ගාඩියන් ජනමාධ්‍යවේදී ඕවන් ජෝන්ස්ට එරෙහි ෆැසිස්ට් ප්‍රහාරය

The fascist attack on Guardian journalist Owen Jones

2019 අගෝස්තු 20

ගාඩියන් ජනමාධ්‍යවේදී ඕවන් ජෝන්ස්ට එල්ල වූ ම්ලේච්ඡ ප්‍රහාරය අන්ත-දක්ෂිනාංශයෙන් කම්කරු පන්තියට එල්ල වන අන්තරායන් පිලිබඳ දරුනු අනතුරු ඇඟවීමක් ලෙස ගත යුතු ය.

ගාඩියන් ජනමාධ්‍යවේදී ඕවන් ජෝන්ස්ට එල්ල වූ ම්ලේච්ඡ ප්‍රහාරය අන්ත-දක්ෂිනාංශයෙන් කම්කරු පන්තියට එල්ල වන අන්තරායන් පිලිබඳ දරුනු අනතුරු ඇඟවීමක් ලෙස ගත යුතු ය.

අගෝස්තු 17දා උදෑසන 3.00ට පමන, ලන්ඩනයේ අයිලින්ටන්හි සමාජශාලාවකින් මිත්‍රයන් හයදෙනෙකු ද සමග ජෝන්ස් පිටත් වූ අතර, මිනිසුන් හතරදෙනෙක් “ඍජු ව ඉදිරියට තර්ජනාත්මකව පැමිනියේය. ඔවුන්ගෙන් එක් අයෙක් මගේ පිටුපසට කරාටේ පා පහරක් එල්ල කොට, මාව පොලවට ඇද දමා මගේ හිසට හා පිටුපසට පයින් පහර දීමට පටන් ගත්තේ මගේ මිතුරන් පහර කමින් ඔවුන් ව ඉවතට අදිමින් මා ආරක්ෂා කිරීමට උත්සාහ කරන විටදීය.”

“දේශපාලනික ව ප්‍රේරිත කලින් සැලසුම් කරන ලද ප්‍රහාරයක” ඉලක්කය බවට තමන් පත්වූ බව ජෝන්ස් අවධාරනය කලේ ය. කලින් එල්ල කරන ලද කායික ප්‍රහාර ඇතුලු අන්ත-දක්ෂිනාංශිකයන් විසින් එල්ල කරන ලද ප්‍රහාරවලට ඔහු ව යලි යලිත් ඉලක්ක කරනු ලැබ තිබූ අතර, “දේශපාලනික අභිප්‍රේරනයන් පෙන්නුම් කරන” සාක්ෂි තමන් සතුව ඇතැයි ඔහු කීවේ ය.

ජෝන්ස් සුලු තුවාල ලද නමුත්, ඔහුගේ හිසට පහර දීම නිසා ප්‍රහාරය පහසුවෙන් ම මාරාන්තික වන්නට ඉඩ තිබිනි. සීසීටීවී කැමරා පට තිබෙද්දී හා ඔහුට අතීතයේ දී තර්ජනය කර ඇති අයගේ නම් දන්නේ වුවත්, කිසිවෙකු අත්අඩංගුවට ගෙන නැත. ඒ වෙනුවට මෙට්‍රොපොලිටන් පොලීසිය ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කලේ, මෙම “මුග්ධ ප්‍රහාරය” වෛරී අපරාධයක්දැයි තමන් පරීක්ෂන පවත්වමින් සිටින බව යි. ජනමාධ්‍ය දැනට මත් කතන්දරය ඇතුලු පිටුවලට මාරු කර ඇත.

ජෝන්ස් යනු එක්සත් රාජධානිය තුල සැලසුම් කරන ලද කායික ප්‍රහාරයකට බඳුන් වූ නවතම ප්‍රමුඛ පෙලේ වාමාංශික පුද්ගලයා පමනි. 2016 ජුනි මාසයේ දී, “බ්‍රිතාන්‍යය පලමුව” යයි කෑගසමින් ෆැසිස්ට්වාදියෙක් වන තෝමස් මායිර් ලේබර් පක්ෂ මන්ත්‍රීනී ජෝ කොක්ස්ට වෙඩි තබා පිහියෙන් ඇන මරා දැමුවේ ය. එවකට පැවතී ගිය බ්‍රෙක්සිට් ජනමත විචාරන උද්ඝෝෂනයේ දී යුරෝපා සංගමය තුල රැඳී සිටීම වෙනුවෙන් ප්‍රමුඛ ව උද්ඝෝෂනය කල තැනැත්තියක් වූයේ කොක්ස් ය.

2018 ජූලි මාසයේ දී දුම්රිය, නාවුක හා ප්‍රවාහන වෘත්තීය සමිතියේ සහකාර ප්‍රධාන ලේකම් වූ ස්ටීව් හෙඩ්ලිට හා ඔහුගේ සගයාට, ලන්ඩනයේ පැවති වර්ගවාදයට නැගී සිටිනු යන විරෝධතාවකින් පසුව සමාජශාලාවකදී ෆැසිස්ට්වාදීන් විසින් දරුනු ලෙස පහර දෙනු ලැබිනි. එහි දී ද කිසිදු අත්අඩංගුවට ගැනීමක් සිදු වූයේ නැත.

2017 දී, ෆින්ස්බරි උද්‍යාන මුස්ලිම් පල්ලියෙන් පිටත සෙනගක් මතට කුලියට ගත් වෑන් රථයක් ධාවනයට කොට, මුස්ලිම් යාඥා කරන්නෙකු ඝාතනය කොට තවත් 12කට තුවාල සිදු කල ඩැරන් ඔස්බෝන්ගේ 2018 වසරේ පැවති නඩුවේ දී, ලේබර් පක්ෂ නායක ජෙරමි කෝබින් හා ලන්ඩන‍යේ ලේබර් පක්ෂ නගරාධිපති සාදික් කාන් ඝාතනය කිරීමට සැලසුම් කරන බව ඔහු පිලිගත්තේ ය.

මාර්තු මාසයේ දී, ෆින්ස්බරි උද්‍යාන මුස්ලිම් දේවස්ථානයේ මුස්ලිම් සුභසාධක නිවාසයේ දී අන්ත-දක්ෂිනාංශික මැරයෙක් හා බ්‍රෙක්සිට් ආධාරකරුවෙක් වන ජෝන් මර්ෆි කෝබින්ගේ හිසට පහර දුන්නේ ය. “සාමාන්‍ය ප්‍රහාරයක්” එල්ල කිරීමේ දී වරදට පසුව මර්ෆිට දින 28ක සිර දඬුවමක් පමනක් පනවන ලදී. කෝබින් ආරක්ෂා කිරීමට කිසිම පොලිස් නිලධාරියෙක් නොසිටියේය.

අප්‍රේල් මාසයේ දී, නැෂනල් ඇක්ෂන් (ජාතික ක්‍රියාවේ) නව නාසි සාමාජික ජැක් රෙන්ෂෝ, 2017 දී රෝමන් ග්ලේඩියස් අඟල් 19 කඩුවක ආදර්ශනයක් යොදාගෙන ලේබර් පක්ෂ මන්ත්‍රී රොසී කූපර් ඝාතනය කිරීම සැලසුම් කිරීමට වරදකරු බවට පත් විය.

එතරම් ප්‍රමුඛ නො වන පුද්ගලයන්ට ද දේශපාලනික ව ප්‍රේරිත ප්‍රහාර එල්ල වී තිබේ. 2018 ඔක්තෝබරයේ, බ්‍රෙක්සිට් පිලිබඳ ලේබර් පක්ෂ රැස්වීමකින් පිටත් වූ ජේඩ් ඌනල්ට පහර දෙනු ලැබූ අතර හිසට ඇති වූ කම්පනයෙන් ඇය දින පහක් පීඩා වින්දා ය. ඇයට පහර දුන් අය ඇය ජීවත් වන්නේ කොහේදැයි දන්නා බව කීවේ, ඌනල්ට හා ඇගේ දියනියට සැඟවීමට බලකරමිනි. එහි දී ද කිසිදු අත්අඩංගුවට ගැනීමක් සිදු නො වුනි.

ජෝන්ස්ට එල්ල වූ ප්‍රහාරයේ බියගුලු ස්වභාවය, ෆැසිස්ට්වාදීන් විසින් එල්ල කරන තර්ජනය ඔවුන්ට මහජන පදනමක් තිබෙන නිසා නො වන බව තහවුරු කරයි. මෙම කන්ඩායම්වල සාමාජිකත්වය දස ගනන් හා සිය ගනන් ය. ෆැසිස්ට්වාදීන්ට වාසිය පිනිස පවතින්නේ, පාලක පන්තිය හා එහි රාජ්‍ය යාන්ත්‍රනය විසින් ඔවුන් ට අන්තයට ම පිටුබලය දීම හා ආරක්ෂා කිරීමත්, ප්‍රධාන පක්ෂ හා මාධ්‍ය විසින් ඔවුන්ට දෘෂ්ටිවාදාත්මක සහයෝගය පිරිනැමීමත් ය.

“වඩ වඩා ප්‍රචන්ඩ බවට හැරෙමින් සුලුතරයන් හා වමේ පුද්ගලයන් ඉලක්ක කරගන්නා දිරිගන්වන ලද අන්ත-දක්ෂිනාංශිකයක නැගීමට” මාධ්‍ය හා දේශපාලන සංස්ථාපිතය වගකිව යුතු බව ජෝන්ස් හඳුනාගත්තේ ය. බ්‍රෙක්ස්ට් වෙත දේශපාලනික ව විරුද්ධ වන්නන් “ද්‍රෝහීන්” ලෙස ඉදිරිපත් කරන උද්ධෘත පාඨ, ජාතිකවාදී දක්ෂිනාංශය මාධ්‍ය විසින් දිරිමත් කරන ක්‍රමයට උදාහරයක් ලෙස ඔහු උපුටා දැක්වී ය.

කොක්ස්, ඌනල් හා කෝබින්ට එල්ල වූ ප්‍රහාර ද ඇතුලු ව එක්සත් රාජධානියේ ෆැසිස්ට්වාදී ප්‍රචන්ඩත්වය ඇවිලවීමේ දී අර්ථභාරී සාධකයක් ව ඇත්තේ බ්‍රෙක්සිට්-හිතවාදී පූච්චානම් ය. එහෙත් ධනවාදය එදා-මෙදා තුර ගැඹුරු ම අර්බුදයට ඇදවැටීම, සියලු රටවල් තුල හා පාලක පන්තියේ සියලු කන්ඩායම් විසින් ජාතිකවාදී ප්‍රතිගාමීත්වය ඇවිලවීම සමග අනිවාර්යයෙන් ම අත්වැල් බැඳගනී.

එක්සත් ජනපදයේ, බ්‍රසීලයේ, පිලිපීනයේ, හංගේරියාවේ හා ඉතාලියේ යනාදී අන්ත-දක්ෂිනාංශික ආන්ඩු බලයට පත්වීම, සෑමවිට ම ෆැසිස්ට් ත්‍රස්තයට හැරීම සමග අත්වැල් බැඳගනී. නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් මුස්ලිම් දේවස්ථාන ඝාතක බ්‍රෙන්ටන් ටැරන්ට්, ෆින්ස්බර් උද්‍යාන දේවස්ථාන ප්‍රහාරක ඩැරන් ඔස්බෝන් සහ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු තරුන සංගමයේ ගිම්හාන කඳවුරකට සහභාගි වූ 69 දෙනෙකු වෙඩිතබා ඝාතනය කිරීමට පෙර, ඔස්ලෝ නුවර බෝම්බයක් තබා පුද්ගලයන් අටදෙනෙකු මරා දැමූ නෝවීජියානු අන්ත-දක්ෂිනාංශික මහජන සංහාරක ඇන්ඩර්ස් බ්‍රෙයිවික්, තමන්ට මුස්ලිම්වරුන් 51ක් මරා දැමීමට ප්‍රේරකයක් වූ බව උපුටා දැක්වී ය.

ජර්මනියේ ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනඥ වෝල්ටර් ලුබ්කේ ව, සරනාගතයන් ආරක්ෂා කරමින් කතාකිරීමෙන් පසුව හොඳින් දන්නා නාසිවාදියෙකු විසින් ජුනි 2දා මරා දැමුනි. 2015 ඔක්තෝබරයේ දී, දැනට කොලෝන්හි නගරාධිපති වන ‍හෙන්රියෙතේ රෙකර්ට මැතිවරන උද්ඝෝෂනයක දී පිහියෙන් අනින ලදී. 1990 පටන් අවම වසයෙන් පුද්ගලයන් 169 දෙනෙකු දක්ෂිනාංශිකයන් විසින් මරා දමා ඇත. නිල සංඛ්‍යාලේඛනවලට අනුව, මේ වසරේ මුල් මාස හය තුල දක්ෂිනාංශික අපරාධ 8,600ක් තිබෙන අතර, ඒවාට පුද්ගලයන් 179කට තුවාල සිදුකල ප්‍රචන්ඩ ක්‍රියා 363ක් ඇතුලත් ය. පොලීසිය සැකකරුවන් 2,625ක් හඳුනාගෙන ඇතත් අත්අඩංගුවට ගෙන ඇත්තේ 23 දෙනෙකු පමනි.

එක්සත් ජනපදයේ ඒබීසී නිව්ස් හා මදර් ජෝන්ස් යන දෙගොල්ලන් ම, සමූහ වෙඩිතැබීම් හා අනෙකුත් ප්‍රචන්ඩ ක්‍රියා ද ඩොනල්ඩ් ට්‍රම්ප් වර්ගවාදී පූච්චානම් ද අතර සමීප සබඳතාව හඳුනාගෙන තිබේ. ඒබීසී නිව්ස්, ප්‍රචන්ඩ ක්‍රියා, ප්‍රචන්ඩ තර්ජන හෝ ප්‍රහාර පිලිබඳ චෝදනා සමග ඍජු ව ට්‍රම්ප්ගේ නම සම්බන්ධ කරන අපරාධ ක්‍රියා අඩු වසයෙන් 36ක් ලැයිස්තුගත කරයි. මදර් ජෝන්ස්ට අනුව, පසුගිය ඔක්තෝබරයේ සිට මරන 41කට හා අවම වසයෙන් තුවාල ලැබීම් 52කට හේතු වූ අන්ත-දක්ෂිනාංශික දෘෂ්ටිවාදය විසින් ප්‍රේරනය කරන ලද සමූහ වෙඩිතැබීම් හයක් වත් සිදු වී ඇත. මිචිගන් කොංග්‍රස් මන්ත්‍රීනී රෂීඩා ත්ලායිබ්ට හා මිනේසෝටා කොංග්‍රස් මන්ත්‍රීනී ඉලාන් ඕමාර්ට ට්‍රම්ප්ගේ ආධාරකරුවෝ ප්‍රචන්ඩ ලෙස තර්ජනය කර ඇත්තේ ඔවුන්ගේ හිස් කබල තුලට “පතරොමක් ඇතුල් කිරීමට” තර්ජනය කරමිනි.

පාලක ප්‍රභූව විසින් අන්ත-දක්ෂිනාංශය වගාදිගා කිරීමේ උත්සාහයන්ට වෛෂයික මූලයන් පවතී. අතිමහත් ලෙස ධනවත් ප්‍රභූව හා දිවි ගැටගසා ගැනීමට අරගලයේ යෙදෙන බහුතර මහජනයා අතර පරතරය අද තරම් වෙන කවරදා වත් පලල් ව තිබී නැත. ජාත්‍යන්තර ව, පන්ති ආතතීන් බිඳීයාමේ ලක්ෂ්‍යයට ලඟා වී ඇත. සමාජ හා දේශපාලන විරෝධයේ ඉස්මතු වීමෙහි ලක්ෂනයක් වන්නේ, සෑමතැනක ම පාලක පන්තිය වඩ වඩා තියුනු ලෙස ආඥාදායක පාලන රූප වෙතට හැරෙමින් හා කම්කරු පන්තියට එරෙහි ආයුධයක් ලෙස අන්ත-දක්ෂිනාංශික බලයන් වගාදිගා කරමින් එයට ප්‍රතිචාර දැක්වීම යි.

විකිලීක්ස් ආරම්භක ජූලියන් අසාන්ජ් රඳවා තබා තිබෙන බෙල්මාෂ් අධි-ආරක්ෂිත බන්ධනාගාරයේ සිට වාහනයකින් යන්තම් පැය භාගයක දුරක දී එක්සත් රාජධානියේ ප්‍රමුඛතම “වාම” ජනමාධ්‍යවේදීන්ගෙන් එක් අයෙකුට ෆැසිස්ට් ප්‍රහාරය එල්ල වීම අහම්බයක් නො වේ. අසාන්ජ්ට සලකන ආකාරය, ජෝන්ස් අත්වින්දා වූ පහරකෑමට ද වඩා කෘරවේ. මානසික වධබන්ධනයන්ට හා දීර්ඝ-කාලීන හුදකලාභාවයේ බියකරු ශාරීරික බලපෑමට ලක්කරනු ලැබ ඇති අසාන්ජ්ගේ ජීවිතය දැනට මත් පවතින්නේ අනතුරේ ය. ඔහු ජීවත් වන්නේ නම්, අධිරාජ්‍යවාදී යුද අපරාධ හෙලිදරවු කල ජනමාධ්‍යවේදය අනුගමනය කිරීමේ එකම “අපරාධයට” ජීවිතාන්තය දක්වා සිරගත කිරීමට හෝ මරන දඬුවම දීමට ඔහු ව එක්සත් ජනපදයට යැවෙනු ඇත.

අන්ත-දක්ෂිනාංශයට එරෙහි මහජන හතුරුකම අතිමහත් වුවත්, දැනට එය සාරභූත දේශපාලනික ප්‍රකාශනයක් අත්පත් කර නො ගනී. මේ සඳහා අරගලයේ නව අක්ෂයක් අවශ්‍ය වේ.

1930 ගනන්වල හිට්ලර්ගේ බලයට ඒම පෙන්වා දෙන්නේ, ධනවාදයේ “ප්‍රජාතන්ත්‍රවාදී” යයි උපකල්පිත නියෝජිතයන්ට කරන ආයාචනා මගින් ෆැසිස්ට්වාදයට විරුද්ධ විය නො හැකි බව ය. හමුදා ප්‍රධානීන්, මහ ව්‍යාපාරිකය හා ප්‍රධාන ධනේශ්වර පක්ෂවල පිටුබලය සහිත ව හිට්ලර්ට රාජ්‍ය පාලනය පවරන ලදී. විහිදී යන ආර්ථික අර්බුදයක කොන්දේසි යටතේ, කම්කරු පන්තිය ම්ලේච්ඡ ලෙස තලා දැකීමේ කාර්යභාරය ඔහුට පැවරුනි.

අද දින ද එම කාරනය නිසා ම අන්ත-දක්ෂිනාංශය රාජ්‍යයේ ආරක්ෂාව භුක්ති විඳී. එහෙත්, කම්කරු පන්තිය එහි ස්වාධීන අවශ්‍යතා ආරක්ෂා කරගැනීම සඳහා දේශපාලනික ව බලමුලුගැන්වෙන තාක් දුරට මෙම කුමන්ත්‍රනය පරාජය කල හැකි හා පරාජය කරනු ලැබෙනු ඇත. මෙහි අර්ථය වන්නේ, ෆැසිස්ට් ප්‍රචන්ඩත්වය සහ විජිත කොල්ලකෑමේ අධිරාජ්‍යවාදී යුද්ධවලින් නිෂ්පන්නිත සංක්‍රමනිකයන්ට හා සරනාගතයන්ට එරෙහි රුදුරු උද්ඝෝෂනය කෙරෙහි වන විරෝධය, රැකියා හා අත්‍යවශ්‍ය සේවා ආරක්ෂා කිරීමේත් සමාජවාදය සඳහා වූත් අරගලය සමග සම්බන්ධ කිරීම යි. ප්‍රජාතන්ත්‍රීය අයිතීන් ආරක්ෂා කිරීමේ සමාජ විරෝධතා හා ජාත්‍යන්තර වැඩ වර්ජන රැල්ල තුල එවන් ව්‍යාපාරයක් සඳහා වන වෛෂික පදනම දැනට මත් ඉස්මතු වෙමින් පවතී.

ක්‍රිස් මාස්ඩන්

Share this article: