ඉරාකයේ සහ ලෙබනනයේ මහජන විරෝධතා උත්සන්න වේ

Mass protests escalate in Iraq and Lebanon

බිල්වෑන් ඕකන් විසිනි, 2020 ජනවාරි 21

පාරට බැස ඇති ලක්ෂ ගනන් ජනතාවගේ සමාජ හා දේශපාලන ඉල්ලීම් කිසිවක් ඉටු කිරීමට අපකීර්තිමත් භාරකාර ආන්ඩු අපොහොසත් වීම හමුවේ, ඉරාකය සහ ලෙබනනය යලිත් වරක් මහජන විරෝධතා සහ ප්‍රචන්ඩ මර්දනය මගින් දෙදරුම් කා ඇත‍.

එක්සත් ජනපද ඩ්‍රෝන් මිසයිල ප්‍රහාරයකින් ඉරාන ජෙනරාල් කසෙම් සුලෙයිමානි ජනවාරි 3 වන දින බැග්ඩෑඞ් හි ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී ඝාතනය කිරීම හා කලාපය පුරා ඇමරිකානු යුද අපරාධයන්ට එරෙහිව දැවැන්ත විරෝධතා පැනනැඟීම හමුවේ, පසුගිය ඔක්තෝබර් මාසයේදී යටපත්ව තිබුන දෙරටේම ඇති වූ වීදි පෙලපාලි, යලිත් මතුව තිබේ.

ඉරාකයේ බැග්ඩෑඩ් නගරයෙහි සඳුදා ආරක්ෂක අංශ සහ ආන්ඩු විරෝධී විරෝධතාකරුවන් අතර ඇති වූ ගැටුම්වලදී තුවාල ලැබූ විරෝධතාකරුවෙකුට ප්‍රථමාධාර ලබා දෙමින් (AP ඡායාරූපය - කාලිඩ් මොහොමඩ්)

සඳුදා බැග්ඩෑඞ් සහ අනෙකුත් නගර සිසාරා ගිය විරෝධතාවන්හිදී ආරක්ෂක හමුදා මගින් සෙනග අතරට සජීවී වෙඩි ප්‍රහාර වට එල්ල කිරීමෙන් අවම වශයෙන් පෙලපාලිකරුවන් පස් දෙනෙකු මිය ගිය බව වාර්තා වේ. දෙදෙනෙකු වෙඩි පහර වලින් ද තුන් වැන්නාගේ හිසමතදී කෙලින්ම එල්ල කල කඳුළු ගෑස් කැනිස්ටරයක් පුපුරායෑමෙන් ද බැග්ඩෑඞ් විරෝධතාවලදී පුද්ගලයින් තිදෙනෙකු මිය ගියහ. හතරවන පෙලපාලිකරුවා, බැග්ඩෑඩයට නිරිත දෙසින් පිහිටි මධ්‍යම ඉරාක නගරයක් වන කර්බාලාහිදී පොලීසිය විසින් වෙඩි තබා ඝාතනය කරන ලද අතර පස්වන පුද්ගලයා ඊසානදිග බකුබාහි දී ඝාතනය කරන ලදී.

පොලිස් බටයින් දෙදෙනකු ද දකුනේ බස්රා නඟරයේදී මියගිය බව වාර්තතා විය. එය රටේ තෙල් කර්මාන්ත මධ්‍යස්ථානයයි. ප්‍රචන්ඩ ගැටුම් සිදු වූ ස්ථානයෙන් බියපත්ව පලා යාමට උත්සාහ කල රියදුරෙකුගේ මෝටර් රථයට යටවීමෙන් ඔවුන් මියගොස් ඇත.

ප්‍රචන්ඩකාරී ලෙස ඉරාක උද්ඝෝෂන මර්දනය කිරීම හමුවේ, ඔක්තෝබර් 1 වනදා සිට 500 කට වැඩි පිරිසක් මියගොස් තවත් 25,000 ක් තුවාල ලැබූහ.

ඉරිදා සිට සඳුදා දක්වා අඛන්ඩව, බැග්ඩෑඞ් සහ දකුනේ ප්‍රධාන මහාමාර්ග සහ පාලම් බාධක යොදා හා ටයර් ගිනිතබමින් අවහිර කිරීමට විරෝධතාකරුවෝ උත්සාහ කලහ.

“‍තරුනයින්ට රැකියා හා අපගේ අයිතීන් ඉල්ලා අපි මාර්ග අවහිර කලා”‍ යයි ඉරාක අගනුවර විරෝධතාකරුවන් අල් ජසීරා ප්‍රවෘත්ති සේවයට පැවසීය.

තවත් විරෝධතාකරුවෙක් ප්‍රචන්ඩකාරී මර්දනය හෙලා දකිමින් ප්‍රවෘත්ති ඒජන්සියට පැවසුවේ “මාස ගනනාවක් තිස්සේ කිසිවෙකු අපේ ඉල්ලීම්වලට ඇහුම්කන් දුන්නේ නැහැ. ඔවුන් අපිව මරනවා. එය නිකරුනේ සිදුකරන ජන ඝාතනයක්.”

මාස දෙකකට පෙර ඉල්ලා අස්වූ නමුත්, ඉරාක පාර්ලිමේන්තුවට අනුප්‍රාප්තිකයා තෝරා ගැනීමට තවමත් නොහැකි වී තිබීම නිසා භාරකාර අගමැති ලෙස රැඳී සිටින අඩෙල් අබ්දුල් මෙහ්දි, අලු‍ත් වටයකින් ආරම්භවී ඇති විරෝධතා කෙරේ දැඩි පිලිවෙතක් අනුගමනය කරන අතර, අධිවේගී මාර්ග අවහිර කරන්නන් “නීති කඩන්නන්“ ලෙස හැඳින්වීය. ඉරාක ආරක්ෂක හමුදා ආඥාපතිගේ මාධ්‍ය ප්‍රකාශක, අඩෙල් කරීම් කලාෆ් පැවසුවේ, එවැනි විරෝධතා මර්දනය කිරීමට ආරක්ෂක අංශ වලට ”‍පරම බලය”‍ ඇති බවයි.

තරුන කම්කරුවන් අතර විරැකියා අනුපාතය සියයට 25 ට වැඩි කොන්දේසි යටතේ, රැකියා හිඟයට විරෝධය පලකරමින් උපාධිධාරීන් තැනින් තැන ගෙනගිය විරෝධතා, ඉරාකයේ මහජන පෙලපාලි හා විරෝධතා දක්වා වැඩී ගියේය. 2003 දී සාපරාධී එක්සත් ජනපද ආක්‍රමනයත් සමඟ ආරම්භ වූ ඇමරිකානු මිලිටරි වාඩිලාගැනීම විසින් නිර්මානය කරන ලද නිකායික පාලන තන්ත්‍රය අනුගමනය කරන දරිද්‍රතාවයේ, අත්‍යවශ්‍ය සමාජ සේවා අඩපන වීමේ සහ ඉහවහා ගිය දූෂනයේ කොන්දේසි හමුවේ විරෝධතා මර්දනය කිරීම, පුලු‍ල් මහජන කෝපයට හා අරගලයට හේතුවී ඇත.

2005 සිට මේ දක්වා ඩොලර් ට්‍රිලියන 1 ට වැඩි ආදායමක් උපයා ගනිමින් ලෝකයේ තුන්වන විශාලතම තෙල් අපනයන කරු යයි පුරසාරම් දොඩවන රටක, කැපී පෙනෙන සමාජ අසමානතාවය නිසා මහජන කෝපය ඇවිස්සී ඇත. මෙම අතිවිශාල සම්පත් විදේශීය සංගතවල, බැංකුවල හා බැග්ඩෑඞ් දේශපාලඥයින්ට සම්බන්ධ කතිපයාධිකාරයේ සේප්පු තුලට ගලා ගොස් ඇත. ඉරාකයේ මිලියන 38 ක් වන ජනගහනයෙන් මිලියන 7 ක් දරිද්‍රතා රේඛාවෙන් පහල ජීවත් වන අතර සියයට 53 ආහාර හිඟයක අවදානමට මුහුනපා ඇත.

ඒ හා සමාන සමාජ හා දේශපාලන ප්‍රතිවිරෝධයන් ලෙබනනයේ මහජන විරෝධතා අවුලු‍වා ඇති අතර එය සති අන්තයේ ද යලිත් මතුවිය. සති අන්තයේ බේරූට් හි පෙලපාලිකරුවන් සහ ආරක්ෂක හමුදා අතර ඇති වූ දරුනු ගැටුම්වලින් අවම වශයෙන් 540 දෙනෙකු තුවාල ලැබීය.

විරෝධතාකරුවන් ප්‍රචන්ඩත්වය කරා යොමුවීම කෙරේ මාධ්‍ය අවධානය යොමු කල අතර, ලෙබනන් ආන්ඩුව, බේරූට් නගරය සන්නද්ධ කඳවුරක් බවට පත් කරමින්, පාර්ලිමේන්තු ගොඩනැගිල්ල රේසර් කම්බිවලින් වටකර, දැඩි ලෙස සන්නද්ධ එක්සත් ජනපද පුහුනුව ලත් විශේෂ මෙහෙයුම් භටයන් යෙදවීය. සමහරුන් රොකට් විදිනයන් පවා අතැතිව සිටියේය. වහලවල් මත ස්නයිපර් භටයින් යොදා ඇති අතර ආන්ඩුවේ මැරවරයින් අසල ඇති ගොඩනැගිලිවල සිට ගල් දමාගැසූහ. ආරක්ෂකයෝ රබර් උන්ඩ සහ කඳුලු ගෑස් මඟින් කෙලින්ම පෙලපාලිකරුවන්ට වෙඩි තැබූහ. පොලිසිය, මිනිසුන් පසුපස ලු‍හුබැඳ ගොස් රෝහල් සහ මුස්ලිම් පල්ලි තුලදී පවා ඔවුන්ට පහර දෙන තරම් දුර ගොස් තිබේ.

“කෝපයේ සතිය”‍ වෙත කල කැඳවුමට ප්‍රතිචාර වශයෙන් සති අන්තයේ විරෝධතා පැවැත්වුනි. ඒ, ආන්ඩුව උද්ඝෝෂනකරුවන්ගේ කිසිදු ඉල්ලීමක් ලබාදීමට අපොහොසත් වීම හා සෞදි අරාබියේ හෙංචයියෙක් වන අගමැති සාද් හරිරි නායකත්වය දුන් තන්ත්‍රය වෙනුවට පාලනයක් පිහිටුවීමට අසමත්වීම හමුවේය. ඔහු මහජන විරෝධය හමුවේ පසුගිය වසරේ ඉල්ලා අස්වූවෙකි.

විරෝධතා අවුලු‍වනු ලැබ ඇත්තේ, 1975-1990 සිවිල් යුද්ධය අවසන් වීමෙන් පසුව ලෙබනනය මුහුනදී ඇති දරුනු ම අර්බුදය හමුවේ, ආර්ථික හා සමාජ තත්වය පිරිහීයාම මඟින්ය.

ලෙබනන් විරෝධතා පැවැත්වෙද්දී, ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර හා රට පුරා බැංකු 300 කට පමන ප්‍රහාර එල්ල වී තිබේ. පසුගිය මාස තුන තුල ලෙබනන් මුදලේ වටිනාකම අඩකින් කපා හැරීම නිසා, තම ඉතුරුම් තැන්පතු අගය විනාශ වී ඇති බව දැකීමෙන් ජනතාවගේ කෝපය බැංකු වෙත හැරී තිබේ. මේ අතර, මූල්‍ය කඩාවැටීම වැලැක්වීම සඳහා බැංකු විසින්, මුදල් තැන්පත්කරුවන්ට කොපමන මුදල් ආපසු ලබා ගත හැකිද යන්න පිලිබඳව සීමාවන් පනවා ඇත. සාමාන්‍ය ජනතාව වෙත පනවා ඇති සීමාවන්, ධනවතුන් සහ දේශපාලන සම්බන්ධතා ඇති අයට බලපාන්නේ නැත.

බැංකු සේවකයෝ, තමන්ගේ ආරක්ෂාව පිලිබඳ සැලකිලිමත් වීම හේතුවෙන් දීර්ඝ වැඩ වර්ජනයක යෙදී සිටිති.

ලෙබනන් පවුම අවප්‍රමානය වීම නිසා ආනයනික ආහාර මිල ඉහල යාමත් සමග මූර්ත වැටුප් අඩකින් අඩුවී ඇත. රටේ මාසයක අවම වැටුප ඩොලර් 450 ක් වුවත් දැන් එය යන්තම් ඩොලර් 270 වේ. දිගින් දිගටම සිදුවන මුදල් අවප්‍රමානය නිසා ලෙබනනයේ දරිද්‍රතා මට්ටම, ජනගහනයෙන් තුනෙන් එකක සිට දෙකෙන් එක දක්වා වැඩිවනු ඇති බවට ලෝක බැංකුව අනතුරු අඟවා තිබේ.

බොහෝ කර්මාන්තවල සේවා යෝජකයන් වැටුප් ගෙවීම නවතා දැමීම වැඩ වර්ජනවලට තුඩු දී තිබේ. රෝහල්වල අත්‍යවශ්‍ය ඖෂධ නොමැති අතර පෙට්‍රල් සලාකයට නිකුත් කෙරෙමින් තිබේ.

ලෙබනන් ආන්ඩුව, වට්ස් ඇප් ඇතුලු‍ පනිවිඩ සඳහා බදු නිවේදනය කිරීමෙන් පසුව පසුගිය වසරේ ඔක්තෝබර් 17 වන දින මහජන විරෝධතා හටගත්තේය. වැඩිවන දරිද්‍රතාව හා විරැකියාව, යටිතල පහසුකම් හා සමාජ සේවා බිඳවැටීම සහ ඉහවහාගිය දූෂනය හමුවේ, පූර්ව කාලයේ පැනවූ සියලු‍ කප්පාදු වලට එරෙහිව මහජන කැරලිකාරිත්වයක් නිර්මානය කලේය. ඉරාකයේ දී මෙන්ම ලෙබනනයේ ද විරෝධතාකරුවන්ගේ කෝපය දල්වනු ලැබුවේ සමාජයේ මුල්බසිමින් තිබෙන හා පුලු‍ල් වන අසමානතාවයි.

අලු‍ත්ම නැගිටීම් තත්වය තවදුරටත් ඇවිල ගියේ, ස්විට්සර්ලන්තයේ ඬේවෝස්හිදී පැවැත්වෙන ලෝක ආර්ථික සංසද රැස්වීමේදී “අරාබි ලෝකයේ නොසංසුන්තා“ පිලිබඳව කථාකිරීමට, ලෙබනනයේ හිටපු විදේශ ඇමති ගැබ්රන් බැසිල් එහි යන බව නිවේදනය කිරීමත් සමගය. බැසිල්, ජනාධිපති මිෂෙල් අවුන්ගේ බෑනාය. ඔහුගේ ආරාධනය අවලංගු කරන ලෙස ඉල්ලන අන්තර්ජාල පෙත්සමක් සඳහන් කරන්නේ, “පීඩාවට පත් ජනතාව වෙනුවෙන් කතා කිරීම සඳහා, දූෂිත චෝදනාවලට ලක්ව සිටින ඔහුට ආරාධනා නොකල යුතු” බවය.

ඉරාකයේදී මෙන්ම, ඔක්තෝබර් 29 වන දින හරිරි ඉල්ලා අස්වූ දා සිට, ජනාධිපති අවුන් ගේ නායකත්වයෙන් යුත් භාරකාර පාලනයට ද නව ආන්ඩුවක් පිහිටුවීමට නොහැකිවී ඇති බව ඔප්පු වී තිබේ. පාර්ලිමේන්තුවේ බහුතරයක් හිමිකරගෙන සිටින, තවත් ෂියා ව්‍යාපාරයක් වන අමල් සහ අනෙකුත් සගයන් සමඟ හිස්බුල්ලා සංවිධානය, හිටපු අධ්‍යාපන ඇමති සහ බේරූට්හි ඇමරිකානු විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙකුගේ නායකත්වයෙන් යුත් කැබිනට් මන්ඩලයක් පිහිටුවීමට සූදානම් වන බව පෙනෙන්නට තිබේ.

පෙලපාලි නායකයින්, “ස්වාධීන තාක්ෂනිකඥයන්ගේ” ‍ආන්ඩුවක් සඳහා ඉල්ලීම් ඉදිරිපත්කර ඇත. එය, සිවිල් යුද්ධයෙන් ඉක්බිත්තේ රට තුල පිහිටුවා ඇති නිකායවාදී ධනේශ්වර පර්යාය නමැති සමෙන් එලියට පැනිය නොහැකි ආන්ඩුවක් වනු ඇත.

ලෙබනනයේ පවත්නා ධනපති පක්ෂ විසින් පිහිටුවා ගනු ලබන කුමන හෝ ආන්ඩුවක්, පසුගිය වසරේ පැවති ජාත්‍යන්තර සමුලුවකදී පොරොන්දු වූ පරිදි ඩොලර් බිලියන 11 ක “ගලවා ගැනීමේ පැකේජයට” හිලව් වශයෙන්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව හා ප්‍රධාන නයහිමියන්ගේ ඉල්ලීම් සපුරාලීම සඳහා අතිරේක කප්පාදු පියවර පිලිබඳ පුලු‍ල් න්‍යාය පත්‍රය කඩිනමින් ක්‍රියාත්මක කල යුතුව ඇත. මෙම මුදලින් වැඩි ප්‍රමානයක් යොදවනු ඇත්තේ, ජාත්‍යන්තර බැංකුවලට ඇති නය ගෙවීමට ය. 2016 මුල, ලෙබනනයේ අයවැයෙන් හරි අඩක්ම වෙන්වුනේ නය පොලී ගෙවීමටය.

ඉරානය සමග පෙලගැසී සිටින හිස්බුල්ලා සංවිධානය මුලදී උද්ඝෝෂන පිලිබඳව ගෙන සිටියේ සතුරු ආස්ථානයකි. තවදුරටත් කලාපයේ අධිරාජ්‍යවාදී අවශ්‍යතා සඳහා දායක වන පරිදි, වොෂිංටනය, සවුදි අරාබිය සහ ඊස්රායලය විසින් ඒවා පෝෂනය කරන්නේ යයි ඔවුන් කියා සිටියේය. අවස්ථා කිහිපයකදීම ෂියා ව්‍යාපාරය, විරෝධතාකරුවන් සමඟ ගැටෙමින් ප්‍රති-විරෝධතා රැලි පැවැත්වීය.

කෙසේවෙතත් වඩාත් මෑතකදී හිස්බුල්ලාවරුන්, විරෝධතා නායකයින් හමුවීමට සිය නියෝජිතයින් යවා තිබුනි. ඔවුන්ගේ ඉල්ලීම් සමඟ එකඟතාව පල කරමින් සහ ඔවුන්ට සහයෝගය ලබා දෙමින් ඔවුන් මැදිහත් වුනේ, නිසැකවම මහජන නැගිටීම මැඩපැවැත්වීමේ බලාපොරොත්තුව ඇතිව ය.

කලාපය පුරා සිය ආධිපත්‍යය තහවුරු කර ගැනීමටත්, රුදුරු ආර්ථික සම්බාධක හා සාපරාධී මිලිටරි ප්‍රචන්ඩත්වයේ මාධ්‍යයන් තුලින් ඉරානය සතු කලාපීය අනුහස බිඳ දැමීමටත් එක්සත් ජනපද අධිරාජ්‍යවාදය ගෙනයන ව්‍යායාමයෙන්, ඉරාකය හා ලෙබනනය යන දෙරටේම සමාජ ආතතීන් උත්සන්නවී ඇත. වොෂින්ටනය සහ එහි කලාපීය සහචරයෝ, මෙම අරමුනු තවදුර වර්ධනය කිරීම සඳහා මෙම ආතතීන් ගසාකෑමට උත්සාහ කරති. ටෙහෙරානය ඊට ප්‍රතිචාර දක්වන්නේ, තමන් සමඟ සන්ධානගතව සිටින ෂියා නිකායවාදී ව්‍යාපාරවල බලපෑම ආරක්ෂා කිරීමට දරන උත්සාහය සමඟ, ඉරාක හා ලෙබනන් ආන්ඩු දෙකම ගෙනයන මර්දනයට සහයෝගය දක්වමින් ය.

රට, එක්සත් ජනපද-ඉරාන යුද්ධයක පොර පිටියක් බවට පත්වීමේ අන්තරාය කෙරේ ඉරාක විරෝධතාකරුවන් විරෝධය පල කර තිබේ. මේ අතර, වොෂින්ටනය, ඉරාකයේ රඳවා ඇතැයි සැලකෙන 5000-6000 අතර එක්සත් ජනපද හමුදා ඉවත් කරන මෙන් ඉරාක ආන්ඩුව කරන ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත.

ඉරාකයේ සහ ලෙබනනයේ මහජන විරෝධතා, නිකායවාදී දේශපාලනය දැඩි ලෙස ප්‍රතික්ෂේප කර ඇති අතර, ලොව පුරා මෙන්ම රටවල් දෙකෙහි ද තීරනාත්මක බෙදීම් රේඛාව පන්තිය මිස, ආගම, ජනවාර්ගිකත්වය හෝ ජාතිකත්වය නොවන බව පැහැදිලි කර ඇත.

කැරැලි ගසා නැගී සිටින ලොව පුරා මිලියන ගනන් කම්කරුවන්ගේ ඉල්ලීම් මෙන්ම, ලෙබනනයේ හා ඉරාක කම්කරුවන්ගේ හා තරුනයින්ගේ ඉල්ලීම් ද ධනවාදය පෙරලා දැමීම හා ලෝක පරිමානයෙන් සමාජවාදය ගොඩනැගීම සඳහා වන අරගලයෙන් පිටත විසඳිය නොහැකිය.

Share this article: