එක්සත් ජනපද මෝටර් රථ කම්කරුවෝ ජෙනරල් මෝටර්ස් වසා දමති

US autoworkers shut down General Motors

2019 සැප්තැම්බර් 16

වැඩ වර්ජනයක් වලක්වා ගැනීමේ තම දැඩි උත්සාහය නො තකා, (මෝටර් රථ සමාගම්වල සාපරාධී දූෂිත නියෝජිතයන් ලෙස හෙලිදරව් වී ඇති) එක්සත් මෝටර් රථ කම්කරුවන්ගේ වෘත්තීය සමිති (යූඒඩබ්ලිව්) නායකයින් තමන්ට මහා වැඩවර්ජනයක් වැලක්විය නො හැකි බව නිගමනය කර ඇත.

යූඒඩබ්ලිව් උප සභාපති ටෙරී ඩිටෙස් විසින් මාධ්‍ය හමුවක දී වැඩ වර්ජනය පිලිබඳ නිවේදනය ඉදිරිපත් කරන ලදී. අධෛර්යමත් හා බියට පත් ඩිටෙස් කතා කලේ තමා අවමංගල්‍යයකට සහභාගි වන්නාක් මෙනි.

ඊට පෙර දින, යූඒඩබ්ලිව් සිය සාමාජිකයින්ට එම සංගමයට ම අයත් ආරක්ෂක කම්කරුවන්ගේ පිකට් වැටවල් හරහා යන ලෙස උපදෙස් දී තිබේ. ෆෝඩ් සහ ෆියට්-ක්‍රයිස්ලර් සමාගම්වල සේවයේ නියුතු කම්කරුවන් කැඳවීම යූඒඩබ්ලිව් විසින් ප්‍රතික්ෂේප කර ඇත්තේ, එය මෝටර් රථ කම්කරුවන්ගේ පූර්න ශක්තිය බලමුලු ගැන්වීම වලක්වා ගැනීම සඳහා තමන්ට කල හැකි උපරිමය ලෙස දකිමිනි.

ජෙනරල් මෝටර්ස් වසා දැමීම එක්සත් ජනපදය තුල හා ජාත්‍යන්තර ව පන්ති අරගලයේ ප්‍රධාන තීව්‍රවීමකි. පසුගිය වසරේ ගුරුවරුන් සමඟ ආරම්භ වූ ප්‍රබල සමාජ ව්‍යාපාරය කාර්මික කම්කරු පන්තිය දක්වා ව්‍යාප්ත වෙමින් පවතී. වෘත්තීය සමිති, සංගත හා ආන්ඩුවේ සන්ධානයක් විසින් නිර්දය ලෙස ක්‍රියාත්මක කරන ලද, දශක ගනනාවක් දීර්ග පන්ති අරගලයේ මර්දනය බිඳ වැටෙමින් තිබේ.

කම්කරුවන් මෙම සටන ආරම්භ කරන විට, ඔවුන් සංග්‍රාමභූමිය සමීක්ෂනය කල යුතු අතර තම සගයන් කවුරුන් ද එමෙන්ම තම සතුරන් කවුරුන් ද යන්න පිලිබඳ අවබෝධය මත පදනම් වූ මූලෝපායක් වර්ධනය කල යුතුය.

කම්කරුවන් ගැටෙමින් සිටින්නේ ඇමරිකානු ධනවාදී ශක්තියේ සංකේතය වන්නා වූ ඩොලර් බිලියන 55 ක වෙලඳපල ප්‍රාග්ධන සම්පාදනයක් සහිත ජෙනරල් මෝටර්ස් සමග ය. නමුත් ජීඑම් ම ද ලොව පුරා මිලියන සංඛ්‍යාත කම්කරුවන්ගේ ශ්‍රමය සම්බන්ධ වන ගෝලීය වශයෙන් ඒකාබද්ධ වූ මෝටර් රථ කර්මාන්තයක කොටසකි.

කම්කරුවන්ගේ සෑම අරගලයකට ම දේශපාලන මිනුමක් ඇත, නමුත් මෙම සිද්ධියේ දී දේශපාලනය විශේෂයෙන් පැහැදිලි ය. වසර හතලිහක් තිස්සේ කම්කරු පන්තියේ වියදමින් සංගත ලාභ පුලුල් කිරීමට ඩිමොක්‍රටික් හා රිපබ්ලිකානු පාලනාධිකරයන් විසින් දරන ලද උත්සාහයේ ඉලක්කය වී තිබෙන්නේ මෝටර් රථ කර්මාන්තය යි.

මීට වසර හතලිහකට පෙර, 1979 දී, ජිමී කාටර්ගේ ඩිමොක්‍රටික් පාලනාධිකාරිය හා ඩිමොක්‍රටික් පක්ෂය විසින් පාලනය කරන ලද කොන්ග්‍රස් මන්ඩලය තදින් කියා සිටියේ ක්‍රයිස්ලර් සමාගමට ඊනියා ඇප ලබා දීම සඳහා කම්කරුවන්ගෙන් විශාල සහන අවශ්‍ය අතර කර්මාන්තශාලා වසා දැමිය යුතු බව යි. ඉක්බිති ව රිපබ්ලිකානු රේගන් පාලනාධිකාරිය විසින් පැට්කෝ ගුවන් ගමනාගමන හසුරුවන්නන් දොට්ට දැමීම සිදු වූ අතර එය සමස්ත කම්කරු පන්තිය මත සම්පූර්න ප්‍රහාරයක් දියත් කලේ ය.

2008 දී, ඔබාමා පාලනාධිකාරය තම මෝටර් රථ කර්මාන්තය ප්‍රතිව්‍යුහගත කිරීමේ කොටසක් ලෙස අලුතින් බඳවා ගන්නා කම්කරුවන්ගේ වැටුප් අඩකින් අඩු කරන ලෙස අවධාරනය කලේ ය. ඔබාමා යටතේ පැට වූ සමූහ දොට්ට දැමීම්, කම්හල් වැසීම සහ වැටුප් කප්පාදු වාහන නිෂ්පාදකයින්ගේ වාර්තාගත ලාභයට හේතු විය.

දශක හතරක සමාජ ප්‍රති විප්ලවය තුල දී ජීඑම්, ෆෝඩ් සහ ක්‍රයිස්ලර් සමාගම් මෝටර් රථ රැකියා 600,000 ක් කපා හැර ඇති අතර, ඉතිරිව ඇත්තේ රැකියා 158,000 ක් පමනී. අලුතින් බඳවා ගැනුනු මෝටර් රථ සේවකයෙකුගේ වැටුප අඩකින් පහත වැටී ඇත.

කම්කරුවන්ගේ දරිද්‍රතාවය මගින් සංගත ලාභ පුලුල් කිරීම ධනේශ්වර ක්‍රමයේ මූලික නීතිය යි. ලාභය ස්වර්ගයේ ආහාර මෙන් වැටෙන්නේ නැත: එය කම්කරු පන්තියෙන් නිෂ්පාදනයේ දී මිරිකි ගනු ලැබේ. ශ්‍රම ක්‍රියාවලිය තුලින් කම්කරුවන් විසින් නිපදවනු ලබන වටිනාකම ඔවුන් සූරාකන ධනපතියන්ට බෙදා හරිනු ලැබේ.

මෙම පද්ධතියේ අයුක්ති සහගත හා සූරාකෑමේ ස්වභාවය පෙන්නුම් කරන්නේ මෝටර් රථ විධායකයින්ගේ වැටුප් සහ ලාභ ස්වරූපයෙන් ආයෝජකයින්ට ලබා දී ඇති ඩොලර් බිලියන ගනන්වලිනි.

තම වාර්ෂික වැටුප ඩොලර් මිලියන 21.87 ක් වන, ජීඑම් ප්‍රධාන විධායක නිලධාරී මේරි බාරා, නව මෝටර් රථ කම්කරුවෙකු වසරක් තුල උපයන මුදල මෙන් දෙගුනයක් එක් දිනක දී උපයා ගනී. ජීඑම් පසුගිය වසරේ ඩොලර් බිලියන 11.8 ක ලාභයක් වාර්තා කලේ ය. එය 2015 සිට කොටස් ආපසු මිල දී ගැනීම් සඳහා ඩොලර් බිලියන 10 කට වඩා වියදම් කර ඇත.

ඔවුන්ගේ වැටුප් හා ප්‍රතිලාභ යථා තත්ත්වයට පත් කිරීම සඳහා වන කම්කරුවන්ගේ ඉල්ලීම් සපුරාලීමට ජීඑම් සතුව මුදල් නොමැති බවට කරන ප්‍රකාශය අවඥාවෙන් බැහැර කල යුතු ය.

කම්කරුවන් සංගත, ආන්ඩුව හා සමස්තයක් ලෙස ධනවාදී පද්ධතියට එරෙහිව සටන් වදින අතර, ඔවුන්ගේ වඩාත් ම අධිෂ්ඨාන සහගත සතුරා වන්නේ, ඔවුන් නියෝජනය කරන බව කියා සිටින සංවිධානය වන, අල්ලස් ගන්නා මෙන් ම දූෂිත එක්සත් මෝටර් රථ කම්කරුවන්ගේ වෘත්තීය සමිතිය (යූඒඩබ්ලිව්) යි.

කම්කරුවන්ගේ උත්සුකතා පිලිබඳ යූඒඩබ්ලිව් හි නිමක් නැති පාවාදීම්, කූටප්‍රාප්ත වී ඇත්තේ කලමනාකරනයේ ඩොලර් මිලියන ගනන්වල තාලයට අල්ලස් ගත්, සමස්ත නායකත්වය ම ගිල ගෙන ඇති දූෂනයේ අසූචි වල තුල ය.

කම්හල් වසා දැමීමේ සිට හාමත් වැටුප් මෙන් ම බහු ස්ථර වැටුප් හා ප්‍රතිලාභ ක්‍රමය වැනි කම්කරුවන් දැන් සටන් වදින සෑම දෙයක් ම, යූඒඩබ්ලිව් විසින් බලාත්මක කරනු ලැබූ වරදානවල ප්‍රතිඵලයකි. මෙය දැන් වෙනස් වනු ඇතැ යි විශ්වාස කිරීම වඩාත් භයානක මිත්‍යාවන් හි ගැලීමකි.

යූඒඩබ්ලිව් නිලධාරීන් ගොල්ෆ් ක්‍රීඩා, සුරුට්ටු, විස්කි සහ ගනිකාවන් සඳහා කම්කරුවන්ගේ මුදල් ඩොලර් මිලියන ගනනක් වියදම් කර ඇති බව පෙන්නුම් කෙරුනු අතර, යූඒඩබ්ලිව් නිවේදනය කර ඇත්තේ කම්කරුවන්ට වැඩ වර්ජන වැටුපෙන් සතියකට කාලකන්නි ඩොලර් 250 ක් ලැබෙනු ඇති බවයි. එය ද වැඩවර්ජනයේ පලමු සම්පූර්න සතියට පසුව යි.

ජීඑම් කම්කරුවන් බොහෝ සතුරන්ට මුහුන දෙන නමුත් ඔවුන්ට බලවත් සගයෝ ද සිටිති.

මෝටර් රථ කම්කරුවෝ ඇමරිකාවේ වැඩ කරන ජනගහනයෙන් ඉමහත් සහයෝගයක් සහ පක්ෂපාතිත්වයක් භුක්ති විඳිති. මෝටර් රථ කම්කරුවන් සටන් කරමින් සිටින සූරාකෑමේ කොන්දේසි වන්නේ, තම වැටුප් කප්පාදු කර, ප්‍රතිලාභ විනාස කෙරී ඇති, එමෙන් ම ඔවුන් ක්‍රියාත්මක කරවන යන්ත්‍රවලට වඩා නරකිනුත් නරකට සලකනු ලබන, රට පුරා සිටින මිලියන සංඛ්‍යාත කම්කරුවන් විසින් විඳිනු ලබන ඒවා ය.

සමස්ත එක්සත් ජනපද මෝටර් රථ කර්මාන්තය ම වසා දැමීමට සහ මෝටර් රථ ලොක්කන්ට දරා ගැනීමට උපරිම ආර්ථික හා දේශපාලන බලපෑම් ඇති කිරීම සඳහා ජීඑම් කම්කරුවන් ෆෝඩ් හා ෆියට් ක්‍රයිස්ලර් සමාගම්වල තම සහෝදර සහෝදරියන්ගෙන් ඉල්ලා සිටිය යුතුය.

බරපතල ලෙස ම, කම්කරුවන් රට පුරා සහ ලොව වටා සිටින කම්කරුවන්ගේ සහ තරුනයින්ගේ සහාය ඉල්ලා සිටිය යුතුය. එම සහය ඔවුන්ට නොමසුරුව ලැබෙනු ඇත.

ජීඑම් වැඩවර්ජනය ගෝලීය වැඩ වර්ජන රැල්ලක මෑත ම අවස්ථාව යි. එක්සත් ජනපද මෝටර් රථ කම්කරුවන්ගේ වැඩ වර්ජනය දිග හැරෙන්නේ කම්කරු පන්තියේ ජාත්‍යන්තර ව්‍යාපාරයක සන්දර්භය තුල ය. පසුගිය සතියේ දී ජීඑම් කම්කරුවන් 8,000 ක් කොරියාවේ වැඩ වර්ජනයක නිරත වූ අතර ප්‍රංශ ගමනාගමන පාලන කම්කරුවෝ පැරිසියේ උමං දුම්රිය නවතා දැමූහ. පසුගිය වසර පුරා ඉන්දියාවේ සහ මෙක්සිකෝවේ මෝටර් රථ කම්කරුවන් බලගතු වැඩවර්ජන ක්‍රියාත්මක කර ඇත. ප්‍රංශය,පෝටෝ රිකෝ හා හොංකොං හි කම්කරුවෝ හා තරුනයෝ තම සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා දැවන්ත පෙලපාලිවලට සම්බන්ධ වී සිටිති.

අරගලය සාර්ථක විය හැක්කේ එය යූඒඩබ්ලිව් පාවාදෙන්නන්ගේ පාලනයෙන් ඉවතට ගන්නේ නම් පමනී. වැඩවර්ජනය සංවිධානය කර ව්‍යාප්ත කිරීමට කම්කරුවන් සාමාජික ක්‍රියාකාරී කමිටු තෝරා පත් කර ගත යුතු ය.

මෙම කමිටු ඉල්ලා සිටිය යුත්තේ:

සියයට 40 වැටුප් වැඩි කිරීමක්, දූෂිත යූඒඩබ්ලිව් හා ඔවුන්ට අල්ලස් දුන් සංගත විසින් ලබා දුන් අනීතික වරදාන හේතුවෙන් අහිමි වූ දශක ගනනාවක වැටුප් අයකර ගැනීම ආරම්භ කිරීම සඳහා.

ස්ථර අනුව නිෂ්පාදන ක්‍රමය අවසන් කරනු! රැකියා ස්ථානයේ සමානාත්මතාවය! අර්ධකාලීන හා කොන්ත්‍රාත් කම්කරුවන් ඇතුලු සියලුම කම්කරුවන්ට වහාම ඉහල වැටුප් හා ප්‍රතිලාභ ලබා දිය යුතු ය.

රැකියා යථා තත්වයට පත් කරනු! ලෝඩ්ස්ටවුන් සහ වසා දැමූ අනෙකුත් කම්හල් නැවත විවෘත කර සේවයෙන් ඉවත් කරන ලද හා දඩයමට ගොදුරු වූ කම්කරුවන් නැවත සේවයේ යොදවනු. සියලුම ශාඛා වසා දැමීම් සහ දොට්ට දැමීම් නවත්වනු!

විශ්‍රාමිකයන්ට ගරු කරනු! විශ්‍රාමික සෞඛ්‍ය සේවා සහ විශ්‍රාම වැටුප් කපා හැරීම ආපසු හරවනු.

කර්මාන්ත ශාලාවේ ප්‍රජාතන්ත්‍රවාදය! නිෂ්පාදනය, වැඩ පේලි වේගය සහ ආරක්ෂාව මත කම්කරුවන්ගේ පාලනය සඳහා.

වැඩ වර්ජන වැටුපෙන් සතියකට ඩොලර් 750 ක්! යූඒඩබ්ලිව්, ඒඑෆ්එල්-සීඅයිඕ සමඟ එක්ව ඩොලර් බිලියන ගනනක වත්කම් පාලනය කරයි, ඔවුන් ඒවා යොදා ගන්නේ සාද හා විධායකයන් දහස් ගනනකට ඉලක්කම් හයේ වැටුප් ගෙවීමට යි. වෘත්තීය සමිති ගාස්තු හා විශ්‍රාම සැලසුම්වලින් කොල්ලකන ලද මෙම සම්පත් දැන් බෙදා හැරිය යුතු ය!

මෙම අරගලයේදී, ඔටෝවර්කර් නිව්ස්ලෙටර් නිෂ්පාදනය කර බෙදා හරින හා ලෝක සමාජවාදී වෙබ් අඩවිය ප්‍රකාශයට පත් කිරීමට සහාය වන සමාජවාදී සමානාත්මතා පක්ෂය කම්කරුවන්ට සිය පූර්න සහයෝගය ලබා දෙන බවට ප්‍රතිඥා දෙයි.

කම්කරු පන්තිය තුල නව සටන්කාමී සමාජවාදී නායකත්වයක් ගොඩනැගීම සඳහා සමාජවාදී සමානතා පක්ෂය හැකි සෑම දෙයක්ම කරනු ඇත. එය කම්කරුවන්ට තම අරගලය සංවිධානය කිරීමට, රට පුරා සහ ජාත්‍යන්තරව සහයෝගය ලබා ගැනීමට අවශ්‍ය තොරතුරු ලබා දෙනු ඇත.

මෙම තීරනාත්මක මහා අරගලය මෙහෙයවීමත් සමග මෝටර් රථ කම්කරුවන් මුහුන දෙන මූලෝපායික ප්‍රශ්න සාකච්ඡා කිරීමට, අපගේ එලඹෙන ඔන්ලයින් සංසදයට සහභාගී වන ලෙස අපි කම්කරුවන්ගෙන් ඉල්ලා සිටිමු. පසුගිය සතියේ කම්කරුවෝ 300 කට වැඩි පිරිසක් එයට එක්‍ රැස් වූහ.

කර්තෘ මන්ඩලය - ලෝක සමාජවාදී වෙබ් අඩවිය

Share this article: