ජීඑම් වැඩ වර්ජනය හා ගෝලීය පන්ති අරගලය

The GM strike and the global class struggle

2019 ඔක්තෝබර් 21

මේ සතියේ එක්සත් ජනපද ජෙනරල් මෝටර්ස් කම්කරුවන් 48,000කගේ වැඩ වර්ජනය සන්ධිස්ථානයකට ලඟා වී තිබේ. එක්සත් මෝටර් රථ කම්කරුවන්ගේ වෘත්තීය සමිතිය (යූඒඩබ්ලිව්) සමාගමේ කොන්දේසි මත වැඩවර්ජනය පවා දීමට උත්සාහ ගනිමින් සිටින්නේ, ඔහියෝ ප්‍රාන්තයේ ලෝඩ්ස්ටවුන්, එකලස් කිරීමේ කම්හල හා තවත් කර්මාන්තශාලා දෙකක් වසා දමනු ඇත්තා වූ ද අධික ලෙස සූරාකෑමට ලක්වෙන තම තාවකාලික ශ්‍රම බලකාය පුලුල් කිරීමට ජීඑම් සමාගමට හැකියාව ලබා දෙන්නා වූ ද කොන්ත්‍රාත්තුවකට කම්කරුවන් අනුමැතිය දිය යුතු යැයි ඉල්ලා සිටිමිනි.

අල්ලස් ලබා ගන්නා යූඒඩබ්ලිව් නිලධාරීන් බලාපොරොත්තු වෙමින් සිටින්නේ වරදාන කොන්ත්‍රාත්තුවක් භාර ගැනීම සඳහා කම්කරුවන් බිය ගැන්විය හැකි බවට යි. ඔවුන් 2015 දී කල පරිදි, කොන්ත්‍රාත්තුව සම්මත කර ගැනිමට හොර ඡන්ද පත්‍රිකා පිරවීම හෝ වෙනත් ඕනෑ ම මාධ්‍යයන් භාවිතා කිරීමට ඔවුහු සූදානම් ය.

යෝධ බහුජාතික සංගතය හමුවේ කම්කරුවන්ට හුදෙකලා හා බල රහිත යැයි හැඟීම ඇති කිරීමට “සහයෝගිතා මන්දිරය” කොතරම් උත්සාහ කල ද වැඩ වර්ජිත කම්කරුවන්ට ඉමහත් සහයෝගයක් ඇත.

සිකුරාදා ජෙනරල් මෝටර්ස් වොරන් ටෙක් මධ්‍යස්ථානයට පිටත විරෝධතාවක දී කම්කරුවන්ගේ පිකට් වැට පා ගමනේ යෙදෙමින් (ඡායාරූපය: ලෝක සමාජවාදී වෙබ් අඩවිය)

ජීඑම් කම්කරුවන්ගේ වැඩ වර්ජනය එක්සත් ජනපදය තුල මෙන් ම හා ලොව වටා සමාජ අරගල රැල්ලක කොටසකි. ජාත්‍යන්තර කම්කරු පන්තියේ අනෙකුත් කොටස් වෙත ලඟාවෙමින් තම සටන පුලුල් කර ගැනීමට මෝටර් රථ කම්කරුවන්ට විශාල අවස්ථාවන් විවර වෙමින් තිබේ.

* බ්‍රහස්පතින්දා ඇමරිකාවේ තුන්වන විශාලතම නගරය වන චිකාගෝ හි ගුරුවරු හා රජයේ පාසල් කම්කරුවෝ 32,000 කට අධික සංඛ්‍යාවක් ප්‍රමානවත් කාර්ය මන්ඩල හා සම්පත් ඉල්ලා , 2012ට පසු සිය දෙවන ප්‍රධාන වැඩ වර්ජනය දියත් කලහ. චිකාගෝ ගුරු සංගමයේ සභාපති(සීටීයූ) ජෙසී ෂාර්කි වැඩ වර්ජනය “කෙටිකාලීන ව” තබා ගැනීමට සීටීයූව අදහස් කරන බව පවසා ඇත්තේ, වෘත්තීය සමිතිය ඔවුන්ගේ ඉල්ලීම් පාවා දීමට පෙර ගුරුවරුන්ගේ අධිෂ්ඨානය වාෂ්ප කර හැරීමේ අපේක්ෂාවෙනි.

* ඔවුන් ද යූඒඩබ්ලිව් කම්කරුවන් වන, 3,500 කට අධික මැක් ට්‍රක් රථ කම්කරුවන් මේරිලන්ඩ්, පෙන්සිල්වේනියා සහ ෆ්ලොරිඩා ප්‍රාන්තවල වැඩවර්ජනයක නිරත වන්නේ, ඇරිසෝනා සහ ටෙක්සාස් ප්‍රාන්තවල තඹ පතල් කම්කරුවන් 2,000 කට ආසන්න සංඛ්‍යාවකගේ වැඩවර්ජනය සමගිනි. මැක් කම්හලේ වැඩවර්ජනය මැක් මව් සමාගම වන වොල්වෝ සමාගමේ මෙහෙයුම් වලට බලපෑමට පටන් ගෙන ඇති අතර එහි විශාල ම වානිජ ට්‍රක් රථ නිෂ්පාදකයා වන වර්ජීනියා ප්‍රාන්තයේ වොල්වෝ නිව් රිවර් වැලී කම්හල සඳුදා අක්‍රිය වීමට නියමිත ය.

*වැඩ වර්ජන හේතුවෙන් සිකුරාදා සහ සෙනසුරාදා ප්‍රංශය පුරා දුම්රිය සේවය අඩපන වූයේ, ප්‍රන්ස ජාතික දුම්රිය සමාගමේ (එස්එන්සීඑෆ්) කම්කරුවන් අප්‍රමානවත් සේවක සංඛ්‍යාවට හා අනාරක්ෂිත සේවා තත්වයන්ට එරෙහිව වැඩවර්ජනය කිරීමෙනි. බදාදා හිටිවනම විදුලි වේගයෙන් වැඩවර්ජනය උත්තේජනය කෙරුනේ බදාදා සිදුවූ දුම්රිය අනතුරකිනි. එහි කාර්යමන්ඩලයේ සිටි එක ම එස්එන්සීඑෆ් නියෝජිතයා වූ දුම්රිය රියදුරාට තුවාල ලැබූ මගීන් 11කුට ආධාර ඉල්ලා සැතපුම් ගනනක් පයින් ඇවිද යාමට සිදු විය.

* චිලියේ, පසුගිය සඳුදා ඇරඹි විරෝධතා සිකුරාදා දැවන්ත පෙලපාලිවලට පුපුරා ගියේ රජය සියයට හතරක පොදු ප්‍රවාහන ගාස්තු වැඩි කිරීමට එරෙහිව ය. වැඩිකිරීම අවලංගු කිරීම මගින් ජනාධිපති සෙබස්තියන් පිනෙරා ගත් උත්සාහය ඉරිදා වන විටත් අපේක්ෂිත බලපෑමක් ඇති කර නො තිබූ අතර චිලී මිලිටරිය රටේ අගනුවර වන සන්තියාගෝ හි රාත්‍රී ඇඳිරි නීතිය දීර්ග කලේ ය.

* ලෙබනනයේ දී, අඳුරු ආර්ථික තත්ත්වයන්, කප්පාදු පියවර සහ වට්ස්ඇප් නම් පනිවිඩ මෘදුකාංගය මත බදු ක්‍රියාත්මක කිරීම ඇතුලු,බදු ඉහල නැංවීම මත කෝපය විසින් ගිනි අවුලුන ලදු ව,රජය ඉල්ලා අස්වන ලෙස ඉල්ලන මහජන විරෝධතා සති අන්තය දක්වා ම පැවතුනි.

ලොව පුරා කම්කරුවන් හා තරුනයින් එකම මූලික කාරනා, එනම් එකතැන පල්වෙන වැටුප්, රැකියා සුරක්ෂිතතාව නොමැතිකම, ජීවන වියදම් ඉහල යාම හා සියල්ලටමත් වඩා සමාජ අසමානතාවයේ උග්‍ර වර්ධනය මගින් අරගලයට තල්ලු කරනු ලැබේ.

එක්සත් ජනපදයේ මෑතදී වැඩවර්ජන ක්‍රියාකාරකම් වැඩිවීම, වෘත්තීය සමිති විසින් දශක ගනනාවක් තිස්සේ මර්දනය කිරීමෙන් පසුව, වෝල් වීදියේ මූලික හොරනෑවක් වන නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ ස්නායු ගැස්ම තීව්‍ර වී ඇත.

“ශක්තිමත් ආර්ථිකයක, මෙතරම් කම්කරුවන් වැඩ වර්ජනය කරන්නේ ඇයි?” යන මාතෘකාවෙන් යුත් ඉරිදා ලිපියක ටයිම්ස්පුවත්පත, සංගත ආසන්න වශයෙන් වාර්තාගත ලාභ එකතු කර ගැනීම සමඟ, ආර්ථිකය “අවුරුදු 10 ක ජයග්‍රාහී මාවතක” පැවතුනද, “කම්කරුවන් වැඩි වැඩියෙන් වැඩවර්ජනය කිරීමට කැමැත්තෙන් සිටින බව පෙනෙතැ” යි “පරස්පර විරෝධය” ගැන ආවර්ජකය කලේ ය.

ටයිම්ස්විවෘතව පිලිගැනීමට අපොහොසත්, යථාර්ථය නම්, පසුගිය දශකය තුල සංගත හා මූල්‍ය ප්‍රභූව සඳහා ට්‍රිලියන ගනනක නව ධනයේ “ජයග්‍රාහී මාවත” මුලුමනින්ම පදනම් වී ඇත්තේ කම්කරු පන්තිය සූරාකෑම වැඩි කිරීම මත යන්න යි. මෙම ක්‍රියාවලිය මහජන කෝපය ද දැන් විවෘත විරෝධය ද පැසවා ඇත.

එක්සත් ජනපදය, යුරෝපය, ලතින් ඇමරිකාව හෝ වෙනත් තැනක වේවා කම්කරුවන් දැන් සටන් වදිමින් සිටින කාලකන්නි කොන්දේසි, ධනේශ්වර දේශපාලන පක්ෂ විසින් නියම කරනු ලැබ ඇත්තේ, වෘත්තීය සමිතිවල සහයෝගය මත වාරුවෙමිනි.

2009 දී ජීඑම් සහ ක්‍රයිස්ලර් ප්‍රතිව්‍යුහගත කිරීම අතරතුර දී, අලුතින් බඳවා ගන්නන්ගේ වැටුප් අඩකින් අඩු කිරීම, වැටුප් හා ප්‍රතිලාභ ස්ථර ක්‍රමය පුලුල් කිරීම හා ගනන් කල නො හැකි තරම් කම්හල් වසා වසා දැමීමේ දී, ඩෙමොක්‍රටික් ජනාධිපති බරක් ඔබාමාගේ පාලනාධිකාරිය යූඒඩබ්ලිව් සමඟ සහයෝගයෙන් වැඩ කලේ ය. 2012 දී චිකාගෝ හි දී, චිකාගෝ ගුරුවරුන්ගේ වෘත්තීය සමිතිය (සීටීයූ), ඩෙමොක්‍රටික් පක්ෂය සමග ගැටුමකට එලඹෙමින් තිබූ මොහොතේ දී බලගතු ගුරු වැඩ වර්ජනයක් පාවා දුන්නේ, පාසල් 50 කට ආසන්න සංඛ්‍යාවක් වසා දැමීමට හා ගුරුවරුන් දහස් ගනනක් දොට්ට දැමීමට මාවත පාදමිනි.

එක්සත් ජනපදය තුල, පසුගිය අවුරුදු 40 පුරා සමාජ ප්‍රතිවිප්ලවයේ ද්විපාර්ශ්වික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කෙරී ඇති අතර, කම්කරු පන්තිය දැන් ඊට එරෙහිව අරගලයට පැමිනෙමින් සිටී.

“වාම” ඩිමොක්‍රටිකයින් යැයි කියනු ලබන, ජනාධිපති අපේක්ෂක බර්නි සැන්ඩර්ස් සහ කොන්ග්‍රස් සභිකාවක් වන ඇලෙක්සැන්ඩ්‍රියා ඔකාසියෝ-කෝර්ටෙස් වැනි අය වෘත්තීය සමිති හා ඩිමොක්‍රටික් පක්ෂයේ පාලනයෙන් බැහැරව මතුවීමට තර්ජනය කරන ඕනෑම ව්‍යාපාරයකට එකහෙලා විරුද්ධ වෙති. සති අන්තයේ නිව්යෝර්ක් නුවර පැවති රැලියකදී මෙය ප්‍රදර්ශනය කෙරුනු අතර, එහි දී සැන්ඩර්ස් හෝ ඔකාසියෝ-කෝර්ටෙස් දැනට සිදුවන දස දහස් සංඛ්‍යාත කම්කරුවන්ගේ වැඩ වර්ජන කිසිවක් සඳහන් කලේ නැත.

රිපබ්ලිකානුවන්ට නො අඩු ලෙස පන්ති අරගලයේ වර්ධනය ගැන ඩිමොක්‍රටිකයෝ භීතියට පත්ව සිටිති. විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ට්‍රම්ප් සමග ඇති වූ ගැටුම්වලදී, ඔවුන් තෙමේ ම මිලිටරි හා බුද්ධි අංශ මත පදනම් වෙමින් සිටින්නේ, මාලිගා බලකොල්ල කුමන්ත්‍රන ක්‍රමවේද උපයෝගී කර ගැනීමටත්, පහලින් එන විරුද්ධත්වය බලමුලු ගැන්වීම වැලක්වීමටත් උත්සාහ කරමිනි.

ක්ෂිතිජයේ නව ආර්ථික අවපාතයක් සමග භූදේශපාලනික ආතතීන් මිලිටරි ගැටුම් බවට පත්වීමත් සමඟ, සියලු ධනේශ්වර දේශපාලනඥයින් විශාල සමාජ අරගලවල වර්ධනයට ප්‍රතිචාර දක්වනු ඇත්තේ ප්‍රගතිශීලී ප්‍රතිසංස්කරන සමග නොව පන්ති යුද්ධය හා ආඥාදායක පියවර සමගිනි.

කේන්ද්‍රීය කර්තව්‍යය වන්නේ ලොව පුරා නැගී එන කම්කරුවන්ගේ අරගල ධනවාදයට එරෙහි අරගලයක් බවට ඒකාබද්ධ කිරීමයි. එක රටකින් පසු තවත් රටක සිදුවන මහජන පෙලපාලි පිලිබඳ වීඩියෝ සහ වෙනත් තොරතුරු සමාජ මාධ්‍ය හරහා සමාජ විඥානයට පිවිසෙත්ම, වයස, වර්ගය, ස්ත්‍රී පුරුෂ භාවය හෝ ජාතිකත්වය නො සලකා තමන් එකම මූලික උත්සුකතා බෙදා හදා ගන්නා බව කම්කරුවෝ අවබෝධ කර ගැනීමට පටන් ගනිති.

එක්සත් ජනපදයේ වැඩ වර්ජනය සඳහා මෙක්සිකෝවේ සිලාවෝ හි ජීඑම් කම්කරුවන්ගේ ධෛර්ය සම්පන්න සහයෝගය තුලින් පෙන්නුම් කරන ලද ජාත්‍යන්තර සහයෝගීතාව වෙතට වන ඓන්ද්‍රීය ප්‍රවනතා හා සමාජ සමානාත්මතාවය සඳහා වූ කැමත්ත ජාත්‍යන්තර සමාජවාදය සඳහා සවිඥානික ව්‍යාපාරයක් බවට පරිවර්තනය කල යුතු ය.

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ඔටෝවර්කර් නිව්ස්ලෙටර්ප්‍රවෘත්ති පත්‍රය ජීඑම් කම්කරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ ගිවිසුමට “එපා” කියා ඡන්දය දෙන ලෙසත්, කම්කරුවන්ගේ කම්හල් කමිටු පිහිටුවා, එය යූඒඩබ්ලිව් ග්‍රහනයෙන් ඉවත් කරමින් වැඩ වර්ජනයේ පාලනය බාර ගන්නා ලෙසත් ය.

තම අවශ්‍යතා ආරක්ෂා කර ගැනීමට උත්සාහ කිරීමේ දී කම්කරුවෝ වෛෂයික ව ධනවාදය හා එහි දේශපාලන නියෝජිතයන් සමඟ ගැටුමකට එලඹෙමින් සිටිති. අවශ්‍ය වන්නේ කම්කරු පන්තියේ ජාත්‍යන්තර සමගිය සහ පාලක පන්තියේ සියලු පක්ෂ හා නියෝජිතයින්ගෙන් තම ස්වාධීනත්වය සඳහා සටන් කරන මූලෝපයක් හා නායකත්වයකි.

සමාජවාදී සමානාත්මතා පක්ෂය සහ එහි තරුන සංවිධානය වන සමාජ සමානාත්මතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ ශිෂ්‍යයෝ මෙම සටනේ පෙරමුන ගෙන සිටිති. මෙම ඉදිරිදර්ශනයට එකඟ වන සියලු දෙනාගෙන් අපි ඉල්ලා සිටින්නේ සසප(එජ) හා ලොව පුරා හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ සහෝදර පක්ෂ සමග එක්වීමට හා ඒවා ගොඩනැගීමට තීරනය කරන ලෙස යි.

මාකස් ඩේ

Share this article: