කොරොනා වෛරසය ගෝලීය කොටස් වෙලඳපොලවල් කලඹයි

Coronavirus provokes turbulence on global stock markets

නික් බීම්ස් විසිනි, 2020 ජනවාරි 29

පසුගිය දශකයකට වැඩි කාලය තුල ලෝකයේ මහ බැංකු ඩොලර් ට්‍රිලියන ගනනක් එන්නත් කිරීම මඟින් වාර්තාගත මට්ටම් කරා නැඟුන ගෝලීය කොටස් වෙලඳපොලවල් යටින් පවතින අස්ථාවරත්වය, කොරෝනා වෛරස් අර්බුදයට ප්‍රතිචාර දක්වමින් සඳුදා හා අඟහරුවාදා තියුනු ලෙස පහත වැටීමෙන් සලකුනු කෙරින.

පසුගිය ඔක්තෝබර් මාසයෙන් පසුව, වෝල් වීදියේ ප්‍රධාන දර්ශක විශාල වශයෙන් පහත වැටුනු අතර ඩව් ජෝන්ස් දර්ශකය 454 කින් හෙවත් සියයට 1.6 කින් පහල ගියේය. එස් ඇන්ඞ් පී 500 ප්‍රතිශත වශයෙන් එවැනිම පහත වැටීමකට ලක් විය. ආයෝජකයින්ගේ අවිනිශ්චිතතාවයේ පැහැදිලි සංඥාවක් වන දස අවුරුදු භාන්ඩාගාර බැඳුම්කර ප්‍රතිලාභ ද සියයට 1.605 දක්වා පහත වැටුනි. එය මාස තුනක් තුල එහි අවම මට්ටමටය.

2020 ජනවාරි 27 වන සඳුදා නිව් යෝර්ක් කොටස් වෙලඳපොලේ වෙලඳාම් දර්ශකය පිලිබඳ රූපවාහිනී තිර සිරස්තලයක්. [අනුග්‍රහය: ඒපී ඡායාරූපය / රිචඩ් ඩ්‍රිව්]

බොහෝකොටම සඳුදා වසා දමා තිබූ ආසියානු වෙලඳපොලවල් අඟහරුවාදා විවෘත කිරීමෙන් පසුව, වෝල් වීදිය අනුව යමින් පහත වැටුනි. දකුනු කොරියාව, සිංගප්පූරුව සහ ඕස්ට්‍රේලියාව යන රටවල කොටස් මිල ගනන් වාර්තාගත ලෙස පහල ගියේය. ලූනා අවුරුදු නිවාඩුව හේතුවෙන් හොංකොං වෙලඳපොල වසා දමා තිබුනි.

වෝල් වීදියේ වැටීම පිලිබඳව අදහස් දක්වමින් එක් ව්‍යාපාරික ආයෝජන විශ්ලේෂකයෙක් වෝල් ස්ටී්‍රට් ජර්නලයට මෙසේ පැවසීය: “මෙම වෙලඳපොල සතයක් වැනි දේකට ප්‍රතික්‍රියා කල හැකි බව ආයෝජකයින්ට මතක් කර දෙන්නේ නම්, එය ඉහලට නැඟීමට හේතුව කුමක්දැයි ප්‍රශ්න කිරීමට පටන් ගත යුතුය.”

ඩව් ජෝන්ස් සිය සඳුදා ලැබූ පාඩුවෙන් කොටසක් ඊයේ පියවා ගත් අතර එය ඒකක 187 කින් ඉහල ගිය අතර එස් ඇන්ඞ් පී 500 ද ඉහල ගියේය.

මේ මස මුලදී අත්සන් කරන ලද එක්සත් ජනපද-චීන “පලමු අදියර” වෙලඳ ගිවිසුමෙන් වෙලඳ යුද්ධ ආතතීන් අඩු කරනු ඇතැයි බලාපොරොත්තු රඳවමින් පසුගිය ඔක්තෝබර් මාසයේ සිට වෙලඳපල ක්‍රමයෙන් ඉහල යමින් තිබුනි.

එහෙත් කොරෝනා වෛරසය ඉදිරි සති හා මාස වලදී චීන වර්ධනයට බලපානු ඇතැයි යන අපේක්ෂාව, කොටස් විකුනා දැමීමට බලපෑවේය. විශේෂයෙන්ම චීන වෙලඳපොලට නිරාවරනය වූ කොටස්. ඊයේ වෙලඳපල නැගීමට හේතුව, අවම වශයෙන් එක් මූල්‍ය විශ්ලේෂකයෙකු ෆිනැෂනල් ටයිම්ස් පුවත්පතට පැවසූ පරිදි, “ෆෙඩරල් මහ බැංකුව සංචිත මුදා හරිද්දී, කොටස් වෙලඳපොල පහත වැටිය නොහැක” යන “වෙලඳපොල මිත්‍යාව“ බව පෙනේ.

ෆෙඩරල් මහ බැංකුව සිය ප්‍රමානාත්මක ලිහිල් කිරීමේ වැඩසටහන අවසන් කල ද පොලී අනුපාත ඉහල නොයන බව ඇඟවුම් කල අතර, එක රැයකින් මිලදී ගැනීමේ හෝ “රෙපෝ” වෙලඳපොල ස්ථාවර කිරීම සඳහා වත්කම් මිලදී ගැනීම හරහා වෙලඳපොලට මුදල් පොම්ප කරනු ඇත යන විශ්වාසයෙන් සැප්තැම්බර් මැද භාගයේදී එහි අනුපාතය සියයට 10 ක් තරම් ඉහල නැඟුනි.

ඉදිරි සති කිහිපය තුල මූල්‍ය වෙලඳපොලවල මතුවන ප්‍රධාන ගැටලුව වනුයේ, චීන ආර්ථිකයට වෛරසය මඟින් ඇති කල හැකි පූර්න බලපෑමයි. 2002-2003 කාලය තුල සාස් (SARS) වෛරසය පැතිරීම සමඟ සැසඳීම් කර ඇත. 2003 පලමු කාර්තුවේදී එහි වර්ධන වේගය සියයට 11.1 සිට දෙවන කාර්තුවේදී සියයට 9.1 දක්වා කෙටි පසුබෑමකින් පසු චීන ආර්ථිකය යථා තත්ත්වයට පත්විය.

කෙසේ වෙතත් ඒ වන විට, චීනයේ වර්ධන වේගය වාර්ෂිකව සියයට 10 ක් පමන වූ අතර, 1970 ගනන් වලින් පසුව ඉහලම ගෝලීය වර්ධනයට තුඩු දුන් ලෝක ආර්ථිකයේ ඉහල නැඟීමක්, 2008 මූල්‍ය අර්බුදයට පෙර කාල පරිච්ඡේදය තුල සටහන් විය.

අද තත්වය බෙහෙවින් වෙනස් ය. සමස්තයක් ලෙස ලෝක ආර්ථිකය පවතින්නේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල “සමස්ත මන්දගාමිත්වයක්” ලෙස හඳුන්වන ආකාරයකිනි. චීන ආර්ථිකයේ වර්ධන වේගය යන්තම් සියයට 6 ට වඩා ඉහල මට්ටමක පවතී. එය දශක තුනක කාලය තුල පැවති අවම මට්ටමයි.

වෙලඳපල පහත වැටීම පිලිබඳව අදහස් දක්වමින් සොසයිට් ජෙනරල් හි මූලෝපායඥයෙකු වන කිට් ජූක්ස් ෆිනෑන්ෂල් ටයිම්ස් පුවත්පතට මෙසේ පැවසීය: “ මූල්‍ය වෙලඳපොලවල් සඳහා ඉදිරි මාවතේ ඇති ගැඹුරුම වලවල්, අඩු පොලී අනුපාතයන් වලින් පුරවනු ඇතැයි හා පිරවිය හැකිය යන විශ්වාසය ගැඹුරින් මුල්බැස තිබේ. එහෙත්, එය කොපමන කාලයක් පවතිනු ඇතැයි ද හා එය ආර්ථිකයට ඇතිකරන හානිය කෙතරම් ලොකු වනු ඇත් ද යන්න අප නොදන්නා නමුත් එම වෛරසය වේගයෙන් පැතිරයාමේ ආර්ථික බලපෑමක් පවතියි.”

චීනය තුල පැතිර යන වෛරසයෙන් ඇතිකරන ආර්ථික බලපෑම දැනටමත් පුලුල් ලෙස දැනෙමින් තිබේ. රටේ මූල්‍ය ප්‍රාග්ධන මධ්‍යස්ථානය වන ෂැංහයිහි සමාගම් වලට පෙබරවාරි 10 වනතෙක් නව වසර සඳහා වැඩ පටන් නොගන්නා ලෙස දන්වා ඇත. අයි ෆෝන් කොන්ත්‍රාත්කරුවන් වන ෆොක්ස්කොන්, ජොන්සන් හා ජොන්සන් හා සැම්සුන්හි ප්‍රධාන කර්මාන්ත ශාලා ඇති ෂුඕ නිෂ්පාදන මධ්‍යස්ථානය, මිලියන ගනනක් සංක්‍රමනික කම්කරුවන්ට දන්වා ඇත්තේ, ආපසු වැඩට ඒම සතියකින් ප්‍රමාද කරන ලෙසය.

නිසාන් සහ රෙනෝල්ට් ඇතුලු ජාත්‍යන්තර මෝටර් රථ නිෂ්පාදකයින්, විදේශීය කාර්ය මන්ඩලය රටින් පිටතට යැවීමට පටන් ගෙන ඇති අතර, මෙම වසංගතය රටේ දැනටමත් අවපාතයට ලක්ව ඇති මෝටර් රථ වෙලඳපොලට කෙසේ බලපානු ඇත්ද යන්න පිලිබඳව කනස්සල්ලට පත්ව සිටී.

ආර්ථික බලපෑම් අවම කිරීම සඳහා චීන බැංකු නියාමන කොමිෂන් සභාව පවසා ඇත්තේ, “නය පොලී අනුපාත සුදුසු පරිදි පහත හෙලීමට දිරිගැන්වීම, නය කොන්දේසි අලුත් කිරීමේ ප්‍රතිපත්ති සඳහා විධිවිධාන අනුමත කිරීම සහ මධ්‍ය කාලීන නය වැඩි කිරීම වැනි ක්‍රියාමාර්ග තුලින් සමාගම්වලට සහාය ලැබෙන බවයි.”

එහෙත් වඩාත්ම ක්ෂනික බලපෑම පරිභෝජන වියදම් සඳහා එල්ල වන අතර එය චීන ආර්ථිකයේ මීට වසර 17 කට පෙර සාස් වෛරසය පැතිරයාමේ දී සිදු කලාට වඩා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.

ලුනා අලුත් අවුරුද්දේ පලමු දිනය වන සෙනසුරාදා, දුම්රිය ප්‍රවාහනය පසුගිය වසරේ එම කාලයට වඩා සියයට 42 කින් පහත වැටී ඇත. මගී ගුවන් ගමන් ද ඒ හා සමාන ප්‍රමානයකින් පහත වැටුනි. සිල්ලර වෙලඳාම හා පාරිභෝගික ඉල්ලුම, පලමුවෙන්ම බලපෑමට ලක්වන ක්ෂේත්‍රයන්ය.

කැපිටල් ඉකොනොමික්ස් හි ජ්‍යෙෂ්ඨ චීන ආර්ථික විද්‍යාඥ ජූලියන් එවාන්ස්-ප්‍රිචාර්ඞ් පවසන පරිදි, “රෝගය ඉක්මනින් පාලනය කර නොගන්නේ නම්, අපගේ පසුබෑම පිලිබඳ අනාවැකි පවා ඉතා ඉහල අගයක් ගන්නවා ඇති අතර ක්‍රෝනෝ වයිරසය ප්‍රබල මන්දගාමී වීමක් ඇති කරයි.”

සමස්ත වර්ධනයෙන් තුනෙන් එකකට පමන චීනය දායක වන තතු හමුවේ, ආසියා-පැසිෆික් කලාපයෙන් පටන්ගෙන, සමස්තයක් වශයෙන් ලෝක ආර්ථිකයට එහි ප්‍රතිපල දැනෙනු ඇත. සඳුදා සිංගප්පූරුවේ ප්‍රධාන කොටස් වෙලඳපොල දර්ශකය සියයට 2.6 කින් පහත වැටීමෙන් මෙම අපේක්ෂාව සලකුනු කල අතර කලාපයට එහි බලපෑම “දැවැන්ත” විය හැකි බවට එය අනතුරු ඇඟවීමකි. සම්පූර්න බලපෑම සති හෝ මාස ගනනක් යනතෙක් දැකගත නොහැකි වනු ඇත.

සුප්‍රසිද්ධ මූල්‍ය විශ්ලේෂකයෙකු සහ විචාරකයෙකු වන මොහොමඞ් එල්-ඒරියන් බ්ලූම්බර්ග් වෙත පැවසුවේ, වෛරසය කෙරේ වෙලඳපල දැක්වූ ප්‍රතිචාරය හුරුපුරුදු රටාවක් අනුගමනය කර ඇති බවයි. ඉක්මනින් විකුනා දැමීමෙන් පසුව ආයෝජකයින් “පහත වැටුනු මිලට” ගැනීමට පටන්ගැනීමත් සමඟ ප්‍රකෘතියක් ඇතිවන බවය.

නමුත් මෙම රටාව දිගු කාලීන අභියෝග පැහැදිලි කරන්නේ නැති බවට ඔහු අනතුරු ඇඟවීය. ආර්ථික මූලධර්ම කම්පනයට ඔරොත්තු දෙන බවටත්, “සමහර විට වඩා වැදගත්” දේ, එනම් මහ බැංකු ප්‍රමානවත් උත්තේජනයක් ලබා දෙනු ඇතැයි යන විශ්වාසයෙනුත්, වෙලඳපොලවල් පෙලඹී ඇත.

කෙසේ වෙතත් වෙලඳපල තවදුරටත් මෙම නවතම කම්පනයේ ප්‍රතිපල වලට පමනක් නොව, මධ්‍ය කාලීන අවිනිශ්චිතතාවන්ගේ “සැලකිය යුතු කරුනු ගනනාවකට” මුහුන දෙයි. “දුර්වල ව්‍යුහාත්මක වර්ධන ගතිකතාවන්, ගෝලීයකරනය ආපසු හැරවීම, මහ බැංකු ප්‍රතිපත්තිවල පලදායීතාවය, දේශගුනික විපර්යාස, තාක්ෂනික කඩාකප්පල් වීම්, ජන විකාශනයේ වෙනස්වීම් සහ චීනයේ ඓතිහාසික වර්ධන ක්‍රියාවලිය පිලිබඳ අපේක්ෂාවන්” ඊට ඇතුලත් ය.

Share this article: