හොංකොං හි ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන්නේ කෙසේද

How to fight for democratic rights in Hong Kong

2019 අගෝස්තු 22

ජුනි මස මුල සිට හොංකොං හි මිලියන දෙකක පමන ජනතාවක් සහභාගී වූ මහජන විරෝධතා, පිටුවහල් කිරීමේ නීති ඉවත් කිරීම , පොලිස් ප්‍රචන්ඩත්වය අවසන් කිරීම සහ සර්වජන ඡන්ද අයිතිය මගින් මැතිවරන පැවැත්වීම යන ඉල්ලීම්, ප්‍රධාන විධායක කැරී ලැම්ගේ නායකත්වයෙන් යුත් බීජිං හිතවාදී පරිපාලනයෙන් බලකර ඉල්ලා සිටියහ. චීන කොමියුනිස්ට් පක්ෂයේ (සීසීපී) තන්ත්‍රයේ පිටුබලය ඇති ලැම්, චීන ප්‍රධාන භූමියට පිටුවහල් කිරීමට ඉඩ සලසන නීති අත්හිටුවීම හැර වෙන කිසිවක් කිරීම ප්‍රතික්ෂේප කර තිබේ

මාස තුනකට ආසන්න අඛන්ඩ විරෝධතාවලින් පසුව, හොංකොං කම්කරුවන්, තරුනයින් සහ බුද්ධිමතුන් මුහුන දෙන ගැටලුව වන්නේ මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සඳහා අරගලය ඉදිරියට ගෙන යන්නේ කෙසේද යන්නයි. බෙයිජිනය, හොංකොං වලට යාබදව පිහිටි චීනයේ ෂෙන්සෙන් නගරයේ දැඩි ලෙස සන්නද්ධ පැරා-මිලිටරි පොලිසිය ගොනු කරන අතර උද්ඝෝෂන ප්‍රචන්ඩ ලෙස මර්දනය කිරීමට මැදිහත් වන බවට බෙයිජිනය තර්ජනය කර ඇති හෙයින් වඩාත් හදිසි තත්වයක් උද්ගත කෙරී ඇත.

බරපතල සමාජ අසමානතාවය , දැරිය නොහැකි නිවහන් හා ශිෂ්ටසම්පන්න රැකියා නොමැතිකම පිලිබඳ පුලුල් උත්සුකයන් විසින්ද මෙහෙය වෙන දිග්ගැසුනු විරෝධතා වනාහි, ප්‍රන්සයේ “කහ කබා” ව්‍යාපාරය , පුවර්ටෝ රිකෝ හි මහජන පෙලපාලි හා ලොව පුරා වැඩෙන වැඩ වර්ජන ව්‍යාපාරය වැන්නෙන් ප්‍රකාශවන කම්කරු පන්තියේ ගෝලීය පුනර්ජීවනයේ කොටසකි.

හොංකොං හි ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන කම්කරුවන් හා තරුනයින් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා අඛන්ඩ අරගලයක් කල හැකි එකම සමාජ බලවේගය වන කම්කරු පන්තියේ වර්ධනය වන මෙම ගෝලීය ව්‍යාපාරය වෙත යොමු විය යුතුය. පන්ති අරගලයේ නැගීමට රටක් රටක් පාසා සෑම රටකම පාලක පන්තිවල ප්‍රතිචාරය වන්නේ පොලිස් රාජ්‍ය ක්‍රියා මාර්ග වෙත හැරීම සහ අන්ත දක්ෂිනාංශික හා ෆැසිස්ට් බලවේග ප්‍රවර්ධනය කිරීමයි.

හොංකොං කම්කරුවෝ විශේෂයෙන් තමන් මෙන්ම එකම පන්ති සතුරාට, එනම් සමාජවාදී හෝ කොමියුනිස්ට්වාදී නොවන්නාවූ සංගත ප්‍රභූ පැලැන්තියේත් සහ සුපිරි-පොහොසතුන්ගේත් උත්සුකයන් ආරක්ෂා කරන බෙයිජිංහි ස්ටැලින්වාදී තන්ත්‍රයට මුහුන දෙන චීනයේ සිටින තම පංති සහෝදර සහෝදරියන් වෙත දෑත් දිගු කල යුතුය.

හොංකොං විරෝධතා රැඩිකල් අන්තවාදීන් අතලොස්සකගේ හෝ එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ “කලු හස්තයේ” නිෂ්පාදනයක් යැයි බීජිනය විසින් ප්‍රචාරය කරන ලද බොරුව කම්කරු පන්තිය ප්‍රතික්ෂේප කල යුතුය- මිලියන සංඛ්‍යාත ජනතාවක් විරෝධතාවන්ට සම්බන්ධ වීම යන කරුන මගින් මෙම ප්‍රකාශය නිෂ්ප්‍රභ වෙයි. එපමනක් නොව, ඔවුන්ට තම රටවල් තුල මහා ජන ප්‍රතිරෝධයනට මුහුන දීමට සිදු විය හැකි බව වටහා ගනිමින්, වොෂිංටනය සහ එහි සහචරයින් සාමාන්‍යයෙන් අනුකම්පාව දැක්වූයේ විරෝධතාකරුවන්ට නොව බීජිනයට ය

හොංකොං හි උද්ඝෝෂන වල ප්‍රධාන දේශපාලන දුබලතාවය නම්, සිය පන්ති අවශ්‍යතා වන සමාජවාදී ජාත්‍යන්තරවාදය ප්‍රකාශ කරන වැඩපිලිවෙල සඳහා සටන් කරන කම්කරු පන්ති නායකත්වයක් නොමැති වීමයි. එහි ප්‍රතිඵල වශයෙන්, විරෝධතා ව්‍යාපාරයෙ දේශපාලනික ආධිපත්‍යය දරනු ලැබුවේ ප්‍රාදේශිය හොංකොං උත්සුකයන්ට අවධානය පටු ලෙස එල්ල කෙරුනු ධනවාදී පක්ෂ, කනඩායම් සහ වෘත්තීය සමිති විසින් ය.

එහි ඉල්ලීම් හැඩ ගැසී ඇත්තේ හොංකොං හි ව්‍යවස්ථාදායක සභාවේ සර්ව-ප්‍රජාතන්ත්‍රවාදී කන්ඩායමට සම්බන්ධ රාජ්‍ය නොවන සංවිධාන, දේශපාලන පක්ෂ සහ කනඩායම් එකතුවකින් සමන්විත සිවිල් මානව හිමිකම් පෙරමුන විසිනි. විපක්ෂ සර්ව-ප්‍රජාතන්ත්‍රවාදීන් නියෝජනය කරන්නේ බීජිංහි ක්‍රමික ආක්‍රමනය ගැන සැලකිලිමත් වන නමුත් තමන්ගේ ලාභ හා ව්‍යාපාර වලට තර්ජනයක් වන කම්කරු පන්තියේ ව්‍යාපාරයකට දැඩි ලෙස සතුරු වන නගරයේ සංගත ප්‍රභූ පැලැන්තියේ අවශ්‍යතාය.

දස දහස් ගනනක් කම්කරුවෝ වෘත්තීය සමිතිවලින් ස්වාධීනව අගෝස්තු 5 වන දින මහා වැඩ වර්ජනයකට (දශක ගනනාවකින් පලමුවැන්න) සහභාගී වූහ. සර්ව-ප්‍රජාතන්ත්‍රවාදීන් සමඟ පෙලගැසී ඇති වෘත්තීය සමිති සම්මේලනය (සීටීයූ) මහා වැඩ වර්ජනයට නාමිකව සහාය දුන් නමුත් එහි 200,000 කට ආසන්න සංඛ්‍යාවක් සහිත සාමාජිකයන් වෙත වැඩ වර්ජනයක් සඳහා කැඳවුම් කලේ නැත. කම්කරු ජාත්‍යන්තරයක් සඳහා වන කමිටුවට (Committee for a Workers International) අනුබද්ධිත සමාජවාදී ක්‍රියාකාරිත්වය (Socialist Action) වැනි ව්‍යාජ වාමාංශික කන්ඩායම් අන් සියල්ලටම වඩා මෙම ධනේශ්වර ගැති වෘත්තීය සමිති හා නිල විරුද්ධ පක්ෂවලට කම්කරුවන් බැඳ තබා ගැනීමට උත්සාහ කර ඇත.

සර්ව-ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ ඉදිරිදර්ශනය වන්නේ සීමිත සහන ලබාගැනීම උදෙසා, බීජිනය සහ හොංකොං පරිපාලනය තල්ලු කිරීමට විරෝධතා ගසාකෑමයි. එසේ කිරීමෙදී, සීසීපී යන්ත්‍රයටද පීඩනය යොදන ලෙස, ප්‍රධාන බලවතුන්ට, විශේෂයෙන් ම එක්සත් ජනපදයට සහ හිටපු යටත් විජිත පාලක බ්‍රිතාන්‍යයට ද, ඔවුන් ආයාචනා කරති.

හොංකොංහි හෝ වෙනත් ඕනෑම තැනක ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීම ගැන වොෂිංටනයට හෝ ලන්ඩනයට අවම සැලකිල්ලක්වත් නැත. “මානව හිමිකම්” ධජය යටතේ එක්සත් ජනපදය සහ එහි සහචරයින් බෝල්කන්, මැදපෙරදිග හා මධ්‍යම ආසියාවේ සාපරාධී ආක්‍රමනකාරී යුද්ධ දියත් කර ඇති අතර රටක් රටක් පාසා පාලන තන්ත්‍ර වෙනස් කිරීමේ මෙහෙයුම් උසිගන්වා ඇත.

හොංකොං කම්කරුවන් ඔවුන්ගේ අභියාචනා ආමන්ත්‍රනය කල යුත්තේ වොෂිංටනයට හා ලන්ඩනයට නොව ෂෙන්ෂෙන්, ෂැංහයි සහ බීජිං වැනි චීන නගරවල සිය මිලියන ගනනක් කම්කරුවන්ට ය.

හොංකොං හි දිග්ගැස්සුනු විරෝධතා නිසැකවම මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කිරීමට තරුනයින්ගේ ඇති අධිෂ්ඨානය හා ධෛර්යය පිලිබිඹු කරයි. කෙසේ වෙතත්, කම්කරු පන්තිය වෙතට හැරීමකින් තොරව, විරෝධතා අවසන් වනු ඇත්තේ ව්‍යසනයකින් ය. එනම් එක්කෝ සර්ව-ප්‍රජාතන්ත්‍රවාදීන් සහ සිවිල් මානව හිමිකම් පෙරමුනේ කුනුවූ සම්මුතියක් මගින් හෝ බීජිංහි ස්ටැලින්වාදී තන්ත්‍රය සහ එහි ආරක්ෂක හමුදා විසින් එම ව්‍යාපාරය ලේවැකි ලෙස මර්දනය කිරීම මගින් ය.

චීන කම්කරු පන්තිය එක්සත් කිරීම සඳහා, සීසීපීයේ චීන දේශප්‍රේමය සහ හොංකොං ප්‍රදේශවාදය ඇතුලු සියලු ආකාරයේ ජාතිකවාදයට හා ස්වෝත්තමවාදයට විරුද්ධ වීම අත්‍යවශ්‍ය වේ. “මහා- භූමි වැසියන්ට” (මහජන චීන ජාතිකයන්ට) එරෙහිව ප්‍රචන්ඩකාරී ප්‍රකෝප කිරීම් සිදු කර ඇති ‘හොංකොංහි ස්වදේශික' සහ ‘සිවික් පැෂන්' (Hong Kong Indigenous and Civic Passion) වැනි දක්ෂිනාංශික කනඩායම් සමඟ ප්‍රදේශවාදය විශේෂයෙන් නපුරු ස්වරූපයන් ගනී. රැකියා හිඟය සහ මිල අධිකවීමට වගකිව යුත්තේ චීන මහා භූමිවැසියන් නොව ජීවිතයේ සෑම අංශයක්ම සංගතවාදී ලාභයට යටත් කරන පීඩාකාරී ධනේශ්වර ක්‍රමය යි.

ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කිරීම සඳහා සමාජවාදී ජාත්‍යන්තරවාදය මත පදනම් වූ කම්කරු පංති පක්ෂයක් ගොඩනැගීම අවශ්‍ය වේ. මේ සඳහා 20 වන සියවසේ ප්‍රධාන මූලෝපායික අත්දැකීම් පිලිබඳව දේශපාලන පැහැදිලි කිරීමක් අවශ්‍ය වේ, සියල්ලටමත් වඩා ස්ටැලින්වාදයේ සහ එහි චීන ප්‍රභේදය වන මාඕවාදයේ ද්‍රෝහී භූමිකාව යි. 1949 විප්ලවයෙන් මතුවූ විකෘති වූ කම්කරු රාජ්‍යයට වගකිව යුත්තේ “තනි රටේ සමාජවාදය” පිලිබඳ ප්‍රතිගාමී ස්ටැලින්වාදී න්‍යායයි. චීනය ආවෘත අන්තයකට ගෙන ගිය සීසීපී ය 1970 සිට එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සමඟ එකඟත්වයකට එලඹී ධනවාදී පුනස්ථාපනය කරා යොමු විය. සීසීපීය අද හසුරුවන්නේ සුපිරි ධනවත් කතිපයාධිකාරීන් අතලොස්සකගේ අවශ්‍යතා ආරක්ෂා කරන ධනවාදී පාලන තන්ත්‍රයක් ය.

හොංකොං, චීනයේ බ්‍රිතාන්‍ය යටත් විජිත භූමි ප්‍රදේශයක් ලෙස පැවතීමම පෙන්නුම් කරන්නේ අධිරාජ්‍යවාදය සමඟ සම්මුතියක් ඇති කර ගැනීම සඳහා මාඕවාදී තන්ත්‍රයෙ කැමැත්තයි. 1949 දී හොංකොං හි කම්කරු පන්තිය බ්‍රිතාන්‍ය යටත් විජිතවාදීන් පලවා හැරීම සඳහා අරගලයක් කිරීමට සූදානම්ව සිටි බවට කිසිදු සැකයක් නැත, නමුත් සීසීපීය එහි ගොවි හමුදාවන් සමඟ එක්ව අරමුනු කලේ ඕනෑම චීන නගරයක කම්කරුවන්ගේ ස්වාධීන ක්‍රියා මර්දනය කිරීමට ය. අඩ සියවසකට පමන පසු බ්‍රිතාන්‍යය සිය වානිජ හුවමාරු මධ්‍යස්ථානය බීජිනයට භාර දීමට කැමැති වූයේ, හොංකොං හා චීනය යන දෙකෙහිම ඇත්තේ පද්ධති දෙකක් නොව ධනවාදය පමනක් බව ඔවූහු හොඳින් දැන සිටි නිසාය.

අර්ථවත් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරන සිදුකිරීමට සීසීපීයට සහ හොංකොං හි එහි දේශපාලන අතවැසියන්ට බලපෑම් කෙරෙනු ඇතැයි ඇතැයි විශ්වාස කරන ඕනෑම අයෙකු , තියනැන්මන් චතුරශ්‍ර සංහාරය ලෙස හදුන්වන 1989 සිදුවීම් සිහිපත් කරගත යුතුය. ශිෂ්‍යයන්ගේ පමනක් නොව, බීජිංහි සහ චීනය පුරා කම්කරු පන්තියේ මහජන ව්‍යාපාරයකට මුහුන දුන් ස්ටැලින්වාදී තන්ත්‍රය ලේවැකි මිලිටරි මර්දනයක් දියත් කිරීමට පසුබට නොවූහ.

කෙසේ වෙතත්, එවැනි ප්‍රතිඵලයක් අනිවාර්ය නොවීය. මිලියන සංඛ්‍යාත කම්කරුවන් සම්බන්ධ වූ මහජන ව්‍යාපාරය පාලන තන්ත්‍රයේ හදවතම දෙදරුම් කැවීය. මිලිටරි මර්දනයට පූර්ව තීරනාත්මක සතිවලදී, අද හොංකොං හි මෙන්ම චීනයේ ද නොතිබූ දෙය වූයේ ස්ටැලින්වාදයේ පාවාදීම්වල පාඩම් ගැඹුරින්ම උකහා ගත් විප්ලවවාදී නායකත්වයකි. අද වන විට දැවෙන අවශ්‍යතාව එයයි: ස්ටැලින්වාදයට හා සියලු ආකාරයේ අවස්ථාවාදයන්ට එරෙහිව දශක ගනනාවක් පුරා අරගල කල එකම ව්‍යාපාරය වූ ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය වන හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශාඛාවක් ගොඩනැගීම යි.

පීටර් සිමන්ඩ්ස්

Share this article: