ෂ ද ව්‍යජ වාම සංවිධාන සහ ශාස්ත්‍රාලිකයින් කොටසක් ද මෙම තන්ත්‍ර-මාරු මෙහෙයුමට සහයෝගය දුන් හ.

සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව දිවයිනේ විදෙස් පිලිවෙත වොෂින්ටනයට හා නව දිල්ලියට වාසි වන පරිදි වෙනස් කලේ ය. එහෙත් නය අර්බුදක ගිලී මුදල් හිඟයෙන් පෙලෙන කොලඹ ආන්ඩුව, පොරොන්දු වූ පරිදි කිසිදු සමාජ ගැටලුවක් විසඳීමට අසමත් විය. එවෙනුවට එය මහජන විරෝධය අවුලුවමින් ජාමූඅ ඇප නයට ගැටගැසුනු රුදුරු කොන්දේසි ක්‍රියාවට දැමීම ඇරඹී ය.

2018 පෙබරවාරියේ පැවති පලාත් පාලන මැතිවරනයේ දී, එජාපය හා සිරිසේනගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ (ශ්‍රීලනිප) කන්ඩායම ලත් පරාජයන්ගෙන් ප්‍රකාශයට පත් වූයේ, මෙම සමාජ විරෝධයයි. අලුතින් සංවිධානය වූ රාජපක්ෂගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුන (ශ්‍රීලපොපෙ) බොහෝ පලාත් පාලන ආයතන ජයගත්තේ, ප්‍රධාන වසයෙන් ආන්ඩුවට විරෝධය ප්‍රකාශ කිරීම සඳහා මහජනයා එයට ඡන්දය දුන් නිසාය.

වැඩෙන කම්කරු පන්තික විරෝධය තලා දමන්නේ කෙසේදැයි යන්න අරබයා කොලඹ දේශපාලන යුද්ධය පුපුරා ගියේ ය. “ශක්තිමත් ආන්ඩුවක්” තැනීමට උත්සාහ දරමින්, පසුගිය වසරේ ඔක්තෝබරයේ දේශපාලන කුමන්ත්‍රනයක් ක්‍රියාවට දැමූ සිරිසේන, වික්‍රමසිංහ අගමැති ධුරයෙන් නෙරපා එම තනතුරට මහින්ද රාජපක්ෂ පත්කලේ ය. රාජපක්ෂ යලි බලයට ඒමට එක්සත් ජනපදය විරුද්ධ වූ නිසාත් රටෙහි ශ්‍රේෂ්ඨාධිකරනය සිරිසේන විසින් පාර්ලිමේන්තුව විසිරවීම නීති-විරෝධී යයි නිගමනය කිරීමත් නිසා මෙම කුමන්ත්‍රනය අසාර්ථක විය.

කම්කරුවන්ට හා දුගීන්ට එරෙහි ව පොලිස්-රාජ්‍ය පියවර පෙරට ගැනීම සඳහා, පාලක පන්තියේ සියලු කොටස් අප්‍රේල් 21 ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාර ආශීර්වාදයක් කරගත් හ. ආරක්ෂක බලධාරීන් මෙන් ම සිරිසේන, වික්‍රමසිංහ හා රාජපක්ෂ ප්‍රහාරය පිලිබඳ ව කල්තබා දැන සිට එය සිදුවීමට ඉඩහල බවට සාක්ෂි වලින් පෙන්නුම් කරයි. සියලු පාර්ලිමේන්තු පක්ෂවල පිටුබලය සහිත ව, විෂඝෝර හදිසි බලතලවලින් සන්නද්ධ කොට සිරිසේන විසින් මිලිටරිය රටපුරා මුදාහල අතර, සමාජ විරෝධය පීලිපැන්නවීම සඳහා මුස්ලිම්-විරෝධී උද්ඝෝෂනයක් තීව්‍ර කලේ ය.

ත්‍රස්තවාදී ප්‍රහාරවලින් පසු, එජාපය, ශ්‍රීලපොපෙ හා ජවිපෙ අවධාරනය කර ඇත්තේ, මිලිටරිය හා ඔත්තු සේවා යාන්ත්‍රනය ශක්තිමත් කරමින් “ජාතික ආරක්ෂාව” සුරැකීම ප්‍රමුඛතාව වී ඇති බව යි. ජනාධිපතිවරනයේ දී ඔවුන්, ඒ සඳහා තමන් සතුව මනා සැලසුම් ඇති බව කියමින් එකිනෙකා සමග තරඟ වදින අතර, සත්‍ය වසයෙන් නම් එම සැලසුම් පොලිස් රාජ්‍යයක් දෙසට වන පියවරයන් ය. පන්ති අරගලවල පුනර්ජීවනයට සෑම රටක ම පාලක පන්තීන්ගේ ප්‍රතිචාරය වී ඇත්තේ ආඥාදායකත්වයන් හා ෆැසිස්ට්වාදය සූදානම් කිරීම යි.

දේශපාලනික ව අපකීර්තිමත් සිරිසේන මැතිවරනයට තරඟ කරන්නේ නැතත් මිලිටරිය ශක්තිමත් කරමින් සිටී. ඔහුගේ ශ්‍රීලනිප කන්ඩායම මන්ත්‍රීන් 65 සිට 15 දක්වා අඩු වී ඇත්තේ අනෙකුත් මන්ත්‍රීන් ශ්‍රීලපොපෙ වෙත පලාගොස් ඇති නිසා ය.

දැඩි ලෙස අපකීර්තිමත් එජාපය, එහි අපේක්ෂකයා තීන්දු කරගැනීම සඳහා පැවති දිග්ගැස්සුනු මතභේදයකින් පසුව අවසානයේ පක්ෂයේ අපේක්ෂකයා ලෙස නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස තෝරාගෙන ඇත. ගනන් බැලීම වන්නේ, බෞද්ධ ධුරාවලියේ කොටසක් සමග ඔහුට තිබෙන සබඳතාව නිසා විපක්ෂ අපේක්ෂකයන්ට මුහුන දීමේ දී ඔහුට සිංහල-බෞද්ධ ඡන්ද ආකර්ශනය කරගත හැකි ය යන්න යි. මෙම දක්ෂිනාංශික පක්ෂය නව-ලිබරල් වෙලඳපොල පිලිවෙත් අනුගමනය කරයි.

ශ්‍රීලපොපෙ එහි අපේක්ෂකයා ලෙස හිටපු ආරක්ෂක ලේකම් හා මහින්ද රාජපක්ෂගේ සොහොයුරු ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කර තිබේ. රාජපක්ෂ ආන්ඩුවේ ආරක්ෂක ලේකම් ලෙස එල්ටීටීඊයට එරෙහි යුද්ධය කුරිරු ලෙස ගෙන යාම සම්බන්ධයෙන් ඔහු කුප්‍රකට ය. යුද අපරාධ සිදුකිරීම මෙන් ම දකුනේ කම්කරුවන්ගේ හා දුගීන්ගේ අරගල ලේවැකි ලෙස මර්දනය කිරීම සම්බන්ධයෙන් ද ඔහුට චෝදනා එල්ල වී තීබේ.

හමුදාවෙන් ඉවත් වූ පසු ගෝඨාභය රාජපක්ෂ එක්සත් ජනපද පුරවැසි භාවය ලබාගැනීම නිසා ඔහුගේ ජනාධිපති අපේක්ෂකත්වය පිලිබඳ මතභේදයක් පැන නැගී ඇත. ගාමිනී වියන්ගොඩ හා චන්ද්‍රගුප්ත තේනුවර යන 2015 තන්ත්‍ර-මාරුවේ ආධාරකරුවන් දෙදෙනෙකු විසින් ඒ සම්බන්ධයෙන් උසාවියේ නඩුවක් පවරා තිබේ. ප්‍රතිගාමී මැතිවරන නීතිවලට අනුව ගෝඨාභය රාජපක්ෂ ඔහුගේ එක්සත් ජනපද පුරවැසි භාවය අතහැර නිසි පරිදි ශ්‍රී ලංකාවේ පුරවැසි භාවය ලබාගැනීමට අසමත් වී ඇතැයි ඔවුහු තර්ක කරති.

දැනට අභියාචනාධිකරනයේ අසනු ලබන නඩුවේ දී ගෝඨාභය රාජපක්ෂ සිය සුදුසුකම් තහවුරු කිරීමට අසමත් වුවහොත්, ඔහු ජනාධිපති අපේක්ෂකත්වයට සුදුසුකම් නො ලබනු ඇත. මෙම නඩුව ප්‍රමුඛත්වයට පැමින ඇත්තේ ඔහු බලයට පත්වීම පිලිබඳ ව බටහිර මාධ්‍ය විසින් උත්සුකතා ප්‍රකාශයට පත්කරන තතු යටතේ ය. ගෝඨාභය රාජපක්ෂ පිලිබඳ සිය තක්සේරුවේ දී ලන්ඩනයේ පලවන දි එකොනොමිස්ට් ඉන්ටෙලිජන්ස් යුනිට් (ඊඅයියූ) කීවේ, ඔහු බලයට පත්වුව හොත් “බටහිර හා ඉන්දියාව සමග සබඳතා යටපත්වී” චීනය සමග ඔහුගේ සබඳතා වැඩිදියුනු කරනු ඇති බව යි. මෙම ප්‍රකාශයන් ඉඟිකරන්නේ, ශ්‍රී ලංකාව තුල චීනයට-හිතවත්යැයි සැලකෙන අපේක්ෂකයෙක් බලයට ඒම කෙරෙහි බටහිර බලයන්ට පවතින විරුද්ධත්වය යි.

ජවිපෙ නායකත්වය දෙන ජාතික ජන බලවේගය (ජාජබ) එහි අපේක්ෂකයා ලෙස ජවිපෙ නායක අනුර කුමාර දිසානායක තෝරාගෙන තිබේ. 2015 දී සිරිසේන වටා රොක් වූ බොහෝ විශ්ව විද්‍යාල ශාස්ත්‍රාලිකයන් හා සමහර වෘත්තිකයන්, දැන් දිසානායකට පිටුබලය දීම සඳහා ජාජබ සංවිධානය කර ඇත. 1999න් මෙපිට එජාප හා ශ්‍රීලනිප අපේක්ෂකයන්ට සහයෝගය දීමෙන් පසු ජවිපෙ ජනාධිපතිවරනයකට තරඟ වදින පලමු අවස්ථාව මෙය වන අතර ඊට 2004 දී කුමාරතුංගගේ ආන්ඩුව තුල ලැගීමේ වාර්තාවක් ද ඇත.

නව සම සමාජ පක්ෂය (නසසප), පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) හා එක්සත් සමාජවාදී පක්ෂය (එසප) යන ව්‍යාජ-වාම පක්ෂ මෙම මැතිවරනයේ දී තවත් නරුම භූමිකාවක් රඟපෑමට සූදානම් වෙමින් සිටිති. පෙසප හා එසප තමන් “සමාජවාදී” අපේක්ෂකයන් ඉදිරිපත් කර ඇතැයි කියා පාති. මෙම පක්ෂ දෙක හා නසසප 2015 දී සිරිසේනට පිටුබලය දුන් හ. නසසපය, වහලෙකු ලෙස වික්‍රමසිංහ නායකත්වය දෙන ආන්ඩුවට සහයෝගය දීමෙන් පසු, එජාපය වෙනුවෙන් උද්ඝෝෂනය කිරීම කර්තව්‍යය කරගත් අපේක්ෂකයෙක් ඉදිරිපත් කර තිබේ.

සසප හා එහි පූර්වගාමියා වන විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය සතුව ඇත්තේ, ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනය හා මූලධර්ම සඳහා සටන් වැදීමේ නො කැලැල් වාර්තාවකි. සිවිල් යුද්ධයට එකදිගටම විරුද්ධ වුනු, ශ්‍රී ලංකාවේ මිලිටරිය උතුරින් හා නැගෙනහිරින් ඉවත් කරගන්නා ලෙස ඉල්ලා සිටි, වාර්ගික රේඛා නොතකා කම්කරු පන්තියේ ජාත්‍යන්තර එකමුතුව සඳහා සටන් කරමින් මෙම අරගලයට ගොවීන් රැලි කරගැනීම වෙනුවෙන් පෙනී සිටි ශ්‍රී ලංකාවේ එකම පක්ෂය එය යි. සසප දකුනු ආසියානු සමාජවාදී සමූහාන්ඩු සංගමයක කොටසක් ලෙස ශ්‍රී ලංකා-ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක රූපය ගන්නා කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා සටන් කරයි. මෙම සටන ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ කොටසකි.

විශ්‍රාම ලත් ගුරුවරයෙක් වන සසප අපේක්ෂක පානි විජේසිරිවර්ධනට, මෙම සමාජවාදී ඉදිරිදර්ශනය සඳහා සටන් වැදීමේ අප්‍රතිහත වාර්තාවක් තිබේ. ප්‍රජාතන්ත්‍ර අයිතීන් රැකීම සඳහා ඔහුගේ අරගලය හේතුවෙන්, කම්කරුවන්, දුගීන්, ශිෂ්‍යයන් හා ගුරුවරුන් අතරින් ගෞරවනීය පිලිගැනීමක් දිනාගෙන ඇති ඔහු, 1980 ගනන්වල දී එජාප ආන්ඩුව විසින් අනවරත දඩයමට ලක් කෙරිනි. ඔහු වනාහි වෘත්තීය සමිති නිලධරයට හා ඒවායේ පාවාදීම්වලට එරෙහි මූලධර්මාත්මක සටන්කරුවෙකි. 2015 ජනාධිපතිවරනයේ දී සසප අපේක්ෂකයා වූයේ ද ඔහු ය.

පක්ෂ පිලිවෙත් කැටිකොට දක්වමින් සසප හා එහි තරුන ව්‍යාපාරය වන සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (සසජාතශි) සවිස්තරාත්මක මැතිවරන ප්‍රකාශයක් ඉක්මනින් ම නිකුත් කරනු ඇත. අපේ පිලිවෙත් විස්තර කිරීමට අපි රට පුරා ප්‍රසිද්ධ රැස්වීම් පවත්වන්නෙමු. වාර්ගික රේඛා කපාගෙන මෙම උද්ඝෝෂනයට සහයෝගය දෙන ලෙස හා සහභාගි වන ලෙස අපි කම්කරුවන්, තරුනයන් හා ප්‍රගතිශීලී හිතැති බුද්ධිමතුන්ගෙන් ඉල්ලමු.

මැතිවරන උද්ඝෝෂනය සඳහා රුපියල් මිලියනයක අරමුදලක් දියත් කර ඇති සසප, ඒ සඳහා නො මසුරු ආධාර පතයි. අපගේ සටන වනාහි, කම්කරු පන්තියේ විප්ලවවාදී නායකත්වයේ අර්බුදය විසඳීමේ සටන යි. මෙහි අර්ථය වන්නේ මහජන විප්ලවවාදී පක්ෂයක් ලෙස සසප ගොඩ නැගීම යි. අපගේ ක්‍රියාමාර්ගය හා ඉදිරිදර්ශන සමග එකඟ වන සියල්ලන්ට සසපට බැඳී එය ගොඩනගන ලෙස අපි ඉල්ලමු.

Share this article: