හර්තාලයෙන් හැටහය වසරක්

විලානි පීරිස් හා රොහන්ත ද සිල්වා විසිනි, 2019 සැප්තැම්බර් 04

1953 අගෝස්තු මස 12 වන දා ශ්‍රී ලංකාවේ සිදු වූ හර්තාලයෙන් හැටහය වසරක් ගත වී ඇත. එලැඹෙමින් පවත්නා දැවැන්ත පන්ති අරගලයන්ට සූදානම්වීම සඳහා, මෙම හර්තාලයෙහි දේශපාලනික පාඩම් සහ අත්දැකීම් උකහා ගැනීම සමස්ත කම්කරු පන්තියට අතිශය වැදගත් වෙයි.

මහා වැඩ වර්ජනයක් හා දිවයින පුරා දියත් කල විරෝධතා ව්‍යාපාරයකින් සමන්විත වූ හර්තාලයට තුඩු දුන් ආසන්න හේතුව වූයේ, එවක ලංකාව පාලනය කල එක්සත් ජාතික පක්ෂ (එජාප) ආන්ඩුව හාල් ඇතුලු අත්‍යාවශ්‍ය භාන්ඩ වල මිල ඉහල දැමීමයි.

මහ මැතිවරනයේ දී, හාල් සේරුව ශත 25 ට ලබාදෙන බවට පොරොන්දු වෙමින් බලයට පැමිනි එජාප, 1953 ජූලි 20 වන දා එය ශත 75 දක්වා වැඩි කලේය. මුදල් ඇමති වූ ජේ. ආර්. ජයවර්ධන ඉදිරිපත් කල අයවැයෙන්, සීනි මිල ද, තැපැල් ගාස්තු හා දුම්රිය ගාස්තු ද ඉහල දැමූ අතර පාසැල් ලමුන්ට දුන් දිවා ආහාර වේල කපා හරින ලදි.

කොරියන් යුද්ධය අවසන් වීමත් සමගම රබර් මිල පහල වැටීම හේතුවෙන් ලංකාවේ ආන්ඩුවට ඉමහත් ආර්ථික අර්බුදයකට මුහුන දීමට සිදුවිය. එහි ප්‍රතිඵලය වූයේ, අත්‍යාවශ්‍ය භාන්ඩයන්හි මිල පහල අගයක පවත්වාගෙන යාමට එතෙක් රජය ලබා දෙමින් සිටි සහනාධාරයන් කපා දැමීම යි. එම භාන්ඩයන් හි ක්ෂනික මිල නැග්මට සහ ලමා දිවා ආහාරය අහෝසි කිරීමට හේතු වූයේ මෙම සහනාධාර කප්පාදුවයි.

මිල වැඩි කිරීම නිවේදනය කල දිනට පසුදින, එනම් ජූලි 21 දින, බලපිටිය හා අම්බලන්ගොඩ අතර පිහිටි රන්දොඹේ ප්‍රදේශවාසීහු ගාලු පාරේ ගමනාගමනය අවහිර කරමින් විරෝධතාවයන්ට එලැඹුනහ. එය දකුනු හා බටහිර ප්‍රදේශ කරා පැතුරුනි. එදිනම, කොලඹ වරායේ කම්කරුවන් පැය තුනක් වැඩ වර්ජනය කල අතර, වැල්ලවත්ත රෙදි මෝලේ කම්කරුවන් දින භාගයක වර්ජනයකට එලැඹුනි. අගෝස්තු 11 දා, කැලනියේ හා පේරාදෙනියේ ශිෂ්‍යයෝ පොලීසිය සමඟ ගැටුනාහ.

ලංකා සම සමාජ පක්ෂය (ලසසප), ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂ‍මයේ සහ පිලිප් ගුනවර්ධනගේ විප්ලවකාරී සමසමාජ පක්ෂයේ සහාය සහිතව, හර්තාලය කැඳවනු ලැබුවේ මෙම තතු තුලයි. ලංකා කම්කරු සම්මේලනය, ලංකා වෘත්තීය සමිති සම්මේලනය, ලංකා වෙලඳ සේවක සංගමය හා ඩොක් කම්කරුවන්ගේ සංගමය වැනි වෘත්තිය සමිති ද හර්තාලයට සහයෝගය දැක්වීය. ෆෙඩරල් පක්ෂය වෙනම කැඳවීමක් සිදු කරන ලදි.

අගෝස්තු 12 වන දා, වැඩ වර්ජනය රැල්ලක් සේ පැතිර යමින් කොලඹ වරාය, ඩීඅයි සපත්තු වැඩ පොල, කොලොන්නාවේ රජයේ කර්මාන්ත ශාලාව, රත්මලාන දුම්රිය වැඩපොල, වෝකර්ස් වැඩ පොල, ගිනිකූරු කම්හල ඇතුලු කොලඹ හා අවට පිහිටි ප්‍රධානම කම්හල් සියල්ලමත් හා කුඩා වැඩ පොලවල් සියල්ලමත් වාගේ ඊට එක් කර ගත්හ. ට්‍රෑම් කාර් සේවකයන් ද වර්ජනයට එක් වූ අතර, බස් හා දුම්රිය ගමනාගමනය මහජනතාව මැදිහත්වී නවතා දැමුනි.

හුදකලා වූ එජාප ආන්ඩුව බෙහෙවින් කලබල විය. අගෝස්තු 12 දින ආන්ඩුවේ කැබිනට්ටුව රැස් වූයේ කොලඹ වරායේ නවතා තිබූ එච්එම්එස් නිව්ෆවුන්ඩ්ලන්ඩ් යන බ්‍රිතාන්‍ය යුද නැවේ ය. මහජන විරෝධ‍යේ පීඩනය යටතේ අගමැති ඩඩ්ලි සේනානායක ට ඉල්ලා අස්වීමට සිදු විය.

එජාප ආන්ඩුව, හර්තාල්කරුවන්ට එරෙහිව සන්නද්ධ හමුදා ප්‍රචන්ඩ ලෙස යෙදවීය. කොලඹට අමතරව, දකුනේ ඌරගහ හා රත්ගම වැනි ප්‍රදේශවලදී ද පොලිස් වෙඩි තැබීම් වලින් මහජනයා මිය ගියහ. මිය ගිය සංඛ්‍යාව හතක් ලෙස නිල වශයෙන් දක්වා තිබුනත්, සැබෑ සංඛ්‍යාව ඊට වඩා වැඩි විය. පසුව තම සංඛ්‍යාව වෙනස් කලත්, ටයිම්ස් ඔෆ් සිලෝන් පුවත් පත මුලින් වාර්තා කලේ විසි එකක් මිය ගිය බවයි.

හර්තාලය නිමා වීමෙන් පසුව, එජාප ආන්ඩුව මර්දනය ඉදිරියට ගෙන යමින් මහා පරිමාන අත් අඩංගුවට ගැනීම් සිදු කරන ලදි.

සමස්ත රාජ්‍ය යන්ත්‍රයම ඇන හිටවූ මෙම හර්තාලයට ආසන්නතම හේතුව වූයේ අත්‍යාවශ්‍යම භාන්ඩ මිලෙහි ක්ෂනික නැග්ම වුවද, එය, ආන්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී සහ අධිරාජ්‍ය ගැති පාලනයට එරෙහිව කාලයක් තිස්සේ සමුච්චය වූ මහජන විරෝධය පුපුරා යාමකි. පුරවැසි පනත යටතේ වතු කම්කරුවන්ගේ චන්ද අයිතිය උදුරා ගැනීම එජාප ආන්ඩුව කෙරෙහි කම්කරු පන්තියේ විරෝධය අවුලුවාලීමේ ප්‍රධාන සාධකයක් විය.

පසුගාමී රටක් වුවද ලංකාවේ කම්කරු පන්තියේ ඉමහත් විප්ලවවාදී විභවය මෙම අරගලය තුල මනාව ඉස්මතු විය. ධනේශ්වර සමාජයේ වෛෂයික විප්ලවවාදී බලවේගය වන කම්කරු පන්තියට, ධනේශ්වරයට එරෙහි සටනේ දී, අනෙකුත් පීඩිත කොටස් තමා වටා රැලිකර ගැනීම සදහා පවත්නා ශක්‍ය තාවය ද හර්තාලය මඟින් පෙන්නුම් කලේ ය.

කෙසේ නමුත්, ජාතිකවාදී අවස්ථාවාදය ඔස්සේ පල්ලම් බසිමින් පාර්ලිමේන්තු මාවතට අවතීර්නව සිටි ලසසප යේ අරමුන වූයේ, මෙම කැරලිකාරී ව්‍යාපාරය, තම අත යටට ගෙන, එහි විප්ලවවාදී ජීවගුනය අකාමකා තම පාර්ලිමේන්තු උපාමාරු සඳහා පාවිච්චි කිරීමයි. හර්තාලය එක් දිනකට සීමා කල ලසසප ය, පසු දින විරෝධතාකරුවන්ට ආපසු යාමට බල කලේය. එය නොතකා මහජනතාව තම අරගලය තවත් දින කීපයක් ඉදිරියට ගෙන ගියහ.

සමසමාජ පක්ෂයේ ජාතිකවාදී අවස්ථාවාදය හුදෙකලා ලාංකික ප්‍රපංචයක් නොවේ. මෙය, නිශ්චිත ජාත්‍යන්තර වර්ධනයක, එනම් හතරවැනි ජාත්‍යන්තරය තුල පැන නැඟුන පැබ්ලෝවාදී අවස්ථාවාදයේ, ජාතික ප්‍රකාශනය වේ.

දෙවන ලෝක යුද්ධයෙන් පසුව, චීන විප්ලවයේ ජයග්‍රහනයට හා ස්ටැලින්වාදය - ජාත්‍යන්තර සමාජවාදයට එරෙහිව ජෝසප් ස්ටැලින් විසින් ඉදිරිපත් කල තනිරටේ සමාජවාදය පිලිබඳ දුර්න්‍යාය - නැගෙනහිර යුරෝපීය රටවල පැතිර යාමට අනුගත වූ හතරවැනි ජාත්‍යන්තරයේ එවක ලේකම් ව සිටි මයිකල් පැබ්ලෝ, ස්ටැලින්වාදයේ ප්‍රතිවිප්ලවවාදී ස්වභාවය හා හතර වන ජාත්‍යන්තරයේ නායකත්වයේ ක්‍රියාකලාපය ප්‍රතික්ෂේප කලේ ය. සම්භාව්‍ය මාක්ස්වාදය විසින් සැමවිටම අවධාරනය කල, කම්කරු පන්තියේ ස්වාධීන විප්ලවවාදී ක්‍රියාකලාපය සහ විප්ලවවාදී පක්ෂයේ කාර්ය භාරය ප්‍රතික්ෂේප කල පැබ්ලෝ හා ඔහුගේ සහකරු වූ අර්නස්ට් මැන්ඩෙල්, ස්ටැලින්වාදයට නව විප්ලවවාදී ක්‍රියාකලාපයක් ආදේශ කලහ. ට්‍රොට්ස්කිවාදය මුලුමනින්ම ප්‍රතික්ෂේප කිරීමක් වන මෙය, පරිපූර්න දියකර හැරීම්වාදයකි.

මෙම ප්‍රතිසංස්කරනවාදී මාවතේ ගමන් කල ලසසප ය පාර්ලිමේන්තුවාදයට කෙතරම් අනුගතවී සිටියේද යන්න, හර්තාලය කැඳවීමේ අරමුන පැහැදිලි කරමින් කොල්වින් ආර්. ද සිල්වා කරන ලද ප්‍රකාශයකින් තහවුරු වෙයි: “හර්තාලයේ අරමුන එජාප ආන්ඩුවට ඉල්ලා අස් වී මහ මැතිවරනයක් තැබීමට බල කිරීමයි.” මෙය ඔවුන් 1951 දී නිකුත් කල “එලැඹෙන මැතිවරනය හා අපේ කර්තව්‍යය” යන ප්‍රකාශනයේ සඳහන් කල, “ලඟාවන මහ මැතිවරනයේදී අපේ කර්තව්‍යය වන්නේ එක්සත් ජාතික පක්ෂය පරාජය කිරීමටත් කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් කරා යන මාවතේ පාර්ලිමේන්තුව තුල සමසමාජ ආන්ඩුවක්” පිහිටුවීමේ ප්‍රතිසංස්කරනවාදී ඉදිරි දර්ශනයේ ම දිගුවකි.

මේ ප්‍රකාශයන් මගින්, කොල්වින් ආර්. ද සිල්වා ඇතුලු අනෙකුත් ලසසප නායකයන්, සම්භාව්‍ය මාක්ස්වාදී ඉදිරි දර්ශනයෙන් පල්ලම් බසිමින්, පශ්චාත් යුද කාලීන පර්යායට හා 1948 දී අටවනු ලැබූ ජාතික රාජ්‍යයට අනුගත වී සිටි ආකාරය මනාව පෙන්නුම් කරයි.

1948 දී සමසමාජ පක්ෂය ප්‍රකාශ කලේ, තවමත් ලංකාව ආර්ථික නිදහස ලබා නැති නමුත් එය දේශපාලන නිදහස ලබා ඇති බව ය. මෙය හුදෙක් නිදහස පිලිබඳ තක්සේරුවක් පමනක් නොවේ. ලංකාව වැනි පසුගාමී රටක ධනපති පන්තියට අධිරාජ්‍යවාදයෙන් දේශපාලන නිදහස ලබා ගත හැකි යයි ප්‍රකාශ කිරීම, සම්පූර්න ට්‍රොට්ස්කිවාදී ක්‍රියාමාර්ගයම ප්‍රතික්ෂේප කිරීමක් වේ.

ට්‍රොට්ස්කිට අනුව, “පමාවී සිදුවන වර්ධනයෙන් යුත් රටවල් සම්බන්ධයෙන් විශේෂයෙන්ම විජිත හා අර්ධවිජිත රටවල් සම්බන්ධයෙන්, නොනවතින විප්ලව න්‍යාය ඉස්මතු කරන කරුන වන්නේ, එම රටවල ප්‍රජාතන්ත්‍රවාදය හා ජාතික විමුක්තිය දිනා ගැනීමේ කර්තව්‍යයන්ට පරිපූර්න වූත්, අව්‍යාජ වූත්, විසඳුමක් ඇති විය හැක්කේ යටත්වූ ජාතියේ නායකයා වශයෙන් - අන් සියල්ලටම වැඩියෙන් ගොවි ජනතාවගේ නායකයා වශයෙන් - නිර්ධන පන්තිය පිහිටුවන ඒකාධිපතිත්වය තුලින්ම පමනකි යන්නය.”

හර්තාලය මගින් අභියෝග කෙරුනේ අධිරාජ්‍ය ගැති දක්ෂිනාංශික එජාප ආන්ඩුවට පමනක් නොව, ධනපති ක්‍රමයටමත් ය. නමුත්, සමසමාජ පක්ෂය මේ වන විට සමාජවාදී වැඩ පිලිවෙලක් ක්‍රියාවට දමන කම්කරු-ගොවි ආන්ඩුවක් බලයට ගෙන ඒම සඳහා විප්ලවවාදී නායකත්වය සම්පාදනය කිරීමේ කර්තව්‍යය සම්පූර්නයෙන්ම අමතක කර දමා තිබුනි.

මෙම දක්ෂිනාංශික ගමන ආවරනය කර ගැනීම සඳහා සමසමාජ පක්ෂය හර්තාලය පාවිච්චි කෙරුනි. සමාජවාදී සමානතා පක්ෂයේ (ශ්‍රී ලංකාව) ඓතිහාසික හා ජාත්‍යන්තර පදනම් ලියවිල්ලේ දී, සමසමාජය හර්තාලය ගැන කරන බොරු පූච්චානම් ගැන මෙසේ සඳහන් කෙරුනි: “1953 හර්තාලය, පක්ෂයේ විප්ලවකාරී ස්වභාවය හුවාදැක්වීමේ පසුකාලීන ලසසප මිත්‍යා ප්‍ර බන්ධනය සඳහා යොදාගනු ලැබීය. යථාර්තය නම්, ලසසපය මහජන ව්‍යාපාරයට කිසිදු නායකත්වයක් සම්පාදනය නොකල බවය. … හර්තාලය පුරාවට ම ලසසප එය දැකගනු ලැබුවේ, තම පාර්ලිමේන්තු උපාමාරුවල ආධාරකයට නොවැඩි දෙයක් ලෙසය.”

සමසමාජ පක්ෂයේ මෙම දේශපාලන පල්ලම් බැසීම, කම්කරු පන්තිය තුල ව්‍යාකූලත්වය වැඩි දියුනු කල අතර, වෘත්තිය සමිති අවස්ථාවාදය ශක්තිමත් කලේය. ගම්බද දුගීන් අතර නාගරික කම්කරු පන්තිය මත තබා තිබූ විශ්වාසය පලුදු කිරීමට ද එය තුඩු දුනි.

අර්බුදයට පත්ව සිටි ධනපති පන්තිය මෙහි පූර්න වාසිය අත්පත්කර ගන්නා ලදී. සසප තම පදනම් ලියවිල්ලේ සඳහන් කල ආකාරයට “මෙහි ප්‍රතිපල වශයෙන් (එස්ඩබ්ලිව්ආර්ඩී) බන්ඩාරනායකට, මහජනයාගේ විරෝධතා මනෝභාවය ගසාකමින් සිය දේශපාලන ආනුභාවය වැඩිකර ගැනීමට කොන්දේසි සැකසුනි. විශේෂයෙන්ම ලසසප නායකත්වයේ බෙලහීනකම නිසා නොමග ගිය ග්‍රාමීය සිංහල ජනතාව අතර දී එසේ විය. එජාප අන්ඩුවට එරෙහිව බන්ඩාරනායක ගෙන ආ විශ්වාස භංග යෝජනාවට ලසසප සිය සහයෝගය දීමෙන් පසුව ඔහුගේ දේශපාලන නැගීම තවත් ශක්තිමත් විය. ”

කම්කරු පන්තියේ දියුනු කොටස් හා තරුනයන් ව්‍යාකූල කිරීම සඳහා ට්‍රොට්ස්කිවාදයට ආකාරගත සහාය පුද කිරීම තව දුරටත් පවත්වාගෙන ගියද, සමසමාජ නායකත්වය හර්තාලයෙන් පසුව බොහෝ වේගයෙන් දකුනට ගියේය. කම්කරු පන්තිය වාර්ගික රේඛාවන් මත බෙදීම සඳහා “සිංහල පමනක්” රාජ්‍ය භාෂාව විය යුතු යයි ස්වෝත්තමවාදය ඇවිස්සූ බන්ඩාරනායක සමඟ 1956 මහ මැතිවරනයේ දී නිතරඟ ගිවිසුමකට එලැඹීම මෙය විශදව පෙන්නුම් කෙරුනි. නව බන්ඩාරනායක ආන්ඩුවට “අනුකූලාත්මක සහයෝගය” දැක්වූ ඔවුන් 1956 හා 1957 දී ආන්ඩුවේ ප්‍රතිපත්ති ගෙන හැර දක්වන රාජාසන කතාවට ද චන්දය දුන්හ. මෙම බන්ඩාරනායක අන් කවරෙකුවත් නොව, “දුඹුරු ෆැසිස්ට්වාදයේ දේශීය ශාඛාවක්” ගොඩ නැගීමේ විභවය අන්තර්ගත කර ගත් “භයානක ප්‍රතිගාමී හවුලක්” ලෙස කොල්වින් ආර් ද සිල්වාම 1939 දී හැඳින්වූ සිංහල මහා සභාවේ නායකයා යි.

1950 ගනන් වන විට බන්ඩාරනායකට අනුගත වීමටත්, 1964 දී ධනපති ශ්‍රීලංකා නිදහස් පක්ෂය සමඟ හවුල් ආන්ඩුවකට ගොස් “මහා පාවාදීම” සිදු කිරීමටත් ලසසපය ට පිටු බලය සැපයූවේ, ජාතික ධනපති පන්තීන් හා ස්ටැලින්වාදීන් ඇතුලු කම්කරු නිලධරය වමට තල්ලු කිරීමේ, පැබ්ලෝගේ මේ සංශෝධනවාදයයි.

හතරවැනි ජාත්‍යන්තරය තුල සිටි සම්භාව්‍ය ට්‍රොට්ස්කිවාදීන් කල අරගලයක ප්‍රතිඵලය ලෙස හතරවන ජාත්‍යන්තරයේ ස්වාධීන සහ නායක ක්‍රියාකලාපය නැවත තහවුරු කරමින්, 1953 දී, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) පිහිටුවන ලදි. සමාජවාදී සමානතා පක්ෂයේ පූර්වගාමියා වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය (විකොස) 1968 දී පිහිටවූයේ එම අරගලයේ පාඩම් මතයි.

පැබ්ලෝවාදයට එරෙහිව ආකාරගත විවේචන කිහිපයක් සිදු කල ද, හතරවැනි ජාත්‍යන්තරයේ ඉදිරි දර්ශනය හා අඛන්ඩතාවය ආරක්ෂා කිරීම සඳහා පිහිට වූ හජාජාක ලසසපය ප්‍රතික්ෂේප කලේ ය.

විප්ලවවාදී පක්ෂය තුල සිදු වන සෑම මූලික වර්ධනයක් මෙන්ම, හතරවන ජාත්‍යන්තරය තුල පැබ්ලෝවාදය පැන නැගීම, ඊට එරෙහි අරගලය, 1953 භේදය හා ජාත්‍යන්තර කමිටුව පිහිටුවීමත් වටහා ගත හැක්කේ, ජාත්‍යන්තර පන්ති අරගලයේ පිලිබිඹුවක් ලෙස පමනි.

විකොස ආරම්භක ලේකම් කීර්ති බාලසූරිය පැබ්ලෝවාදයේ ද්‍රව්‍යමය පදනම ගැන සඳහන් කලේ මෙසේ ය: “මේ සියල්ල පැබ්ලෝගේ හිස තුල හදිසියේ හැදුනු මනෝ විකාරයක් නොවීය. පශ්චාත් යුදකාලීන කම්කරු පන්ති නැගිටීම් තාවකාලිකව රඳවා තැබීමට ස්ටැලින්වාදය කල මහා පාවාදීම්ද, ධනපති ආර්ථිකය ස්ථාවර කිරීමට අධිරාජ්‍යවාදීන් අනුගමනය කල උද්ධමනකාරී ආර්ථික ප්‍රතිපත්තිද සමාජයේ එක්තරා පන්තියක් තුල ඇති කල නිශ්චිත දෘෂ්ටිමය බලපෑම පැබ්ලෝ - මැන්ඩල් චින්තනයෙන් පිලිබිඹු විය. කම්කරු පන්තියෙන් මුලුමනින්ම වෙන්වුනු මධ්‍යම පන්තියේ පරිපූර්න අසාර දර්ශනය හා මංමුලාව එබඳු විය. සංශෝධනවාදය යනු මධ්‍යම පන්තිය මැදි කරගෙන ධනපති පන්තිය, කම්කරු පන්තිය විනිවිදීමයි.”

1970 ගනන් වලදී ජාත්‍යන්තර කමිටුව තුල පැන නැගුනු ජාතිකවාදී අවස්ථාවාදී ප්‍රවනතාවයට එරෙහිව, එක්සත් ජනපද සසප සභාපති සහ එවකට වර්කර්ස් ලීගයේ ජාතික ලේකම් වූ, ඩේවිඩ් නෝර්ත් සහෝදරයාගේ නායකත්වය යටතේ ගෙනගිය අරගලය අවසානයේ, 1985 දී, ජාත්‍යන්තර කමිටුව තුල සම්භාව්‍ය ට්‍රොට්ස්කිවාදීන්ට බලය තහවුරු කර ගැනීමට හැකිවිය. ඉන් ලබාගත් මාහැඟි වර්ධනයන් ලෙස, සමාජවාදී සමානතා පක්ෂ පිහිටුවා ගැනීමට හා සම්භාව්‍ය මාක්ස්වාදයේ අනභියෝගී හඬ ලෙස ලෝක සමාජවාදී වෙබ් අඩවිය තහවුරු කර ගැනීමටත් හැකි වී ඇත.

ලෝක මාක්ස්වාදී ව්‍යාපාරය හා කම්කරු පන්තිය අද එලැඹ සිටින්නේ පන්ති අරගලයේ නව කාලපරිච්ඡේදයකට ය. අවස්ථාවාදය කම්කරු පන්තිය මත ආධිපත්‍යය දැරූ කාලය දැන් අවසන්ය. ධනවාදයට එරෙහිව කම්කරු පන්තිය දැවැන්ත අරගලයන්ට එලඹෙන කාලයක එලිපත්තේ අපි ජීවත් වෙමු. මෙම විප්ලවවාදී කාලපරිච්ඡේදයේ දී, බලය පිලිබඳ ප්‍රශ්නය විසඳීම සඳහා ඉතිහාසයෙන් සෑම කොන්දේසියක්ම අප ව්‍යාපාරය වෙත සැපයෙනු ඇත.

නමුත් සාංසිද්ධිකව කිසිවක් විසඳෙනු නැත. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව කම්කරු පන්තියේ මහජන ලෝක පක්ෂය ලෙස ගොඩ නැඟීමේ කාල පරිච්ඡේදයට අපි දැන් පිවිස සිටින්නෙමු. එයට උර දිය හැක්කේ, සමසමාජ අවස්ථාවාදයේ ස්වභාවය මෙන්ම, එයට තුඩු දුන් පැබ්ලෝවාදී අවස්ථාවාදයේ ස්වභාවයත්,එයට සහ සකල සියලු ජාතිකවාදී අවස්ථාවාදයන්ට එරෙහිව ජාත්‍යන්තර මාක්ස්වාදී ව්‍යාපාරය ගෙනගිය අරගලයේ දේශපාලන හා න්‍යායික පාඩම් ග්‍රහනය කර ගැනීම හරහා පමනි.

ජාත්‍යන්තර ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ වත්මන් නායක ඩේවිඩ් නෝර්ත් , ඉතිහාසයේ පාඩම් මත පදනම් වීමේ අත්‍යාවශ්‍යභාවය ගැන මෙසේ අවධාරනය කරයි. “පන්ති අරගලයේ මෙම ගෝලීය වර්ධනයේ ඉල්ලීම් සපුරාලීම සඳහා ජාත්‍යන්තර කමිටුව අපගේ ලෝක පක්ෂයේ සමස්ත න්‍යායාත්මක හා දේශපාලන ප්‍රාග්ධනය වෙත යොමු වීම අවශ්‍ය වේ.”

හතරවැනි ජාත්‍යන්තරයේ ඉතිහාසය හදාරා, එම තීරනාත්මක කර්තව්‍යට උර දීමට ඉස්මත්තට එන ලෙස කම්කරුවන්ගෙන්, තරුනයන්ගෙන් හා බුද්ධිමතුන්ගෙන් අපි ඉල්ලමු.

Share this article: