විශ්ව විද්‍යාල සේවක අඛන්ඩ වැඩ වර්ජනයට සතියක් සපිරෙයි

අපේ වාර්තාකරුවන් විසිනි, 2019 සැප්තැම්බර් 18

වැඩි වැටුප් ඇතුලු ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් රජයේ විශ්ව විද්‍යාල සේවකයන් සැප්තැම්බර් 10 වන දා ඇරැඹූ අඛන්ඩ වැඩ වර්ජනයට පසුගිය සඳුදා වන විට සතියක් සපිරුනි. 2015 සිට මේ දක්වා අනෙකුත් රාජ්‍ය අංශයේ සේවකයින්ට ලබා දී ඇති සියලුම වැටුප් වැඩිවීම්, දිරි දීමනා සහ විශ්‍රාම වැටුප් ක්‍රමයක් ඇතුලු ඉල්ලීම් කිහිපයක් සම්බන්ධයෙන් අනධ්‍යයන, ආධාර සේවකයින් සහ පරිපාලන නිලධාරීන් ඇතුලු 17,000 ක් කම්කරුවෝ වර්ජන ව්‍යාපාරයට සම්බන්ධ වී සිටිති. වර්ජනය හේතුවෙන් විශ්ව විද්‍යාල 15 ක සහ උසස් අධ්‍යාපන ආයතන 23 ක ක්‍රියාකාරිත්වය අඩාල වී තිබේ.

මෙම වැඩ වර්ජනය කැඳවා ඇත්තේ විශ්ව විද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව (ජේසීටීයූ) සහ වෘත්තීය සමිති 27 කින් සමන්විත මධ්‍යම වෘත්තීය සමිති කමිටුවේ සන්ධානයක් වන අන්තර් විශ්ව විද්‍යාල වෘත්තීය සමිති එකමුතුව (අයියූටීයූ) විසිනි. රජය සහ වෘත්තීය සමිති අතර මෙතෙක් පැවති සියලු සාකච්ඡා අසාර්ථක වී ඇත.

රජය සමඟ සම්මුතියක් අපේක්ෂා කරන වෘත්තීය සමිති, වැඩ වර්ජකයන් අතර වැඩෙන සටන්කාමීත්වය සීමිත පන්ති ක්‍රියාමාර්ග හරහා දියකර හැරීමට උත්සාහ දරයි. කෙසේ නමුත්, නිලධරයේ සීමා කිරීම් නොතකා කම්කරුවෝ ඉතා ක්‍රියාශීලීව විරෝධතා උද්ඝෝෂනයන්ට සහභාගි වෙමින් සිටිති.

17 දා මොරටුවේ පැවති පිකට් උද්ඝෝෂනය

සඳුදා මහනුවර නගර මධ්‍යයේ පිහිටි ඔරලෝසු කනුව අසලට රැස්වූ පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ සේවකයෝ 300 ක් පමන සටන් පාඨ කියමින් විරෝධතා දැක්වූහ. ඊයේ දිනයේ ද දිවයිනේ විවිධ විශ්ව විද්‍යාල ඉදිරිපිට අනධ්‍යන සේවකයන් විරෝධතා දැක්වූ බව වාර්තාවේ. අද දිනයේ, කොලඹ දී පවත්නා විරෝධතා උද්ඝෝෂනයට, දිවයිනේ සියලුම විශ්ව විද්‍යාල නියෝජනය කරමින් දහස් ගනනක් කම්කරුවන් සහභාගි වීමට නියමිත ය.

අනධ්‍යන කම්කරුවන්ගේ වර්ජනයට සහ ඔවුනගේ උද්ඝෝෂනයන්ට ක්‍රියාශීලීව සහයෝගය ලබාදෙන ලෙස, ගුරුවරුන්, සිසුන් සහ කම්කරු පන්තියේ අනෙකුත් කොටස් වලින් සමාජවාදී සමානතා පක්ෂය (සසප) ඉල්ලා සිටී.

එක්ව සටන් වැද සිටින, සිංහල, දෙමල හා මුස්ලිම් කම්කරුවන් වාර්ගික හා ජාතිකවාදී රේඛා ඔස්සේ බෙදා ධනවාදී පක්ෂ පිටුපස ගැට ගැසීමේ අරමුනෙන්, යාපනයේ විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක සංගමය ඔවුන්ගේ සාමාජිකයින් කැඳවා, දෙමල මහජන සභාව (ටිපිසී) විසින් සඳුදා. පැවැත්වූ විරෝධතාවයට එක්වන ලෙස ඉල්ලා සිටියේය.

ටීපීසී ය යනු, මෑතක් වන තුරුම දෙමල ජාතික සන්ධානයේ (ටීඑන්ඒ) නායකයෙකු ලෙස කටයුතු කල හිටපු මහ ඇමති සී.වී. විග්නේශ්වරන්ගේ නායකත්වයෙන් යුත් දෙමල ධනපති පන්තියේ සංවිධානයකි.

සසප විසින් නිකුත් කරන ලද ප්‍රකාශයක් මගින්, කම්කරුවන් කොතැනකදී හෝ ධනපති පක්ෂ සහ සංවිධාන පිටුපස ගාල් නොවියයුතු යැයි කියා සිටි අතර, “ජාතිකවාදී විසඳුම් ඇතැයි කියාපාන ජාතිකවාදය වනාහි, කම්කරුවන් බෙදා වෙන් කරමින් ධනේශ්වර පක්ෂ පිටුපස ගාල් කරන හලාහල විසක්” බවට අනතුරු ඇඟවීය. එය අවධාරනය කලේ, “උතුරේ කම්කරුවන්, දකුනේ, ඉන්දියාවේ සහ ජාත්‍යන්තරව සිටින ඔවුන්ගේ පන්ති සහෝදර සහෝදරියන් වෙත හැරී ඔවුන් සමග එක්ව”, තම සමාජ හා ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට මෙන්ම ජීවන තත්වයන්ට එරෙහි ප්‍රහාරයේ මූලය වන ලෝක ධනවාදය ට එරෙහිව සටන් කලයුතු බව යි.

යාපනයේ සසප සාමාජිකයින් මෙම ප්‍රකාශයේ පිටපත් සිය ගනනක් කම්කරුවන් හා තරුනයින් අතර බෙදා දුන්හ.

සසප සාමාජිකයින් මහනුවර රජවත්තේ පිහිටි, පේරාදේනිය විශ්ව විද්‍යාල සේවක නිවාසවල ද උද්ඝෝෂනය කලහ. විශ්ව විද්‍යල කම්කරුවන්ගේ අරගලය සම්බන්ධයෙන් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) පල වූ ලිපි එකතුවක පිටපත් 100 කට වැඩි ප්‍රමානයක් ඔවුන් විසින් අනධ්‍යයන සේවකයන් අතර බෙදා හරින ලදී. මෙහි දී ඔවුන්ගේ අරගලය හා සමස්තයක් වශයෙන් කම්කරු පන්තිය මුහුන දී ඇති තීරනාත්මක කරුනු පිලිබඳව ඵලදායී සාකච්ඡාවන් වර්ධනය විය.

කම්කරුවෝ තමන් මුහුන දී ඇති දරුනු සමාජ තත්වයන් පැහැදිලි කල අතර වෘත්තීය සමිති සමඟ ඔවුන්ගේ නොඑඟතාව සහ ආන්ඩුව කෙරෙහි ඇති කෝපය ප්‍රකාශ කලහ.

නඩත්තු අංශයේ තාක්ෂනික නිලධාරියෙකු වන ගාමිනී පැවසුවේ ඔවුන් සඳහා පැවති සමාජ සුබසාධන වියදම් විශාල වශයෙන් කපා හැර ඇති බවයි. “අපේ වියදමෙන් අපේ නිල නිවාස නඩත්තු කල යුතුයි. එම නිල නිවාස අලුත්වැඩියා කිරීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල බලධාරීන්ට හෝ වෘත්තීය සමිතිවලට කිසිදු උවමනාවක් නෑ.”

පවත්නා අරගලය පිලිබඳව ඔහුගේ අදහස් විමසූ විට ඔහු කියා සිටියේ, සමිති නිලධරයේ වැඩපිලිවෙල මත තම ඉල්ලීම් දිනා ගත හැකි බවට කිසිදු විශ්වාසයක් නොමැති බවයි. “පසුගිය වසරේ අපේ මාස එකහමාරක අරගලය පාවා දුන් වෘත්තීය සමිති නායකයින් ගැන අපට විශ්වාසයක් නෑ. ඒ වැඩ වර්ජනයට සහභාගි වූ අයගෙන් දින 9 ක නිවාඩු කපා හැරියා. නිවාඩු ඉතිරිව නොතිබූ 20 ක් පමන වැටුප් රහිත නිවාඩු වලට යටත් වුනා. වැටුප් රහිත එක් දිනයක් සඳහා දින එකහමාරක වැටුප් කපා දැමුවා. ඔවුන්ගේ විශ්‍රාම වැටුප හා දීමනා කෙරෙහි එය බලපානවා. මෙම මර්දනකාරී පියවර වලට වෘත්තීය සමිති නිහඬව එකඟ උනා.”

විශ්ව විද්‍යාල නේවාසිකාගාරයක සේවය කරන කම්කරුවෙකුගේ බිරිඳ තමා මුහුන දීමට සිදුවන දුෂ්කර සමාජ තත්වයන් පැහැදිලි කලාය. “මේ නිල නිවාසෙට තිබුනෙ එක් කාමරයක්, වැරන්ඩාවක් සහ කුඩා කුස්සියක් විතරයි. අපේම මුදලින් තවත් කාමරයක් ඉදිකර ගත්තා. අපි මෙහෙට ආවේ මීට අවුරුදු 8 කට කලින්. ස්වාමිපුරුෂයා, මම සහ අපේ දරුවන් තිදෙනා ඇතුලුව අපේ පවුලේ සාමාජිකයන් 8 දෙනෙක් සිටිනවා. එය අපට ප්‍රමානවත් නෑ. අබලන් වහලෙන් වැසි වතුර කාන්දු වෙල මුලුගේම තෙත් වෙනවා.”

Share this article: