විශ්වවිද්‍යාල කම්කරුවන්ගේ අඛන්ඩ වැඩ වර්ජනය තීරනාත්මක සන්ධිස්ථානයක

Sri Lankan university workers indefinite strike at a critical juncture

අපේ වාර්තාකරුවන් විසිනි , 2019 සැප්තැම්බර් 24

ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල අනධ්‍යයන කම්කරුවන්ගේ හා විධායක නිලධාරීන්ගේ අඛන්ඩ වැඩ වර්ජනය අද දින එහි තුන්වන සතියට ඇතුල්වෙද්දී තීරනාත්මක අවස්ථාවකට එලඹ ඇත. කම්කරුවන් ඔවුන්ගේ විරෝධතා ක්‍රියාකාරකම් තීව්‍ර කර ඇති නමුත් වෘත්තීය සමිති මංමුලා සහගත ලෙස උත්සාහ කරමින් සිටින්නේ වර්ජනය නතර කිරීමට පොටක් පාදා ගැනීමටය.

2016 පටන් අනෙකුත් රජයේ සේවකයන්ට ප්‍රදානය කල වැටුප් වැඩිකිරීම්, විශ්‍රාම වැටුප් ක්‍රමයක් හා අනෙකුත් ප්‍රතිලාභ ඉල්ලමින් 17,000 පමන විශ්ව විද්‍යාල සේවකයෝ සැප්තැම්බර් 10දා ඔවුන්ගේ වර්ජනය ආරම්භ කලහ.

ඊයේ, විශ්ව විද්‍යාල පරිපාලන ගොඩනැගිල්ලේ සිට මහනුවර නගරය අසල ගැටඹේ ක්‍රීඩා පිටිය දක්වා කිලෝ මීටර් දෙකක් පාගමනින් පැමිනි 300 ට අධික පේරාදෙනිය සරසවියේ කම්කරුවන් එහි දී රැස්වීමක් පැවැත්වී ය. සියලු කම්කරුවන් බලමුලුගැන්වීම සඳහා පියවර නො ගැනීම ගැන සමහර කම්කරුවෝ වෘත්තීය සමිති නිලධරයට දොස් පැවරූ හ. රටෙහි විශාලතම විශ්වවිද්‍යාලය වන පේරාදෙනියේ 2,000 කට අධික අනධ්‍යයන කාර්ය මන්ඩලයක් සේවයේ නියුක්තව සිටිති.

පාගමනේ යෙදෙන පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ වැඩ වර්ජිත අනධ්‍යයන කම්කරුවන්

සැප්තැම්බර් 20දා, ජයවර්ධනපුර හා මොරටුව විශ්වවිද්‍යාලවල සහ විවෘත විශ්වවිද්‍යාලයේ කම්කරුවන් 1,000 ක් පමන මහරගම දී විරෝධතා උද්ඝෝෂනයක යෙදුනි. පසුව ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය දක්වා කිලෝමීටර තුනක් පාගමනින් ගිය ඔවුහු එහි දී රැස්වීමක් පැවැත් වුහ.

මෙම ක්‍රියාවන්, සටන් කිරීමට පවත්නා ඔවුන්ගේ අධිෂ්ටානය පෙන්නුම් කරන විශ්ව විද්‍යාල කම්කරුවන්ගේ උද්ඝෝෂන මාලාවක කොටසකි. . සැප්තැම්බර් 18දා කොලඹට පැමිනි රටපුරා සියලු විශ්වවිද්‍යාලවල 5,000කට අධික කම්කරුවෝ, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම(යූජීසී) ඉදිරිපිට විරෝධතාවයක යෙදුනාහ.

ඊයේ පේරාදෙනිය රැස්වීම ඇමතූ සමිති නායකයන් වර්ජනයට දින 14ක් ගතවීමෙන් පසුවත් උසස් අධ්‍යාපන ඇමති රවුෆ් හකීම් හෝ වෙනත් ආන්ඩුවේ වගකිව යුතු ඇමතිවරයෙක් සාකච්ඡාවලට එලඹී නැතැයි පසුතැවුනි. පසුගිය වසරේ දින 45ක වර්ජනය ඇතුලු අතීත පාවාදීම් පිලිබඳ ව කුප්‍රකට හිටපු වෘත්තීය සමිති සභාපති එඩ්වඩ් මල්වත්තගේට රැස්වීමට ආරාධනා කරනු ලැබ තිබුනේ, කම්කරුවන් අතර ආන්ඩුව හා වෘත්තීය සමිති කෙරෙහි පවතින කෝපය අපසරනය කිරීමේ ප්‍රයත්නයක් ලෙසය.

පීඩනය යෙදීමෙන්, සහන දීම සඳහා ආන්ඩුවට බල කෙරෙනු ඇති බවට කම්කරුවන් ඒත්තු ගැන්වීමට උත්සාහ කරමින්, මල්වත්තගේ පේරාදෙනියේ සිට කොලඹ දක්වා කිලෝමීටර 110ක පාගමනක් සංවිධානය කිරීම ඇතුලු “අරගලය තීව්‍ර කිරීමක්” පිලිබඳ ව්‍යාජ සටන්කාමී හඬතැලීම්වල යෙදුනි. උසස් අධ්‍යාපන ඇමති සාකච්ඡාවලට නොපැමිනි නමුත්, රාජ්‍ය ඇමති මොහාන් ලාල් ග්‍රේරු වෘත්තීය සමිති නායකයන් සමග හමුවකදී විශ්ව විද්‍යාල කම්කරුවන්ගේ වැටුප් වැඩිකිරීම සඳහා අද දින කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරනු ඇතැයි ප්‍රකාශ කල බවට මල්වත්තගේ කයිවාරු ගැසුවේ ය.

ප්‍රධාන වශයෙන් වැටුප් වැඩිකිරීම් අරබයා මතු වී ඇති විරෝධතා හා වැඩ වර්ජන රැල්ල අකර්මන්‍ය කිරීමේ ප්‍රයත්නයක් ලෙස රාජ්‍ය අංශයේ කම්කරුවන්ට වැටුප් වැඩිකිරීම් සඳහා මුදල් ඇමති මංගල සමරවීර උත්සාහ කරමින් සිටින බව සන්ඩේ ටයිම්ස් වාර්තා කලේ ය.

රාජ්‍ය අංශයේ වෛද්‍යවරුන් හා පරිපාලන නිලධාරීන් දසදහස් ගනනක් සහභාගි වූ සංකේත වැඩ වර්ජන පසුගිය සතිය තුල දැකගන්නට ලැබුනි. පසුගිය සතිය මුල දී ප්‍රවාහන මන්ඩලයේ කම්කරුවන් දසදහස් ගනනක් වර්ජනයක යෙදුනි.සැප්තැම්බර් 20දා එන්ජින් රියදුරන්, දුම්රිය ස්ථානාධිපතිවරුන්, තාක්ෂනික කාර්ය මන්ඩලය හා නියාමකයන් ඇතුලු දුම්රිය කම්කරුවන් කන්ඩායමක්, දුම්රිය සේවාවන් ක්‍රියා විරහිත වීමක් අද්දරටම ගෙන එමින් “අකුරට වැඩ කිරීමේ” උද්ඝෝෂනයක නිරතවිය. අඛන්ඩ වැඩ වර්ජනයක යෙදෙන බවට ද ඔවුන් තර්ජනය කර ඇත. ආන්ඩුවේ පරිපාලන කාර්යාලවල සියලු කාර්ය මන්ඩල මුහුනුපොත යොදාගෙන ඊයේ ක්ෂනික වැඩ වර්ජනයක් දියත් කල හ. සැප්තැම්බර් 26 හා 27 දෙදින 200,000කට අධික ගුරුවරු ලෙඩ නිවාඩු වාර්තා කර වර්ජනයක නිරත වීමට නියමිත ය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ, ඔවුන් අතර පවතින දේශපාලන ගැටුම් කවරක් වුවත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කප්පාදු නියෝග ක්‍රියාවට දැමීම සම්බන්ධයෙන් ඒකමතික ය. දැවැන්ත සමාජ පිපිරීමක් කෙරෙහි භීතියෙන් වෙලී සිටින ආන්ඩුව, වැටුප් වැඩිකිරීම් හරහා ජීවන කොන්දේසි ඉහල නංවන්නේ ය යන මිත්‍යාව මාධ්‍ය හා වෘත්තීය සමිතිවල උදව්ව ඇතිව වපුරමින් සිටී.

මංමුලා සහගත වෘත්තීය සමිතිවල ද්‍රෝහිත්වයට සීමාවක් නැත. විශ්ව විද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ (විවිවෘසඒක) සභාපති ධම්මික ප්‍රියන්ත හා එහි ලේකම් ජානක විමලසූරිය තවත් නායකයෙක් වන මංගල දාබරේරා සමග හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සහයෝගය අයැදීම පිනිස ඊයේ ඔහු හමුවුහ.

රූපවාහිනී වාර්තාවන්ට අනුව, තමන් බලයට පත්වූ විට ඔවුන්ගේ ඉල්ලීම් “සලකා බලන” බව රාජපක්ෂ සඳහන් කර ඇත. අතිමහත් බහුතර චන්දයකින් 2015 ජනාධිපතිවරනයේ දී මහජනයා රාජපක්ෂව බලයෙන් පහ කලේ ඔහුගේ ප්‍රජාතන්ත්‍ර-විරෝධී පාලනය හා සමාජ අයිතීන් මත එල්ල කල ප්‍රහාර නිසාවෙනි. මිලිටරියට ආයාචනා කරමින් හා සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදී කන්ඩායම් රැලි කරගනිමින්, සිරිසේන- වීක්‍රමසිංහ ආන්ඩුව කෙරෙහි පවතින විරෝධය ගසා කා යලි බලයට ඒමට ඔහු දැන් උත්සාහ කරමින් සිටී.

රාජපක්ෂ හා ඔහුගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුන (ශ්‍රීලපොපෙ) ජනාධිපති අපේක්ෂකයා ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කර ඇත. බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට එරෙහි ව ලේවැකි යුද්ධය ගෙන යාම සහ කම්කරුවන් හා දුගීන්ගේ අරගල අනුකම්පා විරහිත ලෙස තලා දැමීම ගැන හිටපු ජනාධිපතිගේ සහෝදරයා කුප්‍රකට ය. ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වුව හොත්, කම්කරු පන්තියේ අරගල තලා දැමීමට ඔහු එම පොලිස්- රාජ්‍ය විධික්‍රම ම යොදාගනු ඇත.

ශ්‍රීලපොපෙ හෝ වෙනත් කිසිදු ධනපති පක්ෂයකට තමන් ව ගැටගැසීමට වෘත්තීය සමිති දරන උත්සාහයන්ට විශ්ව විද්‍යාල කම්කරුවන් විරුද්ධ විය යුතු ය.

කම්කරුවන් ස්වාධීන ව බලමුලුගැන්වීමට සමාජවාදී සමානතා පක්ෂය (සසප) ගෙන යන උද්ඝෝෂනයට ඔවුන් දක්වන හතුරු කම වර්ජනය පාවාදීමට වෘත්තීය සමිති ලකලැහැස්ති වන බවට පැහැදිලි සංඥාවකි. මහරගම විරෝධතාවේ දී "ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල කම්කරුවන්ගේ අරගලයට සමාජවාදී ඉදිරිදර්ශනයක්” යන සසප ප්‍රකාශය සහිත පත්‍රිකා බෙදීමකට සමිති නිලධාරියෝ තරයේ විරුද්ධ වූ හ.

සසප ප්‍රකාශය සහිත පත්‍රිකා බෙදීමකට තරයේ විරුද්ධ වූ සමිති නිලධාරියෝ

වෘත්තීය සමිති ශබ්ද විකාශන යන්ත්‍රයක් භාවිතා කරමින් මෙසේ බෙරිහන් දුන්නේ ය: “ඒ පත්‍රිකාව ගන්න එපා, මේවා අපට විරුද්ධ යි. මේ උද්ඝෝෂනය සංවිධානය කලේ අපි. අපට විරුද්ධ පත්‍රිකා බෙදන්න ඔබට බැහැ.” සසප උද්ඝෝෂකයන් ව නැවැත්වීමට අසමත් වූ විට සසප සාමාජිකයන් ඉවත් කරන ලෙස එක් සමිති නිලධාරියෙක් පොලීසියෙන් ඉල්ලා සිටියේය. එහෙත් එහි රැදී සිටිමට හා කම්කරුවන්ට කතා කිරීමට තමන්ට ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය සසප සාමාජිකයෝ ආරක්ෂා කලහ.

සසප උද්ඝෝෂකයන් නැවැත්වීමට දැරූ මෙම උත්සාහය පෙන්නුම් කරන්නේ, විප්ලවීය සමාජවාදී ක්‍රියාමාර්ගයක පදනම මත කම්කරුවන් ස්වාධීන ව බලමුලුගැන්වීම නැවැත්වීමට දරන උත්සාහයේ දී වෘත්තීය සමිති කිසිවකින් නතර නොවන බවයි. වෘත්තීය සමිති ක්‍රියාත්මක වන්නේ ආන්ඩුව හා සමාගම් වෙනුවෙන් කම්කරු පන්තියට එරෙහි ව කාර්මික පොලීසිය ලෙස ය.

ලෝසවෙඅ වෙත කම්කරුවන් පලකල අදහස්වල දී වෘත්තීය සමිති කෙරෙහි ඔවුන් තුල පවතින විරුද්ධත්වය ප්‍රකාශයට පත්විය.

මූලික වැටුප ප්‍රමානවත් නොවන නිසා කම්කරුවන්ට අතිකාල සේවයේ යෙදීමට බලකෙරී ඇති බව කොලඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රීපාලි මන්ඩපයේ කම්කරුවෙක් වන රුවන් පතිරන පැවසීය. පසුගිය වසරේ දින 45 වර්ජනය ගැන කතා කරමින් පතිරන මෙසේ කීවේ ය: “බිරිඳයි මමයි දෙන්නම වර්ජනයට සහභාගි වුනා. වෘත්තීය සමිති නායකයන්ගේ පාවාදීම නිසා ඒ අරගලයෙන් අපට කිසිම දෙයක් ලැබුනේ නැහැ. අපට ශිෂ්‍යන්ගේ හා අනෙකුත් කම්කරුවන්ගේ සහයෝගය අවශ්‍යයි. ශිෂ්‍යන්ගේ ව්‍යාපාරයකට ලොකු බලයක් තිබේවි”.

පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ කම්කරුවෙක් වන හේරත් මෙසේ සඳහන් කලේය: “ඔබගේ පක්ෂය විසින් විස්තර කල ආකාරයට (අපේ අයිතීන් මත) එල්ල වන මෙම ප්‍රහාරයේ මූලය වෘත්තීය සමිති පැහැදිලි කලේ නැහැ. මගේ වැටුප දල වසයෙන් රුපියල් 50,000ක් වුවත් ඉන් 20,000 ක් නය ගෙවීමට වැය වෙනවා. අනෙක් බොහෝ කම්කරුවන්ට වගේ මටත් අතිකාල කරමින් ඒ මත යැපීමට සිදුවෙලා තියෙනවා". ඔහු පැවසීය.

හේරත් දුෂ්කර සේවා කොන්දේසි විස්තර කලේ ය: “කම්කරුවන් උදේ 7.15ට කලින් වැඩට ඇවිත් හවස 4න් පස්සෙ පැය පහක් විතර අතිකාල සේවයේ යෙදෙනවා. කම්කරුවෙක් උදේ විනාඩියක් පරක්කු වුනොත් අතිකාලවලින් මිනිත්තු 15ක් කපනවා. මේ ප්‍රශ්න ගැන වෘත්තීය සමිති කිසිම ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ, මේවා ගැන ඔවුන් කතාකරන්නෙත් නැහැ” යි ඔහු සඳහන් කලේ ය.

මධුශංක ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ හතරවන වසර කලා ශිෂයෙකි. ඔහු සසප උද්ඝෝෂකයන්ට මෙසේ පැවසී ය.“ශිෂ්‍යන් කම්කරුවන්ගේ අරගලයට ක්‍රියාශීලීව සහයෝගය දිය යුතු යි. අපි මේ අරගලයට සහයෝගය නො දෙන්නේ ඇයි කියල මම ජයවර්ධනපුර ශිෂ්‍ය සංගමයෙන් ඇහුව. ශිෂ්‍යන්ට තමන්ගේ ඉල්ලීම් දිනා ගන්න කම්කරු පන්තියෙ නායකත්වය අවශ්‍යයි”

වෘත්තීය සමිතිවල ද්‍රෝහි ක්‍රියා කලාපයෙන් අවශ්‍ය නිගමන උකහාගනිමින් තමන්ගේ ම ස්වාධීන අරගලය දියත් කරන ලෙස සසප අනධ්‍යයන කම්කරුවන්ගෙන් ඉල්ලා සිටියි. ඒ සඳහා වෘත්තීය සමිතිවලින් ස්වාධීනව තමන්ගේම ක්‍රියාකාරී කමිටු ගොඩනගන ලෙස අපි කම්කරුවන්ගෙන් ඉල්ලමු. විශ්ව විද්‍යාල තුල හා තම නිවහන් ප්‍රදේශවල එවන් කමිටු ගොඩනගා ගනිමින් සහයෝගය පතා කම්කරු පන්තියේ අනෙකුත් කොටස් වෙතට අනධ්‍යයන කම්කරුවෝ හැරිය යුත්තාහ.

එවැනි දේශපාලන අරගලයක් ධනපති-විරෝධී ක්‍රියාමාර්ගයක් මත පදනම් විය යුතුය.කම්කරු පන්තියට පවතින එකම විකල්පය වන්නේ, දකුනු ආසියාවේ හා ජාත්‍යන්තර ව සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස ශ්‍රී ලංකාවේ කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවකට සටන් කිරීම යි.

Share this article: