සීඩබ්ලිව්සීය වෙන්දේසියේ: වාසිදායක ජනාධිපති අපේක්ෂකයාට විකිනීමට සමිති නායකයන් සූදානම්

ඩබ්ලිව්. ඒ. සුනිල් විසිනි, 2019 සැප්තැම්බර් 07

දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරනයේ දී ලංකා කම්කරු කොංග්‍රසය (සීඩබ්ලිව්සී) සහයෝගය දෙන්නේ කරුනු 31 සමන්විත තම යෝජනා වලට එකඟ වන අපේක්ෂකයාට බව එහි උපසභාපති එස්. සත්‍යවේල් අගෝස්තු 30 වෙනිදා පැවති මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කර ඇත. සීඩබ්ලිව්සී ප්‍රධාන වතු වෘත්තීය සමිති වලින් එකකි.

"පිලිගතහැකි වැටුපක් වතු කම්කරුවන්ට ලබාදීම, නුවර එලිය දිස්ත්‍රික්කයේ විශ්ව විද්‍යාලයක් පිහිටුවීම, ඌව පලාතට තවත් ගුරු පුහුනු කොලීජියක්, හැටන් ප්‍රදේශයට විවෘත විශ්ව විද්‍යාලයේ ශාඛාවක්, උසස් පෙල සඳහා වානිජ සහ විද්‍යා අංශවල පහසුකම් සහිතව වතු දිස්ත්‍රික්ක 14 තුල ප්‍රමානවත් තරම් පාසල් පිහිටුවීම සහ ඉන්දියානු සම්භවයක් සහිත ජනයාගේ රැකියා පහසුකම් වැඩි දියුනු කිරීම සඳහා සෑම 10 වසරකට වරක් විශේෂ වැඩ පිලිවෙලවල් ක්‍රියාවට දැමීම” එම යෝජනාවලට ඇතුලත් වෙයි.

ධනපති දේශපාලන ප්‍රභුව සමග ද වතු කොම්පැනි ඇතුලු මහ ව්‍යාපාරිකය සමග සමීප සම්බන්ධකම් සහිත සීඩබ්ලිව්සී නිලධරය දේශපාලනිකව අතිශයින් ම දූෂිත වූ කන්ඩායමකි. ලංකා ජාතික වතු කම්කරු සංගමය (එල්ජේඒඩබ්ලිව්යූ), ජාතික කම්කරු සංගමය (එන්යූඩබ්ලිව්), ප්‍රජාතන්ත්‍ර වාදී ජනතා පෙරමුන (ඩීපීඑෆ්) සහ කඳුරට ජනතා පෙරමුන ((යූපීඑෆ්) ඇතුලු සෙසු වතු සමිති වල භූමිකාව ඊට වඩා වෙනසක් නැත.

සීඩබ්ලිව්සී පෙර ධනපති පක්ෂ සමග හවුල්වූ අතර එහි නායකයෝ ඇමති පට්ටම් දැරුහ. එල්ජේඒඩබ්ලිව්යූ සෘජුව ම දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂය (එජාප) විසින් මෙහෙය වනු ලබයි. කාලෙකදී එජාප ප්‍රමුඛ ආන්ඩුවට ද තවත් වරෙක ශ්‍රීලනිප ප්‍රමුඛ ආන්ඩු වලට මුක්කුව දුන් පසු කී සමිති තුන, 2015 දී සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව බලයට ගෙන ඒමට සහයෝගය දුන්නේ ය. දැන් ඒවායෙහි නායකයෝ මෙම ආන්ඩුවේ ඇමතිකම් දරා සිටිමින් වතු කම්කරුවන් ඇතුලු වැඩකරන ජනතාව මත ආර්ථික හා දේශපාලන ප්‍රහාර එල්ල කිරීමට සහයෝගය දෙමින් සිටිති.

කිසිදු වතු කම්කරුවෙකු සීඩබ්ලිව්සී යේ ප්‍රෝඩාකාරී යෝජනාවලින් මුලා නොවනු ඇත. වතු කම්කරුවන්ට "පිලිගත හැකි" වැටුපක් යනුවෙන් සීඩබ්ලිව්සී අදහස් කරන්නේ ඉහල යන ජීවන වියදමට සරිලන වැටුපක් නොව, වතු සමාගම්වලට සහ ධනපති ආන්ඩුවට “එකඟ” විය හැකි වැටුපකි. තම දෛනික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කරන ලෙස ඉල්ලා 100,000 ට අධික වතු කම්කරුවන්ගේ මෑත වැටුප් අරගලය සෙසු සියලු වතු සමිති සමග එක්ව පාවා දුන් සීඩබ්ලිව්සී, සමාගම් විසින් යෝජිත රුපියල් 20 සොච්චම් වැටුප් වැඩිවීමකට එකඟ විය. එපමනක් නොව, කම්කරුවන්ගේ බරපතල විරෝධයකට තුඩු දී ඇති ඊනියා ආදායම් බෙදීමේ ක්‍රමය ක්‍රියාවට දැමීමට ද ඔව්හු එකඟ වුහ.

චන්ද කාලයේ මහ ජනතාවගේ චන්ද ගසාකෑම සඳහා බොරු පොරොන්දු තොගපිටින් දෙන එක්සත් ජාතික පක්ෂය (එජාපය), ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප) සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුන (ශ්‍රීලංපොපෙ) ඇතුලු ධනපති පක්ෂ වතු කම්කරුවන්ගේ චන්ද ගසාකෑම සඳහා සීඩබ්ලිව්සී යෝජනා වලට එකඟ වනු ඇත. මහින්ද රාජපක්ෂ ආන්ඩුවේ පාර්ශවකරුවෙක් වූ සීඩබ්ලිව්සී බොහෝවිට පෙලගැසෙනු ඇත්තේ රාජපක්ෂ නායකත්වය දෙන ශ්‍රීලංපොපෙ සහ එහි ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පිටුපස ය.

සීඩබ්ලිව්සී යට ඇත්තේ, එජාප සහ සහ ශ්‍රීලනිප යන ප්‍රධාන ධනපති පක්ෂ දෙකෙන් එකකට මුක්කුව දෙමින් එහි නායකයන්ගේ දේශපාලන හා ආර්ථික වරප්‍රසාද රැක ගැනීම පිනිස පසුගිය දසක කිහිපය තුල අතිශයින් ම ප්‍රතිපත්ති විරහිත තුච්ච දේශපාලන ගනු දෙනු වල යෙදීමේ හා හිලව්වට වතු කම්කරුවන්ගේ අරගල පාවාදීමේ කුප්‍රකට වාර්තාවකි.

වතු කම්කරුවන්ගේ ප්‍රශ්න ගැන උනන්දු වන බවක් මවාපාන යෝජනා මාලාවක් සීඩබ්ලිව්සී විසින් ඉදිරිපත් කරනු ලැබ ඇත්තේ සිය ද්‍රෝහී ක්‍රියා කලාපය නිසා ඛාදනය වී ඇති චන්ද පදනම පිරියම්කර ගැනීමේ වංචනික ප්‍රයත්නයක් ලෙසය. එම අරමුන ඇතිව ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කොන්ග්‍රසය (ඩීපීසී) සහ ජාතික සටන්කරුවන්ගේ පක්ෂය (එන්එෆ්සී) සමග එකාබද්ධව සීඩබ්ලිව්සී මෑත දී නව දේශපාලන පෙරමුනක් ගොඩනැගී ය. (බලන්න‍: සීඩබ්ලිව්සී ය වතු කම්කරුවන් මුලා කිරීමේ නව පෙරමුනක් ගොඩ නගයි). යෝජනාවලට බොරු පක්ෂපාතිත්වය පෙන්නුම් කරන, නමුත් තමන්ට ඉහලම වාසි කඩා ගැනීමට හැකි පක්ෂයට චන්දය දෙන ලෙස සීඩබ්ලිව්සී නායකයින් කම්කරුවන්ට කියනු ඇත.

දේශපාලන පක්ෂයක් ලෙසද ක්‍රියාකරන සීඩබ්ලිව්සී ඉතිහාසයෙන් බිඳක් මෙසේය: එය 1960 මහා මැතිවරනයේ දී ශ්‍රීලනිපයට සහයෝගය දුන් අතර එවකට එහි නායක එස්. තොන්ඩමන් ට අගමැති සිරිමාවෝ බන්ඩාරනායක ආන්ඩුවේ තෝරාපත්කල මන්ත්‍රීකමක් ලැබුනි. 1965 මැතිවරනයේ දී පිල් මාරු කල එය එජාපයට සහයෝගය දුන්නේ ය. හිලව්වට තොන්ඩමන් ට එජාප ආන්ඩුවේ පත්කල මන්ත්‍රී කමක් හිමිවිය.

එජාප ආන්ඩුව 1970 පරාජයට පත් වූ විට දෙමල එක්සත් පෙරමුන (ටීයූඑෆ්) සමග අවස්ථාවාදී සන්ධානයකට ඇතුලු වූ සීඩබ්ලිව්සී ය නමුත් දෙමල එක්සත් විමුක්ති පෙරමුන (ටීයූඑල්එෆ්) 1976 වඩුක්කොඩෙයි සම්මේලනයේ දී ඉදිරිපත් කල දෙමල ජනයා සඳහා ස්වයං-නිර්න අයිතිය පිලිබඳ යෝජනාවට විරුද්ධ වූ තොන්ඩමන් සහ සීඩබ්ලිව්සී ඉන් ඉවත් වී 1977 මැතිවරනයෙන් පසු යලිදු එජාපය පැත්තට මාරු විය. අගමැති ජේ. ආර්. ජයවර්ධන ගේ ආන්ඩුව විසින් 1978 සිදු කල ප්‍රතිගාමී ව්‍යවස්ථා සංශෝධනයට සහයෝගය දුන් සීඩබ්ලිව්සී ජයවර්ධන හා ආර්. ප්‍රේමදාසගේ එජාප ආන්ඩුවල පාර්ශවකරුවෙක් විය.

1995 දී චන්ද්‍රිකා කුමාරතුංග ගේ ආන්ඩුව ට මුක්කු ගැසූ එය 2004 මහ මැතිවරන යේ දී යලි එජාපය සමග පෙල ගැසුනි. අනතුරුව 2005-2015 මහින්ද රාජපක්ෂගේ එක්සත් ජනතා නිදහස් සන්ධාන ආන්ඩුවට හේත්තු විය. සීඩබ්ලිව්සී වර්තමාන නායක ඒ. තොන්ඩමන් එහි හිටපු කැබිනට් ඇමැතියෙකි. බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානය (එල්ටීටීඊ) එරෙහි වාර්ගික යුද්ධයට සහය දුන් එය යුද්ධය තුල වතු කම්කරුවන්ට එරෙහි රාජ්‍ය දඩයමේ දී පොලිස් ඔත්තු කරුවන් ලෙස ක්‍රියාත්මක විය.

මෙම කැත දේශපාලන වාර්තාව තිබුන ද, සීඩබ්ලිව්සී, වතු කම්කරුවන්ට ඔවුන්ගේ අයිතීන් සඳහා සටන් කල හැකි සැබෑ විකල්පයක් තහවුරු වී නැති තත්වයේ දී තවමත් නායකත්වයක් ලෙස පෙනී සිටිමින් සමාජ හා ප්‍රජාතන්ත්‍රීය අයිතීන් මැඩලීමට ධනපති පාලක පන්තියට සහය දෙයි.

එජාප ආන්ඩුව යටතේ 1992 වතු පුද්ගලීකරනයට සහයෝගය දුන් සීඩබ්ලිව්සී ඉක්බිතිව ධනපති ආන්ඩු සහ වතු සමාගම් විසින් වතු කම්කරුවන් මත එල්ල කෙරුන සකල සියලු ප්‍රහාරයන් ට දේශපාලනිකව වග කිව යුතු ය.

ජනාධිපතිවරනයෙන් කවුරු බලයට පත් වූවත් ක්‍රියාවට දමනු ඇත්තේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් නියෝග කොට ඇති අධ්‍යාපන හා සෞඛ්‍ය සේවාව ඇතුලු සමාජ සුබසාධන කප්පාදු කෙරෙන ආර්ථික ප්‍රතිසංස්කරන ය.

මෙම ප්‍රහාරවලට එරෙහිව මතුවන කවර හෝ විරුද්ධත්වයක් රුදුරු ලෙස මැඩලීම සඳහා පාලක පන්තියේ සියලුම කන්ඩායම් සූදානම් වන්නේ පොලිස් රාජ්‍යයක් තහවුරු කිරීමට ය. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකල යුතු බවට හා "ජාතික ආරක්ෂාව තහවුරු කිරීම" ගැන ජනාධිපතිවරන උද්ඝෝෂනය තුල කෙරෙන අවධාරනය එම පොලිස් රාජ්‍ය" සැලසුම් වල කොටසකි.

එම උද්ඝෝෂයට හවුල්වෙමින් අගෝස්තු 22 පැවති මාධ්‍ය හමුවක දී , විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකල යුතු බවත්, සුලු ජාතීන්ගේ අයිතිවාසිකම් ලබා ගත හැක්කේ ඒ යටතේ “පමනක්” බවත් තොන්ඩමන් බේගල් ඇදබෑවේ ය.

සීඩබ්ලිව්සී යේ මෙම පිලිවෙත වතු කම්කරුවන්ට අතිශයින් ම අන්තරාකාරී ය. එමෙන් ම දසක ගනනක කටුක අත්දැකීම් මගින් යලි යලිත් තහවුරු කෙරී ඇත්තේ ධනපති පක්ෂ පිටුපස පෙල ගැසීමෙන් කම්කරු පන්තියේ කවර අයිතියක් වත් දිනා ගැනීමට හෝ ආරක්ෂා කර ගැනීමට නොහැකි බවය. වතු කම්කරුවන් සීඩබ්ලිව්සී ඇතුලු වතු සමිති වල ප්‍රෝඩාකාරී දේශපාලන රඟපෑම් මුලුමනින් ම ප්‍රතික්ෂේප කල යුතු ය.

වතු කම්කරුවන් ඇතුලු කම්කරු පන්තියට තම අයිතීන් දිනා ගත හැක්කේ වෘත්තීය සමිති වලින් ස්වාධීනව ගොඩ නගා ගන්නා කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටු හරහා බලමුලු ගැන්වීමෙන් පමනකි. ඒ සඳහා මූලිකත්වය ගන්නා ලෙස ද ජාත්‍යන්තර සමාජවාදය සඳහා සටන් කරන ලෙස ද සමාජවාදී සමානතා පක්ෂය ඉල්ලා සිටි.

Share this article: