යුද්ධයේ හා ආඥාදායකත්වයේ සෙවනැල්ල යටතේ එක්සත් ජාතීන්ගේ විවාදය ඇරඹේ

UN debate begins under shadow of war and dictatorship

2019 සැප්තැම්බර් 24

එක්සත් ජාතීන්ගේ වාර්ෂික මහා සම්මේලන විවාදයේ ආරම්භය අද සලකුනු කරයි. යුරෝපය තුල ෆැසිස්ට්වාදයේ නැගීමෙන් හා මිලියන 70කට අධික මානවයන් සංහාරයට ලක් කල දෙවන ලෝක යුද්ධයෙන් ඉක්බිති ව තැනූ සංවිධානයක් වන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිව් යෝක් නගරයේ පිහිටි මූලස්ථානයට, අවම වසයෙන් රටවල් රාජ්‍යයන් 90ක ප්‍රධානීන් එක්රැස්වී ඇත.

1945 ඔක්තෝබරයේ අනුමත කරන ලද එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය, “අනාගත පරම්පරාවන් යුද්ධයේ පීඩාවෙන්” බේරාගැනීමට පොරොන්දු විය. තව දුරටත් නො නැසී සිටි හිට්ලර්ගේ තුන්වන රයිකයේ නායකත්වයට එරෙහි ව, ඔවුන්ගේ “සාමයට එරෙහි අපරාධ” හෙවත් ආක්‍රමනකාරී යුද්ධ දියත් කිරීම පිලිබඳ ව නඩු අසන ලද න්‍යුරම්බර්ග් මූලධර්ම මත පදනම් වූ ලියවිල්ල, එක්සත් ජාතීන්ගේ සාමාජික රාජ්‍යයන් “ඔවුන්ගේ ජාත්‍යන්තර සබඳතාවල දී කිසිදු රාජ්‍යයක භෞමික අඛන්ඩතාවට හෝ දේශපාලන ස්වාධීනත්වයට එරෙහි ව තර්ජනය කිරීමෙන් හෝ බලය යෙදීමෙන් වැලකී සිටීම” අවශ්‍ය කලේ ය. ලේඛනයේ ප්‍රස්තාවනාව “මානව පුද්ගලත්වයේ ගෞරවය හා වටිනාකමේ දී අතිමූලික මානව හිමිකම්වලට” කැපවීමක් සහතික කලේ ය.

ශතවර්ෂ තුන්කාලකට ආසන්න කාලයක් ගත වී ඇති තැන, මහා සම්මේලනය ඇමතීමට පෙලගැසී සිටින පලමු කථිකයන් තිදෙනා තරම් සජීවී ලෙස මෙම අරමුනුගත මූලධර්මයන් ව්‍යාජ බව පෙන්නුම් කල හැකි අය සිටිය නො හැකි ය.

2019 සැප්තැම්බර් 23 සඳුදා එක්සත් ජාතීන්ගේ මහා මන්ඩල රැස්වීම අතරතුර ඉන්ටර්කොන්ටිනන්ටල් බාක්ලේ හෝටලයේ දී ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඊජිප්තු ජනාධිපති අබ්දෙල්-ෆාටා එල්-සිසි හමු වේ(ඒපී ඡායාරූපය/එවාන් වුසී) (AP Photo/Evan Vucci)

සම්ප්‍රදායානුකූල ව ලැයිස්තුවේ ඉදිරියෙන් ම සිටින්නේ, තම පලමු කතාව සිදුකරන ෆැසිස්ට්වාදී ජනාධිපති ජායිර් බොල්සොනාරෝ විසින් නියෝජනය කරන බ්‍රසීලය යි. දශක දෙකක් පුරා ඔහුගේ රට පාලනය කල එක්සත් ජනපද-පිටුබලය ලත් ආඥාදායකත්වය විවෘත ව ගෞරවයෙන් සලකන්නෙක් වන ඔහු, 30,000ක් ජනයා පමනක් සංහාරයට ලක් කර කර්තව්‍යය අවසන් කිරීමට අසමත් වීම ගැන වධක තන්ත්‍රයට දොස් පවරා ඇත.

ඔහුට පසුව පැමිනෙන්නේ, එක්සත් ජනපදය ඉරානයට එරෙහි ව දියත් කරන ආක්‍රමනකාරී යුද්ධයක් සඳහා සහයෝගය පතා ඝෝෂා කිරීම එක්සත් ජාතීන්ගේ විවාදයට සහභාගි වීමේ ප්‍රධාන ඉලක්කය කරගත්, වොෂින්ටනයේ ම ෆැසිස්ට්තාලයේ ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ය. මහා මන්ඩලය අමතා ඔහු කලින් කල කතා දෙකේ දී, උතුරු කොරියාව හා එහි මිලියන 25ක ජනයා “සම්පූර්නයෙන් විනාශ කිරීමට” තමන් “සූදානම්, අභිලාෂී හා හැකියාවැති” බව ට්‍රම්ප් ප්‍රකාශ කලේ, මුසෝලිනි හා හිට්ලර්ගේ පූච්චානම් ප්‍රතිරාවය කරමින්, පරාගත ජාතිකවාදයේ “ස්වෛරීත්වයේ” හා “දේශානුරාගයේ” ශක්තීන් වර්නනා කරන ආක්‍රෝශ පරිභවයන් දෙසාබාමිනි.

මහා මන්ඩලයේ හරිත වර්න, කිරිගරුඬවලින් වටවූ කථිකාසනයට අවසන් වරට නැගීමෙන් පසු, සංක්‍රමනිකයන් හා සරනාගතයන්ට එරෙහි ව අනුකම්පාරහිත යුද්ධයක් දියත් කිරීම, වධබන්ධනයට සමාන කොන්දේසි යටතේ ලමුන් රැඳවුම් කඳවුරුවල තබාගැනීම, සංක්‍රමනික කම්කරුවන් මත මහා පරිමාන වටකිරීම් දියත් කිරීම හා පිටුවහල් කිරීම සහ රැකවරන ලබාගැනීමේ අයිතිය සාරභූත ලෙස අවලංගු කිරීම යන ඒවා හරහා ට්‍රම්ප් ජාත්‍යන්තර අපකීර්තිය උපයාගෙන ඇත. මෙම ම්ලේච්ඡ උද්ඝෝෂනය, ඔහුගේ පදනමට කරන වඩ වඩා විවෘත ෆැසිස්ට් ආයාචනයන් හා ආඥාදායක පාලන රූප කරා ධාවනය සමග අත්වැල් බැඳගෙන ඇත.

ට්‍රම්ප්ට පසුව එන්නේ, පසුගිය මාසයේ පැවති ජී7 රැස්වීමේ දී ඔහු තමන්ගේ “කැමති ම ආඥාදායකයා” ලෙස විස්තර කල “කයිරෝවේ මිනීමරුවා” වන, ඊජිප්තුවේ ජනරාල් අබ්දෙල් ෆාටා එල්-සිසි ය. මැද පෙරදිග හරහා හා ලෝකය පුරා වැඩකරන ජනයා ආශ්වාදනය කරමින්, 2011 දී ඊජිප්තුවේ පුපුරා ගිය මහජන විප්ලවවාදී නැගී සිටීම ලේවැකි ලෙස මර්දනය කිරීම හේතුවෙන් ට්‍රම්ප් හා ලෝකයේ අනෙකුත් ධනේශ්වර නායකයන් විසින් වැලඳගෙන ඇති සිසි, දහස් ගනනක් සංහාරයට ලක් කොට, ඔහුගේ තන්ත්‍රයට විරුද්ධ වීම හේතුවෙන් දසදහස් ගනනක් සිරගත කොට වධබන්ධනයන්ට ලක් කිරීම දිගට ම කරගෙන ගොස්, දූෂිත නඩු විමසීම් හරහා 2,500ක් මරනයට නියම කර ඇත.

එක්සත් ජාතීන්ගේ මහා මන්ඩලයට සහභාගි වීම පිනිස සිසි කයිරෝ නුවරින් පිටත් වූ වහා ම, මෙම ආඥාදායකයාට ඉවත් වන ලෙස බලකරමින් කයිරෝ, සූවස් හා අනෙකුත් නගරවල මහජන විරෝධතා පුපුරා ගියේ ය. එම විරෝධතාවන් කඳුලු‍ ගෑස්, සජීවී උන්ඩ හා මහා පරිමාන අත්අඩංගුවට ගැනීම්වලට මුහුන දී ඇත. රාජ්‍යය විසින් අත්අඩංගුවට ගෙන තිබුනු විරෝධතාකරුවන් වෙනුවෙන් පෙනී සිටීමට උත්සාහ කරන අතරතුර පොලීසිය විසින් කුදලාගෙන ගිය ප්‍රමුඛ පෙලේ මානව හිමිකම් නීතිඥ මහීනුවර් එල්-මාස්රි ද රඳවාගනු ලැබූවන් අතර සිටියේ ය.

මෙම මැරයන්ගේ ප්‍රදර්ශනශාලාව, ධනපති පාලනය ලෝක පරිමානයකින් අත්‍යන්ත අපරාධකාරීත්වයට පිරිහී යාමේ නිවැරදි පිලිබිඹුවකි. ට්‍රම්ප්, සිසි හා බොල්සොනාරෝ වැන්නන්ගේ විෂකුරු පුද්ගලාරෝපනයන්ගේ නිමැවුමක් නො වන මෙම ක්‍රියාවලිය, ලෝක ධනවාදයෙහි අර්බුදයේ, සමාජ අසමානතාව වේගයෙන් වැඩීමේ හා සියල්ලට ඉහලින්, මූල්‍ය පරපෝෂිතභාවයේ නැගීම හා එක්සත් ජනපදයේ ගෝලීය ආධිපත්‍යය ඛාදනය වීම ආපසු හැරවීම ඉලක්ක කරගෙන ශතවර්ෂ කාලක් තිස්සේ කරගෙන ගිය අනවරත යුද්ධ විසින් විලක්ෂනය කරන ඇමරිකානු ධනවාදයේ දිග්ගැස්සුනු පරිහානියෙහි ප්‍රතිඵලයකි.

පලමු ලෝක යුද්ධයෙහි මහජන විලෝපනයෙන් ඉක්බිත්තේ “ලෝක සාමය” පවත්වාගෙන යාමේ ප්‍රදර්ශනශීලී අභිප්‍රායයෙන් යුක්ත ව 1920 දී පිහිටුවන ලද එක්සත් ජාතීන්ගේ පූර්වගාමියා වූ ජාතීන්ගේ සංගමය පිලිබඳ තක්සේරු කිරීම්වල දී, ශ්‍රේෂ්ඨ රුසියානු විප්ලවවාදීන් වූ ව්ලැදිමීර් ලෙනින් හා ලියොන් ට්‍රොට්ස්කි අතිශය අවඥා සහගත වූ හ.

ජාතීන්ගේ සංගමය “හොරුන්ගේ කුස්සියක්” හා “ආරම්භයේ පටන් අවසානය දක්වා ම ප්‍රයෝගයේ උපකරනයක්; එය මුල පටන් අගට රැවටිල්ලක්; ආරම්භයේ පටන් අවසානය දක්වා එය ව්‍යාජයක්” යි ලෙනින් විස්තර කලේ ය.

ජාතීන්ගේ සංගමය, “යුරෝපයේ හා ලෝකයේ අනෙකුත් කොටස්වල ජනකායන් එහි රත්තරන් යුද කරත්තයට ගැටගසා ඔවුන් වොෂින්ටනයේ පාලනය යටතට ගෙන ඒමට” එක්සත් ජනපද අධිරාජ්‍යවාදය “දරන උත්සාහය යි. සාරභූත වසයෙන් ජාතීන්ගේ සංගමයේ අභිප්‍රාය වූයේියැංකියන් හා සමාගම’ වැනි ලෝක ඒකාධිකාරී සංගතයක් වීම යි” යි ට්‍රොට්ස්කි අර්ථ දැක්වී ය.

එක්සත් ජාතීන් වනාහි, යමක් වේ නම්, වඩා පිලිකුල් සහගත ය. මිලියන දෙකට වැඩි ජීවිත ගනනක් බිලිගත් කොරියාවට එරෙහි එක්සත් ජනපද යුද්ධයට ඍජු සහභාගිකරුවෙක් ලෙස එය සේවය කලේ ය. මිලියන තුනක් මරා දැමූ වියට්නාමය තුල එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ යුද්ධය සීමාකිරීමට එය අසමත් විය. කෝටි ගනනක් නිවාස රහිත සරනාගතයන් බවට පත්කරන අතරතුර, තවත් මිලියන ගනනක් මරා දමා ඇති, මැද පෙරදිග තුල පසුගිය සියවස් කාල පුරා ගෙන ගොස් ඇති සංහාරයට එය පහසුකම් සලසා තිබේ.

එලඹෙමින් පවතින ගෝලීය ව්‍යසනයක් පිලිබඳ ව කරන අනතුරු ඇඟවීම් විසින් ආධිපත්‍යය දැරූ එක්සත් ජාතීන්ගේ දේශගුන සමුලු‍වක් මගින් ආරම්භ කරන ලද එක්සත් ජාතීන්ගේ මහා මන්ඩල විවාදයෙහි පලමු කථිකයන් දෙදෙනා ට්‍රම්ප් හා බොල්සොනාරෝ වූ බව අවධානයට ගත මනා ය. දෙදෙනා ම, ඔවුන්ගේ ආන්ඩුවල විද්‍යාත්මක ආයතන විසින් කරන පර්යේෂන ක්‍රියාශීලී ලෙස මඩිමින් සිටින, දේශගුන වෙනස්කම් ප්‍රතික්ෂේප කරන්නෝ වෙති. දේශගුන වෙනස වනාහි, බටහිර ධනවාදයට වලකැපීමට යොමු වී සිටින “සංස්කෘතික මාක්ස්වාදීන්ගේ” වංචාවක් ලෙස බොල්සොනාරෝගේ විදේශ ඇමතිවරයා විසින් ඉවත දමා ඇත. මෙම ක්ෂේත්‍රයේ දී ද මානව වර්ගයා තමන්ගේ පැවැත්මට ම මුහුන දෙන තර්ජනයන්ට අභිමුඛ වීමට එක්සත් ජාතීන් අසමත් ය.

සවුදි අරාබියේ රාජකීය පරපුට්ටන්ගේ හා ඝාතකයන්ගේ අපවිත්‍ර තන්ත්‍රය ආරක්ෂා කිරීමේ කඩතුරාව යටතේ, ඉරානයට එරෙහි යුද්ධයකට සගයන් සොයමින් ට්‍රම්ප් දැන් නිව් යෝක්හි එක්සත් ජාතීන්ගේ ගොඩනැගිල්ලේ ශාලා පුරා රස්තියාදු ගසයි. එවන් මිලිටරි මැදිහත් වීමක්, කලාපය තුල සෑම රටක් මෙන් ම න්‍යෂ්ටික ව සන්නද්ධ චීනය හා රුසියාව ඇතුලු‍ සියලු‍ ප්‍රධාන බලයන් ඇද ගන්නා තුන්වන ලෝක යුද්ධයකට ප්‍රවේශයක් වීමට තර්ජනය කරන්නේ, ඉරානයේ තීරනාත්මක භූ-මූලෝපායික පිහිටීම හා එහි යෝධ බලශක්ති මූලාශ්‍ර නිසාවෙනි.

මෙම නව යුද්ධය සූදානම් කරද්දී පවා, ට්‍රම්ප් පරිපාලනය පැරනි යුද්ධ වෙහෙස රහිත කෲරභාවයකින් යුතුව දිගට ම කරගෙන යයි. සැප්තැම්බර් 22දා රාත්‍රීයේ එක්සත් ජනපදය විසින් පුහුනු කල හා නායකත්වය දුන් ඇෆ්ගන් විශේෂ හමුදා, මංගල උත්සවයකට සහභාගි වෙමින් සිටි 40ක් වත් මරා දැමු අතර, ඉන් බහුතරය ගැහැනුන් හා ලමුන් ය. තලිබාන් ව්‍යාපාරය සමග සාම ගිවිසුමක් ට්‍රම්ප් විසින් ඉරා දැමීමෙන් පසුව පෙන්ටගනය එහි ප්‍රහාර තීව්‍ර කරද්දී, ඇෆ්ගන් ගොවිපොල කම්කරුවන් 30කට වැඩි දෙනෙක්, එක්සත් ජනපද ඩ්‍රෝන් ප්‍රහාරයකින් සැප්තැම්බර් 19දා සංහාරයට ලක් කිරීමෙන් යන්තම් දින කිහිපයකට පසුව මෙම සංහාරය සිදු විය.

පෙරදී එක්සත් ජනපදයේ යුද අපරාධ හෙලිදරවු කල ජූලියන් අසාන්ජ් හා චෙල්සී මැනිං සිරගත කොට, එක්සත් ජනපද ආන්ඩුව විසින් ඔවුන්ට චෝදනා කරනු ලබන්නේ මන් දැයි මෙම අපරාධ පැහැදිලි කරයි.

ඊජිප්තුවේ මහජන විරෝධතාවන්ගේ සිට එක්සත් ජනපදයේ මෝටර් රථ කම්කරුවන්ගේ වර්ජනය දක්වා ලෝකයේ පාලක කතිපයාධිකාරීන් ඔවුන්ගේ අරටුවට ම සොලවා ඇති, ගෝලීය පන්ති අරගලයේ පුනර්ජීවනය තුල ආඥාදායකත්වය හා ෆැසිස්ට්වාදය දෙසට හැරීමෙහි සාරභූත මූලයන් පිහිටා තිබේ.

ඒ අතර ම, සෑම ධනපති රටක් තුල ම ගොඩනැගෙමින් පවතින යෝධ සමාජ ආතතීන් ඉවතට අපසරනය කිරීමේ කුදුමහත් අවශ්‍යතාව විසින් එක්සත් ජනපදයේ හා අනෙකුත් අධිරාජ්‍යවාදී රටවල පාලක පන්තීන් යුද්ධයට ධාවනය කරනු ලබයි.

යලි වතාවක්, එනම් සියවසක් තුල තුන්වන වතාවට, මානව වර්ගයා සමාජවාදය ද ම්ලේච්ඡත්වය ද යන විකල්පයට මුහුන දෙයි. ෆැසිස්ට්වාදයේ නැගීම, තුන්වන ලෝක යුද්ධයක් කරා ගමන හා න්‍යෂ්ටික සමූලෝත්පාඨනය නැවැත්විය හැක්කේ සමාජවාදී විප්ලවයෙන් පමනි. තීරනාත්මක ප්‍රශ්නය වන්නේ, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ගොඩනැගීම හරහා, කම්කරු පන්තිය තුල නව විප්ලවවාදී නායකත්වයක් ස්ථාපනය කිරීම යි.

බිල් වෑන් ඕකන්

Share this article: