දරිද්‍රතා වැටුප් හා ධනවතුන්ගේ බදු කපාහැරීම මධ්‍යයේ
එක්සත් ජනපද ඉතිහාසයේ ඕනෑම බැංකුවක විශාලතම ලාභය ජේපී මෝර්ගන් චේස් විසින් වාර්තා කරනු ලබයි

Amid poverty wages and tax cuts for the rich JPMorgan Chase records the biggest profit of any bank in US history

ගේබ්‍රියෙල් බ්ලැක් විසිනි, 2020 ජනවාරි 18

ලෝකයේ වටිනාම පෞද්ගලික බැංකුව වන ජේපී මෝර්ගන් චේස් 2019 දී, ඇමරිකානු ඉතිහාසයේ ඕනෑම බැංකුවක් ලැබූ විශාලතම වාර්ෂික ලාභය වන, ඩොලර් බිලියන 36.4 ක් වාර්තා කලේය. 14දා මාධ්‍ය වාර්තා අනුව, සමාගමේ කොටස් අගය සියයට 2න් ඉහල ගියේය. 2019 සිව්වන කාර්තුවේදී සමාගම ඩොලර් බිලියන 8.5 ක් ලබා ගත් අතර එය ද වාර්තාවකි. එය ලොව කොටස් වෙලඳපොලට සම්බන්ධ දහවන විශාලතම සමාගම බවට පත්විය. එහි වෙලඳපල වටිනාකම ඩොලර් බිලියන 437 කි.

ජේපී මෝගන් චේස් හි වාර්තාගත ලාභයත් සමඟ 16දා, මෝර්ගන් ස්ටැන්ලි සමාගමේ ද කොටස් මිල සියයට 6.6 කින් ඉහල නැඟු‍නි. සමාගම් දෙකම 2019 සඳහා වාර්තාගත ලාභ හා ආදායම් වාර්තා පිහිටුවීය.

ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් 2017 ව්‍යාපාරික බදු කපාහැරීමේ වාසිය 2019දී විශාලතම ඇමරිකානු බැංකු හයට හිමිවූ අතර එහි මුලු‍ අගය ඩොලර් බිලියන 32 විය. සියල්ලන්ටම බදු කැපීමේ වාසිය 2018 සිට ඉහල ගොස් තිබේ. එක් බැංකුවකට එය විශේෂිත විය. ජේපී මෝර්ගන් ලැබූ වාසිය 2018 දී ඩොලර් බිලියන 3.7 සිට 2019 බිලියන 5 දක්වා වැඩි විය.

සංගත විධායකයන් රැසක් සහභාගී වූ, චීනය සමග වෙලඳ ගිවිසුමේ පලමු අදියරට අත්සන් තැබීමේ උත්සවයේදී ට්‍රම්ප්, ජේපී මෝර්ගන් චේස්හි ප්‍රධාන විධායක නිලධාරී මේරි ඒඩෝස් දෙසට හැරී විහිලු‍ කලේ, බැංකුවේ ආදායම් වාර්තාව “අසමසම ” යයි කියමිනි. අඩුම තරමින් ඔබ මෙසේ කියනු ඇත, “ස්තූතියි, ජනාධිපති තුමනි.”

සංගත සහ ධනවතුන් සඳහා වන බදු කප්පාදුව, ඩිමොක්‍රටිකයන්ගේ සංකේත විරෝධය පමනක් සහිතව පනවන ලද අතර එය පසුගිය වසර තුල ලාභ ඉහල යාමේ එක් සාධකයක් පමනි. 2018 වසර අවසානයේදී කොටස් වෙලඳපොල කඩා වැටුනු විට, 2008 මූල්‍ය අර්බුදයෙන් ඉක්බිතිව වසර ගනනාවක් අනුගමනය කල ශුන්‍ය අනුපාතයට පසුව, පොලී අනුපාත ක්‍රමයෙන් සාමාන්‍ය මට්ටමට ඉහල නැංවීමේ ෆෙඩරල් මහ බැංකු පිලිවෙත ආපසු හරවන ලෙස ට්‍රම්ප් කල ඉල්ලීම වේගවත් කලේය. වෝල් වීදියේ හොරනෑව ලෙස කටයුතු කල ඔහු ඉල්ලා සිටියේ මූල්‍ය වෙලඳපොලවලට වැඩි මුදල් ප්‍රමානයක් පොම්ප කිරීම සඳහා මහ බැංකුව නැවත වරක් ගාස්තු අඩු කිරීම ආරම්භ කරන ලෙසයි.

මහ බැංකුවේ සභාපති ජෙරොම් පවෙල් විසින් 2019 දී තුන් වතාවක් පොලී අනුපාත අඩු කල අතර ඕනෑම වේලාවක නැවත ඒවා ඉහල නැංවීමේ කිසිදු අදහසක් නොමැති බවට වෙලඳපොලවලට සහතික විය. 2019 අග භාගයේ වැටීම ආරම්භයේ සිට මහ බැංකුව, ඊනියා “රෙපෝ” යන, රාත්‍රී නය වෙලඳපොලට සතියකට ඩොලර් බිලියන ගනනක් පොම්ප කිරීම ආරම්භ කරමින්, “ප්‍රමානාත්මක ලිහිල් කිරීම” ලෙස හැඳින්වෙන මුදල් අච්චු ගැසීමේ ක්‍රියාවලියට නැවත පන පෙවීය.”

අසීමිත මහජන අරමුදල් කොටස් මිල ඉහල නැංවීම සඳහා යෙදවෙන බවට වන මෙම තථ්‍ය සහතිකය, එක්සත් ජනපදයේ සියලු‍ම ප්‍රධාන දර්ශකවල වාර්තාගත ඉහල අගයක් වෙනුවෙන් දායක වූ අතර, ධනවතුන්ගේ සහ සුපිරි ධනවතුන්ගේ පුද්ගලික භාන්ඩාගාර බිලියන ගනනින් තරකර තිබේ.

මෙම පියවර, කම්කරු පන්තියේ සිට සංගත හා මූල්‍ය ප්‍රභූව වෙත ධනය යලි බෙදා හැරීම සඳහා, දශක හතරක් තිස්සේ දෙපක්ෂයේම ඒකාබද්ධ එකඟත්වයේ පදනම මත සිදුකරන ලද ප්‍රතිපත්ති අඛන්ඩව පෙරට ගෙනයාම හා තීව්‍ර කිරීමකි. ඒවා කම්කරු පන්තියේ සමාජ තත්ත්වය විශාල ලෙස පහත හෙලමින්, ඇමරිකාවේ පන්ති සබඳතා මූලික වශයෙන් ප්‍රතිව්‍යූහගත කර ඇත. යහපත් වැටුප් සහිත, සුරක්ෂිත රැකියා අතුගා දමා ඇති අතර බොහෝ දුරට දරිද්‍රතා-වැටුප්, අර්ධ-කාලීන, තාවකාලික හා කොන්ත්‍රාත් රැකියා මගින් ඒවා විස්ථාපනය කර ඇත. ඇමසන් සහ ඌබර් වැනි සංගත විසින් සංලක්ෂිත ඊනියා “ගිග්” ආර්ථිකය තුල ප්‍රකාශිත වන්නේ එයයි.

2008 මූල්‍ය අර්බුදයට ප්‍රතිචාර වශයෙන්, දශක ගනනාවක් පුරා පැවති පාලක පන්තියේ මෙම ප්‍රහාරය, දැන් වේගවත්වී තිබේ. අර්බුදයට තුඩු දුන්නාවූ එම නොසැලකිලිමත් හා සාපරාධී කටයුතු වලට වගකිවයුතු බැංකුකරුවන්ගේ හා සමපේක්ෂකයින්ගේ නය ගෙවා දැමීම සහ ඔවුන් වෙන කවරදාටත් වඩා ධනවත් කිරීම සඳහා බැංකු හා මූල්‍ය වෙලඳපොල වෙත මුදාහල ඩොලර් ටි්‍රලියන ගනනක්වූ එම ක්‍රියාවලිය ජනාධිපති බැරැක් ඔබාමා විසින් අධීක්ෂනය කරන ලදී. ඒ අතරම, නව කම්කරුවන් බඳවා ගැනීමේදී ගෙවන වැටුප සියයට 50කින් කපාහැරීම ද තාවකාලික හා අර්ධ-කාලීන ශ්‍රමය පුලුල් කිරීම මත පදනම් වූ මෝටර් රථ කර්මාන්තයේ වියදම් කපාහැරීමේ ප්‍රතිව්‍යූහගත කිරීමක් ද ඔහු විසින් පනවන ලදී.

එක්සත් මෝටර් රථ සමිතිය (යූඒඩබ්ලිව්) මෙම ක්‍රියාවලියට සක්‍රීයව සහභාගී වී ඇති අතර, 2015 සහ 2019 වර්ෂවල සේව්‍ය සේවක කොන්ත්‍රා‍ත්තු සඳහා නව “නම්‍යශීලී” ශ්‍රම ක්‍රමය ඇතුලත් කිරීමට ඔවුන් සහභාගී විය. ප්‍රතිලාභ රහිත ශ්‍රමයේ මෙම අච්චුව රට පුරා සහ ලොව පුරා කම්කරු සබඳතා සඳහා නව සම්මතයක් බවට පත්ව ඇත.

මේ අතර, ප්‍රාන්ත, පලාත් පාලන සහ ෆෙඩරල් ආන්ඩුවේ වැඩසටහන් නාටකාකාර ලෙස කප්පාදු කර තිබේ. අධ්‍යාපනය, නිවාස, වෛද්‍ය ප්‍රතිකාර සහ ආහාර මුද්දරවලට දැඩි ලෙස පහර වැදී ඇත. මූල්‍ය ප්‍රභූ පැලැන්තියේ සහ ධනවත් ඉහල මධ්‍යම පන්තියේ කොටස් නියෝජනය කරන ඩිමොක්‍රටිකයින්ගේ විරුද්ධත්වයක් නොමැතිව ම වාගේ ට්‍රම්ප් යටතේ වෘත්තීය සුරක්ෂිතතාව සහ පාරිසරික රෙගුලාසි ඉවත් කරමින් මෙම ක්‍රියාවලිය වේගවත් කර තිබේ.

ව්‍යාපාරික-මූල්‍ය කතිපයාධිකාරය විසින් සමාජය කොල්ලකෑමේ විනාශකාරී මානුෂික පිරිවැය, ආයු අපේක්ෂාව පහත වැටීම, මරන අනුපාතය ඉහල යාම සහ සියදිවි නසාගැනීම් සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීමේ අනුපාතය ඉහල යාමෙන් සලකුනු කෙරේ. බෲකින්ස් ආයතනය විසින් මෑතකදී කරන ලද අධ්‍යයනයකින් හෙලි වූයේ, එක්සත් ජනපදයේ මිලියන 53 ක ජනතාවක්, සියලුම කම්කරුවන්ගෙන් සියයට 44 ක්, “යන්තම් ජීවත් වීමට සරිලන ආදායමක් උපයන” බවයි. මෙම කන්ඩායමේ සාමාන්‍ය වැටුප පැයකට ඩොලර් 10.22 ක් වන අතර එය වසරකට ඩොලර් 18,000 ක් පමන වේ. පැයකට ඩොලර් 10 ක් උපයන අයගෙන් සියයට තිස් හතක් ලමුන්ය. අඩකට වැඩි ප්‍රමානයක් පවුලේ මූලික ආදායම උපයන අය හෝ ආදායමට “සැලකිය යුතු දායකත්වයක්” ලබා දෙන අයයි.

එවැනිම ආකාරයකට 2018 වර්ෂයේ රොයිටර් වාර්තාවකින් පෙනී ගියේ, එක්සත් ජනපදයේ පහලම කම්කරුවන්ගෙන් සියයට 40 ක සාමාන්‍ය ආදායම වසරකට ඩොලර් 11,600 ක් බවයි.

ට්‍රස්ට් ෆෝ ඇමරිකා හෙල්ත් විසින් කරන ලද නවතම අධ්‍යයනයකින් හෙලි වූයේ, 2017 දී “ඇමරිකානුවන් 152,000 කට වැඩි ප්‍රමානයක් මත්පැන් හා මත්ද්‍රව්‍ය නිසා ඇති වූ මාරාන්තික ආබාධ හා සියදිවි නසාගැනීම් වලට ගොදුරුවූ” බවයි. මෙය මෙතෙක් වාර්තා වූ ඉහලම සංඛ්‍යාව වන අතර 1999 ට වඩා දෙගුනයකටත් වඩා වැඩිය. අවුරුදු 20 හා 30 ගනන්වල, වැඩ කිරීමේ හොඳම කාලයේ සිටින අය අතර සිදුවන මත්ද්‍රව්‍ය මරන, පසුගිය 20 වසර තුල සියයට 400 ත් වඩා වැඩි වී තිබේ.

සමාජයේ අනෙක් කොනේ, මූල්‍ය පද්ධතිය පුපුරා යාමට පෙර 2007 දී පැවති එහි උපරිමයට වඩා ඩව් ජෝන්ස් කාර්මික දර්ශකය, දෙගුනයකින් ඉහල නැඟ ඇත. 2009 මාර්තු සිට අද දක්වා එය ඒකක 6,500 සිට 29,000 දක්වා ඉහල ගොස් තිබේ. මහ බැංකුව සහ ආන්ඩුවේ ප්‍රතිපත්තිය මත පදනම් වූ කොටස් වෙලඳපොල, සමාජයේ පහල සිට ඉහලට ධනය මාරු කිරීමේ කේන්ද්‍රීය මෙවලම බවට පත්ව ඇත. එහි ප්‍රතිපලයක් වශයෙන්, සමාජයේ ඉහලම සියයට 10 දැන් රටේ සියලු‍ ධනයෙන් සියයට 70 ක් පමන හිමිකරගන්නා අතර, පහලම සියයට 50 ට පලදායී ලෙස කිසිවක් හිමිවන්නේ නැත.

සමාජයේ ඉහලම ධන සමුච්චය මධ්‍යයේ, රැකියා, යහපත් වැටුප්, අධ්‍යාපනය, නිවාස, සෞඛ්‍ය සේවා සහ විශ්‍රාම වැටුප් පිලිබඳ කම්කරුවන්ගේ සෑම ඉල්ලීමකටම ලැබෙන පිලිතුර වන්නේ, “මුදල් නැත” යන්නය. එය විශ්වීය ප්‍රතිචාරයකි. සිය ගනනක් රජයේ පාසල්වලින් කපා හරින ලද අරමුදල් යථා තත්ත්වයට පත් කිරීම සහ වැටුප් හා ප්‍රතිලාභ සැලකිය යුතු ලෙස වැඩි කිරීම ඉල්ලා පසුගිය වසර දෙක තුල ගුරුවරුන් දහස් ගනනක් වැඩ වර්ජනය කර තිබේ. ඔවුන්ගේ ඉල්ලීම් කිසිවක් ඉටු වී නැත. ද්වි-ස්ථර වැටුප් ක්‍රම නවතා දමා රැකියා ආරක්ෂා කරන ලෙස ඉල්ලා දින 40 ක් වැඩ වර්ජනය කල මෝටර් රථ සේවකයින්ට ද මෙය අදාල වේ.

2019 දී ජේපී මෝර්ගන්හි ඩොලර් බිලියන 36.4 ක ලාභය එක්සත් ජනපද ෆෙඩරල් ආන්ඩුවේ අධ්‍යාපන අයවැයෙන් අඩකටත් වඩා වැඩිය.

මේ අතර, ඇමරිකානුවන් ඉතිහාසයේ වෙන කවරදාටත් වඩා ජේපී මෝර්ගන් සහ අනෙකුත් බැංකුවලට ගෙවීමට ඇති නය බරින් මිරිකී සිටිති. එක්සත් ජනපදයේ සාමූහික පාරිභෝගික නය පසු ගිය වසරේදී ඩොලර් ටි්‍රලියන 14 ක් කරා ලඟා විය. ක්‍රෙඩිට් කාඞ් නය පලමු වරට ඩොලර් ටි්‍රලියන 1 ඉක්මවා ඇත. වාහන නය ඩොලර් ටි්‍රලියන 1.3 ක් වන අතර උකස් නය දැන් ඩොලර් ටි්‍රලියන 9.4 කි. ශිෂ්‍ය නය 2006 දී ඩොලර් බිලියන 500 සිට අද ඩොලර් ටි්‍රලියන 1.6 දක්වා ඉහල ගොස් තිබේ.

ධනවාදී ක්‍රමයේ ඓතිහාසික බංකොලොත්කම හා අර්බුදය තුල මුල් බැස ඇති මෙම කොන්දේසි, පන්ති අරගලයේ ගෝලීය නැගිටීමක් සහ ධනේශ්වර විරෝධී හා සමාජවාදයට පක්ෂ හැඟීම්වල වර්ධනයට හේතු වී තිබේ. පසුගිය වසර තුල කම්කරු පන්ති අරගල නාටකාකාර ලෙස ව්‍යාප්ත වී ඇති අතර එය ඉදිරියේදී සිදුවීමට යන දෙය පිලිබඳ ඉඟියක් පමනි. ඉන්දියාව, හොංකොං, මෙක්සිකෝව, එක්සත් ජනපදය, පුඑර්තෝ රිකෝ, ලෙබනනය, ඉරාකය, ප්‍රන්සය, චිලී සහ බ්‍රසීලය, මහා අරගල පුපුරා ගිය ස්ථාන කිහිපයකි.

ලොව පුරා සිටින මිලියන සංඛ්‍යත ජනතාවට වඩ වඩාත් පැහැදිලිව පෙනෙන දෙය නම්, 21 වන සියවසේ මානව වර්ගයා මුහුන දෙන සමාජ ගැටලු‍ වන දුප්පත්කම, නය, රෝග, ගෝලීය උනුසුම, යුද්ධය, ෆැසිස්ට්වාදය, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට පහරදීම වැනි ප්‍රශ්න, මෙම පරපෝෂිත හා කතිපයාධිකාරී මූල්‍ය ප්‍රභූව පාලනය ගෙනයනතාක් කල් විසඳිය නොහැකි බවය. හැරිය යුත්තේ ඇමරිකානු හා ජාත්‍යන්තර කම්කරු පන්තිය වෙතය. සියලු‍ ජනතාවට සාමය, සමෘද්ධිය සහ සමානාත්මතාවය සහතික කිරීම සඳහා ඔවුන් නිපදවන ධනය අත්පත් කර ගැනීම, එක්සත් වීම, බලය සහ පාලනය අත්පත් කර ගැනීම දෙසට හැරීමකි.

Share this article: