“කලාවේ සහ ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කිරීමේ ක්‍රියාකාරී කමිටුව” කුරුනෑගල දී සැලකිය යුතු සහයෝගයක් දිනාගනී

අපේ වාර්තාකරුවන් විසිනි, 2019 සැප්තැම්බර් 10

සැම්සන් ගුනතිලකගේ “මියගිය පසු ආගමික වතාවත් කුමටද?” කෘතිය එලිදැක්වීම වෙනුවෙන්, අගෝස්තු 24 වනදා කුරුනෑගල දී පැවැත්වූ, ප්‍රකාශනයේ නිදහස පිලිබඳ විවෘත සංවාදයට ”කලාවේ සහ ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කිරීමේ ක්‍රියාකාරී කමිටුව” වෙනුවෙන් එහි සභාපති සංජය ජයසේකර සහභාගි විය. ඔහු එයට සහභාගි වූයේ සංවාදය සංවිධානය කල ”නිවහල් සිතුවිලි සංසදය” විසින් කරනු ලැබූ ආරාධනයක් මත යි.

කලාකරුවන්, කම්කරුවන්, තරුනයන් ඇතුලු හැටකට ආසන්න පිරිසක් වැඩසටහනට සම්බන්ධ වී සිටි අතර ක්‍රියාකාරී කමිටුව පදනම් වන මූලධර්ම අඩංගු ලියවිලි, කමිටුව පිහිටුවීමට මූලිකත්වය ගත් සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) ප්‍රකාශනය වන ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) ලිපි ලේඛන ඔවුන් අතට පත්කරන ලදී. සැලකිය යුතු පිරිසක් සසප ප්‍රකාශන මේසය වෙත පැමින මාක්ස්වාදී පොත පත මිලදී ගත්හ.

මෙම ක්‍රියාකාරී කමිටුව පිහිටුවනු ලැබුවේ, සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව ප්‍රමුඛ ශ්‍රී ලංකාවේ ධනපති පාලක පන්තිය විසින් ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එල්ල කරන ප්‍රහාරය වඩාත් ඉහල මට්ටමකට නංවා ඇති තතු තුල, කලාවේ සහ ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කර ගැනීමට සටන්වදින සංවිධානයක් ගොඩ නැගීම සඳහා, ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) හරහා ජූනි 24 දා සසප කල කැඳවුමකට අනුවයි.

කමිටුව පිහිටුවීමට මූලිකත්වය ගැනීමට පෙර සිටම, සසප කලාවේ සහ ප්‍රකාශනයේ නිදහස වෙනුවෙන් මූලධර්මාත්මක අරගලයක යෙදී සිටියේය. එම අරගලයේ ආසන්නතම කොටසක් ලෙස, බෞද්ධ අන්තවාදී කන්ඩායම් වල ව්‍යාජ පැමිනිලි මත අත්අඩංගුවට ගැනුනු ලේඛක ශක්තික සත්කුමාර නිදහස් කරගැනීමට සසප බලගතු උද්ඝෝෂනයක් ගෙන ගියේය.

“ලේඛක ශක්තික සත්කුමාර සහ කලාවේ නිදහස ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාකාරී කමිටු ගොඩනගනු” යන මැයෙන් කරනු ලැබූ කැඳවුමට සහයෝගය පලකරමින් කලාකරුවන්, කම්කරුවන්, තරුනයන් සහ බුද්ධිමතුන් ඇතුලු ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සඳහා කැපවන බොහෝ දෙනෙක් ලෝසවෙඅ ට ප්‍රකාශ නිකුත් කරමින් සිටිති.

සංජය

ප්‍රකාශනයේ නිදහස පිලිබඳ සංවාදය සඳහා ක්‍රියාකාරී කමිටුව ආරාධනා ලබුවේ, සසප මූලිකත්වයෙන් එම කමිටුව ගෙන යන අරගලයට හිතන මතන කම්කරුවන්, කලාකරුවන් සහ තරුනයන් අතර වර්ධනය වන ආකර්ෂනය හේතුවෙනි. කලාව සහ ප්‍රකාශන ක්ෂේත්‍රය තුල කලාකරුවන්, මාධ්‍යවේදීන් ඇතුලු ඕනෑම පුද්ගලයෙකුට හෝ සංවිධානයකට එල්ල වන ප්‍රහාරයන්ට එරෙහිව සසප කොන්දේසි විරහිතව පෙනී සිටියි.

සංජය ජයසේකර සසප දේශපාලන මන්ඩලයේ ද සභිකයෙකි. රැස්වීම ඇමතූ ඔහු කලාවේ සහ ප්‍රකාශනයේ නිදහසට එල්ලවී ඇති ප්‍රහාරය ජාත්‍යන්තර සන්දර්භයක තබා වගවිභාග කලේය. “ලෝකයේ සෑම ධනපති ආන්ඩුවක්ම ප්‍රකාශනයේ නිදහසට එරෙහිව පෙරට එමින් ඉන්නවා. ඇත්තවශයෙන්ම ඔවුන්ගේ මූලික එල්ලය වන්නේ ජාත්‍යන්තර පරිමානව වර්ධනය වන කම්කරු පන්තියේ අරගල රැල්ල. එම අරගලයන් මැඩ පැවත්වීමේදී ප්‍රකාශනයේ නිදහසට එරෙහිව ප්‍රහාර එල්ල කිරීම සඳහා විවිධ නීතිරීති සම්මත කරගනිමින් ඉන්නවා. ශත්තික සත්කුමාරට එරෙහිව චෝදනා ගොනු කිරීමට යොදාගත් අයිසීසීපීආර් පනත (සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිලිබඳ ජාත්‍යන්තර සම්මුති පනත) එවැන්නක්. එය හඳුන්වා දුන්නේ මහජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්නක් හැටියටයි. නමුත් එය අමු අමුවේම යොදාගන්නේ කලාකරුවන්, කම්කරුවන් සහ අවශේෂ පීඩිතයන් අතරින් මතුවන විරෝධතාවන් මැඩීමටයි.”

ධනපති පාලක පන්තිය විසින් කම්කරු පන්තිය වාර්ගික හා ආගමික රේඛා ඔස්සේ බෙදීමට කටයුතු කරන බව පැහැදිලි කල ජයසේකර එම ප්‍රතිගාමී එල්ලය සහිතව ලංකාවේ පාලක පන්තිය විසින් බෞද්ධ සංස්ථාපිතය මුදුනට ගෙන ඇති බව ප්‍රකාශ කලේය. ඒ හරහා බෞද්ධ සංස්ථාපිතයට ලැබී ඇති අධිකාරය යොදාගනිමින් සත්කුමාර වැනි කලාකරුවන්ගේ නිර්මාන වලට එරෙහිව අතිශයින් ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රහාර මාලාවක් ලංකාව තුල ක්‍රියාත්මක වන බව ඔහු පෙන්වා දුන්නේය.

ප්‍රකාශනයේ නිදහසට ජාත්‍යන්තරව එල්ලකෙරී ඇති ප්‍රහාරයේ ඉහලම තුඩ වන්නේ විකිලීක්ස් නිර්මාතෘ ජූලියන් අසාන්ජ්ට එරෙහිව ඇමරිකානු අධිරාජ්‍යවාදය සහ එහි සහචරයන් විසින් දියත් කර ඇති දඩයම බව සභාවට පැහැදිලි කල ජයසේකර, ලෝසවෙඅ යේ ජාත්‍යන්තර කතෘ මන්ඩලය විසින් 2019 ජුනි 20 වන දින පල කල “ජූලියන් අසාන්ජ් ඇමරිකාවට පිටමං කිරීම වලක්වන ලෝක පරිමාන උද්ඝෝෂන ව්‍යාපාරයක් සඳහා” යන ප්‍රකාශයේ මූලධර්ම මත ක්‍රියාකාරී කමිටුව පදනම් වන බව පැවසීය.

“ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කිරීමේ ක්‍රියාකාරී කමිටුව සටන් කරන්නේ, ධනපති ක්‍රමයට එරෙහිව කම්කරු පන්තිය නායකත්වය ගන්නා ජාත්‍යන්තර පරිමාන පුලුල් මහජන ව්‍යාපාරයක් හරහා මිස ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කරගත නොහැකි බව තහවුරු කරමින් එම වැඩපිලිවෙල පෙරට ගැනීමට” බව ජයසේකර අවධාරනය කලේය.

සිය කතාව අවසන් කරමින්, ක්‍රියාකාරී කමිටුව පදනම් වන මූලධර්ම සාවධානව අධ්‍යයනය කරන ලෙසත් ක්‍රියාකාරී කමිටුවට සහ ජූලියන් අසාන්ජ්ගේ නිදහස සුරක්ෂිත කරගන්නා ගෝලීය ආරක්ෂක කමිටුවට සම්බන්ධවන ලෙසත් ජයසේකර සභාවෙන් ඉල්ලා සිටියේය.

ආනන්ද වක්කුඹුර

සභාවේ අදහස් සඳහා වෙන්වූ කාල සීමාව තුල සසප ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු සහ ක්‍රියාකාරී කමිටුවේ කාරක සභා සාමාජිකයෙකු වන ආනන්ද වක්කුඹුර ප්‍රකාශ කලේ ඇතැම් ව්‍යාජ-වාම කන්ඩායම් අයිසීසීපීආර් පනත සංශෝධන සහිතව පවත්වාගත යුතු බවට අදහස් පලකරන බවත් ඒ හරහා ඔවුන් ආන්ඩුවේ මර්දනයට රුකුල් දෙන බවත්ය. “අයිසීසීපීආර් පනත හරහා කෙරෙන්නේ මුලුමුනින්ම ප්‍රකාශනයේ නිදහස අහිමිකිරීමක්. එය කිසිසේත් මහජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා ගෙන ආ පනතක් නොවෙයි. එම පනතේ අර්ථ දක්වෙන තත්වයන් යටතේ සැබෑ ලෙසම මහජනතාවගේ ප්‍රජාතත්ත්‍රීය අයිතීන් කඩකරනු ලැබූ අවස්ථා කිසිවකදී වැරදිකරුවන්ට එරෙහිව ක්‍රියාමාර්ග නොගෙන සත්කුමාරගේ නිර්මානයට එරෙහිව එම පනත යොදාගැනීමෙන්ම ඒක ඔප්පුවෙනවා. ධනපති පාලක පන්තියේ ස්වභාවය මේකයි. ඒ නිසා කොන්දේසි විරහිතව මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී නීතිවලට විරුද්ධ විය යුතුයි”.

රැස්වීමෙන් පසු තිස්දෙනෙකුට වැඩි පිරිසක් ක්‍රියාකාරී කමිටුවට සම්බන්ධවීමට සිය කැමැත්ත පලකරමින් සිය ලිපිනයන් ක්‍රියාකාරී කමිටුව වෙත ලබාදුන්හ. රැස්වීමෙන් පසු සසප සාමාජිකයන් සමග සාකච්ඡාවට සම්බන්ධ වූ පාසල් ගුරුවරියක් වන ප්‍රදීපා ප්‍රකාශ කලේ ප්‍රකාශනයේ නිදහසට එරෙහිව එල්ල වූ ප්‍රහාරයේ ජාත්‍යන්තර පරිමාව ගැන ජයසේකරගේ කතාවට ඇහුම්කන් දීමෙන් පසු තමන්ට අවබෝධ වූ බවයි. ඇය ඉන්පසුව සසප සාමජිකයින්ගෙන් ක්‍රියාකාරී කමිටුවක ක්‍රියාකාරීත්වය පිලිබඳ විමසා සිටියාය.

සසප ප්‍රකාශන මේසය

ක්‍රියාකාරී කමිටු කලාවේ සහ ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කිරීමට පමනක් සීමා නොවන බවත් ලෝකය පුරා සටනට අවතීර්න වන සෑම ක්ෂේත්‍රයකම කම්කරුවන් තමන්ගේ ස්වාධීන ව්‍යාපාර ගොඩනගා ගැනීම පෙරදැරිව වෘත්තීය සමිති වලින් වෙන්වී ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගත යුතු බවත් සසප සාමාජිකයෝ පෙන්වා දුන්හ. “සෑම ක්ෂේත්‍රයකම වෘත්තීය සමිති කරන්නේ කම්කරු අරගල පාවාදෙන එකයි. මට මගේ ක්ෂේත්‍රය තුල අත්දැකීම් වලින් ඒ බව පැහැදිලියි. ක්‍රියාකාරී කමිටු කියන්නේ කම්කරුවන්ට තමන්ගේ අරගල ජයග්‍රහන කිරීමේ නිවැරදි වැඩපිලිවෙල අවබෝධ කරගැනීමේ අවස්ථාව ලැබෙන තැනක් බව මට පැහැදිලි” යැයි ප්‍රදීපා පැවසුවාය.

අධ්‍යාපන පරිපාලන ක්ෂේත්‍රයේ රැකියාවක නියුතු පතිරන සසප සාමජිකයන් සමග සාකච්ඡාවට එක්වෙමින් මෙසේ පැවසුවේය. “ආන්ඩුවල මර්දනය එන්න එන්නම දැඩි වෙනවා. මේ වගේ රැස්වීම් වුනත් ඉදිරියේදී තහනම් වෙන්න ඉඩ තියෙනවා. සමාජ මාධ්‍ය හරහා දැන් විශාල විරෝධතා මතුවෙනවා. ඒත් ආන්ඩුව ඒවා මර්දනය කරන්න උත්සාහ කරනවා. මිනිස්සුන්ට ඇත්ත දැනගන්න ඉඩක් නැහැ. ජූලියන් අසාන්ජ් වෙබ් අඩවියක්ම නිර්මානය කරගෙනයි සත්‍යය එලිදරව් කරන්න ඉදිරියට ආවේ. ඔහු දැන් බරපතල අනතුරක වැටිලා. ජාත්‍යන්තරව පුලුල් මහජන ව්‍යාපාරයක් ගොඩනැගීම හරහා ප්‍රකාශනයේ නිදහස සඳහා සටන ධනපති ක්‍රමයට එරෙහි සටනක් විදියට පෙරට ගැනීමෙන් පමනයි එය ජයග්‍රහනය කරන්න පුලුවන්.”

Share this article: