යහපත් වැටුප් හා සේවා කොන්දේසි ඉල්ලමින් ශ්‍රී ලංකාවේ මිනිරන් පතල් කම්කරුවෝ වැඩවරති

Sri Lankan graphite mine workers strike over pay and conditions

අපේ වාර්තාකරුවන් විසිනි, 2020 ජනවාරි 25

රජයට අයත් කහටගහ ග්‍රැෆයිට් (මිනිරන්) ලංකා පතල් සමාගමේ කම්කරුවන් 130ට අධික පිරිසක් පහල වැටුප් හා රුදුරු සේවා කොන්දේසිවලට එරෙහි ව ජනවාරි 21දා වර්ජනය කරමින් වැඩ නැවැත්වූ හ. කම්කරුවෝ තම ඉල්ලීම්වලට අවධානය යොමු කරවීම සඳහා කොටසින් කොටස වසයෙන් පොලවෙන් මීටර් 600ක් යට උපවාසයක් ද ආරම්භ කල හ.

කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශය විසින් පාලනය කරන කහටගහ ග්‍රැෆයිට් ලංකා සමාගම පිහිටා ඇත්තේ, කොලඹින් කිලෝමීටර 150ක් පමන දුරින් පිහිටි වයඹ පලාතේ කුරුනෑගල දිස්ත්‍රික්කයේ ය.

කර්මාන්ත අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා සමාගම මැදිහත් වී පොරොන්දු මාලාවක් දීමෙන් පසු, ජනවාරි 21දා පතල් කම්කරුවෝ අකමැත්තෙන් ඔවුන්ගේ වර්ජනය නතර කල හ.

කුරුනෑගල කම්කරු කොමසාරිස් කාර්යාලයේ පැවති සාකච්ඡාවලින් අනතුරු ව රුපියල් 50ක සොච්චම් වැටුප් වැඩිකිරීමක් කම්කරුවන්ට ප්‍රදානය කරන ලදී. පෙබරවාරි 28දා කම්කරුවන්ගේ අනෙක් ඉල්ලීම් විසඳීමට ද නිලධාරීහු පොරොන්දු වූ හ.

ශ්‍රී ලංකාවේ ආන්ඩු විසින් ගනන් නැති ඉටු නො කල පොරොන්දු තමන්ට ලබා දී ඇති බවත්, නවතම පොරොන්දු කෙරෙහි තමන්ට විශ්වාසයක් නැති බවත් පතල් කම්කරුවෝ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවන්ට පැවසූ හ.

දේශපාලනික ව වැදගත් වර්ධනයක් වන මේ සතියේ පතල් කම්කරුවන් දියත් කල කාර්මික ක්‍රියාව, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහි මේ වසරේ පලමු වැඩවැරුම යි.

ගිය වසරේ නොවැම්බර් 16දා රාජපක්ෂ තේරී පත්වීමෙන් දෙසතියකට පසුව, නුවරඑලිය දිස්ත්‍රික්කයේ වතු කිහිපයක වතු කම්කරුවන් 5,000ක් පමන, පොරොන්දු වූ වැටුප් වැඩිකිරීම් ඉල්ලමින් හා සේවා කොන්දේසි මත කලමනාකාරීත්වය එල්ල කරන ප්‍රහාරවලට විරුද්ධ ව වැඩ වර්ජනය කල හ.

වැඩ වර්ජන දෙක ම පෙන්නුම් කරන්නේ, වැඩිකල් යාමට මත්තෙන් පුපුරා යමින් රාජපක්ෂ ආන්ඩුවට අභියෝග කරනු ඇත්තා වූ ශ්‍රී ලංකාවේ කම්කරු පන්තියේ සියලු අංශ අතර පවතින, පලල් ව පැතිරුනු හා කැකෑරෙන සමාජ විරෝධය යි.

කහටගහ ග්‍රැෆයිට් කම්කරුවන්ගේ වර්ජනය ආරම්භ කොට පවත්වාගෙන ගියේ, ශ්‍රී ලංකාවේ ප්‍රධාන ධනපති පක්ෂ දෙක වන එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අනුබද්ධිත ජාතික සේවක සංගමය හා නිදහස් සේවක සංගමය යන පතලේ දැනට පවතින වෘත්තීය සමිති දෙකට විරුද්ධ ව ය.

මෙම වෘත්තීය සමිති, කහටගහ ග්‍රැෆයිට් කම්කරුවන්ගේ අරගල යලි යලිත් විසුරුවා හැර ඇති අතර, ඒවායේ ශාඛා සභාපතිවරු වැඩවැරුමට සහභාගි නො වූ හ.

2012 සිට ක්‍රියාත්මක වන පරිදි වැටුප් වැඩි කිරීමක්, පවතින කම්කරු නීති යටතේ නියම කර ඇති දින 21ක වාර්ෂික නිවාඩු, කොන්ත්‍රාත් කම්කරුවන් ඇතුලු සියලු කම්කරුවන්ට රුපියල් 7,800ක ‘විශේෂ දීමනාවක,’ හා සෙනසුරාදා වැඩ පැය ගනන පෙරවරු 11.15න් අවසන් කොට ඉන්පසු වැඩ කරන අතිරේක පැය ගනනට ගෙවන අතිකාල ගෙවීම් ලබාදීම ආදිය පතල් කම්කරුවන්ගේ ඉල්ලීම්වලට ඇතුලත් විය.

දින 180 කට වැඩියෙන් සේවයේ යෙදී ඇති සියලු කොන්ත්‍රාත් කම්කරුවන් ස්ථීර කිරීම හා වසර දෙකකට වැඩියෙන් පතලේ සේවය කර ඇති “නුපුහුනු” කම්කරුවන් පුහුනු කම්කරුවන් ලෙස පිලිගෙන ස්ථීර කිරීම ද වර්ජකයන්ට අවශ්‍ය ය.

පතල් කම්කරුවෝ, පතලේ අඩු වැටුප් හා දුෂ්කර කොන්දේසි විඳ දරාගෙන සිටින්නේ කෙසේදැයි ලෝසවෙඅ වාර්තාකරුවන්ට විස්තර කල හ.

වැඩ පැය ගනන පෙරවරු 7.15 සිට පස්වරු 2.15 දක්වා වන අතර, ස්ථීර හා පුහුනු කම්කරුවන්ට දිනකට ගෙවන රුපියල් 982 ට සාපේක්ෂ ව “නුපුහුනු” කම්කරුවන්ට ගෙවන්නේ දිනකට රුපියල් 688ක් පමනි. කම්කරුවන්ට දිනකට රුපියල් 100 ක ආහාර දීමනාවක් ගෙවතත්, ඉන් ආවරනය වන්නේ දහවල් ආහාර වියදමෙන් තුනෙන් දෙපංගුවක් පමනි.

පතල දැනට හයමාසික වැඩ කොන්ත්‍රාත්තු මත කම්කරුවන් 23ක් සේවයේ යොදවයි. මෙම කම්කරුවන් ස්ථීර කිරීමේ නිල නිර්දේශයන්ගෙන් අත්මිදීම සඳහා කලමනාකාරීත්වය මෙම සැලසුම ප්‍රයෝජනයට ගනී.

වාර්ෂික නිවාඩු ගනන දින 14 ක් පමනක් වන අතර, එය පවතින කම්කරු නීති උල්ලංඝනය කිරීමකි. තමන්ට වාර්ෂික නිවාඩු 21ක් හිමි බව කම්කරුවන් දැනගත්තේ මෑතක දී පමනි. කම්කරුවෙකු වසරකට “වැටුප් රහිත” නිවාඩු හතරක් ගතහොත් ඔහුට දඬුවම් කොට වැටුප් අඩුකරනු ලැබේ.

බ්‍රිතාන්‍ය විජිත පාලන සමයේ 1872 දී පුද්ගලික සමාගමක් විසින් ආරම්භ කල කහටගහ ග්‍රැෆයිට් පතල, 1971 දී ශ්‍රී ලංකා ආන්ඩුව විසින් පවරා ගන්නා ලදී.

මෙම රජයට අයත් ව්‍යවසාය ලාබ නො ලබන්නේ යයි කියමින් ආන්ඩුව විසින් 2002 දී වසාදමන ලද අතර, 2006 දී යලි විවෘත කරන ලදී. පතල කලින් කම්කරුවන් 1,000ක් පමන සේවයේ යෙදවූ නමුත්, එහි ශ්‍රම බලකාය කඨෝර ලෙස අඩුකරන ලද අතර වර්තමානයේ එහි සේවය කරන්නේ කම්කරුවන් 135ට ආසන්න ගනනකි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු නියෝගයන්ට අනුකූලව, ශ්‍රී ලංකාවේ අනුප්‍රාප්තික ආන්ඩු පසුගිය වසර හය තුල වියදම් කැපීමට හා රජයට අයත් මූලික කර්මාන්ත පුද්ගලීකරනය කිරීමට පොරොන්දු වී ඇත.

මෙම කාල පරිච්ඡේදය තුල වැඩ වර්ජන කිහිපයක් සිදු වුව ද 2012 පටන් කම්කරුවන්ට වැටුප් වැඩි කිරීමක් ප්‍රදානය කර නැත. අනුප්‍රාප්තික ආන්ඩු විසින් ලබාදුන් ව්‍යාජ පොරොන්දුවලට මුවා වී වෘත්තීය සමිති මෙම අරගල පාවා දී ඇත.

2018 සිට පතලේ සේවය කරන තරුන කම්කරුවෙක්, කම්කරුවන් ඔවුන්ගේ ඉල්ලීම් දිනාගැනීමට අධිෂ්ඨාන වත් බව විස්තර කලේ ය.

මේ මස මුල දී, ඔහු හා තවත් කම්කරුවන් 12 දෙනෙක්, තමන්ට, කොන්ත්‍රාත් කම්කරුවන්ට හා ස්ථීර විදුලි කාර්මික ශිල්පියාට විශේෂ දීමනාවක් ගෙවීම සමාගම විසින් ප්‍රතික්ෂේප කිරීම ගැන කුරුනෑගල කම්කරු දෙපාර්තමේන්තු කාර්යාලයට පැමිනිලි කල හ. සියලු කොන්ත්‍රාත් කම්කරුවන් ස්ථීර කරන ලෙස ඔවුහු ඉල්ලූ හ. කම්කරු දෙපාර්තමේන්තුව ඔවුන්ගේ පැමිනිල්ල ජනවාරි 28දා විමර්ශනය කිරීමට නියමිත ය.

“මේ ආන්ඩුව ජනප්‍රිය පොරොන්දු දුන්න ද ඔවුන්ට කම්කරුවන් ගැන කිසිදු තැකීමක් ඇතැයි මං හිතන්නේ නැහැ” යි තරුන පතල් කම්කරුවා කීවේ ය. “ඔවුන්ට අවංක තැකීමක් තිබෙනවා නම් එය පෙන්වීමට ඕනෑ තරම් ක්‍රම තිබෙනවා. වරක් වැඩ වර්ජනයක් බිඳීමට කලමනාකාරීත්වය පොලිස් විශේෂ කාර්ය බලකාය කැඳවූ බව මම අසා තිබෙනවා. මේ පතලේ දී අපි දිනාගත් සියලු දේවල් දිනාගෙන ඇත්තේ කම්කරුවන්ගේ අරගල හරහා.”

කතුවරු නිර්දේශ කරන තවත් ලිපි:

ශ්‍රී ලංකාවේ ආඥාදායක වර්ගවාදී රාජපක්ෂ තන්ත්‍රයට එරෙහි ව සටන් කිරීමට කම්කරුවන්ට සමාජවාදී ජාත්‍යන්තරවාදී ක්‍රියාමාර්ගයක් අවශ්‍ය යි

(2019 දෙසැම්බර් 7)

Share this article: