ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල සේවකයින්ගේ වර්ජනය අඛන්ඩව ඉදිරියට

Sri Lankan university workers continue indefinite strike

ඩබ්ලිව්.ඒ. සුනිල් විසිනි, 2019 සැප්තැම්බර් 12

ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාල 15 ක සහ අනුබද්ධ උසස් අධ්‍යාපන ආයතන 23 ක අනධ්‍යයන සේවකයින්, සහකාර සේවකයින් සහ පරිපාලන නිලධාරීන් 17,000 කට අධික පිරිසකගේ ජාතික වැඩ වර්ජනය අද තුන්වන දිනට එලඹ තිබේ.

අඟහරුවාදා ආරම්භ වූ අඛන්ඩ වැඩ වර්ජනය 2015 සිට රාජ්‍ය අංශයේ සෙසු සේවකයින්ට ලබා දී ඇති සියලුම වැටුප් වැඩිවීම්, දිරි දීමනා සහ විශ්‍රාම වැටුප් ක්‍රමයක් ඇතුලු ඉල්ලීම් ලබා දීම ආන්ඩුව විසින් ප්‍රතික්ෂේප කිරීමට එරෙහි ප්‍රතිචාරයකි.

වැඩ වර්ජනය කැඳවනු ලැබ ඇත්තේ අන්තර් විශ්ව විද්‍යාල වෘත්තීය සමිති එකමුතුව (අවිවෘඑ) විසිනි.. මෙය වෘත්තීය සමිති 27 සමන්විත විශ්ව විද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ බල මන්ඩලය (විවෘවෘසඒබම) සහ මධ්‍යම වෘත්තීය සමිති කමිටුවේ ඒකාබද්ධ සන්ධානයකි. වෘත්තීය සමිති සාමාජිකයින්ගේ “දැඩි පීඩනය” නිසා වැඩ වර්ජනය කැඳවීමට තමන්ට බල කෙරුනු බව පවසමින් වෘත්තීය සමිති නිලධාරීන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට ලිපියක් යවා තිබේ.

පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ කම්කරුවන්ගේ පෙලපාලිය

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සම්මේලනයේ (විගුසස) සාමාජිකයින් වැඩ වර්ජනයට එක්වන බවක් කලින් වාර්තා වල සඳහන් විය. වැඩි වැටුප් හා වැඩිදියුනු කල අධ්‍යාපන පහසුකම් සඳහා සටන් කිරීමට විශ්ව විද්‍යාල ගුරුවරුන් උනන්දුවක් දක්වන බව ඉන් පෙන්නුම් කල ද එය සිදු නොවුනි.

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) වාර්තාකරුවෙකු විසින් වීගුසස හි සභාපති රොහාන් ප්‍රනාන්දු ගෙන් ඒ ගැන විමසු විට විශ්ව විශ්ව විද්‍යාල ප්‍රතිසංස්කරන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වෘත්තීය සමිති නිලධාරීන් සැප්තැම්බර් 4 වන දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමඟ සාකච්ඡාවක් පැවැත් වූ බවත් වෘත්තීය සමිති නායකයින්ගෙන් නොවිමසා පනත ක්‍රියාවට නොදමන බවට වික්‍රමසිංහ එහි දී සහතික වූ බවත් ඔහු පැවසුවේ ය.

විශ්ව විද්‍යාල සේවක වර්ජනයට සමගාමීව රාජ්‍ය පරිපාලන නිලධාරීහු අඟහරුවාදා සහ බදාදා ලෙඩ නිවාඩු වාර්තාකර දෙදින වර්ජනයක නිරත වූහ. වැටුප් හා සේවා කොන්දේසි සම්බන්ධයෙන් සැප්තැම්බර් 26 සහ 27 දිනවල වැඩ වර්ජනය කරන බව රජයේ පාසල් ගුරුවරුන් නිවේදනය කර ඇත..

විශ්ව විද්‍යල සේවකයන්ගේ ද්වීපව්‍යාප්ත වැඩ වර්ජනය සීමා කිරීමට සහ අනෙකුත් කම්කරුවන්ගේ වෘත්තීය ක්‍රියාවන්ගෙන් එය හුදකලා කිරීමට වෘත්තීය සමිති දැරූ උත්සාහය නොතකා වැඩ වර්ජකයෝ ඔවුන්ගේ විශ්ව විද්යාල පරිශ්රයන් හි විරෝධතා උද්ඝෝෂනවල නිරත වුහ..

විශ්ව විද්‍යාල සේවක වර්ජනය සම්බන්ධයෙන් “ක්‍රියාකාරී කමිටු ගොඩනගනු! වර්ජනය ව්‍යාප්ත කරනු! විශ්ව විද්‍යාල සේවක අරගලයට සමාජවාදී ක්‍රියාමාර්ගයක් ” මැයින් සමාජවාදී සමානතා පක්ෂය (සසප) නිකුත් කල ප්‍රකාශය එවන් උද්ඝෝෂන පැවති සමහර තැන්වල දී සසප සාමාජිකයන් විසින් බෙදාහරින ලදී.

ලෝසවෙඅ වාර්තාකරුවන් සමඟ කතා කල වැඩ වර්ජකයන් ගනනාවක් තමන් මුහුන දෙන දුෂ්කර සේවා තත්වයන් සහ වර්තමානයේ සහ කලින් පැවති ආන්ඩු ඔවුන්ගේ වැටුප් ඉල්ලීම් නොදීම පිලිබඳව කෝපය ප්‍රකාශ කලහ. සියලු කම්කරුවන්ගේ ඒකාබද්ධ අරගලයක අවශ්‍යතාවය අවධාරනය කල බොහෝ කම්කරුවෝ ඔවුන්ගේ අරගල ආපසු හැරවීමට වෘත්තීය සමිති දරන උත්සාහයන් විවේචනය කලහ.

මොරටුව විශ්ව විද්‍යාලයට පිවිසෙන දොරටුව අසල අඟහරුවාදා 300 ක් පමන කම්කරුවන් සටන්පාඨ කියමින් පිකට් උද්ඝෝෂනයක යෙදුනි. විරෝධතාවයෙන් පසුව පැවති රැස්වීමක් අමතමින් විවෘසඒක මොරටුව ශාඛාවේ සභාපති කේ.එම්. සිරිසේන මෙසේ සඳහන් කලේ ය:

“මේ මාසයේ 16 හෝ 17 යන දිනවල අපට [බලධාරීන් සමඟ] සාකච්ඡාවක් ලැබෙන්න ඉඩ තියෙනවා. එම සාකච්ඡාවෙදී අපට විසඳුමක් ලබා ගන්න හැකි වේවි”

“ජනාධිපතිවරනය ඉතා ඉක්මනින් ප්‍රකාශයට පත්කරන බවට ආරංචි තියෙනවා. එහෙම වුනොත් වර්ජනය අවසන් කල යුතු” බව ඔහු පසුගිය සතියේ පවසා ඇත. වෙනත් වචන වලින් කිවහොත්, වැඩ වර්ජනය අත්හිටුවීමට වෘත්තීය සමිති නායකත්වය කුමක් හෝ නිදහසට කරුනක් සොයනව.

උසස් පෙල විභාගය සමත් වීමෙන් පසු රැකියාවක් සොයා ගැනීමට අපහසු වූ නිසා විදේශ රැකියාවකට යාමට තමාට සිදු වූ බව මොරටුව විශ්ව විද්‍යාාලයේ කාර්මික සේවකයෙකු වන අනුර ලෝසවෙඅ පැවසීය. ඔහු නැවත ශ්‍රී ලංකාවට පැමිනීමෙන් පසු කොලඹ විශ්ව විද්‍යාලයේ ඔටෝකැඩ් ඩ්‍රාෆ්මන් ශිල්පියෙකු ලෙස තාවකාලික රැකියාවක් ලබා ගත් අතර පසුව ඔහුට මොරටුව විශ්ව විද්‍යාලයේ රැකියාවක් ලැබී ඇත..

“මට දරුවන් දෙදෙනෙක් සිටිනවා. වැඩිමහල් පුතා උපාධිධාරියෙක්. අනිත් එක්කෙනා විශ්ව විද්‍යාලයට ඇතුලත් වීමට බලාපොරොත්තුවෙන් ඉන්නේ. දෙන්නටම රැකියා නැහැ. අසනීප වීම නිසා මගේ බිරිඳට විශ්ව විද්‍ය්‍යල රැකියාවෙන් ඉල්ලා අස්වීමට සිදු වුනා.”

“මගේ මාසික දල වැටුප රුපියල් 55,000 ක් (ඇමරිකානු ඩොලර් 305 ක් පමන), එය ප්‍රමානවත් නොවන නිසා අර්ධකාලීන රැකියාවකට යාමට බල කෙරිලා තියෙනවා”.

වර්ජකයන් මුහුන දෙන සියලු ගැටලු ආර්ථික දුෂ්කරතා හා සම්බන්ධ බව මොරටුව විශ්ව විද්‍යාලයේ සේවිකාවක වන නිරන්ජලා පැවසීය “පොදු අරගලයකින් තොරව කම්කරුවන්ට මෙම දුෂ්කරතා මඟහරවාගත නොහැකි බව පැහැදිලියි,” ඇය පැවසුවාය. “ධනේශ්වර පක්ෂ බලයට ගෙන ඒමට කටයුතු කරන වෘත්තීය සමිතිවලට අපි විරුද්ධයි.”

මොරටුව විශ්ව විද්‍යාලය ඉදිරිපිට පිකට් කරන කම්කරුවන්

මොරටුව විශ්ව විද්‍යාලයේ කාර්මික සේවක ප්‍රියන්ත කම්කරුවන් මහ වැඩ වර්ජනයක් දියත් කල යුතු බව පැවසීය. “රටේ පැනනැඟුන බොහෝ අරගලවලින් කම්කරුවන් ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කිරීමට සූදානම් බව පෙන්නුවා. නමුත් වෘත්තීය සමිති ඒවා භේදභින්න කර අධෛර්යමත් කරන” බව ද ඔහු සඳහන් කලේ ය.

“ආන්ඩුවේ බොරු පොරොන්දු පිලිඅරගෙන විශ්ව විද්‍යාල වෘත්තීය සමිති අපේ අරගල හැම විටම පාවා දුන්නා. ඔබ පැහැදිලි කල පරිදි, කම්කරු අරගල පුලුල් කිරීමට වෘත්තීය සමිති ප්‍රධාන බාධකයක් බව මට වැටහෙනව”.

පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ කම්කරුවන් 400 කට අධික පිරිසක් විශ්ව විද්‍යාල සෙනේට් සභාවේ සිට ගලහ හන්දිය දක්වා කිලෝමීටරයක් පමන පෙලපාලියකින් ගොස් එහි දී පිකට් උද්ඝෝෂනයක යෙදුනි.

නය වලට කපා ගැනීමෙන් පසුව අතට ලැබෙන්නේ මාසයකට රුපියල් 57,000 ක් පමන බවත්, ජීවත් වීමට ලොකු අරගලයක් කල යුතු බවත් එහි තොරතුරුවේදී නිලධාරියෙකු ලෝසවෙඅ පැවසීය. “විදුලිය, ජලය සහ ප්‍රවාහනය ඇතුලු සේවාවන් සඳහා ගාස්තු සහ අත්‍යාවශ්‍ය භාන්ඩ මිල ඉහල ගිහිල්ලා. මට තවමත් පාසල් යන දරුවන් දෙන්නෙක් ඉන්නවා. ලැබෙන වැටුප ප්‍රමානවත් නැති නිසා පවුලේ වියදම් පිරිමහ ගන්න අර්ධකාලීන රැකියා කිරීමට මට බල කෙරීල තියෙන” බව ඔහු පැවසීය.

උතුරේ, කිලිනොච්චි සහ වවුනියා විශ්ව විද්‍යාල පීඨ ඇතුලුව යාපනය විශ්ව විද්‍යාලයේ සියලුම සේවකයින් වර්ජනයට සහභාගී විය. විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගම් වල ඉල්ලීම නිසා නීතිය හා කලමනාකරනය වැනි සමහර පීඨ වල අවසන් වසරේ සිසුන් සඳහා දේශන පැවැත්වේ.

යාපනයේ සහ කිලිනොච්චි මන්ඩපවල කොන්ත්‍රාත් සමාගම් වලින් කුලියට ගෙන කොන්ත්‍රාත් පදනමේ සේවයේ යොදවා සිටින මෑන් පවර් කම්කරුවෝ (මිනිස්බල කම්කරුවන්) සේවය ස්ථීර කරන ලෙස ඉල්ලා යාපනයේ විශ්ව විද්‍යාලයේ ප්‍රධාන ගේට්ටුවෙන් පිටත උපවාසයක යෙදී සිටිති. ඔවුන්ට සෙසු කොන්ත්‍රාත් කම්කරුවෝ සහයෝගය දෙති.

අඩු වැටුප් සහිත මිනිස්බල හා කොන්ත්‍රාත් සේවකයින් සිය ගනනක් සේවයේ යෙදවීම මගින් විශ්ව විද්‍යාල විසින් වියදම් කපා හැර තිබේ. මෙම පදනම මත කම්කරුවන් 100 කට අධික සංඛ්‍යාවක් සේවයේ යොදවා ඇති අතර, යාපනය සහ කිලිනොච්චි මන්ඩප වල ඔවුන්ගෙන් සමහරෙක් වසර හතරකට වැඩි කාලයක් සේවය කරයි.

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන අමාත්‍යංශය ස්ථිර රැකියා සඳහා ඉල්ලුම් පත්‍ර කැඳවන විට විශ්ව විද්‍යාල බලධාරීන් මිනිස්බල සේවකයින් නොසලකා හරිමින් ඇමතිගේ හෙන්චයියන් බඳවා ගැනීමට උත්සාහ කරන බව සත්‍යග්‍රරහයෙහි යෙදී සිටින කම්කරුවෝ ලෝසවෙඅ පැවසූහ.

යාපනයේ විශ්වවිද්‍යාලයේ සත්‍යග්‍රරහයෙහි යෙදී සිටින කම්කරුවෝ

කොන්ත්‍රාත් සේවකයෙකු ලෙස වසර හතරක් විශ්ව විද්‍යාලය තුල වැඩකරන බව මිනිස්බල සේවකයෙකු වන එස්. මනිමාරන් පැවසීය. “අපට ගෙවන්නේ දිනකට රුපියල් 1,000 ක් පමන නමුත් මේ රක්ෂාව නැතිව ජීවිතේ ගැට ගහ ගන්න ක්‍රමයක් නැහැ. කිසියම් හේතුවක් නිසා වැඩට යන්න බැරි වුනොත් අපට කිසිම ගෙවීමක් නැහැ. සාමාන්‍ය වැඩ කරන වේලාවෙන් පස්සේ වැඩ කලාට අතිකාල දීමනා ලැබෙන්නේ නැහැ”.

ප්‍රධාන දෙමල ධනපති පක්ෂය වන දෙමල ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීන් මැතිවරන කාලවල දී බොරු පොරොන්දු දී කම්කරුවන් දේශපාලනිකව රවට්ටන බවට මනිමාරන් චෝදනා කලේය.

කලා පීඨයේ ස්ථිර සේවකයෙකු වන කේ. පරමලිංගම් වැඩ වර්ජනය පිලිබඳ සසප ප්‍රකාශයට අවධානය යොමු කලේ ය. “මම ඔබේ පත්‍රිකා කියෙව්වා. ඔබ හොඳට කරුනු පැහැදිලි කරලා තියෙනවා” ඔහු පැවසීය. “දිගටම සටන් කලත් අපට කිසිවක් ලබා ගන්න පුලුවන් වුනේ නැහැ. රජයට විසඳුමක් නැහැ. ඒ නිසා සටන් කරනවා හැර වෙනත් විකල්පයක් අපට නැහැ”. ඔහු සඳහන් කලේ ය.

විශ්ව විද්‍යාලයේ භූගෝල විද්‍යා අංශයේ ගුරුවරයෙකු වන එන්. තසරාසන් වැඩ වර්ජනයේ යෙදී සිටින අනධ්‍යයන සේවකයන්ට සිය සහයෝගය පල කලේ ය. “කම්කරුවන්ගේ වැඩ වර්ජනයට මම සහයෝගය දෙනවා. වැටුප් අසමානතා වලට අපි හැමදෙනාම මුහුන දෙනවා. වෙනත් රටවල් හා සසඳන විට ශ්‍රී ලංකා කථිකාචාර්යවරුන්ට ලැබෙන්නේ අඩු වැටුපක්.

අඟහරුවාදා කොලඹ විශ්ව විද්‍යාලයේ 300 කට අධික වැඩ වර්ජිත සේවකයින් විනාඩි 30 ක පමන කාලයක් උද්ඝෝෂනයක යෙදුනි. සසප සාමාජිකයන් පක්ෂයේ ප්‍රකාශය ඔවුන් අතර බෙදීම සමිති නිලධාරීන් විසින් වලකනු ලැබීය.

සසප සාමාජික (වමේ) වැඩවර්ජිත කම්කරුවන් සමග සාකච්ඡාකරයි

සසප සාමාජිකයින් මෙම නිර්ලජ්ජිත වාරනයට අභියෝග කර එය තම ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් බව ප්‍රකාශ කල විට තමන් වෘත්තීය සමිති මාධ්‍ය ලේකම්වරයකු ලෙස හඳුන්වා ගත් එල්.ඩී. රිච්මන්, “පතිකාව බෙදුවොත් ඔයාලට කරදරයක් වෙන්න පුලුවන්.” යනුවෙන් තර්ජනාත්මක ලෙස එයට ප්‍රතිචාර දැක්වීය.

රිච්මන්ඞ්ගේ ගොරහැඩි තර්ජන වලින් ඇඟවුම් කෙරෙන්නේ සසප සමාජවාදී ඉදිරිදර්ශනය පිලිබඳ කිසිදු සාකච්ඡාවක් ඇතිවීම වැලැක්වීමට වෘත්තීය සමිති නිලධරය මංමුලා සහගතව හැසිරෙන බවය. ආන්ඩුව සහ සමස්ත දේශපාලන සංස්ථාපිතය සමඟ අධ්‍යාපන කම්කරුවන්, ශිෂ්‍යන් හා කම්කරු පන්තියේ අනෙකුත් කොටස්වල පුලුල් දේශපාලන ගැටුමක් දක්වා වැඩවර්ජනය වර්ධනය වීම වැලැක්වීමට වෘත්තීය සමිති අධිෂ්ඨාන කර ගෙන ඇත.

Share this article: