බ්ලූම්බර්ග්ගේ ඩොලර් බිලියන ගනන් හා කතිපයාධිකාරයේ දේශපාලනය

Bloomberg’s billions and the politics of oligarchy

2020 පෙබරවාරි 17

ප්‍රකෝටිපති මයිකල් බ්ලූම්බර්ග් රූපවාහිනී හා අන්තර්ජාල දැන්වීම් සඳහා ඩොලර් මිලියන 300 කට වඩා වියදම් කර ඇති අතර, ඒවා “මයික්” දරිද්‍රතාවයෙන් මිදුනු, ප්‍රගතිය හා විනීතභාවය වෙනුවෙන් තෙමේ ම හැදුනු සටන්කරුවෙකු, මෙන් ම පොදු ජනයාගේ මිතුරෙකු ලෙසත් හඳුන්වා දෙයි.

බ්ලූම්බර්ග් පිලිබඳ ප්‍රචාරය කෙතරම් විකාර සහගතද යත්, එක් විචාරකයෙක් රූපවාහිනියේ මුල් දිනවල, විවාදයකින් තොරව එතෙක් නිපදවුනු ඉතාමත් කැත ම හා ඉතාමත් අසාර්ථක, එඩ්සෙල් නම් උත්තේජක නව මාදිලියේ වාහනය ප්‍රචාරය කිරීමට ෆෝඩ් සමාගම විසින් ගෙන යන ලද දැවන්ත වෙලඳ දැන්වීම් ව්‍යාපාරය මතක්කර දුන්නේ ය.

බ්ලූම්බර්ග් උද්ඝෝෂනය ෆෙස්බුක් දැන්වීම් සඳහා සාමාන්‍යයෙන් දිනකට ඩොලර් මිලියනයකට වඩා වැය කරයි. ප්‍රාන්ත 14 ක ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිත, “සුපිරි අඟහරුවාදා” ලෙස නම් කර ඇති මාර්තු 3 ප්‍රාථමික ඡන්ද විමසීමට පෙර, බ්ලූම්බර්ග් කැලිෆෝනියාවේ රූපවාහිනී හා අන්තර්ජාල වෙලඳ දැන්වීම් සඳහා ඩොලර් මිලියන 40 ක්, ටෙක්සාස් හි ඩොලර් මිලියන 33 ක්, උතුරු කැරොලිනාවේ ඩොලර් මිලියන 9.5 ක් සහ මැසචුසෙට්ස් හි ඩොලර් මිලියන 6 ක් වියදම් කර තිබේ. වර්ජිනියා සහ ඇලබාමා හි රූපවාහිනී දැන්වීම් විකාශය කල එකම අපේක්ෂකයා ඔහු ය. මිත්‍ර ප්‍රකෝටිපතියෙකු වන ටොම් ස්ටියර් හැර, වෙනත් කිසිදු ඩිමොක්‍රටික් අපේක්ෂකයෙකු මේ දක්වා මුලු ප්‍රාන්ත 14 තුල ම ඩොලර් මිලියන 10 ක් වත් වියදම් කර නැත.

මයිකල් බ්ලූම්බර්ග් හූස්ටන්හි බෆලෝ සොල්ජර්ස් ජාතික කෞතුකාගාරයේ දී “මයික් ෆෝ බ්ලැක් ඇමරිකා” ලෙස මැතිවරන කටයුතු අරඹමින්. [අනුග්‍රහය: ඒපී ඡායාරූපය /ඩේවිඩ් ජේ. ෆිලිප්]

ඔහුගේ ඩොලර් බිලියන 60 ක ධන පනිට්ටුවේ බිංදුවක් වන, බ්ලූම්බර්ග්ගේ අති විශාල වියදම්වල මැතිවරන බලපෑම “සුපිරි අඟහරුවාදා” ඡන්දය ප්‍රකාශ කිරීමට පෙර තක්සේරු කිරීම දුෂ්කර ය. මාර්තු 3වැනිදා නිව්යෝක් නගරයේ හිටපු නගරාධිපතිවරයා ප්‍රාථමික ඡන්ද විමසීමක් සඳහා සහභාගි වන පලමු අවස්ථාව වනු ඇත. ඩිමොක්‍රටික් සමුලුවට නියෝජිතයින් දිනා ගැනීම සඳහා අවශ්‍ය සියයට 15 සීමාවට බ්ලූම්බර්ග් ආසන්න බව මත විමසීම්වලින් පෙනී යයි. නාමයෝජනා සඳහා ප්‍රමානවත් නියෝජිතයින් දිනා ගැනීමට අපොහොසත් වුවහොත්, ඔහුගේ අරමුනු වනු ඇත්තේ, අනෙක් “මධ්‍යස්ථ” අපේක්ෂකයින් සමඟ ඒකාබද්ධ වී වර්තමාන පෙරමුනු ධාවකයා වන වර්මොන්ට් සෙනෙට් සභික බර්නි සැන්ඩර්ස්ගේ ජයග්‍රහනයක් අවහිර කිරීම යි.

ප්‍රාථමික උද්ඝෝෂනයේ ප්‍රතිඵලය කුමක් වුවත්, බ්ලූම්බර්ග්ගේ වියදම් ඩෙමොක්‍රටික් පක්ෂ සංස්ථාපිතයට හා සංගත මාධ්‍යයට (එහි ඔහුගේ අධිරාජ්‍යයේ කොටසක් වන බ්ලූම්බර්ග් නිව්ස් ප්‍රධාන අංගයකි) විශාල බලපෑමක් කරන බව දැනටමත් පැහැදිලි ය. සුලු ජාතික තරුනයින්ට එරෙහි “නවතා සෝදිසි කිරීමේ” පොලිස් ප්‍රහාර සඳහා බ්ලූම්බර්ග්ගේ සහයෝගය, 2008 වෝල් වීදියේ කඩා වැටීම වෙනුවෙන් සුලුතර නය ගැතියන්ට ඔහුගේ දොස් පැවරීම, හා කාන්තා සේවිකාවන්ට ඔහු අයුතු ලෙස සැලකීම පිලිබඳ පසුගිය සතියේ පල වූ පුවත්පත් වාර්තා මාලාවකින් බේරීමට වෙනත් ඩිමොක්‍රටික් ජනාධිපති අපේක්ෂකයෙකුට නොහැකි වනු ඇති බව පැවසිය යුතු ය.

නිව් යෝක් නගරාධිපතිවරයා ලෙස “නවතා සෝදිසි කිරීමේ” ප්‍රතිපත්තිය පිලිබඳව තම ප්‍රතිපත්තිය ගැන බ්ලූම්බර්ග් විසින් 2015 දී කරන ලද ප්‍රකාශයන් පසුගිය සතියේ වාර්තා වූ අතර, ඔහු ප්‍රකාශ කලේ, “ඔබගේ මිනීමරුම් හා මිනීමරුවන් හා මිනීමැරම්වලින් විපතට පත්වූවන්ගෙන් සියයට අනූ පහක් එක් මෙහෙයුම් ආකාරයකට (මොඩස් ඔපරන්ඩි) සෑහේ. ඔබට විස්තරය ගෙන එය පිටපත් කර සියලුම පොලිස් නිලධාරීන්ට ලබා දිය හැකිය. ඔවුන් 15 සිට 25 දක්වා පිරිමි සුලුතරයක්.” ඔහු තවදුරටත් මෙසේ කියා සිටියේ ය, “ඔබ ලමයින්ගේ අත්වලින් තුවක්කු ගලවා ගන්නා ආකාරය විය යුත්තේ ඔවුන්ව බිත්තිවලට දමා ගසා ඔවුන්ව සෝදිසි කිරීම යි.”

ඊට ප්‍රතිචාර වශයෙන් බ්ලූම්බර්ග් උද්ඝෝෂනය අප්‍රිකානු-ඇමරිකානු කොන්ග්‍රසයේ සාමාජිකයන් තිදෙනෙකු විසින් ඔහුගේ උද්ඝෝෂනය අනුමත කිරීම ප්‍රචාරය කලේ ය.

අර්බුදය අපේක්ෂා කරමින් බ්ලූම්බර්ග් මේ වන විටත් ප්‍රමුඛ පෙලේ කලු දේවගැතිවරුන් පිරිසක් මුනගැසී ඇත. ඔවුහු “නවතා සෝදිසි කිරීම” සම්බන්ධයෙන් විවේචනාත්මකව සිටි නමුත් ප්‍රකෝටිපති අපේක්ෂකයා ප්‍රමානවත් තරම් සමාව අයැද සිටි නම් - හා ත්‍යාගශීලී නම් පාපමෝචනය ලබා දීමට ආශාවෙන් සිටියහ. හාර්ලම් හි අබිසීනියානු බැප්ටිස්ට් පල්ලියේ දේවගැති කැල්වින් බට්ස් හෙලිදරව්කාරී අවංකත්වයකින් පැවසූ පරිදි, “මම ඔහුට දිගටම සහාය දැක්වීමට එක් හේතුවක් වන්නේ, ඔහු තම අවංකවත්වය ප්‍රකාශ කිරීමට, තමාගේ මුදල් යොදා ගන්නා නිසයි.”

නිව් යෝක් ටයිම්ස් ඉරිදා සංස්කරනයේ වචන 5,000 ක පැතිකඩක් විස්තර කල පරිදි, නිව් යෝක් නගරයේ නගරාධිපති ධුරය (2002-2013) මිලදී ගැනීම සඳහා වූ ඔහුගේ සාර්ථක උද්ඝෝෂන තුන සඳහා ඩොලර් මිලියන 270 ක් වියදම් කල බ්ලූම්බර්ග්, පසුගිය දශසකයේ ලිබරල් හා ඩෙමොක්‍රටික් පක්ෂ කන්ඩායම් රාශියක් ඉලක්ක කෙරුනු ප්‍රදාන තුලින් “බලපෑම් අධිරාජ්‍යයක්” ගොඩනඟා ගත්තේ ය. ටයිම්ස් වාර්තාවට අනුව:

2013 අවසානයේ නගර ශාලාවෙන් පිටවීමෙන් පසු, බ්ලූම්බර්ග් මහතා ඩෙමොක්‍රටික් පක්ෂය හා එහි ක්‍රියාමාර්ගවලට වඩාත් ම වැදගත් තනි දේශපාලන දායකයා බවට පත් වී ඇත. මූල්‍ය තොරතුරු හා ප්‍රවෘත්ති සමාගමක් මත ගොඩනගා ඇති ඔහුගේ පෞද්ගලික ධනය ඩොලර් බිලියන 60 ඉක්මවා ඇතැ යි ගනන් බලා තිබේ. එය ප්‍රාන්ත සහ නගර දුසිම් ගනනක ප්‍රතිපත්ති මෙහෙයවා ඇති උපදේශන ජාලයක් පන ගන්වයි; තුවක්කු හිංසනය සහ දේශගුනික විපර්යාසයන්ට මුහුන දෙන ව්‍යාපර බලමුලු ගැන්වී ය; මැතිවරන නීති සහ සෞඛ්‍ය රෙගුලාසි නැවත ලියන ලදී; පාසල් පාලක මන්ඩල තරම් විනීත හා සෙනෙට් සභාව තරම් උඩඟු දේශපාලනඥයින් සංඛ්‍යාවක් තනතුරුවලට තෝරා පත් කර ගන්නා ලදී.

බොහෝ දුරට බ්ලූම්බර්ග් අරමුදල් සපයන, සෑම නගරයක් ම තුවක්කු ආරක්ෂන කන්ඩායම සඳහා ( Gun Safety group ) යන ව්‍යාපරය ඔස්සේ එන, තුවක්කු පාලන ව්‍යාපාර සඳහා ඇස්තමේන්තුගත ඩොලර් මිලියන 270 ක් මෙයට ඇතුලත් වේ. ඔහු සියෙරා සමාජය, සැලසුම්ගත දෙමාපියභාවය, වරලත් පාසල් උපදේශක කන්ඩායම් සහ ඒ හා සමාන සංවිධාන වෙත විශාල මුදල් ප්‍රමානයක් පොම්ප කර ඇත්තේ, ඒවායේ උද්ඝෝෂන සඳහා ආසන්න-නිෂේධ බලය තමාට ම ලබා ගනිමිනි.

ටයිම්ස් විසින් විස්තර කරන ලද එක් සිදුවීමක දී, ඩෙමොක්‍රටික් පක්ෂයේ බුද්ධි මන්ඩලයක් වන ඇමරිකානු ප්‍රගතිය සඳහා වූ මධ්‍යස්ථානය, නිව් යෝක් නගරයේ පොලිසිය මුස්ලිම් පල්ලි හා ප්‍රජාවන් ගැන ඔත්තු බැලීම පිලිබඳ පරිච්ඡේදයක් ඉවත් කිරීමට, එක්සත් ජනපදයේ මුස්ලිම් විරෝධී පක්ෂග්‍රාහීත්වය පිලිබඳ වාර්තාවක් සංස්කරනය කරන ලදී. එම පරිච්ඡේදයේ බ්ලූම්බරග් නම සඳහන් කෙරුනු තැන් අටක් තිබී ඇත. බ්ලූම්බර්ග් එකී සංවිධානයට ඩොලර් මිලියන 2 කට ආසන්න මුදලක් ලබා දුන්නේ ය.

2001 දී නගරාධිපති ධුරය සඳහා තරඟ වැදීමට රිපබ්ලිකන් ලේබලය අලවා ගත් දිගුකාලීන ඩිමොක්‍රටික් පාක්ෂිකයා, 2005 දී රිපබ්ලිකානුවෙකු ලෙස ද 2009 දී “ස්වාධීන” අපේක්ෂකයෙකු ලෙස ද නැවත පත්වීම සඳහා තරග වැදුනි. බ්ලූම්බර්ග් රිපබ්ලිකානු ජනාධිපති අපේක්ෂකයින් වූ ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ්ට 2004 දී ද ජෝන් මැකේන්ට 2008 දී ද සහාය දැක්වී ය. ඔහු 2016දී ඩිමොක්‍රටික් පක්ෂයට නැවත අනුමතිය පල කරන්නෙකු ලෙස පමනක් ආපසු පැමිනියේ , හිලරි ක්ලින්ටන්ට සහාය දුන් අවස්ථාවේ දී ය. පසුව ඔහු ඩිමොක්‍රටිකයෙකු ලෙස සිය ලියාපදිංචිය වෙනස් කර ගත්තේ ය.

2018 දී බ්ලූම්බර්ග් සිය සුපිරි පුද්ගලික ගිනුම හරහා කොන්ග්‍රසය සඳහා තරඟ වැදුනු ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂකයින්ට ආධාර කිරීම සඳහා ඩොලර් මිලියන 100 කට වඩා වියදම් කර ඇති අතර, ඔහු පක්ෂ නාමයෝජනා දිනා ගත්තත් නැතත් මේ වසරේ ඩිමොක්‍රටිකයින් තෝරා පත් කර ගැනීම සඳහා ඩොලර් බිලියනයක් වියදම් කිරීමට ප්‍රතිඥා දී තිබේ.

දැන් බ්ලූම්බර්ග්ට ප්‍රශස්ති ගායනා කරන අය අතර වත්මන් හා හිටපු නගරාධිපතිවරු දුසිම් ගනනක් සිටිති. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් අප්‍රිකානු-ඇමරිකානුවන් වන අතර ෆිලඩෙල්ෆියා, හූස්ටන්, ලොස් ඇන්ජලීස්, සැන් ෆ්‍රැන්සිස්කෝ, මෙම්ෆිස්, ටම්පා, සැක්‍රමන්ටෝ, මියාමි සහ වොෂිංටන් ඩීසී ඇතුලු නගරවල වෙසෙති. මෙය පෙන්නුම් කරන්නේ අනන්‍යතා දේශපාලනයේ මුලුමනින්ම දූෂිත හා නරුම ස්වභාවය පමනි. කලු ජාතික ඉහල මධ්‍යම පන්තියේ තට්ටුවක් ඉහල සියයට 10 ක ධනයෙන් හා තත්වයෙන් වැඩි කොටසක් ලබා ගැනීමට මෙය යොදා ගෙන ඇති අතර, කලු ජාතික කම්කරුවන් හා තරුනයන් අතිමහත් බහුතරයකගේ තත්වයන් දිගින් දිගටම පිරිහී ඇත.

“නවතා සෝදිසි කිරීමේ” මතභේදයෙන් පසුව, වර්ගවාදී සහ ලිංගික අදහස් දැක්වීම් පිලිබඳ බ්ලූම්බර්ග්ගේ දීර්ඝ වාර්තා එලි දක්වමින් වීඩියෝ හා ඕඩියෝ දර්ශන රාශියක් මතු වී තිබේ.

ඇසෝසියේටඩ් ප්‍රෙස් පසුගිය සතියේ වාර්තා කලේ බ්ලූම්බර්ග් 2008 දී වෝල් වීදියේ කඩාවැටීමට තුඩු දුන් උකස් සුරැකුම් වෙලඳපොල කඩාවැටීමට දොස් පැවරූවේ, ප්‍රධාන වසයෙන් සුලු ජාතික නේවාසික අසල්වාසයන්ට එරෙහි බැංකුකරුවන්ගේ වාර්ගික අසාධාරනයක් වූ, රතු ඉරි ගැසීම මගින් සීමා කිරීමට ගත් උත්සාහයන් මත බවය. ජාතික ප්‍රජා යලි ආයෝජන සන්ධානයේ ප්‍රකාශකයෙකු මෙය හැඳින්වූයේ “ප්‍රකෝටිපතියෙකු සෙසු ප්‍රකෝටිපතියන් ආරක්ෂා කරමින් අඩු ආදායම්ලාභී නිවාස හිමියන් මත වරද පැටවීම” යනුවෙනි.

සඳුදා ප්‍රසිද්ධ කෙරුනු, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටීන් ලගාඩ් සමඟ 2018 දී කල සංවාදයක දී, බ්ලූම්බර්ග් අවම වැටුප් නීතිවලට විරුද්ධ වීම සහ ආහාර මුද්දර ලබන්නන්ගේ ඇඟිලි සලකුනු ගැනීම ආරක්ෂා කරමින් සිටිනු ඇසෙනු ඇත. ඔහු අවම වැටුප “රැකියා උත්පාදනය සඳහා ඇති මෙම බාධාවන්ගෙන් එකක්” ලෙස හැඳින් වූ අතර එය තුරන් කර දැමීමට පක්ෂපාතී විය.

ඉරිදා වොෂිංටන් පෝස්ට් විසින් බ්ලූම්බර්ග් පිලිබඳ වචන 4,000 ක පැතිකඩක් ප්‍රකාශයට පත් කරන ලද අතර එය කාන්තා සේවිකාවන් විසින් කරන ලද දීර්ඝ චෝදනා මාලාවක්, වාර්තා කරන ලදී. ඒවා බොහෝ වශයෙන් අපකීර්තිමත් හා ලිංගික අදහස් දැක්වීම් වන අතර බොහොමයක් පහත් කොට සැලකීම්ද සමහරක් සෘජු තර්ජනයන්ද වේ. මේවා මමත් :ඃ ඵැඔදද) විලාසිතාවේ පෞද්ගලික විෂමාචාර චෝදනා නො වේ, නමුත් බ්ලූම්බර්ග් කාන්තා සේවිකාවන් සඳහා සතුරු වැඩ පරිසරයක් දිරිමත් කල බවට චෝදනා කරයි. මෙම තතු විසින් නඩුහබ දුසිම් ගනනක් ද ඉලක්කම් හයේ හතේ මුදලින් බේරුම් කිරීම් ගනනාවක් ද ඇති කෙරුනි.

මෙම ඕනෑම කථාංගයකින් ඩෙමොක්‍රටික් ජනාධිපති අපේක්ෂකත්වය සඳහා වන වෙනත් අපේක්ෂකයෙකු විනාශ වීමට ඉඩ තිබුනි. නමුත් බ්ලූම්බර්ග් හා ඔහුගේ මාධ්‍ය අතවැස්සන්ට, එය විශාල “ඉතින් මොකද?” යන්නක් විය. බිලියනපතියාගේ ධනය තමන්ගේ ම සාක්කුවලට පාර සොයා ගන්නා තාක්, දක්ෂිනාංශික, ඒකාධිපති, අශිෂ්ට, වර්ගවාදී, ලිංගික කෝටිපතියෙකු වීම ඩෙමොක්‍රටික් පක්ෂ සංස්ථාපිතයට ගැටලුවක් නො වේ.

ට්‍රම්ප් යටතේ රිපබ්ලිකානුවන්ට නො අඩු ලෙස ඩෙමොක්‍රටික් පක්ෂයේ ආධිපත්‍යය දරන්නේ කතිපයාධිකාරයේ දේශපාලනයයි. එය නිරුවත් මෙන් ම නිර්ලජ්ජිත ය.

මූල්‍ය වංශාධිපතියන්, කෝටිපතියන් සහ ප්‍රකෝටිපතියන්, ද්වි-පක්ෂ ක්‍රමය පාලනය කරන අතර, “පූර්ව මැතිවරන”, “සම්මේලන” සහ “මැතිවරන” යනුවෙන් හැඳින්වෙන වේදිකා කලමනාකරනය කරන ලද දේශපාලන සිදුවීම් වල දිසානතිය නියම කරති.

අපේක්ෂා කෙරෙන පරිදි බ්ලූම්බර්ග් නෙවාඩා ප්‍රාන්තයේ ලාස් වේගාස් හි බදාදා ඩෙමෙක්‍රටික විවාදයට සුදුසුකම් ලැබුවහොත්, මෙම සතිය අග දී බ්ලූම්බර්ග් සහ බර්නි සැන්ඩර්ස් එකම වේදිකාවක පෙනී සිටිනු ඇත.

තම උද්ඝෝෂනය ඩිමොක්‍රටික් පක්ෂය ප්‍රගතිශීලී ප්‍රතිසංස්කරනයේ මෙවලමක් බවට පරිවර්තනය කිරීමේ මාධ්‍යයක් මෙන් ම සුපිරි ධනවතුන්ගේ පාලනයට එරෙහි ආයුධයක් බව සැන්ඩර්ස් ප්‍රකාශ කරයි. බ්ලූම්බර්ග් විවාද වේදිකාවට පැමිනීම ම ප්‍රතිවිරුද්ධය, එනම් සැන්ඩර්ස්ගේ උද්ඝෝෂනය වෝල් වීදිය සහ සීඅයිඒ සංවිධානය වෙනුවෙන් ක්‍රියාත්මක වන පැරනිතම ඇමරිකානු ධනවාදී පක්ෂයට “ප්‍රගතිශීලී” වහන්තරාවක් බව පෙන්නුම් කරනු ඇත.

පැට්‍රික් මාටින්

Share this article: