ආන්ඩුව කිසිම වැටුප් වැඩිවීමක් දීම ප්‍රතික්ෂේප කරයි

කේ. රත්නායක විසිනි, 2019 සැප්තැම්බර් 25

වෘත්තිය සමිතිවල මිථ්‍යා බලාපොරොත්තු පැතිරවීම්වලට මරු පහරක් එල්ල කරමින් ලංකාවේ කැබිනට් මන්ඩලය ”‍මේ අවස්ථාවේ”‍ රජයේ සේවකයින්ගේ වැටුප් විෂමතා විසඳීමට මුදල් වියදම් නොකරන බව බදාදා තීන්දු කලේය.

දැනට අඛන්ඩ වැඩවර්ජනයක යෙදෙන අනධ්‍යයන සේවකයන් අඟහරුවාදා පේරාදෙනියේ පැවැත්වූ රැස්වීමක් අමතමින් හිටපු වෘත්තීය සමිති නායකයෙක් වන එඞ්වර්ඞ් මල්වත්තගේ සඳහන් කලේ රාජ්‍ය ඇමති මොහාන් ලාල් ග්‍රේරු සමිති නිලධාරීන්ට දුන් හමුවකදී වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා බදාදා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත්වන්නේ යයි සමිති නායකයින්ට දැනුම් දුන් බවයි.

මොරටුව වැනි විශ්ව විද්‍යාල කිහිපයකම සමිති නිලධාරියෝ තමන්ට අවශ්‍ය පරිදි කැබිනට් පත්‍රිකාව සකස් වේදැයි බැලීමට උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ස්ථිර ලේකම් හමුවීමට උත්සුක වී සිටින බව සේවකයන්ට පවසා සිටියහ.

ජනාධිපතිවරනය ප්‍රකාශයට පත්කර ඇති තත්වයක සමිති නිලධරයන් ගනන් බලමින් සිටියේ ආන්ඩුවට බලපෑම් දැමීමකින් සොච්චමක් ලබාගෙන නැගී එන කම්කරු අරගල රැල්ල පසුබැස්වීමට හැකිවනු ඇතැයි කියාය. ඊට උඩගෙඩි දෙමින් සති අන්ත සන්ඬේ ටයිම්ස් ප්‍රධාන ලිපිය සඳහන් කලේ මුදල් ඇමති මංගල සමරවීර අනධ්‍යන සේවකයින්, ගුරුවරුන්, දුම්රිය කම්කරුවන්, වෛද්‍යවරුන් හා විධායක ශ්‍රේනිවල වැටුප් විෂමතා විසඳීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරනු ඇති බවයි.

එහෙත් කැබිනට් මන්ඩල රැස්වීමේ වැටුප් විෂමතා ප්‍රශ්නය මතුවූ විට මුදල් ඇමතිවරයා ප්‍රකාශ කර ඇත්තේ මේ අවස්ථාවේ ඒ සඳහා පියවර ගත නොහැකි බවයි. ඒ සඳහා ලක්ෂ 14ක් වන රජයේ සේවකයන් ට රුපියල් කෝටි 11,500 වැය කල යුතු බව ඔහු කියා ඇත. රජයේ සේවකයින් ලබන ජනවාරි මාසයේ දී වැටුප් කොමිසමේ නිර්දේශ පරිදි පඩි වැඩිවීමක් දීමට හැකි බව ද ඔහු කියා ඇතිබව ප්‍රකාශවේ. අනෙක් ඇමතිවරු ඊට නිහඬව අනුමැතිය දී ඇත. අරගලයට ඇදී සිටින කම්කරු කොටස් දැනටම වැටුප් කොමිසමේ නිර්දේශ ප්‍රතික්ෂේප කර ඇත.

හිස්වූ භාන්ඩාගාරයක් හා දැවැන්ත විදේශ හා දේශීය නයකන්දරාවක් කරේ තබාගෙන, රටේ ආර්ථික වර්ධනය වැටීමකට ද මුහුන පා සිටින ආන්ඩුව කැපවී සිටින්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝග පරිදි රාජ්‍ය වියදම් හිඟය 2020 වන විට, 2015 තිබූ මට්ටමින් අඩක් දක්වා කැපීමට හා ඒ අනුව කම්කරුවන්ගේ අයිතීන් කප්පාදු කිරීමට ය.

මුල්‍ය අරමුදලේ නිර්දේශ ක්‍රියාවට නොදැමුවහොත් එහි නයෙහි අවසන් වාරිකය අත්හිටුවීමේ තර්ජනයකට ආන්ඩුව මුහුන දෙයි. එවන් තත්වයක, 2021අවසන් වනවිට ගෙවීමට ඇති ඇමරිකානු ඩොලර් බිලියන 15 ක විදේශ නයකින් ඉතිරිව තිබෙන ඩොලර් බිලියන 13ක් පමන ගෙවීමට ලෝක මුදල් වෙලඳ පොලෙන් නය ගැනීමට ආන්ඩුවට අපහසුවෙයි. රටවල ආර්ථික තත්වය ශ්‍රේනි ගත කිරීමේ ජාත්‍යන්තර ආයතනයක් වන මූඩි මෑතකදී ඇඟවූයේ ලංකාව විදේශ නය ආපසු ගෙවීම පැහැර හැරීමක් අද්ද්දර සිටින බවයි.

අර්බුදයේ බර මහ ජනතාව මත පැටවීමේ යෙදී සිටින ආන්ඩුව මාස දෙකකටත් අඩු කාලයකදී ඊයේ දෙවන වතාවට ආනයනික කිරිපිටි මිල කිලෝග්‍රෑමයකට රුපියල් 50කින් වැඩි කලේය. ඊයේ නිකුත්වූ ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ නිවේදනයකට අනුව පසුගිය මාසයේ ආහාර හා ආහාර නොවන පාරිභෝගික භාන්ඩ මිල ඉහල යාම නිසා දල උද්ධමන රේට්ටුව සියයට 1.2 කින් නැග ඇත.

ආන්ඩුව මැතිවරනයට මුහුන දීමේ භීතිකාවක් නිසා බලපෑම් දමා වැටුප් වැඩිවීමක් ලබාගැනීමට නමා ගත හැකියයි සමිති නායකයින් පතුරුවන මිථ්‍යාව පතුරු ගොස් ඇත්තේ මේ තතු තුලය. ලංකාවේ ධනපති ක්‍රමය එරී සිටින්නේ එය කොටසක් වන ලෝක ධනවාදයේ අර්බුදය තුල ය.

කම්කරුවන්ගේ සෑම කොටසක්ම අරගලයට එලැඹ සිටින්නේ මෙම අර්බුදයෙන් එල්ලවන ප්‍රහාරවලට එරෙහිවයි. ජාත්‍යන්තර කම්කරු පන්තියේ අරගල රැල්ලක් දැන් මතුවී ඇත්තේ සෑම රටකම එලෙස එල්ලවන ප්‍රහරවලට විරුද්ධව ය. ව්‍යාජ වම්මුන්ගේ උදවු ඇතිව වෘත්තීය සමිති ගෙනයන ඊනියා බලපෑම් දැමීමේ ක්‍රියා මාර්ග බංකොලොත්වී කම්කරුවන්ට උගුලක් බවට පත්ව ඇත්තේ කලකට පෙර සිට ය. කුමන ආන්ඩුවක් ජනාධිපතිවරනයෙන් පසු බලයට පත්වුවත් ක්‍රියාකරනු ඇත්තේ නිසැකවම මුල්‍ය අරමුදලේ නිර්දේශ රුදුරු ලෙස ක්‍රියාවට දැමීමට හා ඒ සඳහා පොලිස් පාලනයක් ඇටවීමට ය.

මෙම තතු තුල වෘත්තීය සමිතිවල ක්‍රියාකලාපය කම්කරු පන්තිය විප්ලවවාදී ජාත්‍යන්තර සමාජවාදී ක්‍රියා මාර්ගයකට සටන් කිරීම වලක්වා ධනපති ක්‍රමය තුල කොටු කිරීමේ හා පොලිස් පාලනයකට ඉඩදීමක් ලෙස මතුවී ඇත.

Share this article: