විශ්ව විද්‍යාල සේවක වර්ජනය පිලිබඳ මොරටුව රැස්වී‍මෙන් සමිති නිලධරයේ සැබෑ අරමුනු හෙලිදරවු වෙයි

අපේ වාර්තාකරුවන් විසිනි, 2019 සැප්තැම්බර් 10

එක් දින සංකේත වැඩ වර්ජනයකින් හා දෙදින සංකේත වැඩවර්ජනයකින් පසු, සැප්තැම්බර් 10 වන දා සිට, ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල අනධ්‍යන කම්කරුවන් අඛන්ඩ වැඩ වර්ජනයකට අවතීර්නවී ඇත. විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව සහ වෘත්තීය සමිති මධ්‍යම කමිටුව යන දෙකෙන් සැදුම්ලත් වෘත්තීය සමිති එකමුතුව විසින් වර්ජනය කැඳවා තිබේ. පසුගිය මාස කිහිපය තුලම වෘත්තීය සමිති උත්සාහ දරන ලද්දේ ආන්ඩුව සමඟ සාකච්ඡාවක් ලබා ගැනීමටයි. එය මෙතෙක් සාර්ථක වී නැත.

මෙම වැඩවර්ජනය නිවේදනය කිරීමට, සැප්තැම්බර් 6 වන දා මොරටුව විශ්ව විද්‍යාලයේ පැවැත්වූ රැස්වීම, තම සාමාජිකත්වය කෙරෙහි සමිති නිලධරයේ නොතැකීම මෙන්ම, පරිපාලනයට සහ ආන්ඩුවට ඔවුන් දක්වන පක්ෂපාතීබව ඉහලින්ම ප්‍රදර්ශනය වූ අවස්ථාවකි.

රැස්වීම කැඳවා තිබුනේ වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව විසිනි. රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට සමානුපාතිකව විශ්වවිද්‍යාල කම්කරුවන්ගේ වැටුප් වැඩි නොකිරීම මගින් ඇතිවී තිබෙන විෂමතාවය ඉවත් කිරීම වෘත්තීය සමිතිවල ඉල්ලීමයි. පසුගිය වැඩවර්ජන වලදී, ප්‍රමානවත් විශ්‍රාම වැටුපක්, නය සීමාව ඉහල නැංවීමක් සහ ඉහල මාසික හිලව් දීමනාවක් ඉල්ලා සිටි නමුදු, සමිති නිලධරය විසින් මෙවර ඒවා හිතාමතාම ඉවත් කර දමා තිබේ.

ප්‍රමාද වී ආරම්භ කල රැස්වීම ඉක්මනින් අවසන් කිරීමට වෘත්තීය සමිති නායකත්වය වගබලා ගත්තේය. 700 ක් පමනවන මොරටුව විශ්ව විද්‍යාල අනධ්‍යන කම්කරුවන් අතරින් එදින රැස්වීමට සහභාගී වුයේ 200 ක් පමන පිරිසකි.

ඒකාබද්ධ කමිටුවෙන් ඉවත්වී ගිය මධ්‍යම කමිටුවේ නායකයන් අතරින් රැස්වීමේ නායකයන් සමග අසුන්ගෙන සිටියේ ජනතා විමුක්ති පෙරමුන නියෝජනය කරන අන්තර් සේවා වෘත්තීය සමිතියේ නායක අශෝක චන්දන පමනි. මධ්‍යම කමිටුවේ ප්‍රධාන වෘත්තීය සමිති වන, එජාප, ශ්‍රීලනිප, ජවිපෙ හා පොදුජන එක්සත් පෙරමුන ට අයත් සමිති අතරින් ශ්‍රීලනිප ට අයත් ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ අසංක ද මෙල් ශාලාවේ පිටුපසට වන්නට සාමාජිකත්වයේ අසුන්ගෙන සිටියේය. එජාප හා පොදුජන පෙරමුනු සමිති නායකයෝ රැස්වීම් ශාලාවේ පෙනෙන්නට නොසිටියහ. මෙය මධ්‍ය ම කමිටුවේ නායකයන් තුල වැඩවර්ජනය සම්බන්ධයෙන් පවතින දෙගිඩියාව සහ නොඑකඟතාවයේ ප්‍රකාශනයකි.

වෙනදා සියලුම වෘත්තීය සමිති නායකයන් කතා කරන නමුත්, සියලු නායකයන්ගේ එකඟතාව මත මෙදින පැවැත්වූ එකම කතාව ඒකාබද්ධ බලමන්ඩලයේ මොරටුව සභාපති කේ.එම්. සිරිසේන විසින් සිදුකරන ලදී. ඔහු කතාව ආරම්භ කලේමත් ඉල්ලීම් නොලබා වැඩවර්ජනය අවසන් කිරීමට සිය සූදානම ප්‍රකාශ කරමිනි. “හැබැයි මොන විදියකින් හරි පහලොස් වැනිදායින් පස්සේ ජනාධිපතිවරනයට නාම යෝජනා කලොත් කිසිම දෙයක් නැතිව අපිට නිකන් අත පිහිද ගන්න වෙනවා. මොකද සමස්ත මැතිවරනයකට යනකොට අපට වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට යන්න බැහැ. ආන්ඩුව තිබුනට ආන්ඩුවට බලපෑම කරන්න බැහැ. ජනාධිපතිවරනය කැතිඳව්වොත් ජනාධිපතිවරනයෙන් පස්සේ තමයි අපට ආන්ඩුව එක්ක මේ ඉල්ලීම් පිලිබඳව නැවත සාකච්ඡා කරන්න වෙන්නෙ.”

මැතිවරන සමයකදී වර්ජන හෝ වෙනත් කාර්මික ක්‍රියා තහනම් කෙරෙන කවර හෝ නීතියක් නොමැති අතර, නිලධරයේ අරමුන කිනම් හෝ නිමිත්තක් මත වර්ජනය නතර කර දැමීමයි.

ඉන්පසු ඔහු රැස්වීමට සහභාගිත්වය අඩුවීම පිලිබඳව සාමාජිකයන්ට චෝදනා කලේය. සාමාන්‍යයෙන් වෘත්තීය සමිති නායකයන් ඉල්ලීම් පාවාදී වැඩවර්ජන අවසන් කරන්නේ සහභාගිත්වයේ අඩුව පිලිබඳව සාමාජිකත්වයට චෝදනා කරමිනි. ඒකාබද්ධ කමිටුව අරගලය ගෙන යෑමට සූදානම් වන සීමාව පිලිබඳව සිරිසේන කල ප්‍රකාශය එලිදරවුකාරී ය. “අපිට විශ්ව විද්‍යාලයේ පරිපාලනය එක්ක නෙවෙයි ගැටලුව තියෙන්නේ. අපි සටන් කරන්නෙ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට, අධ්‍යාපන අමාත්‍යංශයට, මහා භාන්ඩාගාරයට, වැටුප් හා සංඛ්‍යාදත්ත කොමිසමට, අධ්‍යාපන අමාත්‍යවරයාට සහ මුදල් අමාත්‍යවරයාට එරෙහිව. මේ අය සමග අපේ සටන තියෙන්නේ ඉතා හොඳින් තේරුම් ගන්න.

රහස් පොලිසියෙන් වෘත්තීය සමිති නායකයන් සියලු දෙනාගේ ම විස්තර ලබාගෙන ඇතිබව පැවසූ සිරිසේන ”ඒකනිසා මේක සෙල්ලමක් නොවේ” යැයි පැවසුවේය. ඔහු තමාගේම නමත් පොලිසියට ලබා දී ඇති විශ්වවිද්යා ලයේ උප කුලපති සහ ලේඛකාධිකාරී ඇතුලු පරිපාලනය කොක්කෙන් ගලවා හරිමින් ඔවුන් වැඩවර්ජනයේදී කම්කරුවන්ට එරෙහිව ගෙනයාමට සූදානම් වන මර්දනකාරී වැඩකටයුතු පිලිබඳව අනාවරනය කිරීමෙන් වැලැකී සිටියේ ය.

සටනේ බැරෑරුම්කම පිලිබඳව කෙතෙක් හඬ නගා කීව ද එය ඉදිරියට ගෙනයාමේ කවර හෝ ක්‍රියාමාර්ගයක් සිරිසේන ඉදිරිපත් නොකලේ ය.

විශ්ව විද්‍යාල සේවකයන් ගේ ඉල්ලීම් දිගින් දිගටම ප්‍රතික්ෂේප කරන, අධ්‍යාපන ඇමති, මුදල් ඇමති සහ අනෙකුත් රාජ්‍ය ආයතන ක්‍රියාත්මක වන්නේ ආන්ඩුවේ පිලිවෙත් මත වන අතර එම පිලිවෙත් නිර්නය වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුලු ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයේ අවශ්‍යතාවය මත ය. එබැවින් විශ්ව විද්‍යාලවල කම්කරුවන්ගේ සටන, අනිවාර්යයෙන්ම, ධනපති ආන්ඩුවට සහ ධනපති ක්‍රමයට එරෙහි දේශපාලන සටනක් විය යුතු ය. සිරිසේන ඇතුලු සමස්ත සමිති නිලධරය එවන් දේශපාලන සටනකට සපුරා එරෙහි ය.

මෙම කරුනු පැහැදිලි කිරීම සඳහා සමාජවාදී සමානතා පක්ෂයේ සාමාජිකයෙකු වන දේහින් වසන්ත නැගී සිටි විට ඔහුට එරෙහිව සාමාජිකත්වය මෙහෙයවනුවස් සිරිසේන මෙසේ පැවසීය: “සහෝදරයා ඉතාම කරුනාවෙන් කියන්නේ අපේ වැඩ කඩාකප්පල් කරන්න එපා. සාමාජිකත්වය තීන්දු කරන්න මෙවැනි කෙනෙකුට කතා කරන්න ඉඩදීලා අපේ වටිනා කාලය කා දමනවා ද කියලා”. අවසානයේ දී සාමාජිකත්වයේ ඉල්ලීම මත විනාඩි 5 ක කාලයක් ඔහුට ලැබුනි.

අරගලය සම්බන්ධයෙන් සාමාජිකත්වයට දොස් පැවරීම වැරැදි බව වසන්ත කියා සිටියේ ය. ක්‍රමවත් සංවිධානයක් නොතිබිය දී පවා, පසුගියදා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට පැවති විරෝධතාවයට, උතුරු සහ නැගෙනහිර පලාත් ඇතුලු දිවයිනේ නන් දෙසින් පැමිනි දහස් ගනනක් සේවකයන් ඉතා උනන්දුවෙන් සහභාගි වූ බව වසන්ත පෙන්වා දුන්නේ ය

එමෙන්ම ආන්ඩුවලට බලපෑම් යෙදීමේ වෘත්තීය සමිති වැඩපිලිවෙල 1989 සිට කම්කරුවන්ට අත්කර දී ඇත්තේ පරාජය බව ඔහු පැහැදිලි කලේය. “තම අත් අඩංගුවේ පසුවන මෙම ආන්ඩුවට ජාමූඅ විධානය කොට ඇත්තේ 2020 අග වන විට අයවැය පරතරය දජානි යෙන් සියයට 3.5 දක්වා අඩු කරන ලෙස යි. අධ්‍යාපනය සහ සෞඛ්‍ය ය ඇතුලු සමස්ත ශුභසාධන ක්ෂේත්‍රයන් හි දැවැන්ත කප්පාදුවකින් තොරව මෙය කල නොහැකියි. වැටුප් වැඩිකරනවා වෙනුවට වැටුප් කපා දැමීමයි ආන්ඩුවට කල හැක්කේ. විශ්ව විද්‍යාල කම්කරුවට, තම අයිතීන් රැකගත හැකි වන්නේ ආන්ඩුවේ ප්‍රහාර වලින් බැටකන අවශේෂ කම්කරුවන් හා එක්ව ධනවාදයට එරෙහිව ජාත්‍යන්තර සමාජවාදය සඳහා කරන අරගලයක් තුලින් පමනි. ඒ සඳහා වැඩපිලිවෙලක් ඉදිරිපත් කරමින් සටන් කරන්නේ සමාජවාදී සමානතා පක්ෂය පමනයි.”

වසන්ත ගේ කතාවෙන් පසු සිරිසේන රැස්වීම ඉක්මනින් ම නතර කලේ “හරියට දෙකට උප කුලපති තුමා සමග ඩෙංගු මර්දන රැස්වීමකට යන්න තිබෙනවා” යැයි කියමිනි.

තමන් වෘත්තීය සමිති රැස්වීමට නොපැමිනියේ කවර හේතුවක් නිසාදැයි කම්කරුවන්ගෙන් විමසූවිට නිලන්ත නැමැති කම්කරුවෙකු මෙසේ පැවසුවේය: “2014 දී සියයට15 ක් ව පැවැති විශ්වවිද්‍යාල අර්ථසාධක අරමුදල සඳහා පොලිය මේ වන විට සියයට 10 ට අඩු වෙලා තියෙනවා. ඒ වගේම සේවා නියුක්තයන්ගේ භාරකාර අරමුදල ට ලැබෙන පොලිය සියයට 10 සිට 9 වෙලා. ලක්ෂ විස්සක් පමන අර්ථසාධක අරමුදල තිබෙන විශ්වවිද්‍යල කම්කරුවෙකුට මේමගින් වසරකට රුපියල් ලක්ෂයකට වඩා අහිමි වෙනවා. එහෙම බැලුවහම මාසෙකට රුපියල් 2500 කට වඩා අහිමි වෙනවා. දැන් රුපියල් 2500 ගන්න කතා කරන වෘත්තිය සමිති නායකයන් මේවා ගැන සද්ද නැතුව ඉන්නවා. ස්ට්‍රයික් කරලා සොච්චමක් ලැබුනහම විශාල ජයග්‍රහනයක් ලෙස කතා පවත්වනවා. මෙහෙමයි ඔවුන්ගේ කෙරුවාව. මේ ප්‍රෝඩාව නිසයි මං රැස්වීමට නොගියෙ.”

තවත් කම්කරුවෙකුගේ අදහස මෙසේ විය: “රැස්වීමට ගියොත් සිදුවන්නේ සමිති නායකයා කියන දේ අහගෙන ඉන්න. ඔවුන් අනිකුත් අයගේ අදහස් වලට ඉඩක් දෙන්නෙ නැහැ. එවැනි රැස්වීම් වලට සම්බන්ධ වීමට මම අකමැතියි.”

Share this article: