ජුලියන් අසාන්ජ් ආරක්ෂා කිරීමේ සසප උද්ඝෝෂනය මාතරට ගෙනයයි

අපේ වාර්තාකරුවන් විසිනි, 2019 සැප්තැම්බර් 01

රැස්වීමට සහභාගිවූවන්ගෙන් කොටසක්

විකිලීක්ස් වෙබ් අඩවියේ ප්‍රාරම්භක ජුලියන් අසාන්ජ්ට සහ තවත් තොරතුරු හෙලි කරන්නියක වන චෙල්සි මෑනිංට එරෙහිව එක්සත් ජනපදය ප්‍රමුඛ අධිරාජ්‍යවාදීන් ගෙනයන දඩයමෙන් ඔවුන් ආරක්ෂා කිරීම සඳහා සමාජවාදී සමානතා පක්ෂය (සසප) ගෙනයන උද්ඝෝෂනයේ කොටසක් ලෙස, අගෝස්තු 28 දා, දකුනේ ප්‍රධාන නගරයක් වන මාතරදී රැස්වීමක් සහ පිකට් කිරීමක් පැවත්වුනි.

රැස්වීම සහ පිකට් වැට සංවිධානය කිරීම සඳහා, සසප හා සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ ව්‍යාපාරය මාතර නගරය අවට නිවැසියන් හා රජයේ කාර්යාල සේවකයන් අතර සහ රුහුනු විශ්ව විද්‍යාලීය සිසුන් අතර උද්ඝෝෂනය කලහ. එහිදී, ජුලියන් අසාන්ජ් ආරක්ෂා කිරීම ස‍දහා “ලෝක පරිමාන උද්ඝෝෂන ව්‍යාපාරයක් සඳහා ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) කල කැඳවුම අඩංගු පත්‍රිකාව බෙදා හරිමින්, දින ගනනාවක, බලගතු දේශපාලන මැදිහත් වීමක් සිදු කරන ලදි.

28 දින දහවල් 1.00 සිට 2.00 දක්වා මාතර ප්‍රධාන බස් නැවතුම් පොල ඉදිරි පිට පැවැත්වූ පිකට් කිරීම බොහෝ ජනයාගේ ආකර්ෂනය දිනා ගත්තේය. වරින් වර පැමින එකතු වූ ජන කන්ඩායම් එහි නතරවී උද්ඝෝෂනය කෙරෙහි අවධානය යොමු කර සිටියහ.

සසප දේශපාලන කමිටු සාමාජික රත්නසිරි මලලගම

එදින සවස 4 ට මාතර නූපේ සනස සමිති රැස්වීම් ශාලාවේදී පැවැති රැස්වීමේ මුලසුන දැරූ සසප දේශපාලන කමිටු සාමාජික රත්නසිරි මලලගම, ජුලියන් අසාන්ජ් විකිලීක්ස් වෙබ් අඩවිය මගින් හෙලිදරව් කරන ලද එක්සත් ජනපද යුද අපරාධ, සෙසු රාජ්‍යයන් සමග කරන ලද මහජන විරෝධී කුමන්ත්‍රන, තන්ත්‍ර මාරු කිරීමේ මෙහෙයුම් ආදී සැහැසි ක්‍රියා පිලිබඳ කරුනු ගෙන හැර පෑ අතර අර්බුදයේ ගිලී සිටින අධිරාජ්‍යවාදී ධනවාදී පාලන තන්ත්‍රයන් මිලිටරි ෆැසිස්ට් ඒකාධිපතිත්වයන් දෙසට වේගයෙන් රූටා යන අයුරු පෙන්වා දුන්නේ ය. ජාත්‍යන්තර පන්ති අරගලයේ නව වර්ධනයන් පිලිබඳ විස්තර විභාග කරමින් ජුලියන් අසාන්ජ් සහ චෙල්සි මෑනින් නිදහස් කර ගැනීම කම්කරු පන්තියේ සෑම අරගලයක් තුලම ප්‍රධාන සටන් පාඨයක් ලෙස ඉස්මතු කර ගැනීම අවශ්‍ය බව ඔහු අවධාරනය කලේ ය.

පානි විජේසිරිවර්ධන

“ජුලියන් අසාන්ජ් හා චෙල්සි මෑනින් පිලිබඳව සමස්ත මාධ්‍ය සංස්ථාපිතයම බරපතල නිහැඬියාවක් පවත්වාගෙන යන තත්වයක් තුල මෙම නිහැඬියාව බිඳීමේ අවශ්‍යතාවය” පෙන්වා දෙමින් රැස්වීමේ ප්‍රධාන දේශනය පැවැත් වූ සසප දේශපාලන කමිටු සාමාජික පානි විජේසිරිවර්ධන සිය කතාවට ප්‍රවිෂ්ට විය. “විකිලීක්ස් යනු මහජන බුද්ධි අංශයක්” යැයි ජුලියන් අසාන්ජ් විසින් කරන ලද ප්‍රකාශය උපුටා දක්වමින් වර්තමාන කම්කරු පන්තියේ අරගලයට මේ දෙදෙනා නිදහස් කර ගැනීම සඳහා ගෙන යන සටනේ අදාලත්වය, විවිධ රටවල මාධ්‍ය මර්දනය පිලිබඳ නිදසුන් දක්වමින් ඔහු පෙන්වා දුන්නේ ය.

ශ්‍රී ලංකාවේ කලාකරුවකු වන ශක්තික සත්කුමාරට එරෙහිව ගෙන යන දඩයමෙන් ඔහු ආරක්ෂා කිරීම සඳහා සසප ගෙනයන උද්ඝෝෂනය ගැන සඳහන් කල විජේසිරිවර්ධන, “භාෂනයේ නිදහස වෙනුවෙන් සසප ගෙනයන අරගලය මා තුල මහත් විශ්වාසයක් ජනිත කලා. අසාන්ජ් විශ්වයේ මිනිසෙක්. අපි ඔහු ආරක්ෂා කල යුතුයි” යනුවෙන්, සිරගතව සිටිය දී සත්කුමාර කල ප්‍රකාශය උපුටා දැක්වූයේ ය. මෙම අරගලය ලෝක කම්කරු පන්තිය තුල එබඳු පිබිදීමකට මග පාදන බව කථිකයා සහතික කලේ ය.

ලොවපුරා පාලක පන්තීන් ආඥාදායක පාලන තන්ත්‍රයන් වෙත වේගයෙන් මාරුවෙමින් සිටින ආකාරය විජේසිරිවර්ධන පැහැදිලි කලේය. “ඉන්දියාවේ හින්දු ස්වෝත්තමවාදී නරේන්ද්‍ර මෝදිගේ ආන්ඩුව ජම්මු කාශ්මීරයේ අර්ධ ස්වෛරීත්වය ඉවත් කොට එහි වෙසෙන මිලියන 13ක් වන ජනකාය මධ්‍යම ආන්ඩුවේ සෘජු පාලනයට යටත් කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ පුවත්පත් මෝදි ආන්ඩුවෙන් ඉගෙන ගන්නා ලෙස ලංකාවේ පාලකයන්ට උපදෙස් දෙන කතු වැකි පල කරමින් සිටිනවා.”

“මේ අතර ලංකාවේ ආන්ඩුව සියලු දිස්ත්‍රික්ක පුරා හමුදාව යෙදවීමේ නියෝග අගෝස්තු 22 දා ගැසට් කලා. උතුරු නැගෙනහිර යුද්ධයේ අවසාන කාලයේ සිදු කල යුද අපරාධවලට සම්බන්ධ බවට කුප්‍රකට ශවේන්ද්‍ර සිල්වා යුධ හමුදාපති ලෙස පත් කරා. විශ්වවිද්‍යාලවල උපකුලපතිවරු වෙනුවට නිසිබලධාරීන් ලෙස විශ්‍රාමික හමුදා නිලධාරීන් පත්කිරීම අරඹල තියෙනව.”

“ පසුගිය වසර පනහ තුල නුදුටු විරූ පන්ති අරගලයේ පුනර්ජීවනයක් , වෘත්තිය සමිති වලට පිටින්, සිදුවෙමින් පවතින අතර එය සමස්ත ලෝක කම්කරු පන්තිය ඒකාබද්ධ කරන ප්‍රවාහයක් නිර්මානය කරමින් පවතී.එම පොදු අරගලය අසාන්ජ් නිදහස් කර ගැනිමට අවශ්‍ය සමාජ පදනම නිර්මානය කරනු ඇති බව”පෙන්වා දුන් ඔහු, එම අරගල කම්කරු පන්තිය ඒකාබද්ධ කෙරෙන ජාත්‍යන්තර සමාජවාදී මූලෝපායක් මත සංවිධානය කර ගැනීම අත්‍යවශ්‍ය බවත් අවධාරනය කලේය.

ඔහුගේ කථාවෙන් පසු ඔහු විසින් ඉදිරිපත් කෙරුනු ජුලියන් අසාන්ජ් ආරක්ෂා කිරීමේ ගෝලීය ආරක්ෂක කමිටුව ගොඩ නැගීමේ යෝජනාව රැස්ව සිටි පිරිස විසින් ඒකච්ඡන්දයෙන් සම්මත කරනු ලැබිනි.

උද්ඝෝෂනයට ප්‍රදේශවාසීන්ගෙන් ලද සහයෝගය ඉතා උනන්දු සහගතය.ඉංග්‍රිසි භාෂා ගුරුවරියක් ලෙස සේවය කල විවාහයෙන් පසුව රැකියාවෙන් ඉවත්ව ඇති භාග්‍යා මෙසේ ප්‍රකාශ කලා ය.

“ජුලියන් අසාන්ජ් පිලිබඳ තොරතුරු දැනගන්න ලැබුනේ ඔය සහෝදරවරුන්ගෙනුයි. ඔහු අත් අඩංගුවට ගෙන ඇත්තේ සහ මර්දනයට ලක් කර ඇත්තේ සමාජ විරෝධී විනාශකාරී ක්‍රියා අනාවරනය කරපු නිසයි. ඔහු අසාධාරනයට විරුද්ධව අරගල කරපු කෙනෙක්. ඒ වගේ කෙනෙක් ආරක්ෂා කරන්න අපි අරගලයක් කරනවා කියන්නේ සමස්ත ජනතාවටම සාධාරනය ඉෂ්ඨ කිරීමක්. ලංකාවේදීත් මාධ්‍යවේදීන්ට මේ වාගේම ප්‍රශ්න වලට මුහුන දීමට සිදුව තිබෙනවා. ඔබ ගෙනයන උද්ඝෝෂනය ඉතාම වැදගත් බව මම පිලිගන්නවා.”

ඉසදීන් නගරයේ පදිංචි වැවිලි සංස්ථාවේ ව්‍යාපෘති නිලධාරියෙකු ලෙස සේවයේ යෙදී සිට දැනට විශ්‍රාම ලබා සිටින කේ. සෝමරත්න: “විකිලීක්ස් වෙබ් අඩවිය හා ජුලියන් අසාන්ජ් ගැන මම අසා තිබෙනවා. ඔහු ඇමෙරිකන් යුද අපරාධ හෙලිදරව් කිරීමට ගත් පියවර ඉතාම වැදගත්. ඔහු මුහුන දී ඇති රුදුරු දඩයම පිලිබඳව සහෝදරවරු කල විස්තරයෙන් මම කම්පනයට පත්වුනා. මේ උද්ඝෝෂනයට මගේ සහාය පල කරනවා.”

ගම්පොල විමලධර්ම විද්‍යාලයේ විද්‍යාගාර සහායකයෙකු වන මධුශංඛ: “අප්‍රේල් 21 බෝම්බ ප්‍රහාර දැනුවත් ව වෙන්න ඉඩ හැරියෙ පන්ති අරගල මැඬීම සඳහා අවශ්‍ය මර්දන පියවර ගැනීමට බව ඔබ කරන පැහැදිලි කිරීමට මම එකඟ යි.”

“ලංකාවේ මේ වගේ වැඩ කොච්චර වෙනව ද? මාධ්‍යවේදීන් පැහැර ගෙන යාම් ඔක්කොම එලිපිට කෙරෙන්නෙ. අසාන්ජ් නිදහස් කර ගැනීම මූලික කර ගත් ප්‍රජාතන්ත්‍රීය අයිතීන් ආරක්ෂා කර ගැනීමේ ව්‍යාපාරයක් අවශ්‍යයි. නැති නම් මුලු ලෝකය ම අපායක් වෙනවා.”

“අසාන්ජ් නිදහස් කර ගැනීමේ උද්ඝෝෂනය හුදෙක් තනි පුද්ගලයෙක්ගේ ආරක්ෂාව වෙනුවෙන් කරන දෙයක් නෙවෙයි, සමස්ත කම්කරු පන්ති‍යේ ආරක්ෂාව වෙනුවෙන් කරන දෙයක් බව මට පෙනෙනවා.” යැයි ඇමරිකානු අධිරාජ්‍යවාදී යුද අපරාධ අන්තර්ගත “කොලැටරල් මර්ඩර්” විඩීයෝව නැරඹීමෙන් පසු ව ඔහු ප්‍රකාශ කලේ ය.

මාතර නගර සභාවේ කම්කරුවෙකු වශයෙන් වැඩ කරන සුසිල් ඉහත වීඩියෝව නැරඹීමෙන් පසු ව කම්පාවට පත් ව “එවන් මිනිහෙක්ව ආරක්ෂා කර ගැනීම සහේතුක” බවත් තමන් ඊට එකඟ වන බවත් පැවසී ය.

මහේශි

රුහුනු විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යාව හදාරන මහේශි කියා සිටියේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කරන නිර්ධන පන්ති දේශපාලන ව්‍යාපාරක් අවශ්‍ය බවයි. වීඩියෝව නැරඹීමෙන් පසු ව ඇය විරෝධතා පුවරුවක් ද අතැතිව ඡායාරූපයකට පෙනී සිටියා ය.

රුහුන විශ්ව විද්‍යාදලයේ සමිත: “අසාන්ජ් මේ අපරාධ මුලින් ම එලිදරවු කලේ 2011 දී නේද? ඒ දවස්වල මේ සම්බන්ධ ප්‍රවෘත්ති වාර්තාවන් මම රූපවාහිනියෙන් දැක්කා. ආන්ඩුව ජනතාව විසින් පත් කරනව නම් ජනතාවගෙන් වසන් කෙරුනු, පාලකයන් පමනක් දැන ගත යුතු රාජ්‍ය රහස් කියලා දෙයක් තියෙන්නෙ කොහොමදැ” යි ඔහු ප්‍රශ්න කලේ ය.

කේ. බී. රත්නායක

මැද්දවත්තේ පදිංචි පලාත් පාලන සේවයේ නියුතු කේ. බී. රත්නායක ජුලියන් අසාන්ජ් පිලිබඳව යම් තොරතුරු දැන සිටියේය. “ලෝකයේ මිනිසුන් නොදැන සිටි සමාජ විරෝධී අපරාධයි ජුලියන් අසාන්ජ් හෙලිදරව් කර තිබෙන්නේ. මෙම ක්‍රියාව ලෝකයට ලොකු බලපෑමක් සිදු කරනවා. අපි ගෝලීය පරිසරයක ජීවත් වන්නේ. ඒ නිසා අසාන්ජ් ආරක්ෂා කිරීම සඳහා ජාත්‍යන්තර උද්ඝෝෂනයක් ගැනීමේ ලොකු වැදගත් කමක් තිබෙනවා.”

“අසාන්ජ් යුද්ධයට එරෙහිව නැගී සිටියා. එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි සංවිධාන යුද්ධය නවත්වන්නේ නැහැ. යුද්ධයට විරුද්ධ ජාත්‍යන්තර ව්‍යා‍පාරයක් ගොඩ නැගීම ප්‍රධාන අවශ්‍යතාවක්.”

Share this article: