බදාදා පැවැත්වෙන සමස්ත ඉන්දීය එක්දින වැඩ වර්ජනයට මිලියන ගනනක් එක්වනු ඇත

Tens of millions to join all-India one-day strike on Wednesday

කීත් ජෝන්ස් විසිනි, 2020 ජනවාරි 7

මෝඩි ආන්ඩුවේ සමාජීය වශයෙන් ගිනි අවුලු‍වන මහා ව්‍යාපාරික න්‍යාය පත්‍රයට හා හින්දු අධිපතිවාදය ප්‍රවර්ධනය කිරීමට එරෙහි මහජන විරෝධය නැඟේ.

හෙට පැවැත්වෙන ඉන්දියාවේ එක්දින මහා වැඩ වර්ජනයට දස මිලියන නොවේ, මිලියන සිය ගනනක් කම්කරුවන් හා තරුනයින් සහභාගී වනු ඇත.

සමාජ වියදම් කප්පාදුව, පුද්ගලීකරනය, අස්ථිර කොන්ත්‍රාත් රැකියා ක්‍රමය පුලු‍ල් කිරීම, සේවා ස්ථානවල සහ පාරිසරික ප්‍රශ්න වලට අදාල රෙගුලාසි ඉවත් කිරීම සහ තවදුරටත් දැවැන්ත ව්‍යාපාරික බදු කපාහැරීම වැනි නරේන්ද්‍ර මෝඩිගේ නායකත්වයෙන් යුත් භාරතීය ජනතා පක්ෂ (බී.ජේ.පී) ආන්ඩුවේ මහා ව්‍යාපාරික ගැති ක්‍රියාමාර්ග වලට විරෝධය පල කරමින් එරට ප්‍රධාන වෘත්තීය සමිති සම්මේලන විසින් 2019 සැප්තැම්බර් 30 වන දින වැඩ වර්ජනය කැඳවන ලදී.

ඉන්දියානු කම්කරුවන් 2019 ජනවාරි 8 දා මුම්බායිහි වර්ජනයට සහභාගිවූවෝ [ඡයාරූප අනුග්‍රහය රාෆික් මක්වූල් (AP Photo/Rafiq Maqbool)]

මෙම මාස තුන තුල භාරතීය ජනතා පක්ෂ ආන්ඩුව, පන්ති යුද්ධයේ ප්‍රහාර වේගවත් කරමින්, ඒකාධිපති පාලන ක්‍රම වෙත යොමුවීම, හින්දු අධිපතිවාදය නඟාසිටුවීම සහ චීනයට එරෙහි වොෂින්ටනයේ මිලිටරි මූලෝපායික ප්‍රහාරයට ඉන්දියාව ඒකාබද්ධ කිරීම වේගවත් කර තිබේ.

ආන්ඩුව විසින් ඉන්දියාවේ කම්කරු නීති නව කම්කරු කේත හතරකට “බෙදීම” සහ “නවීකරනය කිරීම” සඳහා නීති සම්පාදනය කර තිබේ. තමන් කැමති කොන්දේසි යට‍තේ සේවකයින් වැඩෙහි යෙදවීමේ ගිවිසුම් ඇති කිරීමට සමාගම්වලට බලය පැවරීම, වැඩ වර්ජනකිරීමේ අයිතිය තහනම් කිරීම, වැඩවර්ජන සඳහා වැඩපොලවල සංවිධාන පිහිටුවා ගැනීමට ඇති අයිතියට නව සීමාවන් පැනවීම, ඉන්දියාවේ දැනටමත් පන අදිමින් ඇති කර්මාන්තශාලා පරීක්ෂන පද්ධතිය ඉවත් කිරීම අනෙකුත් සංශෝධන අතර වේ.

රටේ ආර්ථිකයේ කැපී පෙනෙන මන්දගාමිත්වයක් මධ්‍යයේ ඉන්දියාවේ තරඟකාරිත්වය, එනම් ආයෝජකයින්ගේ ලාභය ඉහල නැංවීම සඳහා මෝඩි ආන්ඩුව, ගෝලීය ප්‍රාග්ධනයෙන් සහ දේශීය මහා ව්‍යාපාරිකයන්ගෙන් කෙරෙන දැඩි ඉල්ලීම් වලට ප්‍රතිචාර දක්වයි. පාරිභෝගික ඉල්ලු‍ම, කාර්මික නිෂ්පාදනය සහ අපනයන සියල්ලම අඩාල ව ඇත. ඉන්දියානු ආර්ථික අධීක්ෂන මධ්‍යස්ථානයට අනුව, දෙසැම්බර් මාසයේදී ඉන්දියාවේ රැකියා විරහිතයන් මිලියන 73 ක් සිටි අතර විරැකියා අනුපාතය සියයට 7.7 ක් විය. එය වසර 45 ක උපරිම මට්ටමට ආසන්න විය.

ගල් අඟු‍රු පතල් කම්කරුවන් සහ වරාය සේවකයින්ගේ සිට බැංකු සේවකයින් දක්වා විශාල වශයෙන් කම්කරුවන් නියෝජනය කරන මධ්‍යම කම්කරු සම්මේලන 10 ක් සහ විවිධ ස්වාධීන වෘත්තීය සමිති බදාදා වැඩ වර්ජනයට සහභාගී වනු ඇත. කෙසේ වෙතත්, දේශපාලන වශයෙන් එක්දින විරෝධතා වැඩ වර්ජනයට නායකත්වය දෙන්නේ, ඉන්දීය වෘත්තීය සමිති කේන්ද්‍රය (සීඅයිටීයූ) සහ සමස්ත ඉන්දීය වෘත්තීය සමිති සම්මේලනය (ඒඅයිටීයූසී) යන ස්ටැලින්වාදී පාර්ලිමේන්තු පක්ෂවලට අනුබද්ධ සංවිධාන විසිනි. ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය ( මාක්ස්වාදී) හෝ සීපීඑම් සහ ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (සීපීඅයි) එම ස්ටැලින්වාදී පක්ෂ දෙකයි.

දශක ගනනාවක් තිස්සේ ස්ටැලින්වාදීන් ඉන්දියානු දේශපාලන සංස්ථාපිතයේ තීරනාත්මක කොටසක් ලෙස ක්‍රියා කර ඇති අතර එහි විශේෂ කාර්යය වන්නේ, කම්කරු පන්තියේ විරුද්ධත්වය පාලනය කිරීම, නිශ්ක්‍රීය කිරීම සහ මර්දනය කිරීමයි. හින්දු අධිපතිවාදී භාරතීය ජනතා පක්ෂයට විරුද්ධ වීමේ නාමයෙන්, 1989 සිට 2008 දක්වා දක්ෂිනාංශික මහා ව්‍යාපාරික ආන්ඩුවලට සහාය දීම ද මෙයට ඇතුලත් ය. අද ධනේශ්වරය, ප්‍රජාතන්ත්‍රවාදී-ව්‍යවස්ථාමය පාලන ක්‍රමවලින් කැපී පෙනෙන ලෙස ඉවත්වෙමින් පවතින තත්වය යටතේ ස්ටැලින්වාදීන් උත්සාහ දරන්නේ, කම්කරු පන්තිය ඉන්දියානු රාජ්‍යයේ පක්ෂවලට හා ආයතනවලට බැඳ දැමීමටය.

මෝඩි ආන්ඩුව “ෆැසිස්ට්වාදී” යයි හෙලා දකින අතරම, දක්ෂිනාංශික විරුද්ධ පක්ෂ සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමෙන් ඒවායේ “කම්කරු විරෝධී, ජනතා විරෝධී හා ජාතික විරෝධී ප්‍රතිපත්ති” අතහැර දැමීමට ඒවාට බලපෑම් කල හැකි බව ස්ටැලින්වාදීහු අවධාරනය කරති. ඉන්දියානු ජාතික වෘත්තීය සමිති සම්මේලනය (අයිඑන්ටීයූසී) සහ ඩීඑම්කේ සමග පෙලගැසී ඇති කම්කරු ප්‍රගතිශීලී සම්මේලනය වැනි විවිධ කම්කරු පෙරමුනු ඒ මාවතේම ගමන් ගනිති.

අයිඑන්ටීයූසී යනු කොන්ග්‍රස් පක්ෂයේ වෘත්තීය සමිති අංශය වන අතර මෑතක් වන තුරුම ඉන්දීය පාලක ප්‍රභූව නියෝජනය කරන ජාතික ආන්ඩුවේ ප්‍රධාන පක්ෂය විය. 1991 න් පසු ඉන්දියාව ගෝලීය ප්‍රාග්ධනය සඳහා ලාභ ශ්‍රම මධ්‍යස්ථානයක් බවට පත් කිරීම සහ එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සමඟ “ගෝලීය මූලෝපායික හවුල්කාරිත්වයක්” ඇති කර ගැනීම සඳහා වූ ඉන්දීය ධනේශ්වරයේ තල්ලු‍ව යන දෙකටම කොන්ග්‍රසය නායකත්වය දුන්නේය.

පසුගිය මාසයේ අගභාගයේදී, වෘත්තීය සමිති ආන්ඩුවට ඉදිරිපත් කරන දිගු සමාජ-ආර්ථික ඉල්ලීම් ලැයිස්තුවට, මුස්ලිම් විරෝධී පුරවැසි සංශෝධන පනත (සීඒඒ) ඉවත් කරන ලෙසට කරන ඉල්ලීම ද එකතු කලහ. දින හතරක් වැනි කෙටි කාලයක් තුල පසුගිය මාසයේ දී ආන්ඩුව, ස්වාධීන ඉන්දියාවේ ප්‍රථම වතාවට ආගම පුරවැසිභාවය තීරනය කිරීමේ නිර්නායකයක් බවට පත් කිරීමේ නීති පාර්ලිමේන්තුව හරහා කඩිමුඩියේ සම්මත කර ගත්තේය. එපමනක් නොව, “නීතිවිරෝධී සංක්‍රමනිකයන්” හඳුනාගෙන නෙරපා හැරීමේ නාමයෙන් මුස්ලිම් සුලු‍තරයට හිරිහැර කිරීම හා බිය ගැන්වීම සඳහා මග පාදා ගැනීම, සමස්ත ඉන්දියානු ජාතික පුරවැසි ලේඛනයේ (එන්ආර්සී) විනිවිද පෙනෙන අරමුන ය.

සීඒඒ නීතිය ක්‍රියාත්මක වන දෙසැම්බර් 12 වන දා සිට ඉන්දියාව, දශක ගනනාවක් තිස්සේ සිදු වූ විශාලතම මහජන විරෝධතා රැල්ලකට මුහනපා සිටින අතර එයින් කම්පනයට පත්ව ඇත. කම්කරු පන්තිය බෙදීමේ අරමුනින් ඉන්දියාවේ පාලක ප්‍රභූව ක්‍රමානුකූලව වගා කර ඇති වාර්ගික, කුල හා ජනවාර්ගික බෙදීම් කපා ගෙන, කුරිරු පොලිස් මර්දනය නොතකා, මෙම විරෝධතා බොහෝ විට රටේ සෑම ප්‍රදේශයකටම විහිදී ඇත.

මහජන විරෝධය හදිසියේම පුපුරා යාම භාරතීය ජනතා පක්ෂයේ ජාතික හා ප්‍රාන්ත ආන්ඩු තැතිගන්වා තිබේ. මාරාන්තික මර්දනය, අන්තර්ජාලය හා ජංගම දුරකථන වසා දැමීම, කුප්‍රකට බි්‍රතාන්‍ය යටත් විජිත විසින් රචිත ඉන්දියාවේ අපරාධ නීති සංග්‍රහයේ 144 වන වගන්තිය යටතේ පුද්ගලයන් හතරකට වැඩි පිරිසකගේ සියලු‍ රැස්වීම් තහනම් කිරීම සහ ජාතිවාදය තවදුරටත් අවුස්සමින් ඔවුන් ඊට ප්‍රතිචාර දක්වා තිබේ.

ඉන්දියාවේ මුස්ලිම් සුලු‍තරයට එරෙහි භාරතීය ජනතා පක්ෂ ආන්ඩුවේ ප්‍රකෝප කිරීම් මාලාවේ නවතම එක පමනක් වන සීඒඒ නීතියට එරෙහි මහජන විරෝධය, බදාදා පැවැත්වෙන මහා වැඩ වර්ජනයේ සහභාගීත්වය නිසැකවම ඉහල නංවනු ඇත. එය සිසුන් සහ ග්‍රාමීය හා නාගරික දුප්පතුන් ආකර්ෂනය කර ගැනීමට උපකාරී වේ. ස්ටැලින්වාදී පාර්ලිමේන්තු පක්ෂවලට සම්බන්ධ ගොවීන්ගේ හා කෘෂිකාර්මික කම්කරුවන්ගේ සංවිධාන බදාදා “ග්‍රාමීන් බන්ද්” හෝ ග්‍රාමීය වැඩ වර්ජනයක් ඉල්ලා තිබේ.

වඩාත් සංවේදී ඉන්දියානු විචාරකයින් හඳුනාගෙන ඇති පරිදි, දැවැන්ත විරැකියාව, අර්ධ සේවා නියුක්තිය හා කොන්ත්‍රාත් රැකියා, උග්‍ර දරිද්‍රතාවය සහ ලෝකයේ වඩාත්ම සමාජීය අසමාන සමාජයක් බවට ඉන්දියාව පරිවර්තනය වීම පිලිබඳ කෝපය, සීඒඒ විරෝධී ව්‍යාපාරයට දිගට හරහට දායක වන්නේය.

මෑත මාසවල කම්කරුවන්ගේ අරගල රැල්ලක් ඇතිව තිබේ. ආන්ඩුවේ පුද්ගලීකරන සැලැස්මට විරෝධය පල කරමින් ගල් අඟු‍රු පතල් කම්කරුවන් ලක්ෂ ගනනක් පසුගිය සැප්තැම්බරයේ දැවැන්ත එක්දින වැඩ වර්ජනයකට සහභාගී වූ අතර, බොහෝ නගර හෝ අභ්‍යන්තර නගර බස් සේවාව විකුනා දැමීමේ තෙලන්ගානා රාෂ්ට්‍ර සමිතී ප්‍රාන්ත ආන්ඩුවේ සැලසුම් වලට එරෙහිව තෙලන්ගානා ප්‍රාන්ත මාර්ග ප්‍රවාහන සංස්ථාවේ (ටීඑස්ආර්ටීසී) කම්කරුවන් 48,000 ක් විසින් දින 52 ක වැඩ වර්ජනයක් ගෙන යන ලදී.

ටීඑස්ආර්ටීසී කම්කරුවෝ, පොලිස් මර්දනය සහ විශාල වශයෙන් රැකියා වලින් දොට්ට දමන බවට කල ආන්ඩුවේ තර්ජන ගනනකට නොගත්හ. එහෙත්, පසු ගිය දශක තුන තුල නැවත නැවතත් සිදු වූවාක් මෙන්, වෘත්තීය සමිති, ස්ටැලින්වාදීන්ගේ සහාය ඇතිව, ටීඑස්ආර්ටීසී කම්කරුවන්ගේ අරගලය හුදෙකලා කල අතර, අධිකරනයට, විරුද්ධ පක්ෂවලට සහ මෝඩි රජයට පවා මැදිහත් වන ලෙස නිරර්ථක අභියාචනා ඉදිරිපත් කිරීම සඳහා ඔවුන් දිරිමත් කලහ.

රැකියා කප්පාදුවට එරෙහිව වැඩ වර්ජන හා විරෝධතා ද පැනැඟී තිබුනි. විශේෂයෙන් ගෝලීය වශයෙන් සම්බන්ධිත ඉන්දියාවේ මෝටර් රථ කර්මාන්තය තුල. ලක්ෂ සංඛ්‍යාත මෝටර් රථ සේවකයින් ඉවත් කර හෝ ඔවුන්ගේ කොන්ත්‍රාත්තු මෑත මාසවලදී අවසන් කර තිබේ.

නොවැම්බර් මස මුල සිට, හොන්ඩා යතුරුපැදි සහ මැනේසර් ස්කූටර්හි කම්කරුවන් දහස් ගනනක් රැකියා වලින් ඉවත්කර තිබේ. හර්යානා කම්හලෙන් පිටත විරෝධතා නිසා සමාගමට තාවකාලිකව නිෂ්පාදනය නවතා දැමීමට බල කර තිබේ. දෙසැම්බර් 1 වන දින, ඉන්දියාවේ අගනුවර වන දිල්ලියට නුදුරින් පිහිටි මැනේසර්-ගුර්ගෝන් කාර්මික තීරයේ කම්කරුවන් දහස් ගනනක්, ආන්ඩුව විසින් දිරිමත් කරන ලද අඩු වැටුප් සහිත, අස්ථිර කොන්ත්‍රාත් කම්කරු රැකියා සැපයීම පුලුල් කිරීමට විරෝධය පල කරමින් උද් ඝෝෂනයකට එක් වූහ.

බෙල්සොනිකා ඔටෝ කම්පොනන්ට් ඉන්දියා සේවක සංගමයේ සභාපති ජස්බීර් සිං නිව්ස්ක්ලික් වෙබ් අඩවියට පැවසුවේ, අලෙවියේ ඇතිව තිබෙන තියුනු පසුබෑමේ බර කොන්ත්‍රාත් කම්කරුවන් මත පැටවීම සඳහා සේවා යෝජකයන් ප්‍රයත්න දරන බවයි. “ගු‍ර්ගෝන්-මැනේසර් කලාපයේ කම්කරුවන් ලක්ෂ 2.5 ක් දොට්ට දමා ඇත. සේවයෙන් ඉවත් නොකල අය විශාල වැටුප් කප්පාදුවකට මුහුන දී සිටිති.”‍

බදාදා වැඩ වර්ජනය නිසැකවම මිලියන සංඛ්‍යාත කම්කරුවන්ට හා තරුනයින්ට මෝඩි රජයට විරුද්ධත්වය ප්‍රකාශ කිරීමට අවස්ථාවක් ලබා දෙන අතර එය සීමිත ආකාරයකින් වුවද කම්කරු පන්තියේ දැවැන්ත සමාජ බලය පෙන්වනු ඇත.

සැලකිය යුතු කරුනක් නම්, වෘත්තීය සමිතිවල ඉල්ලීම් අතරට, අධිරාජ්‍යවාදය සමඟ ඉන්දියාවේ මිලිටරි-මූලෝපායික සන්ධානය ගැන හෝ ඉන්දියානු ධනේශ්වරයේ දැවැන්ත මිලිටරි තරකිරීමට විරුද්ධ වීම සහ කලාපීය ‌ලොක්කා ලෙස තමන් ස්ථාපිත කර ගැනීම සඳහා වන යුදවාදී තල්ලු‍ව ගැන සඳහනක් නොවීමය. කෙසේ වෙතත්, වෘත්තීය සමිති ආරක්ෂක අංශයේ කොටස් පෞද්ගලීකරනය කිරීමට රජය ගෙන ඇති පියවර “ජාතික අවශ්‍යතා පාවාදීමක්” ලෙස ප්‍රකාශ කරති.

එසේම වෘත්තීය සමිතිවල ඉල්ලීම් ලැයිස්තුවට, ම්ලේච්ඡ වැඩ පාලන තන්ත්‍රයකට හා කම්කරු රැකියා කොන්ත්‍රාත්තු වලට එරෙහිව සටන්කාමී විරෝධයක් මෙහෙයවීම හේතුවෙන් ගොතන ලද මිනීමැරුම් චෝදනා මත ජීවිතාන්තය දක්වා සිරගත කර ඇති මරුටි සුසුකි කම්කරුවන් 13 දෙනාගේ නිදහස ඉල්ලා සිටීම ඇතුලත්ව නොතිබීම ද කැපී පෙනෙන කාරනයකි. ස්ටැලින්වාදී පක්ෂ සහ සීඅයිටීයූ සහ ඒඅයිටීයූසී ඔවුන්ගේ සටන්කාමී ආදර්ශයට බිය වන නිසාත්, කම්කරුවන්ගේ එම අරගලය තුල පොලීසිය, උසාවි සහ කොන්ග්‍රස් පක්ෂයේ කාර්යභාරය හෙලිදරව් වීමත් මඟින් ඔවුන් දේශපාලන සංස්ථාපිතය හා මහා ව්‍යාපාරිකයන් සමඟ පවත්වාගෙන යන සුහද සබඳතා කඩාකප්පල් වන නිසාත් මරුටි සුසුකි කම්කරුවන්ගේ ප්‍රශ්නය අතහැර දමා ඇත.

සීඅයිටීයූ, ඒඅයිටීසීසී සහ සියලු‍ වෘත්තීය සමිතිවල දිශානතිය, ඒවායේ ඉහල නිලධාරීන් පසුගිය සතියේ භාරතීය ජනතා පක්ෂ කම්කරු අමාත්‍ය සන්තෝෂ් ගංග්වාර් හමුවීමට ඉක්මන් පියවර ගැනීම මඟින් ද සලකුනු කෙරේ. අන්ත දක්ෂිනාංශික ආන්ඩුවේ මෙම නියෝජිතයා, බැරෑරුම් සංවාදයක් ගැන උනන්දු නොවීම ගැන පසුව ඔවුහු විලාප තැබූහ. ප්‍රධාන වෘත්තීය සමිති ඉල්ලීමක් නම්, 2015 සිට රැස්ව නැති ත්‍රෛපාර්ශ්වීය ඉන්දියානු කම්කරු සමුලුවේ වාර්ෂික රැස්වීම් ආන්ඩුව විසින් නැවත ස්ථාපිත කිරීම ය.

Share this article: