ඩිමොක්‍රටිකයෝ “අඛන්ඩ යුද්ධයට” සහාය දෙති

The Democrats support the “Forever War”

2019 ඔක්තෝබර් 16

වොෂිංටනයේ “නිමක් නැති යුද්ධ” නතර කිරීම නාමයෙන් ඊසානදිග සිරියාවේ සිට එක්සත් ජනපද හමුදා ආපසු ගෙන්වා ගැනීමට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කල නියෝගය දේශපාලන අග්නි ජාලයකට හසු වී තිබේ. හමුදා ඉවත් කර ගැනීමට විරෝධය පල කරමින් ඩිමොක්‍රටික් කොංග්‍රස් මන්ඩල කථානායිකා නැන්සි පෙලෝසි ට්‍රම්ප්ගේ උග්‍රතම රිපබ්ලිකානු ආරක්ෂකයා වන සෙනෙට් සභික ලින්ඩ්සේ ග්‍රැහැම් සමඟ එක්වී තිබේ. පෙලෝසි තම ග්‍රැහැම් හමුවීම පිලිබඳ ව ට්වීට් කරමින් මෙසේ පැවසී ය: “අපගේ පලමු කාර්යය නියමය වූයේ සිරියාව තුල ජනාධිපතිවරයාගේ භයානක තීරනය වහාම අවලංගු කිරීම සඳහා ද්විපාර්ශ්වීය, ද්විමන්ඩල ඒකාබද්ධ යෝජනාවක් තිබිය යුතු බවට එකඟ වීම යි.”

ඩිමොක්‍රටික් ජනාධිපති අපේක්ෂකයින් පැහදිලිව ම සිරියාවෙන් එක්සත් ජනපදය ඉවත් වීමේ තර්ජනය තරයේ හෙලා දැක ඇති අතර, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක්, රට තුල පෙන්ටගනයේ පස් අවුරුදු සෘජු මිලිටරි මැදිහත්වීම තුල වොෂිංටනයේ ගැත්තර ගොඩබිම් හමුදාවක් ලෙස සේවය කල සිරියාවේ කුර්දි වයිපීජී මිලීෂියා භටකායේ අනතුරුදායක තත්වය හුවා දක්වමින් සිටිති.

අනුමාන ලෙස ඩෙමොක්‍රටික් [ජනාධිපතිවරන අපේක්ෂක- පරි.] පෙරමුනේ සිටිතැ යි සැලකෙන ජෝ බිඩෙන් “ඔහු කල දෙය ලැජ්ජාවක්” යැයි ප්‍රකාශ කලේ ය. මිලියනයකට අධික ඉරාක ජාතිකයින්ගේ ජීවිත බිලිගත් බොරු මත පදනම් වූ එක්සත් ජනපද සාපරාධී ආක්‍රමනකාරී යුද්ධයට සහාය දැක්වීම සඳහා එම බිඩෙන් ම තම ඡන්දය දීම ගැන හෝ තවත් සිය දහස් ගනනක් ඝාතනය කෙරුනු ලිබියාව සහ සිරියාව තුල පාලන තන්ත්‍ර වෙනසක් සඳහා සීඅයිඒ යුද්ධ සංවිධානය කිරීම තුල තම භූමිකාව ගැන හෝ කිසිදු ලැජ්ජාවක් ප්‍රකාශ කර නැත..

A U.S. soldier sits in an armored vehicle on a road leading to the tense front line with Turkish-backed fighters, in Manbij, north Syria, Wednesday, April 4, 2018. (AP Photo/Hussein Malla)

“ජාතික ආරක්ෂාව” සම්බන්ධ කාරනාවල දී ඔහුගේ විශ්වසනීයත්වය විදහා දැක්වීමට අවස්ථාවක් අහිමි නො කර ගනිමින් බර්නි සෑන්ඩර්ස් මෙසේ ප්‍රකාශ කලේ ය: “ඇමරිකානු හමුදා සමග සටන් කොට මියගිය මිතුරන්ට ඔබ පිටු නො පෑ යුතු ය. ඔබ එසේ නො කල යුතු ය. ” ඇමරිකාවට “ කපා කොටා දුවන්නට” නො හැකි අතර දකුනු වියට්නාමයේ තම මිතුරන් අතහැර දැමිය නො හැකි ය යන්න, 1960 හා 1970 ගනන්වල දී වියට්නාමයෙන් හමුදා ඉවත් කර ගැනීමට එරෙහිව ජොන්සන් හා නික්සන් විසින් කරන ලද ප්‍රධාන තර්කය වූ බව සෑන්ඩර්ස් පහසුවෙන් ම අමතක කර ඇත.

ඇගේ පැත්තෙන්, එලිසබෙත් වොරන් දෙපිටකාට්ටු ලෙස කතා කරමින්, මෙම අවස්ථාව සඳහා හොඳ ම නිස්සාර කියමන සොයා ගත්තා ය: “අපි අපේ හමුදා අප රටට ගෙදරට ගෙන ආ යුතුයි, නමුත් අප එසේ කල යුත්තේ අපගේ ආරක්ෂාවට ගරු කරන ආකාරයටයි.” වෙනත් වචන වලින් කිවහොත් එක්සත් ජනපදය සිරියාවේ දිගට ම යුද්ධ කල යුතු යි.

එක්සත් ජනපද යුද යන්ත්‍රය සඳහා ඩොලර් බිලියන 750 ක අරමුදලක් ලබාගෙන ඇති අතර, ඉරානය සමඟ ගැටුමකට සූදානම් වීම සඳහා තවත් එක්සත් ජනපද භටයන් 3,000 ක් සවුදි අරාබියට යොදවන ලෙස පසුගිය සතියේ නියෝග කල ට්‍රම්ප්, සාමකාමියෙක් නො වේ. ඔහු මෝඩයෙක් ද නො වේ. විශේෂයෙන් චීනයට එරෙහි වඩා විශාල යුද්ධ සඳහා ඔහු සූදානම් වන විට පවා, ඇෆ්ගනිස්ථානයේ හා මැදපෙරදිග වොෂිංටනයේ යුද්ධය අවසන් කරන ලෙස ඔහු කල මහජන ආයාචනා මෙම මැදිහත්වීම්වලින් හෙම්බත් වූ ඇමරිකානු ජනගහනයට යම් අස්වැසිල්ලක් ගෙන දෙන බව ඔහු දනී.

තම ආදරනීයයන් වෙනුවෙන් එක පිට එක හමුදා රැඳවීම්වල යෙදී දරුනු ශාරීරික හා මානසික තුවාල සහිතව ආපසු පැමිනි අය විසින් ගෙවන ලද ඛේදජනක පිරිවැයේ පීඩාව වින්දා වූ,ගිනිය නො හැකි පවුල් සම්බන්ධයෙන් ගත් විට මෙය විශේෂ වශයෙන් අදාල කාරනයකි. සැලකිය යුතු ලෙස, ටයිම් සඟරාවේ වර්තමාන කලාපයේ කවරයේ කතාව අවධානය යොමු කරන්නේ “ඇමරිකාවේ අඛන්ඩ යුද්ධය” කෙරෙහි ය. ඇෆ්ගනිස්ථානයේ දී එක් සොල්දාදුවෙකුගේ මරනය ඔහුගේ බිරිඳ සහ දරුවන් කෙරෙහි ඇති කල බලපෑම පිලිබඳ වේදනාකාරී විස්තරයක් ඊට ඇතුලත් ය.

වියෝ දුකින් පෙලෙන පවුලේ කතාවට පෙර රචනාවක, නවකතාකරුවෙක් මෙන් ම නාවික ප්‍රවීනයෙක් වන එලියට් ඇකර්මන් මෙසේ ලියයි. ආසන්න වශයෙන් 7,000ක් [ඇමරිකානුවන්] මියගිය සහ 50,000 කට වැඩි පිරිසක් තුවාල ලැබූ, “දශක දෙකකට ආසන්න යුද්ධයේ බර විශාල වශයෙන් උසුලා ඇත්තේ අපගේ ජනගහනයේ 1% විසිනි."

ට්‍රම්ප් සඳුදා ට්වීට් කරන විට යුද්ධය පිලිබඳටයිම්ආවරනය ගැන දැන සිටි බවට සැකයක් නැත: “මැදපෙරදිග අවුල් ජාලයකට අප හසු කරගත් අය ම එහි රැඳී සිටීමට වඩාත් කැමති අය යි! කිසිදා අවසානයක් නැති යුද්ධ අවසන් වනු ඇත.” ඩෙමොක්‍රටිකයෝ ට්‍රම්ප්ට යුද විරෝධී ජනාධිපතිවරයෙකු ලෙස වංචනික ලෙස පෙනී සිටීමට දේශපාලන කොන්දේසි නිර්මානය කරමින් සිටිති.

ට්‍රම්ප්ට එරෙහි ඩිමොක්‍රටික් පක්ෂයේ විරුද්ධත්වයේ ප්‍රතිගාමී ස්වභාවය නිව් යෝක් ටයිම්ස් පුවත්පතේ පිටුවලට වඩා පැහැදිලි ව ප්‍රකාශ වූ තැනක් ඇත්තේ නැත.

“ට්‍රම්ප් මේ දැන් සදාචාරාත්මක හා මූලෝපායික ඛේදවාචකයක් ඇති කලේ ය” යන මාතෘකාවකින් යුත් කතුවැකියකින්, එක්සත් ජනපද හමුදා භටයින් 1,000 ක් පමන ඊසානදිග සිරියාවෙන් ඉවත් කිරීමට ට්‍රම්ප් ගත් තීරනය “සදාචාරාත්මකව මෙන් උපායමාර්ගිකව එතරම් තේරුමක් නැති” බවට ටයිම්ස් චෝදනා කරන්නේ, මැද පෙරදිග පූර්ව-කාලීන යටත් විජිත රටක නීතිවිරෝධී අධිරාජ්‍යවාදී වාඩිලෑමක "වත්මන් තත්වය" “මුලුමනින්ම තිරසාර වී” ඇත යි අවධාරනය කරන අතර ය.

ටයිම්ස්පුවත්පත පවසන්නේ, “තීරන දාහක් සිරියාව සහ තුර්කිය අතර දේශසීමාව පිලිබදව ගනිමින් තෙමේ ම තීරකයෙකුලෙසින් එක්සත් ජනපදය මෙහෙය වුනු නමුත්” ට්‍රම්ප්ගේ එක් “හදිසි" තීරනයක් පමනක් “පසුගිය දින කීපය තුල කලාපය පුරා පැතිරී ඇති අවුල් සහගත ලේ වැගිරීම් වලට මග පෑදු" බව යි.

සිරියාවේ එක්සත් ජනපද හමුදා නීතිවිරෝධී ලෙස යෙදවීමට තුඩු දුන් මෙම “තීරන දහසේ” සෑම එකක් ම ගනු ලැබුවේ ඇමරිකානු ජනතාවට හොරෙන් බව සඳහන් කිරීම ටයිම්ස් කතුවරු නො සලකා හරිති.

“කලාපය පුරා පැතිරී ඇති අවුල් සහගත ලේ වැගිරීම්” ගැන කතුවැකියෙහි විලාපය අතිශයින්ම කුහක ය. අයිඑස්අයිඑස් සංවිධානයට එරෙහි ඊනියා යුද්ධයේ දී සමූලඝාතනය කෙරුනු දස දහස් ගනන් සිරියානුවන්ට නිව් යෝක් ටයිම්ස් කුමන අවධානයක් ලබා දුන්නේ ද? මෙම යුද්ධයේ දී කුර්දි වයිපීජී මිලීෂියා හමුදා රකා හා අනෙකුත් සිරියානු නගර සුන්බුන් බවට පත් කල එක්සත් ජනපද ගුවන් යුද්ධයක් සඳහා ගොඩබිම ගැත්තර හමුදාවක් ලෙස සේවය කලේ ය. සිරකරුවන් 11,0000 ක් පමන (සමහරෙක් 12 හැවිරිදි වියේ පසුවන) තාවකාලික මඩුවල පොලව මත සාඩින් මෙන් තදබද කර ආසන්න හාමතට යටත් කර, කුර්දි මිලීෂියා භටයින් විසින් මුර කෙරුනු, රැඳවුම් කඳවුරු ගැන “වාර්තාගත පුවත්පත” කුමන උත්සුකයක් පෙන්වන ලද්දේ ද?

එසේත් නැතිනම්, ප්‍රජාතන්ත්‍රවාදයට පක්ෂ “කැරලිකරුවන්” ලෙස ප්‍රශංසා කරන ලද්දා වූ ද, මේ වන විට කුර්දි මිලීෂියා හමුදාවන්ට එරෙහිව තුර්කි හමුදාව සමග සටන් කරමින් සිටින්නා වූ ද, සීඅයිඒ පිටුබලය ලත් මෙම ඉස්ලාමීය මිලීෂියාවන් ම යොදා ගනිමින්, පාලන තන්ත්‍ර වෙනසක් සඳහා යුද්ධයක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් ඔබාමා පාලනාධිකාරයට කුමන සදාචාරාත්මක “ලැජ්ජාවක්” එකතු වී තිබේ ද? එම යුද්ධය දල වශයෙන් 500,000 ක් පමන සිරියානුවන් මරා දමා ඇති අතර, රටේ ජනගහනයෙන් අඩක් අවතැන් කර, මිලියන ගනනක් පිටුවහල් කර ඇත.

සිරියාවේ කුර්දි ජනතාවට එල්ල කෙරෙමින් තිබෙන ප්‍රචන්ඩත්වය ඛේදජනක ය. කෙසේ වෙතත්, කුර්දි ධනේශ්වර ජාතිකවාදී නායකත්වය විසින් ඉටු කරනු ලබන කාර්යයභාරය අදූරදර්ශී මෙන් ම සාපරාධී ය. නැවත වතාවක්,ඔවුන් අධිරාජ්‍යවාදයට තම වැගන් රථය (සංවිධානය) ඇමිනුවේ, වාර්ගික කුර්දි රාජ්‍යයක් ඇටවීමට එහි සහයෝගය ලබා ගැනීමේ අපේක්ෂාවෙනි. ප්‍රතිඵල මුලුමනින්ම පුරෝකථනය කල හැකි විය. ඉරානයේ ෂා හා ඉරාකයේ සදාම් හුසේන් අතර 1975 දී තැරැව්කාර ගනුදෙනුවකින් පසුව, කුර්දිවරුන් පාවා දීමෙන් පසු හෙන්රි කිසිංගර් කුප්‍රකට ලෙස ප්‍රකාශ කල පරිදි, “රහසිගත ක්‍රියාව මිෂනාරි සේවය සමග පටලවා නො ගත යුතු ය.”

නිව් යෝක් ටයිම්ස් කතුවැකිය එහි අතිශය නින්දිත ඡේදයේ දී, “එක් කලක මිතුරන් ඔවුන්ගේ ඉරනමට අත්හල, උදාහරන වශයෙන් බේ ඔෆ් පිග්ස් (කියුබාවේ)ආක්‍රමනය; දකුනු වියට්නාමයේ පරාජය ... වැනි සිදුවීම්වලින් හැඩි වූ” එක්සත් ජනපද ඉතිහාසයක සන්දර්භය තුල ට්‍රම්ප්ගේ ක්‍රියාමාර්ගය තබයි.

වොෂිංටනයේ “පාවාදීම්” පිලිබඳ උදාහරන ලෙස ටයිම්ස් පුවත්පත බේ ඔෆ් පිග්ස් ආක්‍රමනය හෝ සයිගොන් වැටීම පහත හෙලීම ඔප්පු කරන්නේ පැරනි-ලිබරල් මාධ්‍යයේ දැඩි දක්ෂිනාංශික මාරුව යි.

සීඅයිඒ සංවිධානයෙන් විවෘත එක්සත් ජනපද සහාය අවශ්‍ය නො වන බවට සහතිකයක් ලැබීමෙන් පසු, 1961 දී ජනාධිපති ජෝන් එෆ් කෙනඩි ඔහුගේ පූර්වගාමියා වූ ඩ්වයිට් අයිසන්හවර් විසින් සැලසුම් කරන ලද කුලී හේවා ආක්‍රමනයට අනුමැතිය දුන්නේ ය. කෙසේ වෙතත්, කුලී හේවායන් බේ ඔෆ් පිග්ස් වෙරලට ඇද දමා ඇති බවත්, ආක්‍රමනය ව්‍යසනයක් බවත් පැහැදිලි වූ විට ආක්‍රමනය බේරා ගැනීම සඳහා එක්සත් ජනපද ගුවන් හමුදාව යොදවන ලෙස, සීඅයිඒ සංවිධානය කෙනඩිට බලපෑම් කලේ ය.

සීඅයිඒ අධ්‍යක්ෂ, කුප්‍රකට ඇලන් ඩලස් උපකල්පනය කලේ කෙනඩි නින්දිත පරාජයක් වලක්වා ගැනීම සඳහා ඒජන්සියේ භයාද්‍රෝහනය (බ්ලැක්මේල්) වීමට ඉඩ දෙනු ඇති බව යි. එහෙත් සෝවියට් සමූහාන්ඩුව සමඟ සීතල යුද්ධ ගැටුමක් අවුලුවනු ඇතැයි බියෙන් සිටි කෙනඩි, අසතුටුදායක ලෙස සැලසුම් කෙරුනු වික්‍රමය, පාලන තන්ත්‍ර වෙනසක් සඳහා වූ පූර්න පරිමාන එක්සත් ජනපද යුද්ධයක් බවට පරිවර්තනය නො කිරීමට තීරනය කලේ ය. එවකට කෙනඩිගේ ක්‍රියාව ලිබරල් ඩිමොක්‍රටිකයින් විසින් දකිනු ලැබුවේ සීඅයිඒ සංවිධානයේ භයානක අවදානම් සීමාවට යාම ධෛර්යය සම්පන්නව ප්‍රතික්ෂේප කිරීමක් ලෙස ය. දැන් ටයිම්ස් විසින් කෙනඩිගේ ක්‍රියාව ඉදිරිපත් කරන්නේ පාවාදීමක් ලෙස ය.

බේ ඔෆ් පිග්ස් ව්‍යසනයෙන් ඉක්බිතිව තමන් “සීඅයිඒ සංවිධානය කැබලි දහසකට බෙදා සුලඟට විසුරුවා හැරිය” හැකි වේවා යි ප්‍රාර්තනා කරන බව කෙනඩි පැවසූ බව උපුටා දැක්වුනි. මෙම ප්‍රකාශය කර වසර දෙකහමාරක් ඇතුලත ඔහු ඝාතනය කරන ලදී. බොහෝ දෙනෙකුට මෙම “පාවාදීම” සහ කෙනඩි ඝාතනය අහම්බ සහසිද්ධීන් නො වේ.

වියට්නාමය සම්බන්ධයෙන් ගත් කල, එක්සත් ජනපද ජනගහනයෙන් අතිමහත් බහුතරයකට, 1975 අප්‍රේල් මාසයේදී සයිගොනයෙන් එක්සත් ජනපදය පලායාමේ නින්දිත තත්වයන් සාපරාධී යුද්ධයක උචිත අවසානයකි.

ටයිම්ස්විසින් මෙම ඉතිහාසය නැවත ලිවීමෙන් පිලිබිඹු වන්නේ එක්සත් ජනපද පාලක ප්‍රභූ පැලැන්තිය මෙන් ම ධනවත් ඉහල මධ්‍යම පංතිය හා ධනවතුන්ගෙන් සමන්විත වන පුවත්පතේ ම ප්‍රධාන පාඨක පිරිස දක්ෂිනාංශයට ඇලවීම යි.

අද, ඩිමොක්‍රටික් පක්ෂය සීඅයිඒ සංවිධානයේ හොරනෑව වී ඇත්තේ, ධවල මන්දිරය රුසියාව කෙරෙහි ඕනෑවට වඩා සහනදායක විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කර ඇත යි යන ඔත්තුසේවා ඒජන්සියේ උත්සුකයන්ට අනුව ට්‍රම්ප්ට එරෙහි තම රහස් දෝෂාභියෝග පරීක්ෂනය මුලුමනින් ම හැඩගස්සමිනි.

1960 සහ 70 දශකවල මධ්‍යම පන්තික විරෝධතා ව්‍යාපාරයන්ගෙන් මතු වූ සියලු ව්‍යාජ වාම සංවිධාන, ඩෙමොක්‍රටිකයන් පසු පස යමින් සහ “මානව අයිතීන් ” හා ඊනියා “ප්‍රජාතන්ත්‍රවාදී විප්ලව” නාමයෙන් අධිරාජ්‍යවාදී ආක්‍රමන යුක්තිසහගත කරමින් සිටින අධිරාජ්‍යවාදී ගැත්තන් බව අතිශයෝක්තියෙන් තොර ව විස්තර කල හැකි ය.

කම්කරු පන්තියේ සහ තරුනයින්ගේ විශාල කොටස් ට්‍රම්ප් පරිපාලනයට සතුරු නමුත්, යුද ගැති ඩිමොක්‍රටිකයන්ගේ කඳවුර තුල විකල්පයක් නො දකී.

ට්‍රම්ප්ට එරෙහි සටන සාර්ථක වීමට නම් එය ඩිමොක්‍රටික් පක්ෂයට ස්වාධීන ව හා විරුද්ධ ව සංවිධානය විය යුතු ය. එහි පරමාර්ථය සීඅයිඒ සහ වෝල් වීදිය විසින් අර්ථ දක්වා ඇති පරිදි “ජාතික ආරක්ෂාවේ” ආරක්ෂාව නො ව, ඊට වෙනස් ව සමාජවාදය සඳහා වන අරගලය සහ ජාත්‍යන්තර කම්කරු පන්තියේ එක්සත්කම ආරක්ෂාව‍යි.

බිල් වෑන් ඕකන්

Share this article: