මැක්‍රොන්ට එරෙහි අරගලයේ ගෙල සිර කිරීමට ප්‍රන්ස වෘත්තීය සමිති දරන උත්සාහයන්ට විරුද්ධ වනු!

Oppose French unions’ attempts to strangle the struggle against Macron!

2020 ජනවාරි 29

පසුගිය සතියේ, අඛන්ඩ වැඩ වර්ජන හා විරෝධතා මධ්‍යයේ, ප්‍රන්ස දුම්රිය හා ගමනාගමන කම්කරුවෝ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට එරෙහි ව දෙසැම්බර් 5 වන දින ආරම්භ කල වැඩ වර්ජනය අවසන් කලහ. මූල්‍යමය වශයෙන් වෙහෙසට පත්ව සිටින කම්කරුවෝ 1968 මැයි-ජූනි මහා වැඩ වර්ජනයෙන් පසු ප්‍රන්සයේ දීර්ඝතම අඛන්ඩ වැඩ වර්ජනය අවසන් කලහ. ජාත්‍යන්තර ව මැක්‍රොන් හා බැංකුවල අනෙකුත් දේශපාලන නියෝජිතයින්ට එරෙහිව කෝපය වර්ධනය වීමත් සමග, ජාත්‍යන්තර කම්කරු පන්තියේ මෙම මූලෝපායික අත්දැකීම්වල ශේෂ පත්‍රයක් සැකසීමට කාලය පැමින තිබේ.

දැනට ක්‍රියාත්මක “කහ කබා” විරෝධතා අතර සහයෝගය දිනා ගත් වැඩ වර්ජනය කම්කරු පන්තියේ අතිමහත් ශක්තිය පෙන්නුම් කලේ ය. එය ආර්ථික ක්‍රියාකාරකම් අඩාල කර ගමනාගමන කටයුතුවලට බාධ කල ද, ජනගහනයෙන් තුනෙන් දෙකක්ම මැක්‍රොන්ට විරුද්ධව එයට සහාය දැක්වූහ. තමන් ඇල්ජීරියාව, ඉරාකය හා ලතින් ඇමරිකාව පුරා මහජන විරෝධතා, එක්සත් ජනපද ගුරුවරුන්ගේ හා මෝටර් රථ කම්කරුවන්ගේ වැඩ වර්ජන සහ මුස්ලිම් විරෝධී නීතිවලට එරෙහිව වැඩ වර්ජනය කරමින් සිටින මිලියන සංඛ්‍යාත ඉන්දියානු කම්කරුවන් සම්බන්ධ වන පන්ති අරගලයේ ගෝලීය යලිපිබිදීමේ කොටසක් බව වර්ජකයෝ දැන සිටියහ.

ප්‍රන්සයේ විශ්‍රාම වැටුප් කප්පාදුවට එරෙහි කම්කරුවන්ගේ උද්ඝෝෂනය [අනුග්‍රහය ඒපී ඡායාරූප/ ඩැනියෙල් කෝල් ,Credit: AP Photo/Daniel Cole]

විප්ලවීය මනෝගතියක් මතුවෙමින් තිබේ. “විප්ලවය” හා “මහා වැඩ වර්ජන” සම්බන්ධ ඉල්ලීම් ප්‍රන්සය පුරා මිලියන සංඛ්‍යාත ජනතාවගේ විරෝධතාවල දෝංකාර නැංවූයේ, වරාය, පිරිපහදු හා මෝටර්රථ කම්හල්වල වැඩවර්ජනයක් සඳහා ඉල්ලීම් පැතිර යාමත් සමගිනි.

කෙසේ වෙතත්, මෙම ප්‍රතිඵලය මගින් මැක්‍රොන් සමග වෘත්තීය සමිති සාකච්ඡා ඔස්සේ මෙම ගැටුම නිරාකරනය කර ගැනීමට ඉල්ලා සිටි සියලු ව්‍යාජ වාම පක්ෂ හෙලිදරව් කෙරුනි. ස්ටැලින්වාදී පොදු කම්කරු සම්මේලනය (සීජීටී) හා ප්‍රන්ස කොමියුනිස්ට් පක්ෂය, මහා ව්‍යාපාරික සමාජවාදී පක්ෂය, පැබ්ලෝවාදී නව ධනපති විරෝධී පක්ෂය හා පශ්චාත් නූතනවාදී “වාම ජනතාවාදී” ජීන් ලූක් මෙලෙන්කන් “ඔබගේ සැලැස්ම ඉල්ලා අස්කර ගන්න” යි මැක්‍රෝන්ට කෙටි ඒකාබද්ධ අභියාචනයක් ඉදිරිපත් කලහ. “විශ්‍රාම යන වයස ඉහල නංවන්නේ නැති ව, සියල්ලන්ගේ ප්‍රගතියක් කරා යන සාධාරන හා ප්‍රජාතන්ත්‍රවාදී විශ්‍රාම වැටුප් සැලැස්මක් පිලිබඳව වෘත්තීය සමිති සමඟ වහාම සාකච්ඡා කරන ලෙස” ඔවුහු මැක්‍රොන්ගෙන් බැගෑපත්ව ඉල්ලා සිටියහ.

කෙසේ වෙතත්, කම්කරු පන්තිය බලමුලු ගැන්වීම වෙනුවට සීජීටීය හා එහි සහචරයෝ වැඩ වර්ජනය කඩාකප්පල් කරමින් මැක්‍රොන්ට ඉදිරියට යාමට ඉඩ හැරියෝ ය. වෘත්තීය සමිති වෙනත් කර්මාන්තවල පුලුල් වැඩ වර්ජන නො කැඳවා, දුම්රිය හා ගමනාගමන වැඩ වර්ජනය හුදකලා කල අතර, සති හයක දුම්රිය වැඩ වර්ජන සඳහා වැදගැම්මකට නැති යුරෝ අතලොස්සක වැඩ වර්ජන වැටුපක් ගෙවා දැමූහ. මැක්‍රොන්ට සිය විශ්‍රාම වැටුප් කප්පාදු පනත සිකුරාදා අමාත්‍ය මන්ඩලය වෙත යැවිය හැකි වූයේ, වෘත්තීය සමිති සමඟ අවසන් අයවැය තොරතුරු හා එය ජාතික සභාව වෙත යැවීමේ සාකච්ඡා සූදානම් කරමිනි.

මැක්‍රොන්ගේ ප්‍රතිපත්තිය වන්නේ සියලු විරුද්ධවාදිකම් මැඩපැවැත්වීම සඳහා කැරලි මර්දන පොලිසිය යැවීම යි. 2018 දී “කහ කබා” විරෝධතා ආරම්භ වූ දා සිට විරෝධාතකරුවන්ට එරෙහිව, සන්නද්ධ මෝටර් රථ, ජල කාලතුවක්කු හා කඳුලු ගෑස් යොදා ගනිමින් පොලීසිය 10,000 කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ. උද්ඝෝෂන වල පසෙකින් සිටි සිනෙබ් රෙඩෝනේ හා ස්ටීව් කැනිකොගේ ඝාතන හෝ වයෝවෘද්ධ විරෝධතාකරුවෙකු වන ජෙනිවිව් ලෙගේට මාරාන්තික ප්‍රහාරයක් එල්ල කිරීම වැනි විරෝධතාවල දාමරිකම් වෙනුවෙන් වග කිය යුතු පොලිස් ඒකකවලට විවෘතව ප්‍රශංසා කරමින්, මැක්‍රොන් පොලීසිය යොදා ගන්නේ බැංකුවල ප්‍රහාරක සුනඛයන් මෙනි.

මැක්‍රෝන් ප්‍රචන්ඩ ආඥාදායකත්වයක් මෙහෙයවයි. එය තම විශ්‍රාම වැටුප් කප්පාදුව සැලසුම් කලේ, මූල්‍ය සමාගම් හා රජයේ විශ්‍රාම වැටුප් සියයට 20, 30 හෝ ඊට වැඩි ප්‍රතිශතයතකින් කැපීමත් සමග දැවැන්ත ලාභයක් අපේක්ෂා කරන බ්ලැක් රොක් නම් ආයෝජන බැංකුව සමගිනි. “රාජ්‍ය විශ්‍රාම වැටුප් මට්ටම්වල සැලසුම් සහගත දිගුකාලීන පරිහානියට” මුහුන දීම සඳහා පුද්ගලික විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රම මිල දී ගත යුතු බව රක්ෂන සමාගමක් වන ඇක්සා මෑතක දී ධනවත් ආයෝජකයින් සඳහා ලියූ දැන්වීමක සඳහන් වේ. විශ්‍රාම ගැනීමෙන් පසු කම්කරුවන් දුගී බාවයට පත් කිරීම රාජ්‍යයේ අරමුනයි.

කම්කරුවන් වෙත වන පොලිස් රාජ්‍යයේ දැවැන්ත වෛරය මූර්තිමත් කෙරුනේ “කහ කබා” විරෝධතාවක දී පොලිස් ම්ලේච්ඡත්වය විවේචනය කල පැරිසියේ වැසියෙකුට එහි පොලිස් අධිපති ඩිඩීයර් ලැලෙමෙන්ට් කල මෙම කෙටි සඳහන් කිරීමෙනි: “අපි එකම කඳවුරක නැහැ මැඩම්.”

ජාත්‍යන්තරව කම්කරුවන් සඳහා වන ප්‍රධාන දේශපාලන හා මූලෝපායික පාඩම් මෙම වැඩ වර්ජනයෙන් ගලා එයි. සමාජවාදී සමානතා පක්ෂය (ප්‍රන්ස) අනතුරු ඇඟවූ පරිදි, කම්කරුවන්ට මැක්‍රොන් සමඟ සාකච්ඡා කිරීමට කිසිවක් නැත. ඔහු පිටුපසින් ජාත්‍යන්තර වෙලඳපොල හා ධනේශ්වර මූල්‍ය කතිපයාධිකාරය ඇත. මහජනයා දරිද්‍රතාවට ඇද දැමීමේ පොලිස් රාජ්‍යයේ සැලසුම් නැවැත්වීමට මැක්‍රොන් පලවා හැරීම අවශ්‍ය වේ. කෙසේ වෙතත්, එවැනි අරගලයක් දියත් කිරීම සඳහා ඔහුට එරෙහිව කම්කරුවන්ගේ වඩා පුලුල් ස්ථර බලමුලුගැන්වීම සඳහා වෘත්තීය සමිතිවලින් ස්වාධීනව, සාමාජික ක්‍රියාකාරී කමිටු ගොඩ නැගීම අවශ්‍ය වේ.

හුදෙකලාවට හා ගර්හාවට ලක් කෙරුනු මැක්‍රොන් ආන්ඩුවට ජනතාව තුල වැඩිවන කෝපයෙන් යන්තම් හෝ ආරක්ෂා වීමට නො හැකි ය. මැක්‍රොන්ගේ පවුල කැරැලි කෝලාහල පිලිබඳ භීතියෙන් ජීවත් වන බවට පසුගිය සරත් සමයේ ප්‍රවෘත්ති සඟරා වාර්තා කිරීමෙන් පසුව, ඔහු අවසානයේ පසුගිය සතියේ පැරීසියේ බුෆෙස් ඩු නෝඞ් රඟහලේ දී ප්‍රසිද්ධියේ පෙනී සිටීමට නිර්භීත විය. කෙසේවෙතත්, ඔහුගේ පැමිනීමත් සමග විරෝධතා ඇවිස්සීමෙන් පසු, ඔහුට හා ඔහුගේ බිරිඳ බි්‍රජිට්ට ඉක්මනින් පලා යාමට සිදුවිය.

කම්කරුවන්ට නැත්තේ සංඛ්‍යාවේ ශක්තිය, ධෛර්යය හෝ අධිෂ්ඨානය නො ව සංවිධානය, දේශපාලන ඉදිරිදර්ශනය හා නායකත්වය යි. වෘත්තීය සමිති පසුගිය වසරේ ගමනාගමන කම්කරුවන්ගේ වැඩ වර්ජනය අනුමත කලේ, ජාතික දුම්රිය සේවයේ නැවත නැවතත් හදිසි වැඩවර්ජනවලින් පසුව කම්කරුවන් පාලනය කර ගැනීමේ මංමුලා සහගත උත්සාහයක් ලෙස ය. කෙසේ වෙතත්, මෙම උපක්‍රමික මාරුව නො තකා, කප්පාදුව පිලිබඳ සාකච්ඡා කිරීමේ දී හා ධනේශ්වර තන්ත්‍රය ස්ථාවර කිරීමේ දී ඔවුහු ප්‍රධාන කාර්යභාරයක් ඉටු කලහ.

වෘත්තීය සමිති නිලධරය මැක්‍රොන්ට එරෙහිව අධිෂ්ඨාන සහගත අරගලයක් සංවිධානය නො කල නමුත් ඔහු සමඟ විශ්‍රාම වැටුප් කප්පාදුව සාකච්ඡා කර, වැඩ වර්ජන හුදකලා කල අතර පුලුල් අරගලයකට විරුද්ධ වූහ. මෙය පිලිබිඹු කරන්නේ වෘත්තීය සමිතිවල භෞතික අවශ්‍යතා ය. ප්‍රන්ස වෘත්තීය සමිතිවල යුරෝ බිලියන 4 ක වාර්ෂික අයවැය සඳහා විශාල වශයෙන් අරමුදල් සපයනු ලබන්නේ රජය හා ව්‍යාපාරික කන්ඩායම් විසිනි. සීජීටී-පීසීඑෆ් (ප්‍රන්ස කොමියුනිස්ට් පක්ෂය) හි ග්‍රීක සගයා වන සිරිසා (“රැඩිකල් වමේ සන්ධානය”) ආන්ඩුවේ වාර්තාව මගින් ඔවුන්ගේ පන්ති භූමිකාව හෙලිදරව් කෙරුනි. ග්‍රීක කම්කරුවන් හා තරුනයින් අතර විරෝධතා නැගී ඒමෙන් පසුව, එය 2015 දී බලයට පත් වූයේ යුරෝපා සංගමයේ කුරිරු කප්පාදු පැටවීමට පමනි.

පාලක පන්තිය දිගු කලක් තිස්සේ “වම” යැයි ව්‍යාජ ලෙස ප්‍රචාරය කර ඇති සංවිධානවල ප්‍රතිගාමී භූමිකාව අනතුරු ඇඟවීමකි: මැක්‍රොන් පලවා හැරීම සඳහා කම්කරුවන්ට ප්‍රන්සයේ බංකොලොත් දේශපාලන සංස්ථාපිතයේ වෙනත් කොටසකට හෝ පොලිස් රාජ්‍ය යාන්ත්‍රනයේ තවත් කන්ඩායමකට බලය පැවරිය නො හැක. බලය යා යුත්තේ සමාජ ධනය නිෂ්පාදනය කරන හා ප්‍රන්සය තුල මෙන් ම ජාත්‍යන්ර ව ධනවාදයට ඉරෙහිව සටන් කිරීමේ තම සූදානම පෙන්වමින් සිටින කම්කරු පන්තියට යි. 1917 ඔක්තෝබර් විප්ලවයෙන් යන්තම් සියවසකට පසුව, රාජ්‍ය බලය කම්කරු පන්තියට මාරුකිරීමේ ප්‍රශ්නය යලිත් මතු ව තිබේ.

නව විප්ලවවාදී පෙරටු බලඇනියක් ගොඩනැගීම දැන් තීරනාත්මක ය. දැනටමත්, “කහ කබා” එක්රැස්වීම්, වැඩ වර්ජන කමිටු හා සමාජ මාධ්‍ය විරෝධතා කන්ඩායම්වල විශාල ජාලයක් සෑදී ඇත. මැක්‍රොන්ට එරෙහි ආරම්භක වැඩ වර්ජනයෙන් ඇති වූ පසුබෑමෙන් පසුව, කර්තව්‍යය වන්නේ දැනටමත් අරගලයට ඇදී ගොස් ඇති කම්කරුවන් හා තරුනයින් වෙත මතු කර ඇති දේශපාලන කාර්යයන් පැහැදිලි කිරීම සහ ප්‍රන්සයේ මෙන් ම ජාත්‍යන්තර ව වඩා පුලුල් ස්ථරයන් සටනට ඇද ගැනීම යි.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ප්‍රන්ස ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂය යනු, ස්ටැලින්වාදය හා ව්‍යාජ වම විසින් කරන ලද අපරාධ හා කම්කරු පන්තිය පාවාදීම්වලට වන පෑහිය නො හැකි විරුද්ධත්වය මත පදනම් වූ ප්‍රන්සයේ මාක්ස්වාදී පෙරටුගාමී පක්ෂය යි. ලෙනින් කල යුත්තේ කුමක් ද යන සිය සම්භාව්‍ය කෘතිය තුල පෙරටුගාමී පක්ෂය ගැන ලියා ඇති පරිදි, “නිර්ධන පන්තිය තම ස්ථානය පිලිබඳ සවිඥානකත්වය මෙන්ම තම කර්තව්‍යය පිලිබඳ සවිඥානකත්වය සමගින් සන්තෘප්ත කිරීම” එහි කාර්යභාරය වෙයි. “පන්ති අරගලයෙන් ම සවිඥානකත්වය ඇති වන්නේ නම් මේ සඳහා අවශ්‍යතාවයක් නො තිබෙනු ඇත.”

ප්‍රන්සයේ කප්පාදුවලට එරෙහි ව්‍යාපාරය එක් ප්‍රකාශනයක් පමනක් වන කම්කරු පන්තියේ ගෝලීය වැඩ වර්ජන හා අරගල රැල්ල ආරම්භ වෙමින් තිබෙනවා පමනි. යල්පැනගිය ධනවාදී පද්ධතිය අවසන් කොට එය වෙනුවට සමාජවාදය ආදේශ කිරීමේ අරගලයේ දී කම්කරු පන්තියේ ගෝලීය නැගිටීම සඳහා ප්‍රන්සයේ කම්කරුවන් හා තරුනයින් යොමු කිරීමට සමාජවාදී සමානතා පක්ෂය ක්‍රියා කරනු ඇත.

ඇලෙක්ස් ලැන්ටියර්

Share this article: