ජවිපෙ ජනාධිපතිවරන අපේක්ෂකයා ධනේශ්වර රාජ්‍යය ශක්තිමත් කිරීමට සපථ කරයි

ඩබ්ලිව්. ඒ. සුනිල් විසිනි, 2019 සැප්තැම්බර් 02

අගෝස්තු 18 දා කොලඹ ගාලු මුවදොර පිටියේ පැවති රැලියක දී, ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) විසින් නායකත්වය දෙන ජාතික ජන බලවේගය (ජාජබ), ඉදිරි ජනාධිපතිවරනයේ තම අපේක්ෂකයා ලෙස ජවිපෙ නායක අනුර කුමාර දිසානායක ඉදිරිපත් කරන බව නිවේදනය කලේ ය.

1999 න් පසුව ජවිපෙ ජනාධිපතිවරනයකට තමන්ගේ ම අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන පලමු වතාව මෙයයි. පසුගිය වසර 20 තුල ධනපති පක්ෂවලට එනම්, 2005 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයාට සහ 2010 හා 2015 දී ඇමරිකානු ගැති එක්සත් ජාතික පක්ෂය (එජාප) නායකත්වය දෙන ඊනියා පොදු අපේක්ෂකයන්ට ජවිපෙ සහයෝගය දුන්නේ ය.

ජනාධිපතිවරනය දෙසැම්බර් මුල පැවැත්වීමට නියමිත ය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නායකත්වය දෙන දක්ෂිනාංශික පක්ෂයක් වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුන (ශ්‍රීලපොපෙ) තමන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කරන බව කලින් නිවේදනය කලේ ය. අභ්‍යන්තර ගැටුම්වලින් කීරිගැසී ඇති අගමැති රනිල් වික්‍රමසිංහගේ පාලක එජාපය තම අපේක්ෂකයා තවමත් නිවේදනය කර නැත.

ජාජබ යනු සංවිධාන 28 ක සන්ධානයකි. ජවිපෙට අමතර ව එයට අනුබද්ධ වෘත්තීය සමිති, ජවිපෙන් බිඳී ගිය සාමාජිකයන් කිහිපදෙනෙකුගේ කන්ඩායමක් වන විප්ලවීය සමාජවාදී පක්ෂය, ජනතා පුරෝගාමී කලාකරුවෝ, යාපනයේ පදනම් වන ක්‍රියාකාරී වාම සමගිය හා අයිතීන් සඳහා කාන්තාවෝ අනෙක් කන්ඩායම් අතර වෙති. එහෙත් ජාජබ සංවිධානය කිරීමේ දී නායක භූමිකාවක් ඉටුකලේ විශ්ව විද්‍යාලවල ශාස්ත්‍රාලිකයන් හා වෘත්තිකයන්ගෙන් සැදුම් ලත් ජාතික විද්වත් සංවිධානය (ජාවිස) යි.

2015 ජනවාරියේ පැවති ජනාධිපතිවරනයේ දී ජවිපෙ හා මෙම කන්ඩායම්වල --මේ කන්ඩායම් බොහොමයක් තනන ලද්දේ 2015 පසුව ය-- පුද්ගලයෝ එක්සත් ජනපද පිටුබලය ලත් මෛත්‍රීපාල සිරිසේන ජයග්‍රහනය කරවීම සඳහා ඔහු වටා රොක්වූහ.

රාජපක්ෂ ආන්ඩුව වාර්ගික යුද්ධය තුල සිදුකරන ලද අපරාධ හා ප්‍රජාතන්ත්‍රික අයිතීන් හා ජීවන කොන්දේසි මත එල්ල කල ප්‍රහාරවලට එරෙහිව පිපිරීමක් කරා වර්ධනය වූ සමාජ විරෝධය අපසරනය කිරීමට ඔවුහු සිරිසේන වටා රොක් වූහ. සිරිසේන හා ඔහුට සහයෝගය දුන් දක්ෂිනාංශික එජාපය “යහපාලනයක්” ඇතිකරන බවට සහ ජීවන හා සමාජ කොන්දේසි වර්ධනය කරන බවට දුන් ව්‍යාජ පොරොන්දුවලට මහජනයා යට කිරීමට ජවිපෙ හා මෙම කොටස් උද්ඝෝෂනයේ යෙදුනි.

පසුගිය වසර හතර තුල එම පොරොන්දු බිඳ දැමූ සිරිසේන හා එජාපය, ජාත්‍යන්තර මූල්‍යය අරමුදල (ජාමූඅ) විසින් නියෝග කරන ලද රුදුරු කප්පාදු පිලිවෙත් ක්‍රියාත්මක කරමින් ප්‍රජාතන්ත්‍ර අයිතීන්ට පහර එල්ල කල හ. හුදෙක් ආන්ඩුවට පමනක් නො ව සමස්ත පාලක පන්තියට ම විශාල දේශපාලන අර්බුදයක් නිර්මානය කරමින් මෙම ප්‍රහාරයන්ට එරෙහි ව පසුගිය වසර දෙක තුල කම්කරුවන්ගේ හා තරුනයන්ගේ අරගල තීව්‍ර වී ඇත.

සිරිසේනට සහයෝගය දුන් කන්ඩායම්වලින් කොටසක් දැන් ජවිපෙ ඉදිරියට දැමීමට රැලි වී ඇත්තේ, ගැඹුරු වන සමාජ විරෝධය පීලිපන්නවා අපසරනය කොට, කම්කරු පන්තියේ කිසිදු ස්වාධීන ව්‍යාපාරයක් වර්ධනය වීම වලක්වා ධනපති පාලනයට රැකීමටය. ජවිපෙහි ධනපති පක්ෂ සමග භජනයේ අතීත ජුගුප්සාජනක භූමිකාව ආවරනය කිරීම සඳහා ඔවුහු තම සන්ධානය සාමාන්‍ය මහජනයා නියෝජනය කරන බවක් මවා පෙන්වීමට “ජාතික ජන බලවේගය” ලෙස සලුපිලිගන්වා ඇත.

ජවිපෙහිත් අනෙක් කන්ඩායම්වලත් සක්‍රීය සාමාජිකයන් හා ආධාරකරුවන් හැරුනු විට ගාලු මුවදොර පිටියට සැලකිය යුතු ලෙස විශාල සෙනගක් රැස්වීම පෙන්නුම් කරන්නේ, විකල්පයක් සොයමින් සිටින ජනයාගේ අතෘප්තිය හා කෝපය යි. ඔවුන් ඉන් කිසිදු පලක් දකින්නට නැත.

අනෙකුත් ධනේශ්වර දේශපාලනඥයින් මෙන් සාම්ප්‍රදායික බෙරකරුවන් විසින් වේදිකාවට වඩම්මන ලද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ද වන දිසානායක, යලි යලිත් රැලියේ රැස්ව සිටියවුන්ට පොරොන්දු වූයේ, තමන් ඔවුන්ගේ බලාපොරොත්තු පාවා නො දෙන බව යි. ජාතිකවාදී පූච්චානම් දොඩවන අතර ම ඔහු අනෙක් කිසිදු දේශපාලන පක්ෂයක නම හෝ ධනපතික්‍රමය හෝ ධනපති පන්තිය යන වචන ප්‍රකාශ කලේ නැත.

තමන්ගේ 30 වසරක දේශපාලන ජීවිතය තුල “අපට සාමාන්‍ය මිනිසාගේ හා ඉහල පෙලේ අයගේ හැඟීම් හා වේදනාවන් පිලිබඳ අවබෝධයක් තිබෙන නිසා එම අවබෝධයේ පදනම මත මෙම අරගලය ජයග්‍රහනයකින් අවසන් කරනවා” යි දිසානායක කීවේ තමන් ව ම සියලු දෙනා වෙනුවෙනපෙනී සිටින්නෙකු ලෙස මවා පෙන්වමිනි.

ජාජබ ඉලක්කය “යල් පැනගිය, අසාර්ථක හා විනාශකාරී මාවත හැරදමා, ජනතාවට සැනසීම, සතුට හා සෞභාග්‍යය ලඟා කරදීම” බව ඔහු කියා සිටියේ ය. ඔවුන්ගේ පාලනය යටතේ “අපේ මානව සම්පත ලෝකයේ සංවර්ධිත ම මට්ටමට ගෙන එමින් ආර්ථිකය සඳහා නව මාවතක්” ලැබෙනු ඇත. “ගොවීන්, ධීවරයන් හා වතුකරයේ ජනතාවගේ දොරකඩටම ආර්ථික ප්‍රතිලාභ ගෙන එන කොන්දේසි නිර්මානය කෙරෙනු ඇත” යි ඔහු තකතීරු ලෙස කියාපෑවේ ය.

දිසානායක මෙසේ කියාගෙන ගියේ ය: “භාෂාව, ආගම හා ලිංගිකත්වය මත කරන වෙනස්කම් නො තිබෙනු ඇති අතර, ‘මහජන ආරක්ෂා’ තහවුරු කරමින් විවිධ ආගමික හා වාර්ගික කන්ඩායම් අතර ‘ජාතික සමගිය’ ස්ථාවර කරනවා.” සිංහල-බෞද්ධ ඒකීය රාජ්‍යය වන “අපේ රට” අභිමානවත්, සාඩම්බර හා ශක්තිමත් රාජ්‍යයක්” බවට පත්කරන බවට ඔහු සපථ කලේ ය.

මෙම “සෞභාග්‍යය” උදාකරන්නේ කෙසේදැයි ඔහු කීවේ නැත. වැඩපිලිවෙලක් නිවේදනය කරනු නො ලැබුනි. හිස් පූච්චානම් කතාවලින් ගම්‍ය කෙරුනේ ජාත්‍යන්තර ප්‍රාග්ධනයේ සූරාකෑම සඳහා “මානව සම්පත” සූදානම් කරමින්, නීතියේ ආධිපත්‍යය හා විනය ඇතිකරන බවට ධනපති පන්තියට පොරොන්දුවීමයි.

ජාජබ පෙනී සිටින්නේ ප්‍රජාතන්ත්‍රවාදය හා “ජාතික සමගිය” සඳහා බවට වන දිසානායකගේ කියාපෑම අමු පචයකි. දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයේ “ත්‍රස්තවාදයට” එරෙහි ව සටන් කිරීමේ නාමයෙන් ගෙන ගිය දෙමල-විරෝධී යුද්ධයට එය දුන් සහයෝගයේ අපකීර්තිමත් ඉතිහාසය ගැන සඳහන් නො කල ද සිය ගනනක් මරා දමමින් අප්‍රේල් 21 පාස්කු ඉරිදා දින ශ්‍රී ලංකාවේ සිදු වූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසුව, පාලක එජාපය, ශ්‍රීලපොපෙ සහ අනෙකුත් දෙමල හා මුස්ලිම් ධනපති පක්ෂ සමග ජවිපෙ පෙලගැසී කල ක්‍රියා අලුත්ම උදාහරනයන් ලෙස පවතී.

හදිසි නීති පාලනය පැනවීමට මිලිටරිය මුදාහැරීමට ජනාධිපතිවරයා ගත් පියවරටත් මුස්ලිම්-විරෝධී උද්ඝෝෂන උසි ගැන්වීමටත් එය සහයෝගය දුන්නේ ය. ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මුස්ලිම් ප්‍රජාවෙන් හා පක්ෂවලින් “ඉස්ලාමීය අන්තවාදීන්” පිලිබඳ තොරතුරු හෙලිදරවු කල යුතු යයි අනවා සිටියේ ත්‍රස්තවාදී ප්‍රහාර සඳහා සමස්ත මුස්ලිම් ප්‍රජාවට ම වරද පටවමිනි.

ඔවුන් හදිසි නීති පාලනයට සහයෝගය දුන්නේ, එලඹෙන ප්‍රහාර පිලිබඳ ව ඉන්දීය ඔත්තු සේවයක් විසින් ආරක්ෂක සංස්ථාපිතයට මෙන් ම ජනාධිපති, අගමැති හා විපක්ෂ නායකයාට දැනුම් දෙනු ලැබ ඒ සියලු දෙනා එය දැන සිටි බව හොඳින් ම දැනගෙනය. ප්‍රහාර සිදුවීමට ඉඩහල ඔවුහු, දැන් කම්කරුවන්ට එරෙහි ව යොදාගන්නා ප්‍රජාතන්ත්‍ර-විරෝධී පියවරයන් පැනවීම සඳහා ඒවා ඩැහැගත් හ.

රැලිය ඇමතූ ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ජාජබට රැඩිකල් මුහුනක් දීමට උත්සාහ දැරී ය. මෙම පෙරමුන නියෝජනය කරන්නේ වාමාංශිකයන්, ප්‍රජාතන්ත්‍රවාදී කඳවුර හා ප්‍රගතිශීලීන් යයි ඔහු බෙරිහන් දුන්නේය. ඔවුන්ගේ ව්‍යාපාරය “මැතිවරනයට පමනක් සීමා නො වෙමින් ජනතාව ජයග්‍රහනය කරන තෙක් ඉදිරියට යන” බව ඔහු කියා සිටියේ ය.

ජාජබ හා ජවිපෙ වැඩපිලිවෙල ජනවාරියේ දී සකස් කරන ලද්දේ ජාතික විද්වත් සංවිධානය විසිනි. “පවත්නා නව ලිබරල් වෙලඳ ආර්ථිකය හා එහි අමානුෂීය බලපෑම අභිභවනය කිරීම ඉලක්ක කොට ගත් සාමාජීය චින්තනයකින්” සිය ප්‍රතිපත්ති පෝෂනය වී ඇති බව එය සඳහන් කලේ ය. ප්‍රතිපත්ති සකස් කිරීමේදී, “මෙතෙක් මෙරට ක්‍රියාත්මක වූ ප්‍රතිපත්ති රාමු සේම ජාත්‍යන්තර ප්‍රතිපත්ති එලඹුම්” සැලකිල්ලට ගෙන “ධනාත්මක දේවල් උකහා ගනිමින්” ක්‍රියා කල බව එහි කතෘන් සඳහන් කර ඇත. ජාතික සම්පත් යොදාගනිමින් හා විනයගත, නීතියේ ආධිපත්‍යය දරන සමාජයක් නිර්මානය කරමින් ආර්ථිකය වර්ධනය කිරීමට එය සපථ කරයි.

මෙම වැඩපිලිවෙල දේශපාලන ප්‍රෝඩාවකි. ගැඹුරු වන ලෝක අර්බුදයේ හා භූ-දේශපාලනික ආතතීන්ගේ ගිලී සිටින තතු තුල, ගෝලීය ව ඒකාග්‍රිත මෙම ආර්ථිකය තුල ජාතිකවාදී මාවතක් නැත. තිබුනේ ද නැත. මෙම ශාස්ත්‍රාලිකයන්ගේ හා ජවිපෙහි සැබෑ භීතිය වන්නේ පන්ති අරගලයන්ගේ ජාත්‍යන්තර පුනර්ජීවනයෙහි කොටසක් ලෙස උද්ගමනය වන කම්කරු පන්තියේ අරගල යි.

ඔවුන්ගේ ජාත්‍යන්තර සගයන් මෙන් ශ්‍රී ලංකාවේ සෑම ධනේශ්වර පක්ෂයක් ම කම්කරු පන්තිය මර්දනය කිරීමට හා පොලිස් රාජ්‍ය පාලනයක් සඳහා මාරු වීමට උත්සාහ දරමින් සිටී. ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරන උද්ඝෝෂනය, එම කාර්යය සඳහා වඩාත් ම සුදුසු කවුරුන් ද හා කවර කන්ඩායම ද යන විවාදය වටා කේන්ද්‍රගත ව ඇත.

මාධ්‍ය හමුවක දී අදහස් දැක්වූ ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත්, ජවිපෙ ජනාධිපතිවරන අපේක්ෂකයාගේ ප්‍රධාන තේමාව වන්නේ “මූල්‍ය විනය, පරිපාලනමය විනය හා මහජන ආරක්ෂාව” බව කීවේ ය.

ජවිපෙ හෝ ජාජබ, මෙම අන්තරායට එරෙහි සටන් කිරීම සඳහා කම්කරු පන්තියට පවතින විකල්පයක් නො ව, කම්කරු පන්තියේ කිසිදු ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් වලක්වා පොලිස් රාජ්‍යයට පාර කපන බාධකයකි. ජවිපෙ බලයට පත්වුව ද එය අනෙක් ධනේශ්වර සංවිධාන මෙන් ම රුදුරුලෙස ලෙස ක්‍රියාකරනු ඇත.

ජවිපෙහි අලුත් පියවර පෙන්නුම් කරන්නේ තවදුර දකුනට යාමකි. සමහර මාධ්‍ය හා විශ්ලේකයන් මාක්ස්වාදය හා සමාජවාදය අපකීර්තියට පත්කිරීම පිනිස තවමත් පින්තාරු කිරීමට යත්න දරන පරිදි, මෙම පක්ෂයට ඒවා සමග කිසිදු සම්බන්ධයක් නැත. යථාර්ථයේ දී, මෙම පක්ෂය ද යුද්ධයටත් කම්කරුවන් හා දුගීන් මත ප්‍රහාරයන්ටත් දේශපාලනික ව වගකිව යුතු ය.

1960 ගනන් මැද ජවිපෙ ආරම්භ කෙරුනේ ස්ටැලින්වාදය, මාඕවාදය හා සිංහල දේශප්‍රේමයෙහි විෂකුරු මිශ්‍රනයක් මත පදනම් වූ සුලුධනේශ්වර රැඩිකල් ව්‍යාපාරයක් ලෙසිනි.

1971 ජවිපෙ අතිධාවනකාරී නැගිටීම ශ්‍රීලනිප-ලසසප-ස්ටැලින්වාදී කොප සභාගය විසින් තරුනයන් 15,000 ක් ඝාතනය කරමින් සහ නායකයින් සිරගෙට යවමින් මර්දනය කිරීමෙන් පසු 1978 දී එය යලි දේශපාලන කටයුතු ඇරඹුවේ තවත් දකුනට පදිමිනි.

යූඑන්පී ආන්ඩුව විවෘත වෙලඳපොල ප්‍රපතිපත්ති ක්‍රියාවට දැමීමෙන් ජීවන තත්වයන්ට එල්ල කල රුදුරු ප්‍රහාරවලට එරෙහිව 1980 ජූලි මහා වර්ජනය පැන නැගුනු විට ජවිපෙ එහි වෘත්තීය සමිති හොරිකඩ කමට මෙහෙයවූයේ එය “වර්ජනවලට සුදුසු කාලයක් නොවේ” යයි ප්‍රකාශ කරමිනි.

1983 ඇරැඹුනු වර්ගවාදී යුද්ධයට සහයෝගය දුන්නා පමනක් නොව මෙම පක්ෂය 1987-1990 “ඉන්දු-ලංකා ගිවිසුමට විරුද්ධවීමේ” නමින් කම්කරුවන් හා දේශපාලන විරුද්ධවාදීන් සිය ගනනක් මරා දමමින් ෆැසිස්ට්වාදී ප්‍රහාර එල්ල කලේය. එසේ මරා දැමූවන් අතර සමාජවාදී සමානතා පක්ෂයේ පෙර ගමන්කරුවූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ සාමාජිකයින් තිදෙනෙක් ද වෙති. යූ එන්පී ආන්ඩුව මේ ප්‍රහාර ද සිය වාසියට යොදාගනිමින් එල්ල කල ජනඝාතක ප්‍රහාරයකින් 60,000 ක් පමන ගම්බද තරුනයන්, ජවිපෙ නායකයින් හා සාමාජිකයින් මරා දැමුවේය. ජවිපෙ සාමාජිකයින්ගෙන් ඉතුරුවුයේ රටින් පලාගියවුන් පමනකි.

ගෝලීයකරනය තුල ජාතිකවාදී ඉදිරිදර්ශන සුන්වී ඇතිතතු තුල ජාත්‍යන්තර ප්‍රාග්ධනයේ හා ධනවාදයේ අත්ගෙඩි බවට පරිවර්තනය වී ඇති ලෝකයේ අනෙකුත් සුලුධනේශ්වර සංවිධාන මෙන් ම, ජවිපෙ ද ධනේශ්වර සංස්ථාපිතයේ පක්ෂයක් බවට පරිවර්තනය වී ඇත.

වසර 30කට පෙර දේශපාලන වෘත්තීය ආරම්භ කල පුද්ගලයෙකු ලෙස දිසානායක රැලියේ දී ප්‍රකාශයට පත්කල කාලය මෙම පරිවර්තනය සමග සමපාත වේ. එහෙත් මෙම කාලය තුල ඔහුගේ සංවිධානය ධනේශ්වර පක්ෂ සමග වඩ වඩා පෙලගැසුනු බව ඔහු නො කියනු ඇත.

ඔහු හා පක්ෂයේ තවත් නායකයන් තිදෙනෙක්, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග සමග 2004 දී සභාගයකට ඇතුලු වෙමින් කැබිනට් තනතුරු භාරගෙන ජාමූඅ නියෝග ක්‍රියාවට දැමීමට උදවු කල හ. 1983 දී ආරම්භ වුනු තැන් පටන් වර්ගවාදී යුද්ධයට උදවු දුන් ජවිපෙ, 2005 සිට 2008 අවසානය දක්වා රාජපක්ෂ ආන්ඩුවේ පිටස්තර සහකරු ලෙස ඊට සෘජුව ම සහභාගී විය.

මෙම කාලපරිච්ඡේදය තුල, කොලඹ රාජ්‍යතාන්ත්‍රිකයන් හරහා එක්සත් ජනපදය හා අනෙකුත් බටහිර බලයන් සමග ජවිපෙ සමීප සබඳතා වගාදිගා කරගත්තේ ය. 2005 දී කොලඹට සංචාරය කල එක්සත් ජනපදයේ සහකාර රාජ්‍ය ලේකම් ක්‍රිස්ටිනා රොකා හමු වූ ජවිපෙ නායකයෝ, ජනාධිපති බුෂ්ගේ “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය” උත්කර්ෂයට නංවා ශ්‍රී ලංකාවේ යුද්ධයට සහයෝගය ඉල්ලා සිටිය හ. යාවත්කාලීන තොරතුරු ලබා ගැනීම සඳහා ජවිපෙ හා අනෙකුත් පක්ෂ මුනගැසීම ඇමරිකාවේ රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාවක් බව එක්සත් ජනපදයේ කොලඹ තානාපතිනිය පිලිගත්තේ පසුගිය සතියේ ය.

එවැනි කුප්‍රකට වාර්තාවක් සහිත ජවිපෙ, රට පාලනය කිරීම සඳහා සුදුසුකම් තිබෙන බවට පිලිගනු ඇතැයි ද, ධනපති පාලනය ආරක්ෂා කිරීමට වාරය පැමින ඇතැයි ද යන්න ගැන ඉහල අපේක්ෂා සහිත ව බලය සඳහා තරඟ වදී.

මෙම පක්ෂය විකල්පයක් ලෙස ඉදිරිපත්වීම තරයේම ප්‍රතික්ෂේප කල යුතු කම්කරුවන් හා තරුනයන්, විප්ලවවාදී ට්‍රොට්ස්කිවාදී-මාක්ස්වාදී පක්ෂය වන සමාජවාදී සමානතා පක්ෂය වෙතට තීරනාත්මක ව හැරිය යුතු ය.

Share this article: