වෝල් වීදිය අනුග්‍රහ දැක්වීම සමග ජීඑම්, යූඒඩබ්ලිව් වැඩවර්ජකයන් යටත් කිරීම සදහා හාමතේ තැබීමට උත්සාහ කරති

As Wall Street bankrolls GM, UAW tries to starve strikers into submission

2019 ඔක්තෝබර් 02

එක්සත් ජනපදයේ ජෙනරල් මෝටර්ස් කම්කරුවන් 48,000ගේ වැඩ වර්ජනය, දැන් එහි තුන්වන සතියේ දී, තීරනාත්මක සන්ධිස්ථානයක පවතී. ජේපී මෝර්ගන් ආයෝජන බැංකුවට අනුව, තුන්වැනි කාර්තුවේ ආදායමෙන් ඩොලර් බිලියන 1ක් අහිමි කරමින්,එය සමාගම හා අයෝජකයින් බලාපොරොත්තු වූවාට වඩා දුර ගොස් ඇතත්, වෝල් වීදිය විසින් සමාගමට අනුග්‍රහ දක්වමින් තිබෙන අතර එය තම ඉල්ලීම් හකුලා ගෙන නොමැත.

මෑත දිනවල දී, ජීඑම් ඉරනම තම අතේ තබාගෙන සිටින ආරක්ෂක අරමුදල් කලමනාකරුවන් සහ මූල්‍ය ආයෝජකයින් පැහැදිලිව ම කියා සිටියේ, මෝටර් රථ නිෂ්පාදකයාගේ කෙටිකාලීන පිරිවැය කුමක් වුවත් වැඩ වර්ජනය පරාජය කල යුතු බව යි.

“ජීඑම් සමාගම ට එරෙහි යූඒඩබ්ලිව් වැඩ වර්ජනය ඉදිරියට ඇදී යද්දී වෝල් වීදිය ඉවසලිවන්ත යි, සාකච්ඡා ඉදිරියට යයි,” නම් වාර්තාවක, සීඑන්බීසී ව්‍යාපාරික ප්‍රවෘත්ති සේවය සඳහන් කලේ, “අහිමි වූ නිෂ්පාදනයේ දී එයට ඩොලර් මිලියන සිය ගනනක්, නැත්නම් ඩොලර් බිලියන ගනනක්, වැය වුව ද, එය වඩා පහල දීර්ගකාලීන සේව්‍ය පිරිවැයක් සමග තුටුපඬුරු ලබා දෙනු ඇති බැවින්, වර්ජනය කෙටිකාලීන වේදනාවක් ලෙස දකින ආයෝජකයින් ඒ ගැන එතරම් කරදර වන්නේ නැත”යනුවෙනි.

මූල්‍ය වංශාධිපතියන්ට වැඩ වර්ජනය පරාජය කිරීම මූලෝපායික මිස, කෙටිකාලීන ප්‍රශ්නයක් නො වේ. ගෝලීය ආර්ථික පසුබෑම හා විශාල තාක්ෂනික වෙනස්කම්වල වැඩෙන සංඥා හමුවේ වෝල් වීදිය ගෝලීය මෝටර් රථ කර්මාන්තයේ පුලුල් ප්‍රතිව්‍යුහගත කිරීමක් සහ විදුලි හා ස්වයංක්‍රීය වාහන දෙසට ප්‍රාග්ධනය මාරු කිරීමක් අපේක්ෂා කරමින් සිටී. තවමත් ලාභ නො ලබන නමුත්, වෙලඳපල තුල ආධිපත්‍යය දරන ඕනෑම ගෝලීය මෝටර් රථ නිෂ්පාදකයෙකුගෙන් ආයෝජකයින්ට ඉමහත් ප්‍රතිලාභ ලබා දෙන බවට මෙම තාක්ෂන පොරොන්දු දෙයි.

කෙසේවෙතත්, මෙයට මෝටර් රථ කම්කරුවන්ගේ සමාජ අයිතිවාසිකම්වල ඉතිරි ව ඇති සියලු ම දේ විනාශ කිරීම අවශ්‍ය වනු ඇත. මෝටර් රථ කර්මාන්තය ටෙස්ලා, ඇමසොන් හා ගූගල් වැනි තාක්ෂනික දැවැන්තයින් තුල පවතින කොන්දේසි පැනවිය යුතු ය. දිගුකාලීන රැකියාවක්, වාර්ෂික වැඩිවීම්, වෛද්‍ය රැකවරන හා විශ්‍රාම ගැනීමෙන් පසු විශ්‍රාම වැටුපක් අපේක්ෂා කරනවා වෙනුවට, මෝටර් රථ කම්කරුවන් ඊනියා ගිග් ආර්ථිකයේ[තාවකාලික මෙන්ම කෙටි කාලීන රැකියා - පරි.] කම්කරුවන් මෙන් අධි සූරාකෑමට මුහුන දෙනු ඇත.

ගෝලීය මෝටර් රථ කර්මාන්තයේ “ඇමසොනීකරනය” යන්නෙන් අදහස් කරන්නේ අනාගත කම්කරුවන් යනු අඩු වැටුප් සහිත කොන්ත්‍රාත් කම්කරුවන් හෝ ආර්ථික හුලං හමන්නේ කුමන ආකාරයෙන් ද යන්න මත පදනම් වෙමින්, කුලියට ගෙන සේවයෙන් පහ කල හැකි “පර්මා -ටෙම්ප්ස්” කම්කරුවන් වනු ඇත යන්න යි.

වෝල් වීදිය සූදානම් වෙමින් සිටින්නේ, ෆෝඩ් හා ෆියට් ක්‍රයිස්ලර් තුල , එක්සත් ජනපදය හා ග්‍රහලෝකය පුරා සෑම මෝටර් රථ හා මෝටර් රථ උපාංග නිෂ්පාදන කම්හල් කම්කරුවන් සඳහා මෙන් ම සෑම ආර්ථික අංශයක ම කම්කරුවන් සඳහා විශාල ගම්‍යයන් තිබෙනු ඇති සටනක් සඳහා ය.

ෆියට් ක්‍රයිස්ලර් සමාගමේ හිටපු කම්කරු සාකච්ඡාකරුවෙකු වන කොලින් ලයිට්බොඩි පවසන පරිදි, සෞඛ්‍ය සේවා සඳහා කම්කරුවන්ගේ සාක්කුවෙන් එන දායකත්වය සියයට 3 සිට සියයට 15 දක්වා නාටකාකාර ලෙස ඉහල නැංවීම මෙන් ම අඩු වැටුප් සහිත තාවකාලික සේවකයින්ගේ සංඛ්‍යාව වැඩි කර ගැනීමේ අරමුනු සාක්ෂාත් කර ගන්නේ නම්, ජීඑම් වාර්ෂික ශ්‍රම පිරිවැයෙන් ඩොලර් බිලියන භාගයක් ඉතිරි කර ගනු ඇත.

“එම වැඩිවීම් මත ජීඑම් දිගට ම යන්නේ නම්, එම විසඳුම මගින් ජීඑම්ට පැයකට ඩොලර් 5ක ශ්‍රම පිරිවැයක් ඉතිරි කර ගත හැකි වනු ඇත්තේ, එය වසරකට ඩොලර් මිලියන 500ට පරිවර්තනය කරමිනි. වැඩ වර්ජනයේ පලමු සති දෙක තුල අහිමි වූ ලාභය පියවා ගැනීමට එය ප්‍රමානවත් වේ” ඩෙට්‍රොයිට් ෆ්‍රී ප්‍රෙස් සඳහන් කලේ ය. “එය විශාල මුදලක්, ඒක යි ජීඑම් එය රඳවා තබා ගැනීමට කැමති වන්නේ” යනුවෙන් ලයිට්බොඩි එම පුවත්පතට පැවසී ය.

මෝටර් රථ නිෂ්පාදකයින් සමඟ අඛන්ඩව සිදුවන “සාකච්ඡා” පිලිබඳව යූඒඩබ්ලිව් සම්පූර්නයෙන් ම කම්කරුවන් අඳුරේ තබා ඇත. කෝපාවිෂ්ට කම්කරුවන්ගේ විරෝධතා රැල්ලකින් පසුව, යූඒඩබ්ලිව් සභාපති ඩිටෙස් අඟහරුවාදා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ, යූඒඩබ්ලිව් “ඔබේ කොන්ත්‍රාත් ඉල්ලීම් හෝ අවශ්‍යතා සපුරාලන්නේ නැති ජීඑම් යෝජනාවක්” ප්‍රතික්ෂේප කල බව යි. “කීපයක් නම් කරනවා නම්,සෞඛ්‍ය රැකවරන, වැටුප්, තාවකාලික සේවකයින්, පුහුනු ශ්‍රමය හා රැකියා සුරක්ෂිතතාව”වැනි ප්‍රශ්න සම්බන්ධ දීමනා “ප්‍රමානවත් නෑ.”

යූඒඩබ්ලිව් ප්‍රති-යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව ඩිටේස් කියා සිටි නමුත්, සමාගමට තමන් ඉදිරිපත් කල බව කියන ඉල්ලීම් පිලිබඳව ඔහු කිසිදු විස්තරයක් ලබා නො දුන්නේ ය.

මුලු මවාපෑම ම මුල සිට අග දක්වා වංචාවකි. යූඒඩබ්ලිව් ප්‍රති-ඉල්ලීමක් නැත්තේ සෞඛ්‍ය රැකවරන පිරිවැය කප්පාදු කිරීම හා තවමත් යූඒඩබ්ලිව් වෘත්තීය සමිති ගාස්තු ගෙවීමට බල කෙරෙන, විද්‍යුත් වාහන කම්හල්වල ගාස්තු ගෙවන කම්කරුවන් සංඛ්‍යාව වැඩි කිරීම සමග එය එකඟ වන බැවිනි.

යූඒඩබ්ලිව් නිශ්චිතව ම මෙම ඉල්ලීම් පැටවීමට අඩිතාලම සකස් කරමින් වසර ගනනාවක් ගෙවා ඇත. එය මෙම ඉල්ලීම් නැවත කම්කරුවන් වෙත ගෙන විත් නොමැත්තේ නම්, ඒ කම්කරුවන් එය ප්‍රතික්ෂේප කර, කුනු වූ සමස්ත යූඒඩබ්ලිව් සංවිධානවලට එරෙහිව කැරලි ගසන බව යූඒඩබ්ලිව් හි දූෂිත සමාගම් නියෝජිතයන් දන්නා නිසා පමනකි.

ජීඑම් කම්කරුවන්ට වැඩ වර්ජනය පරාජය වීම වලක්වා ගත හැකි එකම මාර්ගය වන්නේ, කර්තව්‍යයන් තමන්ගේ ම අතට ගනිමින්, මෙම තීරනාත්මක සටනේ මාවත සටන්කාමී ලෙස වෙනස් කිරීම යි. මෙයින් අදහස් කරන්නේ යූඒඩබ්ලිව්වෙන් ස්වාධීන ව ක්‍රියාත්මක වනු ඇති මෙන් ම මානව හා ද්‍රව්‍යමය සම්පත් සියල්ල මෙම අරගලය සඳහා ගෙන එන අරගලයේ නව සංවිධාන, එනම් වැඩවර්ජන කමිටු හා කම්හල් ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම යි.

ජීඑම් වැඩ වර්ජනය හුදකලා කිරීම අවසන් කිරීමට හා මෝටර් රථ මෙන් ම මෝටර් රථ අමතර කොටස් නිෂ්පාදන කර්මාන්තය වසා දැමීම සඳහා ජාතික වැඩ වර්ජනයක් දියත් කරන ලෙස ක්‍රියාකාරී කමිටු ෆෝඩ් සහ ෆියට් ක්‍රයිස්ලර් කම්කරුවන්ගෙන් ඉල්ලා සිටිය යුතු ය. ඒ අතර ම, වැඩ වර්ජන වැටුප් සතියකට ඩොලර් 750 දක්වා තුන් ගුනයකින් වැඩි කල යුතු යැයි ඔවුන් ඉල්ලා සිටිය යුතු ය.

යූඒඩබ්ලිව්, ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් ජනාධිපති අපේක්ෂකයින් විසින් ප්‍රචාරය කරනු ලබන ආර්ථික ජාතිකවාදයට මෙන් ම මෙක්සිකානු විරෝධී හා චීන විරෝධී ස්වෝත්තමවාදයට එරෙහිව, මෙම කමිටු එක්සත් ජනපදයේ මෝටර් රථ කම්කරුවන්, හා ඔවුන් ම ද ජීඑම් හා අනෙකුත් ගෝලීය මෝටර් රථ නිෂ්පාදකයින්ට එරෙහිව සටනක යෙදී සිටින කැනඩාව, මෙක්සිකෝව, කොරියාව හා අනෙකුත් රටවල තම පංති සහෝදර සහෝදරියන් සමඟ එක්සත් කිරීමට සටන් කරනු ඇත.

අඟහරුවාදා ලොව පුරා මෝටර් රථ කම්කරුවන් මුහුන දෙන පොදු තත්වයන් දක්නට ලැබුනේ, තම කම්කරු සගයෙකු පහර දී මරා දැමීමෙන් පසු, ඉතාලියේ කසිනෝ හි කම්හලක කම්කරුවන් දොට්ට බැසි අවස්ථාවේ දී ය.

මෙම වැඩ වර්ජනය ජීඑම් සමාගමට එරෙහිව පමනක් නො ව, දශක ගනනාවක් තිස්සේ අචින්ත්‍ය මට්ටමක පෞද්ගලික ධන සමුච්චයනය සඳහා කම්කරුවන්ට එරෙහිව යුද්ධයක් ගෙන ගොස් ඇති, සමස්ත පාලක පන්තියට ම එරෙහි සටනකි. එය එක්සත් ජනපදය හා ලොව පුරා පන්ති අරගලයේ පුනර්ජීවනයේ කොටසක් වන අතර, එයට ශ්‍රී ලංකාවේ ගුරුවරුන් 200,000ක් ද ඇතුලු ව, එක්සත් ජනපදය හා වෙනත් රටවල ගුරුවරුන්ගේ මහා වැඩ වර්ජන, මෙක්සිකානු මැකිලඩෝරා නගරයේ වහල් කඳවුරු කම්හල්වල කම්කරුවන්ගේ හදිසි වැඩ වර්ජන හා ප්‍රන්සය හා පෝටෝ රිකෝවේ දැවන්ත විරෝධතා ද ඇතුලත් ය.

කම්කරුවන් කුනු වූ සමස්ත දේශපාලන සංස්ථාපිතයට ම අභියෝග කල යුතු ය. ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂය අතර වොෂිංටනයේ පවතින සටන තුල කම්කරුවන්ට ලැබෙන හෝ නොලැබෙන දෙයක් නොමැත. පාලක පන්තිය එහි අභ්‍යන්තර බෙදීම් කෙසේ විසඳා ගත්ත ද, කිසිවක් වර්ධනය නො වනු ඇත. ඩෙමොක්‍රටික් පක්ෂය තම දෝෂාභියෝග විමර්ශනය පැහදිලිව ම සීමා කර ඇත්තේ විදේශ ප්‍රතිපත්තිය සහ මිලිටරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ට්‍රම්ප් සමඟ ඇති තම වෙනස්කම් මත ය. සංගත පාලිත පක්ෂ දෙකේ ම පිටුබලය ලබන සමාජ අසමානතාවයට හා ආඥාදායකත්වයට ඇද වැටීමට කම්කරුවන් හා තරුනයින් විරෝධය දැක්වීම වැලක්වීමට එය හැකි සෑම දෙයක් ම කරමින් සිටී.

නමුත් නිශ්චිතව ම අවශ්‍ය වන්නේ කුමක් ද. මෙම කාර්මික අරගලය ධනවාදී සූරාකෑමට එරෙහි ප්‍රබල දේශපාලන අරගලයක් බවට පත් කිරීම සඳහා මෝටර් රථ කම්කරුවන්, සෞඛ්‍ය සේවා කම්කරුවන්, ඇමසොන් හා අනෙකුත් සැපයුම් කම්කරුවන් මෙන් ම සියලු කම්කරුවන් හා තරුනයින් වෙත ලඟා විය යුතු ය.

යෝධ සංගතවල සහ වෝල් වීදියේ ගෝලීය මූලෝපායට උත්තර දීමට, පුද්ගලික ලාභය නොව මානව අවශ්‍යතා සඳහා නිෂ්පාදනය මත පදනම් ව ගෝලීය මෝටර් රථ කර්මාන්තය සහ සමස්ත ලෝක ආර්ථිකය ප්‍රතිසංවිධානය කිරීම අරමුනු කර ගත් ජාත්‍යන්තර හා සමාජවාදී මූලෝපායක් කම්කරුවන්ට අවශ්‍ය වේ.

ජෙරී වයිට්

Share this article: