ඉරාකයේ ගිනි දැල්වේ

Iraq in flames

2019 ඔක්තෝබර් 05

අග්‍රාමාත්‍ය ඇඩෙල් අබ්දුල් මහීඩි විසින් දවස පුරා බලපවත්වන ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කිරීම නොතකා හරිමින් විරෝධතා දැක්වූ නිරායුධ සිවිල් වැසියන්ට ඉරාක ආරක්ෂක හමුදා සිකුරාදා සිව්වන වරටත් වෙඩි තැබූහ.

සිකුරාදා රාත්‍රිය වන විට මියගිය සංඛ්‍යාව 65ක් ලෙස වාර්තා වූ අතර, රැය පුරා ඇති වන ගැටුම්වලින් වැඩි පිරිසක් මිය යනු ඇතැයි අපේක්ෂා කෙරේ. මියගිය අයගේ සැබෑ සංඛ්‍යාව නිසැකවම බෙහෙවින් වැඩි ය. සජීවී පතොරම්, රබර් උන්ඩ, කඳුලු ගෑස් සහ ජල ප්‍රහාර වලින් තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව 1,500 කට අධික බව වාර්තා වේ.

සිකුරාදා බැග්ඩෑඩ්හි පැවති උද්ඝෝෂනයක දී ආන්ඩු විරෝධී විරෝධතාකරුවෝ සටන් පාඨ කියති [අනුග්‍රහය: ඒපී ඡායාරූපය / කාලිඩ් මොහොමඩ්]

මධ්‍යම බැග්ඩෑඩයේ තහීර් චතුරශ්‍රය සහ ඉරාක රජයේ දැඩි ලෙස ආරක්ෂිත මධ්‍යස්ථානය වන එක්සත් ජනපදය සහ අනෙකුත් බටහිර තානාපති කාර්යාල සහ පාලන තන්ත්‍රයට මුක්කු ගැසීමට කුලියට ගත් විවිධ මිලිටරි කුලී භටයන් රැඳි හරිත කලාපය වෙත පෙලපාලි යාම වැලැක්වීම සඳහා ඉරාකයේ ප්‍රභූ ත්‍රස්ත මර්දන ඛන්ඩ වල දැඩි ලෙස සන්නද්ධ සොල්දාදුවන්, සහ කැරලි මර්දන පොලීසිය යොදවා තිබේ. විරෝධතාකරුවන් ඉලක්ක කර ගැනීම සඳහා වහල මත ස්නයිපර් තුවක්කු කරුවන් ස්ථාන ගත කර ඇත.

අලුතින් විරෝධතා සංවිධානය වීම මැඩපැවැත්වීම සඳහා රජය ඉරාකය පුරා අන්තර්ජාලය සබඳතා අවහිර කර දමා තිබේ. වෙස්මුහුනු පැලඳි ඝාතක කල්ලි හඳුනාගත් ක්‍රියාකාරීන්ගේ නිවෙස්වලට ගොස් ඔවුන් ව ඝාතනය කල බව ද වාර්තා වී තිබේ.

සෑම රාජ්‍ය ඝාතනයක්ම රජයට එරෙහි මහජන කෝපයට ඇවිලවීමට හේතුවක් වෙමින් මේ දක්වා, මෙම මර්දනකාරී ක්‍රියාමාර්ග අපේක්ෂිත ප්‍රතිඵලය වෙනුවට අවාසිදායකත්වයක් ගෙන දුන් බව ඔප්පු කර ඇත. දශකයකට වැඩි කාලයකට පෙර මිලීෂියාවන් ඇමරිකානු හමුදාවන්ට පහර දුන් සාද් නගරයේ දුගී දුප්පත් ෂියා පලාත් බද ප්‍රදේශ නොසන්සුන්තාවයෙන් වෙලී ගොස් තිබේ. එහි සිටින ජනතාව රජයේ ගොඩනැගිලිවලට මෙන්ම රජයට සහාය දෙන ෂියා ජන වර්ගය පදනම් කරගත් පක්ෂවල කාර්යාලවලට ද ගිනි තබා ඇති බව වාර්තා වේ.

රැකියා, වැඩිදියුනු කල ජීවන තත්ත්වයන් සහ දූෂනය අවසන් කිරීම ඉල්ලා සිටින විරෝධතා සදාම් හුසේන්ගේ රජය පෙරලා දැමීමට වොෂින්ටනය සිය යුද්ධය දියත් කර වසර 16 කට වැඩි කාලයක් තුල ඉරාකයේ ඇතිවූ විශාලතම හා වඩාත්ම පැතිරුනු ඒවාය.

එක්සත් ජනපදයේ පුහුනුව ලත් ආරක්ෂක හමුදාවන්ට මුහුන දෙමින් වීදි බැස සිටින බොහෝ දෙනා රැකියා විරහිත තරුන තරුනියන් සහ තරුන කම්කරුවන් වන අතර ඔවුන්ගේ මුලු ජීවිතයම හැඩගස්වා ඇත්තේ එක්සත් ජනපදයේ සාපරාධී ආක්‍රමනකාරී යුද්ධය, ඉන් පසු වසර අටක එක්සත් ජනපද වාඩිලෑම සහ සිය බෙදා පාලනය කිරීමේ උපායට අනුව වොෂිංටනය විසින් උසිගන්වන ලද කටුක නිකායවාදී ගැටුම් වලිනි.

එක්සත් ජනපද යුද්ධය සමාජ නැසීමකට, එනම් සමස්ත සමාජයක් ක්‍රමානුකූලව විනාශ කිරීමක මට්ටමට පත්විය. යුද්ධය හේතුවෙන් ජීවිත අහිමි වූ ඉරාක ජාතිකයින් සංඛ්‍යාව මිලියනයකට වඩා වැඩි යැයි ගනන් බලා තිබේ. මැදපෙරදිග තිබූ වඩාත්ම දියුනු සෞඛ්‍ය සේවා, අධ්‍යාපනය සහ සමාජ සුභසාධන පද්ධති රටේ යටිතල පහසුකම්වලින් වැඩි ප්‍රමානයක්ද සමග විනාශ කර දමන ලදී.

වොෂින්ටනය 2003 ආක්‍රමනය දියත් කලේ “මහා විනාශකාරී ආයුධ” පිලිබඳ බොරුව සහ ඉරාකය මිලිටරිමය වශයෙන් යටත් කර ගැනීමෙන් මැද පෙරදිග අතිවිශාල බලශක්ති සම්පත්වල පාලනය අත්පත් කර ගත හැකි බවත්, එමඟින් එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ගෝලීය ආධිපත්‍යය පිරිහීමට ලක් වීම වැලැක්විය හැකි බවට වන කොල්ලකාරී සංකල්පයත් පදනම් කරගෙන ය.

කෙසේ වෙතත්, ඉරාක යුද්ධය, ලිබියාවේ හා සිරියාවේ පාලන තන්ත්‍ර වෙනස් කිරීම සඳහා එක්සත් ජනපදය විසින් සංවිධානය කරන ලද යුද්ධ මෙන්ම, මහත් විනාශයකට හේතු විය. බොහෝ එක්සත් ජනපද හමුදා ඉරාකයෙන් ඉවත් කර වසර තුනක් ඇතුලත ඔබාමා පාලනාධිකාරය අයිඑස්අයිඑස්ට එරෙහි ඊනියා යුද්ධය දියත් කිරීම සඳහා තවත් 5,000 ක් ආපසු ඉරාකයට යැවීමට පටන් ගත් අතර ඒ මගින් අන්බාර් පලාතේ වැඩි වශයෙන් සුන්නි ජනයා ජීවත්වන නගර සහ ඉරාකයේ දෙවන විශාලතම නගරය වන මොසුල් සුන්බුන් බවට පත් කලේය.

ඩොලර් ට්‍රිලියන ගනනක් වියදම් කර තුවාල ලැබූ දසදහස් ගනනක් සමග හමුදා භටයන් 4500 ක ජීවිත පරිත්‍යාග කරමින් වුවත් වොෂිංටනය බැග්ඩෑඩ් හි ස්ථාවර එක්සත් ජනපද රූකඩ පාලනයක් පිහිටුවීමට ඔවුන් මුලුමනින්ම අසමත්වූ බව ඔප්පු කර තිබේ.

වත්මන් අගමැති අබ්දුල් මහීඩි, එක්සත් ජනපද යුද්ධය සහ වාඩිලා ගැනීම මගින් ඉදිරියට ගෙන ආ දේශපාලන වශයෙන් බංකොලොත් ධනේශ්වර දේශපාලකයන් ගේ නියම ආකෘතියකි. මුලදී බාත් පාක්ෂිකයකු වූ ඔහු ඉරානයේ පිටුවහලේ සිටිය දී ඉරාක කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රමුඛ සාමාජිකයෙකු බවට පත්ව අනතුරුව අයතුල්ලා කොමේනිගේ ඉස්ලාමීය දෘෂ්ටිවාදයට තම පක්ෂපාතිත්වය මාරු කලේ ය. අවසාන වශයෙන්, 2004 දී ඇමරිකානුවන් විසින් ඉරාකයේ අටවන ලද රූකඩ පාලන තන්ත්‍රයට ඔහු “මුදල් ඇමති” ලෙස පිවිසියේය.

කල්ලිවාදී දේශපාලනයේ පදනම මත ඉරාකය පාලනය කිරීමට උත්සාහ කල මෙම කොටස් සාර්ථක වී ඇත්තේ ඩොලර් බිලියන සිය ගනනින් රට කොල්ලකෑමට පමනි. රැකියා උත්පාදනයට, ජලය සහ විදුලිය වැනි අත්‍යවශ්‍ය සේවාවන් සැපයීමට හෝ රටේ සුනුවිසුනු වී ගිය යටිතල පහසුකම් ප්‍රතිසංස්කරනය කිරීමට හෝ ඔවුන්ට හැකිවී නැත.

දවස පුරා ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කල කතාවේදී ම අග්‍රාමාත්‍ය අබ්දුල් මහීඩි අවධාරනය කලේ තරුන පෙලපාලිකරුවන්ගේ ඉල්ලීම් ඉටු කිරීමට “ඉන්ද්‍රජාලික විසඳුමක්” නොමැති බවයි.

කෙසේ වෙතත්, ලෝකයේ පස්වන විශාලතම බොරතෙල් සංචිතයට හිමිකම් කියන ඉරාකය සෑම මසකම ඩොලර් බිලියන 6 කට වඩා වැඩි තෙල් ආදායමක් ලබා ගන්නා බවත්, මෙම ධනයෙන් අති විශාල පංගුව විදේශ ධනපතියන්ගේ සහ දූෂිත දේශපාලකයන් සහ ඔවුන්ගේ ඥාතීන් සමඟ වන සීමිත ඉරාක මූල්‍ය ප්‍රභූවක් අතට ගලා යන බවත් පෙලපාලිකරුවන් දනී. මෙම අතිවිශාල ධනය ඉරාක වැඩකරන ජනතාවගේ පාලනය යටතේ තැබූ කල මිලියන ගනනකගේ අති දුෂ්කර සමාජ අවශ්‍යතා සපුරාලීම සඳහා යොදා ගත හැකි බව වටහා ගැනීමේ දී “ඉන්ද්‍රජාලික” වන කිසිවක් නැත.

පාලන තන්ත්‍රය එහි අරටුවෙන්ම සොලවා ඇත්තේ පාලක පක්ෂ තම පදනම ලෙස පෙන්වාගෙන සිටින රටේ බහුතර ෂියා ජනගහනය තුලම විරෝධතා කේන්ද්‍රගත වී ඇති නිසාය. මැද පෙරදිග වෙනත් තැන්වල මෙන් ඉරාකයේ ද මතුවෙමින් පවතින්නේ අධිරාජ්‍යවාදීන් සහ ජාතිකවාදී පාලක කල්ලි විසින් කලාපය තුල ආධිපත්‍යය දැරීමට භාවිතා කල කල්ලිවාදයට හා මර්දනයට එරෙහිව පන්ති අරගලය යලි නැගී ඒමයි.

මෙම සමාජ පුපුරායාම ඊජිප්තුවේ ජෙනරාල් සිසිගේ පොලිස් රාජ්‍ය ආඥාදායකත්වයට එරෙහි විරෝධතා, ලෙබනනයේ ජාමූඅ මාදිලියේ කප්පාදු පියවරයන්ට එරෙහිව මහජන උද්ඝෝෂන සහ ජෝර්දාන රජයට එරෙහිව ගුරුවරුන් 146,000 ක් විසින් මාසයකට වැඩි කාලයක් තිස්සේ කර ගන යන වැඩ වර්ජනය වැනි දකින්නට තිබෙන පුලුල් චලනයක කොටසකි.

මෙම අරගල ඉරාකයේ පමනක් නොව අරාබි ලෝකය පුරා ජාතික ධනේශ්වරයේ දේශපාලන බංකොලොත්භාවය යලිත් වරක් හෙලිදරව් කරයි. සදාම් හුසේන් සහ බෂාර් අල් අසාද්ගේ බාත්වාදී පාලන තන්ත්‍රවල සිට අබ්දුල් මහීඩි සහ සිසි වැනි පූර්න පන්දම් කාරයන් දක්වා උදවිය විසින් අරාබි ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජීය ඉල්ලීම් කිසිවක් විසඳීමට හෝ අධිරාජ්‍යවාදයෙන් අව්‍යාජ ස්වාධීනත්වයක් ඇති කර ගැනීමට මෙම පංතිය ඓන්ද්‍රීයව අසමත් බව ඔප්පු කර තිබේ. .

මෙවර ඉරානයට එරෙහිව වන තවත් එක්සත් ජනපද අධිරාජ්‍යවාදී යුද්ධයක තර්ජනයේ පසුබිම මත ඉරාකයේ නැගිටීම් වොෂිංටන් හා ටෙහෙරානය යන දෙඅංශයේ ම විවෘත වෛරයට ලක්ව තිබීම සැලකිය යුතු කරුනකි.

ඉරාන නිලමක්කාරයන් කියා සිටින්නේ විරැකියාව, නො ඉවසිය හැකි ජීවන තත්වයන් සහ රජයේ දූෂනයට එරෙහි මෙම මහජන විරෝධතා එක්සත් ජනපදය, ඊශ්‍රායලය සහ සෞදි අරාබිය යන රටවල එකතුවෙන් බැකිම ලබන “රහස් ඔත්තු කරුවන්ගේ” වැඩක් බවයි. පැහැදිලිවම, ඉස්ලාමීය ජනරජයේ ධනේශ්වර-පූජක පාලකයින් බිය වන්නේ ඉරාකයේ කැරැල්ල විරැකියාව, ජීවන තත්වයන් පහත වැටීම සහ දැවැන්ත සමාජ කප්පාදුවලට එරෙහිව 2017-18 දී පැනනැඟුනු ඉරාන කම්කරු පන්තියේ මහජන විරෝධතා යලි ඇවිලවීමේ ගිනි පුපුරක් වනු ඇතැයි කියාය.

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව ඔවුන්ගේ පැත්තෙන් විරෝධතා දැක්වීමේ අයිතිය වියුක්තව සනාථ කරන උපචාරමය ප්‍රකාශයක් නිකුත් කර ඇති අතර, ආරක්ෂක අංශ නොව විරෝධතාකරුවන් ගේ “ප්‍රචන්ඩත්වය” හෙලා දකිමින් “සන්සුන්” වන ලෙස ආයාචනා කරයි. මේ අතර, එක්සත් ජනපද සංගත ජනමාධ්‍ය මහජන විරෝධතා සහ ඉරාක තන්ත්‍රයේ ලේවැකි මර්දනය විශාල ලෙස නොතකා හැර තිබේ.

කෙනකුට වොෂිංටනය රෙජිම වෙනස් කිරීම සඳහා ඉලක්ක කරගෙන සිටින ඉරානය, වෙනිසියුලාව, රුසියාව හෝ වෙනත් ඕනෑම රටක පෙලපාලිකරුවන් වෙඩි තබා ඝාතනය කිරීමක් සම්බන්ධයෙන් “මානව හිමිකම්” අධිරාජ්‍යවාදීන්ගේ ප්‍රතිචාරය ගැන පමනක් සිතා ගැනීම සෑහේ. කෙසේ වෙතත් ඉරාකය සම්බන්ධයෙන් ගත් කල, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය මහජනයාගේ විප්ලවීය මැදිහත්වීම සිය යුද අරමුනු කඩාකප්පල් කර දමනු ඇතැයි මහත් සේ බිය පත්ව සිටිති.

එක්සත් ජනපදයේ සහ ජාත්‍යන්තරව මහා යුද විරෝධී ව්‍යාපාරයක් නොමැති තත්වයන් යටතේ ඉරාකයේ සිදුවීම් ජාත්‍යන්තර වැදගත්කමක් උසුලයි. මෙය ව්‍යාජ වම ඉටු කල භූමිකාව සමඟ බැඳී පවතී. 1960 සහ 70 දශකවල මධ්‍යම පන්තික විරෝධතා ව්‍යාපාරවලින් මතුවූ මෙම දේශපාලන ප්‍රවනතා තියුනු ලෙස දකුනට ගමන් කර තිබේ. ඉහල මධ්‍යම පංතියේ වරප්‍රසාදිත ස්ථරවල සමාජ අවශ්‍යතා පිලිබිඹු කරමින්, ඔවුන්ගෙන් සමහරක් තවමත් සමාජවාදී යැයි කියා සිටින මෙම කන්ඩායම්, “මානව හිමිකම්” නරුම ධජය යටතේ අධිරාජ්‍යවාදී මැදිහත්වීම් සහ සමූහ ඝාතන සඳහා සාධාරනීකරනයන් සැපයීමේ දී ප්‍රධාන දේශපාලන කාර්යභාරයක් ඉටු කර ඇත.

ඉරානයට එරෙහි එක්සත් ජනපද යුද්ධයක් සඳහා යොදා ගත හැකි සටන් බිමක් ලෙස පුලුල් ලෙස දැකිය හැකි ඉරාකයේ මහා සමාජ නැගිටීම, මැද පෙරදිග නව හා වඩා භයානක යුද්ධයක් ද ඒ සමඟ ගෝලීය යුද බිය තර්ජනය ද නැවැත්වීමේ එකම ඉදිරි මාවත පෙන්වා දෙයි.

ඉරාකයේ, වඩා පලල් ලෙස මැදපෙරදිග, එක්සත් ජනපදයේ හා ජාත්‍යන්තරව ද ධනවාදයට එරෙහි කම්කරු පන්තියේ අරගලය නව මහජන යුද විරෝධී ව්‍යාපාරයක් බිහිවීමේ පදනම සකසයි. යුද්ධයේ, සමාජ අසමානතාවයේ සහ ආඥාදායකත්වයේ මූලාශ්‍රය වන ධනේශ්වර ක්‍රමය අවසන් කිරීම පිනිස ලොව පුරා කම්කරුවන් එක්සත් කිරීම සඳහා මෙම ව්‍යාපාරය සමාජවාදී ජාත්‍යන්තරවාදයේ වැඩපිලිවෙලකින් සන්නද්ධ විය යුතුය.

බිල් වැන් ඕකන්

Share this article: