විශ්ව විද්‍යාල සේවකයන් අඛන්ඩ වර්ජනයක

අපේ වාර්තාකරුවන් විසිනි, 2019 සැප්තැම්බර් 10

වැටුප් ඉල්ලීම් මත විශ්ව විද්‍යාල සේවකයන් අද (10) සිට අඛන්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. වර්ජනයට උතුර හා නැගෙනහිර ඇතුලු ශ්‍රී ලංකාවේ සියලුම රජයේ විශ්ව විද්‍යාල හා අනුබද්ධ ආයතනවල අනධ්‍යන සේවකයෝ, පරිපාලන නිලධාරීහු සහ සහායක සේවකයෝ 17,000 ක් පමන සම්බන්ධ වී සිටිති. වර්ජනය හේතුවෙන් 25 ක් පමන වන විශ්ව විද්‍යාල හා අනුබද්ධ ආයතන වල වැඩ කටයුතු මුලුමනින් ම අඩාල වී ඇත.

ඔවුන් මූලිකව ඉල්ලා සිටින්නේ, 2015 දී රජයේ සේවකයන්ට ලබා දුන් සියයට 107 වැටුප් වැඩිවීම එලෙසින්ම තමාටත් ලබා දෙන ලෙසයි. විශ්ව විද්‍යාල අනධ්‍යයන හා අධ්‍යාපන සේවකයන් ට ඉන් ලැබී ඇත්තේ සියයට 92 ක් පමනි.

වර්ජනය කැඳවුම් කර ඇත්තේ විශ්ව විද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව සහ වෘත්තීය සමිති මධ්‍යම කමිටුව විසිනි. අනධ්‍යන සේවකයන් මෙවර වර්ජනයට පිවිස ඇත්තේ සති පහක් තුල තෙවන වතාවට ය. වෘත්තීය සමිති වලට යලි වර්ජනයක් කැඳවුම් කිරීමට බල කෙරී ඇත්තේ තම ඉල්ලීම් ඉටු නොවීම නිසා සේවකයන් අතර වැඩෙන නොසන්සුන්කම හා සටන්කාමිත්වය නිසා වෙනි. පරිපාලන නිලධාරීන් ද ඊට සම්බන්ධ වීම මගින් පෙන්නුම් කෙරෙන්නේ ධනපති පාලක පන්තියේ ප්‍රහාර සම්බන්ධයෙන් වැඩකරන ජනතාවගේ සෑම කොටසක් තුල ම පැසවන වෛරය සහ තම ඉල්ලීම් සඳහා සටන් කිරීමට පවතින දැවෙන උවමනාවයි.

විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ද ඉහත වැටුප් ඉල්ලීම හා තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන වර්ජනයට සම්බන්ධ වන බවට කලින් නිවේදනය කර තිබුන ද විශ්විද්‍යාල ආචාර්යවරුන්ගේ සම්මේලනය විසින් පසුව එය ප්‍රතික්ෂේප කර ඇත. ආචාර්යවරුන්ගේ අදහස් විමසීමකින් තොරව විශ්ව විද්‍යාල ප්‍රමිතිකරන හා ප්‍රතීතන පනත ක්‍රියාවට නොදමන බවට, අගමැති රනිල් වික්‍රමසිංහ සමග සැප්තැම්බර් 4 වෙනිදා පැවති සාකච්චාවක දී ඔහු “පොරොන්දු වූ” නිසා වර්ජනයට සහභාගිවීමේ අවශ්‍යයතාවයක් නොමැති බව ආචාර්ය සම්මේලනයේ සභාපති රොහාන් ප්‍රනාන්දු ලෝක සමාජවාදී වෙබ් අඩවියට පැවසීය. පනතේ එල්ලය අධ්‍යාපනය කප්පාදු කිරීම හා පුද්ගලීකරනයට ඇති බාධා ඉවත් කිරීමය. අගමැතිගේ පොරොන්දුවෙන් එය නතර වන්නේ නැත. එහෙත් ආචාර්ය සංගමය එය යොදාගෙන ඇත්තේ හිතාමතාම වර්ජනයෙන් කර ඇරීම සඳහා ය.

වර්ජනය හැකි තරම් සීමා කිරීමට සහ හැකි ඉක්මනින් අවසන් කිරීමට අනධ්‍යන කම්කරු සමිති නිලධරය කලින් ම තීන්දු කර ඇත. ජනාධිපතිවරනය සැප්තැම්බර් 15 වන වෙනිදා විට නිවේදනය කරන බවට දැනගැනීමට තිබෙන බවත් එසේ වුනොත් වර්ජනය නතර කිරීමට සිදු වන බවත් සමිති නායකයන් කල් ඇතිවම ප්‍රකාශ කර ඇත. මැතිවරන කාලයේ දී වර්ජන හා උද්ඝෝෂන නො පැවැත්විය යුතු බවට නීතියක් නැත.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති, ජනාධිපති හා අගමැති ඇතුලු ආන්ඩුවේ බලධාරීන් වෙත යවන ලද ලිපි දෙකකදීම සේවකයන් ගෙන් වෘත්තීය සමිති වලට එල්ල වන “දැඩි පීඩනය නිසා” වර්ජනය කැඳවීමට සිදුවන බව සමිති නිලධරය විසින් දන්වා ඇත. වෙනත් වචන වලින් කිවහොත් වර්ජනය කැඳවන්නේ සේවකයන් අතර පවතින නොසන්සුන්කම හා සටන්කාමිත්වය දිය කර හැරීමට මිස ඔවුන්ගේ ඉල්ලීම් දිනා ගැනීමේ අව්‍යාජ අරගලයක් දියත් කිරීමේ උවමනාවෙන් නොවේ.

සමිති වල සීමා කිරීම් නිසා වර්ජනයට සම්බන්ධ වූ දහස් ගනනක් සේවකයන්ගෙන් අද විශ්වවිද්‍යාල තුලට රැස්වී ඇත්තේ අතලොස්සකි. පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ පැමිනි සංඛ්‍යාව 400 ක් පමන විය. මොරටුවේ 300 ක් හා කොලඹ 400 ක්, ජයවර්ධනපුර 100 ක් සහ යාපනේ 50 ක් පමන පිරිසකි.

පේරාදෙනියේ ගලහ හන්දියේ පැවති පිකට් උද්ඝෝෂනය

පේරාදෙනියේ අනධ්‍යන සේවකයෝ විශ්ව විද්‍යාලය තුල සිට ගලහ හන්දිය දක්වා පෙලපාලියකින් ගොස් එහිදී පිකට් උද්ඝෝෂනයක යෙදී ගත්හ. මොරටුවේ හා කොලඹ විශ්ව විද්‍යාල ඉදිරිපිට ද පිකට් උද්ඝෝෂන පැවැත්වුනි. එහෙත් මේ කවර තැනකදී වත් අරගලය ශක්තිමත් කර ඉදිරියට ගෙන යාමේ කිසිදු වැඩ පිලිවෙලක් සමිති නායකයන් විසින් ඉදිරිපත් කර නැත. ඒ වෙනුවට ආන්ඩුවේ බලධාරීන් සමග කරන සාකච්චා මගින් ප්‍රශ්න විසඳා ගත හැකිවෙතැයි වෘත්තීය සමිති ඒකාබද්ධ බල මන්ඩලයේ මොරටුව ශාඛාවේ සභාපති කේ.එම්. සිරිසේන පවසා ඇත. “මේ මාසේ 16-17 පමන සාකච්චාවක් ලැබෙන්න ඉඩ තියෙනව. ඒකෙන් සමහර විට විසඳුමක් ලැබෙන්න පුලුවන්” යයි ඔහු පවසා ඇත.

විශ්ව විද්‍යාල සේවක අරගලය ශක්තිමත් කර අවශේෂ කම්කරුවන්ගේ සහය ඇතිව එය ඉදිරියට ගෙනයාම සඳහා ඉදිරිපත් කරන කවර හෝ වැඩපිලිවෙලකට සමිති නායකයන් මාරක ලෙස හතුරු ය. වර්ජනයේ යෙදී සිටින විශ්ව විද්‍යාල සේවකයන් සඳහා සමාජවාදී සමානතා පක්ෂය (සසප) විසින් ඉදිරිපත් කරන සමාජවාදී වැඩපිලිවෙලට ඔවුන් විරුද්ධ වන්නේ එහෙයිනි. එම වැඩපිලිවෙල ඇතුලත් සසප පත්‍රිකා බෙදීම සහ මැදිහත්වීම වැලැක්වීමට ඔවුහු නිරන්තරව උත්සාහ කරති.

මෙවර ද කොලඹ විශ්ව විද්‍යාලයේ සේවකයන් අතර, ඔවුනගේ අරගලය සඳහා ශිෂ්‍යයන්ගේ සහ අවශේෂ කම්කරුවන්ගේ සහයෝගය කැඳවුම් කරමින් සහ වර්ජනයේ යෙදී සිටින සේවකයන්ට සමාජවාදී වැඩපිලිවෙලක් සම්පාදනය කරමින් සසප නිකුත් කල ප්‍රකාශය බෙදීමට සමිති නායකයන් විරුද්ධ වී ඇත.

ප්‍රකාශයේ මෙසේ සඳහන් වේ: “වෘත්තීය සමිති වසන් කලත් කම්කරුවන්ගේ අරගලය ආන්ඩුවට හා එහි ප්‍රතිපත්ති වලට එරෙහි දේශපාලන අරගලයකි........ආන්ඩුවට බලපෑම් දමා නම්මා ගත හැකියයි වෘත්තීය සමිති එක දිගට කියයි. එහෙත් කම්කරුවන් තමන්ගේ අරගලවල අත්දැකීම උකහා ගතයුතුය. එවන් බලපෑම් දැමීමේ වංකගිරිය අවසන් වී ඇත්තේ අරගල පාවාදීමෙන් පමනකි.”

වර්තමාන අරගලය ද සමිති විසින් අවසන් කරනු ඇත්තේ තවත් පාවා දීමකින් බවට විශ්ව විද්‍යාල සේවකයන් ට අපි අනතුරු අඟවමු.

ඊට එරෙහිව “අනධ්‍යන සේවකයන් සිය අරගලය සඳහා තම ක්ෂේත්‍රය තුල හා අනෙකුත් අංශවල කම්කරුවන්ගේ සහාය ඉල්ලමින් එය පුලුල් කල යුතුව ඇතැ”යි අවධාරනය කරන සසප ප්‍රකාශය “අධ්‍යාපන අයිතීන් රැක ගැනීමේ පොදු අරගලයක් වර්ධනය කිරීමට, අනධ්‍යන සේවක සටන වටා එක්වන ලෙස, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගෙන් හා සිසුන්ගෙන් මෙන්ම දැන් වර්ජනයකට සූදානම් වන පාසැල් ගුරුවරුන්ගෙන්‘ ඉල්ලා සිටියි.

අරගලය පෙරට ගෙන යාම සඳහා “වෘත්තීය සමිතිවලින් ස්වාධීනව කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගැනීම, සමිතිවල හිර කිරීම් හා පාවාදීම් කපාගෙන සිය අයිතීන් දිනා ගැනීමට බලවත් අරගලයක් දියත් කිරීමේ තීරනාත්මක ඉදිරි පියවරකි. විශ්ව විද්‍යාල තුල හා ආශ්‍රිත ප්‍රදේශවල ක්‍රියාකාරී කමිටු ගොඩනගන ලෙස” සසප අනධ්‍යයන සේවකයන්ගෙන් ඉල්ලා සිටී.

ප්‍රකාශය තුල අවධාරනය කර ඇති පරිදි වෘත්තීය සමිති “සපුරාම විරුද්ධ වන්නේ” මෙම වැඩ පිලිවෙලටය.

විශ්ව විද්‍යාල සේවක අරගලය සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුවේ ප්‍රහාරවලට එරෙහිව වර්ධනයවන කම්කරු පන්තියේ පුලුල් අරගලවල කොටසකි. මේ වසරේ ගත වූ මාස කිහිපය තුල පමනක් දුම්රිය, තැපැල්, සෞඛ්‍යය සහ බැංකු ක්ෂේත්‍රයන් හි කම්කරුවෝ, වතු කම්කරුවෝ සහ ගුරුවරු වර්ජන වලට අවතීර්න වූහ. රාජ්‍ය පරිපාලන නිලධාරීහු 10 සහ 11 දිනවල දෙදින වර්ජනයක නිරතව සිටිති. ගුරුවරු යලිදු මේ මාසයේ 26 සහ 27 දින වල වර්ජනයකට එලඹීමට නියමිතය. මෙම අරගලයන් ජාත්‍යන්තර ධනපති පාලක පන්තීන්ගේ ප්‍රහාරවලට එරෙහිව කම්කරු පන්තියේ දැන් වර්ධනය වන ගෝලීය අරගලයක් සමග අත්‍යන්තයෙන් සම්බන්ධ වී ඇත.

වෘත්තීය සමිති වල පාවාදීම කෙරෙහි විශ්ව විද්‍යාල සේවකයන් අතර බරපතල විරුද්ධත්වයක් වර්ධනය වෙමින් ඇත. මොරටුව විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂනික අංශයේ නිරංජලා මෙසේ සඳහන් කලාය:

“සමිති වලට නායකත්වය දෙන දේශපාලන පක්ෂ වල න්‍යාය පත්‍රයට අපි විරුද්ධයි. ඔවුන්ගේ න්‍යාය පත්‍රයද කම්කරුවන් වෙනුවෙන් පෙනී සිටින බව කියමින් ධනපති පාලකයන් බලයට ගෙන ඒම. ජනතා විමුක්ති පෙරමුන කලෙත් ධනපති ආන්ඩු බලයට ගෙන ඒමට සහය දැක්වීම. කම්කරුවන්ගේ ප්‍රශ්න විවිධාකාර වුනත් හැම එකකටම තියෙන්නෙ පොදු හේතුවක් බව මට පැහැදිලියි. ආන්ඩුවේ කප්පාදුව තමයි සියල්ලට හේතුව. මම එකඟයි කම්කරුවන්ගේ ඒකාබද්ධ සටනක් නැතුව ඒ කප්පාදුවට එරෙහි සටනක් කරන්න බැහැ කියන කාරනයට”

“නමුත් වෘත්තීය සමිති එහෙම අරගලයකට කැඳවුම් කරන බවක් පේන්න නැහැ. කම්කරුවන්ට එහෙම උවමනාවක් තිබ්බත් ඒක කම්කරුවන්ට ප්‍රකාශ කරන්න තැනක් නැහැ. හැම ක්ෂේත්‍රයක්ම ඒකාබද්ධ කරගත් සටනක් ආවොත් ඒ සටන ගොඩක් ශක්තිමත් වෙයි” ඇය පැවසුවාය.

යාන්ත්‍රික අංශයේ ප්‍රියන්ත, කම්කරුවන්ගේ අරගල ඒකාබද්ධ කරන මහ වැඩ වර්ජනයක අවශ්‍යතාවය අවධාරනය කලේ ය. “ලංකාව ඇතුලෙම විවිධ ක්ෂේත්‍රවල වැඩවර්ජන කීයක් මතුවුනාද? මේ කම්කරුවන් සූදානම් වුනත් එකතු වෙන්න ඒකට ඉඩ නොදී කම්කරුවන් අතර බෙදීම් ඇති කරන්නේ වෘත්තීය සමිති. මේ වෘත්තීය සමිති ආන්ඩුවේ බොරු පොරොන්දු උඩ එක දිගටම කම්කරුවන්ගේ අරගල පාවදුන්නා. කම්කරුවන්ගේ අරගලය පුලුල් කිරීමට වෘත්තීය සමිති තමයි බාධකය. ඒක මට පැහැදිලියි” යනුවෙන් ඔහු සඳහන් කලේ ය.

Share this article: