වෙලඳපල අඛන්ඩව ඉහල නගිමින්, අලුත් නිව්යෝක් ෆෙඩරල් බැංකු ප්‍රධානියාගේ නාමයෝජනා තහවුරු කිරීමට උත්සාහ කරයි

Market surge continues ahead of confirmation hearings for New York Fed Governor nominee

නික් බීම්ස් විසිනි, 2020 පෙබරවාරි 13

කොරෝනා වෛරසය ගෝලීය ආර්ථිකයට සැලකිය යුතු හා කල්පවතින බලපෑමක් කරනු ඇති බවට පලවන බිය නොතකා එක්සත් ජනපද කොටස් වෙලඳපොල, ඊයේ දිනයේ වාර්තාගත මට්ටමකට ඉහල නැඟුනි.

ප්‍රධාන දර්ශක තුනම වාර්තාගත ඉහලකට නැඟී ඇත. ඩව් ජොන්ස් සියයට 0.9 ක් හෙවත් ඒකක 275 ට වඩා ද එස් ඇන්ඩ් පී 500 දර්ශකය සියයට 0.6 න් සහ නස්ඩැක් සියයට 0.8 න් ද ඉහල ගියේය.

වෙලඳපල ඉහල යාමට සාධක දෙකක් මුල් විය: කොරෝනා වෛරසයේ බලපෑම V- හැඩයෙන් යුක්ත වනු ඇතැයි විශ්වාස කිරීම, එනම්, පසුබෑමෙන් අනතුරුව, තියුනු නැඟීමක් ඇතිවීමෙන් ආර්ථික අනතුර පහව යනු ඇතැයි යන විශ්වාසය; වෙලඳපොලේ කුමන හෝ සැලකිය යුතු පසුබෑමකදී, මූල්‍ය පද්ධතියට තව තවත් ලාභ මුදල් එන්නත් කිරීමට එක්සත් ජනපද මහ බැංකුව සූදානම් බවට ඇති විශ්වාසය.

මහ බැංකු සභාපති ජෙරොම් පවෙල් විසින් ඊයේ සෙනෙට් බැංකු කමිටුවට දුන් සාක්ෂිය අතරතුරදී කරන ලද ප්‍රකාශයන් මගින් මෙම විශ්වාසය වඩාත් ශක්තිමත් විය. මාර්කට් වොච් හි වාර්තාවකට අනුව පවෙල් කියා සිටියේ, අවපාතය සමඟ කටයුතු කිරීමට ෆෙඩරල් මහ බැංකුවට මෙවලම් දෙකක් ඇති බවයි - ආන්ඩුවේ බැඳුම්කර මිලදී ගැනීම, ප්‍රමානාත්මක ලිහිල් කිරීම සහ එහි පොලී අනුපාත ප්‍රතිපත්තියේ දිශාව, එනම් ඊනියා ඉදිරි මග පෙන්වීම, වෙලඳපොලට පැහැදිලිව පෙනෙන්නට සැලැස්වීමයි.

“අපි එම මෙවලම් භාවිතා කරන්නෙමු. එසේ කිරීමට අවශ්‍යතාවයක් ඇති වුවහොත් අපි ඒවා ආක්‍රමනශීලී ලෙස භාවිතා කරනු ඇතැයි මම විශ්වාස කරමි,” ඔහු පැවසීය.

ෆෙඩරල් මහ බැංකුවේ පදනම් අනුපාතය සියයට 1.5-1.75 ක් වීම හමුවේ පවෙල්, “අපට කැපීමට ඇත්තේ අඩු ඉඩක්” බවත් එහි ප්‍රතිපලයක් ලෙස “මූල්‍ය අර්බුදය කාලයේදී අප භාවිතා කල මෙවලම් වෙත ආපසු හැරීමට බොහෝ දුරට ඉඩ ඇත” බවත් පිලිගත්තේය. එනම්, ප්‍රමානාත්මක ලිහිල් කිරීම් වෙත නැවත පැමිනීමයි.

මහ බැංකුව විසින් ප්‍රතික්ෂේප කල ද ඇත්ත වශයෙන්ම නම්, ප්‍රමානාත්මක ලිහිල්කිරීම දැනටමත් නව ස්වරූපයකින් ආපසු පැමින ඇත. සැප්තැම්බර් මාසයේ සිට එය කෙටිකාලීන මූල්‍ය වත්කම් මිල දී ගෙන ඇත්තේ, ක්ෂනික නය වෙලඳපොලේ පොලී අනුපාත හදිසියේ ඉහල යාම වැලැක්වීම සඳහා මැදිහත් වීමෙනි. එම අනුපාතය හදිසියේම සියයට 10 දක්වා වැඩිවීමෙන් පසුව.

එහි පදනම් පොලී අනුපාතය නිරීක්ෂනය කිරීම සඳහා වූ රෙපෝ අනුපාතය, හුදෙක් මහ බැංකුව විසින් පවත්වාගෙන යනු ලබන තාක්ෂනික මෙහෙයුමක් වුව ද එමඟින් මහ බැංකුවේ මූල්‍ය වත්කම් ඩොලර් බිලියන 400 න් වැඩි වී ඩොලර් ට්‍රිලියන 4 සීමාව පසුකර තිබේ.

මූල්‍ය වෙලඳපොලවල් සඳහා මහ බැංකුවේ කැපවීම තිබියදීම, යුරෝපයේ සිදු වූවාක් මෙන්, එහි පදනම් අනුපාතය සෘනාත්මක තැනකට ගැනීම ඇතුලුව, වැඩි යමක් නොකිරීම සම්බන්ධයෙන් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගෙන් දිගින් දිගටම චෝදනා එල්ල වී ඇත.

සිය ආර්ථික උපදේශකයෙකු සහ ආධාරකරුවෙකු වන ජූඩි ෂෙල්ටන් ෆෙඩරල් මහ බැංකු පාලක මන්ඩලයේ අසුනකට පත් කිරීමට දැරූ උත්සාහයත් සමඟ ට්‍රම්ප්ගේ විවේචන මතභේදයකට තුඩු දී තිබේ.

පත්වීම තහවුරු කිරීමට අද සෙනෙට් සභාවේ කරුනු විමසීමකට ෂෙල්ටන් පෙනී සිටීමට පෙර, නිව් යෝර්ක් ටයිම්ස් සහ වෝල් ස්ට්‍රීට් ජර්නලයේ පිටුවල වචන යුද්ධයක් ඇති විය.

ෂෙල්ටන් මහ බැංකුවේ දීර්ඝ කාලීන විවේචකයෙකු වූ අතර රන් ප්‍රමිතියට නැවත පැමිනීම වෙනුවෙන් පෙනී සිටියේය. නමුත් ඇයගේ පත්වීම් පිලිබඳ මතභේදය, ඇගේ ඊනියා “ගෝල්ඩ් බග්” මත පමනක් නොව, ඇය ට්‍රම්ප්ගේ අතේ ඇති ප්‍රබල මෙවලමක් වීම සම්බන්ධයෙනි.

රිපබ්ලිකන් දේශපාලඥයන් සමඟ දිගු කලක් තිස්සේ ඇසුරු කරන ෂෙල්ටන්, - 1996 දී බොබ් ඩෝල්ගේ ජනාධිපති මැතිවරන කන්ඩායමේ සිටි අතර 2016 අගෝස්තු මාසයේදී ට්‍රම්ප් කන්ඩායමට එක් වූවාය - මහ බැංකුව පරිපාලනයෙන් ස්වාධීන වීම පිලිබඳ ප්‍රවාදය ප්‍රශ්නයට බඳුන් කර තිබේ. 2019 ජුලි මාසයේ දී ට්‍රම්ප් විසින් මෙම තනතුර සඳහා නම් කිරීමෙන් පසුව, මහ බැංකුව පිහිටුවීමේ නීති සම්පාදනයේ දී “ස්වාධීනත්වය ගැන සඳහනක්” නොමැති බව ඇය ලියා තිබේ.

ඔබාමා පාලන සමයේදී ෆෙඩරල් මහ බැංකුව, පොලී අනුපාත පහත හෙලමින් හා ප්‍රමානාත්මක ලිහිල් කිරීමේ නිරත වෙමින් සිටියදී, පහත්ම අනුපාතයන් අසමානතාවය වැඩි කරන බවත්, වර්ධනය ඉහල නැංවීමට අසමත් වන බවත් කියමින් පොලී අනුපාත ඉහළ නංවන ලෙස ඇය ඉල්ලා සිටියාය. කෙසේ වෙතත්, ට්‍රම්ප් පරිපාලනය යටතේ, පොලී අනුපාත තව දුරටත් අඩු කරන ලෙස ඇය ඉල්ලා තිබේ.

නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත 11දා ප්‍රකාශයට පත් කල කතුවැකියක ලියා ඇත්තේ, ට්‍රම්ප්ට අවශ්‍ය “කඩාවැටීමේ අවදානම වැඩි වුව ද කෙටිකාලීනව ආර්ථිකය හැකි තරම් වේගයෙන් වර්ධනය වීමය.” ඊටත් වඩා අඩු පොලී ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම සඳහා “ඔහු දිගින් දිගටම උත්සාහ කරන්නේ තමන්ට පක්ෂපාතී කොටස් මහ බැංකුවේ පාලක මන්ඩලයට ඇතුලු කිරීමට ය.”

තම දේශපාලන අදහස් බෙදාහදා ගන්නා අය තෝරා ගැනීමට ජනාධිපතිවරුන්ට බලය ඇති නමුත් ඒ “මහ බැංකුව සඳහා කොන්ග්‍රසය ඉදිරිපත් කර තිබෙන අරමුනු වලක්වාලීමට නොවේ.” ෂෙල්ටන් නම් කිරීම “ෆෙඩරල් මහ බැංකුවේ කොංග්‍රස් බලයට එරෙහි ප්‍රහාරයක්” යැයි එහි සඳහන් විය.

ටයිම්ස් පුවත්පතේ අනෙකුත් සියලු මාධ්‍ය අංශ මෙන් ම මූල්‍ය සංස්ථාපිතය ද, තමන් පෙනී සිටින මූල්‍ය ප්‍රභූවේ අවශ්‍යතා සඳහා කොටස් වෙලඳපොල ඉහල නැංවීම සඳහා මුදල් ප්‍රතිපත්තිය භාවිතා කිරීමේ මහ බැංකුවේ ප්‍රතිපත්තියෙන් කිසිදු වෙනසක් නැත. එහි ප්‍රධාන කනස්සල්ල, ෂෙල්ටන් පත් කිරීම ට්‍රම්ප් විසින් රාජ්‍ය යාන්ත්‍රනයේ ප්‍රධාන කොටස් “පුද්ගලවාදී අවශ්‍යතාවන්ට” යටත් කිරීමේ තවත් පියවරක්ය යන්නයි.

මෙම කනස්සල්ල 12දා නිව් යෝර්ක් ටයිම්ස්හි පල වූ ලිපියක දැක්වේ. පරදුවට තැබෙන දේ ඉතා වැඩි යයි කියමින් එය මෙසේ පැවසීය: “මුදල් ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් තනි ෆෙඩරල් පාලකයන්ට ඡන්ද 12 න් එක් ඡන්දයක් පමනක් හිමිව තිබෙන නමුත්, ට්‍රම්ප් ඊලඟ මැතිවරනය ජයග්‍රහනය කලහොත් මහ බැංකුවේ මීලඟ සභාපතිනිය ලෙස ඇය නිසගයෙන්ම පත් කල හැකිය.”

පොලී අනුපාත ඉතා පහල මට්ටමක තබා ගැනීම සඳහා ඔහු පත් කල පවෙල් ඒ සඳහා මාස 18 ක් ගත කිරීමෙන් පසුව, පවෙල්ගේ ධුර කාලය 2022 දී අවසන් වන විට ට්‍රම්ප් ඔහු නැවත පත් නොකිරීමට තීරනය කල හැකි අතර, ෂෙල්ටන් “මුදල් ප්‍රතිපත්තිය ධවල මන්ඳිරයේ අවශ්‍යතාවන්ට යටත් කරන“ එක් විභව ආදේශකයක් වනු ඇත.”

වෝල් ස්ට්‍රීට් ජර්නලය 13දා “ජූඩි ෂෙල්ටන්ට එරෙහි යුද්ධය” නම් කතුවැකිය බරසාරව ලියා ඇති අතර එහි ප්‍රකාශ වුනේ, “පත්වීම තහවුරු නොකිරීම සම්බන්ධයෙන් යමෙකුට තනි තර්කයක් තිබේ නම්... අප එය අසා නැත” යනුවෙනි.

ඇය මහ බැංකුව 19 වන සියවසේ පිලිවෙත් කරා ආපසු නොගෙන යන බවත්, රත්‍රන් කෙරෙහි ඇය දක්වන උනන්දුව “සදාකාලික මූල්‍ය ප්‍රතිපත්ති විවාදයේ කොටසක්” බවත් පවසමින් ෂෙල්ටන් “ගෝල්ඩ් බග්” කෙනෙක්ය යන ප්‍රකාශය කතුවැකිය මගින් ප්‍රතික්ෂේප කෙරුනි.

ඇය නොගැලපෙන බවට කරන ප්‍රකාශ සම්බන්ධයෙන් කතුවැකිය තර්ක කලේ, මෙයින් ඇය නුසුදුස්සකු නොකල යුතුය, මන් ද, එය කෙසේ කල යුතුද යන්න පිලිබඳව මහ බැංකුවට අවබෝධයක් නොතිබීම නිසාය.

“අමිහිරි සත්‍ය ය නම්, පොලී අනුපාත ඉහල නැංවිය යුත්තේ හෝ පහත හෙලිය යුත්තේ කවදා ද යන්න පිලිබඳව මහ බැංකුකරුවන්ට මේ දිනවල පැහැදිලි අදහසක් නොමැති කමයි. සංවර්ධිත ලෝකය පුරා වැඩිවෙමින් පවතින සාක්ෂි, “අර්බුදයෙන් ඔබ්බට, වර්ධනය සඳහා අනුයන අඩු පොලී අනුපාත සහ ප්‍රමානාත්මක ලිහිල් කිරීම විනාශකාරී බව අඟවයි.”

මෙම කාරනය ඉදිරිපත් කිරීමෙන් පසුව, මෙය හරියටම ට්‍රම්ප් විසින් යෝජනා කරන ලද ප්‍රතිපත්තියක් බවත්, දැන් ෂෙල්ටන්ගේ සහාය ඊට ලැබෙන බවත් සටහන් කිරීමට එය අපොහොසත් විය.

ඇය “තනතුර සඳහා පැහැදිලිවම සුදුසුකම් ලබා ඇති” බව ප්‍රකාශ කරමින් එය තවදුරටත් මෙසේ පැවසීය: “සෙනෙට් සභිකයින්ගේ ප්‍රශ්නය වන්නේ, පවෙල් මහතා හෝ ඇය පිම්බීමට උත්සාහ කරන විද්වතුන් සහ මාධ්‍යවේදීන් කෙරෙහි ඔවුන් කොතරම් විශ්වාස කරනවාද යන්නයි. සෙනෙට් සභිකයින් සැබවින්ම සිතන්නේ මෙම පුද්ගලයින් ආර්ථික වර්ධනය සහ මූල්‍ය ස්ථායිතාව සහතිකල හැකි දක්ෂ න්‍යායාචාර්යවරුන් බව නම්, -සියලු සාක්ෂි ඊට පටහැනිව යයි - ඉදිරියට ගොස් ෂෙල්ටන් මහත්මියට කතා කරන්න. ”

උදාහරන දෙකක් පමනක් දෙන්නේ නම්, කෙරෝනෝ වෛරසයේ බලපෑම සහ යුරෝපයේ කාර්මික නිෂ්පාදනයේ අඛන්ඩ පහත වැටීම් මධ්‍යයේ, ගෝලීය ආර්ථිකයට බලපාන කුනාටු වලක්වා ගැනීමට එක්සත් ජනපදයට හැකි බවට කෙරෙන නිල ප්‍රකාශයන් පිටුපසින්, ආර්ථික ප්‍රතිපත්තියේ දිශාව හා පාලක කතිපයාධිකාරය තුල පවතින ගැඹුරු ගැටුම් සහ රාජ්‍ය බලයේ තීරනාත්මක ලීවරයන් තබා ගත යුත්තේ කුමන කන්ඩායම ද යන්න පිලිබඳව, ෂෙල්ටන් පත්වීම පිලිබඳ මතභේදය තවත් ඇඟවුමකි.

Share this article: