නව තාක්ෂනය යොදා ගනිමින් ශ්‍රමසූරාකෑම තීව්‍ර කිරීමට සහ වැටුප් කප්පාදුවට බත්තල්ගල්ල වත්තේ කම්කරුවන් විරුද්ධ වෙයි

එම්. දේවරාජා විසිනි, 2020 ජනවාරි 09

නව තාක්ෂනය යොදා ගනිමින් අධි සූරාකැමේ විධික්‍රම හඳුන්වා දීමට සහ වැටුප් කප්පාදුවට එරෙහිව කැලනිවැලි සහ හොරන වතු සමාගම්වල කම්කරුවන් අතර බරපතල විරෝධයක් මතුවෙමින් ඇත. නව ක්‍රමය යටතේ තේ දලු කිරීම සඳහා ඩිජිටල් කිරුම් යන්ත්‍රයක් හා කම්කරුවන්ගේ නිෂ්පාදන ක්‍රියාකාරිත්වය සමීපව නිරීක්ෂනය කිරීමේ ඩිජිටල් හැඳුනුම්පතක් හඳුන්වා දී තිබේ.

මෙය ලාභ මට්ටම් ඉහල දමා ගැනීම පිනිස වැඩ වේගවත් කිරීම සඳහා ක්‍රියාවට දැමීමට වතු සමාගම් විසින් යෝජිත පුලුල් සැලැස්මක කොටසකි. එය කැලනිවැලි වතු සමාගම විසින් පාලනය කරනු ලබන දික්ඔය බත්තල්ගල්ල වත්තේ ක්‍රියාවට දැමුනේ මාස කිහිපයකට පෙරාතුව ය.

ඩිජිටල් කිරුම් යන්ත්‍රය හඳුන්වා දීමෙන් පසුව බත්තලගල්ල වත්තේ කම්කරුවන්ගේ වැටුප් බොහෝසෙයින් අඩු වී ඇති අතර පැය අටක් වැඩ කලත් දවසේ වැඩ ඉලක්කය වන දලු කිලෝ 18 සම්පූර්න කිරීමට නොහැකි බව කම්කරුවෝ කීහ. එවිට කම්කරුවන්ට ලැබෙන්නේ දින භාගයක වැටුපකි. ඒ අනුව දලු කිලෝ 14 ක් නෙලන කම්කරුවෙකුට වුව ද ලැබෙන්නේ දෛනික වැටුපෙන් අඩක් වන රුපියල් 350 ක් පමනි

පසුගිය වසරේ දෙලක්ෂයකට ආසන්න වතු කම්කරුවන්ගේ වැටුප් අරගලය නින්දිත ලෙස පාවාදීමෙන් ඉක්බිතිව ලංකා කම්කරු කොංග්‍රසය (සීඩබ්ලිව්සී) සහ ලංකා ජාතික වතු කම්කරු සංගමය (සීඑන්ඊඩබ්ලිව්යූ) වැවිලි සමාගම් සමග අත්සන් කරන ලද සාමුහික වැටුප් ගිවිසුමේ දී මෙම ක්‍රමය ක්‍රියාවට දැමීමට එකඟ වී ඇත. ගිවිසුමේ පාර්ශව කරුවන් නොවන ලංකා ජාතික කම්කරු සංගමය (එන්යූඩබ්ලිව්), කඳුරට ජනතා පෙරමුන (යූපීඑෆ්) සහ ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු කොංග්‍රසය (ඩීඩබ්ලිව්සී) ඇතුලු අනෙක් සියලු‍ වතු වෘත්තීය සමිති නිහඬව එම එකඟතාවය පිලිගත්හ.

නව ක්‍රමය ක්‍රියාවට දැමීමට එරෙහිව හොරන වැවිලි සමාගම විසින් පාලනය කරනු ලබන ඕල්ටන්, ස්ටොක්හෝම්, ගවරවිල සහ අප්කොට් වතුවල 5,000 ක් පමන කම්කරුවෝ වෘත්තීය සමිතිවල විරුද්ධත්වය නොතකා සිව් දින වර්ජනයක නිරත වූහ. කම්කරුවන් සංවිධානය වී සිටින සීඩබ්ලිව්සී සහ එන්යූඩබ්ලිව් සමිති විසින් වර්ජනය පාවා දෙනු ලැබීය.

නව ක්‍රමය තම සේවා කොන්දේසි වලට සහ වැටුප් කප්පාදුවට බලපා ඇති ආකාරය පිලිබඳව කම්කරුවෝ ලෝක සමාජාවාදී වෙබ් අඩවියේ වාර්තාකරුට මෙසේ විස්තර කලහ. “ඩිජිටල් කිරුම් යන්ත්‍රය හඳුන්වා දුන්නට පසුව මගේ වැටුපෙන් රුපියල් 12,000 ක් පමන මට අහිමි වුනා. හැම මාසයකම දින තුනක් හෝ හතරක් මට ලැබුනේ දින භාගයක වැටුපක්. උදේ 8.00 සිට සවස 5.00 වෙනකම් අපි වැඩ කරනවා. දහවල් කෑමට පැයක විවේකයක් ලැබෙනවා. වැඩ අවසන් වෙලා නිවසට යන්න පැයක පමන කාලයක් ගත වෙනවා. ටාගට් එක අඩු වුනාම දින භාගයක වැටුප් කැපීම නීති විරෝධියි. පාලනාධිකාරියට එහෙම කරන්න අයිතියක් නැහැ. නමුත් වෘත්තීය සමිති එම සැලසුම් ක්‍රියාවට දැමීමට සහයෝගය දෙනවා. මම කාර්යක්ෂම කම්කරුවෙක්. සාමාන්‍යයෙන් දෛනික ටාගට් එක මම පියවනවා. ඩිජිටල් කිරුම් යන්ත්‍රය හඳුන්වා දුන්නට පසුව මගේ දෛනික දලු ප්‍රමානය කලින්ට වඩා අඩුයි. මෙම ක්‍රමය යටතේ අපට හොරෙන් කිරුම් යන්ත්‍රය වෙනස් කරලා අපේ දලුවලින් කිලෝ කිහිපයක් අඩු කරන්න පුලු‍වනි”‍ යැයි ඇය පැවසුවාය.

වෘත්තීය සමිති කෙරෙහි කම්කරුවන් තුල ඇති විරුද්ධත්වය ඇය මෙලෙස ප්‍රකාශ කලාය: “මම සීඩබ්ලිව්සී සාමාජිකාවක්. නමුත් වත්තේ ශාඛාවේ නායකයා වැඩකරන්නේ සුලු ධනපතියෙක් වගේ. ආදායම් බෙදීමේ ක්‍රමය යටතේ ඔහුට කම්කරුවන්ට වඩා විශාල සංඛ්‍යාවක් තේ පඳුරු සහිත ඉඩමක් ලැබිල තියෙනවා. පාලනාධිකාරියේ සහයෝගය තියෙන නිසා ඔහු දවසේ වැඩ කලින් අවසන් කරල ඒ ඉඩම් කට්ටියේ වැඩට යනවා. කම්කරුවන් අඩු ආදායමක් ලබමින් දුක් විඳින අතර ඔහු විශාල ආදායමක් ලබනවා”‍ යැයි ඇය සඳහන් කලාය.

ඇගේ සැමියා ද වතු කම්කරුවෙකු වන අතර ඔවුන්ට පාසල් යන වයසේ දරුවන් පස් දෙනෙක් සිටිති. “‍මගේ පුතා ඉගෙන ගන්නේ යාපනය විශ්ව විද්‍යාලයේ. එයාගේ වියදම් වලට මාසෙකට රුපියල් 6,000 ක් යවන්න ඕන. බඩුමිල දරා ගන්න බැරි මට්ටමට ඉහල ගිහිල්ල. හාල් කිලෝවක් රුපියල් 100 ට වැඩියි. එලවලු‍ කිලෝව රුපියල් 400 ට වැඩයි. අපි කොහොමද ලැබෙන සොච්චං ආදායමෙන් ජීවත් වෙන්නේ. මොන ආන්ඩුව ආවත් අපි දුක් විඳිනවා”‍ යි පැවසීය.

අවුරුදු දෙකකට පමන ඉහත දී ආදායම් බෙදීමේ ක්‍රමය හඳුන්වා දීමෙන් පසුව අර්ථසාධක සහ සේවක භාරකාර අරමුදල් වැනි සමාජ සහන ද අහිමි වූ බව ඇය සඳහන් කලාය.

එස්. තමිල්සෙල්වී හතලිස් හය හැවිරිදි තිදරු මවකි. සෞඛ්‍ය තත්වය අයහපත්වීම නිසා කලින් විශ්‍රාම ලබාගෙන ඇති ඇය දැන් අනියම් සේවිකාවක ලෙස වත්තේ වැඩ කරයි. “‍අනියම් සේවකයෙකුට දලු කිලෝවකට ගෙවන්නේ රුපියල් 40 යි. දවසකට කිලෝ දහයක් කැඩුවොත් ලැබෙන්නේ. රුපියල් 400 යි. අලු‍ත් කිරුම් යන්ත්‍රය මගින් හොරට කිරන නිසා දලු කිලෝ ගනන අඩු වෙනවා. ඒ නිසා හැමදාම මගේ වැටුපෙන් කොටසක් හොරකම් කරනවා. අපේ වැඩ කිරීමේ අත්දැකීම් අනුව එක වතාවක දී තේ දලු කොපමන ප්‍රමානයක් නෙලිය හැකි ද කියල දල වශයෙන් ගනනය කරන්න පිලිවනි. නව කිරුම් යන්ත්‍රය හඳුන්වා දුන්නට පස්සේ කිරන හැම අවස්ථාවකම කිලෝ තුනක් විතර අඩු වෙනවා. තුන් වරක් කිරුවොත් කිලෝ නවයක් අඩු වෙනව. වැඩ කරද්දී කම්කරුවන් මේ ගැන හැම වෙලාවෙම කතා කරනවා. වෘත්තීය සමිති කියනවා ඒ ගැන පාලනාධිකාරියත් සමග සාකච්චා කරනවා කියල. නමුත් පලක් නැහැ”‍

වෘත්තීය සමිති එයට එකඟ වෙලා තිබෙන නිසා නව ක්‍රමයට විරුද්ධව නොවැම්බර් මාසයේ පටන් ගත්තු වර්ජනය නතර කරන ලෙසට රාජපක්ෂ ආන්ඩුවේ වතු යටිතල පහසුකම් හා නව ගම්මාන ඇමති සීඩබ්ලිව්සී නායක ආරුමුගම් තොන්ඩමන් තර්ජනය කල බව ද කම්කරුවෝ පැවසූහ.

Share this article: