පොලිස් රාජ්‍ය පාලනය යුක්තිසහගත කිරීමට වොෂින්ටනය “දේශීය ත්‍රස්තවාදය” පිලිබඳ කතාව යොදා ගනියි"

Washington invokes "domestic terrorism" to justify police state rule

2019 අගෝස්තු 28

එක්සත් ජනපදයේ සමාජ විරෝධය මැඩපැවැත්වීම සඳහා එක්සත් ජනපද නීති සම්පාදකයින්, හමුදා නායකයින් සහ ඔත්තුසේවා ඒජන්තයින්ගෙන් සමන්විත ද්විපක්ෂ කන්ඩායමක් විධායක ශාඛාවට ඒකාධිපති බලතල ලබා දීම සඳහා රහසිගත මෙහෙයුමක නිරත ව සිටිති.

ජුලි 27 වන දින ඩොනල්ඩ් ට්‍රම්ප් රාජ්‍ය සංවිධාන තුල මෙම ව්‍යාපාරය පිලිබඳ ව අවබෝධයක් ලබා දෙමින් ට්විටර් පනිවුඩයක් නිකුත් කරමින් මෙසේ කියා සිටියේ ය, “ (එම්එස් -13 සහ වෙනත් අය සමඟ) ඇන්ටිෆා ...ප්‍රධාන ත්‍රස්ත සංවිධානයක් වන බව ප්‍රකාශයට පත් කිරීම පිලිබඳව සලකා බැලෙමින් තිබේ. පොලිසියට ඔවුන්ගේ රාජකාරිය කිරීම පහසු කරවනු ඇත! ” අගෝස්තු 17 වන දින ට්‍රම්ප් නැවතත් එම තර්ජනය ම කලේ ය.

මධ්‍යම පන්තික විරෝධතාකරුවන් මෙන් ම සැකයකින් තොර ව, පොලිස් ප්‍රකෝපකාරීන් ඇතුලත් දියාරු කල්ලියක් වන ඇන්ටිෆා ව්‍යාපරය සමග අනන්‍ය ක්‍රියා, ට්‍රම්ප් විසින් ඩැහගෙන ඇත්තේ, හිට්ලර්ගේ තුන්වන රයිකයේ සිට චිලී රටේ පිනෝෂේ දක්වා වූ පොලිස් රාජ්‍ය ඒකාධිපතිත්වයේ ප්‍රමුද්‍රාවක් වූ, ෆැසිස්ට්වාදයට වන ඕනෑ ම රූපාකාරයක් “ත්‍රස්තවාදය” ලෙස හංවඩු ගසනු පිනිස ය.

ට්‍රම්ප් හුදෙක් පෞද්ගලික මතයක් ප්‍රකාශ කරමින් සිටිනවා නො වේ. වර්ධනය වන වැඩවර්ජන හා විරෝධතා මෙන් ම වැඩිවන ජාත්‍යන්තර සමාජ නොසන්සුන්තාව ඉදිරියෙහි, සංගත ලාභ ප්‍රවාහය පවත්වා ගෙන යාමට හා පුළුල් මහජනතාවගේ විරෝධයට එරෙහිව පෙර නොවූ විරූ ආකාරයේ සමාජ අසමානතාව රැකීමට ඒකාධිපති පාලන රූපාකාරයක් අවශ්‍ය බව ඇමරිකානු පාලක පන්තිය ඒත්තු ගනිමින් සිටී. එක්සත් ජනපද ප්‍රකෝටිපතියන් තිදෙනෙකු එක්සත් ජනපද ජනගහනයෙන් අඩකගේ තරම් ධනය පාලනය කරන තතු යටතේ, ප්‍රජාතන්ත්‍රවාදී පාලනයේ ගෙවී ගිය රූපාකාරයන් පවා අස්ථීර වී ඇත.

“ජාතික හදිසි තත්වය” මගින් ට්‍රම්ප් වඩ වඩා නීති සම්පාදනය කරන්නේ, එක්සත් ජනපද භූමියේ හමුදා යෙදවීම, දේශසීමා තාප්පයක් ඉදි කිරීම සඳහා පෙන්ටගනයේ අරමුදල් හරවා යැවීම, නියමිත ක්‍රියාදාමය අවසන් කරන බවට තර්ජනය කිරීම හා වර්තමානයේ මංමුලා සහගත සරනාගතයින්ගෙන් පිරී ඇති වහල් කඳවුරු ජාලයක් ඉදිකිරීම සඳහා ය.

යුද නීතිය, වාමාංශික විරුද්ධවාදීන් සමූහ වශයෙන් අත්අඩංගුවට ගැනීම හා අන්තර්ජාලය වසා දැමීම ඇතුලත් ඊලඟ පියවරයන් මහජනයාට හොරෙන් වර්ධනය කෙරෙමින් පවතී.

නිදසුනක් වශයෙන්, බ්‍රෙනන් මධ්‍යස්ථානයේ සම අධ්‍යක්ෂිකා එලිසබෙත් ගොයිටේන් පෙබරවාරි මාසයේ අත්ලාන්තික් සඟරාවේ සඳහන් කල පරිදි, “එක්සත් ජනපද අන්තර්ජාල ගමනාගමනය, ඇතම් වෙබ් අඩවිවලට සමීපවීමේ ප්‍රවේශයන් ” මෙන්ම “එක්සත් ජනපදය මැදිහත්වන යුද තත්වයක් හෝ තර්ජනයක් පවතින” බවට ජනාධිපති කරන ප්‍රකාශ මත “අන්තර්ජාලය වසා දැමීම, විද්‍යුත් තැපෑල බෙදා හැරීම අවහිර කිරීමට මෙන් ම ඇමසන් ඇලෙක්සා වැනි ස්මාර්ට් ස්පීකර මෙහෙය වීමට,” 1934 සන්නිවේදන පනතේ වගන්තියක් විධායක අංශයට බලය ලබා දෙන බව මිලිටරි ඔත්තුසේවා ඒජන්සි විසින් දැන් නිර්වචනය කරන බව දැක්විය හැක.

ආන්ඩුව ව්‍යවස්ථාව අහෝසි කිරීමට මෙන් ම සමූහ අත්අඩංගුවට ගැනීම් ක්‍රියාත්මක කිරීමේ සැලැසුම් ද වර්ධනය කරමින් සිටී. 2012 සිට, දැවන්ත සමාජ නොසන්සුන්තාව, වැඩ වර්ජන සහ විරෝධතා ඇතුළු ජාතික හදිසි අවස්ථා වලදී “රජයේ හදිසි අවස්ථාවන්” සැලසුම් කිරීම සඳහා භාවිතා කෙරෙන ජනාධිපති හදිසි ක්‍රියාකාරී ලියකියවිලි (පීඒඩීඑස්) නම් රහසිගත විධායක නියෝග යාවත්කාලීන කිරීම සඳහා අරමුදුල් සැපයීම සඳහා වන අධිකරන දෙපාර්තමේන්තුවේ ඉල්ලීම්වලට කොංග්‍රසය අවසර දී ඇත.

“ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව අත්හිටුවීම, එක්සත් ජනපදයේ පාලනය මධ්‍යම ආන්ඩු හදිසි කලමනාකරන ඒජන්සියට(ෆෙමා) වෙත පැවරීම, ප්‍රාන්ත හා පලාත් පාලන ආයතන පාලනය සඳහා මිලිටරි අනදෙන්නන් පත්කිරීම හා අර්බුද අවස්ථාවක දී මාර්ෂල් නීතිය ප්‍රකාශ කිරීම” සඳහා බලය පවරන හදිසි සැලැස්මක් පිහිටුවීමට ලුතිනන් කර්නල් ඔලිවර් නෝර්ත් සහ ෆෙමා ඒජන්සිය වෙත බලය පැවරීම සමහර විට වඩාත්ම ප්‍රසිද්ධ හදිසි ක්‍රියාකාරී ලියවිල්ල විය. ද මියාමි හෙරල්ඩ් පත්‍රය 1987 තම හෙලිදරව්ව තුල මෙම වැඩසටහන වාර්තා කලේ “රෙක්ස් 84” නමිනි.

එවැනි සැලසුම් අක්‍රිය නො වන බව ගොයිටේන් සටහන් කරයි:“2007 ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ වාර්තාවක් ‘යුද නීතිය’සහ ‘ඇඳිරි නීතිය ප්‍රකාශ කිරීම’හදිසි අවස්ථා වල දී ප්‍රාදේශීය, ප්‍රාන්ත සහ මධ්‍යම ආන්ඩුව ඉටු කල යුතු ‘තීරනාත්මක කාර්යයන්’ ලෙස ලැයිස්තු ගත කරයි. 2008 දී රජයේ ආරංචි මාර්ග රේඩාර් සඟරාවේ වාර්තාකරුවෙකුට පැවසුවේ, ආරක්ෂක දර්ශකයේ අනුවාදයක් [20 වන සියවසේ මැද භාගයේ සමූහ අත්අඩංගුවට ගැනීමේ ලැයිස්තුව] මේන් කෝර් යන කේත නාමය යටතේ තවමත් පවතින්නේ, ආරක්ෂක තර්ජන ලෙස සලකුනු කර ඇති ඇමරිකානුවන් බිය ගැන්වීමට හා රඳවා තබා ගැනීමට ඉඩ සලසමිනි.”

ඇන්ටිෆා “ප්‍රධාන ත්‍රස්තවාදී සංවිධානයක්” ලෙස හංවඩු ගැසීමේ ට්‍රම්ප්ගේ ජුලි 27 සහ අගෝස්තු 17 ට්වීටර් පනිවිඩ, දැවැන්ත වාරනයකින් සහ විසම්මතිකයන් නිහඬ කිරීමෙන් පමනක් ක්‍රියාත්මක කල හැකි පොලිස් රාජ්‍ය සැලසුම්වල ප්‍රකාශනයකි. විකිලීක්ස් නිර්මාතෘ ජූලියන් අසාන්ජ් සහ රහසිගත තොරතුරු හෙලි කරන්නියක වන චෙල්සි මැනිං සිරගත කිරීම හා අපකීර්තියට පත් කිරීමේ ජාත්‍යන්තර අධිරාජ්‍යවාදී උද්ඝෝෂනය පිටුපස මෙම සැලසුම් තිබේ. ඔවුන් දෙදෙනා ම මෙවැනි අපරාධ ලොවට හෙලි කිරීමේ “අපරාධය” වෙනුවෙන් සිර ගත කෙරී සිටිති.

මෙම සැලසුම් ද්විපාක්ෂික වේ.

නියෝජිත මන්ත්‍රී මන්ඩල ඔත්තුසේවා කමිටුවේ ඩෙමොක්‍රටික සභාපති ඇඩම් ෂිෆ් මෑතක දී “දේශීය ත්‍රස්තවාදයේ තර්ජනයට මුහුනදීමේ පනත” හඳුන්වා දුන්නේ ය. සම්මත කිරීමට වැඩි ඉඩක් ඇති මෙම පනත් කෙටුම්පත මගින්, “බිය ගැන්වීමෙන් හෝ බලහත්කාරයෙන් ආන්ඩුවේ ප්‍රතිපත්තියට බලපෑම් කිරීමට උත්සාහ කරන ක්‍රියාකාරකම්වල යෙදෙන්නේ නම් හෝ කුමන්ත්‍රනය කරන්නේ නම්, හා එම ක්‍රියාකාරකම ස්වභාවයෙන්ම ඕනෑම කම්කරුවන්ගේ වැඩ වර්ජනයක් මගින් සිදු කෙරෙන පරිදි, “අන්තර් රාජ්‍ය හෝ වෙලඳාමට” බලපාන්නේ නම්, එම පුද්ගලයන්ට හෝ කන්ඩායම්වලට එරෙහිව නඩු පැවරීමට නීතිපතිවරයාට ඉඩ සැලසේ. ”. “කුමන්ත්‍රන” වගන්තිය මගින් දේශපාලන මතය මත පමනක් පදනම් ව පුද්ගලයන්ට එරෙහිව නඩු පැවරීමට පහසුකම් සැලසෙනු ඇත.

ඩිමොක්‍රටිකයින් සහ ඩිමොක්‍රටික් බද්ධ පුවත්පත් මෙම මුල් පියවර හඳුන්වා දෙන්නේ දක්ෂිනාංශික සමූහ ඝාතකයින්ට එරෙහිව එල්ල කෙරුනක් ලෙස ය. නමුත් සෑම ප්‍රාන්තයක ම වෙඩි තැබීම්, බෝම්බ හෙලීම් සහ වෙනත් ත්‍රස්තවාදී ප්‍රචන්ඩ ක්‍රියා දැනටමත් නීති විරෝධී බැවින්, යෝජිත නීතියේ එකම අරමුන වන්නේ “දේශීය ත්‍රස්තවාදීන්” ලෙස ලැයිස්තුගත කරනු ලබන අය සමඟ නිදහස් සන්ධානය සාපරාධී යැයි නම් කිරීම ,හා එමෙන්ම පලමු සංශෝධනයෙන් ආරක්‍ෂිත භාෂන හා ක්‍රියාකාරකම්වල යෙදී සිටින එක්සත් ජනපද පුරවැසියන්ට එරෙහිව දේශප්‍රේමී පනත වැනි විදේශ ත්‍රස්තවාද විරෝධී නීති යොදා ගැනීම යි. අවසාන විග්‍රහයේදී මෙය එල්ල කර ඇත්තේ කම්කරු පන්තියට එරෙහිවයි.

නීති මහාචාර්යවරයෙකු මෙන් ම අධිකරන දෙපාර්තමේන්තුවේ හිටපු නීතිපතියෙකු වන රොබට් චෙස්නි උද්‍යෝගයෙන් යුතු ව පැහැදිලි කරන පරිදි, දේශීය ත්‍රස්තවාදී නීතිය ආන්ඩුවට “තහනම් සංවිධාන ලැයිස්තුවක් සම්පාදනය කිරීමට ඉඩ දෙනු ඇත. එයට අනුව දැනුවත්ව ඕනෑම ආකාරයක ආධාරයක් සැපයීම (කන්ඩායමක නියෝගයකට යටත් වන පුද්ගලයෙකු බවට පත්වීම පවා) අපරාධයක් වන්නේ ය.”

ඊට අමතරව, “දේශීය ත්‍රස්තවාදය” නෛතික ප්‍රභේදයක් බවට පත් කරන්නේ නම්, ජාතික ආරක්ෂක බලය දීමේ පනතේ (එන්ඩීඒඒ) 1021 සහ 1022 වගන්ති මගින්,“අන්ත” දේශපාලන අදහස් මත පදනම් ව “සැක කල ත්‍රස්තවාදියෙකු” ලෙස ලේබල් කරන ලද කිසිවෙකු අත්අඩංගුවට ගෙන දින නියමයක් නොමැතිව රඳවා තබා ගැනීමේ බලය විධායක ශාඛාවට ලබා දීමට ඉඩ ඇත.

ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය දේශීය නීතියට හඳුන්වා දීමෙහි නීතිමය වැදගත්කමට වඩා වැඩි දෙයක් ඇත. දශක දෙකකට ආසන්න කාලයක් තිස්සේ, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය පශ්චාත් යුධ සමය තුල තමන් භුක්ති විඳි ආධිපත්‍යය පවත්වා ගැනීමේ මංමුලා සහගත උත්සාහයේ දී ජාත්‍යන්තර කම්කරු පන්තියට එරෙහිව වඩාත් ම්ලේච්ඡ හා සාපරාධී ක්‍රම භාවිතා කර තිබේ.

මේ අරමුනු සඳහා, එක්සත් ජනපදය ඉරාකය, සිරියාව, ඇෆ්ගනිස්ථානය, යේමනය, ලිබියාව, පකිස්ථානය, සෝමාලියාව සහ වෙනත් රටවල මිලියන ගනනක් පුද්ගලයන් ඝාතනය කර තිබේ. “ත්‍රස්තවාදයට” එරෙහිව සටන් කිරීමේ මුවාවෙන්, එක්සත් ජනපදය ලෝකයේ භූදේශපාලනික මර්මස්ථාන හා ස්වාභාවික සම්පත් පාලනය කිරීමට සටන් කර තිබේ. නමුත් මෙම යුද්ධ කිසිවක් විසඳා නැත. ඒවා රට තුල දැවැන්ත විරෝධයක් ඇති කර ඇති අතර ඇමරිකානු අධිරාජ්‍යවාදය මුහුන දෙන ඓතිහාසික අර්බුදය පතුරුවා හැර තිබේ.

කම්කරු පන්තිය සූරාකෑමේ මට්ටම උපරිම කිරීමට සහ මහජනයා ත්‍රස්ත කර යටත් කිරීමට උත්සාහ කරමින්, පාලක කතිපයාධිකාරයේ දේශපාලන බලයේ ඒකාධිකාරය සහතික කිරීම සඳහා එක්සත් ජනපදය තුලම එක සමාන හෝ වඩා වැඩි කුරිරු හා සාපරාධී ක්‍රමවේදයන් දැන් සැලසුම් කෙරෙමින් තිබේ.

ට්‍රම්ප් දැන් ලෙලවමින් සිටින බලතල නිර්මානය කිරීමේ දී කොංග්‍රස් මන්ඩල ඩිමොක්‍රටිකයින් ප්‍රධාන දායකයන් වී සිටින්නේ, දේශප්‍රේමී පනතට අතිවිශාල ලෙස ඡන්දය ප්‍රකාශ කරමින්, නඩු විභාගයකින් තොරව ඇමරිකානු පුරවැසියන් ඝාතනය කිරීමේ අයිතිය තහවුරු කිරීමේ දී ඔබාමා පාලනාධිකාරියට සහාය දෙමින්, හා ධවල මන්දිරයේ කෘර පාලකයාගේ වඩාත් දරුනු ආඥාදායක ක්‍රියා පවා අනුමත කරමිනි.

ඒකාධිපතිත්වය නිර්මානය කිරීම තුල ඩෙමොක්‍රටිකයන්ගේ භූමිකාව පිලිබිඹු කරන්නේ ට්‍රම්ප්ගේ රිපබ්ලිකානුවන් මෙන් ඔවුන් ම ද මූල්‍ය කතිපයාධිකාරියේ හා පොහොසත් ඉහල මධ්‍යම පන්තියේ උත්සුකයන් ප්‍රකාශ කරතැ යි යන කාරනය යි. මේ දෙගොල්ලන් ම කම්කරු පන්තියේ වැඩෙන ව්‍යාපාරය දෙස බලන්නේ භීතියෙනි.

එක්සත් ජනපදය තුල ආඥාදායකත්වයේ තර්ජනය ජාත්‍යන්තර ක්‍රියාවලියක කොටසකි. ලොව පුරා ආන්ඩු මහජනයා මර්දනය කිරීම සඳහා නෛතික හා භෞතික රූප රාමු නිර්මානය කරමින් සිටී.

එහෙත් මූල්‍යකරුවන්, ජනරාල්වරුන් හා ඔත්තුකරුවන්ගේ කුමන්ත්‍රනකාරී කල්ලිවලට ලෝකය පුරා බිලියන ගනනක් කම්කරුවන් හා තරුනයන්ගේ ප්‍රගාඪ සමාජ විරෝධය මතු වීමකින් තොරව ඒකාධිපතිත්වය සඳහා වන සැලැසුම් ක්‍රියාත්මක කිරීමට නො හැකි වනු ඇත. මෙම විරුද්ධත්වය ධනේශ්වර පන්තියේ හස්ථයෙන් සමාජ පාලනය ඉවත් කිරීමට,මිලිටරි ඔත්තුසේවා ආයතන විසුරුවා හැරීමට හා සමානාත්මවාදී සමාජවාදී පදනමක් මත නිෂ්පාදන බලවේග ප්‍රතිසංවිධානය කිරීමට දැනුවත් අරගලයක් තුල දේශපාලනික බලමුලු ගැන්විය යුතු ය.

එරික් ලන්ඩන්

Share this article: