විශ්වවිද්‍යාල අනධ්‍යන සේවක සමිති වර්ජනය පාවාදීමට සැරසෙයි

අපේ වාර්තාකරුවන් විසිනි, 2019 ඔක්තෝබර් 08

වැඩි වැටුප් සහ තවත් ඉල්ලීම් මත විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයන් නිරතව සිටින වැඩ වර්ජනයට අදට දින විසි අටකි. පසුගිය සතියේ වෘත්තීය සමිති එකමුතුව පැවසුවේ තමන්ට උසස් අධ්‍යාපන ඇමති රවුෆ් හකීම් සමග සාකච්චාවක් ලැබීම “ජයග්‍රහනයක්“ බවයි. ඒ අනුව සැලසුම් කර තිබු සියලු‍ උද්ඝෝෂන සතියක් යනතුරු නතරකර දමන ලදී. ඔවුන්ගේ ප්‍රකාශ වලට අනුව ඔක්තෝබර් 07 වැනිදා වනවිට ඉල්ලීම් ලබා දීමට ඇමති පොරොන්දු වී තිබේ.

ඊයේ පෙරවරුවේ කොලඹ විශ්ව විද්‍යාලය තුල පැවති වෘත්තීය සමිති නායකයන්ගේ සාකච්චාවෙන් අනතුරුව, සවස් වරුවේ ඔවුන් නැවත උසස් අධ්‍යාපන ඇමති හකීම් හමුව ඇත. හමුවේ ප්‍ර‍තිඵලය පිලිබඳව මෙතෙක් කිසිවක් අනාවරනය වී නොමැති නමුත්, වියහැකි පරිදිම ඇමතිගේ පොරොන්දුව කඩවී ඇතිබව නිලධරයේ නිශ්ශබ්දතාවයෙන් පැහැදිලි වේ.

විශ්ව විද්‍යාල ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ධම්මික. එස්. ප්‍රියන්ත දිනමින පත්‍රයට මෙසේ පවසා තිබුනි: ”‍අනධ්‍යන කාර්ය මන්ඩලවල වැටුප් විෂමතා ඉවත් කිරීමට ඉකුත්දින රැස්වූ කැබිනට් මන්ඩලයේ අනුමැතිය අරගෙන තමයි ඇමතිවරයා එම සාකච්චාවට පැමිනියේ. එම කැබිනට් තීන්දුව සම්බන්ධයෙන් අපි සෑහීමට පත්වෙනවා.”‍

මෙම “සෑහීමට පත්වන”‍ තීන්දුව වනාහි, වැටුප් විෂමතා වලට අදාල වාර්තා ලබාදෙන ලෙස කැබිනට් මන්ඩලය විසින් වැටුප් හා සංඛ්‍යාත කොමිසමට දැනුම් දීමයි. විශ්ව විද්‍යාල විධායක ශ්‍රේනි නිලධාරීන්ගේ කමිටුවේ සභාපති ප්‍රදීප් රත්නායක ලංකාදීප ‘එසැන පුවත්’ වලට ඊයේ සවස පවසා තිබුනේ, වැටුප් හා සංඛ්‍යාත කොමිසම, එම වාර්තා ලබාදීම ප්‍ර‍මාද කරන බැවින් ප්‍රශ්නය නොවිස‍‍ඳෙන බවයි.

කැබිනෙට්ටුවේ ඊනියා තීන්දුවට හුරේ දමන සහ ආන්ඩුවට සුදුහුනු තවරමින් කොමිසමට වරද පටවන, සමිති නිලධරයේ මෙම ප්‍රකාශයන් මුලු‍මනින්ම ව්‍යාජ ය. වැටුප් විෂමතා සම්බන්ධයෙන් ආන්ඩුවේ ස්ථාවරය පැහැදිලි කරමින් මුදල් ඇමති මංගල සමරවීර පසුගිය දා කැබිනට් රැස්වීමකදී පැවසුවේ, රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1150 මෙම අවස්ථාවේ දැරිය නොහැකි බැවින් කවර හෝ වැටුප් වැඩිකිරීමක් කල නොහැකි බවයි.

වැඩ වර්ජනයේ යෙදී සිටි දුම්රිය කම්කරුවන්ට තර්ජනය කරමින් සමරවීර පැවසුවේ ඔවුනගේ වැටුප් විෂමතා විසඳා ඇති නිසා වැඩ වර්ජනය අසාධාරන බවයි. රජය විශේෂ ගැසට් පත්‍රයක් මගින් දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවයක් බවට පත් කල අතර, ජනාධිපති සිරිසේනගේ බොරු පොරොන්දුවක් මත දුම්රිය සමිති නිලධරය ඔක්තෝබර් 06 දා වැඩ වර්ජනය අත් හලේය.

මේ අතර, සැප්තැම්බර් 30 වන දා වැටුප් විෂමතා විමර්ශනය කිරීමේ කැබිනට් අනුකමිටුව සමග කල සාකච්ඡාවන්හි දී වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා එම කමිටුවේ නිර්දේශය ලැබුනු බව පවසමින්, ගුරු සංගම් නිලධරය ද, මේ සතියේ පැවැත්වීමට නියමිතව තිබූ ගුරුවරුන්ගේ විරෝධතා නවතා දැමීය.

සතියකට ඉහතදී උසස් අධ්‍යාපන අමාත්‍යාංශයෙහි ලේකම් එම්.එම්.පී.ආර් මායාදුන්නේ, විශ්ව විද්‍යාල අනධ්‍යන සේවක වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව ට නිකුත් කල ලිපියකින් කියා සිටියේ, “වැඩවර්ජනය හේතුවෙන් රාජ්‍ය විශ්ව විද්‍යාලය සහ උසස් අධ්‍යාපන ආයතන තුල අඩපනවී ඇති සිසුන්ගේ අධ්‍යාපන කටයුතු යථා තත්ත්වයට පත් කිරීම සඳහා, මේ වන විට වැටුප් විෂමතා ගැටලුව සම්බන්ධයෙන් අමාත්‍ය මන්ඩල තීරනය ලැබී ඇති නිසා දැනට ක්‍රියාත්මක කරනු ලබන වර්ජනය අතහැර සේවයට වාර්තා කරන මෙන් කාරුනිකව ඉල්ලා”‍ සිටින බවයි.

ඒකාබද්ධ කමිටුව සහ මධ්‍යම කමිටුව එයට වහා ප්‍රතිචාර දක්වමින්, ලිපිය නිකුත්වූ ඔක්තෝබර් 2 දා සිට සියලු‍ උද්ඝෝෂන සහ පෙලපාලි සතියක් ගතවෙන තුරු, එනම් ඔක්තෝම්බර් 07 දින දක්වා නතර කර දැමූහ. විශේෂයෙන්ම ඔක්තෝබර් 04 වන දා සියලු‍ම විශ්වවිද්‍යාල වල අනධ්‍යන කම්කරුවන්ගේ සහභාගීත්වයෙන් කොලඹ දී පැවැත්වීමට සූදානම් කර තිබුනු පා ගමන හා උද්ඝෝෂනය ඒ අනුව නතර කෙරුනි.

සැප්තැම්බර් 26 වන දා කොලඹ දී පැවැත්වීමට තිබූ අනධ්‍යන කම්කරුවන්ගේ විරෝධතා උද්ඝෝෂනය ඔවුන් නවතා දැමුවේ, එදින ම පාසැල් ගුරුවරුන්ගේ උද්ඝෝෂනයක් කොලඹ නගරයේ පැවති බැවිනි. ආන්ඩුවේ ප්‍රහාරයන්ගෙන් බැටකන අනධ්‍යන කම්කරුවන් සහ ගුරුවරුන් ඒකාබද්ධ වුවහොත් නිලධරයේ සීමාවන් ඉක්මවා යතැයි යන භීතියෙන් සමිති නිලධරය තැතිගෙන සිටී.

අනධ්‍යන සමිති එකමුතුව සැප්තැම්බර් 10 දා කොලඹ දී පැවැත්වූ උද්ඝෝෂනයට දිවයිනේ සියලු‍ විශ්ව විද්‍යාල නියෝජනය කරමින් කම්කරුවන් පන්දහසකට අධික පිරිසක් සහභාගි වූ අතර කිලෝමීටරයකට අධික පාගමනක් ගිය ඔවුහු විශ්ව විද්‍යාල කොමිෂන් සභාව ඉදිරිපිට විරෝධතාවයක යෙදී ගත්හ.

විශ්වවිද්‍යාල වෘත්තීය සමිති එකමුතුව ආරම්භයේ සිටම යත්න දැරුවේ ඇමතිවරයා සමග සාකච්ඡාවකින් ලබා ගන්නා ව්‍යාජ පොරොන්දුවක් මත වර්ජනය නවතා දැමීමටයි. අනෙක් අතට, කම්කරුවන් හති වැටී ආපසු වැඩට යනු ඇතැයි ආන්ඩුව හා විශ්වවිද්‍යාල බලධරයෝ ගනන් බලමින් සිටිති. තම මාසික වැටුප නොලැබී තිබියදී පවා, සියලු‍ දුෂ්කරතාවයන් මධ්‍යයේ එකම කම්කරුවෙකු හෝ අද වනතුරු සේවයට වාර්තා නොකිරීම මගින් පෙන්වා ඇත්තේ සටන ඉදිරියට ගෙනයාමේ ඔවුනගේ අධිෂ්ඨානයයි.

අනධ්‍යන වෘත්තීය සමිති ගුරුවරුන්ගේ හෝ දුම්රිය කම්කරුවන්ගේ වෘත්තීය සමිතිවලින් වෙනස් නොවේ. ඔවුන් දැනටමත් අරගලය පාවාදීමට තීන්දුකොට හමාරය. විශ්ව විද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පවත්වාගෙන යන නිල මුහුනු පොත මෙසේ පවසයි: “අපිට පාරෙ සටන් කරමින් කල්මරන්න බෑ. පැහැදිලි විසඳුමක් කඩිනමින් ඕනෑ. මොකද රට භාර දෙන කෙනා තෝරන්න අපි මේකෙන් නිදහස් විය යුතුයි.”‍ විවිධ ධනපති දේශපාලන පක්ෂ නියෝජනය කරන මෙම සමිතිවල සැබෑ අරමුන වනුයේ, කම්කරුවන්ගේ සමාජ සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් සියල්ල පාගා දමන කවර හෝ ධනපති ආන්ඩුවක් බලයට ගෙනඒමයි.

මුදල් ඇමති සමරවීරගේ ප්‍රකාශය සනාථ කරමින්, රාජ්‍ය අමාත්‍යංශයන් හි සහ දෙපාර්තමේන්තුවල වියදම් සියයට 10 කින් කපා හරින ලෙස භාන්ඩාගාර ලේකම් ආර්.එච්.එස්.සමරතුංග පසුගිය සතියේ විධානය කලේ ය. මෙම නවතම කප්පාදුව සිදුකලේ, මෑතකදී කල සියයට 15 ක කප්පාදුවට අමතරව යි. මේ අනුව සමස්ත කප්පාදුව සියයට 25 ක දැවැන්ත අගයකි.

කම්කරු අරගල රැල්ලක් මතුව තිබියදී පවා ආන්ඩුව ගන්නා රුදුරු පියවර මගින් නැවත නැවතත් පෙන්නුම් කෙරෙන්නේ, ධනපති පාලක පංතිය මුහුන දී සිටින දැවැන්ත අර්බුදය සහ සමිතිවල ක්‍රියාමාර්ගයන් හි බංකොලොත්භාවය යි. වෘත්තිය සමිතිවලින් ස්වාධීනව කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගනිමින්, සමිතිවල හිර කිරීම් හා පාවාදීම් කපාගෙන සිය අයිතීන් දිනා ගැනීමට බලවත් අරගලයක් දියත් කිරීම තීරනාත්මක වන්නේ එබැවිනි.

Share this article: