ට්‍රම්ප් ඉරානයට එරෙහි යුද්ධයට තර්ජනය කරද්දී:
ජූලියන් අසාන්ජ්ට එරෙහිව සාක්ෂි දීම ප්‍රතික්ෂේප කිරීම නිසා චෙල්සි මැනින් මාස හයක් තිස්සේ කිසිදු චෝදනාවකින් තොරව සිරගත කර තැබේ

As Trump threatens war on Iran: Chelsea Manning imprisoned without charge for six months for refusing to testify against Julian Assange

2019 සැප්තැම්බර් 21

ධෛර්ය සම්පන්න විස්ල්බ්ලෝවර් (අනතුරු අඟවන්නා) චෙල්සි මැනින් දැන් වර්ජිනියාවේ ඇලෙක්සැන්ඩි්‍රයා ප්‍රදේශයේ ෆෙඩරල් රැඳවුම් මධ්‍යස්ථානයක මාස හයකට වැඩි කාලයක් තිස්සේ රඳවා තබාගෙන සිටී. මැනින්ට කිසිදු අපරාධයක් සම්බන්ධයෙන් චෝදනාවක් එල්ල කර හෝ ඇය අපරාධයක් කර හෝ නැත. එක්සත් ජනපද අධිරාජ්‍යවාදී සාපරාධීත්වය හෙලි කරමින් ඇය කාන්දු කල තොරතුරු ප්‍රකාශයට පත් කල විකිලීක්ස් නිර්මාතෘ හා ප්‍රකාශක මර්දනයට ලක්වූ ජූලියන් අසාන්ජ්ට චෝදනා ඉදිරිපත් කල මහා ජූරි සභාවක් ඉදිරියේ සාක්ෂි දීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඇය 2019 මාර්තු 8 වන දින සිරගෙට යවන ලදී.

න්‍යෂ්ටික අවි භාවිතා කිරීමේ ව්‍යංග තර්ජනයක් ද ඇතුලුව ඉරානයට එරෙහිව ව්‍යසනකාරී යුද්ධයක් දියත් කරන බවට සිකුරාදා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් තර්ජනය කරන විට මැනින් සහ අසාන්ජ් කල දේවල ඓතිහාසික වැදගත්කම පැහැදිලි වේ. ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සැබෑ ලෙස ආරක්ෂා කරන සෑම කෙනකු ම සහ අධිරාජ්‍යවාදයට විරුද්ධ වන්නකු මැනින් සහ අසාන්ජ්ගේ නිදහස වෙනුවෙන් ශක්තිමත්ව සටන් කරන්නේ මක්නිසා ද යන්නත් එසේ ම පැහැදිලි ය.

2009-2010 දී මැනින් විකිලීක්ස් වෙත ලබා දුන් තොරතුරු අතර කුප්‍රකට “සම්පාර්ශවීක ඝාතනය” (කොලැටරල් මර්ඩර්) වීඩියෝව විය. එය ඉරාක ප්‍රත්‍යන්ත නගරයක් වන නිව් බැග්ඩෑඞ් හි සිවිල් වැසියන් සහ රොයිටර් මාධ්‍යවේදීන් ඉවක් බවක් නැතිව ඝාතනය කිරීම වාර්තා කලේය. ඇය “ඉරාක යුද සටහන්”‍ ලෙස ප්‍රකට වූ ලියකියවිලි 400,000 ක් සහ “‍ඇෆ්ගනිස්ථාන යුද සටහන්”‍ වල කොටසක් බවට ප්‍රකට වූ තවත් ලියකියවිලි 91,000 ක් කාන්දු කලා ය. ලොව පුරා ඇමරිකානු තානාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල නිරත දෛනික කුමන්ත්‍රන සහ කූටෝපායයන් අනාවරනය කරන ලද එක්සත් ජනපද තානාපති කේබල 250,000 කට අධික ප්‍රමානයක් ද ප්‍රසිද්ධියට පත් කරන ලදී. මෙම හෙලිදරව් කිරීම් ටියුනීසියාවේ, ඊජිප්තුවේ සහ වෙනත් තැන්වල සාමාන්‍ය ජනයා ආඥාදායකත්වයට හා පීඩනයට එරෙහිව විප්ලවීය ලෙස නැගී සිටීමට පෙලඹවීම සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කලේය.

ධවල මන්දිරයේ හා පෙන්ටගනයේ ක්‍රියාකාරකම් “ප්‍රජාතන්ත්‍රවාදය”, “නීතියේ ආධිපත්‍යය” හෝ “මානව හිමිකම්” ගැන සැලකිලිමත් වීමෙන් පෙලඹවී නැති බව දැනගැනීමට අවශ්‍ය සියලු‍ සාක්ෂි ලෝක ජනගහනයට ලැබී ඇත. ඒ වෙනුවට ඇමරිකානු අධිරාජ්‍යවාදය එක්සත් ජනපද උපායමාර්ගික ආධිපත්‍යය පවත්වා ගැනීමට සහ ප්‍රකෝටිපති කතිපයාධිකාරීන්ගේ ආයතනික ලාභය සඳහා වන ප්‍රචන්ඩත්වයේ සහ කුමන්ත්‍රනයේ කොල්ලකාරී බලවේගයක් ලෙස ක්‍රියාත්මක වේ.

මැනින් විකිලීක්ස් වෙත ලබා දුන් සෑම දෙයක් ම එක්සත් ජනපද රාජ්‍යයේ සාපරාධී මෙහෙයුම් පිලිබඳව මහජනයා දැනුවත් කිරීමට උපකාරී විය. ඇය ලේඛන සමඟ මාධ්‍ය සමඟ බෙදා ගැනීමට සූදානම් වූ විට, මැනින් විසින් රීඞ් මී ටෙක්ස්ට් (රු්ාපැගඑංඑ) ගොනුවක් ලියා, එහි කොටසක් ලෙස මෙසේ පැවසීය: “මෙය යුද්ධයේ මීදුම ඉවත් කර 21 වන සියවසේ අසමමිතික රනකාමයේ සත්‍ය ස්වභාවය හෙලි කරන අපේ කාලයේ වැදගත්ම ලියවිල්ලකි.”

නිලමක්කාර මිලිටරි නීති සංග්‍රහය උල්ලංඝනය කිරීමේ චෝදනා 21 ක් සම්බන්ධයෙන් 2010 දී ඇය අත්අඩංගුවට ගැනීම සහ 2013 දී වසර 35 ක සිර දඬුවමක් නියම කිරීම වෙත ගියවිට, තමන් තනිවම මෙම කටයුත්තේ නිරත වූ බව මැනින් තරයේම කියා සිටි බව ප්‍රකට කරුනකි. වාර්තාව පැහැදිලිය. ඇගේ රහසිගත බාගැනීම් සමඟ ඇය පලමුවෙන්ම ගියේ වොෂිංටන් පෝස්ට් සහ නිව් යෝර්ක් ටයිම්ස් වෙත වන අතර, මෙම ආයතනගත ප්‍රකාශකයන් ඒ ගැන උනන්දුවක් නො දැක්වීමෙන් පසුව ඇය විකිලීක්ස් වෙත හැරුනාය.

මැනින් ඇගේ ධෛර්ය සම්පන්න ක්‍රියාවන් වෙනුවෙන් ක්වොන්ටිකෝහි මැරීන් බලකා කඳවුරේ අඩි 6 X 12 ක සිරකුටියක ජනේලයක් නොමැති සිර කුටියක රැඳවුම් කාලයක් මෙන් ම කැන්සාස් හි ෆෝර්ට් ලෙවන්වර්ත් හි එක්සත් ජනපද ෆෙඩරල් බන්ධනාගාරයේ සිරගත කිරීම ද ඇතුලු‍ වසර හතකට ආසන්න කාලයක් සිරගතව සිටියාය. ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ පදවි ප්‍රාප්තියට දින කිහිපයකට පෙර 2017 ජනවාරි මාසයේ දී ජනාධිපති ඔබාමා විසින් ඇයගේ වසර 35 ක සිර දඬුවම න්‍යාදිෂ්ට කරන ලද නමුත් ඇයට සමාව දුන්නේ නැත.

මෙය නොතකා, ජූලියන් අසාන්ජ්ට එරෙහිව භාවිතා කල හැකි නව “කරුනු” එක්රැස් කිරීම සඳහා මැනිංට ඇගේ පෙර සාක්ෂිය වෙනස් කරන ලෙස ඇයට බල කිරීමට රාජ්‍ය යන්ත්‍රය උත්සාහ කරයි.

වසර 175 ක් දක්වා සිර දඬුවමක් නියම කල හැකි කුරිරු ඔත්තු බැලීමේ පනත උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් චෝදනා 17 ක් ඇතුලුව චෝදනා 18 ක් සම්බන්ධයෙන් ට්‍රම්ප් පරිපාලනය විසින් අප්‍රේල් මාසයේ දී අසාන්ජ්ට එරෙහිව අධිචෝදනා ගොනු කරන ලදී. ප්‍රදර්ශන නඩු විභාගයකට මුහුන දීම සඳහා එක්සත් රාජධානිය ඔහුව එක්සත් ජනපදයට පිටුවහල් කරනවාද යන්න පිලිබඳව පෙබරවාරි 25 වනදාට යෙදී තිබෙන නඩු විභාගය ආරම්භ වන තෙක් ඔහු ලන්ඩනයේ බෙල්මාර්ෂ් බන්ධනාගාරයේ “පලායාමේ අවදානමක්” ඇත්තකු ලෙස කර්කෂ තත්වයන් යටතේ රඳවාගෙන සිටී.

මහා ජූරි සභාවේ ධුර කාලය ඉකුත්වීම හේතුවෙන් මැයි 9 වන දින මැනින් ඇගේ පලමු රැඳවුම් භාරයෙන් නිදහස් කරනු ලැබීය. එහෙත්, මැයි 16 වන දින වහාම ඇය නැවත අත්අඩංගුවට ගෙන නව මහා ජූරි සභාවක් හමුවේ පෙනී සිටීම සඳහා කැඳවුම් නියෝග නිකුත් කරන ලදී. දෙවන වතාවටත් මැනිං කිසිදු ප්‍රශ්නයකට පිලිතුරු දීම ප්‍රතික්ෂේප කලාය. ඇය මෙසේ පැවසුවා ය: “මෙම මහා ජූරි සභාව උත්සාහ කරන්නේ මෙම රජය විසින් බරපතල, අඛන්ඩ හා ශාරීරික පද්ධතිමය බලය අනිසි ලෙස භාවිතා කිරීම හෙලිදරව් කරන අයට දඬුවම් කිරීම ඉලක්ක කරගෙන එලිපිට සිදුවන සාකච්ඡාවේ අඛන්ඩතාව අඩපන කිරීමට ය.”

චෙල්සි මැනින් ගෙන් පලිගැනීමේ යාන්ත්‍රනයට “පරිපාලනමය ලෙස වෙන් කර තැබීම” එනම් හුදෙකලාවේ සිර කර තැබීම සඳහා වූ බන්ධනාගාර ආරූඩ නාමය වන අතර මහා ජූරි ප්‍රශ්නවලට පිලිතුරු දීම ප්‍රතික්ෂේප කිරීම නිසා පෙර නොවූ විරූ පරිදි දිනකට ඩොලර් 1,000 ක දඩ මුදලක් නියම කෙරිනි. 2020 ඔක්තෝබර් මාසයේ දී ඇය නිදහස් වන විට එක්සත් ජනපද රජයට ඩොලර් 440,000 ක් ඇයට ගෙවීමට සිදුවනු ඇත. විකිලීක්ස් වෙත රහස් ඔත්තු ලියකියවිලි ලබා දුන් යුද විරෝධී ක්‍රියාකාරිකයෙකු වන ජෙරමි හැමන්ඞ් ද මැනින් ගේ සිරගෙදරට ගෙන එනු ලැබුවේ ඔහුට බොරු සාක්ෂි දීමට බල කිරීම සඳහා ය.

අසාන්ජ්, මැනින් සහ හැමන්ඞ් මර්දනය කිරීම, පාලක ධනේශ්වර පන්තියේ සහ එහි රාජ්‍ය යාන්ත්‍රනයේ සාපරාධීත්වය සහ අපයෝජනයන් එලිමහනට ගෙන එමින් කම්කරු පන්තියේ බහුතරයට සේවය කිරීමට උත්සාහ කරන ඕනෑ ම කෙනෙකුව බිය ගැන්වීමයි. ඔවුන් පන්ති යුද්ධයේ ගොදුරු සහ සිරකරුවන් වන අතර, ඔවුන්ගේ නිදහස දිනා ගැනීමේ අරගලය ඔවුන්ට පීඩා කරන සංවිධානවලට ආයාචනා කිරීමෙන් ලබා ගත නොහැකි වන අතර එය කල හැක්කේ ඇමරිකානු සහ ජාත්‍යන්තර කම්කරු පන්තියේ අතිමහත් ශක්තිය බලමුලු‍ ගැන්වීමෙන් පමනි.

මැනින් අතිමහත් දේශපාලන අත්දැකීම් හරහා ගමන්කර ඇත. 2018 ජනවාරි මාසයේ දී ඇය මේරිලන්ඞ් හි එක්සත් ජනපද සෙනෙට් ආසනයක් සඳහා ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රාථමික වටයේ දී තරඟ කිරීමට තීරනය කල අතර, නාමයෝජනා සඳහා තරඟ කල අපේක්ෂකයින් අට දෙනාගෙන් දෙවන ස්ථානයට පත්විය. සිය උද්ඝෝෂනයේ අවසන් භාගය වන විට, පවත්නා පක්ෂ හා ආයතන හරහා සමාජය වෙනස් කිරීමේ හැකියාව පිලිබඳව ඇය වැදගත් නිගමනවලට එලඹ තිබේ.

මැනින් 2018 සැප්තැම්බර් මාසයේ වීඩියෝ මාධ්‍යයෙන් සිඞ්නි ඔපෙරා හවුස් හි පැවති ප්‍රේක්ෂක පිරිසක් අමතමින් මෙසේ පැවසීය: “පැය ගනනාවක් දොරවල් වලට තට්ටු කරමින් හා දුරකථන ඇමතුම් ලබා දීමෙන් පසු, මිනිසුන්ට සැබවින්ම අවශ්‍ය වන වෙනස අපගේ දූෂිත ද්වි-පාර්ශ්වයෙන් පද්ධතිය දීමට කැමැත්තෙන් සිටින මට්ටමෙන් ඔබ්බට ගිය දෙයක් බව මට ඒත්තු ගැන්වී තිබේ. ”

ඇය පහත සඳහන් ඉල්ලීම කලාය: “ප්‍රතිසංස්කරනයන් නැත. ප්‍රතිසංස්කරන සඳහා කාලය මීට වසර 40 කට පෙර නිම විය. බලපෑමක් කිරීමට හෝ කිසි බලයක් නොමැති පුද්ගලයෝ විශාල සංඛ්‍යාවක් සිටිති. අපි තනියම දේවල් කිරීම ආරම්භ කල යුතුයි. අප කරන සෑම දෙයක්ම දේශපාලන තීරනයක්. යමක් නොකිරීම ද දේශපාලන තීරනයක්. අපි මැදිහත් විය යුතුයි.”

ඇය නැවත සිරගත කිරීමෙන් පසු සංගතවාදී සහ මිලිටරිවාදී ඩිමොක්‍රටික් පක්ෂය, වෘත්තීය සමිති මෙවලම සහ “ලිබරල්” මාධ්‍ය ඇයට කිසිදු සහයක් ලබා දීම ප්‍රතික්ෂේප කිරීමට හේතුව සමස්ත දේශපාලන සංස්ථාපිතය කෙරෙහි මැනිංගේ ආකල්පය යි. බර්නි සැන්ඩර්ස් වැනි සංස්ථාපිතයේ පුද්ගලයින්ගේ මිත්‍යාවන් ප්‍රවර්ධනය කිරීමට පිටපොට ගසාගෙන සිටින එක්සත් ජනපදයේ මධ්‍යම පන්තික ව්‍යාජ වම විසින් ඇයව බොහෝ දුරට අතහැර දමා ඇත්තේ ඩිමොක්‍රටික් පක්ෂයට සහයෝගය දැක්වීම ඇය ප්‍රතික්ෂේප කිරීම සහ ජූලියන් අසාන්ජ්ට එරෙහිව සාක්ෂි දීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙනි.

න්‍යෂ්ටික සන්නද්ධ චීනයට හා රුසියාවට එරෙහි යුද්ධයට තල්ලු‍ වීමක් සමඟම එක්සත් ජනපද අධිරාජ්‍යවාදය ඉරානයට එරෙහිව මිනීමරු ප්‍රහාරයක් දියත් කරනු ඇතැයි යන ආසන්න අනතුර යුද්ධයේ හේතුව වන ධනපති ලාභ ක්‍රමය සහ එය ලෝකය ප්‍රතිවාදී ජාතික රාජ්‍යයන් ලෙස බෙදීම අවසන් කිරීම සඳහා සටන් කරන ලෝක ව්‍යාප්ත යුද විරෝධී ව්‍යාපාරයක් වර්ධනය කිරීමේ අවශ්‍යතාව පැහැදිලිවම පෙන්නුම් කරයි

ජාත්‍යන්තර යුද විරෝධී ව්‍යාපාරයකට ජනතාවට සත්‍යය දැන ගැනීමට ඉඩ සලසා දීම සඳහා තම ජීවිතය කැප කර තිබෙන අසාන්ජ්, මැනින් සහ අනෙකුත් සියලු‍ දෙනාගේ නිදහස වෙනුවෙන් සටන් කල හැකි ය සහ සටන් කල යුතු ය. සෑම සේවා ස්ථානයක ම, ජනාවාසවල, විශ්ව විද්‍යාල සහ පාසල් වල දී ඔවුන් වහාම නිදහස් කරන ලෙස ඉල්ලා දේශපාලන හා වර්ජන ව්‍යාපාරයන් වර්ධනය කල යුතුය.

යුද්ධයට එරෙහි අරගලය සහ අසාන්ජ් සහ මැනිං ආරක්ෂා කිරීම කම්කරු පන්තියේ මූලික ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජ අයිතිවාසිකම් සඳහා වන සියලු‍ අරගලයන්ගෙන් වෙන් කල නො හැකි ය. ලොව පුරා මිලියන සංඛ්‍යාත කම්කරුවන් මහා පරිමාන සටන්වල පලමු අදියරවලට අවතීර්න වී ඇත.

එක්සත් ජනපදයේ, වසර 30 කට පසු ජෙනරල් මෝටර්ස් මෝටර් රථ කම්කරුවන් විසින් සිදු කරන ලද පලමු ප්‍රධාන ජාතික වැඩ වර්ජනය දශක ගනනාවක සිට නරක අතට හැරෙමින් පවතින සමාජ අසමානතාව, දරිද්‍රතාවය සහ ධනවාදය යටතේ පීඩනයට එරෙහි පන්ති අරගලය පුපුරා යාමේ පෙර නිමිත්තක් පමනි.

කම්කරු පන්තියේ මෙම නැගිටීම අසාන්ජ්, මැනින් සහ අනෙකුත් සියලු‍ ම පන්ති යුද සිරකරුවන් නිදහස් කිරීමේ සටනට සමාජ පදනම සපයනු ඇත. ලොව පුරා අරගලයේ යෙදී සිටින කම්කරුවන් සමඟ ඔවුන් සාකච්ඡා කරන විට, ලෝක සමාජවාදී වෙබ් අඩවිය සහ සමාජවාදී සමානතා පක්ෂ, චෙල්සි මැනින් සහ ජූලියන් අසාන්ජ් නිදහස් කිරීමේ සටන පිලිබඳ හැකි තරම් පුලුල් අවබෝධයක් ලබා දීමට උත්සාහ කරනු ඇත.

කෙවින් රීඞ් සහ ජේම්ස් කොගන්

Share this article: