වැඩෙන වර්ජන රැල්ල ශ්‍රී ලංකාවේ ආන්ඩුවට අභියෝග කරයි

Growing strike wave challenges Sri Lankan government

කේ. රත්නායක විසිනි, 2019 සැප්තැම්බර් 28

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) නියෝග යටතේ රැකියා හා වැටුප් මත කොලඹ ආන්ඩුව එල්ල කරන ප්‍රහාරයන්ට එරෙහිව ගැඹුරින් ම මුල් බැස තිබෙන මහජන විරෝධය පෙන්නුම් කරමින් මේ සතියේ ශ්‍රී ලංකාව තුල කම්කරු පන්තික වැඩ වර්ජන හා විරෝධතා රැල්ලක් පුපුරා ගොස් ඇත.

සමාජ පුපුරායාමක් කෙරෙහි භීතියට පත්වෙමින් වර්ජකයන්ගේ ප්‍රධාන ඉල්ලීම වන “වැටුප් විෂමතා නිරවද්‍ය කිරීම” --ඍජුව වැටුප් වැඩිකිරීමක් නොඉල්ලන වෘත්තීය සමිති භාවිතා කරන වාක්‍යංශය-- කෙරෙහි අවධානය යොමු කරන බවට ආන්ඩුව ඊයේ මවාපෑමක් කලේය.

ඊයේ හදිසි කැබිනට් රැස්වීමක් කැඳවූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ මුදල් ඇමති මංගල සමරවීරගේ ප්‍රධානත්වයෙන් යුත් කැබිනට් අනු කමිටුවක් පත්කිරීමට තීරනය කල හ. අනුකමිටුව “රාජ්‍ය සේවකයන්ගේ වැටුප් විෂමතා අධ්‍යයනය කොට, හඳුනාගෙන වර්ජිත වෘත්තීය සමිතිවල නියෝජිතයන් සමග සාකච්ඡා කර මෙම ප්‍රශ්න විසඳීමට” වාර්තාවක් බාරදෙනු ඇති බව ආන්ඩුවේ ප්‍රකාශක ඇමති ගාමිනී ජයවික්‍රම පෙරේරා මාධ්‍යයට සඳහන් කලේ ය.

වාර්ෂිකව රුපියල් බිලියන 112 ක් ඒ සඳහා අවශ්‍ය වන බව සඳහන් කරමින් රාජ්‍ය අංශයේ සේවකයන්ට “මේ මොහොතේ” වැටුප් වැඩිකිරීම මුදල් ඇමති සමරවීර සැප්තැම්බර් 24දා ප්‍රතික්ෂේප කල නමුත් එලඹෙන ජනවාරි මාසයේ වැටුප් වැඩිකිරීමක් දීමට “පොරොන්දු” විය. පෙනෙන ආකාරයට ආන්ඩුවේ ආස්ථානයේ මෙම වෙනස නැගෙන පන්ති අරගල රැල්ල නැවැත්වීමට දරන මංමුලා සහගත උත්සාහයක් මෙන් ම, මෙම ක්‍රියාවලියේ දී සහයෝගය පතා වෘත්තීය සමිතිවලට කරන ආයාචනයක් ද වේ.

කොලඹ විරෝධතාවේ යෙදෙන ගුරුවරු

අනධ්‍යන සේවකයන් දිගටම වර්ජනයේ යෙදී සිටිය දී, මෙම සතියේ දුම්රිය කම්කරුවන් අඛන්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කලහ. ගුරුවරු දින දෙකක ජාතික වැඩ වර්ජනයක නිරත වූ අතර ආන්ඩුවේ පරිපාලන නිලධාරීහු ද වර්ජනය කලහ. පසුගිය සතියේ ප්‍රවාහන කම්කරුවන් හා සෞඛ්‍ය කම්කරුවන් වර්ජනයේ යෙදුනි.

* රාජ්‍ය විශ්ව විද්‍යාලයන් හි 17,000ක් පමන වන අනධ්‍යන කම්කරුවන් හා විධායක නිලධාරීන්ගේ අඛන්ඩ වැඩ වර්ජනය සැප්තැම්බර් 10 දා ඇරඹුනි. රජයේ සෙසු සේවකයන්ට ලබාදුන් වැටුප් වැඩිවීම්, විශ්‍රාම වැටුප් හිමිකම හා අනෙකුත් ප්‍රතිලාභ ඔවුහු ඉල්ලති. (බලන්න: ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල කම්කරුවන්ගේ අරගලයට සමාජවාදී ක්‍රියාමාර්ගයක්)

කම්කරුවන්ගේ ඉල්ලීම් නොදෙන බව ආන්ඩුව හා විශ්වවිද්‍යාල බලධාරීන් විසින් ප්‍රකාශ කර ඇති නමුදු වර්ජකයන් මේ සතිය තුල ඔවුන්ගේ විරෝධතා තීව්‍ර කල අතර, කොලඹ දී පවත්වන තවත් විරෝධතාවක් ඇතුලු‍ව ඒ හා සමාන පන්ති ක්‍රියාවන් ලබන සතියේ දී පැවැත්වීමට සැලසුම් කර ඇත. පීඩනය මගින්, වෘත්තීය සමිතිවල ඉල්ලීම් ලබාදීමට බලධාරීන්ට බලකරනු ඇතැයි අවධාරනය කරමින්, සමිති උත්සාහ කරන්නේ කම්කරුවන්ගේ කෝපය අපසරනය කිරීම සඳහා විරෝධතා යොදාගැනීමට ය.

* ජාතික දුම්රිය සේවාව අඩාල කරමින් 2,000 ක ට අධික දුම්රිය රියදුරන්, නියාමකයන්, ස්ථානාධිපතිවරුන්, අධීක්ෂන කලමනාකරුවන් හා තාක්ෂනික නිලධාරීන් සැප්තැම්බර් 25 දා මධ්‍යම රාත්‍රියේ අඛන්ඩ වර්ජනයක් ආරම්භ කලහ, දුම්රිය දෙපාර්තමේන්තුව සාමාන්‍යයෙන් දිනකට දුම්රිය ගමන් වාර 400 ක් ක්‍රියාත්මක කරතත්, ඊයේ ක්‍රියාත්මක වූයේ සේවා වාර 10ක් පමනි. විශ්‍රාමික රියදුරන් යොදාගෙන කාර්යාල දුම්රිය සේවය පවත්වාගෙන යාමට කලමනාකාරීත්වය උත්සාහ කරයි.

වර්ජිත දුම්රිය සේවකයන්, පහල ශ්‍රේනිවලට සාපේක්ෂ ව වැටුප් විෂමතා නිවැරැදි කිරීමක් සහ දෝෂ සහිත දුම්රිය එන්ජින් හා මාර්ග අලු‍ත්වැඩියා කිරීම, එන්ජින් හා මාර්ගවල දෝෂ හේතුවෙන් ඇති වන අනතුරුවල දී සිදුවන හානිවලට රියදුරන්ගෙන් අය කරගැනීම නැවැත්වීම ඇතුලු‍ ඉල්ලීම් ඉදිරිපත් කර තිබේ.

කොලඹ කොටුව දුම්රිය ස්ථානයේ අගුලු‍ ලන ලද ගේට්ටු

දුම්රිය වර්ජනයට ආන්ඩුව ප්‍රතිචාර දැක්වූයේ ප්‍රධාන දුම්රිය ස්ථානයන්ට හමුදාව දිගේලි කරමිනි. සඳුදා වන විට ආපසු වැඩට නාවොත් දුම්රිය වර්ජකයන්ට එරෙහි ව “දැඩි ක්‍රියාමාර්ග” ගන්නා බවට රාජ්‍ය ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමති අශෝක් අබේසිංහ තර්ජනය කර ඇත.

දුම්රිය කම්කරුවන් සැප්තැම්බර් 18 දා අකුරට වැඩ කිරීමේ උද්ඝෝෂනයක් ආරම්භ කල අතර, ඔවුන්ගේ ඉල්ලීම් විසඳන බවට දුම්රිය කලමනාකාරීත්වය පොරොන්දු වීමෙන් පසු වෘත්තීය සමිති එය නතර කර දැමූ හ. ජුනි 21 හා 22 වර්ජනය සහ පසුගිය වසරේ අගෝස්තු මාසයේ දින හයක වර්ජනය වෘත්තීය සමිති විසින් පාවාදුනි.

* බ්‍රහස්පතින්දා හා සිකුරාදා 200,000 කට අධික පාසල් ගුරුවරු දින දෙකක වර්ජනයක නිරත වූහ. වැටුප් වැඩිකිරීම, “වැටුප් විෂමතා” නිවැරදි කිරීම, අහෝසි කරන ලද විශ්‍රාම වැටුප් ක්‍රමය යලි ස්ථාපිත කිරීම හා දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 6ක් අධ්‍යාපනයට වෙන් කිරීම ඔවුහු ඉල්ලා සිටිති.

ජනතා විමුක්ති පෙරමුන විසින් පාලනය කරන ලංකා ගුරු සේවා සංගමය, ලංකා ගුරු සංගමය හා ව්‍යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂයට අනුබද්ධ එක්සත් ගුරු සේවා සංගමය වර්ජනය කැඳවූ නමුත් ජාතික පරිමාන විරෝධතා සංවිධානය නොකලහ.

එහෙත් 4,000කට අධික ගුරුවරු කොලඹට රැස්වූ අතර ජනාධිපති සිරිසේන හෝ ඔහුගේ ලේකම් හමුවීමට ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පාගමනින් යාමට වෘත්තීය සමිති විසින් සැලසුම් කර තිබුනි. බැටන් පොලු‍, කඳුලු‍ ගෑස් හා ජල විදිනවලින් සන්නද්ධ පොලිස් නිලධාරීන් සිය ගනනක් විසින් පාගමන වලකනු ලැබී ය.

ගුරුවරුන්ගේ පෙලපාලිය වලකන පොලීසිය

පොලීසියට ආයාචනා කිරීමෙන් පසු, ගුරු වෘත්තීය සමිති නායකයන් ව පොලිස් ජීප් රථයකින් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ප්‍රවාහනය කරන ලදුව, සාකච්ඡාවක් අපේක්ෂාවෙන් ඔවුහු එහි පැය දෙකක් බලා සිටිය හ. විරෝධතාව කරා පෙරලා පැමිනි ඔවුහු, වැඩිදුර විරෝධතාවන් හි යෙදීම, සහන දීම සඳහා ආන්ඩුව මත පීඩනය යොදනු ඇතිය යන මිත්‍යාව ප්‍රවර්ධනය කරමින් ඔක්තෝබර් 7දා පටන් දින පහක වර්ජනයක් පැවැත්වෙනු ඇති බව කෝපයට පත්ව සිටි පිරිසට නිවේදනය කල හ.

* ශ්‍රී ලංකා පරිපාලන නිලධාරීන්ගේ සංගමය ද වැටුප් විෂමතා අරබයා මේ සතියේ අඛන්ඩ වැඩ වර්ජනයක් දියත් කලේ ය. රටට බලපා ඇති ගංවතුර තත්ත්වය තුල සහන කටයුතු කිරීම සඳහා ඔවුහු ඊයේ නැවත වැඩට පැමිනිය හ. වර්ජනය සඳුදා යලි ඇරඹීමට ඔවුහු සැලසුම් කරති.

මෙම ප්‍රධාන වැඩ වර්ජනවලට අමතර ව සෞඛ්‍ය කම්කරුවන්ගේ හා ජලාපවහන මන්ඩලයේ කොන්ත්‍රාත් සේවකයන්ගේ එක් දින වර්ජන හා යහපත් සේවා කොන්දේසි ඉල්ලා විරෝධතාවන් ද පසුගිය සතියේ පැවැත්වුනි.

වත්මන් වර්ජනයන් කැඳවීමට වෘත්තීය සමිතිවලට බලකෙරී ඇති වුවද කම්කරුවන්ගේ ඉල්ලීම් ඉදිරියට ගෙන යාම සඳහා ඒවාට වැඩපිලිවෙලක් නැත. වෙන වෙන ම කරන සීමිත ක්‍රියා හා ආන්ඩුවට කරන ආයාචනා නිෂ්ඵල මෙන් ම, පීඩනය මගින් කම්කරුවන්ගේ ඉල්ලීම් දීමට ආන්ඩුවට බල‍කෙරෙනු ඇතැයි යන ඔවුන්ගේ අනවරත කියාපෑමේ පුනරුච්ඡාරනයකි. ආන්ඩුව පත්කල නව කැබිනට් අනු කමිටුව, සියලු‍ කාර්මික ක්‍රියා නැවැත්වීමට වෘත්තීය සමිති විසින් ගසා කනු ඇත

රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩිවීමක් ලබාදිය හැකි බව මුදල් ඇමති සමරවීර කියා සිටියත් එය ප්‍රෝඩාවකි. වර්ජිත කම්කරුවන්ට සැඟවුනු තර්ජනයක් කරමින් ඔහු ප්‍රකාශ කලේ, රාජ්‍ය අංශ කම්කරුවන් “නොමග යවා” ඇති බවත්, ඔවුන් “දේශපාලන බලවේගවල අතකොලු‍ නො විය” යුතු බවත් ය. වර්ජිත කම්කරුවන් “නොමග යවා” නැත; ඔවුන් උත්සාහ කරන්නේ විසකුරු හා තීව්‍ර වන ආන්ඩුවේ ප්‍රහාරයකින් ඔවුන් මත් ඔවුන්ගේ යුක්ති සහගත අයිතීනුත් ආරක්ෂා කරගැනීමට ය.

ගෝලීය අර්බුදයේ බලපෑමට හසු වී සිටින, මුදල් හිඟයෙන් පෙලෙන නය-බරිත ආන්ඩුව, 2015 දී දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 7ක් වූ අයවැය හිඟය ලබන වසර වන විට සියයට 3.5ක් දක්වා කැපීමට නියෝග කරන ජාමුඅ හි වැඩපිලිවෙලට මුලු‍මනින් කැප වී සිටී.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වැඩකරන ජාමූඅ කන්ඩායම “ආයතනීය ප්‍රතිසංස්කරන” එනම්, පුද්ගලීකරනය හා “සාර්වආර්ථික ස්ථාවරත්වය” එනම්, අයවැය හිඟය කැපීම ක්‍රියාත්මක කිරීම අවධාරනය කල ප්‍රකාශයක් මේ සතියේ නිකුත් කලේ ය. “දුර්වල ගෝලීය අපේක්ෂාව හා ශ්‍රී ලංකාවේ සැලකිය යුතු රාජ්‍ය නය” වල තතු යටතේ මෙම පියවරයන් අවශ්‍ය බව ජාමූඅ සඳහන් කලේ ය.

පසුගිය මාස 12 පුරා ශ්‍රී ලංකාවේ වැඩෙන වර්ජන හා විරෝධතා රැල්ල, ජාත්‍යන්තර ව පන්ති අරගලයන් පුනර්ජීවනය වීමේ කොටසකි. ලොව පුරා කම්කරුවෝ ඔවුන්ගේ රැකියා, ජීවන තත්ත්වයන් හා මූලික අයිතීන් රැකගැනීමට සටන් වදිති. සෑම රටක ම පාලක පන්තිවල ප්‍රතිචාරය වී ඇත්තේ ආඥාදායකත්වය හා ෆැසිස්ට් පාලන රූපවලට හැරීම යි.

සිරිසේන, වික්‍රමසිංහ හා විරුද්ධ පක්ෂවලට වැඩකරන ජනයාගේ විරෝධය තලා දමන්නේ කෙසේ ද යන්න ගැන උපායාත්ම වෙනස්කම් පැවතිය ද ඔවුන් සියලු‍ දෙනා ගමන් කරමින් සිටින්නේ මෙම ප්‍රජාතන්ත්‍ර-විරෝධී දිශාව ඔස්සේ ය. ඔවුන් සියලු‍ දෙනාම, විෂඝෝර හදිසි නීති පැනවීමටත්, බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට එරෙහි යුද්ධය අවසන් වූ තැන් පටන් රට තුල විශාලතම මිලිටරි දිගේලි කිරීම සිදුකිරීමටත්, අප්‍රේල් 21දා සිදු වූ ඉස්ලාමීය ත්‍රස්තවාදී ප්‍රහාර ඩැහැගත් හ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නායකත්වය දෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුන හා ජනතා විමුක්ති පෙරමුන ඇතුලු‍ ශ්‍රී ලංකාවේ සෑම පක්ෂයක් ම ආන්ඩුවේ මෙම මෙහෙයුමට පූර්න පිටුබලය දුන් හ. නොවැම්බර් මාසයේ පැවැත්වෙන ජනාධිපතිවරනයට මෙම පක්ෂ දැන් සූදානම් වන්නේ, සෑම රටක ම පොලිස්-රාජ්‍ය පියවරයන් සඳහා කඩතුරාව වන, “ජාතික ආරක්ෂාව සුරැකීමේ” බැනරය යටතේ ය.

ශ්‍රී ලංකාවේ කම්කරු පන්තියේ මූලික කොටස් විසින් මෙම සතියේ දියත් කල කාර්මික ක්‍රියා ඉස්මතු කර දක්වන්නේ, ඔවුන් සියලු‍ දෙනාටම පොදු වූ එක දෙයක් ඇත: එනම් ශිෂ්ට සම්පන්න ජීවන හා සමාජ කොන්දේසි, වැඩි වැටුප්, සේවා කොන්දේසි හා ප්‍රජාතන්ත්‍ර අයිතීන් ඉල්ලා සිටින බවය.

මෙම සටන ඉදිරියට ගෙන යා හැකි වන්නේ, දේශපාලන සංස්ථාපිතයට, රාජ්‍ය නයට හා මහ ව්‍යාපාරිකයනට ඍජු ව ගැටගැසුනා වූ ද, ආන්ඩුවට හා ධනපති ක්‍රමයට එරෙහි ඒකාබද්ධ සටනකට විරුද්ධ වන්නා වූ ද වෘත්තීය සමිතිවලට එරෙහි දේශපාලන අරගලයක් තුලින් පමනි.

සසප උද්ඝෝෂකයා ගුරුවරුන්ට කතා කරමින්

වෘත්තීය සමිතිවලින් ස්වාධීනව වැඩපොල හා කම්කරු-පන්තික නිවහන් ප්‍රදේශවල ක්‍රියාකාරී කමිටු ගොඩනගන ලෙස කම්කරුවන්ගෙන් ඉල්ලා සිටිමින් මෙම අරගලවලට මැදිහත් වී ඇති සමාජවාදී සමානතා පක්ෂය (සසප), මෙම අරගල ජාත්‍යන්තර කම්කරු පන්තිය සමග ඒකාබද්ධ කිරීමේ අවශ්‍යතාව පැහැදිලි කර ඇත.

ධනපති ක්‍රමය යටතේ කම්කරුවන්ට, තරුනයන්ට හා දුගීන්ට ඔවුන්ගේ මූලික අයිතීන් ආරක්ෂා කරගෙන සමාජ කොන්දේසි වැඩිදියුනු කරගත නො හැක. ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට දමන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවකට ඔවුන් සටන් වැදිය යුතු ය. මෙම ඉදිරිදර්ශනයට සටන් වදින එකම සංවිධානය සසප යි.

Share this article: