ඩිමොක්‍රටිකයෝ යුක්‍රේනය ගැන සීඅයිඒ රහස් හෙලි කරන්නාට ප්‍රශංසා කරති, මැනිං, අසාන්ජ් සහ ස්නෝඩන්ට හිංසා කරති

Democrats praise CIA whistleblower on Ukraine, persecute Manning, Assange and Snowden

2019 සැප්තැම්බර් 30

පසුගිය සතියේ, කොන්ග්‍රස් ඩිමොක්‍රටිකයින් හදිසියේ ම රහස් හෙලි කරන්නන් සඳහා වන තම සහයෝගය අනාවරනය කර ඇත. ජූලි මාසයේදී යුක්‍රේන ජනාධිපතිවරයා සමග පැවති ට්‍රම්ප්ගේ දුරකතන සාකච්ඡාව සම්බන්ධයෙන් ආන්ඩුව තුල ගැටුම්වල කේන්ද්‍රයේ සිටින ධවල මන්දිරයට අනුයුක්ත සීඅයිඒ ඒජන්තවරයාගේ ආරක්ෂාව පිලිබඳව උත්සුක විය.

බ්‍රහස්පතින්දා, නියෝජිත මන්ත්‍රී මන්ඩල ඔත්තුසේවා කමිටුව, 2020 එක්සත් ජනපද මැතිවරනයේදී ට්‍රම්ප් “විදේශ රටක ඇඟිලි ගැසීම් පෙලඹවීමට” උත්සාහ කල බව පවසමින් ඔත්තුකරුවාගේ පැමිනිල්ල නිකුත් කලේ ය.

ට්‍රම්ප් වාර්තාවේ කතුවරයා “ඔත්තුකරුවෙකු” ලෙස හෙලා දුටු විට, නියෝජිත මන්ත්‍රී මන්ඩල ඔත්තුසේවා කමිටුවේ සභාපති ඇඩම් ෂිෆ්, වාර්තාවේ කතුවරයාට ප්‍රශංසා කලේ, “මෙම රහසිගත තොරතුරු හෙලි කරන්නා පෙන්වා ඇති ආකාරයේ ධෛර්යය හා දේශානුරාගය පෙන්වන ලෙස” අන් අයගෙන් ඉල්ලා සිටිමිනි.

“මෙම අයථා ක්‍රියා දැනුම් දෙන්නා සහ සියලු අයථා ක්‍රියා දැනුම් දෙන්නන් ආරක්ෂා කිරීමට කොන්ග්‍රසය හැකි සෑම දෙයක්ම කල යුතුයි, ” ඔහු ප්‍රකාශ කලේ ය .

සියලුම රහස් හෙලි කරන්නන්? ජාතික ආරක්ෂක ඒජන්සිය (එන්එස්ඒ) හා අනෙකුත් ඔත්තුසේවා ඒජන්සි විසින් එක්සත් ජනපද ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින්, සෑම ඇමරිකානුවෙකු විසින් ම සම්ප්‍රේෂනය කරන සෑම විද්‍යුත් සන්නිවේදනයක් ගැන ම ඔත්තු බැලූ බව පෙන්වන ලියකියවිලි 2013 දී නිකුත් කල එන්එස්ඒ කොන්ත්‍රාත්කරු එඩ්වඩ් ස්නෝඩන් ගැන ඔහුට කීමට තිබූ දේ කෙනෙකුට ෂිෆ්ට මතක් කර දිය හැකි ය.

“අපේ ජාතියේ ඉතිහාසයේ විශාල ම හා වඩාත් ම හානිකර රාජ්‍ය රහස් හෙලිදරව් කිරීම සිදු කල එඩ්වඩ් ස්නෝඩන්ට සමාව නො දෙනු යි” ඉල්ලා සිටිමින්, 2016 දී ෂිෆ් ජනාධිපති බරක් ඔබාමාට ලිපියක් ලිව්වේ ය.

ඔහු නිගමනය කලේ, “ඔහුගේ ක්‍රියාවන්ට එක්සත් ජනපද ආන්ඩුව ඔහුට වගකීම පැවරිය යුතු” බව යි.

එවකට රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මෙම මනෝගතීන් ප්‍රතිරාවය කරමින්, ස්නෝඩන් “තම රටට සැලකිය යුතු ලෙස හානි කල” බවත් “තම රට පාවා දුන්” බවත් ප්‍රකාශ කලේ ය.

ඔහු කල හෙලිදරව් කිරීම්වලට පලිගැනීමක් වශයෙන්, ඔහු සමඟ වැඩ කල මාධ්‍යවේදීන්ට පුලිට්සර් ත්‍යාග පිරිනැමූ අතර, ස්නෝඩන් මරනීය දන්ඩනය නියම කල හැකි ඔත්තු බැලීමේ චෝදනාවලට මුහුන දෙයි. ඔහු වසර හයක් තිස්සේ බලහත්කාරයෙන් රුසියාවේ පිටුවහල් වී සිටී.

වධහිංසාවට සමාන කොන්දේසි යටතේ චෙල්සි මැනිං සිරගත කිරීමට ඔබාමා යටතේ ඩිමොක්‍රටිකයෝ ද මුලසුන ගත්හ. ඉරාකයේ සහ ඇෆ්ගනිස්ථානයේ එක්සත් ජනපද හමුදා විසින් සිදුකරන ලද සමූහඝාතන හෙලිදරව් කිරීමට උදව් කිරීමේ “අපරාධය” සම්බන්ධයෙන් ඇයගේ හදිසි මිලිටරි ක්ෂේත්‍ර නඩු විභාගය හා දඬුවම් පැමනවීම ඔබාමා පරිපාලනය විසින් අධීක්ෂනය කරන ලදී.

මැනිංගේ වඩාත් පුපුරන සුලු හෙලිදරව් කිරීම් අතර විකිලීක්ස් විසින් “අනුෂංගික ඝාතන” යන මාතෘකාව යටතේ නිකුත් කරන ලද වීඩියෝව, එක්සත් ජනපද ප්‍රහාරක හෙලිකොප්ටරයකින් බැග්ඩෑඩ් හි සිවිල් වැසියන්ට වෙඩි තබා, ඝාතනය කිරීම, රොයිටර් ඡායාරූප ශිල්පීන් දෙදෙනෙකු ඇතුලු දුසිමකට අධික පිරිසක් ඝාතනය කිරීම සහ ලමුන් දෙදෙනෙකු ඇතුලු නිරායුධ සිවිල් වැසියන් තුවාල කිරීම විය.

2016 අවසානයේ ඔබාමා විසින් ඇයගේ දඬුවම අවලංගු කිරීමෙන් පසු, අපරාධ චෝදනා නොමැතිව මැනින් මේ වසරේදී නැවත සිරගත කරනු ලැබුවේ, ඇයගේ හෙලිදරව් කිරීම් ප්‍රකාශයට පත් කල විකිලීක්ස් මාධ්‍යවේදියා වන ජූලියන් අසාන්ජ්ට එරෙහිව සාක්ෂි දීමට බල කිරීම සඳහා ය. ඇය දැන් මාස හයකට වැඩි කාලයක් සිරගත කර ඇත.

අසාන්ජ් සම්බන්ධයෙන් ගත් කල, ඔහු බ්‍රිතාන්‍යයේ බෙල්මාර්ෂ් බන්ධනාගාරයේ සිරගත ව සිටී. එක්සත් ජනපදයේ දැවැන්ත යුද අපරාධ හෙලිදරව් කිරීමට අමතර ව, අසාන්ජ් හා විකිලීක්ස් ලොව පුරා ආන්ඩු සමග වොෂිංටනයේ රාජ්‍යතාන්ත්‍රික කුමන්ත්‍රන සහ දූෂිත සබඳතා ප්‍රසිද්ධියට පත් කලේ, 2011 ඊජිප්තුවේ හා ටියුනීසියාවේ මහජන නැගිටීම් අවුලුවාලීමට උපකාරී වෙමිනි.

ට්‍රම්ප් පාලනාධිකාරයේ නියෝගය පරිදි පසුගිය අප්‍රේල් මාසයේ ලන්ඩනයේ ඉක්වදෝර තානාපති කාර්යාලයෙන් අසාන්ජ්ගේ සරනාගතභාවය නීති විරෝධී ලෙස අහෝසි කිරීම හා පැහැර ගැනීම ඩෙමොක්‍රටිකයන් විසින් පැසසුමට ලක් කලේ, 2016 පක්ෂයේ ජනාධිපති අපේක්ෂිකා හිලරි ක්ලින්ටන්, "පතුලේ සීමාව වන්නේ තමන් කලේ කුමක් ද යන්නට ඔහුට උත්තර දීමට තිබීමයි" යනුවෙන් කෙකර ගාමිනි.

ඇය නින්නාද කලේ ධෛර්ය සම්පන්න මාධ්‍යවේදියාට තමන් චෝදනා කරමින් සිටියේ පරිගනක හැක් කිරීම සම්බන්ධයෙන් පමනක් ය යන ට්‍රම්ප් පරිපාලනයේ බොරුව ම යි. "මම හිතන්නේ එය පැමිනි අධිචෝදනා පත්‍රයෙන් පැහැදිලි වන්නේ එය පුවත්පත් කලාවට දඬුවම් කිරීම ගැන නොවේ," යැයි ඇය පැවසුවා ය.

ඔහුගේ ප්‍රකාශන කටයුතු පැහැදිලි ව ම ඉලක්ක කරමින් හා , මාධ්‍ය නිදහස පිලිබඳ (එක්සත් ජනපද ව්‍යවස්ථාවේ)පලමු සංශෝධනයේ ඇපවීමට පහර දෙමින්, අධිකරන දෙපාර්තමේන්තුව අසාන්ජ්ට එරෙහිව ඔත්තු බැලීමේ චෝදනා ඉදිරිපත් කිරීමෙන් පසු ව, ඇය කිසිදු ඉල්ලා අස්කර ගැනීමක් ඉදිරිපත් කලේ නැත.

ඩෙමොක්‍රටික් පක්ෂයේ කුහකකමට සීමාවක් නැත, එහෙත් එය දේශපාලනික වශයෙන් අභිප්‍රේරිත කුහකකමකි. රහස් හෙලි කරන්නන් කෙරෙහි ඩිමොක්‍රටිකයන්ගේ ආකල්පය තීරනය වන්නේ, ඔවුන් කරන සෑම දෙයක් මෙන් ම, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ හා පාලක පන්තියේ උත්සුකතාවන් අනුව ය.

ජුලි මාසයේ දී යුක්‍රේන ජනාධිපතිවරයා සමඟ ට්‍රම්ප් කල ඇමතුම පිලිබඳ තොරතුරු කාන්දු කල සීඅයිඒ ඒජන්තවරයාගේ සිද්ධිය සම්බන්ධයෙන් ගත් කල, මෙම වාර්තාව ට්‍රම්ප් පරිපාලනය පුරා දිගින් දිගට ම පැවතී ඇති පාලක ප්‍රභූව අතර ඇති දරුනු ගැටුමක කොටසකි.

මෙම ගැටුම සියල්ලටමත් වඩා පොලඹවනු ලබන්නේ විදේශ ප්‍රතිපත්තිය මත බෙදීම්වලිනි. විශේෂයෙන්, රිපබ්ලිකානුවන් මෙන්ම ඩෙමොක්‍රටික් පාක්ෂිකයින් ද ඇතුලුව ආන්ඩුවේ ප්‍රමුඛ කොටස්, ට්‍රම්ප් රුසියාව සමඟ ගැටුම ඇතුලු ප්‍රධාන භූ-මූලෝපායික අත්‍යවශ්‍යතා තම පෞද්ගලික අවශ්‍යතා සඳහා යටත් කිරීම සම්බන්ධයෙන් උත්සුක ය.

ට්‍රම්ප් ඉවත් කිරීම හෝ ඔවුන් පෙනී සිටින බුද්ධි අංශවලට අනුකූලව විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන ලෙස ඔහුට බලපෑම් කිරීම යන දෙකෙන් එකක් සඳහා ඩෙමොක්‍රටිකයින් දැන් සීඅයිඒ “රහස් හෙලි කරන්නා” ගේ ප්‍රකාශ භාවිතා කර ඇත්තේ මේ හේතුව නිසා ය.

ස්නෝඩන්, මැනිං සහ අසාන්ජ් යන අය සම්බන්ධ සිදුවීම්වල දී, සම්බන්ධ වන්නේ ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ම අපරාධ හෙලිදරව් කල පුද්ගලයින්ගේ කාන්දු කිරීම් ය. පාලක පන්තියේ කිසිදු කන්ඩායමකට මෙය දරාගත නො හැකි ය. මේ නිස යි මෙම පුද්ගලයන්ට දරුනු ලෙස හිංසා පීඩා කිරීම සඳහා ඉතා ප්‍රබල ද්වි පාර්ශ්වීය සහයෝගයක් ඇත්තේ.

ඇමරිකානු මූල්‍ය කතිපයාධිකාරයේ ෆැසිස්ට් තාලයේ නියෝජිතයෙකු ලෙස මිලියන ගනනක් කම්කරුවෝ හා තරුනයෝ නිවරැදි ලෙස ට්‍රම්ප්ට වෛර කරති: සංක්‍රමනික ලමුන්ට වධහිංසා පමුවන්නා සහ ගාල් කඳවුරු ඉදි කරන්නා. නමුත් කිසිවෙකුත් මැනිං සහ අසාන්ජ්ගේ ජේලර්ලා හා ස්නෝඩන් පසුපස හඹා යන්නන් විශ්වාස නො කල යුතු ය.

ඩෙමොක්‍රටිකයින් හුදෙක් නියෝජනය කරන්නේ ට්‍රම්ප් බිහි කල දූෂිත මූල්‍ය කතිපයාධිකාරයේ ම වෙනස් කන්ඩායමකි. ධවල මන්දිරයේ ෆැසිස්ට්වාදයට එරෙහි අරගලය ඩිමොක්‍රටිකයින් සමඟ බැඳී ඇති තාක් දුරට, ට්‍රම්ප් එක්සත් ජනපදය පුද්ගලවාදී අඥාදායකත්වයක් බවට පත්කිරීමට උත්සාහ කරන අතර ම “ඝෝර රාජ්‍යයේ” විරුද්ධවාදියෙකු ලෙස පෙනී සිටීමට ඉඩ දෙයි.

භයානක දේශපාලන අර්බුදයෙන් ගැලවීමට ඇත්තේ එක් මාර්ගයක් පමනී: එනම්, ට්‍රම්ප් පරිපාලනයට එරෙහිව කම්කරු පන්තිය ඩිමොක්‍රටික් පක්ෂයෙන් ස්වාධීන ව බලමුලු ගැන්වීම යි. ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීම පාලක පන්තියේ කිසිදු කන්ඩායමකට යටත් කල නො හැකි ය. එය පදනම් විය යුත්තේ ධනවාදයට එරෙහිව හා සමාජවාදය සඳහා කම්කරු පන්තිය ස්වාධීන ව බලමුලු ගැන්වීම මත ය.

මැනිං, අසාන්ජ්, ස්නෝඩන් සහ, ධනේශ්වර පාලක පන්තිය හා එහි දේශපාලන හොරනෑවන්ගෙන් පීඩා විඳි සියල්ලන් ආරක්ෂා කිරීමේ සටනෙන් මෙය වෙන් කල නො හැකි ය.

ඇන්ඩ්‍රේ ඩේමන්

Share this article: