ට්‍රම්ප් පාලනාධිකාරියේ මහා චර ජාලය

The Trump administration’s surveillance dragnet

2020 පෙබරවාරි 10

එක්සත් ජනපදයේ වෙසෙන සංක්‍රමනිකයන් පිටුවහල් කිරීමේ දී ආධාර කරනු පිනිස හා ඔවුන් දේශසීමාව පසුකරත් ම පුද්ගලයන් පසුපස ලු‍හුබැඳීමට ට්‍රම්ප් පාලනාධිකාරිය ජංගම දුරකථන මිලියන ගනනක පිහිටීම හා චලනය නිරීක්ෂනය කරන වානිජ දත්ත ගබඩාවකට ප්‍රවේශය මිල දී ගත් බව වෝල් ස්ට්‍රීට් ජර්නලය සති අන්තයේ දී වාර්තා කලේ ය.

මෙම වැඩසටහනේ හෙලිදරව්ව පෙන්වන්නේ, 2013 දී අකටයුතු හෙලි කරන්නෙකු වන එඩ්වඩ් ස්නෝඩන් විසින් ජාතික ආරක්ෂක ඒජන්සියේ විශාල ඔත්තු බැලීම හෙලිදරව් කිරීමෙන් පසු රජයේ නීතිවිරෝධී මහාපරිමාන සෝදිසි කිරීම් පුලුල් කර ඇති බව යි.

[අනුග්‍රහය : ඒ්පී ඡායාරූප/සෙත් වෙනිංග්, ගොනුව Photo/Seth Wenig, File]

දේශීය ඉලෙක්ට්‍රොනික් ඔත්තු බැලීම පිලිබඳ ජාතික සංවාදයක් පිලිබඳ පොරොන්දු හා රජයේ මෙහෙයුම් පිලිබඳ වැඩි අධීක්ෂනයක් සැපයීම සඳහා නීති සම්මත කිරීම කිසි විටෙකත් රැවටිල්ලකට වඩා වැඩි දෙයක් නො වේ. මධ්‍යම ආන්ඩුව මීට පෙර තමන් විසින් ම ක්‍රියාත්මක කරමින් සිටි විද්‍යුත් නිරීක්ෂනයේ සැලකිය යුතු කොටසක් මේ වන විට පෞද්ගලික කොන්ත්‍රාත්කරුවන්ට පවරමින් සිටී.

“ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය” මුවාවෙන් ජනාධිපති බුෂ් විසින් පලමුව යුක්ති සහගත කරන ලද්දා වූ ද ඊට පසු ජනාධිපති ඔබාමා යටතේ පුලුල් කරන ලද්දා වූ ද, ඇමරිකානු හා ලෝක ප්‍රජාවගේ පෞද්ගලිකත්වයට ඇති අයිතිය විශාල ලෙස උල්ලංඝනය කිරීම දැන් සංක්‍රමනිකයන්ට එරෙහි ට්‍රම්ප්ගේ ෆැසිස්ට් පන්නයේ යුද්ධයේ දී යොදා ගැනෙමින් තිබේ. ඇමරිකානු පුරවැසියන් ආරක්ෂා කිරීම සඳහා තමන් භාවිතා කරන ජංගම දුරකථන දත්ත “නිර්නාමික” බව ආන්ඩුව කියා සිටිය ද, එවැනි ක්‍රියා සංක්‍රමනිකයින්ට පමනක් සීමා නො වෙනු ඇත. ආන්ඩුවේ වාමාංශික දේශපාලන විරුද්ධවාදීන්ට එරෙහිව හා කම්කරු පන්තියේ මොනයම් හෝ මහජන විරෝධයක් පුපුරා යාම මැඩපැවැත්වීම සඳහා ඒවා යොදා ගනු ඇත.

වෝල් ස්ට්‍රීට් ජර්නලයට අනුව, ට්‍රම්ප් පරිපාලනය 2017 දී වොෂිංටන් ඩීසී හි තදාසන්න ප්‍රදේශයක පිහිටි වෙන්ටෙල් නම් සමාගමකින් ජංගම දුරකථන ස්ථාන දත්ත මිලදී ගැනීම ආරම්භ කලේ ය. මෙම සමාගමට ප්‍රධාන ජංගම වෙලඳ ප්‍රචාරන සමාගමක් වන ග්‍රේවි ඇනලිටික්ස් සමග නොයෙකුත් ආකාරයේ සබඳතා ඇත.

ජංගම දුරකථන භාවිතා කරන්නන් විසින් බාගත කරන ලද කාලගුන, ක්‍රීඩා, වානිජ්‍යය හා වෙනත් යෙදුම් මගින් රැස් කරන ලද ස්ථාන දත්ත වෙන්ටෙල් විසින් මිලදී ගෙන, පසුව එම තොරතුරු තම සේවාදායකයින්ට, මේ කාරනය සම්බන්ධයෙන් ගත් විට ස්වදේශීය ආරක්ෂක දෙපාර්තමේන්තුව (ඩීඑච්එස්), රේගු හා දේශසීමා ආරක්ෂාව (සීබීපී) සහ ආගමන හා රේගු බලාත්මක කිරීමේ (අයිසීඊ) සංවිධානවලට නැවත විකුනයි.

ඒවායේ නිශ්චිත ස්ථානය සපයන ජංගම දුරකථන කුලුනුවල හා වෙනත් උපාංගවලට ස්මාර්ට්ෆෝන් යෙදුම් නිරන්තරයෙන් සංඥා ලබා දෙයි. සංගත අලෙවිකරුවන් වැඩි වැඩියෙන් භයානක නිරවද්‍යතාවයකින් යුතු ව පාරිභෝගිකයින් වෙත වෙලඳ දැන්වීම් යොමු කිරීම සඳහා මෙම තොරතුරු භාවිතා කරමින් සිටී. ස්මාර්ට්ෆෝන් භාවිතා කරන්නන් තම ගමන්බිමන් සඳහා කාලගුන වාර්තාවක් ලබා ගනී යැයි සිතිය හැකි වුවත්, ඔවුන්ගේ ස්ථානය කෙලින්ම සපයනු ලබන්නේ තමන් පිටුවහල් කිරීමට කුමන්ත්‍රනය කරමින් සිටින ආන්ඩුවට යි.

2018දී එක්සත් ජනපදයට එරෙහිව කාපෙන්ටර් නඩුව පිලිබඳ ශ්‍රේෂ්ඨාධිකරන තීන්දුව අනුව, වානිජ දත්ත පදනම් භාවිතා කිරීම අවසන් කෙරුනේ, එක්සත් ජනපදයේ මහා පරිමාන සමාගම් වලින් ඇමරිකානු පුරවැසියන්ගේ ජංගම දුරකථන දත්ත කෙලින්ම රැස් කිරීමට ෆෙඩරල් රජයට ඇති හැකියාව සීමා කරමිනි. “මේ කාරනයේ දී, ආන්ඩුව අන් සියල්ලන් මෙන් වානිජ ගැනුම්කරුවෙකි. කාර්පෙන්ටර් අදාල නො වේ,”යැයි ප්‍රතිපත්ති පිලිබඳ හිටපු ඩීඑච්එස් නියෝජ්‍ය සහකාර ලේකම් පෝල් රොසෙන්ස්වේග් වෝල් ස්ට්‍රීට් ජර්නලය ට පැවසී ය. “ආන්ඩුව පුංචි ගැජට් එකක් මිලිදීගන්නවා විතරයි”.

සාපරාධී සැකකරුවෙකු සොයා ගැනීම සඳහා වරෙන්තුවක් ලබා ගැනීමට නිසි ක්‍රියාදාමයක් අනුගමනය කිරීම හා ෆෙඩරල් උසාවියකට යාම වෙනුවට ආන්ඩුව එක්සත් ජනපදයේ ජීවත්වන හෝ සංචාරය කරන සෑම කෙනෙකු ගැනම ඔත්තු බැලීම සඳහා අලෙවිකරන සමාගම්වලින් දත්ත තොග මිලදී ගනිමින් සිටී. වෝල් ස්ට්‍රීට් ජර්නල් වාර්තාව සඳහන් කරන්නේ අලෙවිකරන දත්ත මිලට ගැනීම එක්සත් ජනපද නියෝජිතායතන විසින් ජාත්‍යන්තර ව බුද්ධි තොරතුරු රැස් කිරීම සඳහා බහුලව භාවිතා කරන බව යි, නමුත් මෙම කොන්ත්‍රාත්තු රාජ්‍ය රහස් වන තාක් දුරට ඒවායේ පරිමාව අපැහැදිලි ය.

එක්සත් ජනපදයේ ස්මාර්ට්ෆෝන් භාවිතා කරන්නන්ගේ සංඛ්‍යාව පසුගිය දශකය තුල සීඝ්‍රයෙන් වැඩි වී ඇත්තේ, 2010 දී මිලියන 63 සිට මේ වසරේ මිලියන 273 දක්වා ඉහල යමිනි. එය මුලු ජනගහනයෙන් හතරෙන් තුනකට වඩා වැඩි ය. මෙක්සිකෝවේ, භාවිතා කරන්නන් සංඛ්‍යාව මිලියන 71 සිට 2024 දී මිලියන 92 දක්වා ඉහල යනු ඇතැයි අපේක්ෂා කරන අතර එය ජනගහනයෙන් සියයට 70 කට වඩා වැඩි ය. ලෝක ජනගහනයෙන් තුනෙන් එකක් පමන වන බිලියන 3.5 ක ජනයා දැනට ස්මාර්ට් ජංගම දුරකතනයක් භාවිතා කරති. මෙම උපකරන මගින් ලබා දී ඇති තොරතුරු උපයෝගී කර ගන්නා ආන්ඩුවේ සෝදිසි කිරීමේ හැකියාව අතිමහත් ය.

ට්‍රම්ප් පාලනාධිකාරය “මෙතෙක් සැලසුම් කර ඇති වඩාත්ම ආක්‍රමනශීලී ආයතනික නිරීක්ෂන පද්ධතිය” ලෙස පුවත්පත හැඳින් වූ දේ භාවිතා කිරීම පිලිබඳව කොන්ග්‍රස් මන්ඩල නඩු විභාගයක් ඉල්ලා නිව් යෝක් ටයිම්ස් මේ සති අන්තයේ කතුවැකියක් ප්‍රකාශයට පත් කල අතර, එම හෙලිදරව්ව බොහෝ දුරට නිහඬව අත්හැර දමා ඇත. එය ඉරිදා ප්‍රවෘත්ති සම්මුඛ සාකච්ඡා වැඩසටහන් වල සඳහන් කර හෝ ඩිමොක්‍රටික් ජනාධිපති අපේක්ෂකයින් කිසිවෙකු විසින් මතු කර හෝ නැත. මෙයට හේතුව වන්නේ මූලික ව්‍යවස්ථාමය අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා කැප වූ කිසිවෙකු පාලක ප්‍රභූ පැලැන්තිය තුල නොමැති වීම, හා ඇමරිකානු පුරවැසියන් මෙන් ම සංක්‍රමනිකයන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට පහරදීම ද්විපාක්ෂික වීම යි.

ඩෙමොක්‍රටිකයන් විසින් පාලනය කරන ලද නියෝජිත මන්ත්‍රී මන්ඩලය විසින් 2001 නොවැම්බර් මාසයේ දී දේශප්‍රේමී පනතේ දීර්ඝ කිරීමක් සම්මත කරන ලදී. එයට දේශීය ඉලෙක්ට්‍රෝනික සන්නිවේදන දත්ත ගැන දත්ත (metadata) පිලිබඳ වරෙන්තු රහිත විශාල සෝදිසි කිරීම් සඳහා ප්‍රතිපාදන ද ඇතුලත් විය. ඔවුන් රුසියාව සම්බන්ධයෙන් ට්‍රම්ප්ගේ විදේශ ප්‍රතිපත්තිය පිලිබඳ දෝෂාභියෝගය ලු‍හුබැඳ යද්දී, හා ට්‍රම්ප් ව්ලැඩිමීර් පුටින්ගේ පන්දමෙකු යැයි අවධාරනය කරද්දී පවා, ඩිමොක්‍රටිකයෝ ජනාධිපතිවරයා විසින් ආක්‍රමනශීලී ඔත්තු බැලීමේ බලතල රඳවා තබා ගැනීම සහතික කර දීමට වගබලා ගත්හ.

එක්සත් ජනපද-මෙක්සිකෝ දේශ සීමාව ඔස්සේ ඔහුගේ තාප්පය ඉදිකිරීම සඳහා නීති විරෝධී ලෙස පෙන්ටගනයේ අරමුදල් ඩොලර් බිලියන ගනනක් මාරු කිරීමට අනුමැතිය දීමේ සිට, මිලිටරි වියදම් සඳහා ඩොලර් බිලියන 738 ක් වෙන් කිරීම, හා ඔහුගේ කප්පාදු අයවැය සම්මත කරමින් මෙක්සිකෝව හා කැනඩාව සමග චීන විරෝධී වෙලඳ ගිවිසුම ස්ථීර කිරීම දක්වා‍වූ ට්‍රම්ප්ගේ ප්‍රධාන ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග ගැනීමට ට්‍රම්ප්ට උදව් කිරීම දෝෂාභියෝග ක්‍රියාවලිය නිසා ඩිමොක්‍රටිකයින් නතර කලේ නැත.

අපේක්ෂා කල හැකි වූ පරිදි ඩිමොක්‍රටිකයින්ට පරාජයකින් අවසන් වූ, රුසියාවට එරෙහි ජාතික ආරක්ෂක දෝෂාභියෝගය, සරන පැතීමේ අයිතිය ප්‍රතික්ෂේප කිරීම හා රැඳවුම් කඳවුරුවල දහස් ගනනක් ලමුන් ද ඇතුලුව, සංක්‍රමනිකයින්ට එරෙහි දිනෙන් දින පුලුල් වන යුද්ධයට එරෙහි මහජන විරෝධය මැඩලීම අරමුනු කරගත් දේශපාලන අවමංගත කිරීමකි.

දෝෂාභියෝගය පසුකර ඇති තතු තුල සංක්‍රමනිකයන්ගේ මෙන්ම සමස්ත ජනතාවගේ ම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට එරෙහි ඔහුගේ ප්‍රහාර තීව්‍ර කිරීමට ට්‍රම්ප්ට බලය ලබා දී තිබේ. සීඅයිඒ, පෙන්ටගනය හා වෝල් වීදියේ පක්ෂයක් වන ඩිමොක්‍රටික් පක්ෂය හරහා මෙම ප්‍රහාරයන්ට එරෙහිව සටන් කල නො හැක. ට්‍රම්ප් හා දෙපක්ෂයම පාලනය කරනු ලබන කතිපයාධිකාරය පරාජය කල හැකි එකම සමාජ බලවේගය වන්නේ කම්කරු පන්තිය යි.

සියලු‍ පුද්ගලයන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා සටන් කරන කම්කරු පන්තිය තුල විප්ලවීය නායකත්වයක් ගොඩනැගීම සඳහා සමාජවාදී සමානතා පක්ෂය සිය ජනාධිපතිවරන ව්‍යාපාරය දියත් කරයි. ජනාධිපති තනතුර සඳහා ජෝශප් කිෂෝර් ද උප ජනාධිපති තනතුර නොරිස්සා සැන්ට ක්රූස් ද යන සසප අපේක්ෂකයෝ ජාතික දේශසීමා අහෝසි කිරීමට හා රාජ්‍ය ඔත්තු බැලීම් හා හිරිහැර කිරීම්වලින් තොර ව, සියලු‍ දෙනාට තමන් කැමති තැනක සංචාරය කිරීමට හා වැඩ කිරීමට ඇති අයිතිය වෙනුවෙන් පෙනී සිටිති.

සසප මැතිවරන ව්‍යාපාරය පිලිබඳ වැඩි විස්තර හා ලියාපදිංචි වීම සඳහා socialism2020.org වෙත පිවිසෙන්න.

නයිල්ස් නීමුත්

Share this article: