ශ්‍රී ලංකාව: ලාබදායී නය ලබාදෙන ලෙස මහ බැංකුව වානිජ බැංකු වලට බල කර සිටියි

Sri Lanka: Central Bank demands commercial banks provide cheaper credit

සමන් ගුනදාස විසිනි, 2019 සැප්තැම්බර් 11

අගෝස්තු 23දා සියයට බාගයක (අංක 50ක) පොලී අනුපාත කැපීමක් නිවේදනය කල ශ්‍රී ලංකාවේ මහ බැංකුව (සීබී), ව්‍යාපාර වලට අඩු පොලී පිරිවැය නය ලබා නොදුනහොත් නය අනුපාත සීමා පැනවීමකට මුහුන දෙන ලෙස වානිජ බැංකුවලට නියෝග කලේ ය.

ව්‍යාපාරවලට ලබාදෙන නය අනුපාත දැනට පවතින මට්ටම්වල සිට සියයට 2කින් අඩුකොට සියයට 8ක මට්ටමට අඩු කිරීම මහ බැංකුවට අවශ්‍ය වේ. ඒ සඳහා පහසුකම් සැලසීමට, තැන්පතුවලට ගෙවන පොලිය සියයට 7 දක්වා කපන ලෙස මහ බැංකුව බැංකුවලින් ඉල්ලා ඇත. මෙම ඉල්ලීම්, ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන රේට්ටු වැටීම නවත්වා ගැනීම සඳහා මහ බැංකුව හා ආන්ඩුව දරන මංමුලා සහගත උත්සාහයකි. “ඵලදායී අංශවලට නය ගලා යාම ඉහල දැමීමටත් ඉන් ආර්ථිකය ප්‍රකෘතිමත් වීමට උදවු වීමටත්” මෙලෙස කැපීම් අවශ්‍ය බව මහ බැංකුව කීවේ ය.

පොලී රේට්ටු පහත දමන ලෙස වානිජ බැංකුවලින් ඉල්ලමින් මහ බැංකුව මේ වසරේ දෙවරක් පොලී අනුපාත කපාහැරියේ ය. ශ්‍රී ලංකාවේ ආර්ථික හා දේශපාලන තත්ත්වයේ අවිනිශ්චිතතාවන් හේතුවෙන් වානිජ බැංකු එසේ කිරීමට මැලි විය.

ශ්‍රී ලංකාවේ දල දේශීය නිෂ්පාදිතය (දදේනි) 2019 දී සියයට 3.1කින් ඉහල යනු ඇතැයි මහ බැංකුව කලින් පුරෝකථනය කලේ ය. එහෙත්, ජාත්‍යන්තර තක්සේරු ඒජන්සියක් වන මූඩිස් ප්‍රක්ෂේපනය කරන්නේ සියයට 2.6ක වර්ධනයක් පමනි.

අප්‍රේල් 21දා එල්ල වූ ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාර, සංචාරක පැමිනීම තියුනු ලෙස පහත හෙලූ අතර, එය වර්ධන අනුපාතයන්ට බලපා ඇත. එහෙත් ආර්ථික ක්‍රියාකාරීත්වයේ වැටීමට තුඩුදුන් එකම හේතුව ත්‍රස්තවාදී ප්‍රහාර නො වී ය. ගෝලීය ආර්ථික පහලයාමේ කොටසක් ලෙස 2017 හා 2018 දී වර්ධන රේට්ටු සියයට 3.4ක් හා 3.2ක් දක්වා පිලිවෙලින් පහල ගියේ ය.

ශ්‍රී ලංකාවේ විනාශ වූ ආර්ථිකය වැඩෙන නය ගෙවීමේ අර්බුදයකට ද මුහුන දෙයි. අගෝස්තු 27දා පැවති රැස්වීමක් ඇමතූ මහනගර හා බස්නාහිර සංවර්ධන ඇමති පාඨලී චම්පික රනවක, ජාත්‍යන්තර මූල්‍ය වෙලඳපොලෙන් ලබාගත් නය මේ මාසයේ ආපසු ගෙවීමට අපොහොසත් වුවහොත් රට බංකොලොත් යයි ප්‍රකාශ කෙරෙනු ඇතැයි කීවේ ය. පසුගිය මාසයේ ස්ටෑන්ඩර්ඞ් හා පුවර්ස් විසින් බංකොලොත් යයි ප්‍රකාශ කල ආර්ජන්ටිනාව සහ ග්‍රීසිය හා අයර්ලන්තය ගැන ඔහු සඳහන් කලේ ය.

කම්කරුවන් හා දුගීන් මත වැඩිදුර කප්පාදු පැටවීම යුක්ති සහගත කිරීම ඉලක්ක කරගත් රනවකගේ අදහස්, පසුගිය මාසයේ මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි කල අදහස් දැක්වීම් අනතුරුව සිදු කෙරිනි.

ආර්ථිකයේ විශාලතම අන්තරාය “නය කලමනාකරනය කිරීම” බව ප්‍රකාශ කල කුමාරස්වාමි, ශ්‍රී ලංකාව මේ වසරේ දී එක්සත් ජනපද ඩොලර් බිලියන 6ක් පමන ද ඊලඟ වසරේ ඩොලර් බිලියන 5කට වැඩියෙන් ද 2021 හා ඉන් ඔබ්බට ඩොලර් බිලියන 4ක් ද ලෙස නය ගෙවිය යුතු බව සඳහන් කලේ ය. සමුරායි බැඳුම්කර හරහා ඩොලර් මිලියන 500ක් උපයා ගැනීම සඳහා පියවර ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි මහ බැංකු අධිපතිවරයා පසුගිය සතියේ පැවති බැංකුකරුවන්ගේ රැස්වීමක දී පැවසී ය.

“ශ්‍රී ලංකාවේ නය ආකෘතිය පැවතීගෙන යන ආන්ඩුමය ද්‍රවශීලතාව හා බාහිර ව අනාරක්ෂිත අන්තරායන් පිලිබිඹු කරයි. මූලික නය අභියෝග අතරට විශාල ලෙස නය ගැනීමේ අවශ්‍යතා අයත් වන්නේ, බාහිර අරමුදල් මත වැඩි විශ්වාසයක් තැබීම හා ආර්ථිකය පුරා බාහිර නය ගෙවීමේ කාලයට එලඹීම පහත වැටී ඇති විදේශ මුදල් සංචිත මගින් ආවරනය කරගැනීම මත යැ” යි අගෝස්තු 30දා ප්‍රකාශයක් නිකුත් කල මූඩි අනතුරු ඇඟවී ය.

ශ්‍රී ලංකාවේ පුපුරා යන මූල්‍ය අර්බුදය ගෝලීය ආර්ථික වර්ධනයන්ගේ තියුනු ප්‍රකාශනයකි. විශේෂයෙන් ම එක්සත් ජනපදය හා චීනය අතර වෙලඳ ගැටුම ඇතුලු පුපුරා යන භූ-දේශපාලනික ආතතීන්ගේ කොන්දේසි යටතේ, භාන්ඩ හා සේවා සඳහා පවතින ගෝලීය ඉල්ලීම් ඇදවැටෙමින් පැවතීම මධ්‍යයේ, එක්සත් ජනපදය හා ලොව පුරා රටවල් පොලී අනුපාත වාර්තාගත පහල මට්ටම්වලට අඩුකර තිබේ.

ඉන්දියාවේ දෙවන කාර්තුවේ ආර්ථික වර්ධනය වසර හයක් තුල අවම මට්ටම වූ සියයට 5ට ඇදවැටුනේ 2019 පලමු කාර්තුව තුල සියයට 5.8ක් ව තිබිය දී ය. පහල බදු, භාන්ඩ හා සේවා බදු (ජීඑස්ටී) නැවත ගෙවීම වේගවත් කිරීම හා මෝටර් රථ කර්මාන්තය පිරිවැය ඉහල දැමීම ඇතුලු මහ ව්‍යාපාරික පිමිබීමේ පියවරයන් ඉන්දීය මුදල් ඇමතිනී නිර්මලා සීතාරාමන් අගෝස්තු 23දා නිවේදනය කලා ය.

වේගවත් වන විදේශ ප්‍රාග්ධන ගලායාමක් විසින් ශ්‍රී ලංකාවේ ආන්ඩුවේ ආර්ථික ගැටලු සංකීර්න කරනු ලබයි. “අනෙකුත් නැගී එන වෙලඳපොලවල රැල්ල ප්‍රතිරාවය කරමින් විදේශ ආයෝජකයෝ ශ්‍රී ලංකාවේ ආන්ඩුවේ සුරැකුම්පත්වලින් ඉවත් වෙමින් සිට ඇත” යි වෙලඳපොල මූලාශ්‍ර උපුටා දක්වමින් රොයිටර්ස් මෑත දී වාර්තා කලේ ය. මේ වසරේ සැප්තැම්බරය දක්වා යන්තම් රුපියල් බිලියන 53කට වැඩි ශ්‍රී ලංකාවේ ආන්ඩුවේ සුරැකුම්පත් පමනක් විකුනා දමා ඇති අතර, කොලඹ කොටස් වෙලඳපොල දර්ශකය සියයට 2.5කින් ඇදවැටී තිබේ.

අගෝස්තු මාසය තුල ඊනියා නැගී එන වෙලඳපොලවලින් ඩොලර් බිලියන 13.8ක් ආයෝජකයන් ආපසු ගෙන ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය ආයතනය එම මාසයේ පසුභාගයේ අනාවරනය කලේ ය. “වෙලඳ ගැටුම පුනර්ජීවනය වීම සමග අත්වැල් බැඳගත් ගෝලීය පසුබෑම පිලිබඳ වැඩි දියුනු බිය, නැගී එන වෙලඳපොලවල කාර්යය ආපසු කැරකීම සඳහා උත්ප්‍රේරකයන් වී ඇත” යි එය සඳහන් කලේ ය.

ශ්‍රී ලංකාවේ මූල්‍ය පිලිවෙත, ලබන වසර දක්වා ගෙවීමේ කාලය දිගු කොට 2016 මැද භාගයේ දී ඩොලර් බිලියන 1.5ක නය ආධාරයක් අනුමත කල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) දැඩි නිරීක්ෂනය යටතේ පවතී.

ජාමූඅ ප්‍රධාන ඉල්ලීම්වලින් එකක් වන්නේ ලබන වසර වන විට අයවැය පරතරය දදේනියෙන් සියයට 3.5කට අඩුකරන ලෙස යි. මෙම නියෝගය යටතේ, රාජ්‍ය ව්‍යවසායයන් පුද්ගලීකරනය කරමින් හා සංස්ථාගත කරමින් ද බදු දැල පුලුල් කරමින් ද උපයෝගී සේවාවන්වල පිරිවැය ඉහල දමමින් හා අනෙකුත් කප්පාදු පියවරයන් පටවමින් ද ආන්ඩුව ප්‍රධාන සමාජීය කප්පාදු පටවමින් සිටී.

වැඩකරන ජනයාගෙන් හා ස්වයං-රැකියා කරන්නන් ඇතුලු කුඩා ව්‍යාපාරවලින් ඉහල දැමූ ඍජු හා වක්‍ර බදු අයකරමින් කොලඹ ආන්ඩුව දැනට මත් නව මර්දනීය බදු දැලක් ආයතනගත කොට ඇත. මුදල් සිඳී ඇති රාජ්‍ය භාන්ඩාගාරය, ජූලි මාසයේ සියලු අමාත්‍යාංශවලට නියෝග කලේ ඔවුන්ගේ පිරිවැය අඩු ම තරමින් සියයට 15කින් වත් කපා හරින ලෙස යි.

මෙම දරුනු ප්‍රහාර ආර්ථික ප්‍රකෘතිය සඳහා වට්ටෝරුවක් යයි ජාමූඅ හා ආන්ඩුව කියා සිටිය ද ඒවා වැඩකරන ජනයාට, තරුනයන්ට හා දුගීන්ට සමාජ ව්‍යසනයක් බවට පත්ව ඇත.

Share this article: