සුලෙයිමානි ඝාතනය, අධිරාජ්‍යවාදී මූලෝපාය සහ ඉරාන තන්ත්‍රයේ අර්බුදය

The Suleimani assassination, imperialist strategy and the crisis of the Iranian regime

2020 ජනවාරි 16

ලෝක භූදේශපාලනයේ ඕනෑම හදිසි හැරීමක දී මෙන්ම, වොෂිංටනය විසින් ඉරාන විප්ලවීය ආරක්ෂක හමුදා ජනරාල් කාසිම් සුලෙයිමානිගේ සාපරාධී ඝාතනයේ සැබෑ අරමුන සහ පූර්න ඇඟවුම් මතුවෙන්නේ කාලය ගතවීමත් සමඟ ය.

ඝාතනය ඇමරිකානු ජීවිත කෙරෙහි ආසන්න තර්ජනයකට ප්‍රතිචාරයක් ලෙස සිදු කල බවට ට්‍රම්ප් පරිපාලනයේ ප්‍රකාශයන් අමූලික බොරු ලෙස හෙලි වී තිබේ. සුලෙයිමානිගේ ඝාතනය මාස ගනනක් පුරා සැලසුම් කෙරුනු අතර එය සීඅයිඒ ප්‍රධානී ජිනා හැස්පෙල්, රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ සහ හිටපු ට්‍රම්ප් ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් ද ඇතුලුව එක්සත් ජනපද (එජ) මිලිටරි-විදේශ ප්‍රතිපත්ති සංස්ථාපිතයේ ප්‍රධාන පුද්ගලයින් දීර්ඝ කාලයක් තිස්සේ නිර්දේශ කර තිබිනි.

ඉරානයේ බල ව්‍යූහය තුල උත්තරීතර නායක අයතුල්ලා කමේනිට පමනක් දෙවැන්නා ලෙස සැලකෙන මිලිටරි නායකයා ඝාතනය කිරීම ට්‍රම්ප් පරිපාලනය ඉරානය මත “උපරිම පීඩනය” යෙදීම සදහාවූ උද්ඝෝෂනය නාටකාකාර ලෙස තීව්‍ර කිරීම සටහන් කරයි. මෙම උද්ඝෝෂනය, යුදමය ක්‍රියාවකට සමාන වන්නාවූ විනාශකාරී ආර්ථික සම්බාධක, සයිබර් යුද්ධ සහ වෙනත් “විශේෂ මෙහෙයුම්”, අඛන්ඩ රාජ්‍ය තාන්ත්‍රික හා මිලිටරි පීඩනය සමග ඒකාබද්ධ කරයි.

ඉරාන ජනාධිපති කාර්යාලයේ නිල වෙබ් අඩවිය විසින් නිකුත් කරන ලද මෙම ඡායාරූපයෙහි ජනාධිපති හසාන් රූහානී 2020 ජනවාරි 15 වන බදාදා ඉරානයේ ටෙහෙරානයේ පැවති කැබිනට් රැස්වීමකදී කථා කරයි. ( ඒපී මගින් ඉරාන ජනාධිපති කාර්යාලය)

එහි ඉලක්කය වන්නේ ඉරානය “ආපසු හරවමින්”, ඉරානයේ ෂියා පූජකවරුන්ගේ නායකත්වයෙන් යුත් ධනේශ්වර ජාතිකවාදී තන්ත්‍රය ප්‍රතිනිර්මානය කිරීම හෝ සම්පූර්නයෙන්ම පෙරලා දැමීම හරහා වේවා, ෂාගේ ශත වර්ෂ කාර්තුවක පමන ලේ වැකි ඒකාධිපතිත්වයට සමාන රජයක් තෙහෙරානයේ බලයට ගෙන ඒමයි. මෙවැනි රජයක් ඇමරිකානු අධිරාජ්‍යවාදයේ සුවච කීකරු එකක් වනු ඇත.

දිගු කලක් තිස්සේ එජ අධිරාජ්‍යවාදී මූලෝපායඥයින් විසින් මුලු‍මහත් යුරේසියාව කෙරෙහි ආධිපත්‍යය අත් කරගැනීමේ ප්‍රයත්නය සඳහා කේන්ද්‍රීය ලෙස ඉරානය සලකනු ලැබීය. මෙයට හේතුව වන්නේ එය අති විශාල තෙල් සම්පත් සහිත වීම සහ මහාද්වීප තුනක් එකිනෙකට හමුවන ස්ථානයකට ආසන්නව ද ලෝකයේ වඩාත්ම වැදගත් තෙල් අපනයන කලාප දෙක වන මැද පෙරදිග හා මධ්‍යම ආසියාව හරහා ද සේ වන භූ-මූලෝපායික පිහිටීම යි.

රාජ්‍යතාන්ත්‍රික වශයෙන් ගත් කල, ඉරානය නව යටත් විජිතයක් බවට යටත් කර ගැනීම සඳහා එජ ගෙන යන බලහත්කාරය ප්‍රකාශ වන්නේ “දෝෂ සහිත” ඉරාන න්‍යෂ්ටික ගිවිසුම විස්ථාපනය කිරීමට තෙහෙරානය සාකච්ඡා කල යුතු යයි ට්‍රම්ප්ගේ සහ පොම්පියෝගේ බල කිරීම තුල ය. ඉරානයේ මිලිටරිය දැඩි ලෙස සීමා කිරීමත් මැද පෙරදිග හරහා එහි බලපෑම “ආපසු හැරවීමත්” සහ සිවිල් න්‍යෂ්ටික වැඩපිලිවෙලකින් එය සදහටම වලක්වාලීමත් මෙම “ට්‍රම්ප් ගිවිසුම” මගින් සිදු කරනු ඇත.

පූර්න යුද්ධයක් පිලිබඳ “විශ්වාසනීය” තර්ජනය මත පදනම් කෙරී ඇති ඉරානයට එරෙහි වොෂින්ටනයේ උපරිම පීඩන උද්ඝෝෂනය රුසියාව සහ චීනය සමඟ “මූලෝපායික ගැටුම්” සඳහා වන එහි (වොෂින්ටනයේ) සූදානම සමඟ සමීපව බැඳී ඇත. එය, සමස්ත මැදපෙරදිග ප්‍රදේශයම ගිල දමමින් ද අනෙක් මහා බලවතුන් ඇද ගනිමින්ද ඉරානය සමඟ ව්‍යසනකාරී යුද්ධයකට වේගයෙන් ඇදී යා හැක. එහෙත්, එජ අධිරාජ්‍යවාදය ඊට වඩාත් හිතකර “මහා කේවල් කිරීමක්” බලහත්කාරයෙන් ලබා ගත හැකි යැයි ගනන් බැලීම සඳහා එය පෙලඹී ඇත්තේ නිරන්තරයෙන් ඉහල යන බාහිර පීඩනයට පමනක් නොව, සියල්ලටම වඩා කම්කරු පන්තියේ දැවැන්ත සමාජ විරෝධයටද මුහුන දී සිටින ඉරාන ධනේශ්වරය අර්බුද ග්‍රස්ථව ගැඹුරින් බෙදී ඇති නිසාය.

2018 ආරම්භයේදී කප්පාදුවට හා සමාජ අසමානතාවයට එරෙහි මහජන කෝපය පුපුරා යාමෙන් ඉරාන තන්ත්‍රය දෙදරුම් කෑවේය. පසු ගිය නොවැම්බරයේදී දැවැන්ත ගෑස් මිල ඉහල නැංවීම් නගර 100 කට අධික සංඛ්‍යාවක, ඉන් සමහරක් ප්‍රචන්ඩකාරී වූ, උද්ඝෝෂනවලට තුඩු දුන් අතර, ඉරාන රජය නැවතත් ප්‍රතිචාර දැක්වූයේ කුරිරු මර්දනයක් මගින්, වාර්තා වූ ලෙසට, විරෝධතාකරුවන් විශාල සංඛ්‍යාවක් ඝාතනය කිරීමෙනි.

සුලෙයිමානි ඝාතනය පැහැදිලිවම ඉලක්ක කර ඇත්තේ ඉස්ලාමීය ජනරජයට “නිකම්ම” තර්ජනය කිරීම හා අස්ථාවර කිරීමට වඩා වැඩි දෙයක් වෙනුවෙනි. එහි ඉලක්කය වූයේ ඉරාන තන්ත්‍රයේ අභ්‍යන්තර ගතිකයන් මාරු කිරීමයි. ඒවායින් බොහොමයක් ෂියා ජනතාවාදය මත පදනම් වූ විදේශීය මිලීෂියා (සන්නද්ධ සිවිල් අර්ධ-මිලිටරි) කන්ඩායම් ජාලයක්, හරහා එජ පීඩනයට එරෙහි වීමට ඉරානය දරන උත්සාහයන් අධීක්ෂනය කිරීම සඳහා වගකිව යුතු හමුදා නායකයා එමගින් ඉවත් කෙරුනි. එපමනක් නොව, පසුව ඔහුගේ ඝාතනයට සහ එජ යුද තර්ජන විරෝධය දැක්වූ මහජන උද්ඝෝෂන මගින් පෙන්නුම් කල පරිදි, සුලෙයිමානි, පුලුල් මහජන සහයෝග පදනමක් තිබූ නායකයෙකු විය.

පැහැදිලිව පෙනීගිය ලෙස ඔහුට නො තිබූ ආරක්ෂාවද ඇතුලු‍ව, සුලෙයිමානි ඝාතනයට පත්වූ ආකාරය දෙස බැලීමේදී, ඉරාන රජය තුල එදිරිවාදී කල්ලි මෙම ඝාතනයට පහසුකම් සැපයූවේද යන ප්‍රශ්නය යුක්ති සහගතව ඇසිය හැක.

ඔහුගේ ඝාතනය හා එමගින් ඇතිකල කැලඹීම් සහගත සිදුවීම් හමුවේ- පසුගිය සතියේ ඉරාන විප්ලවීය ආරක්ෂක හමුදා මිසයිලයක් මගින් යුක්රේන ජාත්‍යන්තර ගුවන් යානයක් අචේතනාන්විතව බිම හෙලීම, එය වසන් කිරීම, රජයේ නොසැලකිල්ල සහ මර්දනය හෙලා දකින ශිෂ්‍ය පෙලපාලි පුපුරා යාම ආදී වශයෙන් මස්තකප්‍රාප්ත වෙමින් -කල්ලිවාදී යුද්ධය තීව්‍ර වී ඇති වග ප්‍රතික්ෂේප කල නොහැකි දෙයකි.

මේ අතර, නවදිල්ලියේ සංචාරයකදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවූ ඉරාන විදේශ අමාත්‍ය ජාවෙඞ් සරීෆ් ප්‍රකාශ කලේ එජයේ ප්‍රධාන සගයෙකු වන ඉන්දීය රජයට “ගල්ෆ්හි ආතතීන් තුනී කිරීමේදී වැදගත් කාර්යභාරයක් ඉටු කල හැකි” බවයි.

ඉරාන තන්ත්‍රයේ අර්බුදය සහ ඒ තුල ඇති දිගුකාලීන ඉරිතැලීම් භාවිත කිරීම සඳහා ට්‍රම්ප් පාලනාධිකාරය ගෙන යන ප්‍රයත්නයේ ප්‍රධාන අංගයක් වී ඇත්තේ ඉරාන න්‍යෂ්ටික ගිවිසුම ප්‍රතික්ෂේප කිරීම සඳහා යුරෝපීය අධිරාජ්‍යවාදී බලවතුන් වන ජර්මනිය, ප්‍රන්සය සහ බ්‍රිතාන්‍යය වොෂින්ටනයට සම්බන්ධ කර ගැනීම සඳහා පොලඹවා ගැනීම ට දරන උත්සාහයයි.

අඟහරුවාදා, ඊනියා ඊ -3 (රටවල්) ගිවිසුමේ ආරවුල් විසඳීමේ යාන්ත්‍රනය දියත් කරමින් මෙම දිශාවට යෝධ පියවරක් තැබූ අතර එමඟින් ඉරාන ආර්ථිකයේ ගෙල සිරකර ඇති සම්බාධක පැනවීමට හා පොලිස්කාරකම් කිරීමට වොෂිංටනය සමග එක්වීම සඳහා වූ වේග මාවතට අවතීර්න වූහ.

න්‍යෂ්ටික ගිවිසුම ඉවත දැමුවෙද, ඉරානයට එරෙහිව “උපරිම ආක්‍රමනය” දියත් කරමින් සිටින්නේද වොෂින්ටනයයි. ලෝක මූල්‍ය පද්ධතිය තුල එහි ආධිපත්‍යය තුලින් එය ඉරානය සමඟ ලෝක වෙලඳාම සාර්ථකව අවහිර කර ඇති අතර එමඟින් න්‍යෂ්ටික ගිවිසුම පදනම් වී ඇති ‘ගනුදෙනුව’- එනම්, ඉරානයේ සිවිල් න්‍යෂ්ටික වැඩ පිලිවෙලෙ බොහෝමයක් විසුරුවා හැරීම සඳහා හිලව්වට සම්බාධක ඉවත් කිරීම- ශූන්‍ය හා බල රහිත කරයි.

එහෙත්, ට්‍රම්ප්ගේ සහ පොම්පියෝගේ කන්වලට වීනා වාදනය කරන්නාක් මෙන්, ප්‍රන්සය, ජර්මනිය සහ බ්‍රිතාන්‍යය ගිවිසුම උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඉරානයට දොස් පවරන්නේ, විවිධ ජේසීපීඕඒ කොන්දේසි ඉක්මවා යෑම මගින් වාසි සහගත තත්වයක් ලබාගැනීමට තෙහෙරානයේ උත්සාහයන් පිලිබඳව නරුම ලෙස සඳහන් කරමින් සහ න්‍යෂ්ටික අවි ලබා ගැනීම සඳහා උත්සාහ කරන බවටද චෝදනා කරමිනි.

යුරෝපීය අධිරාජ්‍යවාදී බලවතුන් ඔවුන්ගේ උත්සුකතාවන්ට හරස් කපන ප්‍රකෝපකාරී සහ ඒකපාර්ශ්වික එජ ක්‍රියාමාර්ග නිසා කැලඹී ඇත. සුලෙයිමානිගේ ඝාතනය නවතම සැඩ කම්පනය පමනි.

බ්‍රිතාන්‍යය හා යුරෝපා සංගම් බලවත්තු ඉරානයට එරෙහිව වොෂින්ටනය විසින් දිනෙන් දින තීව්‍ර කරන ආක්‍රමනය, රුසියාව හා චීනය ඒ වෙත වහාම ඇද නොගත්තද, ඔවුන්ගේ අධිරාජ්‍යවාදී අවශ්‍යතාවන්ට එරෙහි වන පූර්න යුද්ධයක් අවුලවනු ඇතැයි බිය වෙති. යුද්ධයක් මගින් තෙල් මිල වඩාත් ඉහලට යවමින්, යුරෝපීය ආර්ථිකය කලඹවමින්, තවත් දැවැන්ත සරනාගත අර්බුදයක් අවුලු‍වමින් වැඩෙන කම්කරු පන්තියේ ප්‍රති-ප්‍රහාර තවදුරටත් රැඩිකල් කරනු ඇත.

ට්‍රම්ප්ව වලක්වා ගැනීමට, විශාල යුද ගැටුමක් වලක්වා ගැනීමට සහ මැද පෙරදිග බලපෑම රඳවා ගැනීමට අවශ්‍ය නම් ඔවුන් වොෂින්ටනය හා එහි උපරිම පීඩන උද්ඝෝෂනය පිටුපස පෙල ගැසිය යුතු බව පොම්පියෝ සහ තවත් අය යුරෝපීයයන්ට පවසා ඇති බවට සැකයක් නැත.

“න්‍යෂ්ටික ගිවිසුම් උල්ලංඝනය කිරීම් පිලිබඳව යුරෝපීයයන් ඉරානයට අනතුරු ඇඟවීමට දින ගනනකට පෙර ඔවුන් එසේ නොකලේ නම් යුරෝපීය රථවාහන වලට සියයට 25 ක තීරුබදු පැනවීමට ට්‍රම්ප් රහසිගතව තර්ජනය කලේය.” යන මැයෙන් වොෂිංටන් පෝස්ට් විසින් ඊයේ ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවකට අනුව, මෙම සැක සහිත දිරිගැන්වීම් සඳහා ට්‍රම්ප් පාලනාධිකාරය වෙලඳ යුද්ධ තර්ජනයක් එක් කලේය.

එසේ වුවද ,වොෂිංටනයෙහි මෙන්ම යුරෝපීයයන්ගේ ද ගනනය කිරීම්වල ප්‍රධාන සාධකයක් වන්නේ ඉරානයේ ධනේශ්වර තන්ත්‍රයේ ස්වභාවය සහ එහි පැහැදිලි අර්බුදයයි.

පෙන්ටගනයට පූර්ව අනතුරු ඇඟවීමක් ලබා දී හා කිසිදු මිනිස් හානියක් සිදු නොවූ මිසයිල ප්‍රහාරවලට පමනක් සීමා වූ සුලෙයිමානි ඝාතනයට ඉරාන තන්ත්‍රය දැක්වූ ප්‍රතිචාරයෙන් ද, 752 යුක්රේන ගුවන් යානය බිම හෙලීමේ වගකීම ආවරනය කිරීමට දැරූ අදක්ෂ වෑයමද මගින් යුරෝපීය අධිරාජ්‍යවාදී බලවත්තු පැහැදිලිවම ධෛර්යමත් වී ඇත.

එහි සියලු‍ ඇමරිකානු විරෝධී හඬ තැලීම් තිබියදී ඉරාන තන්ත්‍රය ධනේශ්වර ජාතික තන්ත්‍රයකි. එය වොෂින්ටනය සමඟ ගැටුමට එලඹ ඇති ප්‍රමානයට, එය සිදු වී ඇත්තේ සෑම විටම කම්කරු පන්තිය සූරාකෑමේ සහ එහි කලාපීය බලපෑම ඉහල නැංවීමේ තම හැකියාවන් වැඩි කර ගැනීමේ දෘෂ්ටි කෝනයෙන් ය.

කම්කරු පන්තියේ වැඩෙන විරෝධය ඉරානය එලවන්නේ දශක ගනනාවක් තිස්සේ සෑම එජ පාලනාධිකාරයක් සමඟම සහයෝගීතාවයක් ඇති කර ගැනීම සඳහා අවම වශයෙන් ජෝර්ජ් එච්.ඩබ්ලිව්. බුෂ්ගේ සමයේ සිට දැරුනු උත්සාහය තීව්‍ර කිරීමට ය.

එයට හැකි නම්, ඉස්ලාමීය ජනරජයේ ප්‍රභූ පැලැන්තිය හෝ එහි කොටස් ජනතාවගේ වියදමින් අධිරාජ්‍යවාදය සමඟ ගනුදෙනුවකට යනු ඇත. නව සබඳතාවයන් සඳහා වොෂිංටනය හා යුරෝපය වෙතට වූ ආරම්භකත්වයන් සමග, වැඩිදුර පුද්ගලිකකරනය, සහනාධාර කප්පාදුව සහ වෙනත් කම්කරු පන්ති විරෝධී ක්‍රියාමාර්ග සම්බන්ධ කෙරුනු වැඩසටහනක් මත 2014 දී රූහානි බලයට පත්වීමට පෙර සිටම, සම්බාධක ඉවත් කිරීම සම්බන්ධයෙන් ඉරාන තන්ත්‍රය ඔබාමා පරිපාලනය සමග තිරය පිටුපස සාකච්ඡා පැවැත්වීය.

මීට සමාන සාකච්ඡා අනාගතයේදී සිදුවනු හැකි හෝ නැතහොත් දැන් පවා තිරය පිටුපස සිදුවෙමින් පැවතිය හැක. ට්‍රම්ප් උතුරු කොරියාව සමග ගනුදෙනු කිරීමේදී එවැනි පීලි දෙකේ පිලිවෙතක් අනුගමනය කිරීමට තමන්ට හැකියාව ඇති බව පෙන්වා දී තිබේ.

1980 දශකයේ අග භාගයේ සිට සෑම ඉරාන රජයක් විසින්ම නව- ලිබරල් “ප්‍රතිසංස්කරන” ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමෙන් හා පහලින් මතුවන ඕනෑම අභියෝගයක් මැඩපැවැත්වීම සඳහා තමන්ගේ කන්ඩායමික විරුද්ධවාදීන් සමඟ එක්වීමට ඔවුන්ගේ වූ සූදානම පෙන්නුම් කරන පරිදි, ඊනියා ඉරාන “දැඩි මතධාරීන්” සම්බන්ධයෙන් ගත් කල, ඔවුහු ඔවුන්ගේ කන්ඩායමික විරුද්ධවාදීන්ට නොඅඩුව කම්කරු පන්තියට සතුරු වේ.

අවසානයේදී, “දැඩි මතධාරීහු” න්‍යෂ්ටික ගිවිසුමට සහ එජ හා යුරෝපා සංගමය සමග සමීප සබඳතා ඇති කර ගැනීමට සහාය වූහ. ඊටත් වඩා වැදගත් දෙය නම්, වොෂිංටනයට ප්‍රතිවිරෝධී වීම උදෙසා, රුසියාව හා චීනය සමඟ සමීප මිලිටරි- මූලෝපායික සබඳතා ඇතිකර ගැනීමට උත්සාහ කිරීම සහ මැද පෙරදිග පුරා සහයෝගය රැලි කර ගැනීම සඳහා ෂියා ජනතාවාදය සහ ආගමික නිකායවාදය භාවිතා කිරීම මත පදනම්වූ ඔවුන්ගේ මූලෝපාය, කලාපයත් මුලු ලොවම මත් යුද ගිනි ජාලයක ගිල්වා දැමීමේ අවදානම රැගත් ආවෘත අන්තයකි.

එජ හා යුරෝපීය අධිරාජ්‍යවාදී බලවතුන්ගේ ඉරානයට එරෙහි කොල්ලකාරී ක්‍රියා වලට ප්‍රතිවිරුද්ධ වීමේ එකම ශක්‍ය මූලෝපාය වන්නේ කප්පාදුව, සමාජ අසමානතාවය සහ යුද්ධයට එරෙහිව කම්කරු පන්තියේ ලොව පුරා වැඩෙන නැගිටීම මත පදනම් වීම සහ එම පන්තිය විප්ලවවාදී සමාජවාදී වැඩපිලිවෙලකින් සහ නායකත්වයකින් සන්නද්ධ කිරීමෙ අරගලයයි.

ඉරානයේ කම්කරුවන් හා තරුනයින් ධනවාදී ඉස්ලාමීය ජනරජයට එරෙහිව පිහිට විය යුතු වන්නේ, මැද පෙරදිග පුරා, සියලු‍ ආගමික නිකායික හා ජනවාර්ගික රේඛා හරහා, අධිරාජ්‍යවාදයට හා දූෂිත සියලු‍ ධනේශ්වර තන්ත්‍රයන්ට එරෙහිව ජනතාව එක්සත් කිරීමට සටන් කරන සමාජවාදී කම්කරු ජනරජයක් සඳහා අරගලයකිනි.

උතුරු ඇමරිකාවේ, යුරෝපයේ සහ ලොව පුරා කම්කරු පන්තියේ සටන් පාඨය විය යුත්තේ “ඉරානයට අත නොතබව්!” යන්නය. ඉරානයට එරෙහි සියලු‍ සම්බාධක, කුමන්ත්‍රන, තර්ජන සහ යුද සූදානම්වලට විරුද්ධ වීම අධිරාජ්‍යවාදී යුද්ධයට සහ එහි මූලාශ්‍රය වන අර්බුදයෙන් පිරි ධනවාදී ක්‍රමයට එරෙහි ගෝලීය කම්කරු පන්තිය විසින් මෙහෙයවන ව්‍යාපාරය ගොඩනැගීම සඳහා අත්‍යවශ්‍ය අංගයකි.

කීත් ජෝන්ස්

Share this article: