ජර්මානු පාලක පන්තිය නව යුද්ධ හා නව අපරාධ සැලසුම් කරමින් අවුෂ්විට්ස් මුදා ගැනීම සමරයි

German ruling class commemorates liberation of Auschwitz by planning new wars and new crimes

2020 පෙබරවාරි 8

තුරිංගියා ප්‍රාන්තයේ කලාපීය මැතිවරනයේ දී ව්‍යාපාරික ගැති නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට (එෆ්ඩීපී) ලැබුනේ සියයට පහක ඡන්ද ප්‍රතිශතයක් වුවත්, තෝමස් කෙමරිච් තුරින්ගියාවේ සභාපති අමාත්‍ය ධුරයට නිල වශයෙන් පත්කරනු ලැබූ අතර එම තනතුර එක්සත් ජනපදයේ ආන්ඩුකාර තනතුරකට සමානය.

මැතිවරනයෙන් වැඩිම ඡන්දය ලැබුන වාමාංශික පක්ෂය ආන්ඩුවක් පිහිටුවීම වැලැක්වීම සඳහා එක්වූ මධ්‍යම-දක්ෂිනාංශික ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී සංගමය (සීඩීයූ) සහ නව ෆැසිස්ට් ජර්මනියට විකල්පය (ඒඇෆ්ඩී) අතර සන්ධානයක් මගින් මෙය සිදුවිය.

ජර්මනියේ ෆෙඩරල් මුදල් ඇමති වුල්ෆ්ගැන්ග් ෂෝබල් 2017 අප්‍රියෙල් 21 වන සිකුරාදා වොෂිංටන්හි පැවති 2017 ලෝක බැංකු කන්ඩායම් සරත් රැස්වීමේ දී ජී 20 ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී කතාකරයි. (ඒපීඡායාරූප / කැරොලින් කැස්ටර්)

නාසි තෙවන රයිකය අවසානයෙන් පසු සංස්ථාපිත පක්ෂයක් ෆැසිස්ට්වාදීන් සමඟ ආන්ඩුවක් පිහිටුවීම සඳහා කටයුතු කල පලමු අවස්ථාව මෙම නිවේදන‍යෙන් සනිටුහන් විය. එය නියෝජනය කරන්නේ ඒඇෆ්ඩීහි නව ෆැසිස්ට්වාදීන් සමඟ සහයෝගයෙන් කටයුතු නො කරන බවට ප්‍රධාන පක්ෂ විසින් දුන් පොරොන්දු බිඳ දැමීමකි.

මෙය ඓතිහාසික හැරවුම් ලක්ෂ්‍යයකි. මිලිටරිවාදය, ආඥාදායකත්වය සහ කප්පාදු යන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා පාලක පන්තිය යලිත් වරක් ෆැසිස්ට් බලවේග මත විශ්වාසය තබන බව එයින් පැහැදිලි වේ.

තුරින්ගියාවේ සිදුවීම්වලින් ඈත්වීමට ප්‍රමුඛ දේශපාලනඥයින් දැරූ සියලු උත්සාහයන්ට සහ පසුව නව රාජ්‍ය අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වීමෙන් මූලික යථාර්ථය සැඟවිය නොහැක: ජර්මනියේ නාසි පාලනය අවසන් වී වසර 75කට පසු ජර්මානු ධනේශ්වරයේ ආප්ත වාක්‍යය තවදුරටත් “නැවත කිසි දිනෙක” නොව “නව යුද්ධ හා අපරාධ කරා ඉදිරියට” යන්න ය.

බුන්ඩෙස්ටැග් (ෆෙඩරල් පාර්ලිමේන්තුවේ) සභාපති වුල්ෆ්ගැන්ග් ෂෝබල් පසුගිය සති අන්තයේ ෆන්කේ මාධ්‍ය කන්ඩායමේ පුවත්පත් සහ ප්‍රංශ පුවත්පතක් වන ඕස්ට්-ප්‍රාන්ස් සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවක දී මෙම යථාර්ථය පැහැදිලි විය.

අවුෂ්විට්ස් වධක කඳවුර මුදා ගැනීමෙන් 75 වන සංවත්සරය සමරමින් ජර්මානු නිලධාරීන් ප්‍රසිද්ධ සැමරුම් පැවැත්වීමෙන් සතියකට පසුව ජර්මනිය නැවත සන්නද්ධ කිරීම සහ විදේශ යුද්ධවලට සහභාගීවීම පිලිබඳව ෂෝබල්ගේ යෝජනා මෙම සම්මුඛ සාකච්ඡාවේ පල විය.

ජර්මනිය යලිත් යුද්ධයෙන් සොල්දාදුවන්ගේ ජීවිත අවදානමට ලක් කල යුතුදැයි ඇසූවිට ෂෝබල්, “අපට සියල්ල ප්‍රංශයට සහ ඇමරිකානුවන්ට භාරදිය නොහැක. අවුෂ්විට්ස්වල පාඩම් සම්බන්ධ නොවී සිටීම සඳහා දිගුකාලීනව තර්කයක් විය නො හැකිය.” යනුවෙන් පැවසී ය.

ආසන්නතම ප්‍රශ්නය වූයේ අප්‍රිකාවේ සහ මැදපෙරදිග සටන් මෙහෙයුම් සූදානම් කිරීමයි. “අපට මග හැරයන්න බැහැ. යුරෝපය විසින් වඩා ශක්තිමත් කාර්යභාරයක් ඉටු කිරීමට නම් අප අපගේ කාර්යභාරය ඉටුකල යුතුයි” යනුවෙන් ෂෝබල් පැවසී ය.

මාලිහි සිවිල් යුද්ධයට ජර්මානු සහභාගීත්වය මෙන් ම “ජර්මානු සොල්දාදුවන්ගේ සහභාගිත්වය ඇතිව ලිබියාවේ ක්‍රියාමාර්ගයක්” ගැනීමේ හැකියාව ඔහු මතු කලේය. යුරෝපීය බලවතුන් අප්‍රිකාව වෙනුවෙන් නව පොර බැඳීමක් සැලසුම් කල බර්ලිනයේ මෑතක දී පැවති ලිබියා සමුලුව “චාන්සලර් පැත්තෙන් විශාල සාර්ථකත්වයක් විය”, “අපි දිගට ම එහි නිරත විය යුතු බවට සැකයක් නැත. සැකයක් ඇතිවුවහොත් අප්‍රසන්න කාර්යයන් වුව ද කල යුතුය” යනුවෙන් ඔහු පැවසීය.

එවැනි ප්‍රකාශවල දුරදිග යන වැදගත්කම පිලිබඳව කිසිවෙකුට කිසිදු මිථ්‍යාවක් තබාගත යුතු නැත: තුන්වන රයිකය වැටීමෙන් වසර 75 කට පසු ජර්මානු පාලක පන්තිය යලිත් සිය භූ-මූලෝපායික හා ආර්ථික අවශ්‍යතා යුද්ධයෙන් ඉදිරියට ගෙන යාමට කැමැත්තෙන් සිටී. විදේශයන්හි මැදිහත්වීම් සඳහා ජර්මනිය “ඉතා දුර්වල”දැයි ඇසූවිට ෂෝබල් පිලිතුරු දුන්නේ, “අපට සදාචාරාත්මක පිරිවැය දිගින් දිගට ම අන් අයට පැවරිය නොහැකි” බවයි.

පසුගිය ඔක්තෝම්බර් මාසයේ දී “ගෝලීයකරනය වූ ලෝකයේ ජර්මනියේ භූමිකාව” මැයෙන් කල සිය විදේශ ප්‍රතිපත්ති ප්‍රධාන දේශනයේ දී ෂෝබල් මීට පෙර ද එවැනි ම හැඟීම් ප්‍රකාශ කර තිබුනි. එම කතාවේ දී ඔහු ප්‍රකාශ කලේ, “ඉවත්ව සිටීම විකල්පයක් නොවේ, අවම වශයෙන් ශක්‍ය විදේශ ප්‍රතිපත්ති උපායමාර්ගයක් නොවේ ” යනුවෙනි.

“යුරෝපීයයන් වන අප අපගේ ආරක්ෂාව සඳහා වැඩි යමක් කල යුතුය. එයින් අදහස් කරන්නේ අප අවට ලෝකයේ ආරක්ෂාව ද සඳහා යන්න” යයි ඔහු පැවසීය. මෙයට “මිලිටරි බලය යෙදවීමට ඇති සූදානම” ඇතුලත් විය. මෙයට “සදාචාරාත්මක මිලක් ද ඇත. මෙම බර දරාගැනීම, විශේෂයෙන් ජර්මානුවන්ට විශාල අභියෝගයක්.”

අවසාන වතාවට ජර්මනිය ආක්‍රමනශීලී මහා බල දේශපාලනයේ “බර” උසුලාගෙන, තම අවශ්‍යතා මිලිටරි ශක්තිය සමඟ බලාත්මක කලවිට සිදුවූයේ මිනිස් ඉතිහාසයේ සිදුවූ දරුනුතම අපරාධයන් ය. දෙවන ලෝක සංග්‍රාමයේ දී නාසි ජර්මනිය විසින් මුදාහරින ලද “සදාචාරාත්මක මිල” වූයේ ඝාතනය කරන ලද යුදෙව්වන් මිලියන 6ක්, සෝවියට් සංගමයට එරෙහි සමූලඝාතන යුද්ධයට ගොදුරු වූ මිලියන 27ක් සහ යුරෝපයේ හා ජර්මනියේ තවත් මිලියන දසදහස් ගනනක් ඝාතනය වීම ය.

ෂෝබල්ගේ යන්තමට සැඟවුන නව යුද්ධ සදහා කැඳවුම සහ අධිරාජ්‍යවාදී අපරාධ සමස්ත පාලක පන්තියේ ම මනෝභාවය ප්‍රකාශ කරයි. මෑතක දී ඔග්ස්බර්ගර් ඇල්ගීමයින් පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්, දැන් හුම්බෝල්ට් විශ්වවිද්‍යාලයේ ප්‍රවීන මහාචාර්යවරයෙක් සහ ජර්මානු රජයේ විදේශ ප්‍රතිපත්ති උපදේශකයෙකු වන හර්ෆ්‍රයිඩ්මාන්ක්ලර් ඔකඳ වෙමින් මෙසේ පැවසීය. “උදාහරනයක් ලෙස ජර්මානු චාන්සලර් ‘උපායමාර්ගික ස්වයංපාලනයක්’ ගැන කතාකරන විට හෝ වොන්ඩර්ලේන් මහත්මිය (හිටපු ආරක්ෂක ඇමතිනිය සහ යුරෝපීය කොමිසමේ වත්මන් සභාපතිනිය) ‘බලයේ භාෂාව’ ගැන කතාකරන විට මම අතිශයින් සතුටට පත් වෙමි. ”

මහාචාර්යවරයා සිය නරුම හා උද්දච්ච ස්වරයෙන් මෙසේ පැවසීය. “අනාගතයේ දී භූමිකාවක් ඉටුකරන සාධකයක් ලෙස බලය අවධාරනය කිරීමට මා බොහෝ කලකට පෙර ආරම්භ කල විට, මෙම අදහස පිලිගැන්වීම පහසු නොවීය. එය කෙතරම් භයානක හා කුරිරු ද කියා පැවසීය. කොහොමටත් අපගේ වටිනාකම් අප සතුව තිබේ. ඒ සීනි බෝලකාරයන් සිතුවේ සෑම දෙයක් ම ඉබේ ම සිදුවනු ඇති බවයි. ලෝකයේ මානුෂීය සාරධර්ම ස්වරූපයෙන් දෙවියන්ගේ වැඩ පිලිබඳ ගුප්ත දේවධර්මවාදී ඇදහිල්ලක සහාය ඇතිව, මේවා ද බලය පිලිබඳ ප්‍රශ්න බව කුමන අයුරකින් හෝ අමතක‍ කරදැමීය.”

“බලය පිලිබඳ ප්‍රශ්න” සහ “සීනිබෝලකාරයන්” යන්නෙන් ඔහු අදහස් කරන්නේ කුමක්ද කියා මාන්ක්ලර් අතීතයේ දී පුනපුනා පැහැදිලි කර ඇත. ගනන් කල නොහැකි සම්මුඛ සාකච්ඡාවල දී ඔහු ප්‍රහාරක ඩ්‍රෝන යානා අත්පත් කර ගැනීම සහ භාවිතා කිරීම කැඳවුම් කර ඇති අතර “පශ්චාත් වීරෝදාර සමාජය” තුල ජනතාව පාලක පන්තියේ අධිරාජ්‍යවාදී අභිරුචීන් සඳහා මිල ගෙවීමට තවදුරටත් සූදානම් නොමැති වීම ගැන හඬා වැලපුනි. ෆ්‍රෑන්ක්ෆර්ටර් ඇල්ගෙමයින්සයිතුං සමඟ කල සංවාදයක දී, මාන්ක්ලර් පලමුවන ලෝක සංග්‍රාමයේ දී භාවිතාකල විෂ වායුව “මානුෂීය” ආයුධයක් ලෙස විස්තර කිරීමට තරම් දුර ගියේය.

ජර්මානු රජය විසින් ප්‍රසිද්ධියේ ආරක්ෂා කරනු ලබන සහ මෑතක දී ඔහුගේ විශ්ව විද්‍යාලයේ වාමාංශික ශිෂ්‍යයෙකුට ශාරීරිකව පහරදුන් මොන්ක්ලර්ගේ සගයා වන දක්ෂිනාංශික අන්තවාදී මහාචාර්ය ජෝජ් බාබෙරොව්ස්කි (“හිට්ලර් දරුනු නොවේ” යැයි ප්‍රකාශ කල) උදාහරනය ද තිබේ.

2014 දී ජර්මානු ඓතිහාසික කෞතුකාගාරයේ පැවති කන්ඩායම් සාකච්ඡාවක දී බාබෙරොව්ස්කි මෙසේ ප්‍රකාශ කලේය. “ඔබ ප්‍රාන ඇපකරුවන් ගැනීමට, ගම්මාන පුලුස්සා මිනිසුන් එල්ලා මැරීමට හා භීතිය හා ත්‍රස්තය පැතිරවීමට සූදානම් නැතිනම් ත්‍රස්තවාදීන් මෙන් ඔබත් එසේ කිරීමට සූදානම් නැතිනම්, ඔබ එවැනි තර්කයක් ජය නොගනු ඇත, එවිට ඔබ එයට අත නො තැබිය යුතුය.”

රාජ්‍යයේ ප්‍රමුඛ කොටස්වල සහාය ලබන ජර්මානු ශාස්ත්‍රඥයකුට එවැනි සාපරාධී භාෂාවක් භාවිතාකල හැකි වීම ජර්මනිය නැවත සන්නද්ධ කිරීම සහ නව යුද්ධ සඳහා සූදානම් වීම නාසීන්ගේ අපකීර්තිමත් කුප්‍රකට සාපරාධී හා ම්ලේච්ඡ ප්‍රචන්ඩත්වයන් නීත්‍යානුකූල කිරීම සමඟ එකට ඈඳී ඇත.

සමාජවාදී සමානතා පක්ෂය සහ එහි තරුන හා ශිෂ්‍ය සංවිධානය වන සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ සංවිධානය (සසජාතශි), ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලක් මත මිලිටරිවාදයේ හා ෆැසිස්ට්වාදයේ අන්තරායට කම්කරුවන් හා තරුනයින් අතර වැඩෙන විරුද්ධත්වය බලමුලු ගැන්වීමට සටන් කරනු ඇත. මෙවර නාසිවාදය සමඟ ගනුදෙනු කිරීම සිදුවිය යුත්තේ ජර්මානු පාලක පන්තියට නව අපරාධ හා ව්‍යසනයන් උසිගැන්වීමට අවස්ථාවක් ලැබීමට පෙර ය.

ජොහැන්නස් ස්ටර්න්

Share this article: