කොන්ග්‍රස් මන්ත්‍රීන් දෙදෙනෙක් ඊස්රායලයට යාම අවහිර කරමින් ට්‍රම්ප් ගත් ඒකාධිපති පියවර

A dictatorial move: Trump blocks travel to Israel by two congresswomen

2019 අගෝස්තු 16

ඇමරිකානු කොන්ග්‍රස් මන්ත්‍රීවරියන් දෙදෙනෙකු වන රෂිඩා ත්ලායිබ් සහ ඉල්හාන් ඔමාර් ඊස්රායලයට සහ බටහිර ඉවුරට පැමිනීම අවහිරකිරීමට 15දා ඊස්රායල ආන්ඩුව තීරනය කලේය. ඊස්රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු විසින් එම තහනම පනවන ලද්දේ ඇමරිකානු ව්‍යවස්ථාදායක සම්මතයන් උල්ලංඝනය කරමින් ව්‍යවස්ථාදායක සභාවේ දෙදෙනෙකුට එරහිව ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ මෙහෙයවීම යටතේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මත එල්ල කෙරුනු ඒකාධිපති ප්‍රහාරයක කොටසක් ලෙසය.

ජනාධිපති ට්‍රම්ප්, ත්ලයිබා සහා ඔමාර් ගේ සංචාරය සිය නිර්ලජ්ජිත මුසාවාද සහිත 15දා පලකල ට්විටර් පනිවුඩයකින් හෙලා දැක්කේය. නියෝජිතවරියන් දෙදෙනා “ඊස්රායලයට සහ සියලු‍ම යුදෙව් ජනතාවට වෛරකරන බවත් ඔවුන්ගේ හිත වෙනස් කිරීම සඳහා පැවසිය හැකි හෝ කල හැකි කිසිවක් නැතැයි” ඔහු පැවසීය. “ඔමාර් සහ ත්ලයිබ් ගේ සංචාරයට ඊස්රායලය ඉඩ ලබා දුන්හොත්” එය විශාල දුර්වලතාවයක් ලෙස පෙනී යනු ඇතැයි” ඔහු අනතුරු ඇඟවීය.

ඊස්රායලයේ අභ්‍යන්තර කැබිනට් මන්ඩලය මිනිත්තු කිහිපයකට පසුව රැස් වෙමින් එම ප්‍රකාශය මගින් ඇඟවුම් කලේ කුමක්ද යන්න අවබෝධ කර ගති. එය කලින් එලඹි තීරනයක් ආපසු හරවා, ත්ලයිබ් සහ ඔමාර්ට ඊස්රායලයට හෝ බටහිර ඉවුර සහ නැගෙනහිර ජෙරුසලම වැනි ඊස්රායලය එය අල්ලා/ගත් ප්‍රදේශයන්ට ඇතුලු‍ වීමට ඉඩ ලබා නොදීමට තීරනය කලේය.

ට්‍රම්ප් සහ නෙතන්යාහු එකතු කලේ, කෙතරම් අදාල වුවත්, අධිරාජ්‍යවාදී ස්වාමියෙකු සහ පන්දම් කාර රෙජිමයක් අතර ඇති සම්බන්ධය විසින් පමනක් නොව, පොදු දේශපාලන මූලෝපායකිනි. දෙදෙනාම තම තමාගේ රටවල සිටින ෆැසිස්ට්වාදී කොටස් සමග -නෙතන්යාහු බටහිර ඉවුරේ පදිංචිකරුවන් සහ මිලිටරියේ කොටස් සමග සහ ට්‍රම්ප් සුදු අධිපතිවාදීන්, සම චින්තකයන් සහ එල් පාසෝ තුවක්කුකරුට ආවේශය සැපයූවන් සමග - එක්ව කටයුතු කිරීම මගින් අර්බුදයට පත්ව ඇති දක්ෂිනාංශික ආන්ඩු වලට මුක්කු ගැසීමට උත්සාහ කරමින් සිටී.

ඉතාම සතුටින් හංගේරියානු අග්‍රාමාත්‍ය වික්ටර් ඕබන් සහ මුසෝලිනි කෙනෙකු විය හැකි ඉතාලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය මාටිනි සැලවීනි වැනි දක්ෂිනාංශික යුදෙව් විරෝධීන් පිලිගෙන තිබියදී, නෙතන්යාහු, ඔමාර් සහ ත්ලායිබ් ඊස්රායලයට ඇතුලුවීම තහනම් කිරීමේ ඇති ලජ්ජා විරහිත කුහකත්වය ඊස්රායල් මාධ්‍ය දැනටමත් සඳහන් කොට ඇත.

මෙම සිදුවීම් දාමය නිශ්චිත ඇඟවුම් සහිතය. ව්‍යවස්ථාවට අනුව ආන්ඩුවේ එක් සමානපාර්ශවයක් වන කොන්ග්‍රසයේ සාමාජිකයන් සම්බන්ධයෙන් එක්සත් ජනපද ජනාධිපතිට කිසිදු අධිකාරී බලයක් නොමැත. කිසිදු ජනාධිපතිවරයෙක් මීට පෙර සෙනෙට් සභිකයන්ගේ හෝ නියෝජිතයන්ගේ චාරිකාවක් අවහිර කිරීමට උත්සාහ කර නැත.

පසුගිය මාසයේ ට්‍රම්ප්, ත්ලයින්, ඔමාර් සහ තවත් නියෝජිතයන් දෙදෙනෙකු වන ඇලෙක්සැන්ඩි්‍රයා ඔකේෂියෝ කෝර්ටේස් සහ අයානා ප්‍රෙස්ලි ට එරහිව දීර්ඝ දෝෂාරෝපනයක් එල්ල කලේ, “අපේ රටට වෛර කරන” “සමාජවාදීන්” ලෙස ඔවුන් හෙලා දකිමින්ය. ආන්ඩුව විවේචනය කරන සියල්ලන්ටම “පිටවිය හැකි බව” ඔහු ප්‍රකාශ කලේය. “ඔවුන් ඇමරිකාවට ආදරේ නැත්නම් ඔවුන් සියල්ලන්ට රටින් පිටවෙලා යන්න කියන්න.”

එජ පාලක පන්තියේ පිලිවෙත් විවේචනය කරන්නවුන් බලහත්කාරයෙන් පිටුවහල් කල යුතුය යන තර්ජනය මෙම ප්‍රහාරය තුල අන්තර්ගත විය. ජාත්‍යන්තර නීතිය යටතේ තම අයිතියක් වන නිදහසේ ගමන් කිරීමෙන් මෙම පුද්ගලයන් වැලක්වීමට ට්‍රම්ප් කටයුතු කොට ඇත. ඊලඟ පියවර ඔවුන් ඇමරිකාවට නැවත පැමිනීම වැලක්වීමට උත්සාහ දැරීම වීමට බොහෝ දුරට ඉඩ ඇත.

ඩිමොක්‍රටිකයන් සම්බන්ධයෙන් ගත් විට, කොන්ග්‍රසය තුල සිටින තමන්ගේම නියෝජිතයන් දෙදෙනෙකු ඉලක්ක කොටගත් පෙර නොවූ විරූ ව්‍යවස්ථා උල්ලංඝනය හෙලා දැකීමට ඔවුන්ට ශක්තියක් නැති තරම්ය. ඊස්රායලයට ඇති තම ආදරය ප්‍රකාශ කරමින් සභාවේ කතානායක පෙලොසි, “ශ්‍රේෂ්ඨ ඊස්රායල් රාජ්‍යයේ ගරුත්වයට නුසුදුසු” සහ “ජනාධිපති කාර්යාලයේ ගරුත්වයට නුසුදුසු” ක්‍රියාවන් සහ ප්‍රකාශයන් සම්බන්ධයෙන් තමා “ගැඹුරෙන් දුක්වන” බවට කල ප්‍රකාශය පෙරදී සිදුකල ඒවා පරිදිම විය.

මාර්තු මාසයේදී, ඕමාර් විසින් ඊස්රායලය සහ එජ යේ ඊස්රායලය වෙනුවෙන් බලපෑම් කරන කන්ඩායම විවේචනය කරමින් සිදුකල ප්‍රකාශයන් නිහඬව හෙලා දකිමින් ඩිමොක්‍රටිකයන් විසින් සභාව තුල යෝජනාවක් ඉදිරිපත් කලේ එවැනි විවේචනයන් “යුදෙව් විරෝධී” යැයි විරුද්ධ වෙමින් සහ ගොතන ලද “වාමාංශික යුදෙව් විරෝධයේ” වර්ධනයකට එරහි දක්ෂිනාංශික දේශපාලන දඩයමට යටත් වෙමින්ය. අවසානයේදී සභාව, යෝජනාවේ වෙනස්කම් සිදුකරන ලද සංස්කරනයක් සම්මත කලේය.

“යුදෙව්වන් ලෝක සිදුවීම් පාලනය කිරීමට අර්ධ-ගුප්ත බලය යොදා ගනී; ඔවුන් අවාසනාවන්ත අන්‍යජාතිකයන් ඔවුන්ගේ මුදල් වලින් පාලනය කරයි; ලෝකයේ අනෙකුත් රටවල වෙසෙන යුදෙව්වන් ඔවුන් ජීවත් වන රට වලට පක්ෂපාතී නැත” යනාදී යුදෙව් විරෝධී “පාඨ කැඳවුම් කිරීම” සම්බන්ධයෙන් ඔමාර් හට ප්‍රහාර එල්ල කෙරූ, මයිකල් ගෝල්ඞ්බර්ග් විසින් රචිත මතවාදී ලිපියක් ඩිමොක්‍රටික් පක්ෂයේ අර්ධ නිල හොරනෑව වන නින්දිත නිව්යෝක් ටයිම්ස්, මාර්තු 8 වනදා පලකරන ලදී.

මෙය පොදු රටාවක් අනුගමනය කරයි. මෙම වසර පුරා එකකට පසුව තවෙකක් වශයෙන් ට්‍රම්ප් ව්‍යවස්ථාමය සම්මතයන්ට එරහිව ගොස් ඇත්තේ ඩිමොක්‍රටිකයන් සෑම අවස්ථාවකදීම පරිපාලනයේ වර්ධනය වන ඒකාධිපති පිලිවෙත් වල අර්තභාරය සැඟවීමට කටයුතු කරද්දීය.

දෙසැම්බර් මාසයේදී ට්‍රම්ප් ෆෙඩරල් ආන්ඩුව අර්ධ වශයෙන් අකර්මන්‍ය කලේ, එජ-මෙක්සිකෝ දේශසීමාව දිගේ ඔහුගේ තාප්පය ගොඩනැගීමට අවශ්‍ය අරමුදල් සැපයීමට කොන්ග්‍රසයට බල කිරීමේ උත්සහයක් ලෙසය. එම කප්පම් ගැනීම අසාර්ථක වූ විට ට්‍රම්ප්, ආන්ඩුව නැවත ක්‍රියාත්මක කිරීමේ ගිවිසුමකට එලඹුනි. ඔහු දේශ සීමාව තුල වහාම හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කලේ, කොන්ග්‍රසය විසින් අනෙකුත් අරමුනු සඳහා යොදන අරමුදල් තාප්පය සඳහා ගෙවීමට හුවමාරු කිරීමේ පදනම ප්‍රකාශයට පත් කරමින්ය.

ට්‍රම්ප් ඔහුගේ ජාතික ආරක්ෂාව පිලිබඳ දෙපාර්තමේන්තුවේ (ඩීඑච්එස්) ලේකම් සහ ශ්‍රේනියෙන් පහල නිලධාරීන් සේවයෙන් පහ කලේ, ඔවුන් සංක්‍රමනික ප්‍රජාවන් තුල සමූහ වටලෑම් සිදු කිරීමට පැකිලු‍න නිසාවෙනි. ඩීඑච්එස් සහ අනෙකුත් ෆෙඩරල් ඒජන්සි ගනනාවක් මෙහෙයවන්නේ ට්‍රම්ප් විසින් පත් කරන ලද “වැඩබලන” නිලධාරීන් වුවත් එය සෙනට් මන්ඩලය විසින් තහවුරු කොට නැති අතර එමඟින් ව්‍යවස්ථාව විසින් සපයා ඇති ව්‍යවස්ථාදායක අධීක්‍ෂනය යටපත් කරනු ලැබේ.

ඇත්තේ, ජුනි අගදී පරිපාලනයේ රැඳවුම් කඳවුරු වලට අරමුදල් සැපයීමට ඇඩො බිලියන 4.6 ක දේශසීමා පනත් කෙටුම් පතක් සම්මත කරමින්ය. ඒ වාර්තාගත ඇඩො බිලියන 738 ක් එජ මිලිටරියට සපයමින් පරිපාලනයේ අයවැය පනත සම්මත කිරීමෙන් පසුවය.

“සේනාධිනායක” ලෙස ඔහුගේ භූමිකාව සමරමින්, වොෂින්ටනයේ පැවැත්වෙන නිල ජුලි හතර සැමරුම, මිලිටරි සැමරුමක් ලෙස වෙනස් කිරීමට පරිපාලනය ප්‍රකෝපකාරී සැලසුමකින් යුතුව කටයුතු කරන ලදී. මිලිටරිය “දේශපාලනකරනය” සම්බන්ධයෙන් පරිපාලනය විවේචනය අතර ඩිමොක්‍රටිකයෝ, ජුලි හතර පැවැත්වූ සිය කතාවේදී “එක්සත්භාවය” පිලිබඳ ට්‍රම්ප්ගේ පනිවුඩය විශාල වශයෙන් වර්නනා කරමින් ඊට ප්‍රතිචාර දැක්වූහ.

2020 ජනාධිපතිවරන උද්ඝෝෂනයේ පලමු මාස කිහිපය තුල ට්‍රම්ප්, තමන්ට ඇතැයි විශ්වාස කරන විශාල මහජන සහය මත පදනම්ව, 2020 මැතිවරනය අහෝසි කල යුතු බවටත් ධවල මන්දිරය තුල තුන්වන සහ හතරවන වාරයක් තමන්ට සිටිය හැකි බවටත් නැවත නැවතත් යෝජනා කර ඇත. ඒ ඕනෑම ජනාධිපතිවරයෙක් සිව් වසරක බැගින් වාර දෙකකට සීමා කර ඇති ව්‍යවස්ථාවේ 22 වන සංශෝධනය අභියෝගයට ලක් කරමින්ය .

ට්‍රම්ප් සිය දේශපාලන මූලෝපාය, 2020 මැතිවරන උද්ඝෝෂනය සඳහා සහ පසුව සිදුවන ඕනෑම දේශපාලන අර්බුදයක් සඳහා, පැහැදිලිව පෙනෙන ෆැසිස්ට්වාදී කැඳවුමක් තුල එක් කෙරුනු මෙම තේමාවන් තුන මත පදනම් කිරීමට තීරනය කොට ඇත. එනම්, සංක්‍රමනිකයන් සහ සුලු ජන කොටස් වර්ගවාදී ව හෙලා දැකීම, මිලිටරිය සහ පොලිසිය උත්කර්ෂයට නැංවීම සහ සමාජවාදයට එරහි කොමියුනිස්ට් විරෝධී විවේචන ය.

ට්‍රම්ප් පරිපාලනයේ කටයුතු ගලා එන්නේ, ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ඔලු‍වෙන් නොවේ. ඒවා, පෙර නොවූ විරූ සමාජ අසමානතාවය සහ නොනවතින යුද්ධය විසින් නිෂ්පාදිත, ඇමරිකා එක්සත් ජනපද පාලනයේ ප්‍රජාතන්ත්‍රවාදී ආකෘතීන්ගේ මූලික බිඳවැටීමේ ප්‍රකාශනයකි. මීට එරෙහි විරෝධතාවය පැමිනෙනු ඇත්තේ ඩිමොක්‍රටික් පක්ෂයෙන් නොව, එයට සහ මුලුමහත් ධනපති පද්ධතියටම එරෙහිව කම්කරු පන්තිය බලමුලු ගැන්වීම තුලින්ය.

පැට්‍රික් මාර්ටින්

Share this article: