පන්ති අරගලයේ වර්ධනය මධ්‍යයේ එක්සත් ජනපදයෙහි වෘත්තීය සමිති සාමාජිකත්වය ඓතිහාසික පහල මට්ටම්වලට වැටේ

Amidst growth of class struggle, union membership in US falls to historic lows

2020 පෙබරවාරි 4

එක්සත් ජනපදයේ හා ලොව පුරා වැඩ වර්ජන හා සමාජ අරගල රැල්ලක් මධ්‍යයේ, එක්සත් ජනපදය තුල වෘත්තීය සමිති සාමාජිකත්වය 2019 වසරේ දී තවත් 170,000කින් හෙවත් ශ්‍රම බලකායෙන් සියයට 10.3කින් ඇද වැටුනු බව පෙන්වන සංඛ්‍යාලේඛන, කම්කරු සංඛ්‍යාලේඛන කාර්යාංශය විසින් පසුගිය සතියේ නිකුත් කලේ ය.

පුද්ගලික අංශයේ පමනක්, වෘත්තීය සමිතිගත කම්කරුවන් ගනන සියයට 6.2 දක්වා 101,000කින් ඇදවැටුනේ, සියවසක් හෝ ඊටත් වැඩි කාලයක් තුල අඩුතම අගය වාර්තා කරමිනි.

එක්සත් මෝටර් කම්කරු සමිතියේ (යූඒඩබ්ලිව්) උප සභාපති රෝරි ගැම්බල් (වමේ) මිච්හි ඩියර්බෝන්හි දී කොන්ත්‍රාත් සාකච්ඡා ආරම්භ කිරීම සඳහා ෆෝඞ් මෝටර් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජිම් හැකට්ට අතට අත දෙමින්. (ඒපී ඡායාරූපය/ කාලෝස් ඔසරියෝ)

1983 දී පැවති සියයට 20.1ක වෘත්තීය සමිතිගත වීමේ රේට්ටුවට හා එම රේට්ටුව ඉහල ම අගය කරා ලඟා වූ 1954 දී පැවති සියයට 35ට ආසන්න අගයට මෙය විලක්ෂනය වේ. ශ්‍රම බලකාය සියයට 50ටත් වැඩියෙන් වර්ධනය වී තිබුන ද වර්තමාන වෘත්තීය සමිති සාමාජිකයන්ගේ ගනන එය එහි ඉහල ම අගය වාර්තා කල 1979ට වඩා අඩකටත් අඩුවෙයි.

වෘත්තීය සමිති සාමාජිකත්වයේ ඛාදනය සිදුවන්නේ කම්කරුවන් අතර පවතින සටන්කාමීත්වයේ අඩුවක් නිසා නො වේ. ඊට විපරීත ව, ප්‍රධාන වැඩ වර්ජනවල නිරත කම්කරුවන් සංඛ්‍යාව 1986න් මෙපිට ඉහල මට්ටම්වලට ලඟා වෙමින්, ලොව පුරා පන්ති අරගලයෙහි වර්ධනයේ කොටසක් ලෙස එක්සත් ජනපදය තුල වර්ජන ක්‍රියාකාරීත්වය පසුගිය වසර දෙක පුරා ඉහල ගොස් ඇත.

පසුගිය වසර දෙක පුරා, බටහිර වර්ජිනියාව, කැරොලිනා ප්‍රාන්ත හා අනෙකුත් ප්‍රාන්තවල වෘත්තීය සමිති සාමාජිකයන් නො වන බොහෝ ගුරුවරුන් ඇතුලු‍ ලක්ෂ ගනනක් ගුරුවරුන්ගේ අරගල ද ඇතුලු‍ ව, එක්සත් ජනපද කම්කරුවන් මිලියනයක් පමන ප්‍රධාන වැඩ වර්ජන 47ක නිරත වූ හ. 2019 දී ලොස් ඇන්ජලීස්, චිකාගෝ හා අනෙකුත් නගරවල ගුරුවරුන් සමග, අඩ සියවසක් තුල දීර්ඝතම ජාතික මෝටර් කම්කරු වර්ජනය වූ දින 40ක් පුරා වර්ජනය කල ජෙනරල් මෝටර්ස් කම්කරුවන් 48,000ක් ඇතුලු‍ සැලකිය යුතු කාර්මික කම්කරු කොටස් එක් වූ හ.

වෘත්තීය සමිති සාමාජිකත්වය අඛන්ඩ ව අඩු වේ නම් එයට හේතුව වෘත්තීය සමිති සංගත කලමනාකාරීත්වයේ ඍජු උපකරන ලෙස ක්‍රියාත්මක වීම යි. රැකියා, ජීවන තත්ත්වයන් හා සේවා කොන්දේසි මත ප්‍රහාරයට විරුද්ධත්වය දක්වනු වෙනුවට, වෘත්තීය සමිති කරන්නේ ඒවාට පහසුකම් සැලසීම යි.

මෙම සමාගම්වලට හිතැති සංවිධාන සතුව කම්කරුවන්ට ඉදිරිපත් කිරීම සඳහා කිසිවක් නොමැති බව හොඳින් දන්නා කම්කරුවෝ, පසුගිය වසර කිහිපය පුරා වෘත්තීය සමිති පිලිගැනීමේ ප්‍රසිද්ධ ඡන්ද විමසීම් කිහිපය දී ම සමිතිවලට විරුද්ධ ව අතිමහත් බහුතරයෙන් ඡන්දය දුන් හ. ඔහියෝ ප්‍රාන්තයේ ඬේටන්හි ෆියුවාඕ ග්ලාස් ඇමරිකා කර්මාන්ත ශාලාව, ටෙනිසි ප්‍රාන්තයේ චැටනූගා ෆොක්ස්වැගන් එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව, මිසිසිපි ප්‍රාන්තයේ කැන්ටන්හි නිසාන් කර්මාන්ත ශාලාව හා දකුනු කැරොලිනා ප්‍රාන්තයේ නෝත් චාල්ස්ටන්හි බෝයිං 787 ඩ්‍රීම්ලයින් කර්මාන්ත ශාලාව යන කර්මාන්ත ශාලාවල ඡන්ද විමසීම් ඒවාට උදාහරනයන් ය.

වෘත්තීය සමිතිගත වීමේ නවතම සංඛ්‍යාලේඛන අවධාරනය කරන්නේ, කම්කරුවන් මෙම දක්ෂිනාංශික, සංගත-හිතවාදී සංවිධානවල ග්‍රහනයෙන් නිදහස් වී, අරගලයේ නව හා අව්‍යාජ ව ප්‍රජාතන්ත්‍රවාදී, සටන්කාමී සංවිධාන වන සාමාන්‍ය කම්කරුවන්ගේ කම්හල් හා වැඩපොල කමිටු ස්ථාපනය කරගැනීමේ අවශ්‍යතාව යි.

වෘත්තීය සමිතිවල ක්ෂමාලාපකයෝ සමිති සාමාජිකත්වය ඛාදනය වීම පිලිබඳ වරද පටවන්නේ, සංගත හා ට්‍රම්ප් පරිපාලනයේ විරුද්ධත්වය සහ රාජ්‍ය “වැඩ කිරීමට ඇති අයිතිය” පිලිබඳ නීති මත යි. ජාතික ආරක්ෂකයන්ගේ (නැෂනල් ගාඞ්) හා පුද්ගලික මැරයන්ගේ මර්දනය ද වෘත්තීය සමිති සංවිධාකයන් ඝාතනය කිරීම ද ඇතුලු‍ සමාගම්වල හා ආන්ඩුවේ වඩා විශාලතර විරෝධයක් සමග සමිති සටන්කාමීන්ට සටන් කිරීමට සිදුව තිබූ 1930 ගනන් වැනි කාලවල වෘත්තීය සමිති සාමාජිකත්වය තියුනු ලෙස ඉහල ගියේ ය යන්න ඓතිහාසික සත්‍යයකි.

එහෙත් ඒ වනාහි ඇමරිකානු කම්කරු සම්මේලනයේ (ඒඑෆ්එල්) පැරනි කම්කරු සංවිධාන වෙතින් බිඳීමකින් නව මහා කාර්මික වෘත්තීය සමිති ඉස්මතු වූ කාල පරිච්ඡේදයක් විය. එම සමිති බිහිකරන ලද්දේ, සමාජවාදීන් හා වාමාංශික සටන්කාමීන් විසින් නායකත්වය දුන් වාඩිලාගැනීමේ වර්ජන ඇතුලු‍ මහා පරිමාන අරගල තුල දී ය.

ඒඑෆ්එල්-සීඅයිඕ කම්කරු සම්මේලනය හා ඩිමොක්‍රටික් පක්ෂය සමග සමීප ව පෙලගැසී සිටින චින්තන තටාකයක් වන ආර්ථික පිලිවෙත් ආයතනය (ඊපීඅයි) විසින් පසුගිය සතියේ යවන ලද දැන්වීමක, ඊපීඅයි ප්‍රතිපත්ති කේන්ද්‍රයේ ප්‍රතිපත්ති අධ්‍යක්ෂිකා හයිදි ෂීයර්හෝල්ට්ස් වෘත්තීය සමිති සාමාජිකත්වය ඛාදනය වීම “එක්සත් ජනපදයේ මධ්‍යම පන්තියට නරක ප්‍රවෘත්තියක්” යි කීවා ය (අවධාරනය ඈඳිනි). ෂීයර්හෝල්ට්ස් මහත්මිය ඇය අපේක්ෂා කලාට වැඩි යමක් සඳහන් කලා ය.

වෘත්තීය සමිතිවල වැහැරී යන බලපෑම නිශ්චිත ව ම එම සංවිධානවල කාර්ය මන්ඩල නිලධාරීන්ට “නරක ආරංචියක්” වන අතර ම, ඔවුන් කම්කරු පන්තියේ සාමාජිකයන් හෝ නියෝජිතයන් ලෙස විස්තර කිරීම පවා කල නො හැක. ඇමරිකානු ගුරු සම්මේලනය, ජාතික අධ්‍යාපන සංගමය, ටීම්ස්ටර්ස්, යුනයිටඞ් ෆුඞ් හා වානිජ කම්කරුවන් සහ අනෙකුත් සමිතිවල නිලධරයන් ඇතුලු‍ වෘත්තීය සමිති නිලධාරීන් වසරකට ඩොලර් 300,000ක්, 400,000ක් හෝ 500,000ක් සහ පිරිවැය ගෙවීම් හා අනෙකුත් දීමනා ලබන්නේ, ආදායම් මට්ටමේ ඉහල සියයට එකට හෝ දෙකට ඇතුලත් වෙමිනි. ඔවුන් නියෝජනය කරනවා යයි කියන කම්කරුවන් උපයන ප්‍රමානය මෙන් දහ ගුනයත් පහලොස් ගුනයත් අතර ප්‍රමානයක් ඔවුහු උපයති.

තම සාමාජිකයන්ගේ වැටුප් හා ප්‍රතිලාභ පහල දමා ඇති වරදානයන්ට දශක ගනනාවක් තිස්සේ වෘත්තීය සමිති විසින් එකඟ වී ඇත්තේ, කම්කරු පන්තික ප්‍රජාවන් විනාශ කර ඇති කම්හල් වැසීම් හා මහා පරිමාන දොට්ට දැමීම්වලට ඉඩ දෙමිනි. එහෙත් එම ඉරනමින් වෘත්තීය සමිති නිලධරයන් පීඩා විඳ නැත. ඩොලර් බහු-බිලියන ගනන්වල විශ්‍රාම අරමුදල් පාලනය කිරීම හරහා සෞභාග්‍යය උදාකර ගන්නා සමිති නිලධරය, සංගත මන්ඩලවල හා කලමනාකාරීත්වයේ දූෂිත අරමුදල්වල වාඩි වෙමින් මුලු‍මනින් ම වෙනස් ලෝකයක ජීවත් වෙයි.

පසුගිය මාසයේ උසාවි නඩු විමසීම්වල දී “අපරාධකාරී ව්‍යවසායයක්” ලෙස මධ්‍යම චෝදකයන් විසින් හංවඩු ගැසූ එක්සත් මෝටර් කම්කරු සමිතිය (යූඒඩබ්ලිව්) තුල තරම් මෙය වෙන කොතැනක වත් විස්තෘත නැත. 2000 වසරේ පටන් ජීඑම්, ෆෝඞ් හා ක්‍රයිස්ලර් කම්කරුවන් සංඛ්‍යාව බාගයකටත් වඩා අඩු වී තිබේ. එම කාලපරිච්ඡේදය පුරා ම ඉහල යූඒඩබ්ලිව් නිලධරයෝ ගොල්ෆ් තරඟ, සුඛෝපභෝගී නිවාස, අධි මිල ආහාර වේල් හා අනෙකුත් සුඛෝපභෝගයන් සඳහා ඩොලර් මිලියන ගනනක සමිති වත්කම් වංචාකාරී ව යොදාගෙන ඇත.

ඊට අමතර ව, නව කම්කරුවන්ගේ වැටුප් අඩකින් කපා දැමූ, පැය අට වැඩ දිනය අහෝසි කල හා නව “රේඛීය” දුක්ගැනවිලි පටිපාටියක් යටතේ කම්කරුවන්ට අඩන්තේට්ටම් කිරීම සඳහා සමාගමේ හස්තය නිදහස් කල සමාගම්වලට වාසිදායක කොන්ත්‍රාත්තු අත්සන් කිරීම පිනිස කම්කරු-කලමනාකරන අභ්‍යාස මධ්‍යස්ථාන හරහා එවනු ලබන ඩොලර් මිලියන ගනනක අල්ලස් ද යූඒඩබ්ලිව් සාකච්ඡාකරුවන් විසින් ලබාගත්තේ ය.

සාමාන්‍ය කම්කරුවන්ගේ කැරැල්ලක් ගැන බිය වූ යූඒඩබ්ලිව්, පසුගිය ගිම්හානයේ ජෙනරල් මෝටර්ස්හි වැඩ වර්ජනයක් කැඳවී ය. බැරෑරුම් සටනක් අඛන්ඩ ව ගෙනයාම සඳහා කම්කරුවන්ට ප්‍රමානවත් වර්ජන ප්‍රතිලාභ සම්පාදනය කරනු වෙනුවට යූඒඩබ්ලිව් ඔවුන්ට සතියකට ඩොලර් 250ක හාමත් වර්ජන ගෙවීමක් කලේ ය. වැඩ වර්ජනයට පෙර ගත වූ දශක ගනනාව තුල, ආසන්න වසයෙන් 450ක් වන විධායකයන්, කාර්යාල සේවකයන් හා පක්කලියන් යූඒඩබ්ලිව් ඉන්ටර්නැෂනල්හි පඩිපතට ඇතුල් කිරීම හෙවත් “පරිපාලනමය” හා “සංවිධානාත්මක” පිරිවැයවලට ගෙවීම සඳහා, සාමාජික මුදලින් අරමුදල් සපයන ලද වර්ජන අරමුදලින් ඩොලර් මිලියන සිය ගනන් යූඒඩබ්ලිව් විසින් මාරු කලේ ය.

වර්ජිත කම්කරුවන් හුදකලා කර යටත් වීම සඳහා ඔවුන් හාමතේ තැබූ යූඒඩබ්ලිව්, තව තවත් කම්හල් වැසීම්, ද්වි-ස්ථර වැටුප් දිගට ම පවත්වාගැනීම් සහ වෘත්තීය සමිති සාමාජික මුදල් ගෙවතත් අයිතිවාසිකම් රහිත තාවකාලික කම්කරුවන්ගේ ගනන වැඩිකිරීම ආදියට ඉඩ ලබා දුන් ගිවිසුමකට ජීඑම් සමග අත්සන් තැබී ය.

“කම්කරුවන්ගේ සංවිධාන” නො වන මේවා දූෂිත ඉහල මධ්‍යම පන්තික හා ඉහල නගින ධනපති සමාජ ස්ථරයක් විසින් තමන් සඳහා ධාවනය කරන ශ්‍රම ව්‍යාපාර සමාගම් ය. කම්කරුවන්ගේ වෛරයට පාත්‍ර වන මෙම සංවිධාන, ඒවායේ පැවැත්ම සඳහා සංගත අරමුදල් හා ධනේශ්වර රාජ්‍යයේ ආනුභාවය මත රඳා සිටී.

මෙය ලෝක පරිමාන ප්‍රපංචයකි. 2017 දී ආන්ඩුව හා හාම්පුතුන් යන දෙපාර්ශවයෙන් ම ඩොලර් මිලියන 96ක් පමනක් ලබාගත් ප්‍රන්සයේ වෘත්තීය සමිති, වැඩ වර්ජන හා විරෝධතා රැල්ලක් මැඩීමට ද යෝධ විශ්‍රාම වැටුප් කප්පාදු පැටවීමට ද ජනාධිපති එම්මානුවෙල් මැක්රොන් සමග ඒකාබද්ධ වෙමින් සිටී.

නීතියට අනුව වෘත්තීය සමිති කලමනාකාරීත්වයේ “සමාජීය හවුල්කාරයන්” වන ජර්මනියේ, අයිජී මෙටල් සමිතිය ෆොක්ස්වැගන්හි පමනක් රැකියා 20,000ක් ඇතුලු‍ මෝටර් රථ කර්මාන්තයේ රැකියා ලක්ෂ ගනනක් විනාශ කිරීමට සම්මාදම් වෙමින් සිටී.

ඇමරිකාවේ ප්‍රජාතාන්ත්‍රික සමාජවාදීන් (ඩීඑස්ඒ) වැනි විවිධාකාර ව්‍යාජ-වාම සංවිධාන, වෘත්තීය සමිති ප්‍රතිසංස්කරනය කල හැකි ය යන ප්‍රබන්ධය ඉදිරියට දමති. බොහෝ සෙයින් ඔවුන් එසේ කරන්නේ, ඔවුන්ගේ ම සාමාජිකයන්, කම්කරුවන් රැවටීමේ හා පාවාදීමේ දූෂිත ක්‍රියාව සඳහා එකමුතු වන වෘත්තීය සමිති යාන්ත්‍රනයේ සුඛෝපභෝගී තානාන්තර වඩ වඩා ලබාගනිමින් සිටින නිසා ය.

වෘත්තීය සමිති මහ ව්‍යාපාරිකයේ උපකරන බවට පරිවර්තනය වීම, නිෂ්පාදනය ගෝලීය ව ඒකාග්‍ර වීමේ හා කම්කරු පන්තියේ කොන්දේසි ජාත්‍යන්තරීකරනය වීමේ තතු යටතේ, සමිතිවල ජාතිකවාදී හා ධනපති-ගැති වැඩපිලිවෙල අසාර්ථක වීමේ ප්‍රතිඵලය යි. තමන් ව ම වෘත්තීය සමිති ලෙස හඳුන්වා ගන්නා දක්ෂිනාංශික, ප්‍රජාතන්ත්‍ර-විරෝධී දූෂිත අට්ටාල වනාහි, සංගත කලමනාකාරීත්වයේ හා ධනපති රාජ්‍යයේ ව්‍යුහය තුල මෙම සංවිධාන දශක ගනනක් තිස්සේ ඒකාග්‍ර වීමේ නිෂ්පාදිතය යි.

වෘත්තීය සමිතිවල ද ඒවා පාලනය කරන බලවේගවල ද අවශ්‍යතා, කම්කරු පන්තියේ අවශ්‍යතාවන්ට අශමනීය ලෙස හතුරු ය. පන්ති බෙදීමේ දී වෘත්තීය සමිති සිටින්නේ කම්කරුවන්ට අනෙක් පැත්තේ ය. කම්කරුවන්ගේ හා තරුනයන්ගේ දේශපාලන රැඩිකලීකරනය කෙරෙහිත් සමාජවාදය සඳහා වැඩෙන සහයෝගය කෙරෙහිත් වෘත්තීය සමිති නායකයෝ බිය වන්නේ ඔවුන්ගේ පාලක පන්ති හාම්පුතුන්ට වඩා අඩුවෙන් නො වේ. ධනපති පද්ධතියට පහලින් එන අභියෝගයකට ප්‍රතිචාර ලෙස ඔවුන් මැරකල්ලි හා රාජ්‍ය මර්දනය වෙතට යොමු වනු ඇත.

පසුගිය වසර දෙක පුරා, මෙක්සිකෝවේ, එක්සත් ජනපදයේ සහ යුරෝපය, මැද පෙරදිග හා අප්‍රිකාව පුරා රටවල් තුල මහා වැඩ වර්ජන හා විරෝධතා ඇතුලු‍ පන්ති අරගලයේ වැඩෙන රැල්ලක් තිබී ඇත. කම්කරුවන් වඩ වඩා උත්සාහ දරා ඇත්තේ වෘත්තීය සමිතිවල ග්‍රහනයෙන් බිඳී ඔවුන්ගේ අරගල දේශසීමා හරහා ඒකාබද්ධ කිරීමට යි.

ධනේශ්වර ලාබ පද්ධතිය එයට දරා සිටිය හැකි යයි කියා පාන දෙය වෙනුවට කම්කරුවන්ට අවශ්‍ය කවරක්දැයි මත පදනම් වන නව සංවිධාන බිහිකිරීම, කම්කරු පන්තිය බලමුලු‍ගැන්වීම හා එකමුතු කිරීම සඳහා අත්‍යවශ්‍ය පූර්ව කොන්දේසිය යි. දඩයම් කරන ලද හා දොට්ට දමන ලද කම්කරුවන් නැවත සේවයට බඳවා ගැනීම, උදුරාගත් අයිතීන් යලි ස්ථාපිත කිරීම, ස්ථර ක්‍රමය අවසන් කොට සියලු‍ තාවකාලික කම්කරුවන් ස්ථීර පදනමින් සේවයට ගැනීම ඇතුලු‍ කම්කරුවන්ගේ ම ඉල්ලීම් ඔවුන්ට ඉදිරියට දැමීය හැකි වන්නා වූ ද කාර්මික ප්‍රජාතන්ත්‍රවාදය හා වැඩපොලවල කම්කරුවන්ගේ පාලනය සඳහා සටන් කල හැකි වන්නා වූ ද රූපාකාරය වන්නේ සාමාන්‍ය කම්කරුවන්ගේ කම්හල් හා වැඩපොල කමිටු ය.

ජාතිකවාදී වෘත්තීය සමිතිවල නිලධාරිවාදී ග්‍රහනයෙන් නිදහස් කම්කරුවන්ගේ ස්වාධීන කමිටු, ලොව පුරා කම්කරුවන් පොදු අරගලයක් තුල ඒකාබද්ධ කිරීම සඳහා කොන්දේසි නිර්මානය කරනු ඇත.

පන්ති අරගලයේ වර්ධනය ජාත්‍යන්තර සමාජවාදී දේශපාලන ඉදිරිදර්ශනයකට හා ක්‍රියාමාර්ගයට සම්බන්ධ කරමින්, ලෝක සමාජවාදී වෙබ් අඩවිය හා සමාජවාදී සමානතා පක්ෂය ස්වාධීන කම්කරු සංවිධාන ස්ථාපිත කිරීම දිරිමත් කිරීමට හා ඒවාට සහයෝගය දීමට අපට හැකි සියල්ල කරමු. එවැනි කමිටු ස්ථාපිත කිරීමට කැමති කම්කරුවන්ට අද ම අප ව සම්බන්ධ කරගන්නා ලෙස අපි ඉල්ලමු.

ජෙරී වයිට්

Share this article: