ග්ලෙන් ග්‍රීන්වෝල්ඩ්ට එරෙහිව නඩු පැවරීම සහ නිදහස් භාෂනයට එරෙහි ගෝලීය යුද්ධය

The prosecution of Glenn Greenwald and the global war on free speech

2020 ජනවාරි 23

ඉන්ටර්සෙප්ට් බ්‍රසීල් ප්‍රකාශකයා සහ සුප්‍රසිද්ධ ගවේෂනාත්මක මාධ්‍යවේදියෙකු වන ග්ලෙන් ග්‍රීන්වෝල්ඩ්ට එරෙහිව බ්‍රසීල රජය විසින් නගන ලද “සාපරාධී කුමන්ත්‍රන” චෝදනා, දුෂ්කර අරගල මගින් දිනා ගන්නා ලද ඓතිහාසික භාෂනයේ නිදහස මත ජාත්‍යන්තරව කෙරෙන රාජ්‍ය ප්‍රහාර මාලාවක නවතම එකකි. විකිලීක්ස් නිර්මාතෘ ජූලියන් අසාන්ජ් අත්අඩංගුවට ගැනීම ස්වාධීන හා විවේචනාත්මක පුවත්පත් කලාවට එරෙහි ගෝලීය යුද්ධයක් සහ පුලුල් වාරනයක් පැනවීම සඳහා වාන් දොරටු විවෘත කර තිබේ.

ග්‍රීන්වෝල්ඩ්ට එරෙහිව බ්‍රසීලයේ ගොනු කර ඇති චෝදනා, එක්සත් ජනපදයේ නඩු විභාගයක් සඳහා එක්සත් රාජධානියෙන් අසාන්ජ් පිටුවහල් කිරීම පිනිස එක්සත් ජනපද (එජ) අධිකරන දෙපාර්තමේන්තුව විසින් 2019 අප්‍රේල් මාසයේ දී නිකුත් කරන ලද පලමු චෝදනාවට හරයෙන් සමාන ය. ඒවා පල කිරීමෙන් පසු රාජ්‍ය සංවිධානයේ ඉහලම මට්ටම්වල සාපරාධීත්වය සහ දූෂනය හෙලිදරව් කල තොරතුරු ලබා ගැනීමට රහසිගත තොරතුරු හෙලි කරන්නන්ට (whistleblowers ) “සහාය” දුන් බවට දෙදෙනාම චෝදනා ලැබ ඇත.

මාධ්‍යවේදී ග්ලෙන් ග්‍රීන්වෝල්ඩ් මාධ්‍ය හමුවකදී ප්‍රශ්නයකට සවන් දෙයි [අනුග්‍රහය: ඒපී ඡායාරූපය / රිකාඩෝ බෝර්ජස්]

ග්‍රීන්වෝල්ඩ්ගේ නඩුවේදී, ෆැසිස්ට් පන්නයේ වාචාල ජායීර් බොල්සොනාරෝගේ දේශපාලන විරුද්ධවාදීන්ට වල කැපීම සදහා, දූෂිත පරීක්ෂනයක් ඉහල නිලධාරීන් විසින් යොදාගෙන ඇති බව සනාථ කෙරෙන තොරතුරු, පනිවුඩකරන ගිනුම් (messaging accounts) “හැක්” කර ලබා ගැනීමට ඔහු පුද්ගලයින් සමඟ “කුමන්ත්‍රනය” කලාය යන කඩතුරාව යටතේ නඩු පැවරීම සූදානම් කෙරෙමින් පවතී. බොල්සානාරෝ විසින් ජයග්‍රහනය කරන ලද 2018 ජනාධිපතිවරනයට ඉදිරි කාලයේ දී, හිටපු ජනාධිපති ලුයිස් ඉනේෂියෝ ලූලා ඩා සිල්වා දූෂන චෝදනාවට වරදකරු කොට සිරගත කරන ලද අතර ඔහුගේ කම්කරු පක්ෂය සෝලීන්වල එරී ගියේ ය.

ජූලියන් අසාන්ජ් සම්බන්ධයෙන් ගත් කල, රහසිගත ලියකියවිලි තොගයක් වෙත ප්‍රවේශ වීම සඳහා ධෛර්ය සම්පන්න ඇමරිකානු දූෂන-හෙලි කරන්නියක වන චෙල්සි මැනිං සමඟ “කුමන්ත්‍රනය කිරීම” සම්බන්ධයෙන් විකිලීක්ස් නිර්මාතෘවරයාට 2009-2010 දී චෝදනා එල්ල කරනු ලැබ ඇත. ඉරාකයේ සහ ඇෆ්ගනිස්ථානයේ එජ යුද අපරාධ ද එජ ගැති තන්ත්‍රයන්ට මුක්කු ගැසීමට සහ ඇමරිකානු මූලෝපායික හා සංගත අවශ්‍යතා තහවුරු කිරීමට ලොව පුරා සිදු කෙරුනු නීච කූටෝපායන් මෙම ලියකියවිලි මගින් හෙලිදරව් කෙරිනි.

පසුව තවත් ඔත්තු බැලීම් පිලිබඳව චෝදනා 17 ක් ලැයිස්තුවට ඇතුලත් කරන ලද අතර, ඔහු එජට උදර්පනය කරනු ලැබ සහ ප්‍රදර්ශන නඩු විභාගයකින් වරදකරු කරනු ලැබුවහොත් වසර 175 ක ජීවිතාන්තය දක්වා වන සිර දඬුවමක් ලැබිය හැකි වීමෙ තර්ජනය පවතී.

ග්‍රීන්වෝල්ඩ් තවමත් අත්අඩංගුවට ගෙන නැත. නමුත් ඔහුට එරෙහිව නඩු පැවරීම සඳහා එජ බුද්ධි අංශ නීතිමය ක්‍රියාමාර්ගවලට සම්බන්ධ බව සහතික ය. ඔහු ජාතික ආරක්ෂක ඒජන්සියේ (එන්එස්ඒ) කොන්ත්‍රාත්කරු එඩ්වඩ් ස්නෝඩන් විසින් සිදු කරන ලද හෙලිදරව් කිරීම් 2013 දී ප්‍රකාශයට පත්කිරීමේ දී ප්‍රධාන කාර්යභාරයක් ඉටු කල බැවින් එජ විසින් දඩයම් පිනිස සැලසුම් කරන ලද ප්‍රමුඛ මාධ්‍ය ඉලක්ක ලැයිස්තුවට ඔහු ඇතුලත් වූවා විය හැක. ස්නෝඩන් හෙලිදරව් කිරීම් මගින්, සෑම ඇමරිකානු පුරවැසියෙකුගේම පාහේ සහ ලෝක ජනගහනයෙන් වැඩි පිරිසකගේ සන්නිවේදනයන් පිලිබඳව එන්එස්ඒ සංවිධානය ඔත්තු බලන විශ්මයාවහ පරිමාව අනාවරනය කෙරින.

පසුගිය අප්‍රියෙල් මස බලහත්කාරයෙන් ඉවත් කර අත්අඩංගුවට ගන්නා තුරු, ජූලියන් අසාන්ජ් 2012 දී ලන්ඩනයේ කුඩා ඉක්වදෝර තානාපති කාර්යාලයේ දේශපාලන රැකවරන ලබා ගනිමින් එජ රජයේ පලිගැනීමෙන් ආරක්ෂා වීමට උත්සාහ කලේය. ඇය විසින් හෙලිදරව් කරන ලද තොරතුරු වලට පිවිසීම සඳහා අසාන්ජ් සහ විකීලීක්ස් වෙතින් කිසිදු උදව්වක් නැතිව තමන් තනිව ක්‍රියා කල බවට ඇයට එරෙහි නඩු විභාගයේදී චෙල්සී මැනිං දුන් නිශ්චිත සාක්ෂිය, මහා ජූරි සභාවක් අබියස පෙනී සිට ඉල්ලා අස්කර ගැනීම ප්‍රතික්ෂේප කිරීම නිසා, අසාන්ජ්ව නෙරපීමට ආසන්න ඉක්බිත්තේ නැවතත් ඇයව සිරගත කරන ලදි.

මැනිං සිරගත කිරීම සහ අසාන්ජ් අත්අඩංගුවට ගැනීම ආසන්න ඉක්බිත්තේ, යේමනය මත සවුදි අරාබියේ නීතිවිරෝධී යුද්ධය සදහා ප්‍රංශයේ දුස්සහාය හෙලිදරව් කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් අට දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට මැක්‍රොන් රජය ඉක්මනින් ආරම්භකත්වය ගත්තේය. 2019 ජුනි මාසයේදී ඕස්ට්‍රේලියාවේ මාධ්‍යවේදීන්ගේ නිවාස සහ මාධ්‍ය කාර්යාලවලට පෙර නොවූ විරූ ආකාරයේ වැටලීම් පොලිසිය සිදුකලහ. ඇෆ්ගනිස්ථානයේ ඕස්ට්‍රේලියානු හමුදා විසින් සිදු කරන ලද යුද අපරාධ සහ මහා පරිමාන ඔත්තු බැලීම් නීතිගත කිරීමේ සැලසුම් පිලිබඳ හෙලිදරව් කරමින් ප්‍රසිද්ධියට පත් කිරීම සම්බන්දයෙන් මාධ්‍යවේදීන් තිදෙනෙකුට එරෙහිව නඩු පවරන බවට තර්ජනය කරනු ලැබ තිබේ.

ග්ලෙන් ග්‍රීන්වෝල්ඩ් 2013 සිට එජට නොපැමිනියේ ඔහු අත්අඩංගුවට ගනු ඇතැයි යන සාධාරන උත්සුකය හේතුකොටගෙනය. තම සහකාරිය හේතුවෙන් පදිංචිවීමේ අයිතිය ලැබ ග්‍රීන්වෝල්ඩ් වෙසෙන බ්‍රසීලයට, දැන් එහි බොල්සානාරෝ බලයේ සිටින නිසා, සීඅයිඒ, එන්එස්ඒ සහ එෆ්බීඅයි අත් ඉතා හොඳින් සහ පහසුවෙන්ම දිගුකල හැකිය.

ස්වීඩනයේ ලිංගික අපරාධ සිදු කර ඇති බවට බැලූ බැල්මටම ගොතන ලද බව පෙනෙන චෝදනා මත බ්‍රිතාන්‍යයේ රඳවා ගැනීමෙන් ඉක්බිතිව, ජූලියන් අසාන්ජ් ආරක්ෂා නොකලහොත් අව්‍යාජ පුවත්පත් කලාව බිය ගැන්වීමට සහ නිහඬ කිරීමට පූර්න පරිමානයේ ප්‍රහාරයකට මග විවර වනු ඇතැයි ලෝක සමාජවාදී වෙබ් අඩවිය 2010 දී අනතුරු ඇඟවීය. බරක් ඔබාමාගේ ඩිමොක්‍රටික් පක්ෂ පාලනාධිකාරයේ එවක උප ජනාධිපති වූ ජෝ බයිඩන් අසාන්ජ්ව “අධි තාක්‍ෂනික ත්‍රස්තවාදියෙකු” ලෙස ලේබල් කර තිබින. අසාන්ජ් පුරවැසිභාවය හිමි ඕස්ට්‍රේලියාවේ ලේබර් ආන්ඩුව විකිලීක්ස් ප්‍රකාශන “නීති විරෝධී ක්‍රියාවක්” ලෙස හෙලා දැක තිබින.

ඒ කෙසේ වෙතත්, මාස කිහිපයක් ඇතුලත, හිටපු වාම හා හිටපු ලිබරල් දේශපාලන හා මාධ්‍ය සහෝදරත්වයේ අතිමහත් බහුතරය එජ රජය සහ එහි සගයන් සමඟ අසාන්ජ්ට එරෙහිව පෙලගැසුනාහ. නිව්යෝර්ක් ටයිම්ස් සහ ගාඩියන් වැනි ප්‍රකාශන අසාන්ජ් කුමන හෝ මහජන අනුකම්පාවක් සහ සහයෝගයක් හිමි නොවිය යුතු ස්ත්‍රී දූෂකයෙකු බවට “සැක කල යුතු” ආත්මාර්ථකාමී ආත්මරාගියෙකු ලෙස අපහාස කිරීම සඳහා ඔවුන්ගේ සම්පත් කැප කලහ. ඒවා (හෙලිදරව් කිරීම්) කොහොමටත් ප්‍රකාශයට පත් කිරීමට නියමිත වූ බැවින් මැනින්ගේ හෙලිදරව් කිරීම් ප්‍රකාශයට පත් කිරීමට මෙම මාධ්‍යයන් දෙකම විකිලීක්ස් සමඟ එක්ව කටයුතු කර තිබුනි. වෘත්තීය සමිති සහ ව්‍යාජ වාම සංවිධාන ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් කරන ඕනෑම උද්ඝෝෂනයකට ක්‍රියාකාරීව විරුද්ධ වූ අතර, ඔහුගේ අවනඩුව සාකච්ඡා කිරීම ප්‍රතික්ෂේප කරමින් ඔහුගේ නිදහස සඳහා බලකර සිටි සියලු ක්‍රියා වර්ජනය කලහ.

විකිලීක්ස් වලට එරෙහිව මෙම හැරීම සිදුවූ දේශපාලන හේතු කිසි විටෙකත් අමතක නොකල යුතුය. එය සිදු වූයේ මැනිංගේ හෙලිදරව් කිරීම්වල අඩංගු තොරතුරු මගින් පාර්ශවීය ලෙස අවුලුවන ලද දැවැන්ත සමාජ නැගිටීම් හමුවේය. මෙම නැගිටීම් එජයේ පිටුබලය ලත් පාලන තන්ත්‍රයන් බිඳ හෙලීය. 2011 ජනවාරි මාසයේදී ටියුනීසියාව පලමු “විකිලීක්ස් විප්ලවය” දැයි ෆොරීන් පොලිසි සඟරාව නොසන්සුන්ව විමසීය. ඉන් සති කිහිපයකින් පසු, හොස්නි මුබාරක්ගේ සර්වබලධාරී යයි පෙනී ගිය ආඥාදායකත්වය ඊජිප්තු කම්කරු පන්තියේ මහජන ව්‍යාපාරයක් විසින් පෙරලා දැමිනි.

මූල්‍ය හා සංගත කතිපයාධිකාරයට නූල්පට දහසකින් බැඳී ඇති සංස්ථාපිත “වාම” පක්ෂ, වෘත්තීය සමිති සහ මාධ්‍යය ලෝක ජනගහනයෙන් බහුතරයක් කුරිරු ලෙස සූරාකෑමෙන් ප්‍රතිලාභ ලබති. සත්‍යය, පැලපදියන්වූ ප්‍රභූන්ට එරෙහි විවෘත කැරැල්ලකට සාමාන්‍ය ජනයා පොලඹවා ඇති ආකාරය මෙම කවයන් භීතියෙන් යුතුව දැක ගත්හ. නිදසුනක් වශයෙන්, සමාජ අසමානතාවය සහ දේශපාලන අසාධාරනය අවසන් කරන ලෙස ඉල්ලා සිටිනා එජයේ මහජන නැගිටීමක්, ධනපති පංතියේත් සහ ඔවුන් පංගුකාරයන් ව සිටිමින් සේවය කරන වරප්‍රසාදිත ඉහල මධ්‍යම පංතියේත් ධනයට හා බලයට තර්ජනය කරනු ඇත.

සංස්ථාපිත සංවිධානවල සහ මාධ්‍යවල සහජ ප්‍රතිචාරය වූයේ අනාගත අනාවරන වැලැක්වීමට හෝ වාරනය කිරීමට රාජ්‍ය යන්ත්‍රනය සමඟ ඒකාබද්ධ වීමයි. විකිලීක්ස් වලට ප්‍රතිචාර දක්වමින් නිව් යෝර්ක් ටයිම්ස් හි කර්තෘ බිල් කෙලර් 2010 නොවැම්බරයේ දී සෘජුවම ලියූ පරිදි: “රජයේ රහස් අප සන්තකයේ ඇති බව අප දැන ගත් විට, ඒවා හෙලි කල යුතුද යන්න ගැන අපි දීර්ඝව හා දැඩි ලෙස සිතා බලන්නෙමු. ... පුවත්පත් නිදහසට ප්‍රකාශ නොකිරීමේ නිදහස ද ඇතුලත් වන අතර එම නිදහස අපි නිතිපතා ක්‍රියාත්මක කරන නිදහසක්.”[අවධාරනය ඈදුනි]

එජ ජනාධිපතිවරනයේදී ඔවුන්ගේ මනාපය වූ ඩිමොක්‍රටික් පක්ෂයේ සහ හිලරි ක්ලින්ටන්ගේ මිලිටරිවාදී, මහා ව්‍යාපාරික හා ඒකාධිපතිවාදී න්‍යාය පත්‍රය පිලිබඳව තවදුරටත් ආලෝකය විහිදුවන ඊමේල් පනිවිඩ විකිලීක්ස් විසින් 2016 දී ප්‍රකාශයට පත් කෙරුනු විට අසාන්ජ් කෙරෙහි පෙර-ලිබරල් ප්‍රකාශනවල වෛරය උග්‍ර මට්ටම් කරා ලඟා විය. ඊමේල් පනිවිඩ හැක් කිරීම සඳහා රුසියානු බුද්ධි අංශ සමඟ අසාන්ජ් “කුමන්ත්‍රනය” කර ඇති බවට ප්‍රලාපය ප්‍රවර්ධනය කිරීම සඳහා සහ ව්ලැඩිමීර් පුටින්ගේ සහ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ “මෙවලමක්” ලෙස අසාන්ජ්ට මඩ ගැසීමේ උද්ඝෝශනයට ටයිම්ස් සහ ගාඩියන් පුවත්පත් පෙරමුන ගති.

2019 ජූලි මාසයේදී එජ අධිකරනයක් විසින් විකිලීක්ස් රුසියානු ඒජන්සි සමඟ කටයුතු කර ඇති බවට වන චෝදනා “(ඇත්ත) කරුනු වලින් මුලුමනින්ම වෙන් වූ” ලෙස බැහැර කරමින්, “පලමු සංශෝධනය මඟින් ලබාදී ඇති ප්‍රභලම ආරක්ශාවට පැහැදිලිවම හිමිකම් ඇති ආකාරයේ ඒවා” ලෙස (ප්‍රකාශ කරමින්) හෙලිදරව් කිරීම් ප්‍රකාශයට පත් කිරීමට විකිලීක්ස් සතු අයිතිය ආරක්ෂා කලේය.

කෙසේ වෙතත්, ටයිම්ස් සහ ගාඩියන් කිසි විටෙකත් ඔවුන්ගේ බොරු චෝදනා හා අපහාස ඉවත් කර ගෙන නැත. රුසියානු “මැදිහත්වීම” මගින් ක්ලින්ටන් 2016 මැතිවරනය පැරදුනු බව බවට දිගින් දිගටම ප්‍රකාශ කරමින් අසාන්ජ්ට එරෙහි ව සාපරාධී නඩු පැවරිය යුතු යැයි ටයිම්ස් සහ ඩිමොක්‍රටික් පක්ෂ යන්ත්‍රය අද දක්වාම ප්‍රසිද්ධියේ කියා සිටී. 2019 අප්‍රියෙල් මාසයේදී ටයිම්ස් පුවත්පත අදහස් දැක්වීම් ප්‍රකාශයට පත් කලේ අසාන්ජ්ට එරෙහි පලමු කුමන්ත්‍රන චෝදනාව “අවිවාදිත අපරාධයක්” ලෙස විස්තර කරමිනි.

එහි (අතීත) වාර්තාව සමග සැලකූ කල, නිව් යෝර්ක් ටයිම්ස්, ග්ලෙන් ග්‍රීන්වෝල්ඩ්ට චෝදනා ඉදිරිපත් කිරීම සම්බන්ධ ජනවාරි 22 වන දින සිය කතුවැකිය මගින් කුහකකමේ පතුල ස්පර්ශ කලේය . ග්‍රීන්වෝල්ඩ් විසින් බ්‍රසීලයේ හෙලිදරව් කිරීම් ප්‍රකාශයට පත් කිරීම “නිදහස් මාධ්‍යයක් කල යුතු දේ කලා: ඒවා බලයේ සිටින අය ගැන වේදනාකාරී සත්‍යයක් හෙලි කලා.” කතුවැකිය සමාප්ත වූයේ: “එම පනිවිඩය දරා ගෙනයන අයට පහර දීම බරපතල අනර්ථයක් හා නීතියේ ආධිපත්‍යයට භයානක තර්ජනයක්. ” යනුවෙනි.

යථාර්ථය නම්, හිටපු වාම හා හිටපු ලිබරල් සංවිධාන සහ ප්‍රකාශන ගනනාවක් සමග එකතුවී ටයිම්ස් අසාන්ජ් සහ විකිලීක්ස් හිංසනයට තමන්ගේ පාපසහායකතාව දැක්වීම මගින් ඔප්පු කර ඇත්තේ සංගත කතිපයාධිකාරය හා ධනේශ්වර රාජ්‍යය සමඟ තමන්ගේ පවතින පන්ති සම්බන්ධතාවයි.

හිංසනයට ලක්ව ඇති ජනමාධ්‍යවේදීන් සහ දූෂන හෙලි කරන්නන් පිලිබඳ අව්‍යාජ ආරක්ෂාවක් ඉදිරියට ගෙන යනු ඇත්තේ, ඔවුහු ධෛර්ය සම්පන්නව සේවය කල, සත්‍යය දැන ගැනීමේ අයිතිය ඇති කම්කරු පන්තිය පමනි.

ජූලියන් අසාන්ජ් බ්‍රිතාන්‍යයේ සිරගත කෙරී ඇති අතර ඔහුගේ පිටුවහල් කිරීමේ නඩු විභාගය පෙබරවාරි 24 වන දින ලන්ඩනයේදී ආරම්භ වේ. චෙල්සි මැනිං එජයේ සිර මැදිරියකද, එඩ්වඩ් ස්නෝඩන් රුසියාවේ පිටුවහල් වී සිටීමටද බල කෙරී ඇති අතර දැන් ග්ලෙන් ග්‍රීන්වෝල්ඩ් බ්‍රසීලයේ තර්ජනයට ලක්ව සිටී. ඔවුන්ගේ නඩු වලදී අවදානමට ලක්වී ඇති මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කරන සියලු දෙනාටම ඔවුන්ගේ ක්ෂනික හා කොන්දේසි විරහිත නිදහස ඉල්ලා සිටීම සඳහා කම්කරුවන් හා තරුනයින් ස්වාධීනව බලමුලු ගැන්වීම සඳහා සටන් කිරීමේ වගකීම ඇත.

ජේම්ස් කොගන්

Share this article: