රොජර් වෝටර්ස් සඳුදා සංගීත ප්‍රසංගයක් පවත්වයි: ජූලියන් අසාන්ජ් ආරක්ෂා කිරිමේ සටන පෙරට ගනු!

Roger Waters holds concert on Monday: Take forward the fight to free Julian Assange!

2019 සැප්තැම්බර් 2

අද සවස ලන්ඩනයේ දී, බේස් ගිටාර් වාදකයෙකු, ගායකයෙකු මෙන් ම ගීත රචකයෙකු වන රොජර් වෝටර්ස් හා මාධ්‍යෙව්දී ජෝන් පිල්ගර් විසින් විකීලීක්ස් ප්‍රකාශක හා මාධ්‍යවේදී ජූලියන් අසාන්ජ් නිදහස් කරන ලෙස ඉල්ලා ඉතා වැදගත් ඉසව්වක් කැඳවා ඇත. වෝටර්ස් අද සවස 2ට මාර්ෂම් වීදියේ, බ්‍රිතාන්‍ය ස්වදේශ ලේකම් ප්‍රීති පතෙල්ගේ කාර්යාලය ඉදිරිපිට සංගීත ප්‍රසංගයක් පවත්වනු ඇති අතර, පිල්ගර් අදහස් ඉදිරිපත් කරනු ඇත.

කලාකරුවෙකු වන වෝටර්ස් හා ධෛර්යසම්පන්න මාධ්‍යවේදියෙකු වන පිල්ගර් යන දෙනොම, අසාන්ජ්ගේ නිදහස සඳහා අරගලය ප්‍රානවත් කිරීමට සටන් කර ඇති විශිෂ්ට ප්‍රතිපත්ති සහිත පුද්ගලයෝ වෙති. කෙසේ නමුත්, අසාන්ජ් එක්සත් ජනපදයට උදර්පනය කිරීම නැවත්වීමට, හා ඕස්ට්‍රේලියාව වෙත ඔහුගේ නිරුපද්‍රිත ආපසු පැමිනීම සහතික කිරීමට මෙන් ම ඔහුගේ නිදහස ආරක්ෂා කිරීමට වන මෙම සටන ඉදිරියට ගෙන යා යුත්තේ ජාත්‍යන්තර කම්කරුවන් හා තරුනයන් බලමුලු‍ ගැන්වීම මගිනි.

රොජර් වෝටර්ස් 2018 ඔක්තෝබර් 24 බ්‍රසීල සංචාරයේ රියෝද ජැනෙයිරෝවල මරකනාහි ඉදිරිපත් කෙරුනි. RJ. (Photo: Diego Baravelli/Fotoarena/Sipa USA)(Sipa via AP Images)

තත්වය හදිසි ය. අසාන්ජ් බ්‍රිතාන්‍යයේ කුප්‍රකට බෙල්මාර්ෂ් හිරගෙදර ආසන්න වශයෙන් අඩ වසක් හිර කර සිටින අතර, ඔහුගේ ‍සෞඛ්‍ය තත්වය වේග‍යෙන් පිරිහෙමින් පවතී. පසු ගිය සති අන්තයේ අගදී අසාන්ජ්ට කතා කිරීමෙන් පසු පිල්ගර් මෙසේ වාර්තා කලේ ය: “ඔහු‍ගේ මානසික වධහිංසාවල අඩුවක් නැත. ඔහු තම කුඩා කුටියේ, බොහෝ විට දවසකට පැය 23ක් හුදකලාවේ සිටින අතර, සුදුසු ව්‍යායාම ලබා දීම ප්‍රතික්ෂේප කෙරේ. ඔහුගේ බර තවත් අඩු වී ඇත. ඔහුගේ දෙමව්පියන්ට දුරකතන ඇමතුම් ‘අනුමත’ කෙරුන ද තවමත් කතා කල නො හැකි වී ඇත. බ්‍රිතාන්‍ය 2019.”

පිල්ගර් සටහන් කරන පරිදි, අසාන්ජ් රඳවා ගනිමින් තිබෙන දීර්ග හුදකලා සිරකර තැබීම විස්තර කල හැක්කේ වධහිංසාවක් ලෙස පමනී. තම නඩුවට සූදානම් වීම, තම නීතිඥයින් නිතිපතා සම්බන්ධ කර ගැනීම, මෙන්ම බාහිර ලෝකය සමග සන්නිවේදනය කිරීමේ හැකියාව ඔහුට ලබා නො දේ.

අසාන්ජ් එක්සත් ජනපදයට උදර්පනය කිරීමට නඩු ඇසීමේ පෙබරවාරි මස උසාවි දිනය වේගයෙන් ලඟා වෙමින් තිබේ. ඇමරිකානු ආන්ඩුවේ අත්අඩංගුවට බාර දුන හොත්, වසර 175ක හෝ ඊටත් වඩා නරක සිරදඬුවමක් ප්‍රතිඵලය වනු ඇති බොරු නඩුවකට අසාන්ජ් මුහුන දෙනු ඇත.

මේ අතර, අකටයුතු හෙලිකරන්නිය වන චෙල්සී මැනිං, වර්ජීනියා ප්‍රාන්තයේ ඇලෙක්සැන්ඩ්‍රියා හිරගෙදර සිර කර සිටී. ඇය දින 170ට වඩා වැඩි කාලයක් සිරි කෙරී සිටින අතර, තවත් වසරක් හෝ ඊට වැඩි කලක් හිරේ තැපීමට සිදුවනු ඇත. මැනිං ඩොලර් මිලියන භාගයකට ආසන්න වන මුදල් දඩවලට ද මුහුන දෙයි.

අසාන්ජ් හා මෑනිංට වධ හිංසා කිරීම ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මත දැවන්ත ප්‍රහාරයේ පෙරමුන යි. එය සිදුවෙමින් තිබෙන්නේ ෆැසිස්ට්වාදය යලි මතුවීම හා ජාත්‍යන්තර වශයෙන් පාලක ප්‍රභූව අධිපතිවාදී පාලන රූපාකාරයකට ඇල වීමේ පසුබිම යටතේ ය.

එක්සත් ජනපදය තුල, යන්තම් පසු ගිය සතියේ අන්ත දක්ෂිනාශික අගමැති බොරිස් ජොන්සන් පාර්ලිමේන්තු රැස්වීම් අත්හිටවීම නිවේදනය කලේ ය, එය ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මත ඓතිහාසික ප්‍රහාරයකි. “යෙලෝහැමර් මෙහෙයුම”නම් කේත නාමය යටතේ බ්‍රිතාන්‍ය ආන්ඩුව බ්‍රික්සිට් පක්ෂ කප්පාදු පියවරයන් මගින් ඇති කෙරෙනු “මහජන නොසන්සුන්තාවට” ප්‍රතිචාර දැක්වීමට සැලැසුම් කරමින් සිටින්නේ කැරලි මර්දන පොලීසිය හා භටයින් දසදහස් ගනනක් රැඳවීම මගිනි.

ජර්මනියේ දී, සභාග ආන්ඩුව ෆැසිස්ට්වාදී ජර්මනිය සඳහා විකල්පය පෝෂනය කර ඇති අතර, ව්‍යවස්ථාව ආරක්ෂා කිරීම සඳහා ආන්ඩුවේ සමූහාන්ඩු කාර්යාලය, ජර්මානු සමාජවාදී සමානාතා පක්ෂය(එස්ජීපී) නිරීක්ෂනට යටත් කිරීමට ඉලක්ක කරමින් සිටින්නේ, ධනවාදයට විරුද්ධ වීම හා අන්ත දක්ෂිනාංශයේ නැගීම හෙලිදරව් කිරීම වෙනුවෙනි.

ඉන්දියාව තුල, අන්ත දක්ෂිනාංශික බීජේපී ආන්ඩුව පසු ගිය මාසයේ ජම්මු හා කාෂ්මීරයේ පුද්ගලයන් මිලියන 13ක් මත වටලෑමේ තත්වයක් පැටවුයේ, මර්දනය හා සාමූහික දඬුවම් දීමේ පෙර නො වූ විරූ පාලනයක් ක්‍රියාත්මක කරමිනි. චීනය තුල, සංගත ප්‍රභූව හා සුපිරි පොහොසතුන්ගේ උත්සුකයන් ආරක්ෂා කරන, ස්ටැලින්වාදී තන්ත්‍රය, හොං කොං හි විරෝධතාකරුවන්ට ම්ලේච්ඡ ලෙස පහර දීමට පොලීසිය පිටත් කර හරිමින් සිටී.

එමෙන් ම එක්සත් ජනපදය තුල, ට්‍රම්ප් පාලනාධිකාරිය සංක්‍රමනිකයන් හා සරනාගතයන් මත තම බියකරු වධ හිංසා කිරීමේ දී “ජාතික හදිසි තත්වය” යොදා ගනිමින් වඩ වඩා නීති පනව යි.

අසාන්ජ් හා මැනිං නිහඬ කිරීමේ උත්සාහය යුද්ධය සඳහා සූදානම් වීමේ තීරනාත්මත පියවරක් ලෙස ද දකිනු ලැබේ. පාලක ප්‍රභූව විකී ලීක්ස් විසින් හෙලිදරව් කරන ලද ඒවාට වඩා බියකරු දාමරිකකම් සූදානම් කරමින් සිටින අතර, විරුද්ධත්වය බිය වැද්දීමට හා ආන්ඩුවේ අපරාධ හෙලි කීරීමට උත්සාහ කරන අය මත වාරනය පැටවීමට අධිෂ්ඨාන සහගතව සිටී.

අසාන්ජ් හා මැනිංගේ ඉරනම අභිප්‍රායික උදාහරනයක් හා තර්ජනයකි. ඔවුහු ලෝකයේ ඉතාමත් ම බලගතු ආන්ඩු, ඔත්තුසේවා ඒජන්සි හා සංගත මාධ්‍ය සම්බන්ධ වන්නා වූ බියකරු අපරාධකාරී කුමන්ත්‍රනයක ගොදුරු වී සිටිති.

මෙම කුමන්ත්‍රනය හිතුවක්කාර උසාවිවල ප්‍රධානත්වය ගන්නා, එක්සත් රාජධානියේ අධිකරන පද්ධතියේ සිට, ලේබර් පක්ෂයට හා රාජ්‍ය රහස් පනත යටතේ එක්සත් ජනපදය විසින් චෝදනා නිකුත් කිරීමේ තැන් සිට අසාන්ජ්ගේ ඉරනම ගැන සම්පූර්න නිශ්ශබ්දතාවක් පවත්වා ගෙන ගොස් ඇති, එහි නායක ජෙරමි කෝබින් දක්වා පැතිරෙ යි. එයට, අසාන්ජ් තම පුරවැසියෙකු වන නමුත් ඔහු නිරුපද්‍රිතව සිය රටට පැමිනීමට ගන්නා ඕනෑ ම උත්සාහයකට දැඩි ලෙස විරුද්ධ වන ඕස්ට්‍රේලියානු ආන්ඩුව ද ඇතුලත් ය,

ට්‍රම්ප් පාලනාධිකාරියේ අධිකරන දෙපාර්තමේන්තුව අසාන්ජ්ට එරෙහිව චෝදනා එල්ල කර ඇති අතර, ඩෙමොක්‍රටිකයන් ඔහුට එරෙහි උද්ඝෝෂනයේ පෙරමුන ගෙන ඇත. රුසියාවට එරෙහිව වඩාත් ආක්‍රමනශීලී මිලිටරි ප්‍රතිපත්තියක් අනුගමනය කරන ලෙස ට්‍රම්ප්ට බලපෑම් කිරීම අරමුනු කර ගැනුනු ඩිමොක්‍රටිකයන්ගේ ප්‍රතිගාමී රුසියානු විරෝධී ව්‍යාපාරයේ කේන්ද්‍රයේ පවතින්නේ අසාන්ජ් හා විකිලීක්ස් අපකීර්තියට පත් කිරීම යි.

ප්‍රධාන ප්‍රවෘත්ති මාධ්‍ය, විශේෂයෙන්ම නිව් යෝක් ටයිම්ස්, වොෂින්ටන් පෝස්ට් හා ඩෙමොක්‍රටික් පක්ෂය සමග අනුබද්ධ අනෙකුත් ප්‍රකාශන මුලුමනින් ම මෙම කුමන්ත්‍රනයේ හවුල්කරුවෝ වෙති. ඔත්තු සේවා ඒජන්සිවල හොරනෑ ලෙස ක්‍රියා කරන මාධ්‍ය අසාන්ජ්ට මඩ ගැසීමට හා නින්දා කිරීමට තම උපරිම උත්සාහය දරා ඇත.

මැයි මාසයේ දී ඔත්තු බැලීමේ පනත යටතේ අසාන්ජ්ට චෝදනා කිරීමේ ඇඟවුම් පිලිබඳ උත්සුකයේ පලමු කුහක ප්‍රකාශවලින් පසු ව, ප්‍රධාන මාධ්‍ය ආයතන සියවසේ වැදගත්ම දේශපාලන හිංසනය පිලිබඳ වාර්තා කිරීම නවතා දමා ඇත. ටයිම්ස් පුවත්පත ජුනි මාසයේ සිට මැනිං හෝ අසාන්ජ් ගැන එකදු ලිපියක්වත් ප්‍රකාශයට පත් කර නැත.

ලජ්ජාවේ වේදිකාව මත විශේෂ ප්‍රමුඛ තැනක් වෙන් කල යුත්තේ “වම්මුන්” ලෙස මවාපාන නමුත් පාලක ප්‍රභූවේ ආධාරක හස්ථයක් ලෙස ක්‍රියාත්මක වන, පොහොසත් මධ්‍යම පන්තියේ සංවිධානවලට යි. ඩෙමොක්‍රටික් පක්ෂයේ කන්ඩායමක් වන,එක්සත් ජනපදයේ ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදීන්, අසාන්ජ්ට වධහිංසා පැමිනවීමට නිහඬ ලෙස සහාය දී ඇත්තේ, ඔහුගේ උදර්පනය ගැන ප්‍රකාශනයන් නිකුත් නො කරමිනි.

ඒ අතරම, අසාන්ජ් අත්අඩංගුවට ගැනීමෙන් පසු සිදු වූ වර්ධනයන් අසාන්ජ් සහ මැනිං සඳහා නිදහස ලබා ගත හැකි ප්‍රබල සමාජ බලවේගය පෙන්වා දෙයි. සමාජ අසමානතාවයේ ආන්තික වර්ධනය සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මත පහරදීම්, පුඑර්තෝ රිකෝවේ සිට හොංකොං දක්වා ජනගහනයෙන් සැලකිය යුතු ප්‍රතිශතයන් සම්බන්ධවන විශාල පෙලපාලි ජනිත කර තිබේ.

දශක ගනනාවක මර්දනයෙන් පසු පන්ති අරගලය ලෝක පරිමානව යලිත් මතුවීමට පටන් ගනිමින් තිබේ. එක්සත් ජනපදයේ සන්නිවේදන කම්කරුවන්, ඉන්දියාවේ මෝටර් රථ කම්කරුවන්, බොලීවියාවේ පතල් කම්කරුවන් සහ ප්‍රංශයේ රෝහල් කම්කරුවන් අතර මෑත මාසවල වැඩ වර්ජන හටගෙන ඇත. එක්සත් ජනපදයේ ෆෝඞ්, ජීඑම් සහ ක්‍රයිස්ලර් සමාගම්වල කම්කරුවන් පසුගිය සතියේ වැඩවර්ජන අනුමත කිරීමේ ඡන්දය අවසන් කලේ සටන් කිරීමේ අධිෂ්ඨානය හෙලි කරමිනි.

එමෙන් ම සමස්ත තරුන පරම්පරාවක් ම ආර්ථික අනාරක්ෂිතභාවය, නයගැති බව සහ යුද්ධය හැර අන් කිසිවක් නො දැන වැඩී ඇත.

කම්කරුවන් හා තරුනයින් අතර අසාන්ජ් සහ මැනිං කෙරෙහි ඉමහත් සහයෝගයක් හා පක්ෂපාතිත්වයක් ඇත. මෙම ධෛර්ය සම්පන්න පුද්ගලයන් සිරගතව සිටින්නේ ඔවුන් සත්‍යය හෙලි කල නිසාත්, ලෝකයට දැක ගැනීමට පාලක පන්තියේ අපරාධ හෙලි කල නිසාත් බව, බොරු හා ප්‍රචාරක ව්‍යාපාර තිබියදීත්,ලොව පුරා සූරාකෑමට ලක්වූවෝ සහ පීඩිතයෝ පිලිගනිති.

කෙසේ වෙතත්, අසාන්ජ් සහ මැනිං සඳහා මෙම මතුපිටින් නොපෙනෙන සහයෝගය සහ ඔවුන්ගේ නිදහස ඉල්ලා සිටීමට හා සටන් කිරීමට සංවිධානාත්මක, මහජන ව්‍යාපාරයක් නොමැතිකම අතර විශාල ප්‍රතිඝතිතාවක් තිබේ. එවැනි ව්‍යාපාරයක් ගොඩ නැගීම හදිසි කාර්යයකි.

මෙම පන්ති යුද සිරකරුවන් ආරක්ෂා කිරීමේ සටන කම්කරු පන්තිය තුලට ගෙන යා යුතුය. එය ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් මත ප්‍රහාරයට මෙන් ම ෆැසිස්ට්වාදයේ වර්ධනයට වන විරුද්ධත්වයට සහ යුද්ධය, ධනේශ්වර සූරාකෑම හා අසමානතාවට එරෙහි ජාත්‍යන්තර කම්කරු පන්තියේ සමාජ අරගලවලට සම්බන්ධ කල යුතු ය.

ජෝශප් කිෂෝර්

Share this article: