කොරෝනා වෛරසය ගෝලීය ආර්ථිකය මත දැඩි බලපෑමක් කරද්දී, වෝල් වීදියේ කොටස් අගය ඉහල නඟී

Wall Street rises as coronavirus weighs heavily on global economy

නික් බීම්ස් විසිනි, 2020 පෙබරවාරි 5

අඛන්ඩව ලාභ මුදල් එන්නත් කිරීම මඟින් උත්තේජනය කර ඇති මූල්‍ය වෙලඳපොලවල් හා යටින් පවතින සැබෑ ආර්ථිකය අතර වැඩෙන පරතරය, කොරොනා වයිරසය පැතිර යාමේ බලපෑම මගින් තවදුරටත් සලකුනු කෙරේ.

මේ සතියේ චීන ආර්ථිකය මුලු‍මනින්ම පාහේ අක්‍රීයව පැවතුන අතර, නිෂ්පාදන කපාහැරීමේ ප්‍රතිපල ලෝකයේ සෙසු රටවලට ගලා ඒමට පටන් ගෙන ඇත. මේ අතර වෝල් වීදිය, සැලකිය යුතු ලෙස පහත වැටීමෙන් පසු වේගයෙන් ඉහල නඟිමින්, වර්ෂයේ ධනාත්මක අවධියකට නැවත පැමින තිබේ.

ඊයේ ඩව් ජෝන්ස් දර්ශකය ඒකක 408 කින් හෙවත් සියයට 1.4 කින් ඉහල ගියේය. එස් ඇන්ඞ් පී 500 සියයට 1.5 කින් ඉහල ගිය අතර නස්ඩැක් තාක්‍ෂනික දර්ශකය සියයට 2.1 කින් ඉහල ගොස් වාර්තාගත මට්ටමකට පැමිනියේය.

නිව් යෝක් ව්‍යාපාරවස්තු වෙලඳපොලේ සිටින කොටස් වෙලෙන්දන් [අනුග්‍රහය: ඒපී ඡායාරූපය/ මාර්ක් ලෙනිහන්. Mark Lennihan]

වෙලඳපොලේ ඉහල යාම චීන සහ එක්සත් ජනපද මහ බැංකු මැදිහත්වීම්වල ප්‍රතිපලයකි. චීන මහජන බැංකුව ඩොලර් බිලියන 174 ක් මූල්‍ය වෙලඳපොලට මුදා හැරීමත්, වෙලඳපොලට සහාය වීම සඳහා කොටස් මිලදී ගැනීමට රාජ්‍ය ආයතනික ආයෝජකයින්ගේ මැදිහත්වීම පිලිබඳ ඇඟවීම් ද හේතුවෙන් චීනයේ කොටස් මිල ඊයේ දිනයේදී ඉහල ගියේය. ඒ ලු‍නා අලුත් අවුරුදු නිවාඩුවෙන් පසුව, සඳුදා වෙලඳපොලවල් නැවත විවෘත වූ විට සියයට 8 කට වඩා පහත වැටීමෙන් අනතුරුවය.

එක්සත් ජනපදයේ, නිව් යෝර්ක් ෆෙඩරල් බැංකුව, ඩොලර් බිලියන 94 ක් කෙටිකාලීන රෙපෝ වෙලඳපොලට එන්නත් කිරීම මගින් වෙලඳපල ඉහල නංවන ලද්දේ එහි පොලී අනුපාත අඩු කර ගැනීම සඳහා ය.

වෝල් ස්ට්‍රීට් ජර්නලය වාර්තා කලේ, වෙලඳපොල ඉහල නැඟීම මඟින් පෙන්නුම් කරන්නේ, “මූල්‍ය හා මුදල් ප්‍රතිපත්තිය, වෛරසය පැතිර යාමේ බලපෑම බොඳ කරනු ඇතැයි යන විශ්වාසය වැඩිවෙමින් පැවතීම” හා මහ බැංකු “වෙලඳපොල ඉල්ලා සිටින ඕනෑම දෙයක් කරනු ඇති” බවට “ආයෝජකයින්ගේ මනෝ භාවයේ” හැඩගැසීමය.

රබොබෑන්ක් හි ආසියා-පැසිෆික් ජ්‍යෙෂ්ඨ ආයෝජන මූලෝපායඥයෙකු වන මයිකල් එවරි, සීඑන්එන් වෙත කරන ලද ප්‍රකාශයක් මගින් මෙම ප්‍රශ්නය වඩාත් සෘජුව ඉදිරිපත් කරන ලදී.

“යටින් පවතින වෙලඳපල බලාපොරොත්තුව පැහැදිලිය: ව්‍යාපාරික චක්‍රයෙන්, දේශගුනික විපර්යාසවලින් පමනක් නොව ගෝලීය රොග් වසංගතයෙන් ද මහ බැංකු අප බේරා ගනු ඇත“.

මේ සතියේ චීනයේ පලාත් 21ක ව්‍යාපාරයන්ට දැනුම්දී ඇත්තේ, අඩුම වශයෙන් පෙබරවාරි 10දා වනතෙක් ව්‍යාපාරික කටයුතු ආරම්භ නොකරන ලෙසය. වෛරසය දිගටම පැතිර යන්නේ නම් කාලය තවත් දීර්ඝ කල හැකි බවට ද දැනුම් දී ඇත. එක්සත් ජනපද ව්‍යාපාරික නාලිකාවක් වන සීඑන්බීසී ගනන් බැලීම් වලට අනුව, වසා දැමීම, චීනයේ දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 80 කට වැඩි ප්‍රමානයකට සහ අපනයනයෙන් සියයට 90 කට වැඩි ප්‍රමානයකට වග කියන ප්‍රදේශ වලට බලපායි.

වුහාන් නගරයෙන් ආරම්භ වූ වෛරසය පැතිර ගිය හුබෙයි පලාතේ, පෙබරවාරි 14 ට පෙර ව්‍යාපාර නැවත විවෘත නොකරන ලෙස දන්වා ඇති අතර, වසා දැමීම “අවශ්‍ය තරම් කාලයකට” දීර්ඝ කල හැකි බව පලාත් බලධාරීන් ප්‍රකාශ කර තිබේ.

ප්‍රධාන සමාගම්වල ගෝලීය සැපයුම් දාමයේ කොටසක් වන, මැද මට්ටමේ නිෂ්පාදනයන්හි ලොව විශාලතම අපනයනකරු චීනයයි. එවන් භාන්ඬවල ගෝලීය සමස්ත නිෂ්පාදන යෙන් සියයට 20 ක් සහ දකුනු කොරියාව, ජපානය, වියට්නාමය සහ කාම්බෝජය යන රටවල නිෂ්පාදනය සඳහා සියයට 40 ක ප්‍රභවය වන්නේ චීනයයි.

එහි ප්‍රතිපල දැනටමත් දැනෙන්නට පටන් ගෙන තිබේ. අලෙවිය අනුව ලොව පස්වන විශාලතම මෝටර් රථ නිෂ්පාදකයා වන හියුන්ඩායි ඊයේ නිවේදනය කලේ, චීනයෙන් එන උපාංඟ නතරවී ඇති බැවින්, දකුනු කොරියාවේ සියළුම මෝටර් රථ කර්මාන්තශාලා වසා දමන බවයි.

යුරෝපීය මෝටර් රථ නිෂ්පාදනයට ද එය ඉක්මනින්ම බලපානු ඇත. කොන්ටිනෙන්ටල් සහ තයිසෙන්කෘප් යන කොටස් නිෂ්පාදකයින් දෙදෙනාම මේ සතියේ අර්බුද රැස්වීම් පැවැත්වූ බව ෆිනෑන්ෂල් ටයිම්ස් වාර්තා කරයි. චීනයේ සංචාරක සීමාවන් සාමාන්‍ය වැඩ නැවත ආරම්භ කිරීම වලක්වා ඇති අතර සමාගම් පවසා ඇත්තේ, ලබන සතියේ නිෂ්පාදනය නැවත ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවයි. ඒ ගැන කිසිම සහතිකයක් නැත.

මෝටර් රථ කර්මාන්තය වසා දැමීමේ බලපෑම, ජපාන මූල්‍ය සමාගමක් වන නොමුරා හි විශ්ලේෂකයින් විසින් පෙන්වා දුන්නේ ය.

“චලනය සීමා කිරීම සහ වෙනත් ක්‍රියාමාර්ග, දාම සැපයුමට බාධා කිරීමේ අවදානම ඉහල නංවා ඇති අතර චීනය තුල මෝටර් රථ නිෂ්පාදනය අඩාල වීමේ හැකියාව අපට පෙනේ. ජපානයේ සහ ආසියාවේ වෙනත් තැන්වල සැපයුම් දාම ගැටලු ඇතිවිය හැකි අවදානමක් ද අපි දකිමු“ යයි ඔවුහු පැවසූහ.

මීට අවුරුදු දාහතකට පෙර සාස් වෛරසය පැතිරීම චීනයට මෙන්ම ලෝකයට ද විශාල බලපෑමක් ඇති කලේය. චීන ආර්ථිකයේ වර්ධනය නිසා නව වෛරසයට හානිකිරීමේ වැඩි විභවයක් ඇත. 2002-2003 දී චීනය ගෝලීය දල දේශීය නිෂ්පාදිතයෙන් දැරුවේ සියයට 4 ක කොටසක් පමනකි. දැන් එම අගය සියයට 16 ඉක්මවා ඇති අතර චීනය වාර්ෂිකව ගෝලීය වර්ධනයෙන් තුනෙන් එකකට පමන දායක වේ. එය එක්සත් ජනපදය, ජපානය හා යුරෝපය ඒකාබද්ධ වර්ධන අගයට වඩා වැඩිය.

ගෝලීය ආර්ථිකය තුල චීනයේ වැඩිවන බර පිලිබිඹු වන්නේ, කාර්මික භාන්ඩවල මිල තියුනු ලෙස පහත වැටීමෙනි. එරට එම භාන්ඬවල ප්‍රධාන පාරිභෝගිකයෙකි.

පසුගිය සති තුන තුල තෙල් මිල සියයට 20 කින් පමන පහත වැටී ඇති අතර නිල වශයෙන් මන්දගාමී (bear) වෙඳපොලට ඇතුලු වී තිබේ. මේ සතිය මුලදී, ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ට සවුදි අරාබියේ සල්මාන් රජුගෙන් ඇමතුමක් ලැබී ඇති අතර “ගෝලීය තෙල් වෙලඳපොලේ ස්ථාවරත්වය සහතික කිරීම” සඳහා ඔවුන්ගේ ක්‍රියාමාර්ග සම්බන්ධීකරනය කිරීමට දෙපාර්ශ්වයම සූදානම් බව ක්‍රෙම්ලිනය ප්‍රකාශ කලේ ය.

පෙට්‍රොමැට්‍රික්ස් හි උපදේශන සමාගමක් වන ඔලිවියර් ජාකොබ් ෆිනෑන්ෂල් ටයිම්ස් පුවත්පතට පැවසුවේ, මුලින් පරිභෝජනය අඩු කිරීම ඇස්තමේන්තු කර ඇත්තේ ගුවන් ප්‍රවාහනය සම්බන්ධයෙන් බවත්, “සැබෑ අවදානම හැකිලෙන ආර්ථික කටයුතුය. එය පරිමානයෙන් වඩා විශාලයි. ”

අවම වශයෙන් පලමු කාර්තුව සඳහා චීන ආර්ථිකයේ වර්ධනය සඳහා වන ඇස්තමේන්තු දැනටමත් සියයට 6 ට වඩා අඩු මට්ටමක සිට, සියයට 4.5 දක්වා හෝ සියයට 4 දක්වා තියුනු ලෙස පහත දමා ඇත.

ලෝකයේ ලෝහ හා පතල් සම්පත් පරිභෝජනයෙන් අඩකට පමන චීනය වගකියන අතර එය 2003 සාස් වෛරසය පැතිර යාමේදී පැවති මට්ටමට වඩා දෙගුනයකි. ලෝහ වර්ගවල මිල තියුනු ලෙස පහත වැටී ඇත. බොහෝ විට ගෝලීය කාර්මික නිෂ්පාදනයේදී වැදගත් වන තඹ මිල සියයට 13 කින් පහත වැටී ඇති අතර යපස් මිල සියයට 8 කට වඩා පහත වැටී ඇත. ජපානයේ සහ කොරියාවේ භාවිතා වන ප්‍රධාන මිල දර්ශකය සඳුදා වාර්තාගත අවම මට්ටමකට ඇද වැටීමත් සමඟ, ස්වාභාවික ද්‍රවීය ගෑස් මිල ද තියුනු ලෙස පහත වැටී තිබේ.

වෙලඳපොලවල ඉහල යෑමට හාත්පසින්ම වෙනස්ව, වෝල් ස්ට්‍රීට් ජර්නලය මේ සතියේ කතුවැකියකින්, එක්සත් ජනපද ආර්ථිකයට ඇතිවිය හැකි බලපෑම් පිලිබඳව අනතුරු ඇඟවීය. ඇපල්, මැක්ඩොනල්ඞ්ස්, ලෙවි ස්ට්‍රෝස් සහ ස්ටාර්බක්ස් ඔවුන්ගේ චීන වෙලඳසැල් තාවකාලිකව වසා දමන බව නිවේදනය කර ඇති අතර ෆෝඞ්, ඇපල් සහ ටෙස්ලා වැනි නිෂ්පාදකයින් තාවකාලිකව නිෂ්පාදනය නවතා දමා ඇත.

එය පෙන්වා දුන්නේ, ඇපල් සමාගමේ විකුනුම් වලින් හයෙන් එකක් සහ චිප් නිෂ්පාදක ක්වාල්කොම්හි ආදායමෙන් අඩකට ආසන්න ප්‍රමානයක් චීනයෙන් ලබා ගන්නා අතර, එක්සත් ජනපදයේ නිමි වෛද්‍ය නිෂ්පාදනය සඳහා ඖෂධ නිෂ්පාදකයින් භාවිතා කරන සක්‍රීය අමුද්‍රව්‍යවලින් සියයට 80 ක් චීනයෙන් ලබා ගන්නා බවයි.

“චීනය ලෝකයේ විශාලතම නිෂ්පාදකයා සහ දැවැන්ත පාරිභෝගික වෙලඳපොලක් එහි පවතින හෙයින්, ආර්ථික කැටි කිරීම සැපයුම් දාමයන් කඩාකප්පල් කර ව්‍යාපාරික ඉපැයීම් අඩු කරනු ඇත” යනුවෙන් ජර්නලය අදහස් දැක්වීය.

ගෝල්ඞ්මන් සැක්ස් පසුගිය සතියේ පැවසුවේ, වෛරසයේ බලපෑම මෙම වසරේ පලමු කාර්තුවේදී එක්සත් ජනපදයේ නිමැවුම සියයට 0.4 ත් 0.5 ත් අතර ප්‍රමානයකින් අඩු කරනු ඇතැයි අපේක්ෂා කරන අතර දෙවන කාර්තුවේදී එය යලිත් වර්ධනය වනු ඇති බවයි. එහෙත් සම්පූර්න බලපෑම තවමත් නොදන්නා තතු හමුවේ, එවැනි තක්සේරුවක නිරවද්‍යතාවය තීරනය කල නොහැක.

චීනයේ කාර්මික නිෂ්පාදනය පහත වැටීමත්, ජපානය, ආසියාව, යුරෝපය සහ එක්සත් ජනපදයට ඉන් ඇති කෙරෙන බලපෑමත් මධ්‍යයේ, ෆෙඩරල් මහ බැංකුව විසින් ලාභ මුදල් අඛන්ඩව පොම්ප කරනු ඇතැයි යන විශ්වාසය හමුවේ, එක්සත් ජනපද වෙලඳපොලේ අඛන්ඩ ඉහල යාමත් සමඟ ඇතිවිය හැකි මූල්‍ය අර්බුදයක්, කොන්ට්‍රා වෛරසය අභිබවා යන ආර්ථික වසංගතයකට තුඩුදෙනු ඇත.

Share this article: